''අඥාන, නූගත් පංතීන් යනු අනතුරුදායක, නපුරුම පංතීන්ය''  - හෙන්රි වෝඩ් බීචර්



රදළ වැඩවසම්, රාජ යුගයන්හීද, එමෙන්ම ධනේශ්වරය ඔටුණු පළන් යුගයේදීද අඥාන, නූගත් ජනයාගෙන් සැදුම්ලත් පංතීන් සිටියහ. එම පංතීන් පාලක පංතීන්ටත් වඩා දුෂ්ට වන්නේ එම පංතීන් සතු අඥානභාවය නිසාවෙනි. අඥාන බවින් සහ නූගත්කමින් පරි එම පංතීන් අතීශයින්ම අන්තරායදායක පංතීන්වේ.

දේශපාලන පිම්පියෝ මෙන්ම දේශපාලන වහල්ලූන්ද උත්පත්තිය ලබන්නේ එම පංතීන් ගෙනි. අවුරුදු දස දහස් ගණනක් වුවත් නාස් ලණුව දමා සෙක්කුවේ බැඳී  හරකුන්සේ දක්කන්නට හැකියාවක් ඇති මෙම දේශපාලන පිම්පියෝ සහ දේශපාලන වහල්ලූ සැමවිටම තම හාම්පුතුන් උදෙසා තම පංතියේම එවුන්ට පොලූ මුගුරුවලින් තැලීමට සැදී පැහැදී සිටින්නේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිසි වෙලාවට තම හාම්පුතුන් වෙතින් ලැඛෙන අණ පමණි.



මෙම දේශපාලන පිම්පියෝ අතරේ සමහර එවුන් තම ඇඹේණියන් පවා හාම්පුතුන් ලවා සංසර්ගයේ යෙදවීමට තරම් වහල් මානසිකත්වයෙන් හෙබි අඥාන නූගතුන් වන්නේය. ඕනෑම රටක පාලක පංතීන්ට මෙවන් වහලූන් අවශ්‍ය වන්නේය.



බොහෝවිට මෙම දේශපාලන පිම්පියන් සහ දේශපාලන වහලූන් දක්නට හැකිවන්නේ පීඩිත ජනයා අතරේ වුවත් ජන පීඩක පාලක පංතීන්ගේ රාජරාජ මහාමෘත්‍යාදීන්ගේ සපත්තු ලෙවකන වන්දි භට්ටයන්ද සිටින්නාහ. කන්න හිතුනම කබරගොයාද තලගොයා වන මෙවන් දේශපාලන පිම්පියන්ට ආර්ථීක ප්‍රතිලාභ මිස අන් කිසිවක් අවැසි නැත. ඕනෑම මොහොතක මිතුරන් සතුරන් බවට පත්කරවීමටත්, සතුරන් මිතුරන් ලෙස පිළිගැනීමටත් ඔවුනට හැකියාව ඇත්තේය.
ඔවුන් සතු මෙම අවස්ථාවාදයේ උපක්‍රමශීලි ප්‍රකාශය දෙස නෙත් යොමන්න.

 

''දේශපාලනයේදී සදාකාලික හතුරොත් නැත, සදාකාලික මිතුරන්ද නැත''

එය අපේ රටේ දේශපාලඥයින් අතර ප්‍රචලිත කියමනකි. එසේම දේශපාලන වහලූන් නම් සිය වහල් චින්තනයෙන් කිසිදාක මිදෙන්නේම නැති කොටසකි. ඔවුන් සෑම විටම පීිඩිත පන්තියේ පාද සම්භාහනය කරන්නටත් සිඹින්නටත් නොපැකිලෙන්නේ ඒ පීඩිත පන්තියේ පාදවලින් තමන් පාගා දමන විටදී වීම උත්ප්‍රාසයට කරුණකි.



වරප්‍රසාද, තාන්න මාන්න, තනතුරු උදෙසා ඕනෑම අවස්ථාවක  තමන් නියෝජනය කරන්නාවු පාර්ශ්වයට එරෙහිව තම පාර්ශ්වයේ සතුරාගේ පැත්ත ගන්නා දේශපාලන පිමිපියන් ර`ග දක්වන්නේ මනමේ කුමාරයාගේ භූමිකාවය.



යුක්තිය, සාධාරණය මනුෂ්‍යත්වය ආදී ගුණාංග අලූයම ලු කෙලපිඩක්සේ බැහැර කරන්නාවු දේශපාලන පිම්පියන්ගේ එකම අභිලාෂය ගැටගැසී ඇත්තේ අවස්ථාවාදය මත්තේය.

දේශපාලන පිම්පියන්ගේ උත්පත්තිය සිද්ධවන්නේ අපේ රටේ නම් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායය මේ රටට හඳුන්වාදීමත් සමගය. රාජ යුගයේ දී ද දේශපාලන පිම්පියෝ පිළිබඳව අසන්නට ලැඛෙනෙත් නූතන දේශපාලන පිම්පියෝ රාජ යුගයේ දේශපාලන පිම්පියන්ට වඩා සහමුලින්ම වෙනස්ය. මෑත යුගයේ බිහිවු දේශපාලන පිම්පියෝ නූතනවාදි මුහුණුවරකින් පෙනී සිටිති.



පොදුවේ ගත්කල ඔවුන් සතු ප්‍රධාන ලක්ෂණය වන්නේ 'පාවාදීම' ය. ඒ 'පාවාදීම'නියෝජනය වන්නේ ද්‍රෝහී වීමේ ලක්ෂණය හා බද්ධවීමෙනි. බොහෝ විට දේශපාලන නායකයින්, රාජ්‍ය තාන්ත්‍රකයින් ප්‍රවේසම් විය යුත්තේ මොවුන්ගෙනි.



බොහෝවිට දේශපාලන පිම්පයන් ඊර්ෂ්‍යාකාරයන්ය. දේශපාලන වහලූන් තුළ මෙම ඊර්ෂ්‍යාකාරි බව දකින්නට නැත්තේ ඔවුන්ට වහල් මානසිකත්වයක් තිබීම ඔස්සේ කිසිවක් තමන් සතු කරගන්නට උවමනාවක් නැති හෙයිනි. ඇතැම් විට ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක දේශපාලනඥයින් අතරේ බහුලව පවත්නා මානසික රෝගී බව ලක්ෂණය සමාජවාදී නායකයින් තුළින් මතුව ඇත්තේ වෙනත් විදිහකටය. එය නම් කුහකත්වයයි.

ශ්‍රේෂ්ඨ චින්තකයකු වු 'බර්ට්‍රන්ඩ් රසල්' ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නාවු මෙම කියමන දෙස බලන්න.

 

''ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තිවාරම ඊර්ෂ්‍යාවයි.''

ප්‍රජාතන්ත්‍රවාදි නායකයින් යැයි කියා ගන්නා බොහෝ දේශපාලනඥයින් තුළ පවත්නා ඊර්ෂ්‍යාව සාමාන්‍ය ජනතාව තුළ පවත්නා පොදු ඊර්ෂ්‍යාව නොවේ. එය දරුණුය. උග්‍ර විෂ සහිතය. තම ප්‍රතිවාදියා නසන්නට තරම් එය උග්‍ර විෂ සහිතය. ඊට ප්‍රතිපක‍ෂව වාමංශිකයින් යනු කුහකත්වයේම ප්‍රතිමුර්තියකි.

අපේ රටේ නම් බොහෝ විට දේශපාලනිකව පිම්පියන්ගේ වර්ධනය සිද්ධ වූයේ විවෘතක ආර්ථීකය පැළපදියම්වීමත් සමඟය. ධනය, වස්තුසම්පත් අරබයා නිමක් නැති ආශාවන්ගේ වර්ධනය උච්ච වූයේ විවෘත ආර්ථීකයන් පසුවය. ඒ තරමටම දේශපාලන පිම්පියන්ගේ වර්ධනයද උච්ච විය.



දේශපාලනයන් සෑමවිටම ශාන්තුවරයන් අපේක්ෂා කළ නොහැකි වුවත් පරමාදර්ශි දේශපාලනඥයින් ව`දවීම සිද්ධ වු නිසාම දේශපාලන පිම්පියන්ගේ පැටවු ගැසීමද වර්ධනය වුයේය.



දේශපාලන වහලූන් තමන් ප්‍රියකරන්නාවු නායකයින් රටකට කුමන වින්නැහියක් කළද ඔවුන් මත්තේම නැහෙන ජාතියකි. දේශපාලන වහලූන්ට දේශපාලන බලයක් අවශ්‍ය නැත. වහල් චින්තනයෙන් නිදි ගැන්වී සිටින දේශපාලන වහලූන් වහල් මානසිකත්වයේ ආශ්වාදය විඳිති. දේශපාලන පිම්පියන් බලයට කෑදරය. අසීමිත වස්තු සම්පත්වලට කෑදරය. දේශපාලනය තුළ ඇත්තේ දේශපාලන පිම්පියෝ අතර අරගලයක් මිස දේශපාලන පිම්පියෝ සහ දේශාපලන වහලූන් අතර අරගලයක් නොවේ.



කෙසේ වුවද දේශපාලන වහලූන් සිය වහල් චින්තනයෙන් මිදෙන්නේ යම් දවසකද, එදිනට ඔවුන් දේශපාලන පිමිපියන්ට එරෙහිව නැගී සිටිනු ඇත. එහිදී දේශපාලන පිම්පියෝ අතර නොහොඳ නෝක්කාඩු, විශේෂයෙන්ම ඊර්ෂ්‍යාව නැති වී ඔවුන් එක් එක් වී දේශපාලන වහලූන්ට එරෙහිව නැගී සිටිනු ඇත.

 


මේ සියල්ලටම පදනම වී ඇත්තේ මිනිසා පෙළන්නාවු දරිද්‍රතාව සහ නුගත්කමය.

දරිද්‍රතාව සම්බන්ධයේ 'සොක්‍රටීස්'පවසන මෙම ප්‍රකාශය දෙස බලන්න.
 
 
''මම කතා කරන සත්‍යයට ප්‍රමාණවත් වු සාක්ෂියක් මට ඇත. එය නම් මගේ දරිද්‍රතාවයයි.'' - සොක්‍රටීස්
එසේම නූගත්කම ගැන 'ජෝර්ජ් ඕවල්' කියනදේත් බලන්න.
 
 
''යුද්ධය යනු සාමයයි, නිදහස යනු වහල්කමයි, නූගත්කම යනු ශක්තියයි.''
 

mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image