යටත් විජිතවාදී හෙවනැල්ල නිසා දෝ අප බොහෝ දෙනෙක් බොහෝ කලක් විශ්වාස කළෝ හොඳ ම භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ බව ය.

මේඩ් ඉන් ඉංග්ලන්ඩ් (Made in England) හංවඩුවට අප බොහෝ දෙනා යටි සිතින් හෝ ඇළුම් කරන්නේ ඒ නිසා විය හැක.  

ෆෝර්ඩ්, මොරිස්, ඔස්ටින් හා හිල්මන් ආදී මේඩින්-ඉංග්ලන් මොටෝ රථ ද රැලේ, බීඑස්ඒ හා හම්බර් වැනි පාපැදි ද හොඳ ම සන්නම් ලෙස අතිශය ජනප්‍රිය වූයේ ඒ පසුබිමේ ය.

මේඩින්-ඉංග්ලන් බයිසිකල් ගැන මගේ මතකය නැවත අවදි වුනේ, පසුගිය සතියේ ලංඩනයට දින කිහිපයකට ගිය විට ය. එහි මා ගිය වැඩ කටයුත්ත යෙදී තිබුණේ 6 වෙනි සිකුරාදා ය. ඉන් පසු, සති අන්තයේ කාලය කා දැමීම සඳහා මා තෝරා ගත්තේ ඉබාගාතේ ඇවිදීම ය. ඉස හැරුණු අතේ මා ඇවිදිමින් සිටින අතර, රීජන්ට් පාර්ක් පෙදෙසේ හවස් කාලය ගත කෙරිණි. ඒ අසල මා ලී බංකුවක වාඩි වී සිටියේ දවසක් ම ඇවිද දැණුන විඩාව නිවා ගැනුමට ය. මොහොතකින් මා සිටියේ අඩ නින්දේ ය. එක වර ම මා කණ වැකුණේ සිංහල ඝෝෂාවකි. නින්දෙන් අවදි වූ මා දුටුවේ ගිනි රතු තොප්පි ටී ෂර්ට් හැඳගත් හෙළ කොළුවන් පිරිසක් රීජන්ට් පාර්කය වටේ බයිසිකල් පැද ගෙන යාම ය. මේ සිහිනයක් දෝ යි සැක කළ මා, කණ්නාඩි කුට්ටම ගළවා, ලේන්සුවෙන් පිහිද නැවත, සයිකල් කරුවන් ලෙස බැලුවේ ඒ සිහිනයක් ද සැබෑවක් ද කියා තේරුම් බේරුම් කර ගැනීමට ය.

සයිකල් කරුවන් තිහක් හතළිහක් පමණ, රීජන්ට් පාර්කය වටේ වට කිහිපයක් ගිය අතර, එක සයිකල් කරුවෙකුගේ දම්වැල හෙවත් චේනය හදිසියේ ගැළැවී එය සාදාගන්නට ගොඩ වූයේ මගේ ලී බංකුව ළඟට ය. හෙළ බව ගඳ සුවඳෙන් මට හඳුනාගත හැකි නිසා, "මල්ලි මොකෝ මේ වෙන්නේ.." කියා මා ඇසුවේ සිංහලෙනි. "අරගලයකින් තොරව නිදහස දිනාගත හැකි යයි විශ්වාස කිරීමට අපට අයිතියක් නැත" කියා මල්ලියා පිළිතුරු දුන්නේ චැට් ජීපීටීයාකාරයෙනි. තේරෙන සිංහලෙන් කියන්නකො මල්ලි කියා මා යටත් පහත් ලෙස කී විට, චේනය ගැළවුණු සයිකලේ බංකුවට හේත්තු කොට, උගුර පාදා, රතු තොප්පිය සකස් කොට, තරුණයා මට කීවේ "සියලු මිනිසුන්ට යහපත් ලෝකයත් පැතූ ඒ වෙනුවෙන් සටන් කල සහ අවසානයේ තම ජීවිතය පූජාකල අමරණීය විප්ලවවාදියා වූ චේගුවාරාගේ 56 වන සැමරුම, අද අපි ලන්ඩනයේදී සමරනවා" කියා ය.

regent park
2023 ඔක්තෝම්බර් මස 8 වැනි ඉරිදා සවස බයිසිකල් සවාරියකින් මෙම සැමරීම ආරම්භ වූ බවත්, බයිසිකල් සවාරිය රීජන්ට් පාර්ක් රවුමේ පැයක් පමණ කළ බවත්, ඒ සදහා අවශ්‍ය බයිසිකල් අවට බයිසිකල් පාක් වලින් කුලියට ගත් බවත්, සහභාගිකයන්ට චේ ගුවේරා ගේ මුහුණ බඩේ සහ පිටේ පෙනෙන ලෙස මුද්‍රිත රතු ටී ෂර්ට් හා කැප් තොප්පි සැමැරුම සංවිධානය කළ සමාජවාදී තරුණ සංගම් එක්සත් රාජධානි ලංකාවෙන් ලබාදුන් බවත් තරුණයා ගිරවෙකු මෙන් කියාගෙන කියාගෙන ගියේ ය. බයිසිකල් සවාරියෙන් පසුව  වොරන් සැන්ටර් හී පැවැත්වෙන රැස්වීමට තමන්ගේ සගයන් සොයා යාමට අවැසි බැවින්, මට ආචාර සමාචාර කොට චේන් එක ගැලවිච්ච බයිසිකලය තල්ලු කරගෙන තරුණයා ගියේ ඉක්මන් අඩි තබමිණි.

තරුණයාගේ පිටේ ඇළ වී සිටි චේ ගුවේරාගේ මුහුණට යටින් එස් වයි යූ කියා ලියා තිබෙනු දුටු මට එවිට ය තේරුම් ගියේ, මෙය ජවිපෙ වැඩක් බව. ඉන්දියානු ව්‍යාප්තවාදයට මුල සිට ම ජවිපෙ එරෙහි වුනත්, යටත් විජිත ස්වාමියා වු බ්‍රිතාන්‍යය සමග සහෝදරාත්මක සුහදකම් පැවැත්වූයේ හැත්තෑවේ දශකයේ සිට ම ය. හැටේ දශකයේ අවසානයේ දී, එංගලන්තයට සංක්‍රමණය වූ, එකල තරුණයන් ව සිටි සී.අයි ප්‍රනාන්දු, අචා ලැනරෝල්, ක්ලැරන්ස් පීරිස්, පෝල් පීරිස් ඇතුළු පිරිසක් ස්පාර්ක් හෙවත් ගිනි පුපුර නමින් වාමාංශික කණ්ඩායමක් ලෙස ගොණු වී තිබුණේ, ලොවේ කොහේ සිටින හෝ ප්‍රගතිශීලී හා විප්ලවවාදී කොටස් සමග සහෝදරාත්මක ව වැඩ කරනු පිණිස ය. ක්ලැරන්ස් සහ පෝල් අයිය-මලෝ වූ අතර ඔවුන්ගේ එක් සහෝදරයෙක් බර්ටි පීරිස් ලංකාවේ හෝටල් කර්මාන්තයට ආශ්‍රිතව රැකියාවක් කළ අතර, සිරිමා බණ්ඩාරනායක බණ්ඩාරණායක මැතිණිය සමග ද සමීප සම්බන්ධතාවයක් පැවැත්වී ය (අසූවේ මුල ජවිපෙ තහනම් කළ කාලේ, විමුක්ති ගී සඳහා යොදා ගත් බස් රථය සඟවා තිබුණේ බර්ටි පිඉරිස් එවකට ප්‍රධානියා ව සිටි බේරුවල පිහිටි සංචාරක හෝටලයක ය). පීරිස් පවුලේ ම තවත් සහෝදරයෙකු වූයේ කලාවට ගැළපෙන ලෙස නම වෙනස් කර ගත් සුනෙත් ගෝකුල ය. ප්‍රකට ගායිකා නන්දා මාලිනිගේ විවාහක සැමියා වූයේ සුනෙත් වූ අතර ඇය මුලින් නන්දා මාලනී ගෝකුල ලෙස හැඳින්වූයේ ඒ නිසා ය.

 

ජ.වි.පෙ. සැමවිටම නිර්දෝෂී වූයේ ද? 71 කැරැල්ලට 52 යි - (මහිම සුජීව ගමගේ)

1971 ජවිපෙ කැරැල්ල නීතිමය වශයෙන් නිර්වචනය වූයේ රැජිණගේ රජය පෙරලන්න කළ උත්සාහයක් ලෙසිණි. මීට හේතුව වූයේ ඒ වන විට, ලංකාව ජනරජයක් ව නොතිබුණ නිසා ය. රැජිණගේ රටේ සිටි ගිනි පුපුරු සාමාජිකයෝ තම සහෝදරාත්මක දෑත් ජවිපෙට දිගු කළෝ ය. හිරේ සිටි ජවිපෙ නායකයන් දැකබලා ගැනීමට ද ලංකාවට ගිනි පුපුරු ධූත පිරිසක් එවී ය. එවකට ජවිපෙ ලේකම් ව සිටි, ලයනල් බෝපගේ සිරෙන් නිදහස් වූ පසු සම්පාදනය කරන ලද, පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගිනි පුපුරු සාමාජිකයන් ඉතා ඕනෑකමින් අධ්‍යයනය කළ අතර, එංගලන්තයේ ඉංග්‍රීසි බසින් ද පළ කළේ එම සංවිධානය ජවිපෙ එංගලන්තයේ ශාඛාවක් ලෙස හඳුන්වා දෙමිණි. 

හිරෙන් නිදහස් වී සිටින කාලයේ ම, ජවිපෙ නායක රෝහණ විජේවීරට දරුණු ඇන්ජයිනා අමාරුවක් ආ අතර ඊට ප්‍රතිකාර සඳහා ආවේ එංගලන්තයට ය. විජේවීරගේ මස්සිනා වූ වෛද්‍ය චන්ද්‍රා ප්‍රනාන්දු ද බොහෝ කලක් වෛද්‍ය වෘත්තිය කරගෙන ගියේ එංගලන්තයේ ය. විජේවීර එංගලන්තයේ සිට පපුවෙ අමාරුවට ප්‍රතිකාර ලබා ගන්නා විට ඒ සඳහා දුව පැන සත්කාරක වැඩ කළේ ගිණි පුපුරු ක්‍රියාකාරිකයන් ය.

දෙවැනි කැරැල්ලේදී, උතුරේ සන්නද්ධ අරගලය අරභයා ජවිපෙ ජාතිවාදී පදනමකට තල්ලු වූ අතර, කලින් පිළිගෙන තිබූ ස්වයං තීරණ අයිතිය ද බැහැර කළේ ය. ගිනි පුපුරු කණ්ඩායම ද එක්තරා ආකාරයකට තමන් කලින් පිළිගත් ස්වයංතීරණ අයිතිය උතුරේ සන්නද්ධ අරගල සම්බන්ධයෙන් පසුව වෙනස් කළ බව කියැවේ.

ඒ අනුව ජවිපෙ ගිනි පුපුරු හාදකම දිගට ම පැවති අතර ඊට කණකොකා හැඬුවේ, සෝමවංශ අමරසිංහ, දෙවැනි කැරැල්ල අවසානයේදී නායකත්ව මට්ටමෙන් ජීවිතය බේරා ගත් එක ම පුද්ගලයා ලෙස ප්‍රංශයට පළා යාමත් සමග බව සමහරුන්ගේ මතය යි. ඔවුන් කියන්නේ අමරසිංහ, එංගලන්තයේ ද අණසක පවත්වා ගන්නට ගිය විට, සාමාජිකයන්ගේ ආදායමෙන් සියයට දහයක් පක්ෂයට බැර කළ යුතු බව ඇතුළුව, ගිනි පුපුර කණ්ඩායමට 'බාල්දියක් පෙරළු' බව ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගිනි පුපුරු සමාජිකයන් බොහෝ දෙනෙකුට ජවිපෙ සාමාජිකත්වය අහිමි වූ බව කියැ වේ. ගිනිපුපුර සංවිධානයේ පුරෝගාමී පිරිසෙන් දැන් ජීවතුන් අතර සිටින්නේ පෝල් පීරිස් පමණි.

 පීරිස් වැනි ගිනි පුපුරේ සිටි පුරෝගාමීන් හැට ගණන්වල එංගලන්තයට සංක්‍රමණය වූයේ සරණාගතයින් ලෙස හෝ ඇසයිලම් ඉල්ලන්නත් ලෙස නොවේ. ඔවුන් අයත් වූයේ ඔරිජිනල් 'රැලේ' (Raleigh) බයිසිකල් එංගලන්තයේ ම හදපු කාලයට ය. දැන් 'රැලේ' බයිසිකල් හදන්නේ එංගලන්තයේ නොව, තායිවානයේ හා ඉන්දියාවේ ය. චේ බඩේ-පිටේ ගසා ගත් තරුණයා, තල්ලු කරගෙන ගිය චේන් එක ගැලවිච්ච සයිකලය ද එවැනි ඩුප්ලිකේට් 'රැලේ' එකක් ද කියා විමසීමට මට සිතුණු විට, ඔහු රීජන්ට් පාර්ක ඉමෙන් කෙමෙන් ඉවත් වී අවසන් ය.

කාඩිනල් අවුට්-බර්ඩ්ස් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

Anida


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්