ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීය වසංගතයක් හෙවත් මහා වසංගතයක් ලෙස නම් කර ඇති නව කොරෝනා වෛරසය

හෙවත් කොවිඩ් 19 සීග්‍රයෙන් පැතිර යාම හමුවේ රජයන්, සෞඛ්‍ය බලධාරීන්, විද්‍යාඥයන් ආදීන්ට පමණක් නොව ලෝකවාසී අප සියලු දෙනාට එල්ලවී ඇත්තේ ඉමහත් අභියෝගයකි.

වෛරසය පැතිර යන සීඝ්‍රතාව සලකන විට ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට ඊට ගොදුරු වීමේ අවදානම මහ ඉහළින් පවතී. රෝගය වැළදුණොත් ඒ සෑම දෙනාටම ප්‍රතිකාර ලබාදිය යුතුයි. බොහෝවිට සංඛ්‍යාව වැඩි වෙත්ම මෙය අනිවාර්යයෙන්ම ගැටලු සහගත වෙයි. ඇරත් ප්‍රතිකාර කළද රෝගයෙන් මියයාමේ අවදානම පවතී. එහෙයින් හොඳම ක්‍රියා මාර්ගය වෛරසය පැතිරීම වළක්වා ගැනීම බව පැහැදිලිය.

 

අද ජගත් සංවිධානය සහ රට රටවල සෞඛ්‍ය බලධාරීන් එකහෙළා මේ ප්‍රතිපත්තිය මත සිට ක්‍රියා කරයි. එහිදී ස්වරූපය කුමක් වුවත් කාගේත් එකගත්වය පළවන්නේ සමාජ දුරස්ථභාවය (social distancing) හෙවත් සමාජයේ ජීවත් වන විට හමුවන සෙස්සන්ගෙන්  ඈත්ව සිටිමේ ක්‍රියාදාමයටයි.

වෛරසය පැතිරීම සීමා කිරීම පිණිස සැලසුම් කර ඇති සියලු පියවර අතර කේන්ද්‍රීය අංගයක් වනුයේ සමාජ දුරස්ථ භාවයයි. ඉතා සරලව දක්වන්නේ නම් සමාජ දුරස්ථභාවය යන්නෙන් දැක්වෙන්නේ වර්තමානයේ අප මුහුණ පා සිටින  ව්‍යසනය හමුවේ සමාජයීය වශයෙන් තාවකාලිකව එකිනෙකාගෙන් කායිකව ඈත් වී සිටීමයි.

රාජ්‍යයන් මෙය සිදු කරයි. ඒ නගර, ප්‍රදේශ, හෝ පළාත් ‍හෝ මුළු රටම වසා දැමීමෙනි. කොවිඩ් 19 පැතිරීම ඇරඹුණු චීනයේ සිට අද වෛරසයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇති යුරෝපයෙන් සොයාගත හැකි උදාහරණ එමට ය.

විශ්වවිද්‍යාල පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන මෙය සිදුකරයි. ඒ දේශන හා පන්ති අවලංගු කිරීම හෝ මාර්ගස්ථ හෝ දුරස්ථ මාදිලි වෙත මාරු වෙමිනි.

කාර්යාල, වැඩබිම් කර්මාන්තශාලා මෙය සිදුකරයි. ඒ ඒවා වසා දැමීම, සීමිත සේවක පිරිස් සේවයට කැඳවීම, නිවසේ සිට රාජකාරියට ඉඩ සැලසීම වශයෙනි. මීට අමතරව දේශපාලන, විනෝදාස්වාද,  ක්‍රීඩා ආදී අන්තර්ජාතික ජාතික හා ප්‍රාදේශීය සංවිධාන මෙය සිදුකරන්නේ,  සිය වැඩසටහන් – සමුළු, ප්‍රදර්ශන, රැස්වීම්, සන්දර්ශන, තරඟ ආදිය අවලංගු කිරීම හෝ කල්දැමිමෙනි.

ආගමික සිද්ධස්ථාන සිය කටයුතු සීමා කිරීමෙන් සහ මහජනයා ගැවසෙන පුණ්‍යෝත්සවය වතාවත් ආදිය සීමාකිරීමෙන් හො කල් දැමීමෙනි.

මෙලෙස බලන විට මුළු මහත් ලෝකය ම පොදුවේ කොවිඩ් 19 සතුරා හමුවේ පොදු අරමුණක් ඇතිව පෙළගැසී සිටී. සතුරා පැරදවීමට අත්‍යවශ්‍ය වන්නකි. මේ වැදගත් මහජන සෞඛ්‍යය පිළිවෙත සාර්ථක කර ගැනීමේ දී පුද්ගලයන් වශයෙන් අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? අපි විමසා බලමු.

 

සමාජ දුරස්ථ වීම යනු කුමක්ද?

සමාජීය වශයෙන් ඈත්වීම යනු රෝගාතුර පුද්ගලයන් සෞඛ්‍ය සම්පන්න අය සමඟ සමීපව සම්බන්දවීම වැළැක්වීම  අරමුණු කරගත් මහජන සෞඛ්‍යය භාවිතාවකි. මෙහිදී අපේක්ෂා කරන්නේ රෝගය සම්ප්‍රේෂණය වීමේ අවස්ථා අඩු කිරීමය. සමූහයක් ඒකරාශී වන සිද්ධි අවලංගු කිරීම වැනි විශාල පරිමානයේ පියවර මෙන්ම හෝ ජනතාව ගැවසෙන ස්ථාන වසා දැමීම මෙන්ම සෙනඟ මගහැරීම වැනි පුද්ගලයන් ගන්නා තීරණ ද ඊට ඇතුළත් වේ.

කොවිඩ් 19 වෛරසය ගතහොත් සමාජ දුරස්ථ වීමේ ප්‍රධාන අභිප්‍රාය දෙකකි‍. අධික අවදානමක් සහිත ජනයා අතර ආසාදන ඇතිවීමේ අවස්ථ අඩු කිරීමින් වෛරසය පැතිරයාම මන්දගාමී කිරීම ඉන්  එකකි. ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය සත්කාරක පද්ධති හා සේවකයන් මත පැටවෙන බර අඩු කිරීම දෙවැන්නයි.

විශේෂඥයන් මෙය විස්තර කරන්නේ ‘චක්‍රය පැතලිකිරීම’ යනුවෙනි(“flattening the curve”). පොදුවේ මෙයින් දැක්වෙන්නේ   වැඩි පිරිසක් අතරේ එකවර රෝගය ක්ෂණිකව පැතිරීමෙන් සෞඛ්‍ය සේවා පද්ධති යටවී යාම වැළැක්වීමේදී සමාජ දුරස්තවීමේ පියවර සාර්ථකවීමට ඇති හැකියාවයි.

“එක්සත් ජනපදයේ  සමාජ දුරස්ථභාවයේ ඉලක්කය වන්නේ  කිසියම නිශ්චිත පුරවරයක හෝ ප්‍රජාවක් අතරේ කොවිඩ් 19 පැතිරෙන වේගය හා ප්‍රමානය පහළ දැමිමයි” එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයන්හි (U.S. Centers for Disease Control and Prevention – CDC) අධ්‍යක්ෂ ටොම් ඉන්ග්ලෙස්බි මෑතක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි, “එහෙම් වුනහම රෝගය වැළඳෙන පිරිස අඩුවෙනවා, ගත කරන්න වෙන  අය අඩුවෙනවා වගේම එක් මොහොතක එකවර ඕනෑ කරන සංවාතක (ventilators) අඩුවෙනවා”.

 

මා සමාජ දුරස්ථභාවය භාවිතාවට යොදා ගන්නේ කෙසේද?

කොවිඩ් 19 අදාළව CDCය,  සමාජ දුරස්ථභාවය අර්ථ දක්වන්නේ ‘පුද්ගලයින් එකට එකතුවීමෙන් වැළකී සිටීම, මහජන ඒකරාශීවීම පිළිකෙව් කිරීම, අන්අය අතර හැකි සෑම්විට දළ වශයෙන් අඩි 6ක් නැතිනම් මීටර දෙකක පරතරයක් තබාගැනීම’ ලෙසයි.

ඒ කියන්නේ ‘බදා වැළඳ ගැනීමේ සහ අතට අතදීම නැත යන්නය’ යි සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වු ජෝන්ස් හොප්කින්ස් කේන්ද්‍රයේ (Johns Hopkins Center for Health Security) වසංගතවේදී විශෙෂඥ කයිට්ලින් රිවර්ස් තවදුරටත් පැහැදිලි කරයි.

File:Covid-19-Handshake-Alternatives-v3.gif


පෝලිමේ මෙහෙම ඉඳිමු

අමුතුවෙන් නොකීවත් පෙනී යායුතු, විශේෂයෙන්ම වැදගත් දෙයක් වන්නේ කැස්ස, කිවිසුම් යාම හා උණ ඇතුළු  රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම පුද්ගලයකු අතර පෙර කී අඩි හයේ පරතරය තබා ගැනීමයි.

ශාරීරික වශයෙන් දුරස්ථවීමත් සිදුකරන  අතරම  නියම ආකාරයෙන් අත් සේදීම, ඔබ පමණක් නොව (බොහෝ විට ඔබේ පවුලේ අය සහ සමීප නෑයන් මිතුරන් වන) ඔබ අවට සිටින අය ආරක්ෂා කිරීම පිණිස වැදගත් වන්නේය. මන්ද, රෝග ලක්ෂණ නොමැතිව පවා වෛරස පැතිරිය හැකි හෙයිනි.

“ඔබේ ප්‍රජාව අතරේ හෝ ඔබේ ප්‍රදේශයේ කොවිඩ් 19 පැතිර යන තුරුම බලා සිටින්න එපා. අත් සේදීමේ ක්‍රියාදාමය වහාම තවත්  බලගන්වන්න. මොකද ඒක සම්ප්‍රේෂණය අඩු කරන්න ඇත්ත වශයෙන්ම  උදව් කරනවා” රිවර්ස් කියයි.

ඔබ බැහැරට ගොසින් (නිවස) ඇතුලට ආපසු එන විට, කෑම ගැනීමට පෙර සහ වයස්ගත වැඩිහිටියන් සහ බරපතළ නිදන්ගත වෛද්‍ය තත්ත්වයන් තිබෙන අය ඇතුළුව කොවිඩ් 19 ට වඩාත් ගොදුරු විය හැකි අය සමඟ එකට සිටිමින් කාලය ගත කිරීමට පෙර දෑත් හොඳින් සේදිය යුතු යැයි ඇය වැඩිදුරටත් කියා සිටී.

“උත්සව, සන්දර්ශන ආදිය කල්දැමීම වැනි  ප්‍රජාවේ මැදිහත්වීම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා තමයි. ඒත් පෞද්ගලික චර්යා විපර්යාසයන් ඊටත් වඩා වැදගත්. පෞද්ගලික ක්‍රියාමාර්ග සුළු ඒවා සී පෙණුනත් මහ බලගතුයි” රිවස් කියා සිටියි.

 

සමාජ දුරස්ථභාවය ඵලදායකද?

මේ ආකාරව එකිනෙකාගෙන් ඈත්ව සිටීමේ  පියවර සාර්ථකව ක්‍රියාත්මක වන බව ඉතිහාසයෙන් පාඩම් උපුටා දක්වමින් විශේෂඥයෝ පෙන්වා දෙති. 1918 ස්පාඤ්ඤ ඉන්ෆ්ලුවැන්සා මහා වසංගතය එකකි.

මෙම මහා වසංගතයේ මුල් අදියරකදී පාසල් වසා දැමීම මහජන එක්රැස්වීම් තහනම් කිරීම වැනි බහුවිධ මැදිහත්වීම් යොදාගත් නගරවල මරණ අනුපාතය සැලකිය යුතු මට්ටමක පහත තිබූ බව 2007 වසරේ PNAS (එක්සත් ජනපද ජාතික විද්‍යා ඇකඩමියේ නිල සඟරාව) අධ්‍යයනයක් පෙන්නුම් කරයි.

මෑත කාලයේ මෙම සංකලපයේ විශාල මට්ටමේ පූර්වාදර්ශ හිඟ බව ඉන්ග්ලෙස්බි පෙන්වා දුන්නත් චිනයේ වූහාන් සහ ගුවන්ග්සු නගර දෙකෙහි දැක ගත හැකිවූ එකිනෙකට වෙනස් අත්දැකීම් ගැන අධ්‍යයනයක සඳහන් කරුණු ගෙන හැර දක්වයි.  

සමපදස්ථයන්ගේ(peers) සමාලෝචනයකට තවම බදුන් වී නැති මේ අධ්‍යනයෙන් ද මේ කාරණාව සනාථ වේ.

රෝගය පැතිර යාම සීමා කිරීම සඳහා ගතහැකි අනෙක් පියවර මොනවාද?

CDC අලුත්ම මාර්ගෝපදේශ අනුව අනෙකුත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අතරට හුදකලා වීම (isolation) හා නිරෝධායනය (quarantine) ඇතුළත් වේ.

 

හුදකලා වීම:

රෝගය පැතිරයාම වැළැක්වීමේ අරමුණ ඇතිව, ආසාදිත යැයි හෝ බෝවෙන සුලු යයි සාධාරණ ලෙස සැලකිය හැකි පුද්ගලයකු හෝ ජනතාවක් ආසාදිත නොවන අයගෙන් වෙන් කර තැබීම හුදෙකලාවීම යන්නෙන් දැක්වේ. හුදකලාවීම එක්කෝ ස්වේච්ඡාවෙන් සිදු කරන්නක් හෝ රජයේ හෝ සෞඛ්‍ය මහජන අධිකාරීන් ගේ බල කිරීම මත කෙරෙන්නක් විය හැකිය.

 

නිරෝධායනය:

රෝගය පැතිර යාමේ හැකියාව වැලැක්වීම අරමුණ ඇතිව, සංක්‍රාමික රෝගයකට (communicable disease) නිරාවරණය වී ඇති නමුත් මෙතෙක් රෝග ලක්ෂණ නොදක්වන්නේ යයි සාධාරණ ලෙස සැලකිය හැකි පුද්ගලයකු හෝ ජනතාවක්,  එසේ නිරාවරණය නොවූ පුද්ගලයන්ගෙන් වෙන්කර තැබීම නිරෝධායන යනුවෙන් දැක්වෙයි.  

කොවිඩ් 19  සම්බන්ධයෙන් CDC විසින් නිර්දේශ කරනු ලබන්නේ රෝග ලක්ෂණ පහළ වේ දැයි නිරීක්ෂණය පිණිස දින දාහතරක නිරෝධායන  කාලච්ඡේදයකි.

මීට අමතරව ස්වයං නිරීක්ෂණය,  ආදිය ගැන CDC මාර්ගෝපදේශ සපයා ඇතත් එහි ඇතැම් කාරණා එක්සත් ජනපදයට සුවිශේෂ වන අතර ලංකාව ඇතුළුව රටින් රට සපයන උපදෙස් හා ඒවා අතර යම් පරස්පරයන් හා  වෙනස්කම් තිබිය හැකිය. (මේ ගැන වැඩි උනන්දුවක් දක්වන අයට CDC මාර්ගෝපදේශ  මෙතනින් කියවන්න පුළුවන)

(thathu.com - CDC, Johns Hopkins Hub ඇතුළු පිළිගත් වෙබ් අඩවි කිහිපයක් ඇසුරෙන් තතු මාණ්ඩලිකයෙකු විසින් සකසන ලද්දකි)

 සබැඳි පුවත් :

සමාජ දුරස්තකරණය : 'රැඩිකල් දුරස් බවක් පවත්වා ගෙන යන්න, තනියම ආතල් එකක් ගන්න' - Mahesh Hapugoda  

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද?

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්