(පුතාගේ බලවත් ඉල්ලීම නිසා මේ සතියේ මානිගෙ තීරුව ලිවීම ඔහුට බාරදීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න )




කාලය   - අනාගතය
වර්ෂය   - 2048

(මෙය එම වසරේදී සතිඅග අරුණ පත්‍රයේ කර්තෘට ලියුම් තීරුවේ පළවන්නකි)


2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. ණය ලැබෙන විට මගේ වයස හතලිහට වැඩිය.ඒ වෙද්දි මට රජයේ විශ්ව විද්‍යාලයකින් ලැබුණු උපාධියක්ද තිබුණේය. ඒ විස්තර ලිව්වේ ඒ කාලයේ රටේ තත්ත්වය ගැන මට හොඳ අවබෝධයක් තිබූ බව කියන්නය.(එක අතකින්  එහෙම කීමත් වැරදියි. මොකද කියතොත් ඒ කාලේ බොහෝ පට්ට නාකින්ද, ආචාර්ය, මහාචාර්ය ආදී ලයිසන් ලත් උගතුන්ද රටේ ප්‍රශ්න ගැන මෙලෝ තේරුමක් නැතුව නන්දොඩවමින් සිටි බැවිනි )

අයි.එම්.එෆ්. ණය ලැබුණාම රටේ සමහරු යුද්දෙ දිනුව වෙලාවේ මෙන් රතිඤ්ඤා පත්තු කළෝය .(ණය ගත්) ජනාධිපති මොනවා කළත් ඔහුට එහෙම කරන්නට ජනමතයක් නැතැයි කීම ඒ කාලයේ රටේ විනෝදාංශය වී තිබුණේය. ඒ නිසා ජනමතයක් නැති ජනාධිපතිට පක්ෂව රතිඤ්ඤා පත්තු කිරීමෙන් රට්ටුන්ගේ  අහිංසක හිත් රිදුණේය .

.


මේක තවත් ණයක් පමණක් බවත් බිලියන 54ක් වූ ණය කන්දට තව බිලියන තුනක් එකතු⁣ වූවාට වැඩි දෙයක් එහි නැති බවත් අපි එකහෙළා කියා සිටියෙමු .එය අපේ අවංක අදහස විය. 1956 පටන් ණයට ගෙන ජීවත් වූ රට එක්වරම ණය විරෝධී ප්‍රගතිශීලී රටක් විය. විපක්ෂ⁣යේ දෙතුන් දෙනෙකු ණයට පක්ෂව කැස්සත්  විපක්ෂ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට සපෝට් කරන්නේ ඇමතිකමක් ගැනීමට බලාපොරොත්තුවෙන් නොවේද?

රතිඤ්ඤාකාරයින් කියා සිටියේ මේක ගුහාවක හිරවී සිටි අපට එළියට යන්නට ඇරුණු ඉඩක් බවයි. ආණ්ඩුවට පක්ෂ එවුන් කියන දේවල් පයිසෙකට ගණන් ගත යුතු නැති බව අපි හොඳාකාරව දැන සිටියෙමු. ඔවුන් කරන්නේ ආණ්ඩුවට කඩේ යෑම නොවේද ? හොරුන්ගෙන් පිරුණු ආණ්ඩුව ඔය බිලියන තුනත් සාක්කුවේ දමාගන්නා බවට අපට නම් කිසිම සැකයක් තිබුණේ නැත.

(ජනමතයක් නැති) ජනාධිපති නම් ණය ගැන ලොකු ටෝක් දුන්නේය. ඩොලරයෙන් ඩොලරය එකතු⁣ කර රට ගොඩගන්න පුළුවන් හැටි ඔහු මවා පෙන්නුවේය. ඒත් රාජපක්ෂලා ආරක්ෂා කරන්නට පත් කර ගත් මිනිහා කියන කතා විශ්වාස කරන්නේ කවුද ? අපේ දැනුම් තේරුම් කම නිසා එසේ හිතුවත් මෑන්ව විශ්වාස කළ (මෝඩයන්) පිරිසක්ද රටේ සිටියේය.

විපක්ෂයේ බරපතළ උත්සාහය වූයේ පළාත්පාලන ඡන්දය පවත්වා ගැනීමයි. එහිදී ජනාධිපතිවත්, ඔහුව බලාගන්නා පොහොට්ටුවත් නෝන්ඩි කර දමා ඉක්මණින් තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ජනාධිපතිවරණයක් දක්වා ලොක්කා ඇදගෙන ගියහොත් බෙදී සිටින විපක්ෂයට එය අවාසි බැවිනි .එහෙත් (ඒකාධිපති) ජනාධිපති ඡන්දය පැවැත්තුවෙ නැත.

අයි.එම්.එෆ්. ණයෙන් රට ගොඩ යන්නේ නැති බව අපි දැන සිටියෙමු. ඒ නැතත් ජනමතයක් නැතුව රට ගොඩදමන්නට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නැහැ නොවේද ?. ඒ නිසා විපක්ෂය ද්‍රෝහී ආණ්ඩුවට රට ගොඩ ගන්නට බැරි බවද, තමන්ට බලය දුන්නොත් එය කරන බවද දිවුරා පොරොන්දු වූහ. සජිත් සිය පියාණන් පල්ලා කියාද, ජාජබ ජනතාව පල්ලා කියාද දිවුරුවෝය. භික්ෂුහුද, කිතුණු පූජකයෝද නොමසුරුව සිය යුතුකම ඉටු කළෝය. වෘත්තීය සමිතිද ආණ්ඩුව වැට්ටීම සඳහා ඕටී දමා වැඩ කළේය.

ජනාධිපති වූ පමණින් රනිල්ගේද තෘෂ්ණාව නොසන්සිඳුණේය. තෘෂ්ණාව නැතිවන්නේ ඡන්දයෙන් දිනා ජනාධිපති වීමෙන් පමණක් බව අහවල් සූත්‍රයේ ඇතැයි ඔහු සිය බිරිඳ මෛත්‍රීට කීවේය. ඒ නිසා අවසානයේදී රනිල් විපක්ෂයද, වෘත්තීය සමිතිද, ජනතාවද ඉල්ලූ ජනප්‍රිය ඉල්ලීම් ඡන්දෙ දිනීමේ උවමනාවෙන් දීලා දැම්මේය. අයි.එම්.එෆ්. දාහත් වැනි වතාවටත් අකුලාගෙන ගෙදර ගියේය. රට සුපුරුදු පරිදි බංකොලොත් වූයේය. (බංකොලොත් ) ජනාධිපති ජනාධිපතිවරණයෙන්ද පැරදුණේය.

 

740h8hgc ranil wickremesinghe reuters 650 625x300 16 December 18

පුංචි ප්‍රේමදාස ආණ්ඩුව ගත්තේය. ආණ්ඩුවේ සද්දෙ තරමට වැඩ නැති බව වැඩි කලක් යන්නට පෙර රටට මෙන්ම ලෝකයටද පෙනුණේය . ඒ ආණ්ඩුවද වැටී අප ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි ජාජබ ආණ්ඩුව ආවේය. බලේට නම් ආවා තමයි.  හැබැයි යූ.එන්.පී.⁣, පොහොට්ටු, සජබෙ, ටී.එන්.ඒ සියළුදෙනා එක්සත් වී වෘත්තීය සමිතිවලද  ගරුතර පූජ්‍ය පක්ෂයේද සම්මාදමෙන් ඒ ආණ්ඩුවද පෙරළා ගත්තේය.

දැන් ඡන්ද පැවැත්වෙයි. ආණ්ඩු එයි. ආණ්ඩු යයි. අයි.එම් .එෆ්. පැත්ත පළාතේ එන්නේ නැත. එදා පටන් ආණ්ඩුව පඩි ගෙව්වේ, කන්න බොන්න ගෙනාවේ ණයට අරගෙන වුවත් දැන් කවුරුවත් මෙහේට ණය දෙන්නේ නැත. ඒ කියන්නේ අප හිඟමනට වැටිලාය. ඉඳහිට කුමක් හෝ රටක් හිඟමනක් දෙයි. විකුණගන්නවත් රාජ්‍ය ව්‍යාපාර නැත. ඉල්ලුම්කරුවෙකු සිටින ඕනෑම දෙයක් එසැණින්ම විකුණාදැමෙයි. බෙහෙත් නැතුව මිනිසුන් මියයෑම, බඩගින්නේ මිනිසුන් මියයෑම ජනමාධ්‍යවලට ප්‍රවෘත්තියක්වත් නොවේ .කෑම වේලකට දරුවන් විකිණීම, පාන් ගෙඩියට මිනිහෙක් මැරීම එදිනෙදා දේවල්ය.

2023 දී අප බලාපොරොත්තු වූයේ 2048දී සංවර්ධිත රටක් වීමටය. එහෙත් දැන් සංවර්ධනය යන වචනය ඇත්තේ ශබ්දකෝෂවල පමණය. එහෙත් රටේ ඉතිරි වී ඇති ටික දෙනා තවමත් ආඩම්බරකාරයෝය . ඔවුන්ට දැන් මුකුත් නැති බව ඇත්තය. එසේ වුවත් ඔවුන්ට ආඩම්බරවීමට ඉතිහාසයක් තිබේ.

මානිගෙ පසුවදන ;-අපේ පුතාගේ නරුම අනාගත වාක්‍යයට මා නම් එකඟ නැත. 2048 වන විට අප දැන් කරන මෝඩකම් අතැර දමා රට දියුණු කරගන්නවා ඇතැයි මම සිතමි . ඒ ගැන ඔබ සිතන්නේ  කෙසේද ?



sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්