ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ මානසික ගැටළු (ආතතීන්ට) වලට ප්‍රතිකාර ගැනීම සඳහා මානසික වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් 'ලංකාදීපය'ට පවසා ඇත.
එසේම සායනවලට පැමිණෙන එවැනි රෝගීන් සංඛ්‍යාවද දෙගුණයකින් වැඩිවී ඇතැයි පවසන විශේෂඥ වෛද්‍යවරයා, ආර්ථික පීඩනය සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය යනාදී කාරණා මෙම ආතති තත්වයන්ට ප්‍රධාන හේතුව බවද සඳහන් කරයි.
තම දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව, තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු බිඳවැටීම, ඉගෙන ගත්තත් හොඳින් ජීවත් විය නොහැකිවේ යැයි යන සෘණාත්මක අවිනිශ්චිත මනෝභාවයන්, දරුවන් විදේශ ගත කිරීම සඳහා මුදල් සොයා ගැනීමට දරන උත්සාහයන් අසාර්ථක වීම, දරුවන් විදේශයන්ට යැවීමෙන් තමන් තනි වේ යැයි යන සිතුවිලි යනාදිය මෙම මානසික පීඩනයන්ට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවත් මෙම ආතති වර්ධනයවීමෙන් විශාදය වැනි රෝග තත්වයන් පවා මතු විය හැකි බවත් වෛද්‍ය රූමි රූබන් වැඩි දුරටත් පවසයි.
තමන්ට ආතතිය ඇති බව හඳුනා ගන්නේ කෙසේ ද?
ආතතිය ඇති වූ විට මානසික සහ කායික ලෙස දෙආකාරයෙන් ම ලක්ෂණ පෙන්විය හැකි බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් BBC සිංහල සේවයට පවසා තිබිණ.
මානසික වශයෙන් ගත් කළ; තරහ යාම, මතක ශක්තිය අඩු වීම, අවධානය අඩු වීම, කලකිරීම සහ නිතර නිතර දුක සිතීම ඒවා අතර වන බව ඔහු පැවසීය.
හුස්ම ගැනීමේ අපහසුව, හෘද ස්පන්ද වේගය වැඩි වීම, දහඩිය දැමීම සහ නින්ද නොයාම ආදිය කායික ලක්ෂණ අතර වේ.
"තමන්ට වෙන දා වගේ හරියට වැඩ කරන්න බැරි නම්, තමන්ගේ හැකියාව අනුව වෙන දා කරපු වැඩ ටික කරන්න බැරි නම්, ඒ වැඩ ටික සතුටින් කරන්න බැරි නම්, ඒ වගේ ම එන්න එන්නම කාර්යක්ෂමතාව අඩු වෙනවා නම් ඒ අවස්ථාවේදී සැලකිලිමත් වෙන්න ඕනේ."
ඔහු සඳහන් කළේ, ආතතිය දිගින් දිගට ම පැවතීමෙන් විශාදය ඇති විය හැකි බව ය.
"විශාදය තත්ත්වයට පත් වුණාට පස්සේ, සියලු ම දේ එපා වෙනවා. කලකිරෙනවා. ජීවිත නැති කරගන්න උත්සහ කරනවා. ඒ ආතතිය උග්‍ර අවස්ථාවට පත් වුණාට පස්සේ."
ආතතිය දීර්ඝ කාලීනව පැවතීමෙන්, හෘද රෝග, දියවැඩියාව සහ හෝමෝන සම්බන්ධ රෝග ඇති විය හැකි බව ද විශේෂඥ මනෝවෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ඔහු සඳහන් කළේ, රැකියාව කිරීමේදී ඇති වන ආතතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව ය. ඇතැම් අය ආතතිය දරා ගැනීමට තරම් ශක්තිමත් බව ත් ඔවුන්ගේ ජානවල එය පිහිටා ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.
"ඒකට ජානමය පසුබිම සහ ළමා කාලයේ අත්දැකීම් බලපානවා. සමහර අය ඉන්නවා මේ අත්දැකීම් නැති වුණත් සමාජ කුසලතා වර්ධනය කරගත්ත අය. ආතතිය කළමනාකරණය කර ගැනීමේ කුසලතා, ඒ වගේ ම ආතතිය අඩු කර ගැනීමේ උපක්‍රම දන්න අයට ආතතිය ඇති වීම අඩුයි."
ආතතිය නරක දෙයක් ද?
ආතතිය යම් කිසි මට්ටමක තිබීම සෑම විට ම අහිතකර තත්ත්වයක් නොවන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළේ, ආතතිය නැති වූ විට කාර්යක්ෂමතාව අඩු විය හැකි බව ය.
"ආතතිය යම් කිසි මට්ටමක තිබීම හැම වෙලාවේ ම අහිතකර තත්ත්වයක් නොවෙයි. ආතතිය නැති වුණාමත් කාර්යක්ෂමතාව අඩු වෙනවා."
ආතතිය යම් කිසි මට්ටමක් දක්වා තිබීම, කාර්යක්ෂමතාව වැඩි කරන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් පෙන්වා දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
ආතතිය නිසා පුද්ගලයෙකුට සිදු විය හැකි උපරිම හානිය කුමක් ද?
ආතතිය දීර්ඝ කාලීනව පැවතීමෙන් එය විශාදය දක්වා වර්ධන වී සිය දිවි නසා ගැනීමක් දක්වා ඔඩු දිවිය හැකි බව විශේෂඥ මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය.
"විශාදයට ආවට පස්සේ, සියලු ම දේ එපා වෙලා, රැකියාවෙන් අයින් වෙලා, ගෙදරට වෙලා කිසි ම දෙයක් නොකර ඉන්න පුළුවන්. සමහර වෙලාවට එක රැකියාවක ඉන්නේ නැතුව නිතර නිතර රැකියාවල් වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලත් එපා වෙලා, සමාජයත් එපා වෙලා, ජීවිතය නැති කරගන්න මට්ටමට යන්නත් පුළුවන්. හැමෝම විශාදයට එනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ."
ආතතියෙන් මිදෙන්නේ කොහොම ද? ප්‍රතිකාර මොනවා ද?
ඔහු පෙන්වා දුන්නේ, ආතතිය කළමනාකරණය කර ගැනීමේ ක්‍රම පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බව ය. අධ්‍යාපන ක්‍රමය තුළ ම සමාජ කුසලතා සහිත පුද්ගලයින් බිහි කිරීම වැදගත් බව ද ඔහු සඳහන් කළේ ය.
තව ද, ආයතනයේ තමා අවට සිටින අයෙකු ආතතියෙන් පීඩා විඳින බව හඳුනා ගතහොත් ඔහු හෝ ඇය මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකුගේ සහය ලබා ගැනීම සඳහා වහා ම යොමු කළ යුතු බව විශේෂඥ මනෝවෛද්‍යවරයා පැවසීය.
"මුල් අවස්ථාවේදී ආතතිය අඩු කර ගැනීම සඳහා උපදේශනය වැදගත්. ඊට වඩා උග්‍ර තත්ත්වයක් ආවොත් විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්න."
කළ යුතු දෑ කෙටියෙන්...
* මානසික ආතතියේ මානසික හා කායික ලක්ෂණ හඳුනා ගන්න
* දිනෙන් දින ඔබේ කාර්යක්ෂමතාව අඩුවේ දැයි සැලකිලිමත් වන්න
* ආතතිය ඇති වුණ හේතුව පළමුවෙන් හඳුනා ගන්න
* එය ඔබේ දක්ෂතාවයේ හෝ හැකියාවේ අඩුවක් ද බාහිර පරිසරයේ ඇති ගැටලුවක් ද යන්න හඳුනා ගන්න
* ඔබේ දක්ෂතාවයේ හෝ හැකියාවේ අඩුවක් නම් ඒවා වර්ධනය කර ගැනීමට උත්සහ කරන්න
* බාහිර පරිසරයේ ඇති ගැටලුවක් නම් එය තර්ජනයක් ලෙස නොව අභියෝගයක් ලෙස හඳුනා ගන්න
* ඔබ දැනටමත් මානසික ආතතියකින් පෙළේ නම්, වැඩ කරන අතරතුර සුළු විවේකයක් ගන්න...
* එම කාලයේදී ගීතයකට සවන් දීම, විනෝදාත්මක වැඩසටහනක් නැරඹීම වැනි සිත සැහැල්ලු කරන ක්‍රියාකරමක නිරත වන්න
රැකියාව කිරීමේදී ආතතිය ඇති වුවහොත් එය සඟවා ගෙන සිටිය යුතු ද?
විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පෙන්වා දුන්නේ, මානසික ගැටලු ඇතිවීම අපහාසයට හෝ උදහසට ලක් වන කාරණයක් නොවන බව ය. එය ඕනෑ ම කෙනෙකුට ඇති විය හැකි බව ඔහු සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, තමන්ට යම් පීඩනයක් ඇති නම් ඒ පිළිබඳව තමා ආදරය කරන කෙනෙකු සමග කතාබහ කිරීම ඉතා වැදගත් බව ත් ඉන් අනතුරුව ගැටලු විසඳා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව ත් ය.
"යම් කිසි කෙනෙකුට උග්‍ර මානසික ගැටලු තියෙනවා නම්, ඒ පිළිබඳව ලතැවෙවී ඉන්නේ නැතුව ඒ වගේ ම දුක් වේවී ඉන්නේ නැතුව, එය සහනයට පත් කර ගන්න අවශ්‍ය මානසික සෞඛ්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්."
එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගන්න, ආයතනයකට හෝ සේවකයින්ට සිදු කළ හැකි දෑ මොනවා ද?
ආතතිය කෙනෙකුට ඇති වූ විටෙක එය අඩු කරගැනීම සඳහා ලබා දෙන සහයෝගය වැදගත් බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පෙන්වා දුන්නේ ය.
අදාළ සේවකයා රැකියාව කරන ආයතනයෙන් ලැබෙන සහය සහ සෙසු සේවකයින්ගෙන් ලැබෙන සහය ද ඊට බලපාන බව ඔහු පැවසීය.
"යහපත්ව සහ නිරෝගීව වැඩ කරන්න පුළුවන් පරිසරයක් ඇතිකර දීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක්. එවැනි අවස්ථාවකදී තමයි ආයතනයේ වැඩ කරන අයගෙන් වඩාත් කාර්යක්ෂමව සේවය ලබා ගන්න පුළුවන්."
ඔහු අවධාරණයේ කළේ, සේවකයින්ගේ ශුභසාධනය පිළිබඳව සිටින බලධාරීන් සේවකයින්ගේ ආතතිය පිළිබඳව සහ ආයතනවල තත්ත්වය පිළිබඳව නිරතුරුව සොයා බලා ඒවා නියාමනය කළ යුතු බව ය.
රට තුළ පවතින ආර්ථික අර්බුදය සේවකයින්ගේ ආතතියට බලපා ඇත්තේ කොහොම ද?
ආර්ථික අර්බුදය සමග ඇතැම් පෞද්ගලික ආයතන, සේවකයින්ගෙන් ඔවුන්ට ඉටුකළ නොහැකි මට්ටමින් සේවය බලාපොරොත්තු වන බව විශේෂඥ මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය.
සේවකයින්ට ලැබෙන විශේෂ වරප්‍රසාද අඩු කිරීමට ද ඇතැම් ආයතන පියවර ගෙන ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය.
"ඒ ආයතන පැත්තෙන් වැඩි ලාබයක් ලබා ගැනීම සඳහා තමයි උත්සහ කරන්නේ මේ ආර්ථික අර්බුදය තුළ. ඒ තුළ අපිට පේනවා අපිට එන රෝගීන්ගේ හැටියටත් බොහෝ අය විවිධ මානසික ගැටලුවලට මුහුණ පාලා තියෙනවා කියලා."
ඔහු සඳහන් කළේ, තමන් වෙනදා ලද වැටුපෙන් පෙර ගත කළ ජීවිතය ගත කිරීමට නොහැකිවීම ද මානසික පීඩනයක් බවට පත් වී ඇති බව ය.
විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ප්‍රකාශ කළේ, විවිධ මට්ටම්වල මානසික ආතතිවලින් පීඩා විඳින රෝගීන් තමන්ට හමුවන බව ය.
ඇතැම් පිරිස් මානසික ආතතියේ මුල් අවස්ථාවේදී සිටින අය බව ත් ඔවුන් උපදේශනය තුළින් මානසික ආතතිය අඩු කර ගන්නා බව ත් ඔහු සඳහන් කළේ ය.
ඊට අමතරව මානසික ආතතිය සමග ම විශාදය තත්ත්වයට පත් වී ජීවිතය නැති කර ගැනීමට උත්සහ කරන පිරිස් පැමිණෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
සහාය අවශ්‍ය ඔබට උපකාරක සේවා
අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය 1926 ඇමතීමට හැකිය.
ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා සපයනු ලබන මනෝචිකිත්සක සේවාවන්, මානසික රෝග සහ ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳ සාක්ෂි පදනම් කරගත් තොරතුරු සඳහා මහජනතාවට slcpsych.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ විශාලතම රෝහල -ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ලංකාව
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)