නතාෂා එදිරිසූරිය නව පරපුරේ දක්ෂ ප්‍රහසන ශිල්පිනියකි.
ඇයගේ ප්‍රහසන ඉදිරිපත් කිරීම්වල ඇති සුවිශේෂකත්වයක් වන්නේ අප සමාජයේ ගතානුගතික සමාජ-ලිංගික-සංස්කෘතික අගතීන් තියුණු විචාරයකට ලක් කිරීමයි. ඇයගේ ඉදිරිපත් කිරීම් උපහාසාත්මක වුවද, අපහාසාත්මක යැයි කිව නොහැකිය.
දැන් ඇය බෞද්ධාගමට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදු කොට ඇතැයි යන චෝදනාවක් යටතේ අත්අඩංගුවට පත්ව ඇත. නමුත්, ඇය චේතනාන්විතව කිසියම් ආගමික ප්‍රජාවකගේ සිත් රිදවීමක් කරන්නට හෝ එමගින් ආගමික ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්නට ප්‍රයත්න දරා ඇතැයි දැන් චෝදනාවට ලක්ව තිබෙන ඇයගේ වීඩියෝව ඇසුරින් නම් කෙසේවත් සනාථ කළ හැකි බවක් නොපෙනේ.
එම වීඩියෝවේ සඳහන් ඉදිරිපත් කිරීම තුළ ඇයගේ ප්‍රහසනයේ ඉලක්කය වන්නේ තම දරුවන් සෙසු පවුල්වල දරුවන් සමග සසඳන මධ්‍යම පන්තික දෙමාපියන්ය. එසේ නොමැතිව කිසිදු ආගමික ඉගැන්වීමක් නොවේ. ඇය එහිදී ආගමික සාහිත්‍යයේ එන චරිත නිදසුනට ගත්තද, ඒ කිසිදු අපහාසාත්මක ආකෘතියකින් නොවේ.
සැබවින්ම මේ දිනවල සෙසු ප්‍රජාවන්ගේ සිත් රිදවීම් සඳහා වැඩි වශයෙන් දායක වෙමින් සිටින්නේ නතාෂාව ඉලක්ක කොටගෙන වෛරී ප්‍රකාශ නිකුත් කරන අන්තවාදී කණ්ඩායම්ය. එම වෛරී ප්‍රකාශ කොතෙක් දුරට ගමන් කොට තිබේද යත්, නතාෂාගේ ප්‍රහසන වැඩසටහනට සහභාගී වීම යන කාරණය පදනම් කොටගෙන තවත් ප්‍රහසන ශිල්පීන් දෙදෙනෙකුට මරණ තර්ජන පවා එල්ල වී ඇති බව වාර්තා විය.
පසුගියදා ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩයක නිවැරදිව දක්වා තිබූ පරිදි සිවිල් හා දේශපාලන අයිතීන් ආරක්ෂා කිරීමේ අරමුණින් පණවන ලද ICCPR පණත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ ඊට මුළුමනින්ම විරුද්ධ අරමුණු වෙනුවෙනි. උත්ප්‍රාසාත්මක ලෙස, නතාෂාට එරෙහි ආගමික අන්තවාදී ප්‍රහාරය දියත් වූයේ මීට වසර කිහිපයකට පෙර මෙවැනිම ප්‍රහාරයකට අසාධාරණ ලෙස මුහුණ දුන් සාෆි නමැති වෛද්‍යවරයා එම සියලු චෝදනාවලින් නිදහස්ව ආපසු තම වෘත්තීය කටයුතු ආරම්භ කළ සතියේදීමය. තම ද්වේෂ සහගත ප්‍රහාරයෙන් සාෆිට සහ ඔහුගේ සමීපතමයන් හට සිදු වූ හානිය ගැන අන්තවාදීන් කිසිදු හෘදය සාක්ෂියක් ප්‍රකට නොකරයි.
ප්‍රකාශන නිදහසේ ඛණ්ඩාංක
ආගමික අපහාස පිළිබඳ වත්මන් දේශපාලන ප්‍රහසන නාට්‍යය මතුපිටින් බැලූ විට දෘෂ්‍යමාන වන්නේ පසුගිය අරගල සමයේ සිට පසුබැස සිටි රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදී කණ්ඩායම් යළි වීදි බැසීමක් ලෙසය. ඒ අතරම එම කණ්ඩායම්වල ප්‍රහාරාත්මක පෙනී සිටීම හමුවේ වාම-ලිබරල් කණ්ඩායම් හා බුද්ධිමතුන් තරමක පසුබෑමක් පෙන්නුම් කළ බවද ආරම්භයේදී නිරීක්ෂණය කළ හැකි විය. කණගාටුදායක ලෙස රැඩිකල් වාමාංශයේ නායකයින් පවා ප්‍රකාශ නිකුත් කළේ නතාෂා විසින් චේතනාන්විතව හෝ නැතිව කිසියම් ආගමික ප්‍රජාවකට අපහාසයක් සිදු කොට තිබේය යන්න පූර්ව-විනිශ්චයක් ලෙස සලකන ස්වරයකිනි.
සැබවින්ම එය අධිකරණය ඉදිරියේ විනිශ්චය වීමටත් පෙර සංවිධානාත්මක මාධ්‍ය ප්‍රචාරයක් ඔස්සේ පූර්ව-විනිශ්චයක් බවට පත් කරන ලද්දේ අන්ත ජාතිකවාදී කණ්ඩායම් විසිනි. නමුත්, රැඩිකල් වම පවා එසේ මාධ්‍ය මගින් නිර්මාණය කළ මතයක් යථාර්තය ලෙසින් භාර ගත් බවක් නිරීක්ෂණය කළ හැකි විය. "නතාෂා ඇතුළු කලාකරුවන් ඔවුනගේ නිර්මාණ කළ යුතුව තිබුණේ පවතින සංයුක්ත සමාජ තත්ත්වයන් සැළකිල්ලට ගෙනය" වැනි ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ ඇය අපහාසාත්මක නොහොත් විසකුරු ප්‍රකාශයක් සිදු කොට තිබේය යන පූර්ව-විනිශ්චය යථාර්තයක් ලෙස භාර ගැනීමක් නොවේද? මේ වනාහී දෘෂ්ටිවාදී අරගලයට අදාළව පරාධීනතාවාදයක් බව මගේ අදහසයි.
එම පරාධීනතාවාදයේ වඩාත්ම ප්‍රහසනාත්මක මුහුණුවර වන්නේ එය න්‍යායට නැගීමට ඇතැම් වාමාංශික බුද්ධිමතුන් විසින් දරා ඇති හාස්‍යෝත්පාදක ප්‍රයත්නයන්ය. එවන් ප්‍රයත්න අඩු තරමින් තුනක් හඳුනාගත හැකිය.
දෙවන න්‍යාය
දෙවන න්‍යාය වන්නේ අප කලා නිර්මාණ කළ යුත්තේ සමාජයේ හර පද්ධතීන්, පිළිගැනීම්, අභිචාර විධි, සමාචාර, නීති රීති, සම්ප්‍රදායන් යනාදියට අනුගත වෙමින් (ජනප්‍රිය වචනය 'සංවේදී වීම') බවයි. එසේ කිරීමට අසමත් වීම නතාෂාගේ වරදකි. (මෙහිදී ඇය චේතනාන්විතව ආගමික අපහාසයක් සිදු කොට ඇතැයි යන පූර්ව-විනිශ්චය පිළි ගනු ලැබේ).
තුන්වන න්‍යාය පරම තත්කාර්යතාවාදී එකකි
නව පසමිතුරුතා අක්ෂ
වත්මන් ආගමික අපහාස කතිකාවේ දේශපාලනික වැදගත්කම වන්නේ එය අරගලය තුළ හැඩ ගැසුණු සහ අද දක්වා පවතින ප්‍රධාන දේශපාලන පසමිතුරුතා අක්ෂය වන 'දේශපාලන ප්‍රභූන් එරෙහිව ජනතාව' යන්න හරස් කැපීමකට ලක් කොට ' සිංහල-බෞද්ධ ජාතිකවාදය එරෙහිව එහි බහු-විධ ආන්තිකයින්' යන පසමිතුරුතා අක්ෂය වටා ජාතික දේශපාලනය යළි සංවිධානය කිරීමේ හැකියාවක් සහිත වූවකි.
1994 සිට ලාංකීය මැතිවරණ දේශපාලනයේ රටාව නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ එක් පසෙකින් බහුතර ජාතිකවාදයේ දෘෂ්ටිවාදී නැගීමක් සිදු වන විට අනෙක් පසින් එයට ප්‍රතිමුඛව ලිබරල්වාදී-සුළුතර-ආන්තික සහ ඇතැම් අවස්ථාවල වාමාංශික කණ්ඩායම් අතර සුසම්බන්ධයක් නිර්මාණය වීම ප්‍රවණතාත්මක ලෙස සිදුව ඇති බවයි. අරගලයෙන් පසු ලෝකය තුළ මෙම වියහැකියාව තවත් වර්ධනය වී තිබිය යුතුය. මන්ද යත්, මාධ්‍ය අවකාශය තුළ කොතරම් විශාලවට පෙනුණද ජනවාර්ගික සහ ආගමික අන්තවාදය අරගලයට පෙර තිබුණාට වඩා දැන් දුර්වලය. අරගලයෙන් යමක් සිදුව ඇතැයි අප විශ්වාස කරන්නේ නම්, ආගමික සහ ජනවාර්ගික ස්වෝත්තමවාදයේ බලය අභියෝගයට ලක් වීම ඒ අතුරින් ප්‍රධාන එකකි.
මෙවන් තත්ත්වයක් තුළ වාමාංශය විසින් කළ යුතුව ඇත්තේ ආර්ථික පසමිතුරුතාව කේන්ද්‍රයට ගැනීමට වැඩ කිරීමය යන්න සම්භාව්‍ය මාක්ස්වාදී ඉගැන්වීමයි. නොඑසේනම් වත්මන් ලාංකීය සංධර්භය තුළ 'ප්‍රභූව එරෙහිව ජනතාව' යන පසමිතුරුතා අක්ෂය අඛණ්ඩව පවත්වා ගැනීමට ප්‍රයත්න දැරිය යුතු යැයි යෝජනා කළ හැකිය. මෙම යෝජනා දෙකම ප්‍රතිපත්තිමය ලෙස පිළිගත හැකි ඒවාය. නමුත්, ගැටළුව වන්නේ අප කැමති ආකාරයට දේශපාලන අවකාශයේ සෑම සියලු පෙළ ගැසීමක්ම සිදු නොවීමයි.
විල්හෙල්ම් රයිෆ් ඔහුගේ 'The Mass Psychology of Fascism' නමැති කෘතියේ පැහැදිලි කරන පරිදි 1930 දශකයේ ආරම්භයේදී ජර්මානු මාක්ස්වාදීන් පන්තිමය බෙදීම ඔස්සේ දේශපාලනය සංවිධානය විය යුතු යැයි සේම එසේ වීමට නියමිත යැයිද විශ්වාස කළහ. නමුත්, එම විශ්වාසය තුළම එල්බගෙන සිටීම නිසා ඊනියා ජාතික සමාජවාදය විසින් නව පසමිතුරුතා අක්ෂයක් ඔස්සේ සමාජය බෙදීමට ලක් කරන විට එයට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුදැයි වටහා ගන්නට ඔවුහු අසමත් වූහ. පන්තිමය පසමිතුරුතාව සේම ජනතාවාදී පසමිතුරුතාවද පරම ආකෘතියක් ලෙස පවතින්නේ නැත. එයින් පරිබාහිර කතිකාමය අවකාශය නොවෙනස්ව පවතින්නේද නැත. එබැවින්, එම පසමිතුරුතා අක්ෂය වාමාංශයට වාසිදායක ලෙසින් පවත්වා ගත හැකි වන්නේ 'පරිබාහිර' පැන නැගීම් වෙතට නිෂ්ක්‍රීය ප්‍රතිචාරයක් දැක්වීම මගින් නොවේ. ඒවා සක්‍රීයව තම කතිකාවට සුසම්බන්ධ කරගැනීමේ භාවිතයක් මගිනි. වෙනත් වචනවලින් කිව හොත්, ආර්ථික පීඩනයටත් ප්‍රභූ ආධිපත්‍යටත් එරෙහි දේශපාලනයේ අංගයක් බවට ප්‍රකාශන අයිතිය ඇතුළු බහුවිධ ප්‍රජාතාන්ත්‍රික සංඝටක සුසම්බන්ධ කර ගැනීම මගිනි. මධ්‍ය-වම හෝ රැඩිකල් වම එසේ කරන්නට අසමත් වනවා යනු ඇතැම්විට ජනතාවාදී පසමිතුරුතා අක්ෂයේ කිසියම් හරස් කැපුමක්ද ඇති කරමින් එම සංඝටක දක්ෂිණාංශයේ නායකත්වයක් විසින් අත්පත් කරගනු ඇත. ඒ සමග දැනට විශේෂයෙන්ම මධ්‍ය-වමට සහාය දක්වන ඇතැම් ලිබරල්වාදී කොටස් එයින් විසම්බන්ධ වී යාමේ හැකියාවක්ද පවතී.
(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය