මා බර කාලයක් කොණ්ඩය කැපුවේ එක ම බාබර් සාප්පුවකිණි. එය පිහිටා තිබුණේ මොරටුවේ මොරටුමුල්ල ගමේ ය. ගාලු පාරේ සිට පිළියන්දල හෝ විල්ලෝරාවත්ත දෙස යාමට භාවිතාවන ද සොයිසා පාරේ යන විට
මොරටුමුල්ල හමු වේ. පාර දෙපස ඇත්තේ ලී බඩු සාප්පු හෙවත් 'සෝ රුම්' ය. අතුරු පාරවල ඇත්තේ වඩු මඩු හෙවත් පට්ටල, ලී ඉරන මෝල්, ඉස්ප්‍රේ මඩු, කුසන් මඩු ආදිය ය. සුප්‍රසිද්ධ ඊ එච් කුරේ ලී බඩු සාප්පුව, කම්හල හා ලී මෝල ද පිහිටා ඇත්තේ මොරටුමුල්ලේ ය. මොරටුවේ ඇති ප්‍රධාන පොලිස් ස්ථානයට අමතර ව මොරටුමුල්ලේ ද උප පොලිස් ස්ථානායක පිහිටුවා ඇත්තේ, කලකට පෙර එහි කලහකාරී තත්ත්ව තිබී ඇති නිසා ඒවා සමනය කර සාමය පවත්වා ගෙන යනු පිණිස ය.
බාබර් සාප්පුව මුලින් කරගෙන ගියේ බාබර් හා ව්‍යවසායක යන තනතුරු දෙක ම හෙබ වූයේ බාබර් අයියා ය. තනි පුටුවකින් පටන් ගත් පුංචි බාබර් සාප්පුව පිටු පස ම ඇති කුඩා ඇනෙක්සියේ බාබර් අයියාත්, අක්කාත්, ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනාත් ජීවත් වූ හ. පසු කාලයක අයියාගේ සාප්පුවට වැඩ වැඩි වෙන්න ගත් විට, ද සොයිසා පාරේ ම ප්‍රේමරතන පාරට කිට්ටුව, එකල නෙලුම්සිරිය කියා හැඳින් වූ ලීබඩු සාප්පුවකට අල්ලපු කඩ කෑල්ලකට බාබර් සාප්පුව ගෙනගියේ පුටු තුනේ සැළුන් එකක් ලෙස එක්තරා අන්දමකට අප්ග්‍රේඩයක් ද කරමිණි.
පුටු තුනට හරියන්න සේවක පිරිස වැඩි කරනට අයියා මූලික අධියරේ එක් ගෝලයෙකු පමණක් සේවයට බඳවා ගති. ඔහු හැඳින්වූයේ බාබර් මල්ලී ලෙස ය. බාබර් මල්ලී පැමිණියේ කෑගල්ලේ හෙට්ටිමුල්ල ප්‍රදේශයෙනි. ඔහු මගේ වයසට කිට්ටු හෝ අවුරුදු දෙක තුනක් වැඩිමහල් අයෙකු නිසා මාගේ කොණ්ඩය කැපීම පැවරුණේ බාබර් මල්ලීට ය. ඉතා ප්‍රිය මනාප අයෙකු වූ බාබර් මල්ලී මා සමග පමණක් නොව මොරටුමුල්ල, මොල්පේ, විල්ලෝරාවත්ත යන පෙදෙසේවලින් පැමිණෙන සියල්ලන් සමග ඉක්මණින් කුළුපග විය.
වකුගඩු රෝගයක් මතු වීම නිසා ඒ අරභයා කරන ලද සැත්කම හරියට නොකෙරුණ තත්ත්වයක් යටතේ බාබර් අයියා මිය පරලොව ගියේ අකාලයේ ය. අක්කාත්, දරුවන් දෙදෙනාත්, සැලුන් එකත් බලා හදා ගැනීමේ බාර දූර කාර්යය පැවරුණේ බාබර් මල්ලීට ය. එය ඔහු ඉතා වගකීමෙන් කළේ ය. බාබර් අයියාගේ පුතා නාවික හමුදාවට බැඳුණේ එකල යුද්ධෙට යාම පිළිගත් හා ජනප්‍රිය රැකියාවක් වීම නිසා විය හැක.
කඩවසම් උස කොලුවෙකු වූ පුත්‍රයා ලොකු ශ්‍රේණියක නොසිටිය ද නාවික නිල ඇඳුමට ලස්සනට සිටි බව මතක ය. එහෙත් ඒ දිස්නය ටික කලකින් පහ ව ගොසින් පුත්‍රයා හමුදාව අත හැර කට්ටි පනිමින් සිටියේ මිලිටරි පොලිසිය විසින් කුදලාගෙන යාම වළකනු පිණිස ය. ඇහැට කනට පෙනෙන පෙනුමකින් යුතු දුව කසාදයක් කරගෙන ගෑනු දරුවන් දෙන්නෙක් ම සාදා ගත්තී වැඩිකල් නොගොස් ය.
සැලුන් එක කුඩා වුව ද බාබර් මල්ලීගේ හදවත විශාල එකක විය. එසේ ඒ නමින් නොකීවත් ඔහු වාර්ෂික ව කළ දේ මට හැඟෙන්නේ කෝපොරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටි (සී එස් ආර්) එකක ලෙස ය. බාබර් මල්ලී පොසොන් එකට ගමේ කට්ටිය එක්කාසු කරගෙන ලොකු අසෝක් ලේලන්ඩ් බස් එකක යන්නේ අනුරාධපුරේට ය. දර, චට්ටි මුට්ටි හා කුඩාරම් බදු භාණ්ඩ වහලේ පටවා ගෙන යන මේ කණ්ඩායමේ වියදම දරන්නේ සැලුන් එක ය.
.
මේ සැලුන් එකට මා වසර ගණනාවක් නොකඩවා ගියේ කොණ්ඩය කපා ගන්නට හා රැවුල බා ගන්නට පමණක් ම නොවේ. වෙනත් වැදගත් කාරණයකුත් ඉෂ්ඨ කරගන්නට ය. බාබර් යනු පර්යේෂණ විෂයේ ලා රන් ආකාරයක් වන්නේ ඔහු සමග සමාජයේ විවිධ තරා තිරමේ කණ්ඩායම් කොණ්ඩය කපන අතර විවිධ මාතෘකා ඔස්සේ කතා බහ කරන නිසා ය.
අපගේ බාබර් මල්ලී ද කිසිදු පර්යේෂණ ක්‍රමවේද පාඨමාලාවක් නොකළත්, තම සේවා දායකින් කතා කරන විට කරන්නේ සක්‍රීය ව සවන් දීම හා ඔවුන්ගෙන් 'ඕපන් එන්ඩඩ්' ප්‍රශ්න පමණක් ඇසීම ය. දවස අවසානයේ බාබර් මල්ලී කරන්නේ ඒ සියලු කතා බහ ප්‍රෝසෙස් කිරීම ය. මා හරියට ම කොන්ඩෙ කපන්නට හෝ හෙඩ් මසාජයක් ගැනීමට යන්නේ මෙන්න මේ වෙලාවට ය. මා තරමක් වෙනස් කණ්නාඩි කුට්ටමක් දමන නිසාදෝ, බාබර මල්ලී මට ඔහුගේ දවසේ ෆයින්ඩින්ස් හෙවත් පර්යේෂණ තොරතුරු සම්පිණ්ඩනයක් මා සමග බෙදා ගන්නේ නොමසුරු ව ය. මා මසකට පසු ගිය විට බාබර තෙමේ මට මසක තොරතුරු සම්පිණ්ඩනයක් ද දෙන්නේ කෙටි විශ්ලේෂණයක් ද සහිත ව ය.
මා සමග සමාජ දේශපාලන බැරෝමීටරයක භූමිකාව ඉටුකළ මේ පර්යේෂකයා මට පසුගිය වසර පහළොවකට විස්සකට පමණ මට මුණ ගැසීමට නොහැකි වුණේ, මා අතන මෙතන රට තොට ජීවත් වීම නිසා ය. කෙටි කලකට ලන්කාවට ආව ද තකහණියක් මොරටුමුල්ලට ඒම ප්‍රමුඛතාවයක නොවී ය. එහෙත් පසුගිය සතියේ මා මොරටුමුල්ලේ දින කිහිපයක් ගත කළේ තරමක අසනීප ගතියකින් පෙලුණ මගේ සොහොයුරිය සමග ය. ඒ දිනවල මා විමැසූයේ අහවල් සැලුන් එක තවමත් තියෙන බව ය. අවසානයේ මා නතර වුණේ කිසිදු වෙනසක් නොවී තිබූ පරණ සැලුනයේ පරණ පුටුවක ය. මා පිටුපස සිනාසෙමින් සිටියේ පරණ බාබර් මල්ලී ම ය. තමන්ට දැන් හැටකට කිට්ටු බව මට බාබර් මල්ලී කීව ද, ඔහු සිටියේ සැහැල්ලු තරුණ පෙනුමකිණි. බාබර් මල්ලී තමන්ගේ ගම පළාත, පවුලේ සාමාජිකයින් හා මොරටුවේ වඩු කර්මාන්තය ගැන කළ ප්‍රකාශන මා ඔහුගේ ම බසින් පහත පිටපත් කරන්නේ එය මා එදිනෙදා අසන ආඛ්‍යානයට වඩා තරමක් වෙනස් එකක් නිසා ය.
"සර්. අපේ ගම් පළාත, හෙට්ටිමුල්ල, දැන් හරි වෙනස් සර්. ඉස්සර මං වුණත් ගමෙන් පිටවුණේ ගමේ කර ගන්න දෙයක් නැති වුණු නිසා නේ. ඒත් දැන් ගමට වරදක් නැහැ. හැමෝම වගේ යමක් කමක් කරගෙන ඉන්නවා. සමහරුන්ට ගොඩක් හොඳයි. අපේ ලොකු අයියා, පිළිමතලාවේ ඉස්කෝලෙක පින්සිපල් කෙනෙක් වෙලා හිටියේ. පැන්ෂන් ගියායින් පස්සේ එයා ගමේ පටන් ගත්තා, අපේ ම ඉඩම් ඔල, කෙහෙල් වගාවක්. ගොවිජන එකෙන් තමා සේරම උපදෙස් බීජ අරව මේව දෙන්නේ. ටිකක් මහන්සි වෙලා වැඩේ කරන්න ඕනේ තමා. සාමාන්‍ය ක්‍රමේ නෙමේ. කොහෙල් මුවේ කපලා අයින් කරලා, අයිනේ යුරියා ටිකක් තියලා සීල් කරනවා, ඊට පස්සේ ගොවිජන එකේ ම දෙන ඉටි උරේකින් වහලා කෙහෙල් කැන වැඩෙන්න දෙනවා. ඒගොල්ලන් ම ඇවිල්ල කිරල අරන් යනවා. මාසෙකට එකයි හතළිහක් විතර ලැබෙනවා".
"දෙවැනි අයියා හොටෙලයක කාලයක් වැඩ කළේ. හවුස් කීපින් වැඩ තමා. ඒ හෝටලේ අයිති ලංකාවේ කෙනෙක් ට උනාට එයා ඉන්නේ ඉතාලියේ. එයාට අයියව හිතට ඇල්ලුවා. මේ වෙනකොට අයියා ඉතාලියේ ඉන්න මහත්තයාගේ හෝටල් තුනක් බලා ගෙන ඉන්නව"
"පොඩි අයියා කරන්නේ මේසෙන් වැඩ, එයාටත් වරදක් නැහැ සර්. හොඳට ගෙයක් එහෙම තියෙනවා. දරුවෝ හොඳට ඉගෙනේ ගත්තා. එගොල්ලනුත් රස්ස කරන නිසා අයියට ලොකු පෙසර් එකක් නැහැ හම්බ කරන්න".
"මෙහෙ ලී බඩු වෙළෙඳාම නම් ටිකක් වැටිලා තියෙන්නේ සර්. අසූ පන්දාහට තිබුණ අල්මාරිය දැන් එකයි විස්සකට තිහට වගේ යන්නේ. කව්ද සර් ඒ ගානට ගන්නේ. බඩු අලෙවි වෙනවා හොඳට ම අඩුයි. ඕකෙන් ගොඩක් ප්‍රශ්නෙට මූන දීල ඉන්නේ වඩු මඩු කරන කට්ටිය."
"අපි නං සේප් එකේ ඉන්නවා. අයියගේ පුතා ඉස්ප්‍රේ මඩුවක් කරනවා. කාරෙකක් ගත්තා. තට්ටු ගෙයක් හැදුව. දූගේ දූලා දෙන්න ම හොඳ කොල්ලෝ දෙන්නෙක් බැන්ද. හැබැයි ඒගොල්ලන්ට ඕන විදිහට. ලොක්ක බැන්දේ අර මේවින් එකේ අයිතිකාරයාගේ පුතා ව. ඒගොල්ලන්ට ගොඩක් හොඳයි. ඉරිදට ඒගොල්ලෝ කොහේ හරි යනවා කන්න බොන්න. ඒ නිසා අම්මව බලන්න එන්නේ සඳුදට. ඒ වුනාට අපි නම් සර් ඒගොල්ලන්ගෙන් ටොපියක්වත් බලාපොරොත්තු වෙන්නේ නෑ. දෙවැනි කෙල්ල බැන්දේ ඇච්සැස්බීසී බැංකුවේ නීති අංසේ වැඩකරන ළමෙක් ව. ඒගොල්ලෝ ඉරිදට එනවා අම්ම ව බලන්න."
"දැන් අර පොසොන් එකට ලොකු කට්ටියක් එක්ක බස් එකේ යන්න බැහැ සර්. වියදම නිසා ම නෙමේ. අර උඩට නැගල දර බාන වගේ වැඩ කරන්න බැහැනේ අපිට. ඒ නිසා දරුවන්ගේ කාර් තුනේ අපි කට්ටිය ම දැන් යන්නේ ඒ ගමන. අනෙක අපේ ළමයි ඔය ලිප් බැඳගෙන ලොකු මුට්ටි ඔල දැලි ගාගෙන උයන්න කැමති නෑ සර්."
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )