අල්මාරියෙ ලාච්චුවෙ රුපියල් තුනක් තිබුණ. අල්මරියෙ රෙදි ගොඩ අවුස්සද්දි පිත්තල තරාදි කඳක් හම්බුණා. මට මතකයි ඒක අපේ මද්දු තාත්තගෙ කියල.
ඊට පස්සෙ මං: කොට කලිසම් දෙකුයි, ෂර්ට් දෙකකුයි, තරාදි කඳයි බෑග් එකක දාගෙන, තව මං ආස ම කරන කොට කලිසමයි ෂර්ට් එකයි ඇඳගෙන, ලාච්චුවෙ තිබුණ රුපියල් තුනත් අරගෙන ගාල්ලට එන බස්සෙකක නැග්ග.
* * *
එක පාරට ම ලයිට් දෙක තුනක් පත්තු වුණා. ලයිට් එලිය පත්තු වෙනවත් එක්ක ම මට ඇහැරුණා. ඒ එක්ක ම ‘‘හා හා නැගිටහල්ලා නැගිටහල්ලා.... යකෝ මුං රෑ තිස්සෙ මෙතන මාරු ගහනව ඒකල්ල උදේ පාන්දර නැගිටින්න පණ නෑ. මං ඉතිං පාන්දර ම මගේ උගුර ලේ රහ වෙනකං තොපිට කෑගහන්නෝන. කෝ ඉතිං නැගිටහල්ල...’’ කියල කවුදෝ මහ හයියෙන් කැගැහුව.
වෙලාව කීයද කියල හරියට ම හොයාගන්න බැරි වුනත් එළි වෙලා වෙන්න ඇති කියල හිතුණෙ ඒ කෑගැහිල්ලට. මමත් නැගිටින්න හදද්දි ම මාව නැවැත්තුවෙ සුමනසිරි අයිය.
‘‘එපා එපා යසේ... ඕකා ඔය කෑගහන්නෙ වේටර්ලට. හය වෙද්දි කඩේ අරිනව නෙ... එතකොට වේටර්ල ලේස්ති වෙලා ගිහිං කඩේ ඉන්නෝන. මමයි ඔහෙයි පාලිතයි හයට නැගිට්ටම ඇති.’’
සුමනසිරි අයිය එහෙම කිව්වම දැන් වෙලාව කීයද කියල මට හිතාගන්න පුළුවං.
‘‘ඒ කියන්නෙ දැං වෙලාව පහයි...’’
ඇත්තට ම මං එහෙම අහන්න හිතුවෙ හිටියෙ නෑ. ඒත් මම දන්නෙ ම නැතුව එහෙම ඇහිල. මට ඒක දැනුණෙ සුමනසිරි අයිය ‘‘ඔවු... දැං පහයි. හැමදාම මේ වෙලාවට ඕකා ඇවිත් කෑගහනෝ. එක පාරක් කෑගහල පල්ලෙහට ගිහින් ආයි විනාඩි දහයකිං පහළොවකිං එන්නෙ දර කැල්ලකුත් අරගෙන. ඒ එදිදිත් කවුහරි නිදං හිටියොත් දෙනව පුක හරහ දර පොල් පාරක්.’’ කියල කිව්වට පස්සෙ.
සුමනසිරි අයිය එහෙම කිව්වම මට හිනහත් ගියා. ඒත් ඒ හිනාවත් එක්කම ඒ කෑගහපු මිනිහත් එක්ක කේන්තියකුත් ආව. ඒ, කෑගහල මිනිස්සු අවදි කරන එකට නෙවෙයි. නිදාගෙන ඉන්න මිනිස්සුන්ට දර පොල්ලකින් ගහනව කිව්ව ම. ඒ නිසා ම මට ඒක තව ටිකක් විස්තර ඇතුව ම අහගන්න හිතුණ.
‘‘කවුද සුමනෙ අයියෙ ඌ... ඌ අපිටත් ගහයි ද...?’’
‘‘ඒකා තමයි කළු මහත්තෙය කියන්නෙ. ඌ අපේ ලොකු සර්ගෙ යාළුවෙක්. අපි මේ ඉන්න තට්ටුවට උඩ තට්ටුවෙ තමයි ඌ වැඩ කරන්නෙ. ඌ එළි වෙනකම්ම ඉන්නෙ අවදියෙං. ඊට පස්සෙ ඔය විදියට උදෙම්ම ඇවිත් කොල්ලො අවදි කරල තමයි ඌ ටිකක් දවල් වෙනකං නිදාගන්නෙ. කොහොමත් ඌ ඒ නින්ද දවල් එකොළහ විතර වෙනකං නිදාගන්නව.’’
සුමනසිරි අයිය කියපු කතාවෙ අඩුපාඩු ගොඩක් තියෙනව කියල මට තේරුණා.
‘‘ඒ කිව්වෙ අයියෙ... ඌ මොනවද උඩතට්ටුවෙ කරන්නෙ... ඇයි ඌ එළි වෙනකං අවදියෙං ඉන්නෙ...?’’
‘‘ඒවා දිග කතා මල්ලි... මං ඔහේට ඩිංගක් කියන්නං. පස්සෙ ඔහේට ම තේරේවි හරිය. උඩ තියෙන්නෙ කාමර. කාමර අටක් තියෙනව. ඉතිං හැමදාම රැට ඒ කාමරවල නවතින්න කට්ටිය එනව. කළු මහත්තය තමයි ඒ වැඩ බලාකියාගන්නෙ. දැං ඔහේ මගෙං අහන්නෙපා කවුද කාමරවලට එන්නෙ... ඇයි කාමරවලට එන්නෙ කියල. ටික දොහක් ගියාම ඔහේටම තේරෙයි හරිය...’’
‘‘මොකද්ද අයියෙ මිනිහ අර මාරු ගහන කතාවක් කිව්වෙ...?’’
මං සුමනසිරි අයියගෙන් ඇහුවෙ ඒ කතාව තේරුණේ නැති නිසා. හැබැයි සුමනසිරි අයිය ඒකට වචනවලින් උත්තර නොදී කට කොනකින් හිනා වුණා. ඒ හිනාව ඇතුළෙ මොකද්දෝ ලොකු රහසක් හරි වෙන මොකක් හරි තියනව කියල මට තේරුණා. ඒත් ඒක හරියට ම පැහැදිලි නැති නිසා මං සුමනසිරි අයිය දිහා ම බලාගෙන හිටිය.
‘‘ඒක මොකද්ද කියල ඔහේට තව ටික දවසකිං තේරෙයි. ඔහේට මතක ඇතිනෙ... ඊයෙ රෑ ඔහේගෙ කතාව කියල ඉවර උනාට පස්සෙ අපි නිදාගන්න හැදුවට නින්ද ගියේ කීයට ද... ඒ නින්ද යනකං මෙතන සිද්ද වෙච්ච දේවල් ගොඩක් දැක්කෙ නැතත් ඇහෙන්නැතිනෙ.. ටිකක් කල්පනා කරල බලන්නකො.’’
සුමනසිරි අයිය එහෙම කිව්වට පස්සෙ ඇත්තට ම මමත් ටිකක් කල්පනා කරා. එතකොට තමයි මට මතක් වුණේ ඊයෙ රෑ සිද්ධ වෙච්ච එක එක විකාර වැඩ. උන් නිදාගන්න එක කොහොම වෙතත්: කුණුහරුප කියනව, එක එක ජාතියෙ සද්ද ඇහෙනව, එක එකා මාරුවෙන් මාරුවට බාත්රුම් එකට යනව, හෝදනව... ආයෙ එනව, තව එකෙක් යනවා... හැබැයි මේ කොයියම්ම වෙලාවකවත් ලයිට් නං දැම්මෙ නෑ. ලයිට් ඕෆ් කරල තිබුණට බස් ස්ටෑන්ඩ් එකෙන් එන ලයිට් එළිය මේ තට්ටුවෙ හැම තැනම පුරවල තිබුණෙ හරියට රබර් යායකට උඩින් හඳ පායල වගේ. මෙතන ඉන්න එවුන්ට ඒ එළිය හොඳට ම ඇති. කොහොම වෙතත් සුමනසිරි අයිය කියන විදියට මෙතන රෑට වෙන්නෙ මොනවද කියල හරියට ම දැනගන්න නං ඉතිං ටික දවසක් ඉන්න වෙයි.
‘‘මොනවයි ඔහේ කල්පනා කරන්නෙ...?’’ කියල සුමසිරි අයිය අහද්දි මට නිකං ආයෙ නින්ද යන්න වගේ ආව.
‘‘නෑ අයියෙ... මට ආයි ඩිංගක් නිංද ගියා...’’
‘‘කමක් නෑ... තව වෙලා තියෙනව නෙ... නිදාගන්න. මං ඇහැරවන්නං...’’
සුමනසිරි අයිය එහෙම කියද්දි ම අර කළු මහත්තය කියන එකා අයෙ ආව. අර කිව්ව වගේ ඌ මේ වතාවෙ ආවෙ නං දර පොල්ලකුත් අරගෙන.
‘‘කෝ මේ හු**ගෙ පුතාල... තවමත් අත් දෙක දෙපරන්දෙ අස්සෙ ගහගෙන ද... තොපිට පොලු පාර කන්න ම ඕන නේද...?’’ කියල අහද්දි ම ඒ වෙද්දිත් නිදාගෙන හිටපු එවුන් දෙතුන් දෙනෙක් ම දඩි බිඩි ගාල නැගිටල කොට්ට පැදුරු, කාඩ්බෝඩ් එහෙම අකුළන්න පටන් ගත්ත. දෙන්නෙක් ‘‘අපි අටට කළු මහත්තයො’’ කියල ආයෙත් අනික් පැත්තට හැරිල නිදාගත්ත.
අන්න ඒ වෙලාවෙ තමයි මං ඒ කළු මහත්තය කියන මිනිහව හරියට ම දැක්කෙ. මිනිහ බෙල්ලටත් ටිකක් පල්හොට වෙන්න කොණ්ඩ වවපු... හරියට ම කියනවනං වික්ටර් රත්නායක වගේ. ඇතුළට ගිලුණු ඇස් දෙකක් තියෙන, කළු ම කළු, නොණ්ඩි ගගහ ඇවිදින මිනිහෙක්. මිනිහ ඇඳල හිටියෙ සුදු සරමයි අත් කොට මේස් බැනියමයි. මිනිහ කවුරු වගේ ද කියල ඔළුවෙ ඇඳගන්න හැදුව. ඒත් නිකං ආව ගියා වගේ දැනුණට හරියට ම හිතාගන්න බැරි වුණා. හැබැයි කොහොම වුනත් ඒ රූපෙ මගේ හිතේ ටිකක් තදින් ම ඇඳුණ.
විනාඩි දහයක් යන්නත් කලිං මමයි, සුමනසිරි අයියයි පාලිතයි අර ‘අපි අටට කළු මහත්තයො’ කියපු එවුන් දෙන්නයි ඇරෙන්න අනික් එවුන් ඔක්කොම පල්ලෙහාට ගියා.
‘‘සුමනෙ අයියෙ... ඇයි අර දෙන්නෙක් ‘අපි අටට කළු මහත්තයො’ කිව්වෙ.
මං සුමනසිරි අයියගෙන් ඇහුවෙ උන් දෙන්න එහෙම කිව්ව ම කළු මහත්තය කියන එකා සද්ද නැතුව පල්ලෙහාට ගිය නිසා.
‘‘ආ... ඒ ඔය... වේටර්ලට දවසට පැය දෙකක ඕෆ් එකක් දෙනව. ඒක දෙන්නෙ එක එක්කෙනාට එක එක වෙලාවට... උන් දෙන්නගෙ ඕෆ් එක අද උදේ හයේ ඉඳං අට වෙනකං. උං දෙන්න වැඩට යන්නෝනෙ උදේ අටට. එතන ඉඳං රැ නමයට කඩේ වහනකං දිගට ම වැඩ... අද ඉඳං ඔහේටත් ඒ පැය දෙක හම්බෙනව. ඒ වෙලාවට තමයි ඉතිං නාල කරල ඔය ඇඳුං එහෙම හෝදගන්න තියෙන්නෙ. මං නං ඔය පැය දෙකට වැඩිය ඉන්නව. මට ඉතිං මොකුත් කියන්නෑ. අද දවල්ට මං මැනේජර් මහත්තෙයත් එක්ක දොඩල ඔහේට ඕෆ් වෙන්න වෙලාවක් හදල දෙන්නංකො. ඒක නෙවෙයි... ඔහේ සරං ගෙනාවෙ නැතෙයි... හැමදාම බුදියන්න හදන්නෙ ඔයි විදියට කොට කලිසම ඇඳගෙනෙයි...?’’
සුමනසිරි අයිය අන්තිමට ඇහුවෙ හුඟ වෙලාවක ඉඳං අහන්න හිටපු දෙයක් මතක් වුණ හැටියෙම ඇහුව වගේ.
‘‘ආ... ඔවු සුමනෙ අයියෙ... මං සරං ඇඳල ම නැහැ නෙ... මට සරං අඳින්නත් බැහැ නෙ... ඇයි සුමනෙ අයියෙ එහෙම ඇහැව්වෙ...?’’
‘‘නෑ ඉතිං ඔය වයසට කලිසම් ඇදගෙන රෑට නිදන්න අමාරුයිනෙ... ඒකයි මං එහෙම ඇහැව්වෙ...’’ කියපු සුමනසිරි අයිය අනිත් පැත්තට හැරුණෙ තව ටිකක් වෙලා නිදා ගන්න කියල මට හිතුණ. ඒ නිසා මං ආයෙ මොනවත් ම කිව්වෙ නෑ.
* * *
මං කවදාවත් සරම ඇඳල නෑ කිව්ව ම මෙහෙ ඉන්න හැමෝට ම පුදුමයි. මට මතකයි එක සැරයක් තාත්ත කුඩම්මයි සෝම පුංචියි එක්ක දෙවුන්දර ගිහින් එද්දි මට අඳින්න සරමකුයි ඉනේ බඳින්න පටියකුයි දෙකක් ම ගෙනාව. ඒ, සරම ඇඳල ඒක වැටෙනවට පටිය බඳින්න. හැබැයි මං සරම ඇඳල පටියත් බැඳල එහෙ මෙහෙ ඇවිදිද්දි ටික වෙලාවකින් පටිය ඉණේ ම තියෙද්දි සරම කඩාගෙන වැටුණ. ඒ වෙලාවෙ කුඩම්මයි එයාගෙ මල්ලි මහතුං මාමයි දෙන්න ඒක දැකල හොඳට ම හිනාවුණා. උන් හිනා වුණාට ලැජ්ජාව නිසා මට ඇඬුණ. මං ටක් ගාල පහත් වෙලා සරම උඩට උස්සල ඇඳගෙන මගේ ඇඳුං දාල තියෙන තැනට ගිහිං සරම ගලවල දාල කොට කලිසමක් ඇදගත්ත. එදායින් පස්සෙ තාත්ත මගේ පස්සෙන් එළව එළව මට ගහල සරම අදින්න කියල බල කරත් මං නෙවෙයි සරම ඇන්දෙ. ගුටිකාලත් සරම ඇඳපු නැති නිසා තාත්තත් ආයෙ ආයෙ කරදර කරේ නෑ. ඊට පස්සෙ ඒ සරම ඇන්දෙ මහතුං මාම.
‘‘යසේ යසේ... ඔහේ නිදිය...? අපිටත් නැගිටින්න වෙලාව හරි... නැගිටිමු...’’
ආයෙත් පොඩ්ඩක් නින්ද යාගෙන එද්දි ම සුමනසිරි අයිය කතා කරා.
‘‘ඊයෙත් බ්‍රෂ් එකක් ගත්තෙ නෑ නෙ... කමන්නැහ්... අදටත් ඔය ඇඟිල්ලෙන් මැදගන්න. දවල්ට ඕෆ් උණාම බ්‍රෂ් එකක් ගන්න. සිග්නල් මගේ ළඟ තියෙනව. ඒකක් පස්සෙ ගන්න පුළුවං’’ කියල සුමනසිරි අයිය කිව්වෙ නැගිටල පල්ලෙහාට බහින අතරෙ.
වතුර ටැංකිය ගාව ඒ වෙලාවෙ තිබුණෙ ඊයෙ රෑ දැක්කට වැඩිය වෙනස් ම විදියක්. සමහර අය නානවා..., සමහර අය මූණ හෝදනවා, තව එක්කෙනෙක් මහ විසාල ඇල්මිනියම් වළඳක් හෝදනවා. ටැංකියෙ බාගයක් විතර වහලෙන් වැහිල තිබුණෙ. එතන තමයි තේ හදන තැන. තේ හදන කෙනත් ටැංකියෙන් වතුර අරගෙන කඩවල්වල බිස්කට් අඩුක් කරල තියෙන ලොකු බොතල් වගේ ලොකු ඇලුමිනියම් භාජනේකට වතුර පුරවනවා. ඒ වතුර පුරවද්දිත් භාජනයෙන් හොඳට ම දුම් දානවා. බිත්තිය අයිනට වෙන්න ඉණ ගාවට විතර උසින් පොඩි ටැංකි දෙකක් තිබුණ. ඒ ටැංකි දෙකට ටැප් දෙකක් හයි කරල තිබුණ. සර්ට් එකකුත් නැතුව කැහැපට ගහගත්තු සරමක් විතරක් ඇඳපු පොඩි කොල්ලෙක් ඒ ටැංකිවල දාල පිඟන් හෝදනව. මං ටිකක් වෙලා බලාගෙන හිටිය. කොල්ල පිඟන්වල තියෙන ඉඳුල් එතන තියෙන බැරල් එකකට දාල පිඟාන එක ටැංකියකින් හෝදල සබන් කැල්ලක පොල් කොස්සක් අතුල්ලල ඒ පොල් කොස්සෙන් පිඟාන අතුල්ලල අනික් ටැංකිය ගාවින් තියනව. අන්තිම පිඟාන හේදුවට පස්සෙ අර පිඟන් ටික අනිත් ටැංකියට දාල ආයිත් හෝදනව. එහෙම හෝදපු පිඟන් ටික ඇතුළට අරගෙන යනව. ඒ වෙද්දි තව එක එක්කෙනා තව තව පිඟන් ගෙනල්ල එතන තියනව. එයාලට කිව්වෙ ‘වේටර්ල’ කියල. අර කොල්ල ආයෙත් ඒ ගෙනාපු පිඟන් අර විදියට ම හෝදනව. ඒ අතරෙ වේටර්ල තව තව පිඟන් ගෙනල්ල තියනව. ඒක ඉවරයක් නැති වැඩක් කියල මට හිතෙද්දි ම ආයෙත් සුමනසිරි අයියගෙ කටහඬ ඇහුණා.
‘‘කොට්ටව මල්ලි... මටයි මේ මල්ලිටයි ටී දෙකක් දීහංකො...’’ කියල කියද්දි ම මං සුමනසිරි අයිය දිහා බැලුව. එයා ‘කොට්ටව’ කිව්වෙ තේ හදන කෙනාට. එයා සරම බඩ මැදින් ඇදපු ටිකක් මහත, කළුත් නැති, සුදුත් නැති, කොණ්ඩෙ කොටට කපපු... උඩු තොලයි නහයෙ පල්ලෙහා කෙළවරයි අතරෙ හීනි උඩු රැවුලක් තියෙන... මට හිතෙන්නෙ අවුරුදු තිහක විතර කෙනෙක්.
‘‘කොට්ටව... මේ යසේ... ඊයෙ ඉඳං ගිෆ්ට් අයිටම් කෑල්ලෙ වැඩ... දවල්ට තේ එකක් එහෙම ඉල්ලුවම දීහං හරිය..’’ කියල තේ හදන කෙනාට කියපු සුමනසිරි අයිය මං දිහාට හැරුණ; හැරිල ‘‘හෙට ඉඳං මං කියනකං ඉන්නෝන් නෑ හරිය... මේ වෙලාවට ම ඇවිත් මුණ හෝදගෙන මේ කොට්ටව අයියගෙං ටී එකක් ඉල්ලගෙන බීල ලේස්ති වෙලා පල්ලෙහට්ට එන්න.’’ කිව්ව.
කොට්ටව කියන කෙනා ‘‘මේ මල්ලි සුමනෙ අයියගෙ කවුරු හරිද කියන ගමං ඇලුමිනියම් ජොග්ගුවක තිබුණ තේ එක පිරිසි කෝප්පෙට වක්කරේ හරියට රබර් පටියක් උඩට අදිනව වගේ උඩට ඇදල. මං හිතුවෙ තේ එක ඉහිරෙයි කියල. මොනහ්... පිරිසි කෝප්පෙ පෙණවලින් පිරුණ... තේ බිංදුවක්කත් බිම වැටුණෙ නෑ. මං කල්පනා කරේ මෙච්චර උඩට ඇදල තේ එක පිරිසි කෝප්පෙට දැම්මෙ කොහොම ද කියල.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/10/27
අපලෝකන - පසුගිය ලිපි
අපලෝකන (05) : මගේ ගම කොහෙද කියල මං දන්නෑ...- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන 04 : මං ඕයි නෙවෙයි ඕයි... මගෙ නම යසසිරි...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව
වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)