අද බියර් පිළිබද මතක පුබුදුවමි.
වසර ගණනක් පුරා ලයන් බියර් හා ස්ටවුට් වෙනුවෙන් වැඩ කරන්නට මට අවස්ථාව ලැබුණි.
සුරේෂ් ෂා, ප්‍රසන්න අමරසිංහ, හර්මන් පෙරෙයිරා මෙහිදී හමුවූ චරිත කිහිපයකි.
මෙයින් ප්‍රසන්න අමරසිංහ යනු ආනන්ද- නාලන්දා බිග් මැච් එකේදී නොදැවී ලකුණු 126 ක් රැස් කරමින් වසර ගණනක් පුරාවට නොබිඳුනු වාර්තාවක් තැබූ පුද්ගලයාය.
මෙයින් වැඩි කාලයක් වැඩ කරන්න සිදුවූයේ හර්මන් පෙරෙයිරා සමගය.
නිවැරැදිව කිවහොත් වැඩි කාලයක් පරිප්පු කෑවේ හර්මන් සමගය.
හර්මන් සමග වැඩ කිරීම ලේසි නැත.
රෑ වැඩ කරන විට නානාගේ පොට් එකෙන් රෝස් කුකුළෙක් හා බෝතලයක් රැගෙන විත් ඔහුගේ කාර් එකේ බොනට්ටුව මත තියාගෙන සංග්‍රහ කරයි.
එහෙත් අපේ අතින් සුළු හෝ අත්වැරැද්දක් සිදුවුහොත් එතැන ඉන්නේ අර හර්මනයා නොව මහසෝන් යක්ෂයා ය.
" මූට ගහන්න පුළුවන් නම් මං ගහනවා" කියා ස්වන්ත තම ඩයරියේ හර්මන් ගැන ලියා තිබ්බේ ඒ නිසාය.
හර්මන් හොරෙන් ස්වන්ත ගේ ඩයරිය අරන් කියවද්දී මේක දුටුවේය.
එහෙත් එය කියවූ හර්මන්ට තරහා ගියේ නැත.
ඒ වෙනුවට ඔහු එය කියවා දැඩි ලෙස සතුටට පත් විය.
බියර් එපා වෙන තරමටම හර්මන් අපට වද දුන්නේ ය.
හැබැයි හර්මන්ටත් මරු දේවල් වුණේය.
වරක් හර්මන් අපට ලන්ච් එකක් දීමට රැෆල්ස් එකට එන ලෙස දැනුම් දුන්නේය.
ස්වන්තත්, මාත් එහි යන විට හර්මන් පැමිණ සිටියේ ඔහුගේ බිරිඳත් සමගය.
වේටර්වරයා කැඳවිණ.
කෑම ඕඩර් කරන්නේ හර්මන් විසිනි.
එසේ ඕඩර් කරන්නේත් ඔහුගේ වයිෆ් කන්න ආසා දේවල් ය.
අපිව අදාළම නැත.
මූ ඔෆිස් එකේ සල්ලිවලින් වයිෆ්ට ලන්ච් එකක් අරන් දීමට අප දෙදෙනාව පාවිච්චි කර ඇති බව නොබෝ වේලාවකින් අපට අවබෝධ විය.
ස්වන්තත්, මාත් උඩ බලාගෙන සිටිමු.
එහෙත් දෙවියන් කියා කෙනෙක් ඉන්නා බව මට ඇත්තටම තේරුනේ එදාය.
මොකද කියනවා නම් හර්මන් ඕඩර් කරපු කිසිම දෙයක් එදා රැෆල්ස් එකේ තිබුනේ නැත.
අන්තිමට හර්මන්ට වුණේ වයිෆ්ට ආස දේවල් කන්න නොව වේටර්වරයා දුන් දේවල් කා එන්නටය.
මේ වේටර්තුමා ඒ රැස් කරගත් කුසලයේ මහිමයෙන් උපදින භවයක් පාසා දිව්‍යලෝකයකම ඉපදිය යුතුය.
ඒ මොනවා වුණාත් ලයින් බියර් යනු වැඩ කිරීම තුලින් වින්දනයක් ලැබිය හැකි බ්‍රෑන්ඩ් එකකි.
හැටන් ටවුමේ සිට නුවරඑළිය දක්වා වයින් ස්ටෝර් එකක් නෑර ස්වන්තත්, මාත් ඇවිද ඇත්තෙමු.
ලයන් බෲවරි සමාගම වෙනුවෙන් පැමිණියේ ඉන්දිකය.
ඔහු ගැන විශේෂයෙන්ම සදහන් කළ යුතු දෙය නම් බියර් හැන්ඩ්ල් කළාට බියර් පොදක්වත් කටේ තොලේ නොගෑමය.
මෙසේ ගිය ගමන්වලදී බොහෝ තොරතුරු අනාවරණය කරගත හැකි විය.
ලයන් ස්ටවුට් වතු කම්කරු ජනතාව අතර ප්‍රචලිත පානයයි.
පඩි දාට ගෙදර නෝනාටත් ස්ටවුට් එකක් රැගෙන යයි.
ඔවුන් හිතන විදියට ස්ටවුට් එකක් ගැසූ විට ඇඟේ පතේ අමාරුව නැති වෙයි.
අවුරුද්දේ දවස් 365 පුරාම ජීවන අරගලයේ යෙදී සිටින මේ මිනිසුන් සමග ගත කළ ඒ දින කිහිපය අතිශය සුන්දර ය.
ඇඩ්වර්ටයිසිං ලෝකයේ හමුවන බොරු පොෂ් ගැහැනුන්, මිනිසුන්ට වඩා මේ කම්කරුවන් අව්‍යාජයය.
ඔවුන්ගේ ජීවිත සරල ය.
මේ මිනිසුන් සමග කතා බහ කරද්දී අපූරු තොරතුරු රැසක් එළියට ආවේය.
ඔවුන් පැවසුවේ කොළඹ මහතුරුන් වගේ බොන්න ආසා බවය.
එසේ කිව්වේ පබ් එකක වාඩිවී බොන්න ඇත්නම් කැමති බවය.
ටීවී එකෙන් චිත්‍රපටියක් බලමින් බොන්න ආස බවය.
ඔවුන් බිව්වේ හිටගෙනය.
සල්ලි ඇත්නම් ස්ටවුට් එකක් බොයි.
සල්ලි නැත්නම් මුල්ලකට වී රා බෝතලයක් බොයි.
ඒ කාලේ පොල් රා බෝතලයක් දුන්නේ රුපියල් 15 කටය.
ලොකු හීන නැත.
පොඩි ටෝච් එකක්, එෆ්. එම්. ස්කෑනර් එකක්, තොප්පියක්, කඩල ගොට්ටක් වැනි සරල තිළිණයන් ඔවුන්ට මහ මෙරක් තරම් ය.
ඔවුන් වෙනුවෙන් සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩ සටහනක් දියත් කෙරිණි.
එකල ජනප්‍රිය වූ කමලාසන් රඟපෑ "ආලවන්දාන්" චිත්‍රපටිය රූපවාහිනී යන්ත්‍ර සවිකර ප්‍රදර්ශනය කෙරුණි.
ටෝච් එකක්, එෆ්. එම්. ස්කෑනර් එකක්, තොප්පියක්, කඩල ගොට්ටක් වැනි තිළිණයන් සූරන කාඩ්පතක් ඔස්සේ පිරිනැමුණි.
මෙම අලෙවි ප්‍රවර්ධන වැඩ සටහන දියත් කළේ මෙම වතු කම්කරු ජනතාව ඉල්ලන්නේ ස්ටවුට් එකක් දෙන්න කියායි.
එය ලයන් ද, සැන්ඩෝ ස්ටවුට් ද කියා ඔවුන්ට අදාළ නැත.
මේ කියුවේ අවුරුදු 20 කට පමණ එහා අතීතයේ කතාවකි.
රුපියල් හතලිස් ගණනකට බියර් බෝතලයක් ගත හැකිව තිබූ දවස්වල කතාවකි.
පසු කාලීනව බඩී බෝතල් බියර් වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබිණි .
ඊටත් පසුව ලෝකයේ කොහේවත් නැති 8.8% ස්ටෝං බියර් වෙළෙඳ පොළට නිකුත් කරන ලදි.
මේ සියල්ලම කළේ ගල් මාකට් එක ඇල්ලීමටය.
අරක්කු මිල ඉහළ ගිය නිසා අඩු මිලට ඇති බියර් අලෙවිය වැඩි කරගැනීම පිණිස ය.
එහෙත් සිදුවූයේ ගල් මාකට් එක කඩා වැටීම නොවේ.
බොන ජනතාව විසින් තමන් බොන ආකාරය තමන්ගේ පොකට් එකට ගැලපෙන පරිදි ඇජස් කර ගැනීමය.
එනම්, ගල් බාගය වෙනුවට ගල් කාලක් ගෙන බියර් ෂැන්ඩි කර කික් එකක් ගැනීම ය.
එකල බියර් පිළිබද දැන්වීම් කරද්දී හර්මන් පෙරෙයිරා ගේ පුස් පාට්වලට අමතරව තවත් ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදුවිය.
ඒ ඇඩික් එකේ පොරවල් වෙතිනි.
මේ කියන කාලයේ දිලීපවත්, මමවත් බියර් වෙනුවෙන් කොපි ලිව්වේ නැත.
එහෙත් ඇඩික් එකේ සමහරුන් පැමිණ අපට බලපෑම් කළේ බියර් වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් නොලියන ලෙසයි.
දිලීප කෙසේ වෙතත් මා නම් බියර් දැන්වීම් ලියන්න පෙළැඹුණේ ඇඩික් එකේ මේ මෝඩ චූන් නිසාය.
නුවරඑළියේ පිහිටි බියර් ෆැක්ටරිය බියගමට ආවේ මේ කාලයේ දීය.
එහි පුවත්පත් දැන්වීම ලියැවුණේ මෙලෙසිනි.
" අපි බිය(ර්)ගම යනවා"
මේ වනවිට බියර්වලට එරෙහිව හා හාමුදුරුවන් සිවුරු උස්සාගෙන සිටි බැවින් ඒ දැන්වීම පළ වුණේ හල් 'ර' යන්න හලලා ය.
මේ කාලයේ ලයින් බියර් ටැග් ලයින් එක වූයේ ' අපි සිංහ වංශයේ.. ඔබ...?' යන්න යි.
මේ ලයින් එකටත් විරෝධය මතු විය.
මේ රටේ කසිප්පුවලටවත් එවැනි විරෝධයක් පැන නැඟී නැත.
මෙකී විරෝධතාව පිටුපසත් හාමුදුරුවෝ සිටි සේක.
අප යෝජනා කළේ " සිංහ ලොවට වඩින්න" කියා දමන ලෙසයි.
විරෝධයට ප්‍රති විරෝධය දැක්විය යුත්තේ එලෙසිනි.
එහෙත් සිංහයාට ඇති නිර්භීතභාවය සිංහයාට මුවාවී සිටි ක්ලයන්ට්ලාට තිබුනේ නැත.
මේ කතාව අවසන් කරන්නේ ද බියර් කතාවකිනි.
එකල රාත්‍රියේ වැඩ කරද්දී ෆීනික්ස් එක ගානේ බියර් ලැබේ.
ෆ්‍රිජ් එකේ බියර් පුරවා තිබූ අතර සවස 6 න් පසුව වැඩ කරද්දී බියර් බෝතල් රැගෙන පානය කළ හැකිය.
මේවා දුන්නේ නොමිලේ ය.
එසමයෙහි බියර් බෝතලයක් රුපියල් 16 ක් පමණ වේ.
අපේ මිනිසුන්ට නිකං දෙන එකේ අගයක් නැත.
බාගෙට බිවූ බියර් බෝතල් මෙන්ම රාත්‍රීයට යහළුවන් ද ගෙන්වා පාටි දමන්නට යෑම නිසා පිනට ලැබුණු බියර් බෝතලයට කණ කොකා හැඬීය.
එහි පූර්ණ ගෞරවය කුසන්ත පරණවිතානට හිමිවේ.
දිනක් රාත්‍රියේ ස්ටුඩියෝ එකට වී බෝධි බියර් බෝතලයක් බොමින් උන්නේය.
එකල නෝමන් නමින් සුද්දෙක් ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ සිටියේය.
නෝමන් ස්ටුඩියෝ එකේ දොර ඇරගෙන එද්දී බියර් බොමින් සිටි බෝධිව දැක්කේය.
" චියර්ස්..!"
නෝමන් බෝධිට කිව්වේය.
සුද්දෙක් චියර්ස් කී විට තමන් ද මොනවා කිව යුතු යැයි බෝධිට හිතුණි.
බෝධි තමන් අත වූ බියර් බෝතලය ඉහළට එසෙව්වේය.
" කාල්ස්බර්ග්...!"
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්