මේ කතාව ඉතා සීමිත පිරිසක් දන්නා කතාවකි.
මීට අවුරුදු 20 කට පමණ පෙර සිදුවූවකි.
ඒ කාලයේ අප කොපි ලියුවේ ඩිමයි කඩදාසි වලය.
දැන් පරපුර කෙලින්ම කොපි ගහන්නේ කොම්පියුටර් එකේය.
අපට කොපි ලිවීම සදහා A5 ප්‍රමාණයේ ඩිමයි කොල යොදා සකස් කළ පොඩි පොත් ලැබේ.
එහි පසු කවරය සදහා තරමක ඝණ කඩදාසියක් යොදා තිබේ.
ඒ සදහා බොහෝ විට යොදාගන්නේ වැරැදියට මුද්‍රණය වූ ආර්ට් බෝඩ් ය.
වරක් එම ඩිමයි පොත්වල පසු කවරය සදහා යොදාගෙන තිබුනේ කිසියම් ජායාරූප සංගමයක් වෙනුවෙන් මුද්‍රණය කර ඉවත දැමූ සහතික පත් ය. එහි සම්මානය පිරිනමන පුද්ගලයාගේ නම සටහන් කිරීමට හිස් තැනක් තබා තිබුණි.
යටම අදාළ ජායාරූප සංගමයේ සභාපතිවරයාට හා ලේකම්වරයාට අත්සන් කිරීමට ඉඩ තබා තිබුණි.
මේ කියන කාලයේ ෆීනික්ස් එකේ කැමරා අටවාගත් දෙදෙනෙකු විය.
එක් අයෙක් රංජන අමරදේවයි.
අනෙක් කෙනා දීප්ති පීරිස් ය.
රංජන හිටියේ ක්‍රියේටිව් එකේය.
මොන වළි දාගත්තත් ක්‍රියේටිව් එකත්, ස්ටුඩියෝ එකත් හිටියේ එකටමය.
රංජනට කවුරුත් කතා කළේ 'ළමයා' කියාය.
ඔය නම දැම්මේ ස්ටුඩියෝ එකේ සජ්ජා ය.
ෆොටෝ කොපි සමන් නම් කිව්වේ " ළමයා මහත්තයා " කියලා ය.
ඉතින් ළමයාගේ දුකේදිත් , සැපේදිත් මේ කට්ටිය ළමයා සමගින් සිටියහ.
ළමයාට සිදුවන අතවරවල නිමක් නැත.
දවසක් ඔහුගේ බයික් එකේ තෙල් ඉවර වූයේ කිරුළපන මායා මාවතේදීය.
සුනිල් සරත් පෙරේරා මහතාගේ නිවස පිහිටා ඇත්තේ මායා මාවතේය.
එදා ඔහු ගෙදර ගියේ සුනිල් සරත් මහතාගේ බිරිද වූ සරෝජිනි පෙරේරා මහත්මියගෙන් රුපියල් 100 ක් ඉල්ලාගෙන තෙල් ගසාගෙන ය.
රංජනට කැමරා ඇහැක් තිබේ.
විශේෂයෙන්ම මානව රූප ජායාරූපගහ කිරීමේදී හරිම කෝණය තෝරාගැනීමට රංජනට පුළුවන.
දීප්ති නම් මෙලෝ රහක් නැත.
කාටවත් උන්දැව වැඩිය දිරවන්නේ නැත.
" අනේ ඩාලිං ..." යැයි කියන්නේ වැඩක් කරගන්න ඕනෑ වූ විටය.
අනික් වෙලාවට යන්නේ අඩි බාගයක් විතර උඩිනි.
එයා ගැන දැනට කියන්න ඇත්තේ එච්චරය.
දැන් කතාවේ මුලට යමු.
අපි කතා කළේ සහතික පතක් ගැන ය.
අපි ප්ලෑන් කළේ මේ සහතික පිරිනමන්නේ කෙසේද කාටද කියාය.
ඒ අනුව ළමයාත්, දීප්තිවත් සම්මාන පිදීම සදහා ඒකමතිකව තෝරා ගනු ලැබීය.
ඔපරේෂන් එක ක්‍රියාත්මක වූයේ ස්ටුඩියෝ එකේ සිට ය.
එක සහතිකයක ලබන්නා ගේ නමට රංජන අමරදේව නම යෙදුවෙමු.
අනෙක් සහතිකයේ ලබන්නා ලෙස දීප්ති ගේ නම ඇතුළත් කෙරිණි.
ඉන් පසු ලස්සනට මවුන්ට් කර කවර දෙකක බහා නම් දෙක ද ලියා රිසෙප්ෂන් එකේ තැබුවෙමු.
මුලින්ම මේක අතට ගත්තේ රංජන ය.
ප්‍රීතියෙන් පිනා ගිය රංජන සර්ටිෆිකේට් එකත් උස්සාගෙන කෑගසමින් ආවේ තමන්ට ලැබී ඇති සම්මානය ප්‍රදර්ශනය කරමිනි.
" ඒයි, මචං බලපං.. " කියා ඔහු හැමෝටම එය පෙන්වීය.
රංජනයා හොඳ එකා නිසා පසුව අපි ෂේප් එකේ සහතිකයේ කතාව කීවෙමු.
රංජන හිමීට සහතිකය ඉරා කුණු බක්කියට දැම්මේය.
ඊළඟට දීප්ති ගේ පාට් එකය.
සහතිකය රැගත් දීප්ති " හේයි" ගාගෙන රිසෙප්ෂන් එකේ සිට කෙලින්ම දිව්වේ AV ඩිපාර්ට්මන්ට් එකටය.
අප කවුරුත් දීප්තිට ඇත්ත කියන්න ගියේ නැත.
ඒකට තවත් හේතුවක් තිබිණ.
දීප්‍ති ඒ සර්ටිෆිකේට් එක ගෙදර බිත්තියේ එල්ලාගෙන ඇති බවත් තොපි දැන් ඕක කියන්න ගියොත් මැරුම් කන්න වෙන බවත් ක්ලයන්ට් සර්විසිං එකේ ස්පෙන්සර් කිව්වේය.
ස්පෙන්සර්‍ට ගරු කිරීමක් වශයෙන් අද දක්වාම අප කට ඇරියේ නැත.
ඒත් එම සහතික පත්වල සභාපති ගේ හා ලේකම් ගේ අත්සන් පරීක්ෂා කළා නම් රංජනවත්, දීප්තිවත් මෙහෙම ඇන්දෙන්නේ නැත.
එකී සහතිකවල සභාපතිට අත්සන් කර තිබුනේ ලැම්බට් පෙම්මාවඩුය.
ලේකම්ට අත්සන් කර තිබුනේ අමරසෝම සමරක්කොඩි ය.
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්