විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතු බව ජනරජ පක්ෂයේ සභාපති, අසාත්මික රෝග සහ ළමා රෝග විශේෂඥ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පවසයි.
(වෛද්‍ය සේවා පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධිධාරීයකු වන විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව තිබෙන කාලින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සිදුකල අදහස් දැක්වීමකි.)
ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම් රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම සම්බන්ධයෙන් සාධාරණ බියක් සාමාන්‍ය ජනතාව තුළ දැන් පැතිරී තිබේ.
ඖෂධ මෙලෙස රෝගීන්ට අහිතකර වන්නේ කොහොම ද ?
පිටරටින් ගෙන්වූ හෝ අප රටේම නිෂ්පාදනය කළා හෝ ඕනෑම ඖෂධයක් භාවිතය සඳහා නිකුත් කිරීමට පෙර තත්ව පරීක්ෂණයකට භාජනය කළ යුතුය. මෙම තත්ව පරීක්ෂණයේදී කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කෙරේ.
1. එම ඖෂධයෙහි අවශ්‍ය මාත්‍රාව තිබේ දැයි සොයා බැලීම
තත්ත්වයෙන් බාල සමහර ඖෂධවල, ඖෂධයට වඩා එහි අඩංගු අනෙක් ද්‍රව්‍ය වැඩි විය හැකිය.
2. එම ඖෂධයෙහි සිරුරට හානි කරන රසායන ද්‍රව්‍ය තිබේ දැයි සොයා බැලීම
සමහර ඖෂධයන්හි එම ඖෂධයට අමතරව සිරුරට හානි කරන විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු වී තිබිය හැකිය. මීට එක් උදාහරණයක් වන්නේ අසාත්මිකතාවය ඇති කරනු ලබන රසායන ද්‍රව්‍ය යි. තත්වයෙන් බාල ඖෂධවල මෙලෙස අසාත්මිකතා ඇති කළ හැකි රසායන ද්‍රව්‍ය වැඩි ය. තවත් එක් උදාහරණයක් වන්නේ පිළිකාකාරක රසායන ද්‍රව්‍ය යි.
එසේ නම් මෙවැනි තත්වයන් මග හරවා ගන්නේ කෙසේ ද ?
ඉහත ද සඳහන් කළාක් මෙන් ඕනෑම ඖෂධයක් භාවිතය සඳහා නිකුත් කිරීමට පෙර තත්ව පරීක්ෂණයකට භාජනය කළ යුතු වෙයි. ජාතික ඖෂධ තත්ව පරීක්ෂණ රසායනාගාරයක් (NDQAL) මේ රටේ පවතින්නේ එම කාර්යය සඳහා ය. මීට මසකට පමණ ඉහතදී NDQAL ආයතනයෙහි සේවය කරන ලද ඖෂධවේදීන් 26 දෙනෙකු වහාම එම ස්ථානයෙන් මුදාහැර ඇත. එයට හේතුවක් නොදනිමු. එනිසා උග්‍ර සේවක හිඟයක් පවතින එම ආයතනයෙන් දැන් රට ඇතුළට එන ඖෂධවල තත්ව පරීක්ෂණයක් නිසි ලෙස සිදු වන්නට ඉඩක් නැත.
එසේම තත්ව පරීක්ෂණයක් නොකර මේ රටට ඖෂධ ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවා පසුගියදා පවසා තිබිණි. සෞඛ්‍ය ඇමතිවරයා සිටින්නේ එලෙස තත්ව පර්යේෂණයක් සිදු විය යුතු නැතැයි යන මතයේ ය. ඖෂධවේදීන් 26 දෙනෙකු ම එතැනින් ඉවත් කරන්නට හේතුව එය විය හැකි බව ඉතා පැහැදිලි ය.
අපේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරියක් තිබේ. මෙහි පනතට අනුව නම් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි අනිවාර්යෙන් ඖෂධවේදය සම්බන්ධ මහාචාර්යවරයකු ද සිටිය යුතුමය. මාස හයක පමණ කාලයක සිට එවැනි මහාචාර්යවරයකු අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නොමැත. කලින් එවැනි මහාචාර්යවරුන් සිටි මුත් ඒ අය ඉවත් කර තිබේ.මේ තත්වයන්ට අනුව අපේ රටට ගෙන්වනු ලබන කුමන ඖෂධයකවත් තත්ව පරීක්ෂාවක් සිදු නොකරන බව ඉතා පැහැදිලි කාරණයකි.
දැන් ප්‍රශ්න කිහිපයක් තිබේ.
# ඊළඟ ගැටලුව වන්නේ ඖෂධ නිසා ඇතිවන අනෙකුත් අනිසි පලයි. ඖෂධ නිසා ඇස් අන්ධ වූ රෝගීන් පිළිබඳව පසුගිය දිනවල වාර්තා විය. එය අසාත්මිකතාවයක් නිසා සිදුවන්නක් නොවේ. ඒ එම ඖෂධයෙහි අඩංගු අහිතකර රසායන ද්‍රව්‍යයක් හෝ විෂබීජයක් නිසා ඇති වූ ප්‍රතිඵලයකි.
# තුන්වැනි ප්‍රශ්නය නම් මේ ඖෂධවල අහිතකර ප්‍රතිඵල ඇති කරන වෙනත් රසායනික සංඝටක අඩංගු වී තිබීම නිසා සිරුරට ඇති විය හැකි හානීන් ය. ඖෂධ තත්ව පරීක්ෂණාගාරයක් තිබෙන්නේ එලෙසින් ඖෂධ නිසි තත්ත්වයේ පවතින්නේ ද යන්න පරීක්ෂාකර බැලීමට ය. නමුත් දැන් එවැනි පරික්ෂා කිරීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ම ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. එසේම මෙලෙස තත්ව පරීක්ෂණවලට භාජනය නොකරන ඖෂධවල අඩංගු රසායන ද්‍රව්‍යයන්හි පිළිකාකාරකද පැවතිය හැකිය.
මේ ගැටලුව නිසා අනාගතයේ දී මෙරට ඇතිවිය හැකි තත්වය පිළිකාවකින් පමණක් නවතින්නේ ද නැත. තත්ව පරීක්ෂාවකින් තොරව නිකුත් කරන මෙම බාල වර්ගයේ ඖෂධ වල අඩංගු වී තිබිය හැකි අහිතකර රසායන ද්‍රව්‍ය නිසා නිසා වකුගඩු ආබාධ හා අක්මා ආබාධ අනාගතයේදී වැඩි විය හැකි වේ.
මේ බාල ඖෂධ නිසා ඇතිවන සමහර ප්‍රතිඵල පැයකින් දෙකකින් මතුවේ. තවත් සමහර ප්‍රතිඵල දවසකින් දෙකකින් මතුවිය හැකිය. එසේ ම මාසයකට පමණ පසු, නැතහොත් මාස කීපයකට පමණ පසු, ඒත් නැත්නම් අවුරුද්දකින් දෙකකින් හෝ ඊටත් පසුව වුවද මේ අහිතකර ප්‍රතිඵල මේ රටේ අසරණ ජනතාවට අත්විඳින්නට සිදුවන බව නම් ඉතාමත්ම අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය.
තත්වයෙන් බාල මෙවැනි ඖෂධ නිසා උද්ගත වන අහිතකර ප්‍රතිඵල එතෙකින් නො නවතියි.
නිදසුනක් ලෙස යම්කිසි ඖෂධයක අඩංගු විය යුතු ඖෂධ ප්‍රමාණය මිලිග්‍රෑම් සියයක් යැයි සිතමු. එය මිලිග්‍රෑම් සියයක ඖෂධයක් බව සඳහන් කළත්, තත්වයෙන් බාල ඖෂධයක මිලිග්‍රෑම් සියයක් වෙනුවට මිලිග්‍රෑම් පනහක් පමණක් අඩංගු කර තිබෙන්නට බැරි නැත. රෝගීන් සඳහා ඖෂධ නියම කරන වෛද්‍යවරුන්ට ඖෂධය තුළ අඩංගුව ඇති ඖෂධ ප්‍රමාණය පරික්ෂා කිරීමට හැකියාවක් නැත. එය වෛද්‍යවරයකුට අයත් කාර්යයක් ද නොවේ.
නිදසුනක් ලෙස අධික රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයකුට යම්කිසි මාත්‍රාවකින් ඖෂධයක් වෛද්‍යවරයා නියම කරනු ඇත. රෝගියාද ෆාමසියට ගොස් වෛද්‍යවරයා විසින් නියම කරන ලද මාත්‍රාවෙන් යුතු අදාළ ඖෂධය මිලදී ගෙන භාවිතා කළත් එම ඖෂධ වර්ගයෙහි දක්වා තිබෙන අන්දමට ඖෂධ ප්‍රමාණය නොතිබුණහොත් රෝගියා ගේ අධික රුධිර පීඩනය පාලනය නොවේ. පාලනය නොවීම යනු රෝගය තවත් උග්‍රවීම ය. මෙය දියවැඩියාව, හෘද රෝග ආදී මෙකී නොකී ඕනෑම රෝගයකට අදාළ බව සැලකිය යුතුය.
මෙම ගැටලුවට ඇත්තේ විසඳුම් දෙකකි.
වහාම කළ යුතු පළමු දේ නම් තත්ව පරීක්ෂාවකින් තොරව රටපුරා නිකුත් කරන ලද බාල වර්ගයේ ඖෂධ සියල්ල යලි ආපසු ගෙන්වා ගෙන භාවිතයෙන් ඉවත් කිරීමය.
ඊළඟට එමගින් රජයට සිදු වූ පාඩුව, මෙම ඖෂධ ගෙන්වීම සඳහා නියෝග ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අදාළ නිලධාරීන්ගේත්, ඖෂධ නියාමන අධිකාරියේ අදාළ නිලධාරීන්ගේත් පෞද්ගලික ධනයෙන් සහ ඖෂධ ගෙනෙන ලද පෞද්ගලික සමාගම් වලින් අය කර ගත යුතුය.
තත්ත්ව පරීක්ෂණයකින් තොරව ඖෂධ ගෙන්වීම කර ඇතැයි ප්‍රසිද්ධයේ පිළිගත් නිසා සහ එසේ කලේ යැයි ලිඛිත සාක්ෂි ඇති නිසා, සෞඛ්‍ය ඇමතිවරයා සහ මෙයට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව අපරාධයක් සිදුකිරීම හා අපරාධයකට අනුබල දීම මත පදනම්ව, මේ පනත අනුව, රජය විසින් අපරාධ නඩු පැවරිය යුතු වෙයි. එය අහිංසක ජනතාවගේ බදුවලින් යැපෙන රජයක් විසින් ජනතාව වෙත ඉටුකළ යුතු අනිවාර්ය යුතුකමකි.