leader s

2025 නොවැම්බර් 2 වැනි දින සිට දින 21 ක් තිස්සේ, සිදුකරන්නට නියමිත වන අලින් නැවතත් වනාන්තරය තුළට පළවා හැරීම සඳහා වූ සංවිධානාත්මක මෙහෙයුමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බලධාරීන් 200ක පමණ සහභාගීත්වයෙන් දියත් කරන ලදී.
මෙය, ගොවිබිම්, ජනාවාස සහ ජනතාවගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු අත්‍යවශ්‍යම පියවරක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුමේ මතුපිටින් ඔබ්බට ගිය විට හමුවන්නේ හුරුපුරුදු කතාවකි: අලින් නොනවත්වා අවතැන් කිරීම, ප්‍රදේශවාසීන්ගේ කලකිරීම සහ දශක ගණනාවක් තිස්සේ අසාර්ථක වූ ප්‍රතිපත්තිවල දෝංකාරයයි. නව විසඳුමක් නොවූවත්, මෙම මෙහෙයුම නැවතත් පැරණි වැරදි පුනරාවර්තනය කිරීමට සූදානම් බව පෙනේ.

මෙම නවතම පළවා හැරීමේ උත්සාහය අසාර්ථක වීමට ඉඩ ඇත්තේ මන්දැයි තේරුම් ගැනීමට නම්, හම්බන්තොට මිනිස්-අලි ගැටුමේ මූලික හේතු සොයා බැලිය යුතුය.

මෙය හුදෙක් අලින් ගොවිබිම්වලට පිවිසීමේ කතාවක් පමණක් නොවේ; එය වාසස්ථාන, සංක්‍රමණික මාර්ග සහ දේශපාලන අධීක්‍ෂණය යන සියල්ල අහිමි වීමේ කතාවකි. වසර ගණනාවක් තිස්සේ, අලින්ගේ නිජ වාසභූමි විශාල ප්‍රමාණයක් මිනිසාගේ භාවිතයට ගෙන තිබේ. වරාය, ගුවන්තොටුපළ, වාණිජ සංවර්ධන ව්‍යාපෘති, ගල්කොරි, සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ ජනාවාස මගින් ඔවුන්ගේ භූමි ප්‍රදේශ ක්‍රමක්‍රමයෙන් අවම කර ඇත. මෙම කරුණ උද්දීපනය කරන්නේ: “හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ආරක්‍ෂිත ප්‍රදේශ අත්පත් කර ගැනීම හේතුවන් වන අලින්ට ඔවුන්ගේ ස්වාභාවික නිජ බිම් සහ සංක්‍රමණික මාර්ග අහිමි කිරීම” යන්නයි.
දශක ගණනාවක් තිස්සේ මෙම අලි ඇතුන් වනජීවී රක්ෂිතවලට සීමා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැරූ උත්සාහයන් සාර්ථක වී නොමැත. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බිහිවූ දා සිටම අලි ඇතුන් සංරක්ෂණයේ හා අලි-මිනිස් ගැටුම කළමනාකරණයේ පදනම වූයේ, එම දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශවලට අලි ඇතුන් සීමා කිරීම වුවද, වසර 60 කට අධික කාලයක් තිස්සේ දැරූ එම උත්සාහයන් අසාර්ථක වී ඇති බව පැහැදිලිය.

අද වන විටත් වන අලි වාසභූමිවලින් 70% ක්ම ව්‍යාප්ත වී ඇත්තේ සාමාන්‍ය ජනතාව නේවාසික ප්‍රදේශවලය. එමඟින් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක ප්‍රවේශයක් බව පෙන්නුම් කෙරේ. මෙසේ වනජීවී රක්‍ෂිත තුළට පළවා හැරෙන වන අලි ඒ තුළ රඳවා ගත නොහැකිව යළිත් තමන්ගේ වාසභූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකර ගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස කුසගින්නේ මිය යාම නොවැළැක්විය හැකි බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්තවලින් පවා අවධාරණය කර තිබේ.

එබැවින් මිනිස්-අලි ගැටුමට පිළියමක්‌ ලෙස එම ක්‍රමෝපායම යොදා ගැනීමට වත්මන් රජය ද කටයුතු කිරීම නිරර්ථක උත්සාහයකි. තමන්ගේ නිජබිම්වලින්, වාසභූමිවලින් පන්නා පිටුවහල්කර පිටස්තර වනජීවී රක්ෂිතවලට ගාල් කරන අලි රංචුවල සිටින අහිංසක ගැහැනු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුළින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වීම නිසා, ඔවුන් විදුලි වැටෙන් කොටු වූ ප‍්‍රදේශය තුළ සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමඟින් ඇතිවන පෝෂණ දුර්වලතා නිසා, විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක් විඳ බඩගින්නේ මිය යාම සිදුවේ.
2021 දී, රජය විසින් හෙක්ටයාර 23,746.55ක පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි “හම්බන්තොට කළමනාකරණය කළ අලි රක්ෂිතය (Hambantota Managed Elephant Reserve – HMER)” ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත්, ඉඩම් සමීක්ෂණ වාර්තා සහ ප්‍රාදේශීය පරීක්ෂණ අනුව පෙනී යන්නේ, එම ප්‍රදේශයෙන් ආසන්න වශයෙන් හෙක්ටයාර 1,654ක් අහිමි වී ඇති බවයි. හෙක්ටයාර 1,384ක් අන්දරවෙල සිට හම්බන්තොට දක්වා දකුණු අධිවේගී මාර්ග තීරයේ පිහිටා ඇත. මෙම ඉඩම් අලි සඳහා වූ භූමි ලෙස සුරක්ෂිත කරනවා වෙනුවට, දේශපාලන හිතවතුන් සහ බලවත් පුද්ගලයන් විසින් අත්පත් කර ගෙන, ගල්කොරි සහ වාණිජ කටයුතු සඳහා භාවිත කර ඇති බවට චෝදනා එල්ල වේ.
 
elehant
2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු අනුව, රක්ෂිතය බොහෝ දුරට “ලිඛිත සටහනක්” ලෙස පමණක් පවතී. එනම්, විදුලි වැටවල් ඉදිකර නැත. නීති විරෝධී පදිංචිකරුවන් ඉවත් කර නැත. රක්ෂිතය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් බොහොමයක් ඇතිකිරීම සඳහා තවමත් කිසිදු ආරම්භයක් හෝ ගෙන නැත. මේ ආකාරයට බොහෝ ගැටලු පවතිද්දී පවා, රජය මහා පරිමාණ අලි පළවා හැරීමක් ආරම්භ කොට තිබේ. එය දේශපාලනමය ප්‍රතිපත්ති මත පිහිටා විසඳීමට නොහැකි වූ දෙය බලහත්කාරයෙන් විසඳීමට දැරූ උත්සාහයකි.

fernandoප්‍රථිව්රාජ් ප්‍රනාන්දුප්‍රවීණ අලි විශේෂඥයින් සහ සංරක්ෂණවේදීන් ගණනාවක් අනතුරු අඟවන්නේ, වන අලින් මෙලෙස පළවා හැරීම අසාර්ථක දෙයක් මෙන්ම කිසිදු ප්‍රතිඵලයක් අත්කර ගත නොහැකි උත්සාහයක් බවය. අලි පර්යේෂක ප්‍රථිව්රාජ් ප්‍රනාන්දු සිය විමර්ශනාත්මක ලිපියෙහි මෙසේ තර්ක කරයි: “මිනිස්-අලි ගැටුම් අවම කිරීමේ ක්‍රියාකාරකම් බොහොමයක් අකාර්යක්ෂම වන අතර ඇතැම් අවස්ථාවල දී මේ ගැටලුව තවත් ඔඩුදිවීමට හේතු වේ.” තවත් සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ, වන අලින් වෙනත් ප්‍රදේශවලට පළවා හැරීමේ උත්සාහයන් අසාර්ථක පාලන ව්‍යුහයක ලක්ෂණ පෙන්නුම් කරන බවය. අනෙක වත්මන් ආණ්ඩුව වන සතුන් කෙරෙහි සහකම්පනයක් නොදක්වන බවට පවතින මතය මේ ව්‍යාපෘතිය නිසා තව තවත් තීව්‍ර වන බව ද සඳහන් කළ යුතුය.

elephant fire
sumithසුමිත් පිලපිටියඑමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අලි චර්යාවන් පිළිබඳ ප්‍රකට විද්‍යාඥයෙකු වන සුමිත් පිලපිටිය නැවත නැවතත් පවසා සිටින්නේ උපාය මාර්ගික වෙනස්කම් පිළිබඳවය. එනම්, “ව්‍යාපෘති සැලසුම් කිරීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් බවට අලි කළමනාකරණය පත් විය යුතුය. එය පාරිසරික බලපෑම් තක්සේරුවට (EIA) පෙර පවා සිදු විය යුතුය.” ඔහු වන අලි පළවා හැරීමේ ප්‍රවේශය දැඩි ලෙස විවේචනය කරමින් පවසා සිටින්නේ එය ප්‍රතික්‍රියාශීලී සහ අසාර්ථක දෙයක් වන බවය. “වනජීවී දෙපාර්තමේන්තුවේ සාම්ප්‍රදායික කළමනාකරණ උපායමාර්ගය වන, බාධක, වෙනත් ප්‍රදේශය කරා වන අලි පළවා හැර, අලින් වනජීවී ආරක්ෂණ ප්‍රදේශවලට (WLPAs) පමණක් සීමා කිරීමෙන් හොඳම ප්‍රතිඵල ලැබීමට අපහසුය.”

එයට හේතුව මෙසේ පැහැදිලි කළ හැකිය. විද්‍යානුකූලව මේ අනතුරු ඇඟවීම පැහැදිලි කර ගත හැකිය. අලින්ට තමාගේ නිජබිම් පිළිබඳ ඉතා දියුණු මතකයක් තිබේ. ඔවුන්ගේ සමාජශීලී ස්වභාවය මෙයට තව තවත් හේතුවකි. බලහත්කාරයෙන් එක් ප්‍රදේශයකින් පළවා හරින ලද අලි රංචු බොහෝ විට කිලෝමීටර් සිය ගණනක් ගමන් කරමින් වුවද ඔවුන්ගේ හුරුපුරුදු භූමියට ආපසු යාමට උත්සාහ කරයි. ප්‍රථිව්රාජ් ප්‍රනාන්දුගේ පර්යේෂණවලින් ද මෙය පැහැදිලි තහවුරු වී තිබේ. එමෙන්ම නව වාස භූමිවල ඉඩකඩ මද වීම, ඒ නිසාම ඇති වන ආහාර හිඟය සහ බලධාරීන්ගේ ප්‍රමාණවත් නොවන සැලසුම්කරණ ආදිය නිසා මේ ගැටලුව තව තවත් සංකීර්ණ වෙයි. ප්‍රනාන්දු සඳහන් කරන පරිදි: “අලින් උද්‍යානවලට සීමා කිරීමට උත්සාහ කිරීමෙන් අපි තව තවත් ගැටලු ඇති කරගනිමින් ඉන්නවා. මේ තුළින් සාම්ප්‍රදායික සංරක්ෂණ ප්‍රවේශය ක්‍රියාත්මක වන්නේ නැහැ.”
elephant galgamuwa
පළවා හැරීම් මගින් ජලය, ආහාර හෝ ආරක්ෂිත මාර්ග නොමැති අලි රඳවා තබා ගත නොහැකි ප්‍රදේශවලට අලින් යවන විට, එහි ප්‍රතිඵලය වන්නේ වැඩි වූ ආතතිය, ගැටුම් සහ අවසානයේ මානව ජනවාසයන් වෙත නැවත වන අලි පැමිණීමයි. හම්බන්තොට, කෘෂිකාර්මික ඉඩම් කැබලි වූ වනාන්තර කොටස්වලට මායිම් වන විට සහ අලින්ගේ මුල් පරාසය පටු වී ඇති විට, පළවා හැරීම සඳහා බලධාරීන් ඉදිරිපත් කරන තර්කය මූලික වශයෙන් දෝෂ සහිත වේ.

මෙම පසුබිම මත, 2025 හම්බන්තොට අලි පළවා හැරීම කැපී පෙනෙන්නේ එය කිසිසේත්ම නව අදහසක් ලෙස නොව අඩුපාඩු රැසක් සහිත අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසය. ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලද සැලැස්මට වනජීවී, පොලිස් සහ යුද හමුදා නිලධාරීන් ඇතුළු නිලධාරීන් 200ක් පමණ සම්බන්ධ වන අතර, අන්දරවෙල, රිදියගම, ලියන්ගස්තොට සහ බෙරගම වැනි මිනිසා-අලි ගැටුම් ඇති කලාපවල ගම්වැසියන්ගේ සහාය ද ලැබේ. මෙහි අරමුණ ලෙස පෙන්වා දී ඇත්තේ, ගොවිපළවල් සහ ජනාවාසවලින් වන අලින් ඉවත් කර, නිශ්චිත රක්ෂිත ප්‍රදේශයට ගෙන යාමයි. නමුත් රක්ෂිතයම අර්ධ වශයෙන් පමණක් සුරක්ෂිතව පවතින විට, ප්‍රතිඵලය සැක සහිතය.
 
elephant ham
ප්‍රමාණවත් විදුලි වැටවල්, වාසභූමි ප්‍රතිසංස්කරණය හෝ මාර්ග කළමනාකරණයකින් තොරව, මෙම පළවා හැරීම කල් පවතින විසඳුමක් වෙනුවට තාවකාලික උපාය මාර්ගයක් පමණක් බවට පත් වේ. හම්බන්තොට කළමනාකරණය කළ අලි රක්ෂිතය (HMER) ගැසට් කර වසර තුනක් ගත වී ඇතත්, විදුලි වැටවල් ඉදිකිරීම, රක්ෂිතය තුළ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම, සහ අවශ්‍ය පහසුකම් සැපයීම වැනි ප්‍රධාන කටයුතු තවමත් ප්‍රමාද වී තිබේ.

මෙම මෙහෙයුම අසාර්ථක වන බවට උදක්ම පවසන්නට හැකි තවත් කාරණයක් වන්නේ, පෙර රජයන් දැනටමත් මේ හා සමාන පළවා හැරීම් සඳහා විශාල රාජ්‍ය අරමුදල් ප්‍රමාණයක් වැය කර තිබීම සහ සෑම අවස්ථාවකදීම එය අසාර්ථක වී තිබීමය. එය අසාර්ථක වූවා පමණක් නොව, වන අලින් වෙනත් ප්‍රදේශවලට පළවා හරින විට පවා, ඔවුන් තම මුල් භූමියට ආපසු පැමිණි බවට සාධක ඕනෑවටත් වඩා තිබේ. හම්බන්තොට මෙහෙයුම මගින් මේ ගැටලුව සඳහා වූ මූලික හේතු, එනම් වන අලින්ට නිජ බිම් අහිමි වීම, විනාශ වූ මාර්ග, අලි අයිතිවාසිකම් නොසලකා හැරීම වැනි මූලික කාරණා ආමන්ත්‍රණය නොකරන්නේ නම්, එතැනම මේ සැලැස්ම බිඳවැටීමේ අවදානම ඇත.

මෙම පළවා හැරීම්වලට ගොදුරු වන්නේ වගා හානිවලින් පීඩාවට පත් වන මානව ප්‍රජාවන් පමණක් නොව, අලින්, විශේෂයෙන් අලි පැටවුන් සහ තරුණ සතුන් ද වේ. රංචු විශාල වශයෙන් පළවා හරින විට, ඇති වන බිය සහ අවුල බොහෝ විට අලි පැටවුන් තම මවගෙන් වෙන්වීමට හේතු වේ. එය තම මවගේ සම්බන්ධතාව මත පමණක් පැවැත්ම රඳා පවතින තරුණ අලින්ට එය අහිතකර ලෙස බලපායි.

ජනතාවට ද එහි ප්‍රතිඵල ඒ  හා සමානව අඳුරු ය. පළවා හැරීමෙන් පසු ගම්වැසියන්ට ක්ෂණික සහනයක් දැනිය හැකි නමුත්, දිගුකාලීන ප්‍රතිඵල ලෙස බොහෝ විට නැවත වගා හානි, වඩාත් ප්‍රබලව නැවත පැමිණෙන අලින් සහ ඇතැම්විට වඩා විනාශකාරී තත්ත්වයන් ඇතිවන්නට ඉඩ තිබේ. පිලපිටිය පවසන පරිදි, පළවා හැරීමේ ක්‍රමය ගැටුම දිග්ගස්සවනවා මිස එය නිරාකරණය නොකරයි. මේ ව්‍යාපෘතිය මගින් සැලසුම් කර ඇත්තේ මිනිසුන් සහ අලින් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කිරීමට නමුත්, මේ මෙහෙයුම අවසානයේ දී දෙපාර්ශ්වයම විශාල අනතුරකට ලක් කරයි.

elephan 4
හම්බන්තොට මෙහෙයුම තවත් අසාර්ථක උත්සාහයක් බවට පත්වීම වැළැක්වීමට නම්, මාර්ගය පැහැදිලිය. නමුත් එය දුෂ්කරය. ප්‍රනාන්දු සහ පිලපිටිය වැනි විශේෂඥයින් අවධාරණය කරන්නේ, විසඳුම පවතින්නේ පලවා හැරීමෙහි නොව, සහජීවනයෙහි බවයි. මානව ජනාවාස වටා විදුලි වැටවල් යෙදීම, කල් ඇතිව ඇඟවීමේ පද්ධති, ප්‍රජා මූලික ප්‍රතිචාර කණ්ඩායම්, සංක්‍රමණික මාර්ග ප්‍රතිස්ථාපනය කිරීම සහ අලි වාසස්ථානවලට ගරු කරන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම තිරසාර උපායමාර්ගයක අංගයන් වේ.
හම්බන්තොට අලි පළවා හැරීම තුළ ඇත්තේ අප සරලව සිතනවාට වඩා පුළුල් සන්දර්භයකි. එය සංවර්ධනය නමින් සිදුවන වන සංහාරය, හැකිලෙන වන බිම් සහ ආසියානු අලියාගේ මන්දගාමී, නොපසුබට විඳදරාගැනීම අතර පුළුල් අරගලයේ සංකේතයකි. අනෙක දැනට පෙනෙන්නට ඇති පරිදි මේ වන අලි පළවා හැරීමේ මෙහෙයුමේ පදනම ශක්තිමත් නොමැති බව ද පෙනී යයි. වන අලින් පළවා හරින්නට සූදානම් කොට ඇති රක්ෂිතය තවමත් එයට සූදානම් ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නොමැත. එමෙන්ම මාර්ග පද්ධති අඩපණ වී තිබේ. දේශපාලනමය වශයෙන් මේ සම්බන්ධව ඇත්තේ පරස්පර විරෝධී අදහස්ය.

සැබෑ ඛේදාන්තය වන්නේ, මෙම කතාව අවසන් වන්නේ කෙසේදැයි අප දන්නා බැවිනි. ව්‍යුහාත්මක වෙනසක් නොමැතිව පළවා හැරි පසු, වන අලින් නැවත පැමිණෙනු ඇති අතර ගැටුම දිගටම පවතිනු ඇත. මිනිසා සහ සතුන් යන දෙපාර්ශ්වයම තවදුරටත් අවදානමට ලක් වනු ඇත. සංරක්ෂණවේදී ප්‍රථිව්රාජ් ප්‍රනාන්දු අනතුරු ඇඟවූ පරිදි: “මේ ක්‍රියාවලිය මේ ආකාරයටම සිදු වුවහොත්, ශ්‍රී ලංකාවේ අලින්ගෙන් 70%ක් දක්වා අහිමි වනු ඇත.” හම්බන්තොට වන අලි පළවා හැරීමේ මෙහෙයුම නවතා දැමීමට තවමත් අවස්ථාවක් තිබේ. නමුත් ඒ මෙම ක්‍රියාවලිය මෙහෙයුමක් ලෙස සැලකීම නවතා සහජීවනය සඳහා දිගුකාලීන කැපවීමක් ලෙස සැලකීමට පටන් ගන්නේ නම් පමණි.
 
 
wild ele1
මෙය මේ ආකාරයට ක්‍රියාත්මක වුවහොත් අපට කිව හැක්කේ ජනවහරේ එන ඉඳුරුවේ ආචාරියා පිළිබඳ කවියයි.
“එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වුණු කාරියා – දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා’
වන අලි සම්බන්ධයෙන් සිදු කෙරෙන මේ අපරාධය නොපෙනෙන අනාගතයක් දක්වා මහා බිහිසුණු ප්‍රතිඵල ඇතිකරවන්නක් බව රජය තරයේ මතක තබා ගත යුත්තක් බව පැහැදිලිව සඳහන් කළ යුතුය.

Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -vinivida.lk 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්