රටේ ඇතුවූ බංකොලොත්භාවයට හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද, මුදල් ඇමතිවරුන් ලෙස ක්‍රියාකළ
මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂද, මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම්වරුන් දෙදෙනා ද (පී.බී. ජයසුන්දර හා එස්. ආර්.ආටිගල), මහා බැංකුවේ හිටපු අධිපතිවරුන් දෙදෙනාද (මහාචාර්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හා අජිත් නිවාඩ් කබ්රාල්) හා මහා බැංකුවේ හිටපු මූල්‍ය මණ්ඩලය ද වගකිවයුතු බවට හා ඒ මගින් ඒ සියළු දෙනා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝන කිරීමක් කර තිබෙන බවට ඊට අදාල පෙත්සම් දෙක විභාග කල පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයෙන් විනිසුරුවරුන් සිව් දෙනෙකු තීරනය කිරීම ශ්‍රී ලංකා අධිකරණයේ ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයක් පෙන්නුම් කරන අවස්තාවක් ලෙස සැලකිය හැකිය.
මාගේ මතය වන්නේ මේ සියළු දෙනා ගේ මෝඩ ක්‍රියා මහා ප්‍රපාතයකට ගමන් ගනිමින් තිබූ රටක් එම ගමනේ කෙලවර ඉක්මන් කරවීමට හේතු වූ බවය. අධිකරණයක් පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කරනවාට අතිරේකව පොදු සමාජ අයිතිවාසිකම්ද ආරක්ෂා කල යුතුය. ලංකාවේ අධිකරණය පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂාවේදී සැලකිය යුතු දියුණුවක් පෙනුම් කර ඇතත් පොදු අයිතිවාසිකම් ආරක්ෂාවේදී පෙන්වා තිබෙන දියුණුවේ තරම අසල්වැසි ඉන්දියාව තරම් බලවත් හෝ ප්‍රභල නැත.
පොස්පේට් නඩු තින්දුව හෙවත් "බුලංකුලමේ තවත් අය එදිරිව ලේකම්, කර්මාන්ත සංවර්ධන අමාත්‍යාශය තවත් අය "2000 (3) ශ්‍රි.ල.නි.වා පිටු 243-321 යන නඩුවේ තීන්දුව පුරවැසියන්ට පොදුවේ බලපවත්වන හානියක් වෙනුවෙන් ඕනෑම පුද්ගලයෙකුට නඩු පැවරීමේ අයිතිය හොදින් විග්‍රහ කර තිබෙන නඩු තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එම නඩු තීන්දුව ආචාර්‍ය ඒ.ආර්.බී අමරසිංහ ගේය.
අග විනිසුරු සරත් නන්ද සිල්වා
ඉන්පසු අග විනිසුරු සරත් නන්ද සිල්වාගේ අධිකරණ පාලන කාලයේදීද ලබාදී තිබෙන නඩු තින්දු ගණනාවක් (1. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි එදිරිව දයානන්ද දිසානායක 2.වාසුදේව නානායක්කාර එදිරිව කේ.එන්. චොක්සි හා තවත් 30 දෙනෙක්. 3.වෝටර්ස් එජ් නඩුව හා 4.අල්හාජ් එම්.ටී.එම් ආෂික් සහ තවත් අය එදිරිව ස්ථානාධිපති පොලිසිය වැලිගම හා තවත් අය) මහජන සුභ සාධන ගනයට වැටෙන නඩුකර හා ඒ සඳහා ලබා දී තිබෙන හොඳ තින්දු ලෙස සලකන තත්වයක් ලංකාවේ නීති ක්ෂේත්‍රය තුළ ගොඩනැගී තිබෙන තත්වයක් පෙනෙන්නට තිබේ. එහෙත් එම නඩුඅතරින් ශබ්ද විකාශන යන්ත්‍ර බාවිතය සීමා කිරීමට අදාලව ( අල්හාජ් එම්.ටී.එම් ආෂික් සහ තවත් අය එදිරිව ස්ථානාධිපති පොලිස් වැලිගම හා තවත් අය SC / FR 38/2005)නඩු තීන්දුව හැර ඒ ගනයට වැටෙන අන් සියළු නඩු තීන්දු එම අග විනිසුරුවරයා තමන්ගේ විරුද්ධ වාදින්ගෙන් පලිගැනිමේ අර්මුණින් තමන්ට තිබෙන අධිකරණ බලය වැරදි ලෙස පාවිච්චි කිරීම සඳහා යොදාගත් නඩු ලෙස සැලකිය හැකිය. පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි එදිරිව දයානන්ද දිසානායක සහ නීතිපති ( SC/ 278/2005) නඩුව ඒ සදහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි.
මෙරට පස්වන විධායක ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා කුමාරතුංග අගවිනිසුරු සරත් එන් සිල්වා ඉදිරියේ දිවුරුම් දෙමින්(Tamilnet)
සරත් නන්ද සිල්වා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට සිටි ඉතාමත් විස්වාසනීය අධිකරණ නිලධාරියෙකි. ඔහු නීතිපති ධුරයේ සිටියදී දූෂණ චෝදනාමත ඔහුට එරෙහිව අප දෙදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිනිලි කරන ලද අතර ජනාධිපති චන්ද්‍රිකා ඔහු අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ ඔහුට එරෙහිව අපගේ පැමිනිලි මත ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබුණ අවස්තාවකදීය. ජනාධිපතිනියගේ එම ක්‍රියාව අධිකරණ විෂයට අදාල ජාත්‍යන්තර ආයතනවල බලවත් විරෝධයට හේතුවූ අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ අධිකරණ විෂය බාර ප්‍රධාන නිලධාරියා ජනාධිපතිණියගේ එම ක්‍රියාව ප්‍රසිද්දියේ හෙළා දැක්කේය.
චන්ද්‍රිකාගේ ආණ්ඩුවට අතකොළුවක් ලෙස පාවිච්චිකල හැකි අධිකරණ ක්‍රමයක් හදා දුන්නේ අගවිනිසුරු සරත් සිල්වා ය. විරුද්ධ පක්ෂ මන්ත්‍රී වරුන්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මන්ත්‍රීකම අහිමි නොවන ලෙස ආණ්ඩු පක්ෂයට එකතු විය හැකි ක්‍රමයක් ඇති කර දුන්නේ ද ඔහුය. ටවුන් හෝල් බෝම්බ සිද්දියෙන් පසු ජනාධිපතිනියගේ පළමු දිව්රුම් දීමෙන් කලකට පසු දෙවැනි දිව්රුම් දීමක්ද සිදුවූ අතර එම දිවුරුම් දීම් දෙක සඳහා ඇයට උපදෙස් දී තිබුණේ සරත් සිල්වාය. දෙවැනි දිව්රුම් දීමේ අරමුණ වූයේ පළමු දිව්රුම් දීම නිසා ධූරකාලයේ ඇති වී තිබුන අඩුවීම නැති කොට එම කාලය උපරිම කර දීමය.
චන්ද්‍රිකා පාලන කාලයේ අවසාන කාලයේදී අගවිසුරුවරයා හා ජනාධිපතිණිය අතර බේදයක් ඇති වී තිබුනි. ඒ සමඟ අගවිනිසුරුවරයා පරණ දේසපාලන ස්වාමි දුව අතහැර එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වයට තේරීපත් සිටි ඔහුගේ පරණ මිතුරාවූ මහින්ද රාජපක්ෂට සමීප විය. ජනාධිපතිනියගේ නිල කාලය අවසන්වන්නේ පළමු දිව්රුම අනුව 2005.12.22 වන දිනයෙන්ද නැතිනම් දෙවැනි දිව්රුම අනුව 2006.11.10 වන දිනයේද යන ප්‍රස්නය ඒ වන විට දේසපාලන තළයේ සාකච්චාවට ලක්වෙමින් තිබුණ උණුසුම් මාතෘකාවක් වී තිබුණි. අගවිනුසුරුවරයා තමන් හොඳින් දන්නා හඳුනන තමන්ට විස්වාසවන්ත හිමි නමක් වූ ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමියන් මගින් ජනාදිපති මැතිවරණය පැවැත් විය යුතු දිනයට අදාල පෙත්සමක් ගෙන්වා ගනිමින් අගවිසුරුවරයා එය තමාද ඇතුළත් විනිශ්චය ය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන එම නඩුව පොදු ජන යහපත උදෙසා වන නඩුකරයක් බව ප්‍රකාශ කරමින් ඇගේ නිල කාලය 2005.12.22 දිනයෙන් අවසන් වන බව බව තීන්දු කලාය.
දිවුරුම් දිම් දෙක පිටිපස සිටියේ සරත් සිල්වා වන නිසාත් ඔහු ඒ වන විට ඇය සමග බලවත් අමනාපයක් ඇති කරගෙන සිටි නිසාත් ඔහු එවැනි නඩුවක් තමාගේ ප්‍රධානත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ඇසෙන නඩුවක් බවට පත් නොකර ගත යුතුව තිබුණි. චන්ද්‍රිකාට අදාලව ඔහු ඉදිරියේ ඇසුණු අනෙක් නඩුද අඩු වැඩි වශයෙන් අයත් වන්නේ ඒ ගනයටය. ඒවා සැලකිය හැක්කේ තමාගේ එදිරිවාදියෙකුගෙන් පළිගැනීමේ දුෂ්ට අරමුණින් යුතුව තමන්ට ලැබී තිබුණු බලය අයුතු ලෙස පාවිච්චි කරමින් දෙන ලද නඩු තින්දු ලෙසය.
රටක අධිකරණයක තියුණු බාවය කෙරෙහි විනිසුරුවරුන් ගේ පරිනතභාවයද, නීතිඥයින්ගේ විචක්ෂණභාවයද, අධිකරණය ඉදිරියට එන නඩු වල තියුණු හා ගැඹුරු භාවයද බලපායි. මා සිවිල් හා දේසපාලන එක්සත් ජාතින්ගේ ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිනිලි කිරීමට තිබෙන අයිතිය උරගා බලන තැනකට ගියේ එම නඩුව ජයගැනීමට මා සමත් වෙතොත් ලංකාවේ ඉහලම අධිකරණයට ගොස් යුක්තිය ඉටුකරගැනීමට අසමත් වන අයගෙන් කිසියම් හෝ පිරිසක් මා ආදර්ශයට ගෙන ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට ක්‍රියා කරනු ඇතැයි කියන විස්වාසයකින්ද යුතුවය.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු ඒ ආකාරයෙන් පරික්ෂාවට ලක්වන තත්වයක් යටතේ ලංකාවේ අධිකරණය ද දියුණු කිරීමට හේතුවන සාදකයක් ලෙස ක්‍රියාකරනු ඇති බව මගේ මතය විය. මා අපේක්ෂා කළ ආකාරයටම මගේ නඩුවේ ජයග්‍රහනයෙන් පසු ලංකාවේ ඉහලම අධිකරණයෙන් යුක්තිය ඉටුකරගැනීමට අසමත් වූ පුද්ගලයින් ගණනාවක් එහි ගොස් ඔවුන් ගේ පැමිණිලි ජයගැනීමට සමත් විය. ජයගත් පැමිණිළි සියල්ල අගවිනිසුරු සරත් සිල්වාට අදාල නඩු විය. මා පැමිණිළි කළේ ලංකාව බිහි කල දක්ෂම විනිසුරුවරයෙකු ලෙස සැලකිය හැකි ආචාර්‍ය මාර්ක් ප්‍රනාන්දු දෙනලද තින්දුවකට එරෙහිවය. එම විනිසුරුවරයා එම තීන්දුවෙන් කෝපයට පත්වනවා වෙනුවට එම තීන්දුව පිලිගනිමින් ඒ ගැන ප්‍රසිද්ධ විචාරයක්ද ලීවේය.
මේ අතර අග විනිසුරු සරත් නන්ද සිල්වා සිංහරාසාගේ පැමිනිල්ලක් සලකා බලා ජිනීවා මානව හිමිකම් කමිටුව දෙනලද නිර්දේශයන් සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් අගවිනිසුරුවරයා තමාද ඇතුලත් පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන තමන්ට හිසරදක් බවට පත්ව තිබුණ පුරවැසියන්ට මානව හිමිකම් කමිටුවට පැමිනිලි කරන්නට ලැබී තිබුන අයිතිය සේම එවැනි පැමිණිළි විභාග කොට ලබා දෙන තීරණයන් ලංකාවේ ක්‍රියත්මක කිරීමද ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කළේය. ඒ මගින් ලංකාවේ ඉහළම අධිකරණය දෙන තින්දුවකින් සෑහීමට පත් නොවන පුරවැසියෙකුට ඒ තින්දුවේ වරදක් ඇතොත් ජිනීවා මානව හමිකම් කමිටුවට පැමණිළි කොට එය නිවරදි කරවා ගැනීමට ලැබී තිබුණ අයිතිය සේම සිවිල් හා දේසපාලන අයිතිවාසිකම් ප්‍රඥාප්තියෙන් ලංකා සමාජයට ලැබී තිබුණ වෙනත් අයිතිවාසිකම්ද අහිමි කළේය..
ජීනිවා මානව හිමිකම් කමිටුව දෙනලද තීරණයන් සියල්ලම පාහේ අගවිනිසුරුවරයා අතින් සිදුවී තිබුණ අගතිගාමි තීන්දුවකට එරෙහිව දෙනලද තීරනයන් ලෙස සැලකිය හැකිය. එවැනි තත්වයක් තුල සිංහරාසා වෙනුවෙන් ඉදිරිපත්වූ පෙත්සම තමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගැනීම යුක්ති සහගත විය හැක්කේ කෙසේද?
තමන්ගේ නඩුවක් තමන් විභාගකිරීම නීතියේ පිළිගත් සම්මතයන්ට හා මූල ධර්මයන්ට පටහැනිය. එය සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධූරයේ සිටින කාලයේදී අධිකරණ විෂයෙහි සිදුවූ රටට විශාල හානියක් ඇතිකල මහජනයාට ලැබී තිබුණු වැදගත් අයිතිවාසිකම් රැසක් අහිමිකල බරපතල වංචාවක් ලෙසද සැලකිය හැකිය. එහෙත් පුදුමයට මෙන් රටේ එවැනි බරපතල වරදක් සිදුවී ඇති බව කිසිම දේසපාලන පක්ෂක් දැන සිටි බව පෙනෙන්නේ නැත. ඒ ගැන කිසිදු පක්ෂයක් එම වරද නිවරදි කිරීමට උත්සහයක් තබා අදහස් පළකිරීමක් හෝ සිදුකර නැත. එම අන්ධ භාවය නීතිඥ සංගමය, වෘත්තීයවේදි සංගම් වැනි සිවිල් ව්‍යාපාර වලටද අදාළය.
සමහර විට නොවැදගත් පුංචි දේවල් ලොකුවට පෙනෙන විට ලොකු දේවල් නොපෙනීම ලංකාවට ආවේනික විශේෂ ලක්ෂණයක් ලෙසද සැලකිය. ඒ සඳහා දිය හැකි නිදර්ශනයකින් මේ ලිපිය අවසන් කරමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මොන මොන හේතු නිසා හෝ තමන් දරමින් සිටි ජනාධිපති ධූරය අතහැර පලා ගිය පුද්ගලයෙකි. ඔහුගේ තත්වය සේවය අතහැර පලා ගිය රජයේ නිලධාරියෙකුට සමානය. එවැන්නෙකුට රජයේ සේවකයෙකුට ලැබෙන කිසිදු වරප්‍රසාදයක් හිමිවන්නේ නැත. එම ධර්මතාවය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද අදාලය. හිටපු ආරක්ෂක ලේකම් වරයෙකු වශයෙන් ආරක්ෂාව හැර විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමි කිසිදු වරප්‍රසාදයක් ඔහුට හිමි නැත. ඒ බව රටේ දේසපාලන පක්ෂවලට නොපෙනෙන්නේ ඇයි? මා එම ප්‍රශ්නය ගැන සමහර නීතිඥයන් සමග ඒ කාලයේදීම කථාකර ඇත්තෙමි. මාගේ එම තර්කය ඒ කිසිවෙක් ප්‍රතික්ෂේප කළේ නැත. එහෙත් එම වැරදි ආදර්ශය නිවරදි කිරීම සඳහා ඒ කිසිවකු ක්‍රියා කර නැත. සිදුවිය යුතු හොඳම දේ තනතුර අතහැර පලා ගිය ජනාධිපතිවරයෙකු වශයෙන් තමන්ට ආරක්ෂාව හැර අන් කිසිදු වරප්‍රසාද අයිති නැති බව තේරුම් ගනිමින් හිටපු ජනාධිපතිවරයා විසින් සිය කැමැත්තෙන් නීතියට පටහැනිව බුක්තිවිදින එම වරප්‍රසාද අත් හැරීමය. ඒ හැකියාව ඔහුට තිබේද?
(වික්ටර් අයිවන්)
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)