වසර 70ක් රෝහල්ගතව සිටින- කුරුවිට නිහාල් විජේතුංග

මේ අරුම පුදුම රෝහලේ ජ්‍යෙෂ්ඨතම රෝගියා එහි ගත කර ඇති කාලය වසර 70කි! ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනියා ගත කර ඇති කාලය වසර 56කි. තුන්වැනියා වසර 48කි. නිතර බැණුම් අසන ලංකාවේ සෞඛ්‍ය සේවාවේ

මානුෂීය පැතිකඩක් මේ ලිපියෙන් මුල් වරට විදාරණය වෙයි.

            
Hadala 2023                                     හැඳල ලාදුරු රෝහල

 ඉස්පිරිතාල තිබෙන්නේ රෝගීන්ගේ ලෙඩ සනීප කර ගෙදර යවන්නට ය. සුව කළ නොහැකි රෝගියකු වෙතොත් ඥාතීන්ට කාරුණිකව කරුණු පහදා දී ඒත් කරන්නේ ගෙදර යැවීම ය. එසේ වුවත් වසර 60, 70 ගණනක් තිස්සේ රෝගීන් ගෙදර නොයවා රඳවා ගෙන රැක බලා ගන්නා අරුම පුදුම රෝහලක් තිබේ.  දඬුවම් නියම නොකළ රැඳවියන්ට අවුරුදු විස්ස විසිපහ තරම් කල් නවාතැන් සැපයීම සම්බන්ධයෙන් ලංකාවේ බන්ධනාගාර ලෝක ප්‍රසිද්ධ වුවත් එවැනි රෝහල් ගැන අසන්නට ලැබෙන්නේ නැත. මෙම අපූරු රෝහල වන්නේ හැඳල ලාදුරු රෝහල ය.

හැඳල ලාදුරු රෝහල


"මගේ ගම රොසැල්ල. අම්මා තාත්තා නැති වුණේ පොඩි කාලේදීමයි. මට අයියා විතරයි හිටියේ. ඉස්සෙල්ලාම මගේ කකුලේ ඇඟිලි කරු තුවාල වුණා. කොයි තරම් බෙහෙත් කළත් සනීප වුණේ නැහැ. ඊට පස්සෙ තමයි මෙහාට එන්න කිව්වේ. මම ඉපදුණේ 1951 පෙබරවාරි 14 වැනිදා. මෙහාට ආවේ 1966 දී. මම මෙහෙ එන කාලේ ලාදුරුවලට නිට්ටාවට ප්‍රතිකාර තිබුණේ නැහැ. පාලනය වෙන්න බේත් දෙනවා විතරයි. ඉතින් මගේ කකුල් දෙකේම තුවාල ඔඩු දුවලා 70 ගණන්වල කකුල් දෙකම කැපුවා. දැන් මම රෝද පුටුවෙ ඉන්නේ." යනුවෙන් පී. ලෙච්චමන් පැවසුවේ හිස් බැල්මක් හෙළමිනි. ඒ තුළ කැටිව තිබුණේ අපේක්ෂා භංගත්වයම මිස අන් කවරක්දැයි මට වැටහුණේ නැත. දැන් 72 වැනි වියේ පසුවන ලෙච්චමන්ගේ ජීවිතයෙන් වසර 56ක්ම ගෙවී ගියේ හැඳල ලාදුරු රෝහල් පරිශ්‍රය තුළ බව කිවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත.


2. පී. ලෙච්චමන්                         වසර 56ක් රෝහල්ගතව සිටින - පී. ලෙච්චමන්


එහෙත් වැඩිම කාලයක් රෝහල්ගතව සිටීමේ වාර්තාව හිමි වන්නේ පී. ලේච්චමන්ට නම් නොවේ.

කුරුවිට නිහාල් විජේතුංග හැඳල ලාදුරු රෝහලට පැමිණ මෙම වසරට වර්ෂ 70ක් සම්පූර්ණ වන බව ඔහු ගණනය කර පෙන්වූයේ මා විමතියට පත් කරමිනි. 1938 සැප්තැම්බර් 15 වැනිදා උපන් නිහාල් හැඳල ලාදුරු රෝහලට ඇතුළත් වී තිබෙන්නේ 1953 අප්‍රේල් 04 වැනිදාය. ඒ අනුව ඔහු ලාදුරු රෝහලට පැමිණ වසර 70ක් සම්පූර්ණ වී තිබේ.


ප්‍රේමාවතීගේ කතාව

3. යූ.ප් රේමාවතී                  වසර 48ක් රෝහල්ගතව සිටින - යූ. ප්‍රේමාවතී


"මාව මෙහාට එක්කන් ආවේ ගෙදර කුරහන් අඹර අඹර ඉන්දැද්දි" යනුවෙන් සඳහන් කළේ, යූ. ප්‍රේමාවතී ය. ඇය අනුරාධපුර එප්පාවල කටියාව ග්‍රාමයේ පදිංචිකාරිනියකි.

 "දැන් මගේ වයස අවුරුදු 73යි. මාව මෙහාට ගෙනාවේ මගේ වයස අවුරුදු 25දී. එතකොට මගේ ලොකු දුවට අවුරුදු 2 1/2යි. පොඩි දුව මුණින් අතට පෙරළෙනවා. දවසක් මම කුරහන් අඹර අඹරා ඉන්දැද්දි මහත්තුරු වගයක් ගෙදර ආවා. මගේ ඇඟ ඇතුළෙ ලෙඩක් තියෙනවා කියලා මාස 3ක් විතර නැවතිලා ප්‍රතිකාර අරං ආපහු එමු කියලා ඒ අය කිව්වා. මම බැහැම කිව්වා. ඒ පාර පොඩි දුවව හදාගන්න ඉල්ලුවා. ඒත් මම බැහැ කිව්වා. මට දෙවෙනි දුව ලැබෙන්න ඉන්න කාලේ ඒ අය මගේ ලෙඩේ අඳුනාගෙන තියෙනවා. ඒ බව මට කිව්වෙ නැහැ. මාව ගෙනියන්න බැරිම තැන ඒ මහත්වරු කිව්වා එහෙනම් පොඩි දුවවත් අරගෙන යමු කියලා. ඒ පාර මම කැමති වුණා." යනුවෙන් ප්‍රේමාවතී විස්තර කළාය.

එහෙත් එය කූට උපක්‍රමයක් බව ඈ දැනගත්තේ ඊට පසුදිනම ප්‍රේමාවතීගේ මව කුඩා දැරිය රැගෙන යෑමට හැඳල ලාදුරු රෝහලට පැමිණි විටදීය. ප්‍රේමාවතී හැඳල ලාදුරු රෝහල තුළ කොටු වූවාය. ප්‍රේමාවතීගේ මව සහ නැඟණිය ඇගේ දියණියන් දෙදෙනා කවා පොවා ඇති දැඩි කළහ. දියණියන් දෙදෙනාට උගන්වා උස්මහත් කර විවාහ කර දුන්හ. ඒ අතරවාරයේදී ප්‍රේමාවතීගේ සැමියා වෙනත් විවාහයකට ඇතුළත් විය.

එය ඇසූ ප්‍රේමාවතීට ප්‍රේමයේ වියෝව බිහිසුණු ලෙස දැනෙන්නට ඇත. එහෙත් නිහාල් සහ ලෙච්චමන්ට ප්‍රේම වියෝව තබා ප්‍රේමණීය බැඳීමකටවත් ඉඩක් නොලැබුණේ ඔවුන් දෙදෙනාම අවු:14, අවු:15 වැනි ගැටවර වියේදීම හැඳල ලාදුරු රෝහලට පැමිණි නිසාය.

"මම පුංචි කාලේදීම තාත්තා නැතිවෙලා. මට අම්මා විතරයි හිටියේ. අම්මා කුලී වැඩ කරලා තමයි මාව ජීවත් කළේ. පොත්පත් ගන්න සල්ලි නැති නිසා 4 පංතියෙන් මගේ ඉස්කෝල ගමන නැවතුණා. මාව මෙහාට ගෙනත් ටික කාලෙකින් අම්මාත් නැති වුණා. ඉස්සර නම් ඉඳහිටලා නෑදෑයෙක් ඇවිත් බලලා ගියා. ඒත් එයාලාත් දුප්පත් අය. ඒ නිසා දුර ගෙවාගෙන එන්න අමාරුයි." නිහාල් විජේතුංග එවදන් මුවින් පිට කළේ දෙනෙතින් වැටුණු කඳුළු බිඳුවක් අත්ලෙන් පිස දමමිනි.

1. නිහාල් විජේතුංග                  නිහාල් විජේතුංග - ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා


දැන් 84 වැනි වියේ පසුවන නිහාල් විජේතුංගගේ ජීවිතයෙන් වසර 70ක් හැඳල ලාදුරු රෝහල තුළ ගෙවුණ ද ඔහුට යම් අස්වැසිල්ලක් ලැබුණේ කාලයක් ගත වූ පසුව ඔහුට රෝහලෙන් එපිට ලෝකයකට ඉඳහිට හෝ පිය නැඟීමට අවසර ලැබුණු නිසාය. ඉඩ ලැබුණු අවසරයෙන් වතාවක් දෙවතාවක් ඥාති නිවෙස්වලට පියමන් කළද එකී ගමනට නැවතීමේ තිත තැබූ නිහාල්, එම කාලය චිත්‍රපට නැරඹීමට වෙන් කළේය. මැට්නි ෂෝ නැරඹීමට පුරුදු වූ ඔහුගේ ප්‍රියතම නළුවන් වන්නේ ගාමිණි ෆොන්සේකා සහ අසෝක පොන්නම්පෙරුම ය. ඔහු කැමතිම චිත්‍රපට වන්නේ "අශෝකා" සහ "සැඩසුළං" ය. ටෙලිනාට්‍ය ගොන්න අතරින් ඔහුගේ ප්‍රියතම ටෙලි නාට්‍ය "දූ දරුවෝ" බව සඳහන් කළේ වර්තමානයේ එවැනි ටෙලි නාට්‍ය නිර්මාණය නොවීම පිළිබඳව මැසිවිලි නඟමිනි.


මාරාන්තික මාන්තිව් ගමන


මාන්තිව් දූපත                                 මාන්තිව් දූපත


"මම රූපවාහිනි යන්ත්‍රයක් ඉස්සෙල්ලාම දැක්කේ මාන්තිව් රෝහලේදී. ඒ කාලේ අපි දිමුතු මුතු ටෙලි නාට්‍ය ආසාවෙන් බැලුවා." යනුවෙන් ප්‍රේමාවතී පවසන විට මාන්තිව් රෝහලට ගිය ආකාරය ගැන ඇගෙන් නොඅසා සිටින්නට නොහැකි විය.

"මාව හැඳල ඉස්පිරිතාලේට ගෙනාපු කාලේ තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දිනුවේ. ඊට ටික කාලෙකට පස්සේ 71 කැරැල්ලක් ඇති වුණා. අපි ඒ සේරම විස්තර දැනගත්තේ ඉස්පිරිතාලේ දාලා තිබුණ රේඩියෝ එකෙන්. හැබැයි අපි ගමේදි ආශාවෙන් අහපු මුවන්පැලැස්ස නාට්‍ය නම් මෙහේ ආවාට පස්සේ අහන්න ලැබුණේ නැහැ. රටේ තොටේ විස්තර තමයි අපි ගුවන්විදුලියෙන් පත්තරවලින් දැනගත්තේ. ඊට ටික කාලයකට පස්සේ මට සනීප වුණ නිසා මාව ගෙදර යැව්වා. මම ගෙදර යනකොට පාරවල් ගොඩක් වෙනස්. ප්‍රයිවට් බස් පාරේ දුවනවා. කඩ සාප්පුවල බඩු පිරිලා. ගාමන්ට් පටන් අරං. රට සෑහෙන්න වෙනස් වෙලා තිබුණා. මම ගෙදර ගිහින් ටික කාලයක් ඉන්දැද්දි බේත් බොන එක අතපසු වුණා. ඊටපස්සේ මගේ මුහුණෙ ගෙඩි ගෙඩි ආවා. ඒපාර මම හොඳටම භයවෙලා ආපහු හැඳල ඉස්පිරිතාලේට ආවා. එතනදි දැනුම් දුන්නා හැඳලට ලෙඩ්ඩු භාර ගන්නේ නැහැ, මඩකළපුවේ මාන්තිව් දූපතේ තියෙන ලාදුරු රෝහලට යන්න කියලා. ඊටපස්සේ මම මාන්තිව් දූපතේ රෝහලට ගියා." යනුවෙන් ප්‍රේමාවතී විස්තර කළාය.


ගෙත්තම් කලාකාරිය

4. පී. ජී. ගුණවතී                                පී.ජී. ගුණවතී

පී.ජී. ගුණවතී ද මාන්තිව් රෝහලේ සිට ප්‍රේමාවතී සමග නැවතත් හැඳල ලාදුරු රෝහලට පැමිණි අයෙකි. ඔවුන් දෙදෙනාම 2001 වර්ෂයේ ඔවුන්ගේ වියදමෙන්ම හැඳල රෝහලට මාරු කරවාගෙන පැමිණෙන්නේ ෂෙල් වෙඩි පහරකට ලක් වී රෝගියකු තුවාලවීමත් සමග ඇතිවූ මරණ බිය නිසාය. 75 හැවිරිදි ගුණවතීගේ දැන් නිවහන වී තිබෙන්නේ හැඳල ලාදුරු රෝහලය. එක් පාදයක කොටසක් ඉවත් කර ඇති ගුණවතී ඇඳටම වී සිටින්නේ පාදයේ තුවාලය නිසා පමණක්  නොවේ. ඇය වැටී උකුළු ඇටයක් බිඳීමෙන් පසුව සැත්කමක් කර ඇති නිසාය. ඇඳ සහ රෝද පුටුව මත මාරුවෙන් මාරුවට කල්ගත කළත් ගුණවති කාලය අපතේ යැවීමට සූදානම් නැත. ඈ මා සමග කතාබහේ යෙදුණේ ද වූල් ගෙතුමක නිරත වී සිටියදීය. ඇගේ දෑතින් හැඩවන ගෙතුම් රුවන්මැලි සෑය, කැලණි විහාරය වැනි සිද්ධස්ථානවලට පූජා කිරීම සඳහා යවනු ලබන්නේ මතු ආත්මයේ මෙවැනි ඉරණමක් අත් නොවී සසර මග කෙටිකර ගැනීමේ අරමුණෙනි.  

මාන්තිව් ලාදුරු රෝහල                                 මාන්තිව් රෝහල

"මගේ ගම දොඩන්දූව. මම ඉපදෙනකොටම අම්මා මැරිලා. අක්කා, අයියා සහ මම හැදුණේ නැන්දා ළඟ. තාත්තා නැහැ. මට කකුලේ තුවාල ඇවිත් ලෙඩේ මුල් ටික ටික මතු වුණා. මුලින්ම සිංහල බේත් කළා. ඒත් හොඳ වුණේ නැහැ. ඊටපස්සේ 1968දී මාව හැඳලට එක්කන් ආවා. මෙතන අවුරුදු 2ක් ප්‍රතිකාර කරලා හොඳ වුණා. සනීප වුණාට පස්සේ මම දොඩන්දූවෙ ගමට ගියේ නැහැ. කුරුණෑගල ඥාතියෙකු ළඟට ගියා. එහෙදි මම විවාහ වෙලා පුතෙක් ලැබුණා. ඒ කාලේ මට නැවතත් ලෙඩේ මතු වුණා. 1979 වර්ෂයේ ඉඳලා මම වරින් වර මාන්තිව් රෝහලේ නැවතිලා බෙහෙත් ගත්තා. මට බෙහෙත් ගන්න රෝහලේ නවතින්න වෙන නිසා පුතාව හදාගන්න දුන්නා. එතකොට පුතාගේ වයස අවු: 6යි. 88දි විතර මගේ සැමියා ප්‍රෙෂර් වැඩිවෙලා මැරුණා. දැන් මට කාත් කවුරුවත් නැහැ." යනුවෙන් ගුණවතී ඇගේ කතාව මා ඉදිරියේ දිග හැරියාය.

සැමියා අහිමි වූ පසුව ප්‍රතිකාර සඳහා මාන්තිව් රෝහලට ගිය අවස්ථාවේ සිට මේ දක්වා ඈ රෝහල්ගතව සිටින්නේ ඇගේ උදව්වටවත් කිසිම කෙනෙකු නොමැති නිසාය. නමුත් හැඳල ලාදුරු රෝහලේ උපස්ථායිකාවන් ගුණවතීව රෝද පුටුවට ගෙන එහා මෙහා ගෙන යමින් වුවමනා එපාකම් සපුරාලන්නේ ලේ ඥාතින් තරමටම ළෙන්ගතු බැඳීමකිනි.

හැඳල ලාදුරු රෝහලේ වෙද, හෙද ඇතුළු කාර්යය මණ්ඩලයේ දයාව සහ  කරුණාව  නොවන්නට ගුණවතී, ප්‍රේමාවතී, නිහාල් සහ ලෙච්චමන්ට මේසා කාලයක් මෙම නිවහනේ ගත කිරීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීරගේ අධීක්ෂණය යටතේ පාලනය කෙරෙන හැඳල ලාදුරු රෝහලේ මෙම මානුෂීය සත්කාරය, ලංකාවේ සෞඛ්‍ය සේවාව පිළිබඳව රටට කීර්තියක් අත් කර දෙන අපූරු නිදර්ශනයකි.  


යන්න බැරි හේතු


ඇත්ත වශයෙන්ම ගුණවතී, ප්‍රේමාවතී, නිහාල් සහ ලෙච්චමන් දීර්ඝ කාලයක් මුළුල්ලේ ලාදුරු රෝහලේ රැඳී සිටින්නේ කාත් කවුරුවත් නැතිකමට වඩා ඔවුන්ගේ විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර ලැබිය යුතු නිසාය. ඔවුන්ගේ පාදවල තුවාලවලට බෙහෙත් දැමිය යුතුය. ගුණවතිගේ උකුළු ඇටයේ සැත්කම ගැන පසු විපරම් කළ යුතුය. ලෙච්චමන් පිළිකා රෝගයට ගොදුරු වී කාලයක් ප්‍රතිකාර ලබාගෙන සිටින බැවින් ඒ පිළිබඳව සොයා බැලිය යුතුය. නිහාල්ගේ ඇස් පෙනීම දුර්වල බැවින් කාච බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වී ඇති නිසා ඒ පිළිබඳව පසු විපරම් කළ යුතුය. ඔවුහු ලාදුරු රෝගයෙන් සුවපත් වී සිටියත් අතුරු ආබාධවලට තවමත් ප්‍රතිකාර ලබා ගනිති.      

"මගේ ඇස් පෙනීම අඩු වුණත් මම 2020 දිත් ඡන්දෙ දැම්මා. මම 1960 ඉඳලා සෑම ඡන්දයකදීම නොවරදවාම ඡන්දය පාවිච්චි කරනවා. රටේ දේශපාලන පෙරළි ගැන බලද්දි මම කැමතිම 1956 ඇති වුණු බණ්ඩාරනායක පෙරළියට. 1959 බණ්ඩාරනායක මහත්තයාව ඝාතනය කරන විට මම ඌරගහ සෞඛ්‍ය ජනපදයේ රෙදි වියන්න ඉගෙනගන්නවා. ඌරගහ ජනපදයේ ඉඳලා මම කට්ටිය එක්ක බණ්ඩාරනායක මහත්තයාගේ මළගෙදරටත්  ගියා. ඒ ඝාතනය මට ලොකු කම්පාවක් ඇති කළා. ඒ වගේම තමයි ප්‍රේමදාස මහත්තයා බෝම්බයට අහුවෙලා මිය ගියා කියලා දැනගත්තාමත් වේදනාවක් දැනුණා. මොකද ප්‍රේමදාස මහත්තයත්  දුප්පත් මිනිස්සුන්ට වැඩ කරපු කෙනෙක් නිසා." යනුවෙන් නිහාල් පැවසුවේය.

1953 සිට අද දක්වාම ලාදුරු රෝහලේ දිවි ගෙවන නිහාල් විජේතුංග ඉඳහිට හෝ භුක්ති විඳි නිදහස පී. ලෙච්චමන්ට නොලැබුණේ ඔහුගේ දෙපා අහිමි වීම නිසා විය යුතුය. ඔහුගේ ලෝකය හැඳල ලාදුරු රෝහලේ කොටු පවුරට සීමා වන විට වීර්සාරා චිත්‍රපටයේ වරදකරුවකු නොවී වසර 22ක් මුළුල්ලේ සිරගතව සිටි වීර් ප්‍රතාප් සිං ගලවා ගැනීමට සාමියා සිද්ධික් නීතිඥවරිය පැමිණියා සේ කිසිවකු ඔහු සොයා පැමිණියේ නැත. එබැවින් ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ ආර්ථික, දේශපාලනික, සමාජීය හා සංස්කෘතික විපර්යාස දැක බලා ගැනීමට හැඳල ලාදුරු රෝහලේ ගේට්ටුව අසලට පැමිණීමට ලෙච්චමන්ට සිදු විය.  

 "කවුරු හරි මාව එක්කං ඇවිත් තිබ්බාම මම පාර බලාගෙන ඉන්නවා. ඒ අතරේදී මාව විටින් විට රාගම ඉස්පිරිතාලේට, මහරගම පිළිකා රෝහලට එක්කන් ගියා. අවුරුද්දකට සැරයක් අපිව චාරිකාවක ගෙනියනවා. ඒ යන වෙලාවලදීත් මම රටේතොටේ වෙනස්වීම් දැක්කා. ඒ හැරුණාම ගුවන්විදුලිය, රූපවාහිනිය සහ පත්තර මාර්ගයෙන් තමයි විස්තර දැනගන්නේ.." යනුවෙන් පී. ලෙච්චමන් සඳහන් කළේය.

අසිරිමත් හමුවීම!


ලෙච්චමන්ව බැලීමට ඔහුගේ වැඩිමහල් සොහොයුරා ඉඳහිට පැමිණියද දැන් ඔහුගේ ගමන නැවතී තිබෙන්නේ ඔහු මිය ගොස් ඇති නිසා යැයි ලෙච්චමන්ගේ අදහස ය. ලෙච්චමන් සොයා කිසිවකු නොපැමිණිය ද වීර් ප්‍රතාප් සිං හඳුනා ගැනීමට සාරා පැමිණියා සේ ගුණවතී සොයාගෙන නම් අමුත්තෙක් පැමිණියේය. ඒ, වයස අවුරුදු 6දී දරුකමට හදාගැනීමට දුන් ඇගේ එකම පුත්‍රයාය. එය ගුණවතී  සිහිනයකින්වත් සිතූ දෙයක් නොවේ.

5. ගුණවතී ගෙත්තමක යෙදෙමින්                        ගුණවතී, ගෙත්තමක යෙදෙමින්

  "මම හිතුවෙ නැහැ මගේ පුතා මාව හොයාගෙන එයි කියලා. මම කවදාවත් හිතුවෙ නැහැ මට මගේ දරුවාව ආයෙ දකින්න ලැබෙයි කියලා." යනුවෙන් ගුණවතී පැවසුවේ එබැවිනි. එහෙත් ඇගේ පුත්‍රයාට ඇයව කැටුව ගොස් රැක බලා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැත. ඇගේ පුත්‍රයා දෛනික වැටුපක් ලබන තාවකාලික රැකියාවක නිරත වන අයෙකි. දියණියන් දෙදෙනෙකු සහ සහෝදරියක් සිටින ප්‍රේමාවතීට නම් නිවසට යෑමේ කිසිදු කල්පනාවක් නැත. ඇගේ අදහස ඇය ඔවුන්ට කරදරයක් නොවිය යුතු බවය. සිය දේපළ පවා දරුවන්ට ලියා දුන් ප්‍රේමාවතී අවුරුදු 3කින්වත් ගමට නොගියේ හැඳල ලාදුරු රෝහල ඇගේ නිවහන බවට පත් වී ඇති නිසාය. 

"ඉස්සර නම් මාව බලන්න මගේ මල්ලිලා ආවා. ඒත් වකුගඩු රෝගයෙන් එයාලා නැති වුණා. මගේ දරුවන් මෙහෙ එන්න දන්නේ නැහැ. මගේ ළමයින්ගේ වැඩකටයුතු කරපු නංගිට පිළිකාවක්. ඔය වගේ ප්‍රශ්න මැද්දෙ එයාලා ජීවත් වෙද්දි මම එයාලාට බරක් වෙන්න හොඳ නැහැ. අනික කකුලේ තුවාල නිසා මට ගෙදර ගිහින් ඉන්න අමාරුයි." යන්න ප්‍රේමාවතීගේ අදහස ය.


මේ ලිපිය නිසා බය වෙන්න එපා!


හැඳල ලාදුරු රෝහලේ කාර්ය භාර නිලධාරී වෛද්‍ය සුජිත් පුළුකුට්ටිආරච්චි පැවසුවේ වර්තමානයේ ලාදුරු රෝගය නිට්ටාවට සුව කළ හැකි ඖෂධ තිබුණත්, ඖෂධ නොමැති කාලයේ ලාදුරු රෝගය වැළඳුණු ප්‍රේමාවතී, ගුණවතී, ලෙච්චමන් සහ නිහාල් වැනි අය පාදවල තුවාල, අතපය කොරවීම යනාදී සංකූලතාවලට ගොදුරු වූවන් බව ය. ඔවුන්ට සමාජයට ගොස් සාමාන්‍ය චර්යා රටාවකට අනුගත වීමට නොහැකි වී තිබෙන්නේ එබැවිනි.


6. ලාදුරු මර්දන ව් යාපාරයේ අධ් යක්ෂ වෛද් ය ප් රසාද් රණවිර      ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර


 “ මේ ලිපියෙන් කියන්නේ ලාදුරු රෝගියෙක් අද කාලයේ හමු වුණොත් සිද්ධ වෙන දෙයක් කියලා වැරදි වැටහීමක් ගන්න එපා. අද කාලයේ ලාදුරු රෝගියෙක් හමු වුණොත් ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ලාදුරු කියන්නේ මුල් අවස්ථාවේදීම හඳුනා ගත්තොත් ප්‍රතිකාර පටන්ගෙන නිට්ටාවටම සුව කරන්න පුළුවන් ලෙඩක්. දැන් ලාදුරු මර්දන ව්‍යාපාරය දැවැන්ත වැඩ පිළිවෙළක් යොදාගෙන තියෙන්නේ ලාදුරු ගැන අතීතයේ සිට පවතින දුර්මත බිඳ හෙළන්නට. දැන් බෙහෙත් පටන් ගෙන සතියක් යනවිට අනෙක් අයට බෝවෙන්නේ නැහැ. අද ලාදුරු කතාවට වඩා එදා තිබුණේ වෙනස්ම තත්ත්වයක්.” යනුවෙන් ලාදුරු මර්දන ව්‍යාපාරයේ  අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර පැහැදිලි කළේ කියවන අයගේ අනියත බිය දුරු කිරීමට ය.

ප්‍රේමාවතී සෑම උදෑසනකම මල් කඩා පූජා කර, බුදුන් වැඳ ප්‍රාර්ථනා කරන්නේ සසර දුකින් එතෙර වීමට ය. දවසකට බණ 3ක් ගුවන්විදුලියෙන් සවන් දීම නිහාල්ගේ සිරිත ය. ඒ සඳහා තෑගි ලැබුණු ගුවන්විදුලි යන්ත්‍රයක් ඔහු සතුව ඇත.

"මට විහින් මැරෙන්න බැහැ. ඒක ලොකු පාපකර්මයක්. මට කරපු පව් ගෙවා ගන්නවා මිසක් තවත් පව් රැස් කරන්න වුවමනාවක් නැහැ. ඒ නිසා මැරෙන තුරු ඔහේ ජීවත් වෙනවා." යනුවෙන් බිඳුණු හඬින් නිහාල් පැවසූ විට මෙම කතාබහ හමාර කිරීමට මා තීරණය කළේ ඔවුන් සතු ජීවිතය දරා ගැනීමේ ශක්තිය පිළිබඳව දහස් වාරයක් සිතමිනි. සුළු සිදුවීම් මුල් කර ගෙනත් සිය දිවි හානි කරගැනීමෙන් කප් ගසා සිටින අපේ රටේ, ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන නිහාල් වැනි අය අපේ ජීවිවලට ආදර්ශයක් නොවන්නේද?



Harsha 2023

 

 

 

 


(හර්ෂා සුගතදාස)     

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්