වර්තමානයේ ශ්‍රී ලංකාව ලංකාව මුහුණ දී ඇති විවිධ ගැටළු නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණක් විසඳා ගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් සහ සමාජයේ විවිධ කොටස් ප්‍රකාශ කරන බව දැකිය හැක. 


මෙසේ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම යන්නෙන් ගම්‍ය වන මූලිකම අදහස වන්නේ ලංකාවේ දැනට පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොවන බවයි. ඒ අනුව යමින් තවත් සමහරෙක් ප්‍රකාශ කරන්නේ ලංකාව ගැනුම් සහ විකුණුම්  (buying & selling) පමණක් සිදු කරනු ලබන ආර්ථිකයක්, හෝ සෑම දෙයක්ම පිටරටින් ආනයනය කරනු ලබන ආර්ථිකයක් හෝ එසේත් නැත්නම් සේවාවන් මත කේන්ද්‍රිය වූ ආර්ථිකයක් වන බවයි. මෙම ලිපිය මගින් ආර්ථිකය පිළිබඳව පවත්නා ඉහතින් දක්වන ලද විවිධ දෘෂ්ටීන්හි යථා ස්වාභාවය සහ ඒවා නිෂ්පාදන ආර්ථිකයකට අදාල වන්නේද නැද්ද යන්නත් කෙටියෙන් විමසා බැලෙන අතර ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේදී නිෂ්පාදනය පුළුල් කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳවත් සලකා බැලේ.

 

124071743 3
නිෂ්පාදන ආර්ථිකයක් යනු කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි නිර්වචනයක් නොමැති අතර ඉන් අදහස් වන්නේ නිෂ්පාදනය ප්‍රසාරණය කෙරන නැතහොත් මූර්ත නිෂ්පාදිතය පුළුල් කෙරෙන ආර්ථිකයක් වේ යැයි හඟිමි. එසේනම් මූර්ත නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඛන්ඩව වැඩි වීම හෝ ආර්ථික වර්ධනය වේගවත් වීම රැකියා සුලභ වීමටත්, ජනතාවගේ සහ රජයේ ආදායම් වැඩි වීමටත්, භාණ්ඩ සුලභ වීමෙන් මිල මට්ටම් පහළ යාමටත්, ප්‍රසාරණය වූ නිෂ්පාදිතය හරහා අපනයන පුළුල් වන්නේ නම් ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීමටත්, විදේශ සංචිත වැඩි කර ගැනීමටත් සහ සමස්තයක් ලෙස ජනතාවගේ සුභසාධන මට්ටම ඉහළ යෑමටත් හේතු වෙයි.

ආර්ථිකයක කටයුතු ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය, හුවමාරුව සහ පාරිභෝජනය ලෙස කොටස් තුනකට බෙදිය හැකි බව දක්වන්නේ ආර්ථික විද්‍යාඥයින්ය. 

 

BuyingSellingABusiness 1024x683
නිෂ්පාදනය යනු විවිධ යෙදවුම් නිමැවුමි බවට පරිවර්තනය කිරීමේ  ක්‍රියාවලියයි. හුවමාරුව යනු තමාට අවශ්‍ය කරන සියලු භාණ්ඩ හා සේවා තමාටම නිෂ්පාදනය කර ගත නොහැකි හෙයින් තම අතිරික්තයන් වෙනත් අයට විකුණා වෙනත් අයගෙන් තමාට අවශ්‍ය දේවල් මිලදී ගැනීමයි. ගැනුම් සහ විකුණුම් (buying & selling) යනුවෙන් හෝ වෙළඳාම යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මෙයයි. නිෂ්පාදනයේ පරමාර්ථය  පාරිභෝජනයයි. මෙයට තමා නිපදවා ගත් භාණ්ඩ හා සේවා වලට අමතරව හුවමාරුව තුලින් ලබා ගත් භාණ්ඩ හා සේවාද ඇතුලත්  වේ.

ශ්‍රී ලංකා ආර්ථිකය තුල දැනටත් නිෂ්පාදන කටයුතු කෙරේ. එහි ප්‍රමාණය නැතහොත් මූර්ත දල දේශීය නිෂ්පාදිතය 2021 දී ඇමරිකානු ඩොලර් බිලියන 88.1 ක් වූ අතර එය 2022 දී ඩොලර් බිලියන 77.1ක් විය. එය වෙනත්  රටවල වර්ධනයන් සමඟ සංසන්දනය කිරීමේදී සාපේක්ෂව දුර්වල බව පිළිගත යුතුය. සත්‍ය වශයෙන්ම දැන් පවතිනුයේ ආර්ථිකය සංකෝචනය වන පරිසරයකුයි. විශේෂයෙන්ම ඉහළ  බදු අනුපාත, ඉහළ විදුලිය මිල සහ ඉන්ධන මිල ගණන්, අරමුදල් සපයා ගැනීමේ අපහසුතාවන් සහ යෙදවුම් ලබා ගැනිමේ දුෂ්කරතාවන් ආදී ගැටළු නිසා පෙර නොවූ පරිදි රටේ සියළු කර්මාන්ත තර්ජනයකට ලක්ව ඇත. මේ තත්ත්වය පිළිබිඹු කරමින් 2022 වසරේ ආර්ථිකය ඊට පෙර වසරට සාපේක්ෂව 7.8% කින් සංකෝචනය විය. ලෝක බැංකුව තක්සේරු කරන පරිදි 2023 වසරේදී ආර්ථික වර්ධනය 3.8% කින් තව දුරටත් සංකෝචනය වී ඇතැයි දක්වයි.

Ms Chathurika Nishamali, presses trousers made at Nordtex (Pvt) Ltd of Weliveriya, Friday, 29 August, 2014. The ADB supported Colombo port development has enabled most manufacturers and exporter to execute their orders on time or earlier than before thus paying dividends to the companies as well as their employees, in Sri Lanka.

 

මේ අතර සමාජයේ එක් කොටසක් ශ්‍රී ලංකාව නිෂ්පාදන නොව සේවා කේන්ද්‍රිය ආර්ථිකයක් ලෙස හඳුන්වයි. මෙයට හේතුව ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සේවා අංශය නිසා විය හැකිය. 2022 වසරේදී සේවා අංශයේ දායකත්වය 60.5% ක් වූ අතර  කෘෂි සහ කර්මාන්ත අංශවල දායකත්වය පිළිවෙලින් 7.5% ක් සහ 27.5% ක් වේ. ඇත්ත වශයෙන්ම නිෂ්පාදනය යන්නට භාණ්ඩ හා සේවා දෙකම ඇතුළත්ය. සේවාවන්ටද යෙදවුම් සහ නිමැවුම සම්බන්ධ පරිවර්තන කියාවලියක් ඇත. ලෝකයේ අනෙක් රටවල සේම ලංකාවේද දල දේශීය නිමැවුම ගණනය කිරීමේදී සේවා අංශය එහි කොටසක් ලෙස සලකයි. ඒ අනුව වෙළඳාම, ප්‍රවාහන , මූල්‍ය, රක්ෂණ, තොරතුරු හා සන්නිවේදන වැනි සේවාවන්ද නිෂ්පාදනයේ කොටසක් ලෙස සලකයි. නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේදී මෙම අංශ තුනේ සාපේක්ෂ දායකත්වය අඩු වැඩි කිරීම වෙනුවට අංශ තුනේම එනම් කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන අංශ තුනේම සමස්ත මුළු නිමැවුම වැඩි කිරීමට පියවර ගැනීම වැදගත්ය.

නිෂ්පාදන සම්පත් කාර්යක්ෂමව සංයෝග කිරීම තුළින් නිෂ්පාදනය වැඩි කරගත හැකිවනවා සේම හුවමාරුව නැතහොත් වෙළඳාමට පිවිසීම මඟින්ද සමස්ත නිමැවුම ඉහළ යන බවත් (තමාට සාපේක්ෂ වාසි සහිත භාණ්ඩ පමණක් විශේෂිකරණය කර අතිරික්තව නිපදවීම තුලින්),  ජනතාවගේ පාරිභෝජන මට්ටම ඉහළ යන බවත් ආර්ථික විද්‍යාඥයින් තර්ක කරයි. මෙය රටක් තුල වෙළඳාමට අදාළව මෙන්ම රටවල් අතර වෙළඳාමටද අදාලය. එනම් රටකට තම රටේ වැඩි පිරිවැයක් යටතේ නිපදවීමට සිදු වන භාණ්ඩ අඩු මිලකට වෙනත් රටවල් වලින් ලබාගෙන ඉහල පරිභෝජන මට්ටමක් අත්කර ගැනීමට වෙළෙඳාම මගින් අවස්ථාව ලැබෙන බවයි. දෙයි. ඒ අනුව නිෂ්පාදන ආර්ථිකයකට වෙළඳාම නැතිවම බැරි අංගයක් ලෙස සඳහන් කළ හැකිය. එසේම මෙයින් පෙන්නුම් කරන්නේ රටක් තමන්ට අවශ්‍ය සියලු භාණ්ඩ දේශීයව නිපදවනවාට වඩා ඇතැම් භාන්ඩ ආනයනය කිරීමෙන් වැඩි වාසි අත්කර ගත හැකි වන බවයි.

 

toys 5

නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව අදහස් දක්වන සමහරෙක් ලංකාව අල්පෙනෙත්ති, වෙසක් කූඩු, බිත්තර වල සිට ගුවන් යානා දක්වා සෑම භාණ්ඩයක්ම විදේශයන්ගෙන් ආනයන කරන බව දක්වයි. එය සත්‍යය. ලංකාව ආනයනය කල යුත්තේ මොනවාද, දේශීය වශයෙන් නිපදවිය යුත්තේ මොනවාද යන්න පිළිබඳව කිසිඳු වැටහීමකින් තොරව කටයුතු කරන බවක් පෙනේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල කල අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාව පැන්සල්, පෑන්, මකන, තීන්ත, සරුංගල්, සෙල්ලම් බඩු, පනා, කොහු ඉදල්, වතුර බෝතල්, කුඩ, හිස්වැසුම් ආදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා 2020 වසරේදී පමණක් රුපියල් කෝටි 63,477 ක පමණ මුදලක් වැය කර ඇති බවයි. ලංකාවේ ආනයන පිළිබඳව නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති බව මින් පැහැදිලි වෙයි. මේ නිසාම වෙළඳ ශේෂය හැමදාම ලංකාවට අයහපත්ව පැවැති අතර  මෑත කාලයේ ඇතිවූ විනිමය අර්බුදයටද මෙය එක් හේතුවක් වෙයි.

20 6

 

ලෝකයේ සෑම රටක්ම දේශීය වශයෙන් නිපදවිය හැකි කර්මාන්ත ආරක්ෂා කරන ප්‍රතිපත්තීන්හි පිහිටා කටයුතු කරන අතර, එනිසාම නිදහස් වෙළෙඳාමට තීරු බදු සහ තීරු බදු නොවන ආකාරයෙන් බාධා පමුණුවන බවද දක්නට ලැබේ. විශේෂයෙන්ම විදේශීය භාණ්ඩයන් හමුවේ තරඟ කිරීමට අපහසු දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම උදෙසාත්, ඉදිරි විභවතා පවත්නා නැගීඑන හෙවත් ලදරු කර්මාන්ත ආරක්ෂණය සඳහාත්,  දේශීය සේවා නියුක්තිය ආරක්ෂා කර ගැනීම සඳහාත් එසේ බාධා පමුණුවනු ලබයි. ලංකාව 2022 ඇති වූ විනිමය අර්බුදයේදී ආනයන පාලනයක් සිදු කළත් එය කළේ විනිමය ඉතිරි කර ගැනීම සඳහා මිස දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම පිණිස නොවේ.

නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේදී සෑම භාණ්ඩයක්ම ආනයනය කරනවා වෙනුවට ලංකාවේ නිපදවිය හැකි භාණ්ඩ දේශීය වශයෙන්  නිෂ්පාදනය කිරීම වෙත යොමුවන බව ප්‍රකාශ වේ. ඒ අනුව ඇතැම් භාණ්ඩ සඳහා ආනයන සීමා හෝ තවත් සමහර භාණ්ඩ ආනයනය නොකිරීමට  තීරණය කෙරෙනු ඇත. කෙසේ වෙතත් මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණු කීපයකි. ඇතැම් පාරිභෝගික භාණ්ඩ (උදාහරන වශයෙන් සහල්,  එළවලු, පලතුරු, සීනි වැනි) ආනයනය නැවැත්විම හෝ සීමාකිරීම කළ හැකි වුවද, බොහෝ අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ක්ෂණිකව හෝ කෙටි කාලයක් තුළ නැවැත්වීම හෝ සීමා කිරීම කළ නොහැකිය. මක්නිසාද යත්  ඇතැම් අන්තර් භාණ්ඩ දේශීය භාණ්ඩ නිෂ්පාදනය සඳහා යෙදවුම් වශයෙන් යොදා ගනු ලබන අතර (උදා; රෙදි පිලි) තවත් ආනයන ප්‍රථිඅපනයන භාණ්ඩ සැකසීම සඳහා යොදා ගනී (උදා, දියමන්ති). ආයෝජන භාණ්ඩ දේශීය නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා අවශ්‍ය වේ (උදා: යන්ත්‍ර සූත්‍ර,  ප්‍රවාහන උපකරණ).

 

2473666 1483868634

මෙහිදී පාරිභෝගික භාණ්ඩ වුවද ඒවායින් අත්‍යවශ්‍ය ඒවා මොනවාද අත්‍යවශ්‍ය නොවන ඒවා මොනවාද යන්න විශ්ලේෂණයකින් අනතුරුව ඒවාට සීමා පැනවීම කල යුතුය.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ (උදා: සකස් කරන ලද ආහාර, දුම්වැටි, සෙල්ලම් බඩු වැනි) සඳහා එසේ සීමා කිරීම සාධාරණීය කල හැකි වුවත් අත්‍යවශ්‍ය භාණ්ඩ (උදා: බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත, විදුලි සංදේශ උපාංග වැනි) දේශීයව නිශ්පාදනය කිරීම සහතික වනතෙක් ආනයනය සීමා කිරීම හෝ තහනම් කිරීම යෝග්‍ය නොවේ. මින් අදහස් වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ දේශීයව නිපදවා ඒවා වෙළඳ පොලට ලැබීමට සූදානම් කල පසු ඒවා සීමා කිරීම හෝ ආනයනය කිරීම නැවැත්වීම කල යුතු බවයි.

6422889821 b5d04208df o

 

තවද නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේදී විශේෂයෙන් පාරිභෝගික භාණ්ඩ ආනයනය සීමා කිරීමකට යොමු වන්නේ නම් ජනතාව දැනට හුරුවී ඇති පාරිභෝජන රටාවට බලපෑමක් නොවන ලෙස හෝ නැතහොත් අවම බලපෑමක් වන සේ එය කළ යුතුය.1978 සිට ක්‍රියාත්මක වූ  විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ රටතුලට ගලා ආ ආනයනික භාණ්ඩ පාරිභෝජනය හරහා  ජනතාව කිසියම් පාරිභෝජන රටාවකට හුරුව සිටී. ඒ නිසා  එවැනි  ආනයන නැවැත්වීමක් හෝ සීමා වීමක් නිසා ඇතිවිය හැකි පාරිභෝජන රටාවේ වෙනසකට දැක්විය හැකි ප්‍රතිචාරද සැලකිල්ලට ගනිමින් ආනයනික භාණ්ඩ සීමා කිරීම ගැන සලකා බැලිය යුතුය.

 

IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ? - (ජයශ්‍රී ප්‍රියලාල්)

උදාහරණ වශයෙන්  විනිමය අර්බුදය හේතු කොට ගෙන 2022 වසරේ සිදුකළ ආනයන සීමාවන් යටතේ රටඉඳි සඳහා කරන ලද ආනයන තහනම  මුස්ලිම් ප්‍රජාවගේ අසතුටට හේතු විය. තවද රූපලාවන්‍ය නිෂ්පාදන තහනම් කිරීම නිසා එම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු සිටි පිරිස් මැසිවිලි නැගූ බව දකින්නට ලැබිණි. මේ අනුව ආනයන  සීමා කිරීම හෝ නැවැත්වීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. මේ අතර IMF වැනි ආයතන ඔවුන්ගෙන් ණය සහන ලබා ගැනීමට යාමේදී මෙවැනි ආනයන සීමාවන්ට සහයෝගය නොදෙන බවද මෙහිලා සඳහන් කළ යුතුය.

නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව සාකච්ඡා කිරීමිදී වඩාත් වැදගත්ම කාර්යය වන්නේ, නිෂ්පාදනය වැඩි කරගන්නේ කෙසේද යන්නය.

ඒ සඳහා ඇති එක් ක්‍රමයක් වන්නේ භූමිය ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය ආදී සියලු සම්පත් උපරිම සහ ප්‍රශස්ත අයුරින් උපයෝජනයට ගෙන නිෂ්පාදනයට යෙදීමයි. ඒ අනුව භාවිත නොකළ සියලු ඉඩම්, පාවිච්චි නොකළ සමුද්‍රීය ප්‍රදේශ, භාවිතයට නොගත් ශ්‍රම සම්පත් භාවිතයට ගැනීමෙනූන්, අඩු ධාරිතාවෙන් ක්‍රියාත්මක කරන කර්මාන්තශාලා උපරිම ධාරිතාවට පත් කිරීමෙනුත්, නව කර්මාන්තශාලා ඇති කිරීමෙනුත්, දේශීය ආයෝජන සහ විදේශීය ආයෝජන ප්‍රයෝජනයට ගනිමින් සහ ව්‍යවසායකත්ව හැකියාවන් ඇතුළු සියලු සම්පත් මුළුමනින්ම ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදන පරිමාව වැඩි කර ගත හැකිය.

 

Radial expansion Phase 2 1 800x445
කෙසේ වෙතත් මෙලෙස කරන නිෂ්පාදනය යම් අවස්ථාවකට පැමිණි පසු විට පුළුල් කළ නොහැකිය. උදාහරණ වශයෙන් භූමිය පවත්නා ප්‍රමාණයට වඩා තවදුරටත් පුළුල් කළ නොහැකිය. පුහුණු ශ්‍රමයද යම් අවස්ථාවකට පැමිණි පසු එය ලබා ගැනීම සීමා විය හැකිය. ප්‍රාග්ධනය ලබා ගැනීමේදීද  එවැනි සීමා පවතී. කර්මාන්තශාලා උපරිම ධාරිතාවට පැමිණි පසු යළි පුළුල් කළ නොහැකි විය හැකිය.

නිෂ්පාදනය ප්‍රසාරණය කර ගැනීමේ අනෙක් සහ වඩා වැදගත්ම ක්‍රමය වන්නේ ඵලදායිතාව (productivity) වැඩිකර ගැනීමෙන් නිෂ්පාදනය වැඩි කර ගැනීමයි. ඵලදායිතාව යනු යෙදවුම් වලට සාපේක්ෂව ලැබෙන නිමැවුම් ප්‍රමාණයයි. නැතහොත් යෙදවුම් වලට අනුපාතිකව ලැබෙන නිමැවුම්  ප්‍රමාණයයි. නිෂ්පාදන සාධක වෙනස් නොකර නව අදහස්, පුහුණු ශ්‍රමය, උසස් තාක්ෂණික ක්‍රම සහ දියුණු කරලද ව්‍යාපාර ආකෘති (business  modeld) දෑ ආධාරයෙන් සම්පත් වඩා හොඳින් සහ කාර්යක්ෂමව සම්මිශ්‍රණය කරමින් වඩා වැඩි නිමැවුමක් ලබාගැනීමක් ඵලදායීතාවේදී සිදුවේ. ඒ අනුව නවෝත්පාදන සහ නවීන තාක්ෂණය භාවිතය, කාර්යක්ෂමතාව වැඩි කිරීම, මානව  ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම, සහ යටිතල පහසුකම් සංවර්ධනය යනාදිය මගින් රටක ඵලදායිතාව වර්ධනය කර ඒ ඔස්සේ නිෂ්පාදනය ප්‍රසාරණය කර ගැනීමට කටයුතු  කල හැකිය.


(මහාචාර්ය සේමසිංහ දිසානායක)
වාණිජ හා මුල්‍ය කලමනාකරණ අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image