ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවරුණු දේපළ අතර, අපූරු කොන්දේසියක් මත පැවරුණු දේපළක් වෙයි.

එම කොන්දේසිය නම්, “මේ දේපළවලින් ලැබෙන ආදායමෙන් දෑවැද්ද නොමැති තරුණියන්ට දෑවැද්ද ලබා දිය යුතුය’’ යන්නයි. දේපළ පැවරුම්කරු, කළුතර රිච්මන්ඩ් කාසල්හි හිමිකරු වූ දොන් ආතර් ද සිල්වා මුදලිතුමාය. ඒ කොන්දේසිය කිසි කලෙක ඉටු වී ඇත්දැයි දන්නා කෙනෙකු නැතත්, එය අතීත ලංකාවේ ‘දෑවැද්ද’ කොපමණ බරපතළ සමාජ ගැටලුවක්ව තිබුණේද යන්නට ප්‍රබල සාක්ෂියක් සපයයි. විසිඑක්වන ශතවර්ෂයේ වුවද මේ ‘දෑවැද්ද’ කෙතරම් බලවත් සාධකයක් දැයි තේරුම් ගැනීමට, එක් සති අන්තයක සිංහල- දෙමළ සහ ඉංග්‍රිසි පුවත්පත්වල මංගල දැන්වීම් අතිරේක පෙරළා බැලීම ප්‍රමාණවත්ය.

දෑවැද්ද යනු, ලාංකීය සමාජයේ බොහෝ විට එළිපිට නොපිළිගන්නා, එහෙත් අභ්‍යන්තරයෙන් බලවත් ලෙස ක්‍රියාත්මක වන විෂයයන්ගෙන් එකකි. කුල බේදය ද, උඩරට පහතරට බේදය ද, උතුර හා නැගෙනහිර බේදය ද විවාහය ආශ්‍රිතව තටු ලැබෙන තවත් එවැනි විභේදනයන්ය. ලංකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් තුළ මේ  කරුණු සම්බන්ධයෙන් ඇතැම් සමානකම් මෙන්ම බරපතළ වෙනස්කම් ද පවතී.
 
සිංහල සමාජයේ ප්‍රේම විවාහවලදී බොහෝ විට දෑවැද්ද ප්‍රමුඛ කර නොගැනුණ ද යෝජිත විවාහවලදී එය තදින්ම සලකා බැලෙනු දැකිය හැකිය. එහෙත් දෙමළ සමාජයෙහි, ඒ කවරාකාරයෙන් විවාහය සිදු වුවද ‘දෑවැද්ද’ යනු මගහැර යා නොහැකි අනිවාර්ය කඩඉමකි. සිංහල, දෙමළ ප්‍රජාවන් දෙක තුළම දෑවැද්ද දිය යුත්තේ ස්ත්‍රියගේ පාර්ශ්වයෙන් වුවද මුස්ලිම් සමාජයෙහි දෑවැද්ද දිය යුත්තේ පුරුෂයා විසින් ස්ත්‍රියගේ පාර්ශ්වයටය. ඒ අර්ථයෙන්, සාමාන්‍යයෙන් කාන්තාවන් පීඩනයට ලක් කර ඇතැයි චෝදනා ලබන මුස්ලිම් සමාජය, දෑවැදි කරුමයෙන් තම ස්ත්‍රීන් නිදහස් කර ඇත.
දෑවැද්ද සහ දෙමළ සමාජය

මෙම ලිපිය සමස්තයක් ලෙස සමස්තයක් ලෙස ලාංකීය සමාජයේ දෑවැද්ද පිළිබඳ ගැටලුව තේමා කර ගත් නමුදු, ඉහත පසුබිම තුළ එහිදී වැඩි අවධානයක්, මෙම සංකල්පය තදින්ම මුල්බැසගෙන ඇති හා කාලානුරූපීව වෙනස් වීම අවම දෙමළ සමාජය කෙරෙහි යොමු වීම නිරායාසයෙන්ම සිදු වූවකි. විවාහයකදී ඔවුන්ගේ සංස්කෘතිය විමසන කාරණා අතර ජාතිය, කුලය, ආගම, අධ්‍යාපනය, රැකියාව, දෑවැද්ද, රුව යන මානයන් රැසක් පැවතියද ඉන් දෑවැද්ද අතිශය තීරණාත්මක වේ.

Ponmani පොන්මනි (1978)ධර්මසේන පතිරාජයන් විසින් 70 දශකයේදී නිෂ්පාදනය කළ ‘පොන්මනි’ දෙමළ චිත්‍රපටය මෙම ගැටලුව අවධාරණය කරන්නකි. එයින් දසක ගණනක් ගෙවී ඇතත් එදා පැවති තත්ත්වයෙහි ගුණාත්මක වෙනසක් සිදුව නොමැති තරම්ය. මේ ගැටලුව දෙමළ සමාජය තුළ විවෘතව සාකච්ඡා නොවීමට ඊට එක් හේතුවකි.  

යාපනයේ පුලෝලි හි ජීවත්වන දේවකී, අපට ඒ ගැන විවෘතව අදහස් පළ  කළ කිහිපදෙනාගෙන් කෙනෙකි. 45 හැවිරිදි කාන්තාවක වන ඇයට තම ජීවිතය අවිවාහකව ගෙවීමට හේතුවක් වී ඇත්තේ සුදුසු සහකරුවකු සඳහා ගෙවියයුතු දෑවැද්ද ඇයගේ පවුලේ අය සතුව නොතිබීමයි.

“මගේ වයස දැන් හුගක් ගෙවිලා. මට කසාදයක් කරගන්න බැරි වුණේ මනමාලයකුට දෙන්න ලොකු දෑවැද්දක් නොතිබුණු නිසා. මගේ සහෝදරයා යුරෝපා රටක ජීවත්වෙන කෙනෙක්. අයියට ඕන වුණෙත් අයියා වගේම ලොකු තනතුරක් දරන කෙනෙකුට මාව කසාද බැඳලා දෙන්න. ඒත් එහෙම රස්සාවක් කරන කෙනෙකුට අපි ලොකු දෑවැද්දක් දෙන්න ඕනේ. ඒත් අයිය කැමති වුණේ නෑ එච්චර දෑවැද්දක් දෙන්න. ඉතින් මගේ මගුල කෙරුණෙ නෑ.” ඇගේ වචනවල තැවරී තිබුණේ දුකකි.
 
 sd 1
 
‘කොටි නීතියෙන්’ දෑවැද්ද තහනම්

දෑවැද්දේ පීඩනය එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී යම් දුරකට පාලනය වී හෝ යටපත් වී තිබුණු බව යාපනය සමාජයේ අත්දැකීමයි.
 
“ඉස්සර එල්.ටී.ටී.ඊ පාලනය උතුරේ තිබුණු කාලේ, ඒ දණ්ඩ නීති සංග්‍රහයේ තිබුණා දෑවැද්ද තහනම් කියලා. ඒ කාලේ දෑවැද්ද ඉල්ලුවොත් දඬුවම් කළා. ගෑනු ළමයි එක්ක ප්‍රේම සම්බන්ධකම් පවත්වලා පස්සේ විවාහ වෙන්නනම් දෑවැද්ද ඕනේ කියන අයට දඬුවම් දුන්නා. ඉතින් ඒ කාලේ දෑවැද්ද ඉල්ලන්න බය වුණා. මනමාලිගේ පැත්තෙන් කැමැත්තෙන් යමක් දුන්නොත් ගැනීම මිස, අපිට මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියන්න තහනම්. ඒක එක්තරා විදියක සැනසිල්ලක් වුණා. දැන් දුවෙක් ඉගනගත්තත්, එයා දොස්තර කෙනෙක් බඳින්නනම් පවුම් සීයක්, ගෙයක්, රුපියල් කෝටියක්වත් දෑවැද්දට දෙන්න ඕනේ. ඒ විදියට විවධ වෘත්තීන්ට  අනුව දෑවැද්ද දිය යුතු ප්‍රමාණය තීරණය වෙනවා. මගුල කෙරෙන්න නම් කුලයයි, දෑවැද්දයි, කේන්දර ගැළපීමයි අනිවාර්ය වෙනවා.”
දෑවැද්ද හෙවත් දායාද දීම ද්‍රවිඩ සමාජයේ මෙන්ම සිංහල සමාජයේද මනාලිය මත පටවනු ලැබුවකි. නූතන සිංහල සමාජය මේ සම්බන්ධයෙන් සැලකියයුතු මට්ටමේ ලිහිල් සම්ප්‍රදායකට අවතීර්ණව ඇති බවක් දැකගත හැකිය. එසේ වුවද, කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ, ආචාර්ය ප්‍රභා මනුරත්න පවසන්නේ, මතුපිටින් පෙනෙන තත්ත්වය සමාජ අභ්‍යන්තරයෙහි දැකගත නොහැකි බවයි.

‘අභ්‍යන්තරය වෙනස් වෙලා නැහැ’

Dr. Prabha 2 ආචාර්ය ප්‍රභා මනුරත්න “අතීතයේදී ස්ත්‍රියට සැලකුවේ හුවමාරු භාණ්ඩයක් විදියට. කෘෂිකාර්මික සමාජයේදී කාන්තාවට ආර්ථික වටිනාකමක් දෙන්න දේපොළ දුන්නට වර්තමානයට ඒ සිරිත් අදාළ වෙන්නේ නෑ. දැන් ආර්ථිකයට වැඩිම ශ්‍රම දායකත්වයක් සපයන්නේ කාන්තාව. අද සමාජ ක්‍රමය හා ආර්ථික ක්‍රමය එක්ක බලද්දී දෑවැද්ද කියන්නේ යල් පැනපු ක්‍රමයක්. තාමත් සිංහල හෝ දෙමළ සමාජයේ දෑවැද්ද එපා කියන දුලබයි. කාල් මාක්ස් කීවෙ සියලු ඝන වූ දේ වාෂ්ප වෙනවා කියලා. එත්  සමාජයේ මතුපිට ස්වභාවය වෙනස් වුණාට මිනිස්සු හිතන විදිය, සමාජ සම්බන්ධතා වේගයෙන් වෙනස් වෙන් නෑනෙ. මොඩ් ජීවිත ගැන හිතන ගමන් වික්ටෝරියා සදාචාරය පවත්වාගෙන යන්නේ ඒකයි. වර්තමානයේ ගැහැනු දරුවන්ට විවිධ වෙළඳපොළවලට මූණ දෙන්න වෙනවා. එකක් රැකියා වෙළඳපොළ අනික කසාද වෙළඳපොළ. විවාහ යෝජනා දැන්වීමක් දැක්කම මේ තත්ත්වය කොහොමද කියල හොඳටම බලාගන්න පුළුවන්. දෑවැද්ද කොයිතරම් සිංහල සමාජයේ මුල්බැසගෙන තියේද කියල. කොහොම වුණත් දෑවැද්ද කියන්නේ කාන්තාවට විතරක් නෙවි පිරිමින්ට වුණත් පීඩාකාරී දෙයක්. උදාහරණයක් විදියට සමහර අවස්ථාවකදී පිරිමියෙකුට වුණත් තමන් කැමති කාන්තාව සමග විවාහ වෙන්න නොහැකි වෙනවා මේ දෑවැද්ද කියන සාධකය නැතිව.”

මුස්ලිම් කාන්තාව- දෑවැද්දෙන් නිදහස

sd 8

Risa M. Salimමාධ්‍යවේදී රිෂා එම්. සලීම්ලංකාවේ මුස්ලිම් සමාජය තුළ, දෑවැද්ද සම්බන්ධයෙන් සිංහල ද්‍රවිඩ සංස්කෘතීන් ද්විත්වයටම වඩා වෙනස්කමකින් යුක්ත සම්ප්‍රදායක් පවතී. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රිෂා. එම්. සලීම් ඒ පිළිබඳ පැහැදිලි කළේය.
 
“මුස්ලිම් සමාජයේ  දෑවැද්ද හඳුන්වන්නේ ‘මහර්’ කියලා. මුස්ලිම්  සංස්කෘතියට අනුව, මනාලිය වෙනුවෙන් දෑවැද්ද හෙවත් දායාදයක් දිය යුත්තේ මනාලයා විසින්. මෙතෙක් කල් දියණියක හොඳින් හදාවඩා ගැනීම වෙනුවෙන් මනාලියගේ දෙමාපියන්ට ස්තුති කිරීම වගේ අදහසක් තමයි එතැන තියෙන්නේ. ඇතැම් විටක පියා විසින් තම දියණියගෙන් කොපමණ දෑවැද්දක් මනාලයාගෙන් ඉල්ලිය යුතුදැයි යන්න අසනවා, එසේ නැත්නම් පියාට එය තීරණය කරන්නට පුළුවන්, එසේ නොඉල්ලා හෝ ඉල්ලලා තම දියණිය වෙනුවෙන් ලැබෙන දෑවැද්ද පියා විසින් දියණියටම ලබා දීම සිරිතක්ව පවතිනවා.”
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අංශාධිපති ආචාර්ය ෆර්සානා හනීෆා ගෙන්ද අපි මේ පිළිබඳ අදහස් විමසුවෙමු.

Dr Fara 1ආචාර්ය ෆර්සානා හනීෆා“අපි මේ ගැන කතාකරද්දී හැම පර්යාවලෝකනයකම ඉඳලා හිතන්න වෙනවා. නැගෙනහිර මධ්‍යම පාන්තික  මුස්ලිම් සමාජය තමන්ගේ දුවට ගෙයක් දෙනවා. ඒකෙන් එම දියණියට ආර්ථික ශක්තියක් ලැබෙනවා. ඒක ධනාත්මකයි ඒ පැත්තෙන්. මොකද ඒ විවාහ සම්බන්ධයේ දෙපාර්ශ්වය අතරේ සමානාත්මතාවක් ඇති වෙන්න යම් දුරකට මේ තත්ත්වය බලපාන පුළුවන්.  ඒත් දුප්පත් කෙනෙකුට ඒක කරගන්න බෑ. සමහරු මේ දෑවැද්ද ධර්මයට පටහැනියි කියල ප්‍රතික්ෂේප කරනවා. මම දෙමළ සමාජයේ දෑවැද්ද කවර තත්ත්වයක පවතිනවද කියල සොයල නෑ. ඒ ගැන ඒ නිසා කියන්න බෑ. ඒ දේවල් ජාතිය, කුලය, ප්‍රදේශය වගේ  විවිධ හේතු මත වෙනස් වෙනවා.”

යුද්ධයෙන් පසුව- පරණ තැනටම

මුලතිවුහි 65 හැවිරිදි නාගලිංගම් කමලා, දුෂ්කරම සමයේ සම්ප්‍රදාය වුවද පලාගිය අයුරු සිය අත්දැකීමෙන් විස්තර කළාය.
 
“යුද්ධ කාලේ කඳවුරුවල ඉද්දි බොහෝ දෙනෙක් කුලය හා දෑවැද්ද ගැන, අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි අමතක කළා. එතකොට අපිට ඕන වුණේ ඒ විඳපු දුකෙන් මිදෙන්න විතරයි. දෑවැද්ද කුලය නොබලා කසාද සිද්ධ වුණා. ඒත් ආයේ ගම්බිම්වලට ආවට පස්සේ ආයෙම ඒ අමතක කරපු දෑවැද්ද, කුලය මතක් වෙලා.”
sd 7

උතුරේ දෙමළ සමාජයෙහි පවතින දෑවැදි පීඩනය, ඉන් බැහැර කෙනෙකුට වටහාගැනීමට අසීරු තරමේ ගැටලුවකි. චුන්දිකුලිහි ජීවත්වන 39 හැවිරිදි  සින්ධුජා ජැක්සන් පවසන්නේ ඒ වේදනාව පිළිබඳවය.  

“මම උපාධිධාරිනියක්. දැන් රජයේ රැකියාවක් කරනවා. මම අවිවාහකව ඉන්න හේතු කීපයක්ම බලපෑවා. එකක් මට දෑවැද්ද නොතිබීම. මගේ වැඩිමල් සහෝදරිය විවාහ කර දුන්නේ අපිට තිබුණ ඔක්කොම දීලා. දැන් අපිට දෙන්න දෙයක් නෑ. ඒ වගේම මගේ වයසත් ගිහින්. වයස වැඩි කෙනෙක් කසාද බන්දවන්න තවත් වැඩියෙන් දෑවැද්ද ඕන. ඉස්සර වයස තියෙද්දිත් මගේ රැකියාව ස්ථිර නොවීම නිසා හුඟක් විවාහ යෝජනා නතර වුණා.”

කිලිනොච්චියේ පුනරින් ආශ්‍රිතව කටයුතු කරන සමාජ ක්‍රියාකාරිනියක වන රෙබෙකා පාර්තීපන් මෙසේ පැවසුවාය: “මේ පැත්තේ හැම ගමකම වාගේ දෑවැද්ද නිසා කසාදයක් කරගන්න බැරි වුණු කාන්තාවෝ දහයක් දොළහක් ඉන්නවා. ඒ ජීවිත අපරාදේ.”

මේ සම්බන්ධයෙන් කරුණු කාරණා විමසීමේදී බොහෝ දෙනකු තමන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති විය.  මේ වනවිට යාපනය විශ්වවිද්‍යාලය ඇතුළුව ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාලයන්හි දෑවැද්ද පිළිබඳ පර්යේෂණ රැසක්  සිදු වී ඇතත්, ඒ තොරතුරුද සමාජගත වන්නේ නැත.

ඩයස්පෝරාව සහ දෑවැද්ද

ඇතැම් විට දෑවැද්ද පිළිබඳ නොසලකන පිරිස්ද ඉතා හදිසියෙන් හෝ මුණ ගැසුණද ද්‍රවිඩ සමාජය ඒ පිළිබඳ දක්වන ප්‍රතිචාරය පුදුම උපදවනසුලුය. මේ දෑවැදි ප්‍රශ්නය පිළිබඳ ඩයස්පෝරාව කවර ආකාරයේ ප්‍රතිචාරයක් දක්වන්නේද යන්නද සොයා බැලිය යුතුම පදාසයකි.

විදේශයක පදිංචි හැත්තෑ හැවිරිදි නඩරාජා ආරුමුගම් කියන්නේ ඒ පුදුමසහගත කතාවයි.
 
“මම දන්නා හොඳ කොල්ලෙක් හිටියා පිටරටක පුරවැසිභාවය තියන. ඒ කොල්ලාට ඕන වුණා ලංකාවට ඇවිත් ලංකාවේ දෙමළ ගැහැනු ළමයෙක්ම කසාද බැඳගන්න. එයා කිව්වේ හොඳ ගෑනු ළමයෙක් ඕනේ, මට දෑවැද්ද ඕනේ නෑ කියලා. ඉතින් අපි ගොඩක් ගෑනු ළමයි බැලුවා. ඒත් හුඟක් ගෙවල්වලින් අකමැති වුණා. හේතුව, එයාලට සැක හිතුණා හැමෝම දෑවැද්ද ඉල්ලද්දී මොකද මෙයා විතරක් දෑවැද්ද ඉල්ලන්නේ නැත්තේ, මෙයාට සනීප කරන්න බැරි අසනීපයක්වත් තියනවද? කියලා. එහෙම හිතන තරමට මේ සමාජයට දෑවැද්ද කා වැදිලා තියෙන්නේ.”
sd 2තම සහෝදරිය විදේශයක වෙසෙන මනාලයකුට විවාහ කර දුන් වල්ලිපුරම්හි තබෝදරන් කියන්නේ තවත් දෑවැදි කතාවකි. ඒ හැම කතාවකම කඳුළක්, අනුකම්පාවක් මුසු වී ඇත.

“මගේ නංගි විවාහ වුණේ යෝජනාවකින්. ඒ විදේශයක පදිංචි කෙනෙක්. ඒ මස්සිනා අපෙන් දෑවැද්ද ඉල්ලුවේ නෑ. ඒ වුණාට එයාගේ නෑයෝ ඒ ගැන කසු කුසු ගෑවා. අන්තිමට අපිට ඉන්න තිබුණ මේ පුංචි ගේ අපි නංගි නමට ලිව්වා. රත්තරන් පවුම් 20කුත් දුන්නා. අපි ඒ මගුල් ගේ චාමෙට ගන්න හිටියේ. එයාලාට ලොකු මගුලකුත් ඕන වුණා. අපි තව ලක්ෂ ගණනක් ණය වුණා. මම කසාද බැන්දේ ත්‍රිකුණාමලයෙන්, මම එයාගෙන් දෑවැද්ද ගත්තේ නෑ. ඒ නිසා මගේ නෑයෝ මට දොස් කිව්වා. ඒත් මම අහන්නේ ඇයි අපි දෑවැද්ද ගන්නේ, තමන්ගේ හැමදේම අත හැරලා අපි ගාවට එන ගෑනු ළමයින්ගෙන්?”

තබෝදරන් මෙන් හිතන පිරිමින් වැඩි වැඩියෙන් අභිජනනය කළ යුතු වගක් හැඟෙන තරමට දෙමළ සමාජයේ මේ දෑවැදි පිළිලය පැතිරී ඇත. ලංකාවේ සියලු ජනවර්ග සමග කටයුතු කරන ප්‍රවීණ භාෂා පරිවර්තකයකු හා විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු වන එස්. සිවගුරුනාදන්, ඩයස්පෝරා විවාහයන් පිළිබඳ තවත් පැති පෙන්වා දුන්නේය.
 

S.Sivagurunathanඑස්. සිවගුරුනාදන්“විදේශයක ජීවත්වන දෙමළ පවුලක නැන්දම්මලා බොහෝ දෙනෙක් කැමති නෑ විදේශයකම ජීවත්වන දුවක ලේලි කරගන්න. ඒ ගොල්ලෝ කැමති ලංකාවේ අයට. එතකොට ගෑනු ළමයෙක් හොයල මුලින්ම අහනවා ලංකාවේ කොහෙද කියලා. ඒකෙන් කුලය හොයාගන්නවා. ඊට පස්සේ අහනවා දෑවැද්ද තියෙන්නේ කොළඹද යාපනේද කියලා. ඒ අහන්නේ ගෙයක් දෑවැද්දට දෙනවනම් ඒක තියෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ඒ ගේ මනමාලයා නමට, නැත්නම් ඒගොල්ල කියන කෙනෙකුගෙ නමට ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ කසාදෙ කෙරෙන්නේ. යුද්දෙ කාලේ මේ ප්‍රශ්නේ ටිකක් යටපත් වෙලා තිබුණ‍ෙ. ඒත් දැන් ආයේ බරපතළ විදියට ඔළුව උස්සලා තියනවා. ලංකාවේ කොහේ හිටියත් බොහෝ දෙනකු දෑවැද්ද බලාපොරොත්තු වෙනවා.”
අඳුර මැද, දුලබ මිනිස්කම්

පේදුරුතුඩුවේ ජීවත්වන හතළිස් හැවිරිදි කබේෂන් මුරුගේසු, තම අත්දැකීම විස්තර කළේය. එය සම්ප්‍රදායේ අඳුර විනිවිද මනුෂ්‍යත්වයේ ආලෝකය දැල්වුණු දුලබ කතන්දරයකි.

“මම ඉපදුණේ සාමාන්‍ය පවුලක. මට අක්කලා දෙන්නෙක් හිටියා. මගේ ලොකු අක්කා බැන්දේ කැනඩාවේ ජීවත්වෙන කෙනෙක්. ඒ ලොකු මස්සිනා අපෙන් සතයක්වත් ගත්තේ නෑ. මඟුලටත් එයාම වියදම් කළා. දෙවැනි අක්කා බැන්දෙ ඉංජිනේරුවෙක්. එයත් දෑවැද්ද එපා කීවා. ඒත් එයාගේ අම්ම දෑවැද්ද බලාපොරොත්තු වුණා. ඒ වෙලාවේ අපිට සල්ලි තිබුණෙ නෑ. ඒ මස්සිනා කීවා මම සල්ලි දෙන්නම් ඒවා දෑවැද්ද කියලා එයාගේ අම්මට පෙන්වන්න කියලා. ඒකට අපේ ගෙදරින් අකමැති වුණා. අපිට අපේ ආත්මගරුත්වය රැකගන්න ඕනේ වුණා. අපි ණයට අරන් දෑවැද්ද දුන්නා. මේ නිසාම මගේ අම්ම මට කීව දුප්පත් කෙල්ලෙක්ව බැඳපන්, දෑවැද්ද රුපියලක්වත් එපා කියලා. මම දුප්පත් ගෑනු ළමයෙක්ව බන්දා. එයාට හැමදේම අරන්දීල මගුලත් මගේ වියදමෙන් කළේ. අපි සතුටෙන් ඉන්නවා.”  

චාවකච්චේරිහි ජීවත්වන හැට හැවිරිදි කාවේරි අම්මා කතා කළේ, මේ ගනුදෙනුවල තවත් පැත්තක් ගැනය.

“සමහර වෙලාවට විවාහය සිදුකරන පවුල් දෙකම දෑවැද්ද ගැන කතා නොකළත්, මගුල් කපුවා තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන හිතලා දෙපැත්තට දෑවැද්ද ගැන කියනවා, අහනවා. සමහර වෙලාවට මේ කපුවෝ දෙපැත්තට කියන බොරු නිසා, මඟුල කර දෙනවාට වඩා පවුල විනාශ කිරීමක් තමයි වෙන්නේ.”

දෑවැද්ද නම් විසකුරු සර්පයා

sd 9
දෑවැද්ද එක අතකින් බලන විට පන්න පන්නා පළිගන්නා සර්පයකු මෙනි. දුර්ගා කන්දයියා කියන කතාව ඊට කදිම නිදසුනකි. දෑවැද්ද කියන වචනය, කෙනෙකුගේ පවුල් ජීවිතය, සතුට මෙන්ම ජීවිතය වුවද අහිමි කිරීමට තරම් ප්‍රබලය.
 
“මම දන්නා පවුලක් තිබුණා. ඒ මනමාලයා ඉංජිනේරුවෙක්, මනමාලිත් ඉංජිනේරුවෙක්. දෑවැද්දට ලක්ෂ සීයක් ඉල්ලුවා. ඒක දුන්නට පස්සෙත් මනමාලයාගේ පවුලෙන් කරදර කරා දෑවැද්ද ගැනම කියලා. අන්තිමට ඒ මනමාලි සිය දිවි නසා ගත්තා. එයා නොබැඳ හිටියනම් තවම ජීවත්වෙනවා. ඒවා අහද්දී මේ දෑවැද්ද ගැන පුදුම තරහක් එන්නේ. සමහරු විවාහය සිද්ධ කළත්, පොරොන්දු කරගන්නවා අවුරුදු කීපයක් ඇතුළත දෑවැද්දෙ ඉතුරු ටික දෙන්න කියලා. තවත් සමහරු දෑවැද්ද ගන්නේ තමන්ගේ සහෝදරියන් ඒ දෑවැද්ද දීලා විවාහ කර දෙන්න ඕන නිසා. එක ගෙදරකට දුකක් දීලා ගන්න දෑවැද්ද දීලා තමන්ගේ බරෙන් නිදහස් වෙනවා.”
මේ දෑවැද්ද හේතුවෙන් බොහෝ තරුණියන් විවාහයට දක්වන්නේ බියකි. ඒ පිළිබඳ අදහස් දැක්වූ අවිවාහක තරුණියක වන කිලිනොච්චියේ භවානි අම්බලන්වාර් මෙසේ කීවාය:

“මට දැන් අවුරුදු 28ක්. මම පර්යේෂණ සහකාරවරියක් ලෙස රැකියාව කරනවා. මගේ පවුල සාමාන්‍ය පවුලක්. මගේ තාත්තා ගිනි අව්වේ වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ. ඉතින් මම කොහොමද මගේ තාත්තා දුක් විදලා හොයපු සල්ලි වෙන කෙනෙකුට ගිහින් දෙන්නේ? මම විතරක් මදිද? මම දෑවැද්ද ඉල්ලන මනමාලයෙක් බඳින්නෙම නෑ.”
 
sd 4

සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂක අනුෂ්කා කහඳගම, දෑවැද්ද පිළිබඳ තම අදහස් ප්‍රකාශ කළාය.
 
“දෑවැද්ද ස්ත්‍රිය අවමානයට පත් කරනවා. යුද්ධය නිමාවීමත් සමග ඇතිව තිබෙන වාතාවරණය උතුරු - නැගෙනහිර ස්ත්‍රියගේ  තත්ත්වය තවත් අවදානමකට ලක් කර තියනවා. එනම් අධික මිලිටරිකරණය සහ යුද්ධයෙන් පසු ඇතිව තිබෙන අහිමිවීම් සමග, කාන්තාව විවාහ වීම මෙන්ම ඒ විවාහ හරහා ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් ලෙස සමාජගත වෙලා. එවැනි තත්ත්වයක් තුළ උතුරු නැගෙනහිර ද්‍රවිඩ කාන්තාව දෑවැද්ද නමැති පුරුෂාධිපත්‍යමය ව්‍යුහය විසින් නිර්මාණය කර ඇති පීඩාකාරී යාන්ත්‍රණයට ගැට ගැසිල තියනවා.”
වර්තමානයේ තරුණියන්ගෙන් බොහෝ දෙනකු මේ පිළිබඳ විචක්ෂණශීලී වෙයි. ඔවුන් තමන්ගේ අභිමානය, හැකියාව, වටිනාකම ගැන  දෙවරක් හිතයි. රූකඩ ලෙස ක්‍රියා කරන්නට පසුබට වෙයි.

අයුක්තිය තහවුරු කරන ‘තේසවලාම් නීතිය’

සමාජීය හා සංස්කෘතික වශයෙන් පමණක් නොව නීතිය සමගද මේ දෑවැදි ප්‍රශ්නය ගැටගැසී තිබේ. තේසවලාමේ නීතිය අනුව ඔවුන්ගේ දේපළ මුදුසම්, උරුමෙයි, චීදනම්, තේඩිය ශාට්ටම් ලෙස වර්ග කොට ඇත. ඉන් දෑවැද්දෙන් ලැබෙන කොටස චීදනම් (සීදනම්) නම් වේ. තේසවලාමේ නීතියේ හයවන වගන්තියට අනුව විවාහක කාන්තාවකට තමන්ගේ විවාහය වලංගුව පවත්නා කාලය තුළ දී සැමියාගේ අනුමැතියකින් තොරව නීත්‍යානුකූල ඕනෑම කාර්යයක් සඳහා ඇගේ දේපළ යෙදවීමට හැකිය. එහෙත් ඇගේ නිශ්චල දේපළක් සම්බන්ධව කටයුතු කිරීමේදී තම සැමියාගේ ලිඛිත අවසරය ලබා ගත යුතු වේ.

Dr. Kosaliආචාර්ය කෝසලී මතාන්යාපනය විශ්වවිද්‍යාලයේ  නීති අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය කෝසලී මතාන් මේ ගැන තම අදහස් පළ කළාය.
 
“දෑවැද්ද කියන්නේ මේ සමාජයේ මහා ඛේදවාචකයක් වගේම ලොකුම හිසරදයක්. දෑවැද්ද, කුලය මිනිස්සුන්ට පුදුම පීඩනයක් එල්ල කරන්නේ. සමාජයෙන් ඉක්මනින් මේ වගේ අගතිගාමී සම්ප්‍රදායන් වෙනස් විය යුතුයි. කොයිතරම් ඉගනගත්තත්, කොයිතරම් හොඳ රැකියාවක් කළත් මේ දෑවැද්ද, කුලය කියන කාරණාවලින් වන පීඩනයෙන් වැළකෙන්න අමාරුයි.”

 
sd 3
අතුරුදන්වූවන්ගේ පවුල් සහ ‘තේසවලාමේ’

රාජ්‍ය නොවන සංවිධානයකට අනුබද්ධව සේවය සමාජ ක්‍රියාකාරිනියක වන කරන පෝල් අරුල් වන්දනා දෑවැද්ද පිළිබඳ ඇයගේ අත්දැකීම් බෙදා හදාගත්තාය.
 

Vandana Arulසමාජ ක්‍රියාකාරිනි පෝල් අරූල් වන්දනා“සමහර ගම්වල පහළොවක් දහසයක් විතරම දෑවැදි ප්‍රශ්නය නිසා විවාහයක් නැතිව හෝ විවාහය අතහැරලා ඇවිත් දුක් විඳිනවා. අනිත් කාරණාව, මේ තේසවලාම නීතිය. මේ නීතියේ විදියට මනමාලි අරගෙන යන දේපළ තමන්ගේ හිතුමතේට විකුණන්න බෑ. ඒකට සැමියාගේ අනුමැතිය ඕනේ. මේ නිසා යුද්දයෙන් පස්සේ අසරණ වුණු පවුල් ගණනාවක් තියනවා. හුගක් අතුරුදහන් වූ පිරිමි ඉන්න පවුල්වල බිරිඳට තමන්ගේ දරුවන්ගේ ඉගනීමේ කටයුතුවලට වියදම් කරන්නවත් මුදල් හොයාගන්න විදියක් නෑ. ඒකට හේතුව මේ කාන්තාවන්ගේ සැමියා මේ දේපළ විකුණන්න අවසර දීලා අත්සන් කරන්න ඕනේ. ඉතින් අතුරුදහන් වෙච්ච මිනිස්සු මැරිලද කියලවත් සහතිකයක් නැතිව කොහොමද තනි කැමැත්තට විකුණන්නේ? පවුලේ කාන්තාවෝ, දරුවෝ අසරණ වෙනවා. මේවා සමාජයේ බරපතළ ප්‍රශ්න. දැන්වත් මේවා කාලයට ගැළපෙන්න වෙනස්වෙන්න ඕනේ. අනිත් කාරණේ, මේ දෑවැද්ද ගත්තේ නැතත් දෙන්න ඕනේ කියන පිරිසක් ඉන්න එක. මගේ වැඩිමල් සහෝදරයෝ දෙන්නම විවාහවෙද්දී අපි ඒ මනමාලියන්ට දෑවැද්ද දීල එක්ක ආවේ. ඒත් අපි විවාහ වෙනකොට අපේ අම්මට ඕනේ වුණා මට  දෑවැද්ද දෙන්න. මේකත් නරක ආදර්ශයක්.”
ඇතැම් විටක දෙමාපියන් අහිමි වූ, විශේෂයෙන් ළමා නිවාසවල වැඩෙන දරුවන්ගේ විවාහය සිදු වන්නේ කෙසේදැයි විමසීමේදී දැනගන්නට ලැබුණේ එවන් ළමා නිවාසවල හැදී වැඩී, විවාහ වන වයසට පැමිණෙන තරුණියන්ට ස්විස්ටර්ලන්තය වැනි බටහිර රටවලින් ලැබෙන විවිධ අනුග්‍රහයන් යටතේ දෑවැද්ද සපයා දී විවාහය සිදු කර දෙන බවය. එහෙත් කවදා වනතෙක් කොතෙක් කියා මේ සම්ප්‍රදාය ඉටු කරන්න්නද?

යාපනය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක පැවසුවේ “දෑවැද්ද යනු පුරුෂ මූලික සමාජයක මූල්‍යමය ශක්තිමත්භාවය උදෙසා කරනු ලබන දෙයක්” බවයි.

“මේ ක්‍රමය ආසියාතික රටවල වගේම අප්‍රිකා රටවලත් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ උතුරේ මේ දෑවැදි ක්‍රමය ඉතා ප්‍රබලයි. යුද්ධය කාලේදී මේ තත්ත්වය යම්තාක් දුරකට සමනය වෙලා තිබුණත් යුද්ධයෙන් පසු නැවත දෑවැද්ද ගැන කතා වෙනවා. මේ වෙනකොට සිද්ධ වෙන දික්කසාදවලින් වැඩිම ප්‍රමාණයක් වෙන්නේ දෑවැද්ද පදනම් කරගෙන. සමහර අය දෑවැද්ද ඉල්ලන්නේ අවශ්‍යතාවකට නෙවෙයි. ඒ තමන්ගේ තත්ත්වය, අභිමානය පෙන්වන්න. සමහරු කැමැත්තෙන්ම දෑවැද්ද දෙන්නෙත් අභිමානය පෙන්වන්න. මේ දෑවැද්ද කොයිතරම් අසාධාරණද කියන එක තේසවලාමේ නීතියේ දෑවැද්දට අදාළ නීතිය අධ්‍යයනයේදී අපිට තහවුරු වෙනවා. මගේ පවුලේ ගෑනු ළමයි තුන්දෙනෙක් හිටියා. අපි කවුරුවත් දෑවැද්ද ඉල්ලන පිරිමි එක්ක විවාහ වෙන්න අකමැති වුණා. අපි විවාහ වුණේ දෑවැද්ද නොඉල්ලූ අය එක්ක. සමහර විට  පවුලේ ආර්ථිකය ගොඩ නංවන්න බැරි පිරිමියෙක් ඉන්න පවුලක කාන්තාවට මේ දෑවැද්ද ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.”

කඳුකර දෙමළ සමාජයේ දෑවැද්ද

sd 5
 
දෑවැද්දෙන් පීඩා විදීම උතුරු නැගෙනහිරට පමණක් නොව කඳුකරයේ වතු ආශ්‍රිතව ජීවත්වන ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ ජනයාටද පොදුය. ජීවිතයම සීතලට පවරමින් නෙක දුක් අනුභව කරමින් රොටියක් උදෙසා ඔට්ටුවෙන මේ අහිංසක මිනිසුන්ට දෑවැද්ද කොපමණ ව්‍යාධියක්ද යන්න හිතාගන්නටද අසීරුය. අදටද ඔවුන්ට ලැයිම් කාමරයෙන් එහා දකින්නට අවකාශයක් නැත. තේ ගසට තබා ගැට ගසා ඇති ඒ මනුස්ස ජීවිත දෑවැද්ද යන සංකල්පයෙන් බැට කන්නේ තවත් ප්‍රශ්න අටෝරාශියකට තල්ලු කරමිනි.
ඒ පිළිබඳ  අදහස් දැක්වූයේ ජීවන්ත පීරිස් පියතුමාය.  

Fr. Jeewanthaඅමිල ජීවන්ත පීරිස් පියතුමා" මේ දෑවැද්ද කියන සංකල්පය පාරම්පරිකව අත්‍යවශ්‍ය දෙයක් ලෙස කඳුකරයේ ජීවත්වන දෙමළ ජනතාවත් සලකනවා. මේ සමාජය දැඩි දරිද්‍රතාවයකින් පෙළෙන නිසා ඔවුන්ට අනෙක් ප්‍රදේශවල දෙමළ ජනතාවට වගේ ඉඩකඩම්, වාහන දෑවැද්දට දෙන්න නෑ. ඔවුන් ඒ නිසා තමන්ගේ වත්කම ලෙස සලකන්නේ රත්‍රන් ආභරණ. ගැහැනු ළමයකු විවාහ කර දෙනවා නම් රත්‍රන් දෑවැද්ද අත්‍යවශ්‍යයි. මේ පැතිවල ගැහැනු දරුවෝ දන්නවා තමන්ගේ දෙමවුපියන්ට ඒවා දෙන්න වත්කමක් නෑ කියලා. මේ පීඩනය නිසාම අවරුදු 16- 17 වනවිට විට ගැහැනු ළමයි, කවුරුහරි පිරිමි ළමයෙක් එක්ක හොරෙන් යනවා. ඊට පස්සේ දවස් තුන හතරකින් ඇවිත් තව කොහෙහරි වත්තක ලැයිමක ජීවත් වෙන්න පටන් ගන්නවා. ඇතැම් වෙලාවට මේ විවාහ නීත්‍යානුකූල නෑ. ආර්ථික ශක්තියක් නැතිව ප්‍රශ්න ඇතිවෙද්දී මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙනවා. සියයට අනූවක්ම පිරිමි බේබදු තත්ත්වයට පත්වෙලා. මේ සමගම කාන්තාවන්ට ගුටි බැට දීම පටන් ගන්නවා. පවුල් කඩාකප්පල් වීම, දරුවන්ට මාපිය රැකවරණ අහිමි වීම මේ වගේ ප්‍රශ්න වැලක් නිර්මාණය වීමට මේ දෑවැද්ද කියන සාධකය ඍජුවම බලපානවා. ඒ බලපෑමෙන් මිදීම සඳහා සමාජීය, ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික වෙනසක්  අත්‍යවශ්‍ය වෙනවා.”

S Ganeshalingamඑස්. ගනේෂලිංගම්ප්‍රසිද්ධ ද්‍රවිඩ ලේඛකයකු වන එස්. ගනේෂලිංගම් ‘කාන්තාව නිවහල් කිරීමට නම්’ කෘතිය රචනා කරමින් දෑවැද්ද පිළිබඳ කියා සිටින්නේය.

රජුන් හිඟන්නන් කරන දෑවැද්ද

“රදල වැඩවසම් සමාජය කාන්තාවන්ගේ විවාහ අවස්ථාවේදී දෑවැද්ද පිරිනැමීමේ ක්‍රමය ක්‍රියාත්මක කළේය. දේපළ අයිතිය පුරුෂයින් අත පැවතුණු අතර ස්ත්‍රියක් වෙනත් පවුලකට මනමාලියක් කොට යැවීමේ දී රදලයින් තම තත්ත්වය තහවුරු කිරීම සඳහා තෑගි බෝග පිරිනැමූහ. දේපළ හිමි සුළු ධනේශ්වර පන්තිය අතර මෙම සිරිත මහ බරක් ලෙස වර්ධනය වී ඇත. ගැහැනු ළමයකු යම් පවුලක ඉපදුණේ නම් දරුවා කෙරෙහි කලකිරීමක් ඇති වන තරමට දෑවැදි ප්‍රශ්නය තහවුරු වී ඇත. ගැහැනු ළමයි පස් දෙනෙක් බිහි කළොත් රජුත් හිඟන්නෙක් වෙයි යනුවෙන් ප්‍රස්ථාව පිරුළක්ද ඇති වී තිබේ.”  

sd 6

දෙමළ සමාජයේ බොහෝ දෙනකු අදටත් මේ මාතෘකාවට විරුද්ධව හඬක් නගන්නට අදිමදි කරද්දීත් මීට දශක කීපයකට පෙර ගනේෂලිගම්ලා මානවීය ගුණයන් මතු කරනු වස් සටන් කළේය. එහෙත් ඒ ශක්තිය අද සමාජයට නොමැති වීමම මේ ප්‍රශ්න එක තැන පල් වන්නට හේතුවක් වී තිබේ. දෑවැද්ද දීමෙන්ම රජවරුත් හිඟන්නන් වන්නේ නම් අනෙක් මිනිසුන් ගැන කවර කතාද?
 
සමාජය විසින්ම තමන්ගේ සැනසිල්ල උදුරා දැමීමේ මෙවන් යල් පිනූ සිරිත් අහෝසි වී යා යුතුය. අදහස්, ආකල්ප, මානවීය ගුණයන් ඉස්මතු වන විවාහයක් මිස  මුදල්, රත්තරන්, ඉඩකඩම්, ඔප්පු තිරප්පුවලට බැඳීම් හුවමාරු කිරීමේ ගණුදෙනු නිමා විය යුතුය. ඒ සඳහා රාජ්‍යමය, නෛතිකමය, සමාජීය, සංස්කෘතික, ආධ්‍යාපනික වශයෙන් ආකල්පමය වෙනසක් ඇති කිරීම දෑවැද්ද යන සංකල්පයෙන් පීඩනයට පත්වන සියලු මනුෂ්‍යයන් උදෙසා කළ හැකි ඉහළම  සත්කාරය නොවේ ද?

මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ - (සඳරැසී සුදුසිංහ)(සඳරැසී සුදුසිංහ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

නිරූපණ ඡායාරූප සහ වීඩියෝ නිර්මාණකරණය - සිතූ විමංසා
නිරූපණය - නදී කම්මැල්ලවීර/ බිතූ බිනාවි / සිතූ විමංසා
උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටනිව්ස්


'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්