දැන් ජනප්‍රිය දේශපාලන සංවාද තලය තුළ ඉදිරියට පැමිණ තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයක් පිළිබඳ මාතෘකාවය.
ජනපතිවරණ අපේක්ෂකයින් තේරීමේ සහ සූදානම් කිරීමේ අප්‍රකාශිත මෙහෙයුම් ආරම්භ වී තිබේ.
රනිල් වික්‍රමසිංහ සේම අනුර කුමාර දිසානායකද තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට දැනටමත් නිවේදනය කොට අවසන්ය. සජබෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන බව පැවසුවද කැබලිවලට බෙදී ඇති විපක්ෂයේ විවිධ කණ්ඩායම්වල සහාය ලබාගත හැකි පොදු අපේක්ෂකයෙකු පිළිබඳ අදහසද කනින් කොනින් ඇසේ. දැන් මා මිත්‍ර නිර්මාල් දේවසිරිද ඔහුගේ මුහුණු පොතේ වැඩි ඉඩකඩක් වෙන් කරමින් සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර කුමාරගේ ජයග්‍රහණය සහතික කිරීමේ වැදගත්කම පැහැදිලි කර දීම සඳහාය. (පසුගිය වසරේ අරගලයට ආසන්න කාලයේ ඔහු පවසමින් සිටියේ 2024 ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ගෝඨාභය රාජපක්ෂ ජය ගනු ඇති බවයි). මේ සියලු සූදානම් වීම්, අනාවැකි කීම් සහ කලබගෑනි සිදුවෙමින් පවතින්නේ ජනාධිපතිවරණය මැතිවරණ දේශපාලන න්‍යාය පත්‍රයේ මුලට පැමිණේය යන විශ්වාසය මුල් කොටගෙනය. (ඒ, හරියට මේ වසර මුලදී ළඟ ළඟම එන පළාත්පාලන මැතිවරණයක් පිළිබඳ විශ්වාසය වටා දේශපාලන ලෝකය බ්‍රමණය වූවා සේමය!).
ගේම් චේන්ජ් දේශපාලනය
එසේම, අර්නෙස්ටෝ ලැක්ලාවූ පවසන පරිදි සියලු දේශපාලන ක්‍රියාකාරීන් නිරතව සිටින්නා වූ තරඟයේ රීතීන් සැකසීමද දේශපාලනිකය. එසේ රීතීන් සැකසීමේ සහ වෙනස්කිරීමේ ක්‍රියාවෙහි නිරත වන්නා ස්ථානගතව සිටින්නේ දේශපාලනයේ වඩාත්ම රැඩිකල් මානය වන දේශපාලනිකය (the political) තුළයි. වික්‍රමසිංහ ජනපති ධූරයට පත් වූදා සිට කරමින් සිටින්නේ 'ගේම් ප්ලේ' කිරීමේ දේශපාලනයක නොව සෙසු තරඟකරුවන් අනපේක්ෂිත වියවුලකට ඇද වැටෙන ආකාරයෙන් 'ගේම් රූල්ස්' වෙනස් කිරීමේ දේශපාලනයකය. වීඩියෝ ගේම් භාෂාවෙන් කිව හොත්, සෙසු තරඟකරුවන් සාර්ථක ලෙස ක්‍රීඩා කරමින් සිටින විට, නැතහොත් ඔවුන් ක්‍රීඩාවට සූදානම් වන විට වික්‍රමසිංහ කරන්නේ ගේම් එක 'රීසෙට්' කිරීමයි. ඉදිරි ජනපතිවරණයක් පිළිබඳ ඔහුගේ ප්‍රකාශය වටහාගත යුත්තේ මේ 'ගේම් රීසෙට් කිරීමේ' ගේම් එකේ කොටසක් ලෙසින්ය යන්න මගේ අදහසයි.
මැතිවරණ පැවැත්වීමේ සමකාලීන ලාංකේය ක්‍රමවේදය කදිමට පැහැදිලි කරන ප්‍රකාශයක් පසුගියදා ධම්මික පෙරේරා විසින් සිදු කොට තිබිණ. එනම්, තමන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ තමන්ට එයින් ජය ගත හැකිය යන සහතිකය ඇතොත් පමණක්ය. යන්නයි. මේ මූල්‍ය කතිපයාධිකාරීන් ඊනියා වෙළඳපල තරඟය ගැන කල්පනා කරන ආකාරයමය. නිදහස් තරඟයේ මූලධර්මය යනු හුදෙක් ධනවාදයේ වැදගත්කම අවධාරණය කිරීමටත් රාජ්‍ය සුභසාධනය ගැන කතා කරන වාමාංශිකයින්ට පිළිතුරු දීමටත් තිබෙන උද්දෘතයක් පමණි.
වෙළඳපළේදී සේම මැතිවරණ දේශපාලනයේදීද නිදහස් තරඟයට වඩා අද වැදගත් වන්නේ ජයග්‍රහණය පිළිබඳ පූර්ව-සහතිකයක් තිබීමය. දේශපාලනයට නවකයෙකු වන ධම්මික පෙරේරා එළිපිට කියූ මේ කාරණය මෙරට ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික දේශපාලන පක්‍ෂ සියල්ලම අප්‍රකාශිතව පිළිපදින ධර්මයක් නොවේද? සැබවින්ම ඔවුන් මැතිවරණවලට ඉදිරිපත් වීම නොව, මැතිවරණ පැවැත්වීම පවා තීරණය කරන්නේ තම ජයග්‍රහණය කලින්ම සහතික කරගත හැකි ආකාරයේ කොන්දේසි හැකිතරම් දුරට සැකසීමෙන් පසුවය. රාජපක්ෂ හෙජමොනිය පැවති කාල පරිච්ජේදය තුළ මෙසේ ජයග්‍රහණය කලින්ම සහතික කරගැනීමේ තාක්ෂණය කොතරම් දුරට ගමන් කළාද කිව හොත්, පළාත් සභා මැතිවරණ කොටස් වශයෙන් පවත්වන ක්‍රමයක් පවා අනුගමනය කරන ලදී.
සෙසු මැතිවරණවලට පෙර ජනාධිපතිවරණය පෙරට ගැනීමේ උත්සුකය ආරම්භ වූයේ කිසිදු දක්ෂිණාංශික පක්‍ෂයකට සිය අහිමි වූ ජනතා සුජාතභාවය යළි පිළිසකර කරගත නොහැකි වීමේ පසුබිම තුළය. පළාත්පාලන මැතිවරණ නොපවත්වන බව ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ජනාධිපතිවරණය දේශපාලන න්‍යායපත්‍රයේ මුලට ඒමේ කතාව ආරම්භ විය. ඒ නිමේෂය තුළ දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ ප්‍රධාන කොටස්කරුවන් අතර කිසියම් අප්‍රකාශිත මාර්ග සිතියමක් පවතින බවද පෙනී ගියේය. මහා මැතිවරණයකට වෙනස්ව ජනාධිපතිවරණයකදී ප්‍රධාන දෙපිළකට ජන්ද බෙදී යාමේ රටාවක් නිර්මාණය වන බැවින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ප්‍රභූතන්ත්‍රයේ අයවලුන් වන තාක් දුරට ඔවුනගේ පැවැත්ම පිළිබඳ අභියෝගය සමනය කරගත හැකිය. පළාත්පාලන මැතිවරණයකදී, පළාත්සභා මැතිවරණයකදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයකදී ජවිපෙ/ජාජබ කෙරෙන් එල්ල විය හැකි අභියෝගය ජනාධිපතිවරණයකදී ඒ ආකාරයෙන්ම එල්ල නොවනු ඇතැයි ඔවුන් කල්පනා කරන්නට ඇත. ජනාධිපතිවරණයකදී තීරණාත්මක වන සුළුතර ජනවර්ගවල ජන්ද දිනාගැනීමට ජවිපෙ/ජාජබ විශේෂ ප්‍රයත්නයක් නොදරන වාතාවරණයක මේ ගණන් බැලීම වටහාගත හැකිය.
නමුත්, මේ අතරම කිව යුත්තේ වික්‍රමසිංහ හට ඔහුගේම මාර්ග සිතියමක්ද පැවතියා විය යුතු බවයි. එනම්, අයි.එම්.එෆ් වැඩපිළිවෙළ මගින් ජනිත කෙරෙන සමාජ විරෝධතා විශාල කැළඹීමක් කරා ගමන් කිරීමට පෙර තෝරාගත් පදනමක් යටතේ දරිද්‍ර ජනයාට මූල්‍ය සහ සෙසු ආධාර බෙදා හැරීමේ වැඩසටහනක් යළි ආරම්භ කිරීමත්, එමගින් බිඳ වැටුණු තම අනුග්‍රාහක ජාලයන් ප්‍රතිසංස්කරණය කරගැනීමත්, වැඩිම මහජන කෝපයකට ඉලක්ක වූ ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය කිසියම් දුරකට නිෂ්ක්‍රීයව තබා ගැනීමත්, ආර්ථික යුද්ධය ජයගත් නායකයා ලෙස දෘෂ්ටිවාදීව තමාවම මූර්තිමත් කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් ඔහුගේ මුල් මාර්ග සිතියමේ අංග විණැයි අනුමාණ කළ හැකිය. මා එසේ කියන්නේ සැබවින්ම වසරේ මැදභාගය වන විට ක්‍රියාවට නැගෙමින් පැවතියේ එවන් මාර්ග සිතියමක් බවට කරුණු ඉදිරිපත් කළ හැකි බැවිනි. වික්‍රමසිංහ 13 වන සංශෝධනය පිළිබඳ සාකච්ජාව පෙරට ගැනීමෙන්ද සජබ ශ්‍රේණීන්ට ආමන්ත්‍රණය කිරීමෙන්ද පෙනී යන්නේ ඔහු ඉදිරි මැතිවරණයකදී පොහොට්ටු පක්ෂයේ සහයෝගය මත පරායත්තව සිටින්නට කැමැත්තක් නොදැක්වූ බවයි. ඒ වෙනුවට සුළුතර ජනවර්ගවල ආකර්ෂණය දිනාගැනීමටත්, බලයට පත්ව දිගු කාලයක් යනතෙක් ඔහුට සංචාරයක් නොදුන් මෝඩි ආණ්ඩුවේ අවධානය දිනාගැනීමටත්, සාම්ප්‍රදායික එජාප ජන්දවලට ආමන්ත්‍රණය කොට ඒවා සක්‍රීය කිරීමටත් වික්‍රමසිංහ ප්‍රයත්න දරමින් සිටියේය. (පසුගිය මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කරන විට හඳුනාගත හැකි වැදගත් ජන්ද චර්යාවක් නම් පක්ෂය පසුබෑමට ලක්වන තත්ත්වයන් තුළ බොහෝ 'එජාප ජන්ද' ජන්දපොළට ගමන් නොකරන්නේය යන්නයි. එම ජන්ද දෝලනය වීමට වඩා නිෂ්ක්‍රීයව සිටින්නට ප්‍රිය කරයි).
දිගින් දිගටම එල්ල වූ ආණ්ඩුවේ අභ්‍යන්තර පීඩන හමුවේ වුවත් වික්‍රමසිංහ පොහොට්ටු නායකයින් හට අමාත්‍ය ධූර නොදීමද මෙහිදී අපගේ අවධානයට ලක් විය යුතුය. මේ කාරණයේදී තවමත් පාර්ලිමේන්තුව තුළ බල ක්‍රීඩා මෙහෙයවීමේදී පොහොට්ටු ජන්ද වැදගත් වුවත්, මහජන සහයෝගය අතින් ගත් කල පොහොට්ටුව බිමට සමතලා වී තිබේය යන කාරණය ඇතැම්විට ඔහුගේ සැළකිල්ලට ලක්වන්නට ඇත. එසේම, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය එජාප අමාත්‍ය මණ්ඩලයක් ඉදිරියේ පත් වූවා වැනි තත්ත්වයකට මුහුණ නොදීමට ඔහුට අවශ්‍ය වන්නට ඇත. දැනට වික්‍රමසිංහ හට සහාය දක්වන සීමිත බුද්ධිමය ශ්‍රේණිය සමන්විත වන්නේ ලාංකේය ප්‍රවර්ගයේ ලිබරල්වාදීන් සහ ඊනියා පශ්චාත්-නූතනවාදීන් අතලොස්සකගෙන් වුවත් රාජපක්ෂ බල-ජාලයෙන් කිසියම් දුරක් පවත්වාගෙන යන්නට (අඩු තරමින් දෘෂ්ටිවාදීමය තලයෙහි) එයද හේතුවක් විය හැකිය. මේ සියල්ලටමත් වඩා වික්‍රමසිංහ නිරතව සිටින ආර්ථික මෙහෙයුමත් ඒ සමග ගැට ගැසුණු එක්සත් ජනපද-ඉන්දීය භූ-දේශපාලනික මෙහෙයුමත් අනුව ගත් කල රාජපක්ෂ කඳවුර සමග දුරක් තබාගැනීම අවශ්‍ය කොන්දේසියකි.
වත්මන් තත්ත්වය වටහා ගැනීමේදී වික්‍රමසිංහ යනු දැන් හුදෙක් එජාප නායකයා පමණක් නොව ඉන්දු-පැසිෆික් කලාපයේ භූ-දේශපාලනික ගැටුම තුළ වැදගත් පුද්ගල සාධකයක් බවට තමාවම පරිවර්තනය කරගෙන සිටින අයෙකු බව සිහි තබා ගත යුතුය. ශ්‍රී ලංකාව තම බලපෑමේ කළාපය තුළට ඇතුල් කරගැනීමේ ඉන්දීය ව්‍යාපෘතිය වික්‍රමසිංහ යටතේ සාර්ථකව ක්‍රියාවට නැගෙමින් පවතී. මා මින් ඉහතදීද සඳහන් කොට ඇති පරිදි පසුගිය සියවසක ඉතිහාසය සාක්‍ෂි දරන පරිදි කිසියම් පරිවාරයේ රටක ප්‍රජාතන්ත්‍රවාදයත් එම රට තුළ පවතින තම භූ-දේශපාලනික අභිලාෂයනුත් යන දෙකින් එකක් තෝරාගන්නට සිදු වන තත්ත්වයක් තුළ බටහිර බලවතුන් විසින් තෝරාගනු ලබන්නේ දෙවැන්නයි. නමුත්, ඒ සමගම අභ්‍යන්තර දේශපාලන විරෝධයන් කළමනාකරණය කරගැනීමේ යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියාපටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම ඔවුන් අවතක්සේරු කරන්නේ නැත. ආසියා-අප්‍රිකා ලෝකයේ පැරණිතම නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය වන ශ්‍රී ලංකාව ලතින් ඇමෙරිකානු 'බනානා රිපබ්ලික්' පාලනය කළ ආකාරයෙන්ම පාලනය කළ නොහැකි බව එක්සත් ජනපද භූ-දේශපාලනික උපායවේදීන් නොදන්නවා විය නොහැකිය. විශේෂයෙන්ම ප්‍රබල මහජන නැගිටීමක මතකය තවමත් එතරම් දුරස් වී නොමැති දේශපාලනිකව සක්‍රීය ප්‍රජාවක් සිටින රාජ්‍යයක් තුළ සොමෝසා පන්නයේ සෙල්ලම් දැමීමට ඉඩක් නොමැත.
එසේනම්, සිදුවිය හැක්කේ කුමක්ද? සමාජ පීඩනය තුලනය කෙරෙන මාධ්‍යයක් වශයෙන් මැතිවරණ පැවැත්වීම අවශ්‍ය වන්නේ නම් සහ එම මැතිවරණයෙන් දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ආර්ථිකමය සහ භූ-දේශපාලනික මෙහෙයුම බාධාවට ලක් නොවිය යුතු නම්, එම මැතිවරණය ජනාධිපතිවරණයක් විය නොහැකිය. දැනට දේශපාලන පක්ෂවල පවතින දරුණු කැඩී බිඳී යාම් හමුවේ ජනාධිපතිවරණයකින් පැහැදිලි ජයක් අපේක්ෂා කළ හැකි කිසිවෙකුත් පෙනෙන තෙක් මානයක නැත. ප්‍රංශයේ මෙන් ජනාධිපතිවරණයේ දෙවන වටයක් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළ නොපවතින අතර කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක ජන්ද ලබා නොගන්නා තත්ත්වයක් තුළ අපේක්ෂා කළ හැක්කේ අතිශය වියවුල් වාතාවරණයකි. මෙරට දේශපාලන සංස්කෘතිය හැඩ ගැසී පවතින ආකාරය අනුව දෙවන මනාපය යනු ප්‍රායෝගික විකල්පයක් නොවේ. මේ සියල්ලටමත් වඩා විපක්ෂයේ ජන්ද බෙදී යාමට සැලසෙන පරිදි ජවිපෙ/ජාජබ ජනප්‍රියත්වයේ කිසියම් නැගීමක් වික්‍රමසිංහ අපේක්ෂා කළේ නම්, දැන් එම නැගීම ඔහු ඇතුළු ප්‍රභූ තන්ත්‍රයේ අපේක්ෂාවන් තියුණු ලෙස ඉක්මවා යන මට්ටමක පවතී.
(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය