මා එකල වැඩ කළ විදේශීය ප්‍රදානක හෙවත් ඩෝනර් ඒජන්සියක නියෝජිතයෙකු ලෙස සීදුවේ ලියනගේමුල්ලේ පවත්වාගෙන ගිය එක්තරා නීති ආධාරක මධ්‍යස්ථානයකට ගියේ යම් විමර්ශනයක් කිරීමට ය.
එහි කොටසක් වශයෙන් මට ඒ ආයතනයේ සියලු ලිපි ගොනු පිරික්සීමට අවස්ථාව ලැබිණි. පරණ ලිපිගොනු පෙරළීම මගේ විනෝදාංශයකි. ඒ, වැඩේට අනදාල වුවත් ඉතාමත් ම වැදගත් රසවත් අතුරු තොරතුරු හමු වීම නිසා ය.
ලිපිගොනුවක් මා එසේ පෙරළමින් සිටියදී, එහි තිබූ ඇක්සයිස් පොතකින් ඉරා යමක් ලියන ලද කොළයක් වැටී සුළඟට විසි විණ. එය අතින් ලියන ලද ලිපියකි. එහි ලියා තිබුණේ චම්පික රණවක ඇතුළු කිහිපදෙනෙක් ජනතා මිතුරෝ නමින් නව සංවිධානයක් පිහිටවන බවත් එහි සමාරම්භක රැස්වීමට හිතවත් කිහිප දෙනෙක් සමග හැකිනම් එන ලෙස ය. ලිපිය අත්සන් කර තිබුණේ බන්දුල චන්ද්‍රසේකර ය. ඒ, වසර 1993 හෝ 94 විය හැක.
ඊටත් පෙර සිට ම, මා බන්දුල දැන හඳුන ගත්තේ, උග්‍ර වාමාංශිකයෙකු වූ බොහෝ කලක් බ්‍රිතාන්‍යයේ පදිංචි ව සිටි උපාලි කුරේ හරහා ය. කුරේ මීට වසර කිහිපයකට පෙර මිය ගිය අතර, ඔහු ලංකාවේ සිටින කාලයේ මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂයේ නායකයා විය. ඊට අමතර ව බාලා තම්පෝගේ නායකත්වයෙන් පැවැති සී.එම්.යූ වෘත්තීය සමිතියේ ද පුරෝගාමී මානව අයිතිවාසිකම් පිළිබඳ පුරෝගාමී සංවිධානයක වූ, ජාතීන් අතර යුක්තිය හා සමානතාව පිළබඳ ව්‍යාපාරයේ (මර්ජ් සංවිධානයේ) ආරම්භක සාමාජිකයෙකි විය. බන්දුල දිගට ම රණවක සමග සිටි අතර, ඔහුගේ විශේෂ ලක්ෂණයක් සහ හැකියාවක් වූයේ, තම දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ අදහස්වලට වඩා වෙනස් අදහස් දරන අය සමඟ විවෘත ව සහ සුහද ව ගනුදෙනු කිරීම ය. එලෙස ගත් කල බන්දුල රණවකගේ ප්‍රධාන ඩිප්ලොමැතික නියෝජිතවරයා ය.
මීට සති දෙකකට පමණ පෙර බන්දුල, තම දිගු කාලීන සගයා වන චම්පික රණවකගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ සමාරම්භක උළෙලට සහභාගි වන ලෙස මට ආරාධනයක් එවා තිබිණ.
රටෙහි මා මේ දිනවල නොමැති නිසා භෞතික ව එම අවස්ථාවට සහභාගී වීම කළ නොහැකි දෙයක් බව හැඟුනත්, මට රණවක. චන්ද්‍රසේකර හා තවත් අයගේ නායකත්වයෙන් මීට වසර දෙකකට පමණ පෙර දියත් කළ දේශපාලන ව්‍යාපාරයේ සමාරම්භක රැස්වීම මතක් වී මට අමිහිරි අත්දැකීමක් සිහිපත් විය. ඒ හතලිස් තුනේ සේනාංකයේ සමාරම්භක උත්සවය යි. මට මතක හැටියට එය පැවැත්වූයේ ගාලු මුවදොර හෝටලයේ ය. ඒ කොවිඩ් සමය යි. ඒ නිසා භෞතික සහභාගීත්වය සීමා කර, සූම් හා ෆේස්බුක් ලයිව් ස්ට්‍රීමයක් සංවිධානය කළේ ලංකාවේ පමණක් නොව ඉන් පිටත සිටින අයගේත් සහභාගිත්වය ලබා ගනු පිණිස ය.
මා සම්භන්ද වූයේ සූම් හරහා ය. ෆේස්බුක් ලයිව් ස්ට්‍රීමය මෙන් නොව, සූම් හරහා එක්වීමේදී, අපගේ මයික්‍රපෝනය නිහඩ (මියුට්) කර නොතිබුණහොත්, අන් සියල්ලන්ට ම ඒ කෙනාගේ කටහඬ හෝ නිවසේ සද්ද බද්ද අනෙක් සියලු දෙනාට ඇසේ.
43 සේනාංකය පිහිටුවීමේදී සැලකිය යුතු කුතුහලයක් හා 'බිල්ඩපයක්" (build-up) සමාජයේ දක්නට ලැබිණ. මා උනන්දුවෙන් සහභාගී වන්නට යන මේ අවස්තාව කුමක ද යී කුමිස්තේරු කරනට ආවේ මා බිරිඳ ය. ලාංකීය නොවන ඈට සිංහල නොතේරේ. ඒ නිසා මා බිරිඳට කෙටියෙන් රණවක ගැනත් ඔහුගේ දේශපාලන නැමියාවන් හා ව්‍යාපෘති ගැනත් කීවේ දරුණු උපහාසයක් හා විවේචනයක් මුසු කර ය. ඉන් සැනැසුණු බිරිඳ හුම් කියා කාමරයේ පිටත් වෙන විට ම මගේ මොබයිලයට කෙටි පණිවිඩයක් පතිත විය. එය එවා තිබුණේ ආචාර්ය රාම් මානික්කලිංගම් ය. "යෝදයෝ, උඹ කතා කරන සේරම අපි හැමෝට ම ඇහෙනවා; වහා ම මියුට් කරපං" යන රාම්ගේ පණිවිඩය මා දකින විට හානිය සිදු වී අවසාන ය.
රණවක මට මුලින් අභිමුක වූයේ අප සරසවි සිසුන් ලෙස (වෙනස් බැච හා වෙනස් සරසවි) සිටින සමයේ ය. බොරැල්ලේ එලියට් පෙදෙසේ, වෛද්‍ය රාජා විජේතුංගගේ නායකත්වයෙන් පවත්වාගෙන ගිය පුරෝගාමී පරිසර සංවිධානයක වූ ඔස්ලෙන් (ජීවිතය හා පරිසරය සුරකීමේ සංවිධානය) හරහා ය මා බොහෝ විට රණවක කතා කරනු දැක ඇත්තේ. ඔහු සමග සමීප ව සිටි අනෙකා වූයේ, රණවකගේ ඉංජිනේරු බැචයෙක් වූ අසෝක අබේගුනවර්ධන ය. මේ දෙදෙනා ම අනූවේ දශකයේ මුල සිට ම බලශක්ති අර්බුදය හා පරිසර හානිය ගැන කතා කළේ එම විෂයන් දැන් මෙන් විලාසිතාවන් හා ආදායම් මාර්ග වන්නට බොහෝ කලකට පෙර ය.
ඔස්ලෙන් ඇන්ජීයෝ සීමාවෙන් මිදී රණවක ජනතා මිතුරෝ දියත් කළේ ජානක ප්‍රියන්ත බණ්ඩාර (එකල කොළඹ සරසවි සිසු හා දැන් මියන්මාරයේ ශ්‍රී ලාංකීය තානාපති) හා අතුරලියේ රතන හිමි (අමතර හැඳින්වීමක් අනවැසි ය) සමග ය. එකල පේරාදෙණි සිසුවෙකු හා කවියෙකු හා පසු ව ඉංග්‍රීසි පුවත් පත් කර්තෘවරයෙකු හා ගෝටාභය සමයේ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක වූ මාලින්ද සෙනෙවිරත්න ද ජනතා මිතුරෝ මූල කණ්ඩායමේ සිටි බව ඔහුගේ බ්ලොගයේ කියැවේ. කලක් යත් ම මේ පිරිස, අබේගුණවර්ධන ද ඇතුළු ව, රණවකගෙන් ඈත් වූ බවක් මට මතු පිටින් පෙනිණ.
හැරයෑම් හා ඈත් වීම් (මේවා ආදාළ පුද්ගලයින් හෝ රණවක විසින් කළ දේ විය හැක) මෙන් ම නව එකතු වීම් ද දැක ගත හැක. කරුණාරත්න පරණවිතාන හා ශිරාල් ලක්තිලක ඉන් ප්‍රධාන වේ. මගේ මතුපිට කියැවීම අනුව, හර්ෂ ද සිල්වා ද රණවකගේ, අඩු ම වශයෙන්, 'වෙල්-විෂර්' කෙනෙකි. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ වත්මන් නායකත්වය හා එහි බුද්ධි මණ්ඩල ප්‍රමුඛයින් ද රණවක පිලිබඳ තම හදවතේ කොනක මුදු බවක් නඩත්තු කරන බව පෙණේ.
මට නම් වැදගත් වන්නේ මේ පුද්ගල මට්ටමේ හැර යාම්, ඈත් වීම් හා එකතු වීම් නොවේ. ඊට හේතුව වන්නේ රණවකගේ දේශපාලන නායකත්ව විභවයට තමන්ගේ ම වූ පක්ෂයක් හෝ අනුගාමිකයින් රැලක් සිටීම උදව්වක් වූවත්, තීරණාත්මක නොවී ම ය.
මට වැදගත් වන්නේ රණවක විසින් ම හැර ගිය හා ඈත් වූ අගතිගාමී (මගේ කෝණයෙන්) දේශපාලන මතවාද හා ව්‍යාපෘති ය. ඒවා සමහර විට විකිනෙන්නේ නැති, පත්තු වෙන්නේ නැති හෝ කල් ඉකුත් වූ පසු අහක් කරන දේ ද විය හැක. ඊට කම් නැත. සිතා මතා හෝ ඉබේ ඉන් හරණය වූ රණවක පුළුල් දේශපාලන අපේක්ෂාවක කොටසක් බවට වේ. කෙනෙකුට මෙය පරිණත වීමක් ලෙස ද ගිණිය හැකි ය.
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )