(මාධ්‍යවේදී සනත් බාලසූරියගේ මැණියන් අභාවප්‍රාප්ත වේ)
දෙතනේ කිරි දීලා
උකුළේ නළවාලා
ඔන්චිලි වාරම් කියාලා
ලොකු මහත් කෙරුවාට
දහස් වාරයක් පිං අම්මේ...
උකුළේ නැළ නොවුණු
ඔන්චිලි වාරම් නොඇසූ
දෙතනේ කිරි නොබිව්
උරගයන් වන්
විෂ ඝෝර සර්පයන්
අපේ මව් බිමේ
වැහි වැහැල අම්මේ...
ආයෙමත් අපි මුණ නොගැහෙන්න
මුණ ගැහෙනා දවසෙවත්
තුන් තිස් පැයේ මා සිප ගත්ත
ඔය මූණ සිපගෙන
මුණ නොගැහෙන්න වෙන්වෙන්න
බැරි වුනා අම්මේ...
ඒත්.. ඒ වන්දිය ගන්න
ඡූරියක් කැඳවන්න
හිරු උදාවක් කරමි
සත්තයි මගෙ අම්මේ
අවසානයත් අවසානයක් නොවුනාට
සමාවක් දෙනවාද කියාපන් අම්මේ..
කිව්වාට මදි එහෙම
ආයෙමත් හමුවුනොත්
දෙතනේ කිරි දීලා
උකුළේ නළවාලා
ඔන්චිලි වාරම් කියාලා
මාව නළවනවා නේද
මට ඇහෙන්න හයියෙන්
කියාපන් අම්මේ...
(ඥානසිරි කොත්තිගොඩ)
(සිය මෑණියන්ගේ අභාවය ගැන සනත් බාලසුරිය සිට ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක්)
අද දවසේ සදහට ම අප අතහැර යන්නට යන අම්මා යනු, මට ජීවිතය දුන් තැනැත්තිය පමණක් නොවේ.
ඒ ලබාදුන් ජීවිතයේ අරුත කුමක්දැයි කියාදුන්නාවූ ද, මගේ ජීවන පර්යායට පාදම දමාදුන්නා වූ ද තැනැත්තිය යි.
ලෝකය හා ලෝක ධර්මතා ගැනත්, මනුස්සයා හා මනුස්ස ගතිසොබා ගැනත්, යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාව ගැනත් ඇය තුළ තිබූ තියුණු ඉව හා අගැයුම් පද්ධතිය, මා සාමාන්‍ය මනුස්සයකු තුළ දැක ඇත්තේ ඉතාම විරලව ය.
කොන්දේසි විරහිත ආදරය හා දරාගැනීම ගැන, ඇය මගේ අත්පොත ය.
ඉගැන්වීමෙන් නොව සිය ඇවතුමෙන් පැවතුමෙන් මට ජීවිතය මෙන්ම ජීවත් වනහැටි ද කියාදුන් ගුරුවරිය ඇය ය.
මා තුළ වන 'ජීවිතය තුළ ම වූ නොපැවතීමේ' හා 'නොපැවතී පැවතීමේ' අර්ධය මවෙත ආවේ අප්පච්චිගෙනැ'යි සිතමි.
මෙයින් වසර හයකට පෙර ඔහු අසාධ්‍යව ලෙඩ ඇඳේ සිටියදී මා ඔහු බලන්නට ආවේ, මා බඳු රටක් අහිමි කළ මිනිසකුට ලේසියෙන් ආ හැකි ගමනක් නොවේ. අසාධ්‍යව සිටි අප්පච්චිගේ මුහුණ බලා කතාකිරීමේ වුවමනාවෙන් දුෂ්කර ගමනක් ආ මට දකින්නට ලැබුණේ, මා ගුවන්ගත වූ පාන්දර යාමයේ ම සිය පණනල වා තලයට මුදාහල ඔහු ගේ නිසල සිරුර ය.
එහෙත් මට ජීවය මතු නොව ජීවත්වන හැටි ද කියාදුන් අම්මාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැකගන්නට පවා ඒමේ හැකියාවක්, අද මා සතුව නැත.
මවකගේ මළගමටවත් එන්නට දරුවකුට වරම් නැති බිමක ඉපදීම මවකගේත් දරුවකුගේත් ඛේදවාචකයකි.
අපේ අම්මාත් මාත් යනු ඒ ඛේදවාචකයේ, මේ මොහොතේ මා දන්නා දරුණුම වින්දිතයන් ය.
එහෙත් අම්මා හෝ මා මේ මනුස්ස ඉතිහාසයේ ඒ ඛේදවාචකය අත්වින්දා වූ අනන්ත මනුෂ්‍ය ප්‍රාණීන් අතර අංශු මාත්‍රයක් පමණක් බව සිතා කඳුළු සඟවමි.
මට ගෙදරත්, ගෙදරට මාත් අහිමිවීම ඇරැඹුණේ කහදෙණිගම ඉස්කෝලයේ අම්මා ම ඉගැන්වූ ශිෂ්‍යත්ව පන්තිය අවසානයේ ය. එදා කොළඹ එන්නට සිදුවූ මා සිතා සිටියේ, කිසියම් දිනෙක කොළඹ කරදර-කලබලවලින් ගැලවී නැවත ගෙදර ගොස් අම්මාත් අප්පච්චිත් ඇතුළු පවුලේ අය සමග නිස්කාන්සුවේ දිවි ගෙවන්නට ය. එහෙත් ඒ නිස්කාන්සුව කිසිදිනෙක මා සොයා ආවේ නැත.
2009න් පසු මා තේරුම් ගත්තේ ඒ නිස්කාන්සුව නැවත මා සොයා ඒම සිහිනයක් වීමටත් බැරිකමක් නැති බව යි.
අදින් පසු ඇත්තටම එය සිහිනයක් ම වී අවසන් වන්නේ ය.
වයස එකොලහේ දී සිදුවූ ඒ විතැන්වීමේ සිට ඉවරයක් නැති රස්තියාදුවක පැටලුණු මා ඉවසා දරාගනිමින්, අම්මාත් අප්පච්චිත් වෙනුවෙන් මගේ බර ද කරට ගෙන සියලු දුක් කරදර ඉහිලූ අක්කා Sagariත් මල්ලී Wajiraත් නොවන්නට, ඔවුන් ගේ සහකරු/සහකාරිය නොවන්නට, ඔවුන්ගේ දුවාදරුවන් නොවන්නට මගේ පසුතැවීම නිසැකව ම මීට වඩා ගැඹුරු තුවාලයක් වන්නට ඉඩ තිබිණි.
අක්කාත් මල්ලීත් මට කිසිදා ඒ දරුණු තුවාලය ඇතිවන්නට ඉඩ නොදුන්හ.
දුෂ්කර ම ගම්මානවල පීඩිත ම දරුවන්ට එක ම සම සිතින් ආදරය සමඟ සිප්සතර මතු නොව ජීවිතය ද පොවන්නට ඔබ දැරූ වෑයම පමණක් ම වුව, ඔබ පැතූ සදාකාලික නිවීම ඔබ වෙත ගෙනෙන්නට ප්‍රමාණවත් බව මම හොඳින් ම දනිමි.
අවසාන වතාවට මට ඔබ බලන්නට එන්නටවත් විදියක් නැතිවීම ගැන ඔබ දුක් නොවනවා පමණක් නොව, දිගින් දිගටම කීවාක් මෙන් ඔබ ඒ ගැන සැනසුම් සුසුම් හෙළන බව ද මම ඉඳුරා දනිමි.
ඒ මවක ලෙස ඔබටත්, දරුවකු ලෙස මටත් අත්විඳින්නට සැලැස්වූ ඛේදවාචකයේ දිගු පුළුල යි.
(මාධ්‍යවේදී සනත් බාලසූරියගේ ෆේස්බුක් පිටුවෙන්)