‘‘ඔන්න ඕක තමයි පුතේ මං ඔහේට කියන්නෙ... මුරුග එහෙම හම්බ කරාට අපිට එහෙම හම්බ කරන්න බෑ.
අපිට කීයක් හරි හම්බෙන්නෙ ඔය ටිප් එකෙං. ඒක නැති කරගන්නෙපා. එන කස්ටමර්ට හොඳට සලකන්න. අනිවාර්යයෙන් ඔය හැමදාම එන කට්ටියක් ඉන්නව. එයාලට පිඟන් ගෙනියද්දි අනිවාරෙං ම උණු වතුර කෝප්පයක් අරගෙන යන්න. ඒක තමයි එයාල අල්ලගන්න පුළුවං හොඳ ම කරමෙ. ඔහේ දැං කිව්වට සල්ලි ඕනෙ නෑ කියල ටික දවසක් යද්දි තේරෙයි සල්ලි කොච්චර වටිනව ද කියල.’’
* * *
මං උදේ නැගිට්ටෙ ඊයෙ බතික් අංකල් කියපු දේවල් හොඳට මතකයෙ තියාගෙන. අංකල් කිව්ව විදියට තරම් මුදල් හම්බ කරන්න මට වුවමනා නැති වුනත් මං කල්පනා කරේ අතේ තියෙන සල්ලි ඉවර වුණාට පස්සෙ පිචර් එකක් බලන්නෙ කොහොමද කියල; කලිසමක් කමිසයක් ගන්නෙ කොහොමද කියල. මොකද අංකල් කියපු විදියට නම් මට මාසෙ ම පඩිය විදියට රුපියල් සීයකට එකසිය පනහකට වැඩිය ලැබෙන්නෙ නෑ. ඒකෙනුත් කලිසම් දෙකට කැපුණහම අඩුම ගානෙ මාස දෙකක් විතර යන තුරු ම මට පඩියක් ලැබෙන්නෙ නෑ. අනිත එක දිග කලිසම් දෙක මාරුවෙන් මාරුවට අදින්නත් අමාරුයි. එක කලිසමක් එක දවසකට වැඩිය අඳින්න බෑ. අද ඇන්ද කලිසම අද ම හෝදන්න ඕනෙ. ඒ නිසා අඩුම තව දිග කලිසම් තුනක්වත් තියෙන්න ඕනෙ. මට මේ හැම දෙයක් ම මතක් වුණේ නින්දට යන අතරෙ.
* * *
රංජිත් ගමේ ගිහින් දවස් තුනකින් ආපහු එනව; ඒ කියන්නෙ හෙට එනව. ඊට පහුවෙනිද උදේ මට ඒ මේස දෙකේ වැඩ කරන්න විදියක් නෑ. ඒ නිසා කඩේ වහන්න කලින් මැනේජර් මහත්තය මට කිව්වෙ හැම පැය දෙකක් ගානෙ ම එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඕෆ් වෙන නිසා හෙට ඉඳන් ටික දවසක් යනකම් ඒ ඒ අය එන තුරු එයාල වැඩ කරපු මේස බලන්න කියල. ඒක මහ විකාරයක් වගේ නිසා මං පිහිටක් හොයාගෙන ගියේ බතික් අංකල් ළඟට. එතනදිත් එයා කිව්වෙ මෙහෙම දෙයක්.
‘‘යසසිරි... මේකත් ඔහේට යමක් ඉගෙන ගන්න ඇහැකි වෙලාවක්. ඒ කොහොමෙයි කියල මං කියල දෙන්නං. දැන් කඩේ ඔක්කොම මේස දොළහක් තියෙනව නෙ. මේ මේස දොළහ කියන්නෙ එක එක ජාතියෙ මිනිස්සු කන්න බොන්න වාඩි වෙන මේස දොළහක්. දැන් නිකමට හිතන්න... අපිත් කෑම කන්න වාඩිවෙන අර කොනේ ම මේස දෙක තියෙනව නේද... එතන ඇවිත් වාඩිවෙන්නෙ ම පේමන්ට් එකේ බිස්නස් කරන අය, බස් ස්ටැන්ඩ් එකේ බිස්නස් කරන අය, හිඟා කන අය, ගෑනු වාඩිවෙනව නං වැඩි හරියක් ම වාඩිවෙන්නෙ වේස ගෑනු. විශේෂයෙන් ම අර ලොකු මේසෙ. ඒ හැම කෙනෙක් ම පුරුදු වෙලා තියෙන්නෙ ඒ මේස දෙක. දන්නව ද ඒ මොකද කියල...?’'
අංකල් මගෙන් ඇහුවෙ ලොකු පාඩමක් කියල දෙන්න හිතාගෙන කියල මට තේරුණා. ඒ නිසා ම මමත් ‘‘නෑ නෙ අංකල්’’ කියල කිව්ව.
‘‘මෙහෙම නෙ යසසිරි. ඒ මේස දෙක තුනම හරිම නිදහස්. උන් ඇවිල්ල කාල බීල ඔය ඕපදූප මොනව හරිත් කතා කර කර ඉඳලනෙ යන්නෙ. විශේෂයෙන් ම අර ගෑනු. උං මිනිහෙක් එක්ක කොහේට හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගත්තු ගමන් එන්නෙ මෙහාට. ඇවිත් මොනව හරි කාල බීල උන් එක්ක ආපු මිනිස්සු කරපු කියපු දේවල් රස කර කර කතා වෙනව. පේමනට් එකේ බිස්නස් කරන එවුනුත් එහෙමයි. ඇයි තව පික් පොකැට්කාරයො...’’
අංකල් නවත්තන්නෙ නැතුව දිගට ම කතා කරගෙන යද්දි මං අතර මැදට පැන්නා.
‘‘ඒ කියන්නෙ අංකල් ඔය මේස දෙකේ ටිප් එකක් හම්බෙන්නෙ ම නැද්ද...’’
අංකල් නිකං නක්කලේට වගේ හිනා වෙලා මගේ දිහා බැලුව. බලල ‘‘ආ... ඔය තේරෙන්නෙ... දැං අදයි ඊයෙයි ටිප් එක කීයක් විතර හම්බුණා ද...?’’ කියල අංකල් ඒ ගමන් ම ඇහුව.
මට අංකල්ට බොරු කියන්න ඕනෙකමක් තිබුණෙ නෑ. මං එයාට ඇත්ත ම කිව්ව.
‘‘ම්ම්ම්... ඊයෙයි අදයි රුපියල් විස්සක් විතර හම්බෙලා තියෙනව අංකල්...’’
‘‘අන්න... ඒකනෙ කියන්නෙ... මෙහෙමයි... ඔය කෙළවරේ මේසෙට කන්න එන අයගෙන් කියක්කත් හම්බෙන්නෙ නැත්තෙ ඔය හිඟාකන එවුන්ගෙන් විතරයි. පේමන්ට් එකේ බිස්නස් කරන එවුන් කීයක් හරි දෙනව. ඒ වගේ ම තමයි... මං අර කිව්ව ගෑනු... උනුත් කොච්චර කරත් වේටර්ට කීයක් හරි දෙනව. හැබැයි ඉතිං උං එක්ක වැඩි බජනෙට යන්නෙපා. මොකද උන්ට ඕනෙ මොකා එක්ක වුනත් කමක් නෑ නිදාගෙන කීයක් හරි කඩාගන්න. අනික උන්ට වැඩි දුරක් යන්න ඕනෙත් නෑ නෙ... මේකෙම උඩතට්ටුව තියෙනව නෙ. අපේ සමහර එවුන් සමහර දවසට කැමැත්තෙන් ම ඔය මේස දෙක බලනව. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි...’’
මම ආයෙත් අංකල්ට බාධා කරා...
‘‘ඒ මොකටද අංකල් ඒ...?’’
‘‘මොකට ද ඉතිං... එදා ම හරි පහුවදාට හරි ඒ එකියක් එක්ක බුදියන්න යන්න නෙ... ඔහේ එහෙම ඕකට අහුවෙන්නපො හරිය... ආයි ඉතිං අබිං කෑව වගේ තමයි...’’
අබිං කතාව මට තේරුණේ නෑ. හැබැයි ඒ කතාවෙ ලොකු තේරුමක් ඇති කියල නං මට හිතුණ. ඒ එක්කම මට මතක් වුණා ඉස්කෝලෙදි සමාජ රෝග ගැන කියල දීපු පාඩම. වැඩේ කියන්නෙ අපිට සෞඛ්‍ය ඉගැන්නුවෙත් සාහිත්‍ය උගන්නපු මෙල් සර් ම යි. එයා සාහිත්‍ය වගේ ම රසවත් විදියට සෞඛ්‍ය පාඩමත් හරි ලස්සනට ඉගැන්නුවා. හැබැයි සෞඛ්‍ය පාඩම වෙලාවෙදි ගෑනු ළමයින්ට ඉගැන්නුවෙ සර් නෙවෙයි. ඒ පීරියඩ් එකේ දි... ඒ කියන්නෙ ප්‍රජනන සෞඛ්‍ය උගන්නන කාලෙ ගැනු ළමයින්ට ඉගැන්නුවෙ මල්කාන්ති ටීචර්. ඒ පීරියඩ් එකේ දි සමහර දවසට මල්කාන්ති ටීචර් ගැනු ළමයි එක්ක එළියට යනව. අපි පිරිමි ළමයි පංතියෙ ඉන්නව. ගැනු ළමයි පංතියෙ ඉන්න දවසට අපිත් එයාල වගේ ම පුටු ටිකත් අරගෙන එළියට යනව. දෙගොල්ලොම පංතියට ආවට පස්සෙ එකිනෙකාගෙ මූණ බලන්නෙත් හරි ලැජ්ජාවෙන්. ඒත් සර් නං අපි හැමෝට ම කිව්වෙ ‘‘මුංගෙ විකාර නෙ බං... ඇත්තට ම මේ පාඩම් උගන්නන් ඕනෙ ගෑනු ළයිනුයි පිරිමි ළමයිනුයි එකට තියල. කොහෙද... අපේ ප්‍රින්සිපලයටත් කොන්ද පණ නෑනෙ... දැං ඉතිං අපි දෙන්න උගන්නපුව උඹල උඹල බෙදාගනිල්ල බං’’ කියල. සර් අපිට ‘‘උඹල’’ කියල කතා කරන්නෙ තරහට නෙවෙයි. ඇත්තට ම ආදරේට.
‘‘මක්කයි යසසිරි ඒ පාර කල්පනා කරන්නෙ...?’’
මං හිතෙං ඉස්කෝලෙට ගිය විත්තිය අංකල්ට දැනිල ද කොහෙද එයා එකපාරට ම එහෙම ඇහුව.
‘‘ආ... න්... න්... නෑ අංකල්... මං නං කවදාවත් එහෙම ගැනු එක්ක යන්නෑ. මොකද අපිට ඉස්කෝලෙදි ඒ ගැන කියල දීල තියෙනව... මං එදා පාලිතගෙ ඇට දෙක මිරිකුවෙත් ඒකනෙ... මං මේ ඒ ගැන තමයි කල්පනා කරේ...’’
අංකල් ආයෙත් නක්කලේට වගේ හිනා වෙලා කතාව පටන් ගත්ත.
‘‘ඔවු... ඒක හොඳයි. ඒ උනාට එදා ඔහේ පාලිතට එහෙම නොකර ඉන්න තිබුණ කියලයි මං නං හිතන්නෙ... එහෙම නොවුණ නං ඔහේ තවමත් ගිෆ්ට් අයිටම් කෑල්ලෙ නෙ... හරි... අපි ඒ කතාව පැත්තකට දාමුකො. මං මේ කිව්වෙ සමාජෙ ගැවසෙද්දි හැම කෙනෙක් ම වගේ ආස්සරේ කරන්න ඕනෙ. හැබැයි ඒකටත් කරමයක් තියෙනෝ. ඒ කියන්නෙ තමන් ආස්සරය කරන කෙනා කවුද... එයත් එක්ක ආස්සරේ කරන්න ඕනෙ කොහොමද කියල තමන් දැනගන්නෝන. මං කියන්නෙ හිඟන්නොත් ආස්සරේ කරන්නෝන... පේමන්ට් එකේ බිස්නස් කරන, බස් ස්ටැන්ඩ් එකේ බිස්නස් කරන අය වගේ ම අර ගෑනුත් ආස්සරේ කරන්න ඕනෙ. හැබැයි තමුං එයාලගෙ තත්තෙට වැටෙන් නැතුව. ඔහේට තෙරෙනවනෙ මං කියන දේ...? මොකද අපිට කොයි වෙලාවක හරි ඔය කට්ටියගෙන් එක්කෙනක් හරි කීප දෙනෙක් හරි ඕන වෙන්නත් පුළුවං.’’
මං හිතුවෙ බතික් අංකලුත් අනිත් එවුං වගේ කිසි කමකට නැති කෙනෙක් කියල. හැබැයි මනුස්සය වයසක නිසා ද මංද රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන හොඳ අවෙබෝධයක් තිබුණ. මං මිනිහගෙ වැරැද්දක් විදියට දැක්කෙ රේස් දාන එක විතරයි. ටිප් එක හම්බ වෙන සල්ලි වුනත් මිනිහ වැඩියෙන් ම වියදං කරේ රේස් දාන්න. ඒ ඇරුනහම මිනිහ කොල්ලන්ටත් කැමතියි කියල එක එකා කියනව. ඒකනෙ පෙරෙයිද කොල්ලො නක්කලෙත් දැම්මෙ. ඒ වුනාට මට නං මේ දවස් දෙක තුනට එහෙම දැනුණෙ නෑ.
‘‘ආයිත් කල්පනාවට වැටුණ නේද... හරි... මෙහෙමයි. අපි මෙහෙම කරමු... මැනේජර් මහත්තය කියපු විදියට ඕෆ් වෙන කෙනා ආයිත් එනකන් ඔහේ ඒ මේස දෙක බලන්න. හැබැයි අර කෑම පැන්ට්‍රිය පැත්තෙ දිග මේසෙ දෙක තියෙනව නේද... ඒ දෙකක නං බලන්න ටිකක් අමාරු වේවි. එහෙම උනොත් මට කියන්නකො. මං සපෝට් එකක් දෙන්නං. නැත්තං අනික් මේස දෙක බලන කෙනාට මං කියන්නං. මොකද ඒ මේසෙ දිග පැති දෙකේ ම හය දෙනෙකුට වාඩි වෙන්න පුළුවන් අනිත් පැති දෙකත් එක්ක ම අට දෙනෙක් නෙ. අට දෙනෙක් කියන්නෙ අනිත් මේස දෙකක තරම නෙ...’’
ඇත්තට ම මටත් ඒක මතක් වුණේ අංකල් කිව්වට පස්සෙ. එහෙම බැලුවම එතන මේස දෙක නෙවෙයි තුනක් තියෙනව. මං මේ වෙද්දි දෙකක් බලන්නෙත් මාර අමාරුවෙං. එහෙව් එකේ තුනක් කියන්නෙ...
* * *
අංකල් කිව්ව වගේ ම මට අද හම්බ වුනේ කෙළවරේ මේස දෙක. ඒ එක මේසයක් ටිකක් වෙනස්. ඒ කියන්නෙ ඒ මේස දෙපැත්තක එක්කෙනා එක්කෙනා දෙන්නෙකුට වාඩි වෙන්න පුළුවන්. අනිත් දෙපැත්තෙ එක පැත්තක තුන්දෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. එතකොට හතර පැත්ත ම ගත්තොත් එක සැරේට අට දෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. අර කලින් කිව්ව දිග මේසෙටත් වැඩිය පිරිසකට වාඩි වෙන්න පුළුවන්.
උදේ දහයට විතර: මූණ පුරාම පවුඩර් උලාගෙන, තොල් රතු කරගෙන එහෙම ආපු අමුතුම විදියෙ ගෑනු හතරදෙනෙක් ම ඒ මේසෙං වාඩි වුණා. තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඇඳල හිටියෙ සාරිය. අනිත් දෙන්න නම් සායයි හැට්ටෙයි.
‘‘ආ මල්ලී... ඔයා මෙහෙට බැහැල තියෙන්නෙ අලුත වගේ නේද...?’’ කියල එක ගැනියෙක් ඇහුවෙ ටිකක් ඇඹරෙන ගමන් පොඩි හිනාවකුත් දාගෙන. එතකොට ම තව ගෑනියෙක් ‘‘නෑ බං... මං දැක්ක ඊයෙ පෙරෙයිදත් මෙයා අන්න අර ඉස්සරහ මේසෙ ගාව ඉන්නව.’’ කියල කිව්වෙ හරියට සෑහෙන කාලෙක ඉඳං මාව අඳුරනව වගේ මගේ පිටටත් තට්ටුවක් දාල හිනා වෙන ගමන්.
බතික් අංකල් කියපු විදියට නම් මේ ඒ කියපු ගෑනු ම තමයි. මං ඒ ගැන එච්චර හිතන්නෙ නැතුව එයාලට ඕනෙ මොනවද කියල ඇහුව.
‘‘මල්ලි... අපි හතර දනදොට ම පාං ගේන්න... හැබැයි කරි ගේන්න ඕනෙ සිංගල් හරි ද... ම්ම්ම්... පරිප්පු සිංගල්, අල සිගල්, හාල්මැස්සො සිංගල්... තේරුණා ද...?’’ එහෙම නියම කරේ සාරිය ඇඳපු ගෑනු කෙනා.
එයාල ඒ විදියට සිංගල් ඉල්ලුවෙ ඒක එයාලට වාසි නිසා. එතකොට ඒ හැම කරිය ම එයාලට බෙදාගෙන කන්න පුළුවන්. ඒ වගේ ම ඒ හැම කරියකට ම දෙවෙනි වතාවටත් හොදි දෙනව නෙ. ඒකට කියන්නෙ ‘‘අඩු දෙනව’’ කියල. ඉතිං එහෙම දුන්නම හතර දෙනාට ම පාං කන්න කරි වර්ග හතරක් හරි එක වර්ගයකින් හතරක් හරි ගන්න ඕනෙ නෑ. මේ කරි තුනට ලාබෙන අඩුත් ගත්තම පාන් රාත්තල් දෙක කන්න හොඳට ම ඇති. හුඟක් අය එහෙම කරනව. එතකොට එයාලට ලාබයි. සමහර වෙලාවට බස් ස්ටැන්ඩ් එකේ ටොපි බුලත් විට විකුණන අය තුන් දෙනෙක් එකට ඇවිත්, බත් ෆුල් එකක් අරගෙන, පාන් බාගෙකුත් අරගෙන තුන් දෙනත් එක්ක බෙදාගෙන කනව. එහෙම කරන්නෙ ඇත්තට ම නැතිකමට.
මං පානුයි කරි තුනයි ඕඩර් කරල පිඟනුයි, වතුරයි ගේන්න පිටිපස්සට ගියා. මං ආපහු එද්දි මෙන්න එතන බතික් අංකල්...
‘‘මේ අලුත් කොල්ලෙක්... ඒ වගේ ම හොඳ පොඩි එකෙක්; යමක් කමක් තේරෙන පොඩි එකෙක්. ඒ හිංද මූට කොචොක් කරන්නෙපා හරිද... මොකක් හරි අඩු පාඩුවක් වුනොත් ගනන් ගන්නත් එපා හරිද... ආ තව එකක්... මෙතන ඉන්න අනිත් එවුං ගානට මූව දාන්නත් එපා... මූ ටිකක් වෙනස් කොල්ලෙක්. මං පස්සෙ විස්තර කියන්නංකො...’’
අංකල් එහෙම කියන අතරෙ මං පිඟන් හතරයි, වතුර වීදුරු හතරයි, අත හෝදන කෝප්පෙයි මේස උඩින් තිබ්බෙ අංකල් කියපු දේවල් ඇහුණෙ නෑ වගේ.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/11/17
අපලෝකන - පසුගිය කොටස්...
අපලෝකන 08 : ඔහේට සල්ලිවල අගේ තේරෙන්න ටිකක් කල් යයි - ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන 07 : 'ඒක තවත් ඉතිහාස ගතවෙන සිද්ධියක්' - ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන 06 : මං සරං ඇඳල ම නැහැ නෙ... - ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන (05) : මගේ ගම කොහෙද කියල මං දන්නෑ...- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන 04 : මං ඕයි නෙවෙයි ඕයි... මගෙ නම යසසිරි...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව
වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)