IMF ණය ලැබූ සතුට සැමරූ අපි තෙල් පිරවුම් හල් හාරසිය පනහක් සමාගම් තුනකට විකිණීමේ ප්‍රීතිය සමරන්නේ නැත්තේ ඇයි? අපිට ඩොලර් ටිකක් ලැබෙන නිසා ජයපැන් බොමු නොවැ මා ප්‍රිය මිතුරනි !!



satakoසටෝකෝ කිශිමොටො (Satoko Kishimoto) සහ ඔලීවියර් පිටිට්ජීන් (Olivier Pititjean) විසින් රචිත Reclaiming Public Services:How cities and citizens are turning back privatization නමැති කෘතිය ලංකාවේ බොහෝ අය කියවිය යුතු පොතකි. මන්ද ලංකාවේ සම හරක් පාලකයන් සහ ඊට ගැලපෙන සම හරක් ජනයාගේ එකම තේරීම රාජ්‍ය දේපළ පෞද්ගලිකරණය කිරීම සියළු රෝග නිවාරණයට ඇති  එකම විසඳුම ලෙස හිතන නිසාය. සටෝකෝ සහ ඔලිවියර් උදාහරණ සහිතව ප්‍රංශය, නෝර්වේ , ඔස්ට්‍රියා, ජර්මනිය වැනි රටවල සිද්ධි අධ්‍යයන (Case Studies ) 835 ක් ආශ්‍රයෙන් පෞද්ගලිකරණය ප්‍රතිකේෂ්ප කරමින් පසුගිය රජයන් විසින් විකුණා දැමූ රාජ්‍ය ව්‍යවසායන් නැවත ජනයා සතු ව්‍යාපාර ලෙස අත්පත් කරගෙන ඒවා ඉතා සාර්ථක ජාත්‍යන්තර ව්‍යාපාර බවට පත්කර ඇති ආකාරය පෙන්වා දෙති.

 

Make our public services great aga.2e16d0ba.fill 380x220

 

මේ වන විට එංගලන්තයේ බොහෝ ජනයා විශේෂයෙන්ම ජලය , විදුලිය , මගී ප්‍රවාහනය  සහ ගෑස් නැවත රජයේ පාලනයට ගත යුතු බව ප්‍රකාශ කරයි. හේතුව , පෞද්ගලික ඒකාධිකාරයන් හා කතිපයාධිකාරයන් ඇති වීම තුල ඉහළ මිල ගනන් සහ හිටි ගමන් සේවාවලින් ඉවත් වීම් වැනි සමාගම් අගතීන් (Corporate Austerity ) හේතුවෙන් ජනයා විශාල ලෙස අපහසුතාවයන්ට පත්වී තිබීම නිසයි. ස්කොට්ලන්තය සහ වේල්සයේ එවැනි පොදු සේවාවන් රාශියක් උදා. Scottish Water , Transport for Wales , Cardiff Airport මාගරට් තැචර්ගේ පෞද්ගලිකරණයට එකඟ නොවී ප්‍රාන්ත රජයන් විසින් අදටත් පාලනය කරන අතර ඒවායේ ජනයා ඉතා ඉහළ පාරිභෝගික සේවාවක් ලබා ගනී. සිංගප්පූරු රජය සතු  ගුවන් සේවය (55% කොටස් අයිතිය ), සින්ග්ටෙල්, ඇතුළු සමාගම් සිය ගණනක් ඉතා ඉහළ ප්‍රතිලාභ ගෙන එනවා පමණක් නොව පසු ගිය වර්ෂ වල රජයේ ලාභාංශ රටේ පුරවැසියන්ට ලබා දෙමින් ආදර්ශයක් පවා ලෝකයට සැපැයීමට සිංගප්පූරු රජය සමත් විය.

 

එහෙත් ලංකාවේ රජය ???


පසුගිය දා ලංකාවේ කැබිනට් මණ්ඩලය අනුමත කොට ඇති පරිදි කැල්ටෙක්ස්, එසෝ, යුනයිටඩ් පෙට්‍රෝලියම්, සයිනොපෙක්, සහ  RM පාක්ස්+ෂෙල් සමාගම් ඉන්ධන ආනයනය , ගබඩා කිරීම සහ අලෙවිය සඳහා ලංකාවේ  වෙළඳපොළට පිවිසීමට නියමිතය. ලංකා තෙල් සංස්ථාව සතු තෙල් බෙදුම් හල් 1200 යෙන් 450 ක් බදු දීමට (150x3) බලාපොරොත්තු වන බවත් තවත් 150ක් ඔවුන්ට යථාකාලයේදී අත් පත් කරගත හැකි බවත් තෙල් ඇමැති කාන්චන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබුණි.

kw 1t

kw 2t

සිරිමා බණ්ඩාරනායක විසින් 1961 අංක 28 පනතින් ජනසතු කල ඛනිජ තෙල් ව්‍යාපාරය, 1962 දී  ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඒකාධිකාරයට යටත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ රටේ ජනයාට සාධාරණ මිලක් යටතේ ඉන්ධන සැපැයීමට යි. එවකට වෙළඳපොළ කතිපයාධිකාරයක් ඇති කරගෙන තිබුණු බහුජාතික සමාගම් වූ ෂෙල් , කැල්ටෙක්ස් සහ එසෝ වැනි සමාගම් වලට ඇයගේ රජය විශාල වන්දි ලබා දී ජනසතු කලේ යහපත් චේතනාවකින් විය හැකියි. එහෙත්, එදා සිට බලයට පැමිණි සෑම රජයක්ම තෙල් සංස්ථාව තම පාක්ෂිකයන්ට රැකියා දෙන ආයතනයක් බවට පත්කර ගැනීම මේ තත්ත්වයට හේතුව යි.

 

DSC 0048 edit scaled

මොහමඩ් උවයිස්


අද දවසේත් තෙල් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන මොහමඩ් උවයිස් ව්දේශ ඇමැති අලි සබ්‍රීගේ සහෝදරයා ය. කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණවර්ධන ය. මේ සියළු පත්වීම් සම්පූර්ණයෙන්ම දේශපාලන කරුණු මත පදනම් ව සිදු වී තිබෙන බව පැහැදිලි ය. මීට පෙර පත්වීම් ද ඒ හා සමානය.

 

තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්වීමට හේතුව මහා පරිමාණ ප්‍රසම්පාදන දූෂණ, රජයේ වෙනත් ආයතන නොගෙවා පැහැර හැර ඇති විශාල ණය, හෙජින් ගනුදෙනුව වැනි දේශපාලකයින්ගේ කොමිස්, වංචා දූෂණ යනාදිය යි. මෙහි අවසාන ප්‍රතිඵලය තෙල් සංස්ථාව වාර්ෂිකව විශාල පාඩුවක් ලබන තත්ත්වයට පත්වීම යි. තෙල් සංස්ථාවේ 2022 පළමු මාස 6 පාඩුව පමණක් රුපියල් බිලියන 639.5 කි.

 

එහෙත් , පසුගිය ජුනි මාසයේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත මිල කරණය වෙනස් කිරීමෙන් පසු (Cost Reflective Pricing ) 2022 ජූලි මාසයේ සිට තෙල් සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්වී ඇත. ඒ අනුව , ජූලි මාසයේ මිලියන 6,314 ක්, අගොස්තු මිලියන 1,775 ක්, සැප්තැම්බර් මිලියන 5,600 ක් ලාභ ලබා ඇත. ඒ අනුව මිල කරණය වෙනස් කල 2022 ජුලි මාසයේ සිට මේ දක්වා සෑම මසකම තෙල් සංස්ථාව ලාභ ලබමින් සිටී.

 

 95801927 img 1384 2

ත්‍රීකුණාමල තෙල් ගබඩා සංකීර්ණය

 

2003 තෙල් සංස්ථා පනත සංශෝධනය කොට ඉන්දියානු IOC සමාගමට තෙල් පිරවුම් හල් 200කට වැඩි ප්‍රමාණයක් සහ ත්‍රීකුණාමල තෙල් ගබඩා සංකීර්ණය අවුරුදු 20කට බදු දීමට කටයුතු කිරීමත් සමග තෙල් සංස්ථාව සතු ඒකාධිකාරය අහිමි වී සැපැයුම් කරුවන් දෙදෙනකු අතර කතිපයාධිකාරයක් ඇති විය. ඉන්දීය රජයේ බහුතර කොටස් හිමි  (52.98%) භාරත් තෙල් සමාගම (Bharath Petroleum) ඩොලර් මිලියන 75 කට චන්ද්‍රිකා කුමාරතුංග රජය විසින් විකුණා දමනවා. එම ගිවිසුම 2023 දෙසැම්බර් අවසාන වීමට නියමිතව තිබූ අතර එම පිරවුම් හල් රජයට අයිතිය ලැබීමට නියමිතව තිබුනත් 2019 පොහොට්ටු රජයේ තෙල් ඇමැති උදය ගම්මන්පිල පනත සංශෝධනය කොට සංස්ථාව තවදුරටත් පෞද්ගලිකරණය කිරීමට අවශ්‍ය සියළු නීතිමය බාධා ඉවත් කොට අවශ්‍ය ගමන් මග සකස් කොට රජයෙන් ඉවත් වී පෞද්ගලිකරණයට විරුද්ධව අද ආඩාපාලි කියමින් සිටීම කනගාටු දායක ය.

 

ටෙලිකොම් ලාභයි : පොඩි ළිඳේ, ලොකු ගෙම්බන්ට

බොහෝ පිරිස් හිතන්නේ  තරඟකාරීත්වයක් ඇති කල විට මිල අඩුවේවි, ගුණාත්මක බව වැඩි වේවි , කාර්යක්ෂමතාවය ඉහළ යාවි,  පාරිභෝගික සතුට (Customer Satisfaction) ලැබේවි කියා ය. ලංකාවේ බස් මගී ප්‍රවාහනය පෞද්ගලිකරණය කිරීමෙන් අපිට ඉහත කී කිසිවක් ලැබී තිබෙනවා ද ?  ලංකාවේ බොහෝ පිරිස් ටෙලිකොම් සේවය පෞද්ගලිකරණය කිරීම හේතුවෙන් පෝලිමේ නොසිට දුරකථනයක් ලබා ගැනීමට ඇති පහසුව හෝ වෙනත් සේවා පුළුල් වීම් ගැන කියති. එය සත්‍යකි. එහෙත් ඔවුන් නොකියා සිටින කරුණ නම් එහි වැඩි කොටස් අයිතිය අදටත් රජය සතු බව. එහෙත් හෙට අනිද්දා ටෙලිකොම් 100% ක් විකුණා දැමීමෙන් පසු සිදුවන්නේ  කුමක්ද කියා බලා සිටිමු.

ලංකාවේ පාසැල් සහ උසස් අධ්‍යාපනය යම් මට්ටමකට පෞද්ගලික අංශය සතුය. එහෙත්, එම ආයතන වල උගන්වන ගුරුවරුන්ගේ ඉගැන්වීමේ සුදුසුකම්, උගන්වන විෂය මාලාව, අයකරන ගාස්තු , ලබා දෙන සහතික වල පිළිගැනීම, ආයතන වල ඇති අවම භෞතික පහසුකම් පිළිබඳ නිසි නියාමනයක්,හෝ තත්ව පරීක්ෂණයක් තිබෙනවා ද ? විදේශ විශ්වවිද්‍යාලට අනුබද්ධ උපාධි පිරිනමන බොහෝ පෞද්ගලික ආයතන සම්බන්ධ වී සිටින විශ්වවිද්‍යාල ඒ රටවල අසාදු ලේඛන ගත කොට තිබෙන බව ලංකාවේ කීයෙන් කී දෙනෙකු දන්නවාද?

ලංකාවේ පාලකයන් මෙන්ම බොහෝ ජනයා හුරුවී සිටින්නේ සෑම විටම ලෝකයේ වෙනත් රටවල් ඉවත් කරනු ලබන ක්‍රම වැළඳ ගැනීමට සහ අත්හදා බැලීමටය. එහි ආදිනව දැනෙන විට බොහෝ ප්‍රමාද වැඩිය. ලංකාවේ වර්තමාන පාලකයන් තිබෙන කුමක් හෝ විකුණා රට ගොඩදාවි කියා බොහෝ ජනයා සිතති. එහෙත් ඔවුන් නොදන්නා කරුණ නම් මේ අහිමි වන්නේ රටේ අනාගතය බව. මේවායේ ආදිනව තේරෙන්නේ තව අවුරුදු දෙක තුනකිනි. එතෙක් බලා සිටිමු ද??


shantha jayaratne(ශාන්ත ජයරත්න)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
28.03.2023



සබැඳි ලිපි :
ඛනිජ තෙල් වෘත්තීය සමිති නාඩගම !


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්