ස්මාර්ට් ජංගම දුරකතන අද වන විට කුඩා දරුවන්, තරුණ තරුණයින් අතර පමණක් නොව වැඩිහිටි ප්‍රජාව අතර ද වැඩි වශයෙන් ජනප්‍රිය තාක්ෂණික මෙවලමක් බවට පත්ව තිබේ.


අතීතයේ විවිධ ක්‍රමවේද භාවිත කරමින් දුරකතන සංවාද පටිගත කිරීම සිදු වුව ද මේ වන විට එය ඉතා පහසු කාර්යයක් බවට පත්ව ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකතන නිසා ය. නමුත් ඇතැම් දුරකතන නිෂ්පාදන සමාගම් පෞද්ගලිකත්වය පදනම් කරගත් ප්‍රතිපත්ති මත ලෝකයේ ඇතැම් කලාප සඳහා ඊට අවශ්‍ය පහසුකම් ලබා දීමෙන් වැළකී සිටියි.

තාක්ෂණයේ දියුණුවත් සමග දුරකතන සංවාද පටිගත කිරීම පහසු වුව ද එය පසුපස ඇති සදාචාරය සම්බන්ධ කරුණු පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

 

රන්ජාගේ හඬපට හරහා 'බ්ලැක්මේල්' කිරීමේ මෙහෙයුමක්! - 'අසභ්‍ය' වීඩියෝ 'මිසින්'

ශ්‍රී ලංකාවේ මෑත කාලය දෙස හැරී බැලීමේදී ද සමාජයීය වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් ද ආන්දෝලනාත්මක සිදුවීම් ඇති වීමට දුරකතන සංවාද පටිගත කිරීම් තුඩු දුන්නේ ය.ඉන් එක් සිදුවීමක් ලෙස රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ රන්ජන් රාමනායක විසින් රහසිගතව පටිගත කරන ලද දුරකතන සංවාදත් සමග ඇති වුණු සිදුවීම් මාලාව හුවා දැක්විය හැකි ය.

එපමණක් නොවන සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ඇතැම් පළ කිරීම් හරහා විවිධ පාර්ශව අපහසුතාවට පත්වන අවස්ථා ද අපි දැක ඇත්තෙමු.

එවැනි පසුබිමක එහි නීතිමය තත්ත්වය පිළිබඳව සොයා බැලීම වටී.

දුරකතන සංවාද පටිගත කිරීම නීති විරෝධී ක්‍රියාවක් ද?

 

රන්ජාගේ හඬපට සමාජ ජාලවලට ආවේ මෙහෙමයි -පරස්පර කතා
දුරකතන සංවාදයක් පටිගත කළ පමණින් එය නීති විරෝධී ක්‍රියාවක් බවට පත් නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් විජේසිරි බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, සුහදශීලිව සිදු කෙරෙන සංවාදයක් පටිගත කිරීම හරහා සිදුවන්නේ සදාචාරාත්මක බැඳීමක් උල්ලංඝණය වීමක් බව ය.

"දුරකතන සංවාදයක් පටිගත කිරීම තුළින් පුද්ගලයෙකුගේ සදාචාරාත්මක අයිතියක් විනාශ වෙනවා ඇරෙන්න, අපරාධමය හෝ සිවිල් නීතිය යටතේ ගැනෙන මූලික වරදක් සිද්ධ වෙන්නේ නැහැ," ඔහු පැවසීය.

සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් නොවන තාක් දුරකතන සංවාදයක් පටිගත කිරීම සිවිල් නීතිය යටතේ ප්‍රශ්නගත නොවන අතර ම අපරාධ නීතියට යටතේ ගැනෙන වරදක් සිදු නොවන තාක් එය අපරාධමය වරදක් නොවන බව ද ඔහු සඳහන් කළේ, අපරාධ නීතියේදී එය අදාළ වන ආකාරය පැහැදිලි කරමිනි.

"අපරාධමය කරුණක් සම්බන්ධයෙන් පටිගත කිරීමක් සිද්ධ වෙනවා. අන්න එතකොට ඒක සාක්ෂිමය කරුණක්. මූලික අපරාධයට අනුබල දීම, මූලික අපරාධයට පොදු චේතනාවෙන් කටයුතු කිරීම, එහෙම නැතිනම් මූලික අපරාධයට ඍජුව හෝ වක්‍රාකාරව අදාළ වීම යටතේ යම් පුද්ගලයෙක් විත්තිකරුවෙක් විදිහට නම් කළ හැකියි. ඒ ඇරෙන්න, සාමාන්‍ය කතාබහක් පටිගත කළ පමණින් එයට කිසි ම අපරාධමය වගකීමක් එන්නේ නැහැ."

කෙසේ වෙතත්, "කෝල් රෙකෝඩ් කිරීම තහනම් කියලා, ඒක වරදක් කියලා ලංකාවේ කිසි ම නීතිමය තත්ත්වයක් නැහැ," යනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් විජේසිරි පෙන්වා දුන්නේ ය.

"කෝල් රෙකෝඩින්ග් එකක් කාට හෝ කිසියම් කෙනෙකුගේ සිවිල් අයිතිවාසිකමක්, වගකීමක් උල්ලංඝණය වුණා කියන තැනට පත් වෙන්න පුළුවන් නම්, එය නීතිමය තත්ත්වයට අදාළ කර ගන්න පුළුවන් නම්, ඒක වගකීමකට බැඳෙනවා."

යම් සංවාදයක් තුළින් පුද්ගලයෙකුට අපහාසයක් සිදු වූ බවට තහවුරු කළ යුතු බව ත් නොඑසේ නම් එය ද වරදක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව ත් ඔහු සඳහන් කළේ ය.

 

iPhone 14 දුරකතන නිෂ්පාදනය චීනයෙන් ඉන්දියාවට !
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ද විමසීමක් කළ අතර, එහිදී දැන ගැනීමට ලැබුණේ, දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් මෙරට තුළ ඍජු නීතියක් නොපවතින බව ය.

කෙසේ වෙතත්, යම් පාර්ශව දෙකක් අතර සිදුවන සංවාදයකට තුන්වන පාර්ශවයක් මැදිහත් වී සවන්දීම තහනම් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් පැවසීය. එය 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ දක්වා ඇති බව ද ඇය සඳහන් කළා ය.

ඊට අමතරව විදුලි සංදේශ ආයතනවල සේවකයින්ට තම පාරිභෝගිකන්ගේ පණිවිඩවලට සවන්දීම වළක්වන නීතිරීති පවතින බව ද එහිදී දැනගන්නට ලැබිණි.

"දැන් සංවාදයක් යනකොට මම ඒක රෙකෝඩ් කරන එකට නීතියක් විශේෂයෙන් එහෙම නීතියක් නැහැ. හැබැයි ට්‍රාන්ස්මිෂන් එකක් හරි, පණිවිඩයක් හරි හොරෙන් ගන්න, ඒ වගේ මොකක් හරි තියෙනවා නම් ඒවා, අපේ නීතිය යටතේ වරදක්."

ලෝකයේ අනෙක් රටවල තත්ත්වය

නමුත් ලෝකයේ ඇතැම් රටවල්වල එම තත්ත්වය වෙනස් ය.

 

maxresdefault
මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ මාධ්‍ය නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ එක්සත් ජනපදය පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන Reporters Committee for Freedom of the Press සඳහන් කරන්නේ, කැලිෆෝනියාවේ නීතියට අනුව, ඕනෑ ම රහසිගත සංවාදයක් පටිගත කිරීම සඳහා ඊට සම්බන්ධ වන සියලු පාර්ශව කැමැත්ත පළ කළ යුතු බව ය. එමෙන් ම, සෙලියුලර් හෝ රැහැන් රහිත දුරකතන හරහා සිදුවන ඇමතුම් සඳහා, රහස්‍යභාවය නොසලකා, ඒවා පටිගත කිරීමට පෙර සියලු පාර්ශවයන් එකඟ විය යුතු බවට ද ඔවුන් සිය වෙබ් අඩවියේ දක්වා තිබේ.

නීති විරෝධී පටිගත කිරීම්වලට ගොදුරු වූවන්ට සිවිල් සහ අපරාධ නීතිය යටතේ කටයුතු කළ හැකි බවට ද එහි වැඩිදුරටත් දක්වා ඇත.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත අනුව මෙන් ම, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, අයර්ලන්තය, එක්සත් රාජධානිය, මාලදිවයින ආදී රටවල ද දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධ නීති ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය ද සඳහන් කළේ, දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල නීති පවතින බව ය.

"රෙකෝඩ් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී පමණයි රෙකෝඩ් ක‍රන්න පුළුවන්. ලංකාවේ එහෙම නීතියක් නැහැ රෙකෝඩ් කිරීම සම්බන්ධයෙන්."

'වාචිකව ලිංගික අතවරයක් සිදු විය හැකියි'

 

1593006017545
ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් විජේසිරි බීබීසී සිංහල සමග පැවසුවේ, දුරකතන සංවාදයකදී වාචිකව ලිංගික අතවරයක් සිදු විය හැකි බව ය.

එවැනි අවස්ථාවල එය මෙරට ක්‍රියාත්මක නීතියට අනුව, ලිංගික හිංසනයකට අදාළ කරුණක් ලෙස අර්ථ නිරූපණය කිරීමට හැකියාව පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය.

"ක්‍රියාවකින් බැහැරව වාචිකව පවා ලිංගික අතවරයක් සිදු විය හැකියි. ඒ තත්ත්වය වෙනයි. උදාහරණයක් වශයෙන් මම ළමයෙකුට හෝ කාන්තාවකට කතා කරලා නීතිවිරෝධී ලෙස ලිංගිකව හිංසනයට ලක්වන ක්‍රියාවක් වාචිකව සිදු කරනවා.එම සැල කිරීම නීතිය අනුව ලිංගික හිංසනයකට අදාළ වන කරුණක් වශයෙන් අර්ථ නිරූපණය කරන්න හැකියාව තියෙනවා."

ඔහු සඳහන් කළේ, දුරකතන සංවාද පටිගත කිරීම තුළ "සදාචාරාත්මක වගකීමක්" පවතින බව ය.

සංවාදයක සිදුවන වචන හුවමාරුව තුළින් වර්තමානයේ පවතින දණ්ඩ නීති සංග්‍රහයේ හෝ අපරාධ නීතිය යටතේ ගැනෙන වරදකට සම්බන්ධ යම් වාචික සැල කිරීමක් සිදු වනවා නම්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය පමණක් අදාළ කරගත හැකි බව ඔහු නැවතත් පෙන්වා දුන්නේ ය.

ඕනෑ ම අයෙකුට දුරකතන සංවාදයක් පටිගත කළ හැකි ද?

මෙම ප්‍රශ්නය වෙත පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් විජේසිරි මෙසේ පැවසීය: "පුළුවන්."

 

recrf
ඔහු සඳහන් කළේ, පසුගිය කාල වකවානුව තුළ දුරකතන සංවාද පටිගත කිරීමත් ඒවා සමාජ මාධ්‍ය සහ මාධ්‍ය හරහා විකාශය වීමත් සමග දේශපාලනය තුළ ආන්දෝලනාත්මක සිදුවීම් ඇති වීම සහ විවිධ පුද්ගලයින්ගේ චරිත ඝාතනය වීම් පවා සිදු වුණු බව ය.

නමුත් එම සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් නීතිමය පියවරක් නොගත් බව ඔහු පෙන්වා දුන්නේ ය.

"ඒක සදාචාරාත්මකව කරනු ලබන වැරැද්දක්. අපි සිදු කරන වැරදිවලින් නඩු පවරන්නේ, අපරාධ නීතිය යටතේ හෝ සිවිල් නීතිය යටතේ ගැනෙන වරදක් කළා ම. නමුත් කරන වැරදිවලින් වැඩිමනක් වැරදි සදාචාරාත්මක වැරදි. අපරාධ හෝ සිවිල් නීතියට අදාළ නොවන වැරදි පවතිනවා. ඒක හොඳාකාරව දැක්කා පහුගිය වකවානුවේ ඔය, කෝල් රෙකෝඩින්ග් තුළින්."

එවැනි සංවාදයක් ප්‍රචාරය කළ පමණින් හෝ බෙදා ගත් පමණින් එය වරදක් නොවන බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, පවතින නීතිමය තත්ත්වය තුළ දුරකතන සංවාදයක් පටිගත කිරීම සඳහා අනෙක් පාර්ශවයෙන් අවසර ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු කිරීම අවශ්‍ය නොවන බව ය.

පුද්ගලයින් දෙදෙනෙකු ස්වභාවික තත්ත්වයක් යටතේ (බිය ගැන්වීමකින් හෝ තර්ජනය කිරීමකින් තොරව) සිදු කරන දුරකතන සංවාදයක් ප්‍රසිද්ධියට පත් කිරීම "සදාචාරාත්මක වරදක්" බව ඔහු පැවසුවේ ය.

පසුගිය දා වැඩි වශයෙන් කතාබහට ලක්වුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ආදී පනත් තුළ ද මේ සම්බන්ධයෙන් "විශේෂිතව" දක්වා නොමැති බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර, පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් මෙරට නීතිමය විධිවිධාන නොමැතිවීම පිළිබඳව අදහස් දක්වමින් නීතිවේදීන් මීට පෙර අවස්ථාවක බීබීසී සිංහල සමග පවසා තිබුණේ, එවැනි නීති පද්ධතියක් සැකසෙන්නේ නම් "ඉතා යහපත්" බව ය.

'සැකයක් තියෙනවා නම් රෙකෝඩ් කරනවා ද කියලා අහන්න'

 

cybrer
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල සමග අදහස් දක්වමින් යෝජනා කළේ, යම් පාර්ශවයකට තම දුරකතන සංවාදය පටිගත කරන බවට සැකයක් පවතින්නේ නම් ඒ පිළිබඳව අනෙක් පාර්ශවයෙන් ප්‍රශ්න කරන ලෙස ය: "සැකයක් තියෙනවා නම් රෙකෝඩ් කරනවා ද කියලා අහන්න."

එවැනි ක්‍රියාවක් සිදු කිරීම සදාචාරාත්මකව සුදුසු ද යන අවබෝධය පැමිණෙන්නේ 'ඩිජිටල් සාක්ෂරතාව' හරහා බව ඔහු පෙන්වා දුන්නේ ය.

"මේක කළ යුතු ද නැත් ද? සදාචාරාත්මකව මේක කරන්න හොඳ ද නරක ද? මේ අවබෝධය එන්නේ ඩිජිටල් සාක්ෂරතාවත් එක්ක. රෝග නිධානය ඒක."

ඩිජිටල් සාක්ෂරතාව මද බව දුරකතන සංවාද පටිගත කිරීම වැනි ගැටලුසහගත තත්ත්ව නිර්මාණය කිරීමටත් සයිබර් ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිර්මාණය කිරීමටත් තුඩු දෙන බව ඔහුගේ අදහස විය.

ඔහු පෙන්වා දුන්නේ, යම් දුරකතන සංවාදයක අව්‍යාජ බව පරීක්ෂා කර බැලීම ද අභියෝගාත්මක බව ය.

"ගැටලුව තියෙන්නේ කොහොම ද ඒක ඔප්පු කරන්නේ. තාක්ෂණික වශයෙන් විශ්ලේෂණය කරලා තමයි බලන්න ඕනේ හරියට ම මේක ඇත්ත රෙකෝඩින්ග් එකක් ද? දැන් ඔය යි මමයි කතා කරනවා. එතකොට මට පුළුවන් ඔයා කතා කරන එක යම් යම් විදිහට සංස්කරණය කරලා වෙන දෙයක් කියන විදිහට ඒත්තු ගන්වන්න. එහෙම වෙලා තියෙනවා."

"දැනුවත් කරන්නේ නැතුව රෙකෝඩ් කරනවා නම් ඒක සදාචාරාත්මක නැහැ," ඔහු අවධාරණය කළේ ය.

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පෙන්වා දුන්නේ, දුරකතන සංවාද පටිගත කිරීම හරහා පෞද්ගලික දත්ත පිළිබඳව ගැටලුවක් මතුවන බව ත් දත්ත ආරක්ෂණය සබන්ධයෙන් මෙරට සමාජය තුළ සැලකිය යුතු මට්ටමේ කතිකාවතක් ඇති වී නොමැති බව ත් ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඩිජිටල් පුරවැසිභාවය (Digital citizenship) සම්බන්ධයෙන් සමාජයට යම් අධ්‍යාපනයක් ලබා දිය යුතු බව ය.

(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්