ඔන්න ඔය විදියට තමයි මම ඉස් ඉස්සෙල්ලා ම වේටර් රස්සාවට ආවෙ. ඒ විතරක් නෙවෙයි දිග කලිසම ඇන්දෙත්.
ඒ වෙද්දි මං වේටර් රස්සාවෙ අයනු ආයනුවත් දැනගෙන හිටියෙ නැති වුනත් ඒක තවත් ඉතිහාස ගතවෙන සිද්ධියක්. ඒ, මම දිග කලිසම ඇඳපු එකට වඩා විශේෂ දෙයක්. ඒ තමයි ඒ හෝටලේ දිග කලිසම ඇඳගෙන වැඩ කරපු පළමු වේටර් මම වුණ එක. මං හිතන්නෙ ඔය කොටුවෙ සුද්දො එන හෝටල්වල වේටර්ලත් ඒ දවස්වල ඇන්දෙ සුදු සරමයි ෂර්ට් එකයි. ටවුමෙ කිසිම හෝටලේක වේටර්ල දිග කලිසම ඇන්දෙ නෑ. හැබැයි ඒ වෙද්දි හෝටලෙයි බේකරියෙයි වැඩ කරපු කොල්ලො නං ඕෆ් වෙලා යද්දි කලිසම ඇඳගෙන නළුවො වගේ ගියා. ඒවුනාට වැඩ කරේ සරමයි ෂර්ට් එකයි ඇඳල. බිල් ලියපු මහත්තය විතරයි කලිසම ඇන්දෙ. මැනේජර් මහත්තය ඇන්දෙත් සරමයි ෂර්ට් එකයි. මම ඒ අතින් නම් හරිම වාසනාවන්තයි.
මැනේජර් මහත්තය මාව බාර දුන්නෙ බතික් අංකල්ට. ඇත්තට ම එයාගෙ නම් ස්ටීවන්. එයාට බතික් අංකල් කියන නම පටබැඳිල තිබුණෙ එයා ඇන්දෙම සුදු සරමයි බතික් මෝසතරයෙ කමීසයි නිසා. ඒ වගේ ම මට මේ ‘අංකල්’ කියන වචනෙත් සාමාන්‍ය කෙනෙකුට කතාකරන්න තරම් සුදුසු වචනයක් නෙවෙයි කියලත් හිතුණ. මොකද මම අංකල් කියල තියෙන්නෙ මගේ නැන්දලගෙ මහත්තයලට විතරයි. දැන් ඉතිං මට නැන්දල කී දෙනෙක් විතර හිටියද කියලත් කියන්න ඕන නෙ නේද... ඇත්තට ම මට නැන්දල... ඒ කියන්නෙ තාත්තගෙ පාර්ශ්වයෙ සහෝදරියො හතරදෙනෙක් හිටිය. ඒ හැම නැන්ද කෙනෙකුගෙ ම මහත්තයට කිව්වෙ අංකල් කියල. ඒ අංකල්ලයි නැන්දලයි ගැන වෙනම කතා ගොඩයි. ඒව පස්සෙ කියමුකො. ඒ අංකල්ල හතරදෙනා ඇරුණම අපි පදිංචි වෙලා හිටපු ප්‍රදේශවල හිටපු වැඩිහිටි පිරිමි අයට කතා කරේ ‘මාම කියල. වැඩිහිටි ගැනු අයට කතා කරේ ‘නැන්ද’ කියල. ඒනිසා ම මට මේ ‘බතික් අංකල්’ට අංකල් කියන එකත් හරිම ප්‍රශ්නයක් වුණා. ඒත් මම එයාට අංකල් කියලම කතා කරා.
බතික් අංකල් හෙවත් ස්ටිවන්
හැම වේටර් කෙනෙකුට ම මේස දෙකක් බාර දීල තිබුණ. අපි කෑම බීම දෙන්න ඕන ඒ තම තමන්ට අයිති මේසවලට අදාළ පුටුවල වාඩි වෙන අයට විතරයි. අනිත් මේසවල අයට කෑම බීම දෙනවම් දෙන්නෙ ඒ මේස බාරව ඉන්න වේටර් කන්න බොන්න හරි කක්කුස්සියට හරි ගිය වෙලාවට විතරයි. යසසිරි අලුත්ම වේටර් කෙනෙක් වුනාට එයාටත් මේස දෙකක් බාර දුන්න. ඔය මේස බෙදාගන්න වේටර්ල අතර තරගයක් තිබුණ. මොකද කඩේ ටිකක් පස්සට වෙන්න තියෙන මේසවලවට අදාළ පුටුවල වාඩිවෙන්නෙ ම සාමාන්‍ය මිනිස්සු. ඒ අයගෙන් ටිප් හම්බ වෙන එක හරිම අඩුයි. හැබැයි මං හැමදාම බැලුවෙ එක ම මේස දෙක. අද මේ යසසිරිට බාර දීල තියෙන්නෙ රංජිත් බලාගන්න මේස දෙක. ඒ දෙකෙත් හොඳ මේස දෙකක්. ඒ කියන්නෙ ටිප් එක වැඩිපුර හොයන්න පුළුවන් මේස දෙකක්.
මම ඉතිං යසසිරිට හැම දෙයක් ම මුල ඉඳන් ම කියල දුන්න. ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් ඇවිල්ල වාඩි වුණාම එයා ළඟට ගිහින් ‘‘මොනවද මහත්තයලට (හරි නෝනලට හරි) ඕනේ...?’’ කියල අහන්න. එයාල ඉල්ලන්නෙ තුන්වෙලට ගන්න කෑම මොනව හරිනම්... ඒ කියන්නෙ: බත්, පාන්, ඉඳිආප්ප වගේ දේවල් නම් ඉස්සරවෙලාම කරන්න ඕනෙ මේසෙ පිහිදාන එක. ඊළඟට කරන්න ඕනෙ බොන්නයි අත හෝදන්නයි වතුර, අතහෝදන වතුර දාන්න ලොකු කෝපපෙ සහ පිඟන් අරගෙන යන එක. ඒ වගේ ම ඒ අයට පිඟාන හෝදගන්න උණුවතුර කෝප්පයක් ඒ එක්කම අරගෙන යන එක. ඊට පස්සෙ වුමනා කෑම වර්ගය මොකක්ද කියල අහල ටිකක් සද්දෙන් කෑම පැන්ට්‍රියෙ ඉන්න කෙනාට කියන එක. ඒ වගේ ම කී දෙනෙකුට ද කියල දැනෙන්න එක්කෙනක් නම්, එයා ඉල්ලන්නෙ පාන් නම් ‘පාන් සිංගල් දාන්න’, දෙන්නෙකත් නම් ‘පාන් ඩබල්’ කියල කියන්න. ඒකට කියන්නෙ ඕඩර් කරනව කියල. වේටර් එහෙම කිව්වම කෑම පැන්ට්‍රියෙ ඉන්න කෙනා පාන් කපල බන්දේසියකට දාල තියනව. ඊළඟට ආපු කෙනාට වුවමනා මස් ද, මාළු ද, පරිප්පු ද, අල ද... කියල අහල ඒකත් අර වගේ ම ‘අල සිංගල් එකයි... පරිප්පු සිංගල් එකයි... පරිප්පු ඩබලයි... අල ඩබලයි... කිරි මාළු ඩබලයි...’ කියල සද්දෙන් කියන්න ඕන. එතකොට තමයි පැන්ට්‍රියෙ ඉන්න කෙනා ඒ ඒ කෑම වර්ග කරි දීසිවලට දාල ඒ කරි දීසි බන්දේසිවලට... එහෙමත් නැත්නම් ට්‍රේවලට දාල වේටර්ට ගන්න පහසු විදියට කවුන්ටරෙන් තියන්නෙ.
ඊළග කෑමට ආපු කෙනා කාල ඉවර වෙන්න කිට්ටුව ළගට ගිහින් හෙමිහිට මහත්තය හරි නෝන හරි කියල ‘මොනවද බොන්නෙ... ටී, ප්ලේන්ටි, කෝපි, කිරි කෝපි...?’කියල අහන්න ඕනෙ. එයා ඉල්ලන්නෙ ටී නම්... ඒ කියන්නෙ කිරි තේ නම් තේ පැන්ට්‍රි එක ගාවට ගිහින් ‘ට එකායි’ කියල ඕඩර් කරල එන්න ඕන. එතකොට කන කෙනා කාල ඉවර වෙද්දි ටී මේකර්... ඒ කියන්නෙ තේ හදන කෙනා වුමනා තේ වර්ගය හදල එයාගෙ කවුටරේ ලෑල්ල උඩින් තියල තියෙනව. කාපු කෙනා තේ බොන අතරෙ තමයි බිල් මහත්තය... ඒ කියන්නෙ බිල් ලියන කෙනා ගාවට ගිහින් අර කෙනා කෑවෙ බිව්වෙ මොනව ද කියල කියන්න ඕනෙ. එතකොට බිල් මහත්තය ඒ ඒ කෑමවල ගණන එකතු කරල බිලක් ලියල දෙනව. අපි නම් ඉතිං කාපු බීපු දේවල් කියන්නෙ නෑ. අපි ම හිතෙන් එකතු කරල ‘එකොළහයි පනහෙ බිලක් දෙන්න. නමයයි පනහෙ බිලක් දෙන්න’ කියල ඉල්ලනව. අලුත් කෙනෙක් ඉතිං කැම බීමවල මිල දන්නෙ නැහැනෙ... ඒ නිසා එයා තමන්ට අයිති මේසෙ වඩිවෙලා කාපු කෙනා කෑවෙ බිව්වෙ මොනව ද කියල එකින් එක කියන්න ඕන.
ඊළගට තියෙන්නෙ බිල අර කස්ටමර්ට ගෙනිහින් දෙන්න. සාමාන්‍ය යෙන් බිලක් දෙද්දි නිකම්ම අතට දෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් ම හැම මේසයකම වෙන් කරපු ඇලුමිනියම් හරි ප්ලාස්ටික් හරි පොඩි භාජනයක්... ඒ කියන්නෙ පිරිසියක් තියෙනව. සමහර වෙලාවට ඒ පීරිසි තට්ටුවක් වෙන්නත් පුළුවන්. තේ බොන පීරිසි කෝප්යක් බිඳුනම පීරිසිය ඒ විදියට බිල තියන්න පාවිච්චි කරනව. බිල දෙන්නනෙ ඒ පීරිසියක තියල. සමහර අය නම් බිල අරගෙන කැෂියර් එකට ගෙවල යනව. සමහර අය... සමහරත් නෙවෙයි වැඩිපුර ම කරන්නෙ බිල බලල ඊට පස්සෙ ඒ මුදල පිරිසි තට්ටුවෙන් තියනව. ඒ මුදලම නෙවෙයි... අපි කියමුකො ගාණ රුපියල් දහඅටයි පනහයි කියල. ඉතිං පනහෙ කොළයක් හරි සියෙ කොළයක් හරි දහයෙ කොළ දෙකක් හරි එහෙම තියනව. එහෙම තිබ්බම වේටර් තමයි ඒ බිල ගෙවන්න ඕනෙ. ඉතිං කොල්ලට අද මාර වැඩක් වුණා. ඒක මතක් වෙද්දිත් හිනා.
මං ඒ මිනිහට කන්න බොන්න ඔක්කොම දුන්නට පස්සෙ ඒ යකා මට සල්ලි දෙනව බිල ගෙවල එන්න කියල. යකෝ මේක හරි වැඩක් නෙ. මං මේකට කන්න බොන්නත් ඔක්කොම ළඟට ගෙනල්ල දීල බිලත් ගෙවන්න ඕන. මං බිල ගත්තෙ නෑ. මං ටක් ගාල ගියා බතික් අංකල් ගාවට. ගිහින් සිද්ධිය කිව්ව. අංකල් කට කොනකින් හිනා වෙලා ‘‘ආ එහෙම ද... හරි හරි යංකො...,’’ කියල මාත් එක්කම මේසෙ ගාවට ආව. ඒ එද්දි මට සල්ලි දික්කරපු කෙනා මුණ කුණ්ඩ හට්ටියක් විතර කරගෙන අපි දිහාම බලාගෙන ඉන්නව. බතික් අංකල් අර තරහෙන් පුපුර පුපුර ඉන්න කෙනා ළඟට ඇවිත් ‘‘සොරි සර්... මෙයා අලුත් එක්කෙනෙක්... දෙන්න... මං බිල් එක පේ කරල එන්නං,’’ කියල බිලත් අරගෙන කැෂියර් එක ගාවට ගියා. ගිහින් විනාඩියක් යන්නත් කලිං ආයෙ ඇවිත් අර මිනිහට ඉතුරු සල්ලි දුන්න ම එයා ඒ සල්ලි අරගෙන කීයද්ද මන්දා අර පිරිසියට දාල මාත් එක්කත් හිනාවෙලා යන්න ගියා. ඊට පස්සෙ අංකල් කියපි ‘‘අන්න පුතේ ඔහේගෙ ටිප් එක. ඒක ගන්න,’’ කියල. මං කල්පනා කරා මට මොකටද යකෝ සල්ලි කියල ‘‘මට එපා අංකල්... ඔයා ගන්න කියල මං කිව්ව. බතික් අංකල් හිනාවෙලා මගේ පිටට තට්ටුවක් දැම්ම. දාල... පුතා... ඒ සල්ලි ඔහේගෙ. ඒක ගන්න,’’ කියල කිව්වට මං ගත්තෙ නෑ.
* * *
රෑ නිදාගන්න කිට්ටු වෙලා බතික් අංකල් මාත් එක්ක කතාවට වැටුණ. එයා මාත් එක්ක කතා කරද්දි සමහර එවුන් හින්ට් පාස් කරන්නත් පටන් ගත්ත. හැබැයි අංකල් නෙවෙයි ඒව ගානකටවත් ගත්තෙ. එයා මටත් කිව්වෙ ‘‘මෙවුංගෙ හැටි ඔහොම තමයි පුතා. ඔහේ ඔව්ව ගනංගන්නෙපා,’’ කියල.
‘‘යසසිරි... ඔහේ දන්නවද අපිට මාසෙට ම පඩිය කීය ද කියල...?’’
කතාව ආරම්භ කරපු ගමන් අංකල් මගෙං ප්‍රශ්නයක් ඇහුව.
‘‘නෑනෙ අංකල්. මමත් තවම පඩියක් ගත්තෙ නැනෙ අංකල්.’’
‘‘ආ... ඔවුනෙ... මම දැන් මෙතන වැඩ කරන්නෙ අවුවරුදු හයක ඉඳල. ආපු ම දවස්වල මගේ මාසෙම පඩිය රුපියල් සීයයි. දැන් වෙද්දි නං ඒක රුයල් දෙසිය පනහයි. හැබැයි පුතා ඔහේ දන්නව ද... මං මාසෙට ටිප් එක හොයනව රුපියල් තුන්සියටත් වැඩිය. අපිට මෙතන ඉතුරු වෙන්නෙ එච්චරයි. අද ඔහේට හම්බ වෙච්ච සල්ලි මං එකතු කරා. එතන තිබුණ රුපියල් තුනයි පනහක්. අපි හිතමුකො රුපියල් තුනයි කියල. එහෙම වුනොත් ඔයාට රුපියල් අනූවක් විතර තියෙනව. ඔයා හරියට වැඩේ ඉගෙනගෙන කස්ටමස්ල අල්ලගත්තොත් දවසට රුපියල් පහළවක් විස්සක් හොයන්න පුළුවං. මං එහෙම කියන්නෙ... මං හිතන්නෑ ඔහේට දැනට මාසෙට රුපියල් සීයකට වැඩිය පඩියක් දෙයි කියල. ආ... ඔයාට ඒකත් දැම්මම හම්බෙන්නෙ නැතිවෙයි. මොකද ඔයා දිග කලිසමුත් මැහුව නෙ නේද... කලිසංවලට කීයක් ගියා ද...?’’
‘‘ඒ කිව්වෙ අංකල්. එයැයි කොහොමෙයි මගේ කලිසංවලිං ගාණක් හොයන්නෙ...?’’
‘‘ඔය මුරුග ඉන්නව නේද... ඕකා තමයි කුස්සියට ඕනෙ කරන ලුණු ඇටේ ඉඳල අර මහා කොප්පරා මාළුවා වෙනකම් ම කඩේට ගන්න හැම බඩුවක්ම අරගෙන එන්නෙ. ඌ ලොකු සර්ටත් නොදැනෙන්න ඒ හැම බඩුවකිංම ගාණක් තියාගන්නව. සමහර විට ලොකු සර් දන්නවත් ඇති. ඒත් සද්ද නැතුව ඉන්නව ඇති. මොකද හුඟක් වෙලාවට ඒ ගාණ දෙන්නෙ බඩු ගන්න තැන්වලින්ම නෙ... කඩෙං ගෙවන්නෙ මාර්කට් එකේ ගාණටත් ටිකක් අඩුවෙන්නෙ. ඒත් බඩු ගොඩක් එක පාර ගන්න නිසා ඒක කඩවලට ලාබයි.’’
ඒකත් මට තේරුණේ නෑ. ඒ නිසා මං ඒ ගැන ආයෙත් අංකල්ගෙන් ඇහුව.
‘‘හරි... මං මෙහෙම කියන්නංකො... මං දන්න විදියට මෙහේ දවසට පොල් ගෙඩි හැත්තපහක් විතර ගානව. මේ එක පොල් ගෙඩියකින් සතයක් ගත්තත් ඌට එතනිං විතරක් සත හැත්තපහක් හම්බෙනව.’’
‘‘අම්මෝ අංකල්...! එතකොට මුරුගයිය මාර විදියට සල්ලි හම්බ කරනව ඇතිනෙ...!’’
ඇත්තට ම මං එහෙම ඇහුව නෙවෙයි... මට එකපාරට ම ඇහුණ.
‘‘ඔහේ දන්නව ද...? මේ කඩේ දවල්ටයි රෑටයි හාල් මිටියකට වැඩිය උයනව. එක මිටියක හාල් සේරු පනහක් තියෙනව. එක හාල් මිටියකින් අපි හිතමු සත පනහක් කියල... එතකොට මාසෙට මිටි තිහයි. එතනම මිනිහට මාසෙකට රුපියල් පහළවක් හම්බෙලා. එළවළු ගත්තත් එහෙම නෙ... එක වේලකට එක එළවළුවකින් අඩුම රාත්තල් පහක්කත් යනව... එතකොට දවල්ටයි රෑටයි අනිවාර්යයෙන් එළවළු වර්ග හයක්. ඒ කියන්නෙ එළවළු රාත්තල් තිහක්. එක එලවළු රාත්තලකින් ශත පහක් හම්බුනත්... එතන ම දවසකට රුපියල් පහළවක්.’’
‘‘ඉතිං අංකල් ඇයි මුරුගයිය හොයන සල්ලි ගාණ ගැන ඔහේ ඔච්චරට ම හොයන්නෙ...?’’
ඔන්න එතකොට අංකල්ගෙ කට කොනක හිනාවක් මතුවුණා.
‘‘ඔන්න ඕක තමයි පුතේ මං ඔහේට කියන්නෙ... මුරුග එහෙම හම්බ කරාට අපිට එහෙම හම්බ කරන්න බෑ. අපිට කීයක් හරි හම්බෙන්නෙ ඔය ටිප් එකෙං. ඒක නැති කරගන්නෙපා. එන කස්ටමර්ට හොඳට සලකන්න. අනිවාර්යයෙන් ඔය හැමදාම එන කට්ටියක් ඉන්නව. එයාලට පිඟන් ගෙනියද්දි අනිවාරෙං ම උණු වතුර කෝප්පයක් අරගෙන යන්න. ඒක තමයි එයාල අල්ලගන්න පුළුවං හොඳ ම කරමෙ. ඔහේ දැං කිව්වට සල්ලි ඕනෙ නෑ කියල ටික දවසක් යද්දි තේරෙයි සල්ලි කොච්චර වටිනව ද කියල.’’
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/11/10
අපලෝකන - පසුගිය ලිපි
අපලෝකන 07 : 'ඒක තවත් ඉතිහාස ගතවෙන සිද්ධියක්' - ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන 06 : මං සරං ඇඳල ම නැහැ නෙ... - ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන (05) : මගේ ගම කොහෙද කියල මං දන්නෑ...- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන 04 : මං ඕයි නෙවෙයි ඕයි... මගෙ නම යසසිරි...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව
වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)