ලෝක කාලගුණ විද්‍යා සංවිධානය හෙවත් කාලගුණය, දේශගුණය, සහ ජලය පිළිබඳ එක්සත් ජාතීන්ගේ පද්ධතියේ අධිකාරී හඬ විසින් පසුගිය මැයි 23 වැනි දින වැදගත් අනතුරු ඇඟවීමක් නිකුත් කළා.
අවාසනාවකට අවශ්‍ය අවධානයට ලක් නොවූ මෙම අනතුරු ඇඟවීමෙන් ඔවුන් සංක්ෂිප්තව කියා සිටින්නේ ඉදිරි වසර පහ තුල වාර්තාගත උණුසුම් තත්වයක් ඇති විය හැකි බවයි.
කැනඩාවේ කිව්බෙක් ප්‍රාන්තයේ ලැව්ගිනි
ලොව පුරා වෙනත් ප්‍රවෘත්ති තුලින් ද මෙම අනාවැකි සපථ වෙමින් තියෙනවා. මේ වනවිට කැනඩාවේ ලැව්ගිනි මගින් උතුරු අර්ධගෝලයේ විනාශයක් ඇති කරමින් තියෙනවා.
විශේෂිත ගින්නක් හෝ ලැව් ගිනි ඇතිවීමක් කෙලින්ම දේශගුණික විපර්යාසවලට ආරෝපණය කිරීම අපහසුයි. නමුත් දේශගුණික විපර්යාස සහ ලොව පුරා ලැව්ගිනි සංඛ්‍යාව සහ ඒවායේ බරපතලකම අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බවට ලැව් ගිනි විද්‍යාඥයෝ එකඟ වෙනවා.
ගෝලීය උණුසුම සමගම ආගමික හෝ වාර්ගික වශයෙන් පදනම් වූ ගැටුම් තුලින් ඇතිවන උණුසුම ද නොනැවතී ඉහළ යමින් පවතිනවා. මේ සියල්ල අපිට ලගා වන්නේ ආර්ථික ප්‍රශ්න වලින් පීඩා වෙමින් ඉන්න තත්වයක් තුලයි. මෙම ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස යන ද්විත්ව පීඩාව අනික් අතට අපට මිනිසුන් වශයෙන් අප විසින් එකිනෙකාට කරුණාවන්ත වෙන්න ඕනී කියන පණිවිඩයත් ලබා දෙනවා කියලා මට හිතෙනවා.
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් 1.5 සීමාව ඉක්මවා යන්න පුළුවන්
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව 2023-2027 සඳහා සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාම 1.1°C සහ 1.8°C අතර වන අතර යම් අවුරුද්දක මෙම උෂ්ණත්වයේ ඉහළ යාම 1.5°C සීමාව ඉක්මවා යාමේ ඉහළ සම්භාවිතාවක් තියෙනවා.
හේතුව කුමක් වුවත්, ඉදිරි වසර පහ තුළ දේශගුණික විපර්යාස යන්න අපට ඇඟට දැනෙන කාලයක් වෙනවා.
ආගමික සිද්ධස්ථාන ප්‍රශ්න නිසා ඇතිවන උණුසුම ඒ මදිවට
යාපනය අර්ධද්වීපයේ මැද පිහිටි පලාලි තිස්ස විහාරය ප්‍රදේශයෙන් ඕනෑම සිංහල ගමක පැවැත්වෙන පොසොන් උත්සවයක් පැවැත්වෙන පින්තූරයක් මම මෑතකදී පත්තෙරෙන් දැකලා අන්දුන්කුන්දුන් වුනා. පැහැදිලිවම ඒ සහභාගී වුන ජනතාව ජනතාව එහෙ අය නෙවෙයි. බලාගෙන යනකොට එම නටබුන්ව තිබුණු විහාරය ප්‍රතිසංස්කරණය කරලා පුළුල් කිරීම සම්බන්ධයෙන් පලාලි ප්‍රදේශවාසීන්ගේ විරුද්ධ වීමට ප්‍රතිචාරයක් හැටියට දකුණේ සිට බෞද්ධයන් එතනට රොක් වෙලා. ඒක එක විධියක සීතල යුද්ධයක්. හොඳ ලක්ෂණයක් නොවෙයි.
වාර්තා වන පරිදි යාපනය අර්ධද්වීපයේ දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද විහාර තුනක් - එනම් ජම්බුකොළ විහාරය, තිස්ස මහා විහාරය සහ පාචීනාරාමය ගැන මහාවංශයේ සඳහන් වෙනවාලු. මෙම ස්ථාන පැහැදිලිවම ඓතිහාසික වැදගත්කමක් ඇති තැන්. නමුත් වර්තමානයේ එම ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ අවශ්‍යතා හමුවේ මේවා ආරක්ෂා කිරීම කොතරම දුරට කෙසේ සිදු විය යුතුද යන්න කල්පනාවෙන් කරේ නැතිනම් මෙවැනි සීතල යුද්ධ දරුණු ප්‍රචණ්ඩත්වයකට යන්න පුළුවන්.
උතුරු හා නැගෙනහිර පළාත් අතර පිහිටි අනුරාධපුරය සහ පොළොන්නරුව කේන්ද්‍ර කර ගත් බෞද්ධ ශිෂ්ටාචාරයක දීර්ඝ ඉතිහාසයක් ඇති රටක මෙම පළාත් දෙකේ මෙසේ බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන් බොහොමයක් තියෙන්න පුළුවන්. ඒ තිබුනා කියලා මෑත කාලයේ පරම්පරා ගණනාවක් එහි ජීවත් වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා නොසලකා හරිමින් ඒ ස්ථාන නැවත නගා සිටුවන්න පමණක් නොව තවත් පුළුල් කිරීමේ උත්සාහය රටේ ජනවාර්ගික සම්බන්ධතා වල උෂ්ණත්ව දර්ශකය අනවශ්‍ය ලෙස ඉහල නැංවීමක් නේ ද?
අපි ඔක්කොම එක බෝට්ටුවේ පණිවිඩයට කාලය ද?
ඇපොලෝ යානයේ සිට මුල් වරට කළුවර අභ්‍යවකාශයේ ලස්සන නීල ගෝලයක් වගේ දිස්වී පෙනුන පෘතුවියේ දර්ශනයෙන් මොහොතකට හෝ අපි ඔක්කොම තවත් ඇපොලෝ යානයක ඉන්නවා වගේ හැගීමක් ලෝකය පුරාම ඇති කළා කියලා මම හිතනවා. කාලගුණ විපර්යාසයේ නියත ඵලය එක දිගට ඇඟට දැනෙන්න පටන් ගන්න මේ අවස්ථාව කාලගුණ විපර්යාසය නිසා අපි ඔක්කොම එක බෝට්ටුවේ කියන පණිවිඩය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යන්න අවස්ථාවක් කියලා මට හිතෙනවා.
ඊට අමතරව අපගේ දේපලවල අනියත බවත් අඛණ්ඩව සන්නිවේදනය කරන්න මේක අවස්ථාවක් කියල මම හිතනවා. අපි මේ මතබේද ඇතිකරගන්නා ඉඩම් ජලයෙන් යටවීමට හෝ වගා කළ නොහැකි වීමට පත්වීමට කොපමණ කාලයක් ගත වෙයිද? උදාහරණ ලෙස තවත් වසර 25-50 කින් රටේ එක් ප්‍රදේශයක් වාසයට නුසුදුසු තත්ත්වයට පත් වුවහොත් කුමක් කළ යුතුද? ඒ මිනිස්සු කොහේද පදිංචි කරන්නේ? අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්නවා යන හැගීමෙන් අනිකාට ඉඩක් ලබා දෙන විධියට ඉඩම් අයිතිය නැවත අර්ථ දැක්වීමට සිදු වෙන්න පුළුවන්.
(ආචාර්ය සුජාතා ගමගේ)
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය