ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙත් පුවත් මවන්න පටන් අරන්. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මේ දවස්වල ඉන්නේ පිටරට.

ආරංචි විදිහට මාසයකට වැඩි කාලයක් දයාසිරි එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ගත කරනවාලු. දයාසිරිගේ මේ විදේශ ගතවීම විසින් ශ්‍රීලනිපය ඇතුළේ තියන ප්‍රශ්නවලට අමතරව නැති ප්‍රශ්නත් මතුවෙලා. දයාසිරිගේ මහ ලේකම්ධුරයේ වැඩ බලන්න ශ්‍රීලනිප නියෝජනය ලේකම් සරත් ඒකනායක පත්කරලා. ඇත්තටම ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඔය කියන ජාතියේ ලෝක පුදුමයකුත් නෙවෙයි.

 

සරත් ඒකනායක ශ්‍රීලනිප වැඩබලන ලේකම් ධුරයට

සරත් ඒකනායක පත්කරද්දී ශ්‍රීලනිපය පැත්තෙන් කිව්වේ මේ මැතිවරණ කාලයක් හින්දා ලේකම්ධුරයේ වැඩ ආවරණය කරන්න පත් කළා කියලා. බලනකොට ඒ කතාවත් ඇත්ත. හැබැයි මෛත්‍රී, දයාසිරි සහ සරත් ඒකනායකගෙන් එහා ශ්‍රීලනිප කවයේ මතය ඕක නෙවෙයි. එයාලා සරත් ඒකනායකගේ පත්කිරීම පිලිගන්නේ දයාසිරිට දුන්න ෂොට් එකක් විදිහටයි. සමහරු ඒ වරදක් විදිහට දකිද්දී තවත් සමහරු ඒක හරි කියලා පිලිගන්නවා. දයාසිරිට විරුද්ධ ශ්‍රීලනිප කණ්ඩායම දකින්නේ සරත් එකනායකගේ මේ පත්කිරීම දයාසිරිට කරපු අනතුරු ඇඟවීමක් විදිහටයි. කවුරු මොනවා කිව්වත් ඇත්තටම මෙතන ප්‍රශ්නයක් තියන බව පේනවා. හැබැයි ප්‍රශ්නය ඔහොම වහගෙන සිටීමෙන් වෙන්නේ ප්‍රශ්නය නොදන්නා මොහොතකදී එකපාරට පුපුරා යෑමයි. මොකද දයාසිරි වගේම දයාසිරිට විරුද්ධ බලවේගය පිටිපස්සෙත් අදෘශ්‍යමාන හස්ත ක්‍රියාත්මක වෙමින් තියනවා. දයාසිරි පිටිපස්සේ තියන හස්ථ ශ්‍රීලනිපය බෙදීම වෙනුවෙන් සෘජුව ක්‍රියාත්මක වෙන ඒවා.

දයාසිරිට විරුද්ධ කණ්ඩායම පිටිපස්සේ තියන හස්ථ ශ්‍රීලනිපය එකතු කිරීමේ ලේබලයෙන් පෙනී ඉන්න ඒවා. හැබැයි රටේ රාළ වගකීමෙන් කියනවා මේ දෙකෙන්ම වෙන්නේ ශ්‍රීලනිපය බෙදෙන එක විතරයි. රටේ රාළ අඳුනගත්ත විදිහට ශ්‍රීලනිපය ඇතුලේ ප්‍රතිවිරෝධතා තුනක් තියනවා. දෙකක් දැන් එලිපිට ක්‍රියාත්මකයි. අනික තවමත් වැහිලා තියන එකක්. දයාසිරි ශ්‍රීලනිපය ඇතුලේ අනෙක් කණ්ඩායම් එක්ක හදාගෙන තියන ප්‍රතිවිරෝධය එකක්. දයාසිරි මොනවා කිව්වත් ශ්‍රීලනිප ජේෂ්ඨයන් පක්ෂයෙන් එලවන්න ඕනි කරන පසුබිම නිර්මාණය කළේ දයාසිරි කියන චෝදනාව දයාසිරිට තියනවා. ඊළඟට ශ්‍රීලනිප - හෙලිකොප්ටර සන්ධානය ඇතුළේ දයාසිරිගේ සහ තිලංගගේ හැසිරීම එයාලට බරපතල ප්‍රශ්නකාරී එකක්. දයාසිරි සහ තිලංග ශ්‍රීලනිපයට අවාසිදායක තීරණවලට එකඟ උනා කියන විශ්වාසයක් එයාලා ඇතුලේ තියනවා. දයාසිරි මේ සියල්ල කළේ ශ්‍රිලනිප නායකත්වය ඉලක්ක කරගෙන කියන චෝදනාවත් දයාසිරිට තියනවා.

 

ඒ මතය ඔළුවේ තියාගෙන දයාසිරි එක්ක උඩින් සහ යටින් හැපෙන පිරිසක් ඉන්නවා. සරත් ඒකනායක වැඩබලන ලේකම් විදිහට පත්කිරීම දයාසිරි විරෝධී කණ්ඩායමට ලොකු ආශ්වාදයක් වෙලා. එයාලා ඒ ආශ්වාදයෙන් දක්වන ප්‍රතිචාරවලින් ඇතුළේ ගැටුමක් තියන බව එළියට පේනවා. ඊළඟට මෙතනදී දයාසිරිත් එකවරම පරාජය බාරගනී කියලා හිතන්න බෑ. මොකද දයාසිරි නියෝජනය කරන කණ්ඩායමකුත් ශ්‍රීලනිපය ඇතුලේ ඉන්නවා. දැනට ඒ කණ්ඩායම යම් නිහඩ ප්‍රතිපත්තියක හිටියත් දයාසිරි ආපුගමන් තත්වය වෙනස් වෙන්න තියන ඉඩ වැඩියි. මොකද දයාසිරි දැනටමත් අභියෝගය බාර අරන් ඉවරයි. දයාසිරි කියන්නේ මේක ශ්‍රීලනිපයෙන් අයින් කරපු කණ්ඩායමේ කුමන්ත්‍රණයක් කියලයි. දයාසිරිගේ කණ්ඩායම සැලකුවත් දයාසිරි විරෝධී කණ්ඩායම සැලකුවත් දැනට මේ කණ්ඩායම් දෙකම ශ්‍රීලනිප නායක මෛත්‍රීත් එක්ක ප්‍රතිවිරෝධයක නෑ. ඒත් වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මේ කණ්ඩායම් දෙකෙන්ම මෛත්‍රී විරෝධී කණ්ඩායමක් නිර්මාණය වෙන්න පුළුවන්. රටේ රාළ තුන්වෙනි ප්‍රතිවිරෝධය විදිහට දකින්නේ ඒක.

 

ඇත්තටම ඒක කරන්නේ දයාසිරි සහ දයාසිරි විරෝධී කණ්ඩායම පිටිපස්සේ ඉන්න රටේ රාළ කියන අදෘශ්‍යමාන හස්ත විසින්. ඊළඟට ඒකට පදනම වැටෙන්නේ මෛත්‍රී මේ ප්‍රශ්නය ඉස්සරහා අනුගමනය කරන දියාරු ප්‍රතිපත්තියෙන්. 14 වෙනිදා ශ්‍රීලනිප මූලස්ථානයේ තිබුණ රැස්වීමකදී මෛත්‍රීට යම් විරෝධයක් එල්ල වුන බව මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒක ඇත්ත නං සමහරවිට රටේ රාළ කියන මෛත්‍රී විරෝධී කැරැල්ලේ ආරම්භය ඒක වෙන්නත් පුළුවන්. මෙතනදී මෛත්‍රී තවමත් Practice කරමින් ඉන්නේ යල් පැනගිය උපක්‍රමයක්. ඒ උපක්‍රමය මීට කලින් මෛත්‍රීම Practice කරලා බරපතල විදිහට අසාර්ථක වෙච්චි එකක්. ඔයාලට මතක ඇති 2015 ජනාධිපතිවරණයට මෛත්‍රී ඉදිරිපත් වුනා. මෛත්‍රී ජනාධිපතිවරණය ඉල්ලන්න ශ්‍රීලනිපයෙන් එළියට ආවා. එදා මෛත්‍රීගේ බලවේගය උනේ එජාප බලවේගය. මෛත්‍රීට ශ්‍රීලනිප බලවේගය අහිමි වුනා. කොහොම උනත් ශ්‍රීලනිප ඡන්ද පදනමෙන් 5% ත් - 8% ත් අතර ප්‍රමාණයක් මෛත්‍රීට ඡන්ද විදිහට හම්බවුනා.

 

mm

ඒ ජනාධිපතිවරණයේදී මහින්ද පරද්දලා මෛත්‍රී දිනුවා. හැබැයි මෛත්‍රීට තමන් ජයග්‍රහණය කරවපු එජාප බලවේගය දිනාගන්න සහ ඒ බලවේගය ආරක්ෂා කරගන්න බැරිවුනා. මෛත්‍රී සහ රනිල් අතර ඇති වෙච්ච ගැටුමේදී එජාප බලවේගය හිටියේ රනිල් එක්ක. ඒ වෙනකොටත් එජාපය ඇතුලේ රනිල් - සජිත් ගැටුමත් බරපතල විදිහට තිබුණා. හැබැයි කිසිම කෙනෙක් රනිල්ට විරුද්ධව මෛත්‍රීගේ පැත්ත ගත්තේ නෑ. අඩුමගානේ සජිත්වත් මෛත්‍රීගේ පැත්ත ගත්තේ නෑ. එතනදී මෛත්‍රී හැදුවේ එජාප බලවේගයේ ස්වභාවය තේරුම් ගන්නේ නැතිව රනිල් සහ සජිත් අතර තියෙන ගැටුම පාවිච්චි කරමින් එජාප බලවේගය කළමණාකරණය කරන්න. ඒත් ඒක සාර්ථක උනේ නෑ. මෛත්‍රී 73 න් වතාවක් සජිත්ටත්, 13 වතාවක් කරූටත් අගමෑතිකම දෙන්න කතා කළා. හැබැයි ඒ සියලු අවස්ථා අසාර්ථකයි. මෛත්‍රී ඒ වෙලාවේ රටේ ජනාධිපති උනත් රටේ ප්‍රධාන බලවේග දෙකම හිටියේ මෛත්‍රී විරෝධී තැනක. ශ්‍රීලනිප සහ එජාප බලවේගය දෙකම ඒ වෙනකොට මෛත්‍රීව දැක්කේ තමන් පාවලා දුන්න කෙනෙක් විදිහට.

 

තත්වය එහෙම තියෙද්දී මෛත්‍රී තවත් වැරදි අත්හදා බැලීමක් කළා. ඒ දින 52 කේ ආණ්ඩුව හැදීම වෙනුවෙන් රනිල් අයින් කරලා ආයෙත් මහින්ද ආගමැති කිරීම. එකක් ඒක නීති විරෝධී. අනික ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී වගේම සදාචාර විරෝධී වැඩක්. සමහරවිට මෛත්‍රී හිතන්න ඇති ඒ තීරණය ගැනීම විසින් ශ්‍රීලනිප බලවේගය නැවත දිනාගන්න පුළුවන් වෙයි කියලා. අන්තිමට මෛත්‍රීට දින පනස් දෙකේ ආණ්ඩුවත් නැතිවෙලා ඒ බලවේග දෙකේම වෛරයටත් පාත්‍ර වෙන්න සිද්ධවුනා. මෛත්‍රී පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී පොහොට්ටුවත් එක්ක සන්ධානගත උනත් ඒ බලවේගය මෛත්‍රී එක්ක හිටගත්තේ නෑ. මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය ආසන 14 ක් ගනිද්දී පොදුජන පෙරමුණ තනියෙන් ආසන 120 කට වැඩිය දිනා ගත්තා. ඇත්තටම මෛත්‍රී අහිමිවුනේ මෛත්‍රීට ඉතා සමීපව හිටපු බලවේග දෙකක්. ශ්‍රීලනිප බලවේගය කියන්නේ මෛත්‍රීගේ දේශපාලන ජීවිතය ඇතුලේ වැඩිම කාලයක් මෛත්‍රීත් එක්ක හිටපු බලවේගය. එජාප බලවේගය කියන්නේ මෛත්‍රී ජනාධිපති කරපු බලවේගය.

 

අද මේ බලවේග දෙකම මෛත්‍රී එක්ක නෑ. ඇත්තටම මෛත්‍රීගේ බලවේගවල ස්වභාවය තේරුම් ගැනීම සහ බලවේගය කළමනාකරණය කියන කාරනා දෙකම Nill.  විශේෂයෙන් බලයත් එක්ක ඒ බලවේග හැසිරෙන විදිහ ගැන අවබෝධයක් මෛත්‍රීට තිබුණේම නෑ. මෛත්‍රී තවමත් භාවිතා කරන්නේ ග්‍රාමසේවක කෙනෙක් තමන්ගේ වසම පාලනය කරගන්න යොදන උපක්‍රම. ඒකේ තර්කානුකූල ප්‍රතිපලය උනේ මෛත්‍රීගේ නායකත්වය යටතේ මහා ශ්‍රීලනිපය පුංචි ශ්‍රීලනිපයක් වෙලා නතරවීමයි. මෛත්‍රීගේ හොඳට හරි නරකට හරි නැත්තම් ශ්‍රීලනිපයේ හොඳට හරි නරකට හරි තවමත් මෛත්‍රී ශ්‍රීලනිප නායකයා විදිහට ඉන්නවා. අද ඒ ශ්‍රීලනිපයත් දෙකට බෙදිලා. ඒ කණ්ඩායම් දෙක අතර ලොකු අභයන්තර ගැටුමක් නිර්මාණය වෙලා. ඒක විසින් බාහිර සාධකවලට ශ්‍රීලනිපය හසුරවන්න පුළුවන්කම ලැබිලා තියනවා. දයාසිරි විරෝධී කණ්ඩායමට භාහිර බලවේග කීපයක උදව් හම්බ වෙනවා. දයාසිරි එලවන්න ඒ උදව් නිසා පහසුවක් වෙන්න පුළුවන්.

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ දයාසිරිගේ න්‍යාය - (ජයසිරි අලවත්ත)

 

ඒ වගේම දයාසිරිටත් ශ්‍රිලනිප බලය අල්ලන්න පිරිසක් උදව් කරනවා. මේ දෙකෙන්ම වෙන්නේ ශ්‍රීලනිපයට මේ මොහොතේ තියන දේශපාලන අභියෝගය යට ගිහින් අභ්‍යන්තර ගැටුම උඩට ඒමයි. මෙන්න මේ දේශපාලනය අභියෝග අතහැරීම විසින් එක වෙලාවක මෛත්‍රී මේ කණ්ඩායම් දෙකේම ගොඳුරක් බවට පත්වවීම නවත්තන්න බෑ. ඒක තමයි රටේ රාළගේ උපකල්පනය. ඇත්තටම ඒක වෙන්නේ මෛත්‍රීගේ දුර්වලතාවයෙන්. මොකද මෛත්‍රී මේ කණ්ඩායම් දෙක කළමනාකරණය කරන විදිහ වැරදී. මෛත්‍රී මේ බලවේග දෙක අතර තියන ප්‍රතිවිරෝධය නඩත්තු කරමින් ගොඩයන්න හදනවා. හරියට රනිල් සහ සජිත් අතර තිබුණ ප්‍රතිවිරෝධය කළමණාකරණය කරමින් ගොඩ යන්න හැදුවා වගේ. ඇත්තටම මේ බලවේග දෙකේම උවමනාව මොකක් උනත් ඒක යට කරන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේ ශ්‍රීලනිපය ඉස්සරහා තියන දේශපාලන අභියෝග තේරුම් ගැනීමෙන්, ඒක පිටිපස්සේ හබා යෑමෙන් සහ ඒකත් එක්ක පොරබැදීමෙන්  විතරයි.

 

මේ කණ්ඩායම් දෙකම අවිඥානිකව හොයන්නේ ශ්‍රීලනිපය ගොඩදාන්න පුළුවන් නායකත්වයක්. එහෙම නායකයෙක් නොවී දෙපැත්තේ තියන ප්‍රති විරෝධතා පාවිච්චි කරමින් ගොඩයන්න කාටවත් බෑ. දැන් තත්වය වඩාත් සංකීරණයි. දැන් කට්ටිය ඔය ගන්නේ තාවකාලික ස්වයංවින්දනයක්. සුනාමියක් ළගම එනවා. අභයන්තර අරගලයට විතරක් පටු වෙන නායකත්වයකට කවදාවත් ශ්‍රීලනිපයේ උවමනාව ඉෂ්ඨ කරන්න බෑ. ඒක නිසයි රටේ රාළ කියන්නේ මේ බලවේගය දෙකේම ගොඳුරක් බවට මෛත්‍රී පත්වෙන එක නතර කරන්න බෑ කියලා. ශ්‍රීලනිපය ඕනි තවදුරටත් බෙදීම නෙවෙයි සියල්ල සමගි කිරීමයි. ඒක කර නොගන්නාතාක් ශ්‍රිලනිපයේ ඒකමතික බව රැකෙන්නේ නෑ. ඒකට අභයන්තරයේ විවෘත සංවාදයක් ඕනි.  අභියෝගට සාපේක්ෂව ශ්‍රීලනිපය කෙලින් කරන සංවාදයක් ඕනි. ඉළක්කය පෙන්නන සංවාදයක් ඕනි. ඒ ඒකමතික හදාගන්නේ නැතිව බිම්මට්ටමින් ශ්‍රීලනිපය කෙලින් කරන්න බෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

Priyanjith Vitharanaමීට
රටේ රාළ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)



 

JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්