''පීඩිත ජනතාවගේ බලය තමන් වෙත පවරාගන්නේ කෙදිනක හෝ ඔවුන් නැගී සිට සිය විලංගු බිද දමන කල්හීය.''
- හෙන්රි ක්ලේ
මුළු ලෝක ඉතිහාසයම පිරී පවතින්නේ පීඩකයින් සහ පීඩිත පංතිය අතර වූ අරගල සමුදායකිනි. විප්ලව සමුදායකිනි. පීඩක සහ පීඩිත පංතීන් අතර වූ මෙම නිරන්තර ගැටුම මේ ලෝකය පවතිනතාක් කල් පවතී. එම ගැටුම අවසන් වන්නේ මෙම පංති දෙකම අහෝසි වූ කල්හීය. එම ගැටුම් වැඩවසම් යුගයේ සිට මේ දක්වාම විවිධ මුහුණුවරින් පැන නැංගේය.
අප රටේ 1818 කැරැල්ල ඇතිවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීම උදෙසාය.1848 කැරැල්ලද එසේම ය.
ලෝකය තුළද ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය, චීන විප්ලවය, කියුබානු විප්ලවය ආදී වශයෙන් විප්ලව රාශියක්ම පැන නැගී ඇත්තේය.
අපේ රටේ 1971 කැරැල්ල පැන නැංගේ විවිධ හේතූන් මතය. ඒ හේතු අතර සාධාරණ යුක්ති සහගත හේතූන් මෙන්ම අයුක්ති සහගත හේතූන්ද ගැබ්ව තිබේ. 1971 කැරැල්ල මතු වූයේ එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ජ.වි.පෙ. මර්දනය කළා යැයි කියන ජනප්‍රිය හේතුව මතය. එය ජ.වි.පෙ. සිය ආත්මාරක්ෂාවට කළ සටනක් බව ජ.වි.පෙ. ම කියති.
එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවාගන්නා ලද්දේ 1970 මහමැතිවරණයෙනි. බලය ලබාගෙන අවුරුද්දක් යාමට මත්තෙන් 1971 කැරැල්ලට මුහුණ දීමට එම රජයට සිදුවිය. සමගි පෙරමුණු ආණ්ඩුව සැදුම් ලද්දේ ශ්‍රී.ල.නි.ප. ය ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය තුළින් සැදුනු පකෂ 3ක සභාග ආණ්ඩුවකිනි. මෙම පකෂ තුනෙන් දෙකක්ම වාමාංශික මතධාරී පකෂ වෙති. අනික ධනවාදී, සමාජවාදී ප්‍රතිපත්ති මතින් සෑදුනු මැද මාවතේ පක්ෂයකි.
කෙසේ වුවද එදා මෙම ආණ්ඩුවේ මර්දනයට මුහුණදුන් ආකාරය නිවැරදි නැත. එම ආණ්ඩුව පිහිටුවාගන්නා ලද්දේ කැරැල්ලට අවුරුද්දකට පෙරය. එසේ නම් ආණ්ඩුවට තවත් කාලයක් ලබාදීමට ඉඩ දිය යුතුව තිබුණි. අනික් පැත්තෙන් ජ.වි.පෙ. ආණ්ඩුවට මුහුණ දුන්නේ ආයුධ සන්නද්ධවය. එය සීතල බරපතල වරදක් වූයෙන් ආණ්ඩුවට එය මර්දනය කැඳවීමට ඉමහත් පිටුබලයක් වූයේය.
වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දේශපාලන ව්‍යාපාරයක් ලෙස සිය භාවිතාව එකල ක්‍රියාවට නැගුවේ නම් පාලක පංතියට එය මර්දනය කිරීමට සුළුපටු කරුණක් වන්නේද නැත. ආයුධ සන්නද්ධ මර්දනයට ආයුධ සන්නද්ධවම මුහුණ දීමට වඩා එය ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව මුහුණ දුන්නේ නම් ආණ්ඩුවේ වෑයම පරාජය කරන්නට ඉඩ තිබුණි.
අනික තමන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ලෙස ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ හා සම්බන්ධතා පැවැත්වූයේ නම් එම කාරණය නිසා මර්දනය ලෙහෙසි වන්නේද නැත. එසේ නම් අප්‍රමාණ සංඛ්‍යාවක් තරුණ ජීවිත විනාශ වන්නේද නැත. ඕනෑම ආණ්ඩුවක් දණ ගැස්වීමට හැකි බව නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි පෙන්වා දී ඇත. එබැවින් ආරම්භයේදීම ජ.වි.පෙ. අත්කර ගත්තේ තදබල පරාජයකි.
දෙවනවර එනම් 1988 - 89 භීෂණ සාමයේදී පවා දෙවන වතාවටද ජ.වි.පෙ. එම වරදම කළේය. එවකට පැවැති ප්‍රේමදාස ආණ්ඩුවද ජ.වි.පෙ. මර්දනය කළ අතර ඊටද මුහුණ දුන්නේ 1971 දී මෙන්මය.
මෙම අරගල දෙකේදීම ජ.වි.පෙ. පැරණි වම ඉලක්ක කරගෙන තදබල ප්‍රහාරයක් එල්ල කළ අතර ඔවුන් පැරණි වමට චෝදනා කළේ ධනපති ආණ්ඩුවල මුක්කු ගැසීම තදබල වරදක් බව ප්‍රකාශ කරමින්ය.
එහෙත් එම ජ.වි.පෙ. ම පසුකලෙක චන්ද්‍රිකා ආණ්ඩුවට ඇතුළු වී එය පරිවාස ආණ්ඩුවක් ලෙස සලකමින් ඇමතිධූර 3 ක්ද ලබා ගත්තේය. පැරණි අරගල දෙකේදීම 1971 සහ 1988 දී වාමාංශික පක්ෂවලට ජ.වි.පෙ. දෝෂාරෝපණය කළේ ධනපති ආණ්ඩු වලට මුක්කු ගැසීම නිර්ධන පංතියට කළ ද්‍රෝහිකමක් ලෙස කියමිනි.
ඔවුන් පැරණි වමට එල්ල කළ එම චෝදනාවම ඔවුන් චන්ද්‍රිකා ආණ්ඩුවට සම්බන්ධවීමෙන් කළේය. එබැවින් 1971 සහ 1988-89 යන වර්ෂවල නිරපරාදේ තරුණ පරම්පරාවක් විනාශ වූයේය.
කෙසේ වුවද ජ.වි.පෙ. දැන් සිය මුහුණුවර වෙනස්කර ගනිමින් විවිධ පක්ෂ සහ ස්වේච්ඡා සංවිධාන වෘත්තිය සමිති එක්කාසු කරගෙන ජාතික ජන බලවේගය ලෙස මැතිවරණවලට ඉදිරිපත්වීම සදහා ලක ලෑස්ති වෙයි.
ජ.වි.පෙ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට ඇතුළු වී ඇත. එබැවින් පාලක පංතිය ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කිරීමේ අයිතිය උල්ලංඝනය නොකළ යුතුය. එසේම ජ.වි.පෙ. ද ප්‍රචණ්ඩත්වයෙන් වියුක්ත මහජන ව්‍යාපාරයක් ලෙස ඔවුන්ගේ ඉලක්ක කරා ගත යුතුය.
එසේම ගිය වසරේදී සිදුවූ 'ජනඅරගලය' ආරම්භ වූයේද නිර්පාකෂිකවය. එහෙත් එයට විවිධ දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර එකතු වී එහි අරමුණට පටහැනිව කටයුතු කළහ. ඊට ප්‍රචණ්ඩත්වයද ඇදනු ලැබීය. ඇතැමුන් චෝදනා කරනු ලබන්නේ ජ.වි.පෙ. සිය අන්තවාදී මුහුණුවර එම ජන අරගලයට කාන්දු කළ බවයි. එහෙත් එය සෘජුවම නැගිය හැකි චෝදනාවක් වන්නේ එය තුළ බොහෝ ජන කොටස් නියෝජනය වීමෙනි.
71 කැරැල්ල 88/89, දේශප්‍රේමී අරගලය සහ පසුගියදා නිමාවූ අරගලය තුළින් සිදුවූයේ නිර්ධන පංතිය විසින් නිර්ධන පංතිය විනාශ කිරීමක් ලෙසත් ධනපති පංතිය දුර්වල වූ විට එයට ඔක්සිජන් දී ඔවුන් නගා සිටුවීමක් ලෙසය.
කෙසේ වුවද ජ.වි.පෙ. දෙවරක්ම විනාශ වූ පක්ෂයකි. එම පක්ෂය සිය පොදු හතුරා ලෙස සැලකිය යුත්තේ අන්ත දක්ෂිණාංශික ධනේෂ්වරය මිස වාමාංශික මතධාරී පක්ෂ නොවේ. එය එසේම සලකන්නේ නම් ඔවුන් අතීතයේ එවැනි දේශපාලනයක නිරත වන බැව් හැ`ගී යායුතුව ඇත. එසේම ජ.වි.පෙ. මේ වනතෙක් විවෘත ස්වයං විවේචන යෙදී නැත.
''කැරලිකරුවන්ගේ නිදොස් බව යුක්තිය රැඳී ඇත්තේ ඔවුන් ලබන සාර්ථකත්වය තුළය.''
-තෝමස් බී. රීඩ්-
(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී