අප ජීවත් වන වත්මන් සමාජ-දේශපාලන තත්ත්වය කෙබඳු එකක්ද? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණයක් වන 'ඇස්-ඉස්-මස්' නමැති නාට්‍යය මේ ගැටළුවට ප්‍රවේශ වන්නට කදිම දොරටුවක් විවර කර දෙයි.
එම නාට්‍යයේ සුවිශේෂකත්වයක් වන්නේ සමකාලීන සමාජ ලෝකය පිළිබඳව කිසිදු රොමාන්තික චිත්‍රයක් මවන්නට එය ප්‍රයත්න නොදැරීමයි. එහි සෑම චරිතයක් අතම තියුණු ආයුධයක් තිබේ. ඔවුන් වේදිකාව මත තැබූ මිනී පෙට්ටියක් තුළට ඔවුනගේ වෛරය එකතු කරයි. ජීවිතයේ කිසියම් මොහොතක රැවටීමට ලක් වූ ස්ත්‍රීන් පළි ගැනීමක් සැලසුම් කරයි. ඔවුන් එකිනෙකා සමග සම්බන්ධ කරන්නා වූ එකම බැඳීම වන්නේ එම පළිගැනීමේ පොදු හැඟීමයි. පළිගැනීමට ඉලක්ක වන්නේ ව්‍යාපාරික-දේශපාලන බලවතෙකි. ඔහු බලය හා ධනය උපයා ඇත්තේ අපරාධ, මත්ද්‍රව්‍ය වෙළඳාම ඇතුළු පාතාල ආර්ථික ක්‍රියාකාරීත්වයන් මගිනි. ඔහුගේ ඝාතනයෙන් පසුව ලෝකය වඩා යහපත් එකක් වේ යැයි කිසිදු අපේක්‍ෂාවක් නාට්‍යය අපට ලබා නොදෙයි. සැබවින්ම ඔහුගෙන් පසුව ලෝකය කෙබඳු එකක් වනු ඇතිදැයි කිසිවෙකුත් දන්නේ නැත. නාට්‍යයේ එන චරිත සේම ප්‍රේක්ෂකාගාරයද ඒත්තුගෙන සිටින එකම කාරණය වන්නේ එම දුෂ්ට චරිතය ඉවත් කළ යුතු බව පමණි.
පසුගිය අරගලය තුළද ඉන් පසුවද ප්‍රකාශයට පත්වෙමින් තිබෙන එක්තරා පොදු ජන හැඟීමක් මේ නාට්‍යය තුළ කදිමට සටහන් වී තිබෙන බව මගේ හැඟීමයි. සැබවින්ම පසුගිය දශක කිහිපය තිස්සේ මෙරට සමස්ත දේශපාලන ලෝකයම ග්‍රහණයට ගෙන තිබෙන්නේ 'ඇස්-ඉස්-මස්' නාට්‍යයේ එන අන්දමේ ව්‍යාපාරික-දේශපාලකයින්ගෙන් සැදුම් ලත් නව ප්‍රභූ තන්ත්‍රයක් විසින් නොවේද? ඔවුනගේ ධනයේ සහ බලයේ මූලයන් ඇත්තේ රාජ්‍ය බලයේ රැකවරණය ලබන පාතාල ආර්ථික ක්‍රියාකාරීත්වයන් තුළත් එමගින් සමාජය පුරාම අඬු විහිඳුවා ගත් අනුග්‍රාහක ජාලයන් තුළත්ය. සාමාන්‍ය නෛතික ක්‍රියාමාර්ග මගින් ඔවුන් දඬුවමට ලක් වනු ඇතැයි කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැති බැවින් ඔවුන්ව පළවා හැරිය හැක්කේ ඔවුන්ව නොඉවසන ජනයා විසින්ම පමණි. ඔවුන්ව පළවා හළ පසුව කුමක් සිදු වුවද එය මේ දැන් පවතින තත්ත්වයට වඩා නරක විය නොහැකිය. මේ මොහොතේ මෙරට පොදු ජන සමාජයේ දේශපාලන ගතිකත්වය හැඩ ගැසී තිබෙන්නේ මෙවන් සමාජ මනෝභාවයක් පදනම් කරගෙනය යන්න මගේ අදහසයි. දැන් යළිත් සංවාදයට ලක්ව තිබෙන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනය මගින් කියැවෙන්නේද මෙරට නව දේශපාලන ප්‍රභූතන්ත්‍රය තම බලය තහවුරු කරගැනීම සඳහා මහා පරිමාණ අපරාධ සැලසුම් කිරීමට වුවත් පසුබට නොවනු ඇතැයි ජන සමාජයේ සැලකිය යුතු කොටසක් විශ්වාස කරන බවයි. ආන්දෝලනාත්මක 'චැනල්-4' වාර්තාවේ ඇත්ත නැත්ත කුමක් වුවද, මෙහිදී දේශපාලනිකව වැදගත් වන්නේ එමගින් ඉඟි කෙරෙන වියහැකියාව කිසියම් දුරකට පොදු ජන විඥානය තුළ සටහන් වී තිබෙන්නේය යන්නයි.
ව්‍යාජ පසමිතුරුතා
කෙසේ වුවත්, ගැටළුව මතුපිටින් දකිනවාට වඩා සංකීර්ණ වූවකි. මෙය 'ඇස්-ඉස්-මස්' නාට්‍යය ඇසුරින්ම පැහැදිළි කළ හොත් එහි එන මාෆියා දේශපාලකයාට නගරයේ ව්‍යාපාර ගණනාවක්ම අයිතිය. එම ව්‍යාපාර මස් අළෙවි සැල්වල පටන් ඊනියා සම්බාහන ආයතන දක්වා පරාසයක විහිඳේ. එබැවින් ඔහු නගරයේ ආර්ථික ජීවිතයේ වැදගත් කොටස්කරුවෙකි. නාට්‍යයේ එන සෙසු චරිත සියල්ල එම ආර්ථික ක්‍රියාකාරීත්වයන් සමග අඩු වැඩි වශයෙන් සම්බන්ධ වී සිටිති. එබැවින් ප්‍රබල අනුග්‍රාහක-සේවාදායක ජාලයක් පවත්වාගෙන යන්නට ඔහුට හැකියාව ලැබී තිබේ. එම බල-ජාලය දේශපාලනය, නීතිය, පරිපාලන ආයතන ඇතුළු විශාල පරාසයක පැතිරී ඇත. නාට්‍යයට ග්‍රහණය නොවන කාරණය වන්නේ මෙම ප්‍රධාන චරිතය නොමැතිවත් ඔහු අයත් ව්‍යුහයට පැවතිය හැකිය යන්නයි. ඔහු ඉවත් කළ පසු ඔහු අයත් ව්‍යුහය පුනර්-නිෂ්පාදනය විය හැකිය.
දැන් රනිල් වික්‍රමසිංහ පාලනයට සෘජුව හෝ වක්‍රව සහාය දක්වන ඊනියා ලිබරල්වාදීන්ද මෙරට දේශපාලනය දකින්නේ ඉහත නාට්‍යයේ එන සීමිත දෘෂ්ටියට සමාන අයුරකින් නොවේද? ඔවුහු පැහැදිළි ලෙසම රාජපක්ෂ විරෝධීන් වෙති. ඔවුනට අනුව අධිපති සිංහල-බෞද්ධ ජාතිකවාදයේත්, මාෆියා ධනවාදයේත්, අධිකාරීවාදයේත් නියෝජනය වන්නේ රාජපක්ෂ බල හවුල පමණි. වික්‍රමසිංහ හවුල ඊට වඩා ලිබරල්, නවීකාරක හා නිදහස් වෙළඳපලවාදී දැක්මකින් යුක්තය. දෙවැන්න විසින් පළමුවැන්න ආරක්ෂා කරන්නේය යන්න ඇස් පනාපිට පෙනෙමින් තිබියදී පවා ඒ දෙක අතර පසමිතුරුතාවක් පවතී යැයි විශ්වාස කරන්නට විවිධ හේතූන් සොයා ගන්නට ඔවුන් සමත්ය. මෙම විශ්වාසයේ මිත්‍යාමතික ස්වභාවය පැහැදිළි කරන්නට නම්, ආර්ථික විවෘතකරණයෙන් පසුව මෙරට දේශපාලන සබඳතාවල පිළිවෙල නැවත සකස් වූයේ කෙසේද යන කාරණය පිළිබඳ විශ්ලේෂණයක් අවශ්‍ය වේ.
නව-ලිබරල් හෙජමොනියේ ලාංකීය ස්වරූප
නව-ලිබරල් ආර්ථික රාමුව ලොව සෑම සමාජ-දේශපාලන සැකසුමක් තුළම ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයට නොවේ. ලංකාවට නව-ලිබරල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් කාලය වන විට සමගි පෙරමුණු ආණ්ඩුවේ ආවෘත ආර්ථික ප්‍රතිපත්ති කෙරෙන් ජනිත වූ විශාල සමාජ කළකිරීමක් පැවති බව සැබෑය. නමුත්, තවමත් රාජ්‍ය සුභසාධනවාදය දෘෂ්ටිවාදීව බලවත් විය. නිදහසින් පසු ලංකාවේ පළමු දශක තුන තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට (නොහොත් එකල ජනප්‍රිය වහරින් කියැවුණු පරිදි ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය පිළිබඳ කතිකාවට) තිබුණු පිළිගැනීම සුවිශේෂී වූවකි. ජේම්ස් ජප් නමැති දේශපාලන විද්‍යාඥයා පවසා ඇති පරිදි 1960 දශකයේදී සමාජවාදය නමැති උදෘතය භාවිත නොකොට රාජ්‍ය බලය සඳහා තරඟ කරන්නට ලංකාවේ කිසිදු පක්ෂයක් සමත් නොවීය. ඩඩ්ලි සේනානායකගේ එජාපය පවා සමාජවාදී අලංකාරෝක්තීන් භාවිත කළේය.
ජේ.ආර් ජයවර්ධනගේ චරිතාපදානය තුළ කියැවෙන පරිදි 1960 දශකයේ අගභාගයේදී ජයවර්ධන ලංකාවට නිදහස් වෙළඳපල ප්‍රතිපත්තීන් හඳුන්වා දෙන්නට කල්පනා කළද, එම ප්‍රතිපත්තීන්වලට සහාය දැක්වූ එකදු මහාචාර්යවරයෙකු හෝ ලංකාවේ විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තු තුළින් සොයා ගන්නට ඔහු අසමත් විය. ඔවුන් සියලු දෙනාම එක්කෝ මාක්ස්වාදී හෝ නැතහොත් මාක්ස්වාදයට නැඹුරු අයවළුන් වූහ. අවසානයේදී ඔහුට අවශ්‍ය වූ වාර්තාව ලියා ගත හැකි වූයේ බී.ආර් ෂෙනෝයි නමැති ඉන්දීය ආර්ථික විද්‍යාඥයා මගිනි. (මෑතකදී රනිල් වික්‍රමසිංහගේ ඉහළ ඇගයුමකට ලක් වූ ඉන්දීය ආර්ථික විද්‍යාඥයා මොහුය).නමුත්, ෂෙනෝයි යෝජනා කළ පරිදි රාජ්‍යයේ සුභසාධන වියදම් කප්පාදු කරන්නට ඩඩ්ලි සේනානායක අගමැතිවරයා කැමති වූයේ නැත.
එපමණක් නොවේ. 1977 මහා මැතිවරණයේදී ජයවර්ධන පවා තමන්ව හඳුන්වා ගත්තේ සමාජවාදියෙකු ලෙසිනි. අප ඉතිහාසයේ තවත් පසුපසට ගොස් බැලුවහොත්, ලාංකීය රාජ්‍ය සුභසාධනවාදී දැක්ම හුදෙක් වාමාංශික ව්‍යාපාරයෙන් ප්‍රභවය ලැබූවක්ම නොවන බව පෙනී යයි. එය රැම්සේ මැක්ඩොනල්ඩ්ස්ගේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආණ්ඩුවේ සුභසාධනවාදයේත් එකල ජනප්‍රිය වෙමින් පැවති කේන්සියානු චින්තනයේත් බාහිර ආභාසය සහිත වූවක් විය. ස්වදේශිකව එහි මූලයන් පැවතියේ බෞද්ධ සමාජවාදී පොදු ජන අවබෝධයක් තුළ විය හැකිය. නිදහස් ලංකාවේ පළමු මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර් ජයවර්ධන එකල කේන්සියානුවාදියෙකි. ඔහු විසින් කෙටුම්පත් කරන ලද ලංකා ජාතික සංගමයේ 1939 සමාජ ආර්ථික සැලැස්ම මුළුමනින්ම පාහේ සමාජ-ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ ස්ථානගත හැකිය.
1977 දී ජයවර්ධන මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් නම් රාජ්‍ය සුභසාධනවාදී චින්තනය ගැඹුරින් මුල් බැස තිබුණු සමාජ සැකසුමක් තුළ ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්තීන් ක්‍රියාවට නගන්නේ කෙසේද යන්නයි. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තීන්වලට සහාය දැක්වූ ග්‍රාම්ස්චියානු ඓන්ද්‍රීය බුද්ධිමය ශ්‍රේණියක්ද පැවතුණේ නැත. සමගි පෙරමුණේ ප්‍රතිපත්තිවල අසාර්ථකත්වය හමුවේ වෙළඳපල ප්‍රසාරණය වීම, රැකියා සුලබ වීම වැනි ඇතැම් වෙනස්කම් ගැන සුබවාදී වූ පොදු ජන අවබෝධයක් (common sense) නිර්මාණය වී පැවති බව සැබෑය. නමුත්, තමන් විසින් ක්‍රියාවට නැගෙන්නට නියමිත සමස්ත ප්‍රතිපත්ති රාමුවට ජනතා සුජාතභාවය දිනාගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවන බව ජයවර්ධන හොඳින්ම දැන සිටින්නට ඇත. ඒ බව ඔහුගේ තත්කාලීන ක්‍රියා කලාපයෙන් ගම්‍ය වේ.
එක් අතකින් ජයවර්ධන ආර්ථික විවෘතකරණයට සමාන්තරව රාජ්‍ය බලය හැකිතරම් තමන් අත සංකේන්ද්‍රණය වන ආකාරයේ ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීම මේ සඳහා එක් ප්‍රකට නිදසුනකි. අනෙක් අතින් ඔහු සිංහල-බෞද්ධ ජාතිකවාදයට රණකාමී මුහුණුවරක් දෙමින් උතුරේ සියලු ධාරාවේ දෙමළ ව්‍යාපාරවලට එරෙහි ජනවර්ගවාදී යුද යාන්ත්‍රණයක් බවට රාජ්‍යය පරිවර්තනය කළේය. ඉහත ක්‍රියාමාර්ග දෙකම වැඩි වශයෙන් මර්දනීය ස්වරූපයේ ඒවාය. නමුත්, නව-ලිබරල්වාදයට ජනතා කැමැත්ත නිර්මාණය කිරීමේ (නොහොත් එය හෙජමොනිකකරණය කිරීමේ වැදගත් උපායමාර්ගයක්ද ජයවර්ධන සතු විය. එනම්, අසූව දශකයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් පෝෂණය කරන ලද කඩිනම් සංවර්ධනය පිළිබඳ කතිකාවයි. ආර්ථික විවෘතකරණයට සමගාමීව රට පුරා විහිඳුණු ප්‍රබල අනුග්‍රාහක දේශපාලන ජාලයක් ගොඩ නැගීමේ පසුබිම සකසන ලද්දේ මෙම 'කඩිනම් සංවර්ධන කර්මාන්තය' විසිනි.
මා මිත්‍ර ශ්‍යාමිකා ජයසුන්දර-ස්මිට්ස් ඇයගේ 'An Uneasy Hegemony' (2022) කෘතියේ පෙන්වා දෙන පරිදි කඩිනම් මහවැළි සංවර්ධන ව්‍යාපෘතිය සහ උදා ගම් ව්‍යාපෘතිය ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අනුග්‍රාහක-සේවාදායක ජාලයක් වේගයෙන් රට පුරා ව්‍යාප්ත කිරීමේ මාධ්‍යයන් බවට පත් විය. මික් මුවර් පවසන පරිදි විදේශ ආධාර ලැබූ මෙවන් මහා පරිමාණ ඉදිකිරීම් කර්මාන්ත මගින් රජයේ කොන්ත්‍රාත්කරුවන් බවට පත් වූ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයින්ට මහා පරිමාණයෙන් ධනය ඉපැයිය හැකි විය. ජයවර්ධන චරිතාපදානය සාක්ෂි දරන පරිදි රාජ්‍ය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතීන්වලට ආරම්භයේදී ලෝක බැංකුව සහ අයි.එම්.එෆ් සහායක් හිමි නොවූවද ජයවර්ධන, ආර්.ප්‍රේමදාස සහ ගාමිණී දිසානායක ඒවා ක්‍රියාවට නැගීමට විශාල උත්සුකයක් දැක්වූහ.
නව-ලිබරල් ආර්ථික තර්කණයට අනුව එම ව්‍යාපෘතීන්වලට වලංගුතාවක් නොලැබුණද, නව-ලිබරල් ප්‍රතිපත්ති රාමුව ජන සමාජය තුළ හෙජමොනිකකරණය කිරීමේ ස්වදේශික දේශපාලන තර්කණයට අනුව ඒවාට විශාල වලංගුතාවක් හිමි වේ. මීට සමගාමීව ජයවර්ධන පාලනය තුළ දිස්ත්‍රික් සංවර්ධන සභා ඔස්සේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හට ප්‍රාදේශීය අනුග්‍රාහක කටයුතුවල යෙදෙන්නට රාජ්‍ය අරමුදල් සෘජුවම බෙදා දීම ඇරඹිණ. ඒ වනාහී අනුග්‍රාහක දේශපාලනය ආයතනගත කිරීමකි. ග්‍රාමෝදය මණ්ඩල මගින් තවදුරටත් විමධ්‍යගත කරන ලද්දේ මෙම ආයතනගත අනුග්‍රාහක දේශපාලනයයි. මීට සමාන්තරව කඩිනම් සංවර්ධන කතිකාව දෘෂ්ටිවාදීමය තලයේ පාරිභෝජනවාදී පොදු ජන අවබෝධයක් වර්ධනය කළේ ප්‍රධාන වශයෙන් අලුත හඳුන්වා දෙන ලද රූපවාහිනිය නමැති දෘෂ්ටිවාදී උපකරණය මාධ්‍ය කොට ගනිමිනි.
ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ජනතාව
අසූව දශකයෙන් පසුව ලංකාවේ දේශපාලනය ග්‍රහණයට ගත් ව්‍යාපාරික-දේශපාලන ශ්‍රේණිය ප්‍රභවය ලැබුවේ ඉහත විශ්ලේෂණය කළ පරිදි අනුග්‍රාහක දේශපාලනය සමග අතිනත ගෙන වර්ධනය වූ ලාංකීය ස්වරූපයේ ආර්ථික ලිබරල්කරණය තුළිනි. රාජපක්ෂ බල ජාලයද එහිම නිර්මාණයකි. දැන් වික්‍රමසිංහ පාලනයට සහාය දක්වන ලාංකීය ලිබරල්වාදීන් යෝජනා කරමින් සිටින්නේ අනුග්‍රාහක දේශපාලනයෙන් තොරව, රාජ්‍ය දේපළ අව-භාවිත කිරීමෙන් තොරව, පිරිසිදු නිදහස් වෙළඳපල නීතින්ට අනුව ක්‍රියාත්මක වන යහපාලන ආර්ථික ලිබරල්කරණයකි.
මේ කාරණයේදී සැබවින්ම පොතේ ගුරුවාදී වන්නේ ලිබරල්වාදීන්ය. මන්ද යත්, ඔවුන් කතා කරමින් සිටින්නේ ඇඩම් ස්මිත්ගේ හෝ වොන් හයෙක්ගේ ආකෘතික නිදහස් වෙළඳපළ ගැන මිස සංයුක්ත ලෝකයේ සැබවින්ම පවතින නිදහස් වෙළඳපලක් ගැන නොවේ. 1990 දශකයේදී සෝවියට් කඳවුර බිඳ වැටීමෙන් පසුව බිඳ වැටුණේ සැබෑ සමාජවාදය නොවේ යැයි පැවසූ වාමාංශිකයින් හට ඔච්චමට මෙන් ලිබරල්වාදීන් 'සැබවින්ම පැවති සමාජවාදය' යනුවෙන් යෙදුමක් නිර්මාණය කළහ. දැන් අප රටේ දශක හතරක නව-ලිබරල් අත් හදා බැලීම මහා ව්‍යසනයක් ජනනය කරමින් අසාර්ථක වෙමින් තිබෙන විට ආර්ථික ලිබරල්වාදීන් අපට පවසන්නේ සැබෑ නව-ලිබරල්වාදය මෙය නොවේ කියාය. අපේ පිළිතුර මෙයයි: 'සැබවින්ම පැවති නව-ලිබරල් හෙජමොනිය' මෙයයි. ලංකාවේ අනුග්‍රාහක ධනවාදයක් නිර්මාණය වූයේත් 'ඇස්-ඉස්-මස්' නාට්‍යයේ වැනි මාෆියා ව්‍යාපාරික-දේශපාලන ප්‍රභූන් නිර්මාණය වූයේත් එම 'සැබවින්ම පැවති නව-ලිබරල් රාමුව' තුළය.
රනිල් වික්‍රමසිංහගේ නානාප්‍රකාර ආරක්ෂකයින් කුමක් කීවද, ඔහු පැහැදිළිවම ආරක්ෂා කරමින් සිටින්නේ රාජපක්ෂ ජාලයද ඇතුළු එම සැබවින්ම පැවති නව-ලිබරල්වාදයයි. එමගින් නිර්මාණය කෙරුණු මාෆියා ව්‍යාපාරික-දේශපාලන පන්තියයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඔහුගේ මාදිලිය තුළ මෙරට මහා පරිමාණ ව්‍යාපාරික ජාලය විසින් නොගෙවූ බදුවලට අත නොතබනු ලබන්නේ එබැවිනි. විදෙස් අක්වෙරළ තැන්පතුවල අයථා ලෙස රඳවා ඇති අපනයනකරුවන්ගේ ධනයට අත නොතබනු ලබන්නේ එබැවිනි. ඒ වෙනුවට වැඩ කරන ජනතාවගේ ඊ.පී.එෆ් අරමුදල් මත සමස්ත බර පැටවීමේ ප්‍රවේශයක් අනුගමනය කරනු ලබන්නේ එබැවිනි.
අර්නෙස්ටෝ ලැක්ලාවූ ඔහුගේ 'On Populist Reason' (2005) කෘතියේදී පැවසූ පරිදි 'ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ජනතාව' යන පසමිතුරුතාව වටා සමාජය සංවිධානය වෙමින් පවතින්නේ මේ තතු යටතේය. පශ්චාත් මාක්ස්වාදය මෙරට සැබවින්ම පැවති නව ලිබරල් හෙජමොනිය යටතේ නිර්මාණය වූ ව්‍යාපාරික-දේශපාලක පන්තියේ ආධිපත්‍ය බිඳ හෙළීමේ ජනතා අභිලාෂය නියෝජනය කරයි. එම ව්‍යායාමයේදී මැතිවරණ දේශපාලනය තුළ මධ්‍ය-වාමාංශය විසින් ඉටු කරමින් සිටින කාර්යභාරය අප සාධනීයව භාර ගන්නා අතර ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමෙහිලා රැඩිකල් වාමාංශයේ දායකත්වය ගැන අපේක්ෂා සහගත වන්නෙමු.
සබැඳි ලිපි :
පශ්චාත් මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (දෙවන කොටස) - සුමිත් චාමින්ද
පශ්චාත් මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා - සුමිත් චාමින්ද
(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය