බොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාව වූ අමිතාබ් බච්චන් සහ ඔහුගේ බිරිඳ ජයා ප්‍රධාන භූමිකාවලට පණ පෙවූ, 1973 වසරේ දී අතිශය ජනප්‍රිය වූ 'අභිමාන්' චිත්‍රපටයට මේ වසරේ දී වසර 50ක් පිරීම නිමිත්තෙන් එම සිනමා පටයේ කල්පවත්නා චමත්කාරය සහ බලපෑම පිළිබඳව බීබීසී පුවත් සේවය කරන විමසා බැලීමකි මේ.

අමිතාබ් බච්චන් වඩාත් ප්‍රසිද්ධ වූයේ දීවාර්, සන්ජීර් සහ ෂෝලේ වැනි ප්‍රමුඛ පෙළේ චිත්‍රපටවල රඟපෑ බොලිවුඩයේ කෝපාවිෂ්ට තරුණයාගේ භූමිකාව රඟ දැක්වීම නිසා ය.

එහෙත්, මානව සබඳතාවල ඇති බිඳෙනසුළු ස්වභාවය ප්‍රතිනිර්මාණය කෙරුණු 'අභිමාන්' නම් සංගීතමය සිනමා පටයේ චරිතය, ඔහුගේ සාර්ථක ම චරිත නිරූපණ අතර වන බව බොහෝ දෙනෙකුගේ අදහස ය.

 

 

අමිතාබ් බච්චන්, සිය බිරිඳ තමන්ගේ වේදිකාවට ගෙන ඒමට උත්සහ දරන ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ චරිතයට පණ පොවන අතර, පසුව ඔහු අභිබවා බිරිඳ ඉදිරියට යද්දී ඔහුගේ අභිමානය, එසේ නැතහොත් මමත්වය, නිසා ඔහු සිත් තැවුලටත්, ඊර්ෂ්‍යාවටත් පත්වෙයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ රිෂිකේෂ් මුඛර්ජී, බච්චන් සහ ජයා මෙම චිත්‍රපටය සඳහා යොදා ගත්තේ ඔවුන් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන සමයේ දී වූ අතර, චිත්‍රපටය තිරගතවීමට මසකට පෙර දෙදෙනා විවාහවූහ. ජයා එම වසරේ හොඳ ම නිළිය ලෙස කීර්තිමත් ෆිල්ම්ෆෙයාර් සිනමා උළෙලේ දී සම්මානයට පාත්‍රවූවා ය.

 

 

ජූලි මාසයේදී අඩ සියවසක් සපුරන අභිමාන් සිනමා පටය මට විශේෂයෙන් වැදගත් ය - එය මා නැරඹූ අමිතාබ් බච්චන්ගේ පළමු චිත්‍රපටය විය. එමෙන් ම, එය ඔහුගේ සියලු සිනමා පට අතරින් මගේ ප්‍රියතම චිත්‍රපටය ලෙස අදටත් පවතියි.‍

එම වසරේදී තිරගත වූ දුසිම් භාගයකට වැඩි බච්චන්ගේ චිත්‍රපට අතර 'අභිමාන්' ද විය. එම චිත්‍රපට අතර, එම වසරේ ඔස්කාර් සම්මානයට යොමු කළ ඉන්දීය චිත්‍රපටය වූ 'සෝදාගර්' සහ අමිතාබ් බච්චන් ඉන්දියාවේ හොඳ ම ක්‍රියාදාම වීරයා බවට පත්කළ චිත්‍රපටය වූ 'සන්ජීර්' ද විය.

කෙසේ වෙතත්, සිනමා විචාරකයෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වන සයිබාල් චැටර්ජී බීබීසී වෙත පැවසුවේ, "එම වසරේ වඩාත්ම කතාබහට ලක්වූ චිත්‍රපටය සහ එම වසරේ වැඩි ම ජනප්‍රියත්වයක් ලද බච්චන්ගේ චිත්‍රපටය" වන්නේ අභිමාන් බව ය.

ප්‍රේක්ෂකයින් වැල නොකැඩී සිනමා ශාලාවලට පැමිණි අතර, දෙමාපියන්, දරුවන් ඇතුළු පවුල්වලින් පස්වරු සහ රාත්‍රී දර්ශන පිරී ඉතිරී ගියේ ය.

 

 

වේදිකා රංගන ශිල්පිනියක සහ "ප්‍රබල බච්චන් රසිකයෙකු ලෙස" තමන් හඳුන්වාගන්නා මොනීෂා භාස්කර් පවසන්නේ, සිය බිරිඳගේ සාර්ථකත්වය දරාගත නොහැකි වූ ඊර්ෂ්‍යාකාර සැමියෙකු පිළිබඳ "සර්වකාලීන කතාව", "සැබෑ ජීවිතය සමග බැඳී පවතින හෙයින්" ජන මනස ස්පර්ශ කිරීමට සමත් වූ බව ය.

"විවාහක යුවළක් අතරේ නිරන්තරයෙන් මමත්වය හා සබැඳි ගැටලු නිර්මාණය වෙන නිසා අභිමාන් සිනමා පටයේ කතාව විශ්වාස කිරීමට පහසු වුණා. බිරිඳ තමන්ට වැඩියෙන් සාර්ථක වීම ඉදිරියේ නොසතුටට පත්වන බහුතරයක් පිරිමි ඉන්න ඉන්දියාව වැනි සමාජයක ඒක විශේෂ දෙයක්."

 

 128861576 a2

 

"උත්ප්‍රාසාත්මක දේ තමයි, මුලින්ම ගායනා කිරීමට ඇය දිරිමත් කරන්නේ ඔහු. ඒත් ඔහුට වඩා ඇය ජනප්‍රිය වෙන්න ගත්තා ම ඔහුට ඒක දරා ගන්න බැරි වෙනවා. ඒත් ඔහු හා තරගයට යන්න ඇයට අවශ්‍ය වුණේ නෑ. ඇය ජනප්‍රිය වුණේ ඇය වඩාත් දක්ෂ නිසා," ඇය පවසයි.

චිත්‍රපටය තිරගතවීමෙන් පසු එවකට සිව් හැවිරිදි මොනීෂා භාස්කර් ද කැටුව දිල්ලි නුවර සිනමා ශාලාවකට ගිය ඇගේ දෙමාපියන් චිත්‍රපටය නරඹා ඇත. එතැන් පටන් ඇය එම චිත්‍රපටය කිහිප වරක් ම නරඹා තිබේ.

"ඇත්තෙන් ම මට පළවෙනි පාර චිත්‍රපටිය තේරුණේ නෑ. ඒත් ඒකේ සංගීතය සහ ගීත මම රස වින්දා. ඊට පස්සෙ මම කිහිප වතාවක් ම ඒක බැලුවා. ඊට පස්සේ බලපු හැම වතාවක ම මට ඒකට වැඩි වැඩියෙන් ආස හිතුණා," ඇය අප හා පවසයි.

 

 

භාස්කර් විශ්වාස කරන්නේ, අභිමාන් චිත්‍රපටයේ භූමිකාව "බච්චන්ගේ සාර්ථක ම රඟපෑම්වලින්" එකක් වන බවට ය. ජයා පණ පොවන වින්දිත බිරිඳගේ චරිතය ද "අතිශය තාත්වික" බව ත්, "විශිෂ්ට සංගීතය සහ ගීත හේතුවෙන් චිත්‍රපටය වඩාත් ජනතාව අතරට ගිය," බවත් ඇය පවසයි.

අනතුරුව ගෙවුණු වසර ගණනක් පුරා අභිමාන් චිත්‍රපටයට රසිකයින්ගේ, විචාරකයන්ගේ මෙන් ම සිනමා කර්මාන්තයේ බච්චන් යුවළගේ සමකාලීනයන්ගේ ද ඉහළ අගැයීම්වලට ලක්වී තිබේ.

චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් එය හඳුන්වන්නේ "මගේ ප්‍රියතම චිත්‍රපටවලින් එකක්" ලෙස ය. "එය නරඹන සෑම අවස්ථාවක ම" තමන් හඬන බව ද ඔහු පැවසීය. රංගන ශිල්පිනී විද්‍යා බාලන් වසර කිහිපයකට පෙර එය, "මතක තියාගත නොහැකි තරම් වතාවක්" නැරඹූ බව පැවසූ අතර එය "අකාලික" (timeless) චිත්‍රපටයක් ලෙස හඳුන්වා තිබිණි. 2022 වසරේ දෙසැම්බර් මාසයේදී පැවති කොල්කටා සිනමා සම්මාන උළෙල ආරම්භ කළේ මෙම සම්භාව්‍ය නිර්මාණයෙනි.

අභිමාන් පිළිබඳව ආදරයෙන් කතා කළ අමිතාබ් බච්චන් පැවසුවේ, එම චිත්‍රපටය "අපි දෙදෙනාගේ ම වෘත්තීය ජීවිතයේ කිසි දා අමතක නොවන නිර්මාණය" ලෙස සලකන බව ය. එහි ගීත තවමත් "රසිකයින් අතර මතකයේ ඇති අතර බොහෝ දෙනෙකුගේ සිහිනයක් ලෙස පවතින" බව ද ඔහු පැවසීය.

චැටර්ජී පවසන්නේ, අභිමාන් සෑම විට ම බච්චන්ගේ වෘත්තීය ජීවිතයේ "ප්‍රධාන සංධිස්ථානයක්" ලෙස හැඳින්වෙණු ඇති අතර, එය හුදු "පුරුෂාධිපත්‍යයෙන් යුත්, කෝපාවිෂ්ට තරුණයාගේ ආකෘතියට ගැලපෙන පරිදි නිර්මාණය කළ චිත්‍රපටයක් නොවන," බව ය.

 

 

"මේක පුද්ගලයෙකුගේ වෙනස් පැත්තක් පෙන්නුම් කරන චරිත නිරූපණයක්. ඔහු සැබෑ ලොව වීරයෙකුගේ චරිතයක් රඟපෑවා. සැබෑ මිනිසෙක් අනාරක්ෂිතභාවයට සහ ඊර්ෂ්‍යාවට පත්වන විදිය නිරූපණය කෙරුණා. ඒක හරහා රංගන ශිල්පියෙකු ලෙස ඔහුගේ ප්‍රතිභාව පෙන්නුම් කරනවා. ඔහු වෙනුවෙන් අධ්‍යක්ෂවරයා ලියන ඕනෑ ම චරිතයක් නිරූපණය කරන්න ඔහුට පුළුවන් කියන එක ඒකෙන් පැහැදිලි වුණා."

විවාහය පිළිබඳ බොලිවුඩ් චිත්‍රපට "බොහෝ විට ඉතා ඝෝෂාකාරී" වන නමුත් අභිමාන් ඊට වඩා වෙනස්, "ඉතා සියුම්" ගති ලක්ෂණ සහිත චිත්‍රපටයක් වීම එහි සර්වකාලීන චමත්කාරයට හේතු වී තිබේ.

වසර ගණනාවක් පුරා, එම චිත්‍රපටය එහි රඟපෑ සුපිරි තාරකාවන් අතර වූ සම්බන්ධය මත පදනම් වූවක්දැ යි බොහෝ දෙනෙකු අනුමාන කර ඇතත්, ජයා ඒ වන විටත් ස්ථාවරත්වයට පැමිණි නිළියක වූ අතර බච්චන් බොලිවුඩයේ නවකයෙකු විය. ඊට අමතරව, මෙම චිත්‍රපටයේ කතාව කෙරෙහි විශිෂ්ට සිතාර් වාද්‍ය ශිල්පියෙකු වූ රවි ශංකර් සහ ඔහුට සමානව විශිෂ්ට සිතාර් වාද්‍ය ශිල්පිනියක වූ ඔහුගේ පළමු බිරිඳ අන්නපූර්ණා දේවි බලපා ඇති බවට ද සසඳා තිබේ.

 128861578 a3

 

එහෙත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂ මුඛර්ජී මෙම සන්සන්දනයන් ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පැවසුවේ, අග්‍රගණ්‍ය බොලිවුඩ් ගායන ශිල්පී කිෂෝර් කුමාර් සහ බෙංගාලි සිනමාවේ දක්ෂ නිළියක මෙන් ම ගායිකාවක වූ ඔහුගේ පළමු බිරිඳ වූ රූමා දේවියගේ ජීවිත‌ය පදනම් කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කළ බව ය.

"රූමා දක්ෂ කෙනෙක්. කිෂෝර් ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේ දී යම්කිසි ආකාරයකට අර්බුදකාරී තත්ත්වයක පසු වුණා. ඔහු හැම වෙලාවෙ ම ඇයට තිබූ දක්ෂතා ගැන අවධානයෙන් හිටියේ," මුඛර්ජී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

MV5BNmE5ZmE3OGItNTdlNC00YmMxLWEzNjctYzAwOGQ5ODg0OTI0XkEyXkFqcGdeQXVyMTMxODk2OTU. V1 මුඛර්ජි කිසි විටෙක පිළි නොගත්ත ද, ඔහුගේ චිත්‍රපටය A Star is Born නමැති චිත්‍රපටය සමග සැසඳීමට ලක්ව ඇත. අනාරක්ෂිත සැමියෙකුගේ කතාවක් පිළිබඳ එම චිත්‍රපටය පළමු වරට 1937 වසරේ දී තිරගත වූ අතර, එය සිව් වතාවක් නිෂ්පාදනය වී තිබේ. අවසන් වරට එය 2018 වසරේ දී නිෂ්පාදනය කරන ලද්දේ, ලේඩි ගාගා සහ බ්‍රැඩ්ලි කූපර්ගේ රංගන දායකත්වයෙනි.

චැටර්ජී පවසන්නේ, මුඛර්ජී "චිත්‍රපටලෝලියෙකු" වන හෙයින් A Star is Born චිත්‍රපටය අනිවාර්යයෙන් ම නරඹා තිබෙන්නට ඇති බව ය.

"නමුත් ඒක විශ්වීය හා බොහෝ විට විවාහ සංස්ථාව තරම් ම පැරණි කතාවක් වෙන්න පුළුවන්. ඒකේ තියෙන වැදගත්කම තමයි මුඛර්ජී ඒ කතාව ඉන්දීය කතාවක් බවට නිර්මාණය කිරීම. ඒකට අවශ්‍ය ඉන්දීයභාවය ඔහු එම නිර්මාණයට එකතු කළා. ඒක බටහිරින් ආනයනය කළ කතාවක් විදිහට පේන්නෙ නෑ. ඒක සංස්කෘතිකමය විදිහට රෝපණය කරලා තියෙනවා, ඒකට වටිනාකමක් හිමිවෙන විදිහට."

 

 

චිත්‍රපටයේ දී ජයා රඟපෑ චරිතය, සිය සැමියා සෑම විට ම ප්‍රධානකොට ගත්, සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි, නිවට සහ යටහත් පහත් බිරිඳකගේ වීම සම්බන්ධයෙන් වර්තමානයේ දී ඇතැම් ස්ත්‍රීවාදීහු චිත්‍රපටයට විවේචන එල්ල කරති.

කෙසේ වෙතත්, මොනීෂා භාස්කර් පවසන්නේ, එම චිත්‍රපටය නිර්මාණය කරන ලද කාලපරිච්ඡේදයේ පුරුෂයින්ට සහ කාන්තාවන්ට දුන් පණිවුඩය 50 වසරකට පසුව අදට ද ගැලපෙන බව ය.

"මම දන්නෙ නෑ පිරිමි කී දෙනෙක් ඒක තේරුම් ගත්තා ද කියලා. ඒත් චිත්‍රපටයෙන් දුන්න පණිවුඩය පැහැදිලියි - ඒ තමයි, ඊර්ෂ්‍යාව සහ මමත්වය එකට බැඳී පවතින්නක්. ඒ වගේ ම කාන්තාවන්ට දුන්න පණිවුඩය තමයි, ඕනෑවට වඩා තමන්ගේ සැමියාට යටත්වෙලා ඉන්න එපා කියන එක."

ඇය පෙන්වා දෙන්නේ, චිත්‍රපටයේ සැමියා නරක ලෙස හැසිරෙන විට ජයාගේ චරිතය ඔහු අතහැර ආපසු ඇගේ ගමට යන බව යි.

 

 

 

"කණගාටුවටත්, මානසික පීඩනයටත් පත් වෙලා හිටි, ස්වභාවික ගබ්සාවීමකටත් ලක්වූ ඇය, ඔහුට පණිවුඩ නොයවන්නත්, තමන්ව ආපහු අරගෙන යන්න ආයාචනා නොකරන්නත් තරම් ආත්මාභිමානයකින් යුක්ත වුණා. ඇය ඔහු සමග ආපහු යන්නේ ඇගේ කොන්දේසිවලට අනුව යි - ඒ, ඔහු ඔහුගේ වරද පිළිගෙන ඇය කැඳවාගෙන යන්නට පැමිණි පසුව යි."

එය නිර්මාණය වූ කාලපරිච්ඡේදයේ සිනමා පට සාමාන්‍යයෙන් සුඛාන්තයකින් අවසන්වූ අතර රසිකයින් ඊට වෙනස් අවසානයක් පිළිගන්නට ඉඩ තිබුණේ නැත. එහෙත්, අභිමාන් "අසාමාන්‍ය" චිත්‍රපටයක් වූයේ, "දෙදෙනාගෙන් පුරුෂයා දුර්වල බව පෙන්නුම් කිරීමත්, ඔහුට සිය බිරිඳ දෙසට වැඩි අවධානයක් යොමුවීම දරාගත නොහැකි වීමත්" නිසා ය.

බච්චන්, "දුෂ්චරිතයක්" නිරූපණය කරමින් කැපී පෙනෙන සැබෑ රංගනයක යෙදෙමින් එය ඔහුගේ ම කර ගත්තේ ය.


(ගීතා පාණ්ඩේ - බීබීසී පුවත්, දිල්ලි)

උපුටා ගැනීම - BBC සිංහල සේවය



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්