රනිල්ට හැත්තෑ පහක්... ලු ලිපිය කියවූ දෙස් විදෙස් පාඨකයන්ගේ අදහස වුණේ මාධ්‍ය අක්‍රිය බවය.

ඉතාලියේ කමල් කීවේ ජනාධිපති මාධ්‍ය ඒකකයට කතා කළත් හලෝ කියන්නවත් කිසිවෙකු නො සිටි බවය. (හේතුව එය තවත් ආණ්ඩුවේ කන්තෝරවක් නිසා විය හැකිය.) 

කමල්ට අවශ්‍ය වුණේ ජනාධිපති වරයාට මුණ ගැසෙන ආගමික නායක ආදි විශේෂිත පුද්ගලයන් ඇතුළත් ඡායාරූප පළ කරන විට එකී පුද්ගලයන්ගේ නම් සඳහන් කිරීම වාසිදායක බවය. එසේම රජයට පක්ෂපාත ලිපි පින්තූර බහුතරයක් දෙනාගේ ඇස ගැටෙන ක්‍රමයක් නැති බව කියන්නටය.  (විශ්‍රාමික ගුවන් හමුදා සාමාජිකයෙකුවූ කමල් මිලේනියම් සිටි සිද්ධිය සහ 2002කේ සටන් විරාම (අලිකොටි) ගිවිසුම නිසා රනිල්ට වෛර කළ ලාංකිකයෙකි. රනිල් වෙනස් නො වුණාට කමල් ලා වෙනස් වෙලාය.) ලංකාවේ මාධ්‍ය ඔස්තාර්ලා සිතන්නේ අපට ඇහුන්කම් දෙනු මිස අප කිසිවෙකුට හලෝ කිව යුතු නැත කියා විය හැකි යයි කමල් මා සමග කීය. 

මා සිතන්නේ Chatham Street Journal පලදායි ප්‍රකාශනයක් වුවද, එය කියවන මිනිසුන් අතරට යන්නේ නැත. මගේ පාඨකයෙක් CSJ  එකට ලියන් නැත්තේ ඇයිදැයි විමසීය. අනාරාධිතව ලියන සිරිතක් මට නැතැයි කීමට මට සිදුවිය. රනිල් වික්‍රමසිංහ මිස රාජපක්ෂ කෙනෙන් නොවේ යයි හේතු දක්වමින් ලියු මගේ ලිපිය පළ වූ පිටුව Design කර තිබුණේ රනිල් රාජපක්ෂ යන්න ඉස්මතු වන ආකාරයටය. සමහරු මාතෘකාව නිසා ලිපිය කියවලාත් නැත. කර්තෘගේ තීරණය හෙයින් මම නිහඬ වුණේ යාලුකම් පැවතිය යුතු බැවිනි. ඇත්තෙන්ම මා The leader ට ලියන්නේත් කළ ඉල්ලීමක් කළ නිසාය. 

 



ලිපි ලිවීමේදී අවශ්‍ය සමහර සංඛ්‍යා ලේඛන වාර්තා ආදි තොරතුරු ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලා සිටියද එවැනි තොරතුරු සොයාගත නොහැකි බව හෝ දන්වා නැත. මේ ගැන පසු දවසක කතා කළ විටෙක එහි සාමාජිකයෙකු කීවේ අලුත් පොරවල් වැඩේට අත ගසා ඇති නිසා අපි කරන්නේ බලා සිටීම පමණක් බවය. මගේ අත්දැකීම නම් මැතිවරණ ව්‍යාපාරවලදී පලදායි වන්නේ අපේක්ෂකයා වෙනුවෙන් කැපවූ ඒකරාශි වූ තාවකාලික මාධ්‍ය ඒකක පමණකි. 

2014 ජනාධිපති මැතිවරණයේදී සිරිකොතේ සිට ක්‍රියාත්මක වූ මාධ්‍ය කණ්ඩායම ඊට නිදසුනකි. 2015 පෙබරවාරියේ සිට සමන් අතාවුද හෙට්ටි අරලියගහ මන්දිරයේ පිහිටවූ මාධ්‍ය ඒකකයකට මාද කැඳවා තිබිණ. අජිත් පැරකුම් ජයසිංහ, මනෝරම වීරසිංහ, සමන් වගආරච්චි ආදින් ඊට සම්බන්ධ විය. අගොස්තු මහ මැතිවරණය ප්‍රකාශ වූ වහාම රජයේ නොවන තැනක නිමල් බෝපගේ, මියගිය චාමර ලක්ෂාන් කුමාර ආදීන් සමග නේවාසිකව සිට දිවා රෑ වැඩ කර ඡන්ද දවසේ නිවෙස් බලා විසිර ගියෙමු. අදටත් විපක්ෂය තළු මරා කන බැඳුම්කර කතාව ගැන රාජපක්ෂලාගේ දීපව්‍යාප්ත ඡන්ද ප්‍රචාරයට එරෙහිව බැඳුම්කරය එසවීමට ඉහළින් උපදෙස් ලැබිණ. බැඳුම් කරය සිහි කිරීමත් හානිකර බව මා කියා සිටි අතර අප විකල්පයක් යොයා ගතිමු. දින දෙකක් තුළ රගර් ක්‍රීඩක තාජුදින්ගේ මිනිය ගොඩ ගැනීමට ලබා ගත් අධිකරණ නියෝගය සමග විපක්ෂය බැඳුම්කරය අමතක කළහ. ඉහළින් කීවත් සමහර දේවල් නො කළ යුතුවේ. එය මැතිවරණ මාධ්‍ය භාවිතයේ දී විශේෂිතය. 

නවසිය හැට හයේදී විපක්ෂයේ දිනපතා පුවත් පත් දෙකකින් එජාප පාලනයට එරෙහි දිනපතා මඩ කතා හත අට ජනගත කෙරිණ. අග්‍රාමාත්‍ය ප්‍රචාරක අංශයේ නිමල් කරුණාතිලක සහ හක්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න විසින් තෝරා ගත් (චන්ද්‍රසිරි සෙනෙවිරත්න සහ නන්දසේන සූරියාරච්චි ඇතුළු) පිරිසක් ලවා උදේ නවයට පෙර රජයේ වැඩ සටහන් පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සැපයීමට පියවර ගත්තේය. එකී වාර්තාවල වරද නිවැරදි කිරීම් එදිනම සවස් වනවිට අදාළ පත්තරවලට කඩිනමින් යැවීමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා ක්‍රියා කළේය. නිතර වරද නිවරද කිරීම් නිසා කෙටි කලකින් විපක්ෂයේ සාවද්‍ය පුවත් ව්‍යෘපෘතින් අඩපන විය. වර්තමානයේ ජනාධිපති මාධ්‍ය ඒකකය සිදු කරන ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජොබ් එකකි. ජනාධිපති මාධ්‍ය ඒකකයේ වගකීම් ඊට වඩා සියුම් සහ ගැඹුරු එකකි.   

 

2022 රටේ පැවති තත්වය වෙනස් වෙලා නේද ඇසූ විට ඇසෙන්නේ ඒ ණය ගෙවන්නේ නැති නිසා කියාය. ඒ අනවබෝධය නිවැරදි කිරීම ජනාධිපති මාධ්‍ය ඒකකය සතු වගකීමකි. රුපියල ඉහළ ගියාට උද්ධමනය අඩු වුණාට ජීවන වියදම භාණ්ඩ මිල අඩු නොවීම ගැටළුවකි. වෙළඳ මාෆීයාවට එරෙහි කෙරෙන වැටලීම් අනන්තය. සෞඛ්‍ය පරික්ෂක ඝාතනයත් වෙළඳ මාෆීයාව බවට සැක පවතී. මේවා විමර්ශණාත්මක මාධ්‍ය ක්‍රියාකාරකම් විය හැකිය. අතේ  පැල කරන මේ බොරු පඳුරු ජන මනසින් ගලවා ඉවත් නො කිරීම ගැටළුවකි. ගෙවුණ දෙ වසර තුළ රට මුහුණ දුන් අභාග්‍ය යටපත් කර යළි නැගිටීම ජනතා මනසට දැනෙන වැඩ සටහන් ජනගත නොවේ. අස්වැසුම හෝ උරුමය වැනි සාධනීය ව්‍යාපෘති භූමියට දැනිලාම නැත. මේවා විමසා බැලීමත් රාජ්‍ය ප්‍රචාරක මාධ්‍ය වගකීමකි. 

රටේ නීතියට අනුව කටයුතු කරනවාද ? නැද්ද ? - එඩ්මන්ඩ් රණසිංහ උපහාර උළෙලේදී  ජනාධිපති අසයි
දිවයින කර්තෘ එඩ්මන් රණසිංහ උපහාර උළෙලට පසු දින ඔහු විසින් උස් මහත් කළා යයි කියා ගත් ප්‍රකට මාධ්‍යවේදියෙකු තමන්ට රස්සාව දුන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ නිසා රනිල්ට ගහලා ලියන්න එපා යයි එඩ්මන් තමන්ට කී බවක් ලියා තිබිණ. එය මදුරුවා ගෙන් රජු බේරා ගැනීමට කඩුව පාවිච්චි කළ රිළවාට සමාන හැසිරීමකි. ජනාධිපති වික්‍රමසිංහ මුල් වූ එඩ්මන් රණසිංහ උපහාරයේ සායම අර කතාවෙන් සේදී නො ගියේ එඩ්මන් ඒ වනවිට සක්‍රිය මාධ්‍ය භූමිකාවක නො සිටි නිසාය. ඒ මෝඩ ලියවිල්ලේ හිමිකාරයා ජීවතුන් අතර නැත. 

මහනුවර තැපැල් කාර්යාලයක නිලධාරිනියක නුවරඑළිය පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගැන කීවේ තැපෑල් කාර්යාලයක් ස්ථානගත කළ යුත්තේ මහජනයාට සේවා පහසුව ලබා දීමට මිස ඓතිහාසික හෝ වෙනත් හේතුන් සලකා නොවන බවය. ඇය හිතන්නේ රාජ්‍ය දේපලක වටිනාකම සරිලන ආයෝජනයකට යෙදවීමට කිසිවෙකුට බාධා කළ නො හැකි බවය. මෙවැනි මතවාද විමසා ජනගත කිරීමට වෙනම පර්යේෂණ ඒකකයක් සඳහ මා කළ යෝජනාව අදටත් හමස් පෙට්ටියේය. 

88-89 භීෂණයට උත්තරය බටලන්දය. එහෙත් විජේවීර ඝාතනය කළාට පාලකයන් ඔහුගේ අඹු දරුවන්ට ලබා දුන් ආරක්ෂාව සිහිපත් කර දෙන්නේ නැත. මේවා කණ්ඩායම් එක්ව සැලසුම් කළ යුතුවේ. රෝ, සීඅයිඒ ආදි සංවිධාන සිය රටවල් වෙනුවන් කරන්නේත් මෙවැන්නකි.

 

පුවත් - Results from #5175
මාලිමාවට දස දහස් ගණනින් ඒකරාශී වීම බොරුවක් නොවේ. ඒ ඇයි? සමහරුන්ට අවශ්‍ය මාලිමාව දිනවීම නොව මාලිමාව දිනුවෙත් තම ජීවිත ආරක්ෂාව සලසා ගැනීමය. මේ අනුමානය සමහර විට නිවැරදි නොවිය හැකිය. මේවා විමසිය යුතුවේ. මගේ ලිපිය කියැවූ මාතලේ වැඩිහිටියෙක් මට පුෂ්පදේව ඝාතනය සිහිපත් කළේය. 

හපුවිද ග්‍රාම නිලධාරි පුෂ්පදේව ඝාතනය කළේ ටී 56කිනි. හේතුව යූඇන්පී නිසා හෝ ලාල්කාන්තට අනුව ඔත්තු දීලාත් නොවේ. පොලිසියට බැඳීමට අවශ්‍ය තරමට යහපත් පැවැත්මත් නැති ගමේ තක්කඩියෙකුට යහපත් චරිත සහතිකයක් නිකුත් නො කිරීමේ කෝන්තරයේ ප්‍රතිපලය විය.  “ගමේ හොඳින් ඉන්න. ඊළඟ සැරේ බලමු.” ග්‍රාම නිලධාරි කියා තිබුණේ එහෙමය. කිසිවක් නො කියා යන්ට ගිය තරුණයා 88-89 භීෂණය තුළ පොරක් වුණේ සමාජවාදය ස්ථාපිත කිරීම නොව  කෝන්තර පිරිමසා ගම බයකර ගැනීමය. වැඩේ පටන් ගත්තේ ග්‍රාම නිලධාරි ගෙනි. මේ අතීතය දන්නා අය කියන්නේ...  “මාලිමා ආණ්ඩුවක් ආවොත් මාසයක් දෙක තුනක් පොලිසි උසාවි දෙකටම අනිවාර්ය නිවාඩු ලැබෙන බවය. හුඟ දෙනෙක්  ජේවීපි වෙන්නේ මාලිමාව දිනවන්න නොවේ. මාලිමාව දිනුවොත් ගමේ ත්‍රාඩයන් ගෙන් පන රැක ගැනීමටය. මේ අනුමානයට ඇත්තේ සියයට පනහකටත් වඩා අඩු ප්‍රතිශතයකි.  

 

සිංදු කියන මාධ්‍යවේදියෝ...
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය අවසන් කළේ චන්ද්‍රිකා විසිනි. මාලිමාව දිනුවොත් යළි එය ආරම්භවීමේ සම්භාව්‍යතාවය නම් 110%ක් බව මුහුණු පොතේ පෝස්ට්වල දැක්වෙන භාෂා භාවිතාවෙන් පැහැදිලිය. සාධනීය මතයක් ඉදිරිපත් කරන්නා පට්ට නාකියෙකි. හෝ සනිල්ට කඩේ යන පරයෙකි. ඔක්තෝබර් විප්ලවයට පසුව දඩයම් කෙරුවේ සාර්ලා යටතේ ජීවත්වූ සාමාන්‍ය මිනිසුන්ය. සයිබිරියා යැව්වේ සැබෑ කොමියුනිස්ට් කාරයන්ය. 

අනුර සහ සජිත්ගේ දේශපාලනය රනිල් පට්ට ගැසීමය. බොහෝ රනිල් වාදීන් කරන්නේ හෙමිහිට ලිස්සා යාමය. මොන තර්කය ගෙනාවත් ... මුන් මතවාදි කතාබහකට එන්නේ නෑ කියන්නේම රනිල් දිනන්නේ නෑ නැත්නම් මාලිමාවට ජයවේවා කියලා. ඒක කරච්චලයක්. බව මඟ හැර යන්නෝ කියති. 

මේ අත්දැකීම විස්තර කළ මිතුරා කීවේ විපක්ෂයේ පොදු අරමුණ රනිල් පරාද කිරිමට මිස බඩු අඩු කිරීම ඉන්ධන සුලබ කිරීම නොවන බවය. රටේ වෙනස ප්‍රතික්ෂේප කළ නොහැකි බැවින් මෙසේ රනිල් කෝටුමස් කිරීමට වෙහෙසෙති. මෑතක දිනපතා ලංකාදීපය විජිත හේරත් සමග කළ සාකච්ජාවක, 95 පැට්‍රල් රුපියල් එකසිය විසි නවයට තිබුණා නේදැයි ඇසූ විට මිල ඉහළ ගියේ රනිල්ගේ පාලනයේ වරදින් බව විජිත හේරත්  කී විට අර මාධ්‍යවේදියා නිහඬ වීම යනු මුලින් කී ලිස්සා යාම මාධ්‍ය තෙක් පැතිරී ඇති බවට උදාහරණයකි.  

කලිසම එල්ලුනාට රනිල් ආරම්භ කළ ශාස්ත්‍ර පීඨ, ජාතික අධ්‍යාපන ආයතනය බෙල්වුඩ් ගම්මානය බිහි කළ ශර්ලි වෛජයන්තලා චන්ද්‍රලේඛලා ආදි කලා ශිල්පීන් ඇද නො වැටුණා මෙන්ම ගෝඨා විනාස කළ ආර්ථිකයද රනිල් යළි ගොඩ නගමින් සිටියි. ආර්ථිකය ගොඩ නැගුවාට හැත්තෑ පස් වියැති රනිල් ගේ මාධ්‍ය භාවිතය බෙහෙවින් දුර්වල බව පිළිගත යුතුවේ. 

 

පුවත් - Results from #2430
බදු වැඩි කිරීමෙන් ඇතිවූ පීඩනය ගැන කෑ ගසන මධ්‍යම පන්තිකයන් රනිල් විසි වුණොත් මේ ටිකත් ඉවරයි කියාත් කියනවාය. පීඩනයට හේතුව වෙළඳ මාෆියාව සහ සත්‍ය තොරතුරු ජනගත නො වීමය. නිර් දේශපාලනික අස්වැසුම ව්‍යාපෘතිය මහත් අස්වැසිල්ලකි. එහෙත් ගම්වල දිළිඳු පවුල් මුනගැසී අස්වැසුම ගැන දැනුවත් කොට අයදුම් පුරවා දී මාලිමාව අස්වැසුම වාසියත් ලබා ගන්නා බව රනිල්ට කියන්න කෙනෙක් නැත. මේ ගැන අස්වැසුම ප්‍රධානින් දැනුවත් කළද ඔවුන්ගේ ප්‍රමුඛතාවය සුව පහසු ගොඩනැගිල්ලක් සොයා ගැනීම බව ප්‍රකාශ විය. නිලධාරින් බිය වන්නේ රනිල්ගෙන් කැපෙයි කියා නොවේ. විපක්ෂයෙන් කැපෙයි කියාය. 

තුන් වසරක් වැසී ගිය පාසල් පද්ධතිය රනිල් බලයට පත්ව දින දෙකකින් විවෘත කර විභාග පැවැත්වූ බව ශිෂ්‍ය පරපුර කෘතවේදිව කියති. රනිල්ගේ ධවල පත්‍රිකාව විනාස කළ විමුක්තිකාමින් ගැන ඒ දරුවන්ගේ වැඩිහිටියන්ටත් අමතකය. හැඩවැඩ තරුණියන්ට ගුරු පත්වීම් දුන් යුගය හමාර කොට සරසවි වරම් නො ලද දහස් ගණනක් උසස් පෙළ සමතුන් ගුරු වෘත්තිකයන් කළ විද්‍යා පීඨ ක්‍රමය ඇති කළේ කවුදැයි විද්‍යා පීඨ වලින් බිහිවූ විශ්‍රාමික ගුරු පරපුරටවත් මතක නැත. 

 

රනිල් ලෝක බැංකුවේ නියෝජිතයා හමුවේ

රනිල් මාර්කට් කළ නො හැක්කේ රනිල් යනු දක්ෂ පාලකයෙකු මිස ජනප්‍රිය නායකයෙකු වීමට අවශ්‍ය නැති නිසාය. 2020 රනිල් පරදින විට පැට්‍රල් ඩීසල් මිල රුපියල් එකසිය තිහකට පහළින් පැවතිණ. ගෑස් රුපියල් දෙදහස් තුන්සියකි. එසේම රජයේ මුදලින් නිම කළ සාර්ථක ව්‍යාපෘති තමන්ගේ කර ගැනීමේ නැහැදිච්ච වැඩේ රනිල් කවදාවත් කළේ නැත.   

එකම එජාප මන්ත්‍රි වරයෙකු සිටින පාර්ලිමේන්තුවේ බහුතර සහායෙන් රනිල් වසර දෙකක් රට පාලනය කරන බව කිසිවෙකුට කල්පනා නොවේ. රනිල් යනු  2020දී විශ්‍රාම ගැන්වූ මිනිසාමය. ඔහු හරියටම සමාන වන්නේ රණතුංග කරුණානන්දට පමණකි. ඔලිම්පික් කරු 1964 ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 10,000 ඉසව්වේදී  ජයග්‍රහණය නො කළද තරඟය අවසන් කොට ලෝක කීර්තිය මව් රටට ගෙනා ශ්‍රී ලාංකිකයාය. ඔලිම්පික් කරු 1971 සහ 1976 වර්ෂවල ජපන් පාසල් පෙළ පොත්වල “Uniform Number 67”  යනුවෙන් දැක්වෙන පාඩමේ වීරයාය. රනිල් 2024 පැරදුණොත් ඊට වගකිව යුත්තේ රනිල් මිස රටේ මිනිස්සු නොවේ. 

සබැඳි ලිපිය :
රනිල්ට හැත්තෑ පහක්.......ලු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

 

සජිත්ගේ භූමිකාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්