‘‘මේකෙ තමයි අපි නිදාගන්නෙ. රොහාන් කැමතිනං මේ දවස් ටිකේ මේ කාමරේ නිදාගන්න. අර පැත්තෙ නිදාගන්නවනං රැ වෙනවනෙ.’’
ඉස්සරහට යන ගමන් ම කාමරය පෙන්නල බාස්උන්නැහේ එහෙම කිව්වට මම උත්තරයක් දුන්නෙ නෑ. ඊළගට ගියේ කෙළින්ම පේන්න තිබුණ කොටසට. එතනට ගියපු හැටියෙ මම පුදුම වුණා.
කාමරේ එක මුල්ලක මගේ පපුව ගාවට තරම් උසට රතු ලූනු ගොඩ ගහල තිබුණ. එතන ම, ඒ තරමට ම බොම්බයි ලූනුත් ගොඩගහල තිබුණ. ඒ විතරක් නම් බැරිය... තව: බෝංචි, බීට්රූට්, ලීක්ස්, ගෝව, අර්තාපල් අල, වම්බටු, බතල, මෑකරල්, ඉන්නල එහෙම කාමරය පුරාම තැන් තැන්වල තුනී කරල දාල තිබුණ. ඇත්තට ම පොළේදි ඇරුනහම එක තැනක එච්චර එළවළු ගොඩක් එහෙම තියෙනව දැක්ක ම යි.
‘‘අර තියෙන්නෙ තරාදිය.’’
බාස්උන්නැහේ එක පාරට ම එහෙම කියද්දි මං ගැස්සිලා ගියා. එයාටත් ඒක හොඳට ම දැනුණ. හැබැයි එයා ඒ බවක් අඟවන්නෙ නැතුව බිත්තිය මුල්ලකට වෙන්න තිබුණ බිම් තරාදියක් පෙන්නුවා. ඇත්තට ම ඒකට කියන හරි නම මොකක්ද කියල මම දන්නෙ නැහැ. ඒ වුනාට ගමේදි අහල තිබුණ නම තමයි ‘බිං තරාදිය’ කියල.
තරාදිය මට පෙන්නපු බාස්උන්නැහේ කාමරේ පැත්තක ගොඩගහල තිබුණ ඇලුමිනියම් තැටි... තැටි කියන්නෙ... ඒ තැටිය අඟල් දෙකක් විතර ගැඹුරුයි. දිග පළල අඩි එකහමාරයි එකයි විතර ඇති. මං ගමේදි ඒ තැටි දැකල තියෙන්නෙ රබර් රොටි දාන තැන්වල. මට මතකයි සීය රබර් හේනට ගිහින් රබර් කිරි ගෙනල්ල, ඒවට ඇසිඩ් ද මොනව ද කළවම් කරල මේ දැන් මගේ ඉස්සරහ තියෙන ප්‍රමාණයේ තැටිවලට තමයි රබර් කිරි වක්කරේ. ඊට පස්සෙ තමයි වෙන තැනකට ගිහින් මොකක්ද මැෂින් එකකට දාල ඒ රබර් කුට්ටිය තුනි වෙන්න ඇඹරුවෙ.
‘‘මෙන්න මෙහෙම තැටිය පුරවලා අරගෙන,’’ කියල කියන ගමන් බාස්අන්නැහේ අර තැටිය ලූනු ගොඩ අස්සට ගහල, තැටිය පුරවල ලූනු අරගෙන තරාදියෙ තියල කිරුව. ඒ තරාදියෙ බඩු කිරන විදිය මම ඊට කලින් දැකල තිබුණ.
‘‘සාමාන්‍යයෙන් මේ විදියට පුරවල ගත්තම රාත්තල් තුනක් විතර තමයි අහුවෙන්නෙ,’’ කියල කියපු බාස්උන්නැහේ ‘‘රාත්තල් දහයක් විතර ගන්න.’’ කියන ගමන් කිරපු ලූනු ටික ගෝණියකට දාල කලින් වගේ ම තව ටිකක් අරගෙන කිරුව. ඒ ටිකෙත් රාත්තල් තුනක් තිබුණ. තුන්වෙනි පාරටත් අර වගේම තැටිය ලූනු ගොඩ අස්සට ගහල අරගත්තු ලූනු ටික කිරුව. ඒ ටිකත් ගෝණියට දාල ඊට පස්සෙ පොඩ්ඩක් අරගෙන කිරුව. එතනින් ගත්තෙ රාත්තලයි. දැන් ඔක්කොම රාත්තල් දහයයි.
‘‘ආ... හරි... මේක අතනට අරගෙන යමුකො,’’ කියල එයා ඉස්සර වුණා. මම අමාරුවෙන් ගෝණියෙ දෙපැත්තෙන් අල්ලගෙන, අස්සගෙන අපි උඩට ගොඩ වෙද්දි ම පිහි එහෙම තියල තිබුණ තැනට ගියා.
‘‘මේක ටිකක් අමාරු වැඩක්. හැබැයි පුරුදු වුනාට පස්සෙ ගාණක් නෑ. දැන් ඉස්සෙල්ලම මේ ලූනු ටික සුද්ද කරන්නකො හරිය... හැබැයි පුතෝ ඇස් දන්න අල්ලයි. එහෙම වුණා කියල ඇස් පොඩි කරන්න යන්නෙපා. අමාරුවෙන් ඉවසගෙන ඉන්න හරිය... කඳුළුත් එයි. එහෙම ටිකක් ඉවසගෙන හිටියොත් වැඩේ හුරු වුනාම ඇස් දන එකයි කඳුළු එන එකයි නවතීවි හරිය. හරි... මං පල්ලෙහට්ට යනව. ඔහේ එහෙනං මේ වැඩේ කරන්නකො. සුද්ද කරල ඉවර වෙලා මේ ටික කපන්නත් ඕනෙ. ඒක ඔහේට දැම්මම කරන්න බෑ. ඒක ගුණසේකර කරයි. ඔහේ ඉස්සෙල්ල මේ ටික සුද්ද කරල ඉන්නකො.’’
බාස් උන්නැහේ කිව්ව වගේ ම රතු ලූනු ගෙඩි විස්සක් විසිපහක් විතර සුද්ද කරද්දි ම ඇස් දැවිල්ල ඇල්ලුවා. ඉවසගෙන හිටියා. තව ගෙඩි දහයක් විතර සුද්ද කරද්දි මෙන්න යකෝ ඇස් දනවයි... කදුළු එනවයි ඉවරයක් නෑ. ඇස් පොඩි කරන්නමයි හිත. ඒත් බාස්උන්නැහේ කිව්ව නෙ ඉවසන්න කියල. ඒ නිසා කොච්චර ඇස් දෑවත්, කොච්චර කඳුළු බේරුණත් ඇස් පොඩි නොකර ම ඉන්න උත්සාහ කරා. ටිකක් වෙලා යද්දි කඳුළු විතරක් නෙවෙයි හොටුත් බේරෙන්න ගත්ත. කරන්න දෙයක් ඇත්තෙ ම නෑ. බේරෙන හොටු කලිසමේ පිහිදාගත්ත. ඒ වෙද්දි නම් මට මැනේජර් මහත්තය එක්ක පුදුම කේන්තියක් ආවා. ඒත් ආයෙ ඒක නැතුව ගියා.
- * *
බාස්උන්නැහේ ආයෙ උඩට ආවෙ කොච්චර වෙලාවකින් ද කියල මට හරියට ම නිනව් නෑ. හැබැයි එයා එද්දි මං රාත්තල් තුනක් හතරක් සුද්ද කරල තිබුණ. දැන් කඳුළු එන්නෙත් නෑ. හොටු එන්නෙත් නෑ. හරියට ම කියනව නම් මම දැන් ඒ වැඩේට පත්තියම් වෙලා.
බාස්උන්නැහේ පඩිපෙළ නගින ගමන් ම ‘‘කොහොමෙයි රොහාන්... වැඩේ අමාරුද...?’’ කියල අහගෙන ම යි උඩට ආවෙ.
දැන් වෙද්දි කඳුළුයි හොටුයි ආවෙ නැතිවුනාට නහයෙ ‘සුරුස් සුරුස්’ ගතිය ඒ වෙද්දිත් තිබුණ.
‘‘ඔහෙප්පලයං... ඔය තියෙන්නෙ ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ...’’
බාස්උන්නැහේ එහෙම කියද්දි තමයි මට තේරුණේ මගේ ඇස් හොඳට ම රතු වෙලා ඇති කියල. ඒත් මූණ බලන්න කණ්ණාඩියක් නැති නිසා මගේ ඇස් කොහොමද කියල මට හිතාගන්න බැරි වුණා.
‘‘රොහාන්... දැං වෙලාව දෙකටත් කිට්ටුයි. ඔහේ ගිහිං කාල එන්න. මේ... දැං ගුණසේකරත් එයි. එයා ඉස්සෙල්ල ඔහේ සුද්ද කරපු ටික කපයි. ඊට පස්සෙ එයත් ඔහේට උදවු කරයි.’’
ඇත්තට ම මං හිටියෙ මේ කරුමෙන් ගැලවෙන්නෙ කොයි වෙලාවෙද කියල. ඩිංග වෙලාවකට හරි මෙතනින් එහෙට්ට මෙහෙට්ට වෙනව කියන්නෙ ලොකු දෙයක්. ඒත් බාස්උන්නැහේ කියපු ගමන් ම යන්නත් බැහැ නෙ.
‘‘කමන්නෑ බාස්උන්නැහෙ... මං පහුවෙලා කන්නං,’’ කියල කිව්වෙ බඩගිනි නැතුවට ම නෙවෙයි. ඒත් අපි ඔය ගමේදි කුරුඳු තළද්දි, කුඹුරු වැඩ කරද්දි, හේන් උදලුගාද්දි වුනත් අයිතිකාරයො ඇවිත් කන්න කියපු ගමන් ම කන්න යන්නෙ නැහැ නෙ. කුරුදු තළද්දි නං ඉතිං ලොකු බාස් කිව්වම කෑම බෙදනව. අනික් තැන්වලදි දෙපාරක් විතර කිව්වම තමයි කන්න යන්නෙ. කෑමට ගියාට පස්සෙ ටිකක් නිදහසේ ඉන්න එක වෙනම දෙයක්. හැබැයි කියපු හැටියෙ ම යන්නෙ නෑ. ඒ ඇයි කියල නම් මම දන්නෙ නෑ.
‘‘පහු වෙලා කන්න... ආයෙ පහු වෙලා කන්න නං ඉතිං රෑට තමයි. යනව යනව... ගිහිං කාල එනව.’’
බාස් උන්නැහේ එහෙම කිව්වට පස්සෙ නං ඉතිං ආයෙ මක්කට බල බල ඉන්නවද.
‘‘හරි බාස්උන්නැහේ... එහෙනං මං කාල එන්නං,’’ කියල යන්න හැරෙද්දි ම ‘‘වෙනද වගේ ඉස්සරහ මේසෙ තියාගෙන කන්න ඕනෙ නෑ. පැන්ට්‍රියෙං කෑම බෙදාගෙන කුස්සියට ගෙනහල්ල කන්න. ආ... අර ලිප ගාව වම් පැත්තෙ රාක්කෙ... කිරිගොට්ටක දාල බැදපු මාළු වගයක් ඇති. ඒකෙන් කෑලි දෙක තුනක් අරගන්න.’’
බාස්උන්නැහේ එහෙම කිව්වම මට මාර සතුටක් ආව. කඩේ වැඩට ඇවිත් මෙච්චර කාලෙකට මම බැදපු මාළු කාල තිබුණෙ ම නෑ. ආසාව තිබුණට ඒව කන්න අපිට තහනම්. ඒව විතරක් නෙවෙයි... තව කැම වර්ග හුඟක් කන්න තහනම්. හදිසියෙවත් කාල අහු වුනොත් පඩියෙන් කපනවා; කපනවා කියන්නෙ පඩි සල්ලිවලින් අඩු කරනවා. ඒ නිසා වේටර් වැඩ කරන අයට විතරක් නෙවෙයි මම හිතන්නෙ අනිත් හුඟ දෙනෙකුටත් බැදපු මාළු කනව කියන්නෙ ඉතිං හීනයක් තමයි. දැං මගේ ඒ හීනෙ හැබෑ වෙන්නයි යන්නෙ. ඒ නිසා එච්චර වෙලා මැනේජර් මහත්තෙය එක්ක තරහින් හිටපු මං ඒ වෙලාවෙ මැනේජර් මහත්තයට හිතින් පිං දුන්නා.
මම කාල ආපහු උඩට එද්දි ගුණසේකරත් හිටියා. මම මෙච්චර වෙලා සුද්ද කරපු ලූනු ප්‍රමායණට වඩා හුඟක් සුද්ද කරල තිබුණ. හැබැයි ඒ දෙන්නෙක් එක්ක සුද්ද කරපු නිසා ම නෙවෙයි කියල මට තේරුණේ ඒ දෙන්නගෙන අත්වල පුංචි ම පුංචි පිහියක් තියෙනව දැක්කට පස්සෙ. මට බාස්උන්නැහේ එක්ක තරහකුත් ආවා. මොකද මම මෙච්චර වෙලා ලූනු සුද්ද කරේ අතින්. ඒ වෙද්දි මගේ දකුණ අතේ මහපටැඟිල්ල සෑහෙන්න කකියන්න අරගෙන තිබුණෙ. මම ඒ වගක් අඟවන්නෙ නැතුව ‘‘බාස්උන්නැහේ... ඇත්තට ම ඇයි මේ මෙච්චර රතු ලූණු සුද්ද කරන්නෙ...?’’ කියල ඇහුවෙ ඒ ගැන අවබෝධයක් නොතිබුණ නිසා.
‘‘මෝඩයො... මේ රතු ලූනු සුද්ද කරන්නෙ සීනි සම්බෝල හදන්න.’’
බාස් උන්නැහේ වෙනුවට උත්තර දුන්නෙ ගුණසේකර.
‘‘සීනි සම්බෝල හදන්න...! මෙච්චර ලූනු ගොඩක්...!! අනිත් එක රතු ලූනු...?’’
මම එහෙම හිතල ඇහුවෙ නැති වුනාට මමවත් දන්නෙ නැතුව මට එහෙම ඇහිල. මොකද ‘සීනි සම්බෝල’ කියන්නෙත් අපිට තහනම් කෑමක්. හැබැයි කොල්ලො ඒව නම් ඔය හොරෙන් හොරෙන් කනව. ඒක වෙන්නෙ මෙහෙමයි.
සමහර අය සිනි සම්බෝල පීරිසියක් ගත්තට සමහර වෙලාවට ටිකක් ඉතුරු වෙනව. අපිට කියල තියෙන්නෙ නම් එහෙම ඉතුරු වුනොත් විසි කරන්න එපා ය, ආයෙත් කැම පැන්ට්‍රියට ම දෙන්නෙ ය කියල. ඒ වුනාට හුඟක් වේටර්ල කරන්නෙ ඒ ඉතුරු ටික දෙවෙනි කැම පැන්ට්‍රියට ගෙනිහින් දෙන එක. ඒ කියන්නෙ බත් තියෙන කෑම පැන්ට්‍රියට. ඒ කැම පැන්ට්‍රියෙ ඉන්නෙ ඉතිං වඳුරඹ අයිය නෙ. එයා ඒ සීනි සම්බෝල ටික අරන් තියනව. ඔය විදියට බැලුවම සමහර දවසට සිනි සම්බෝල පිරිසියකටත් වැඩිය එතන එකතු වෙනව. පස්සෙ ඉතිං කොල්ලො බත් කද්දි ඒව බත් එකේ හංගගෙන කනව.
මං ප්‍රශ්නෙ ඇහුවෙ ගුණසේකරගෙන් වුනාට උත්තර දුන්නෙ නම් බාස්උන්නැහේ.
‘‘ඔවු... ඇයි පුදුමෙයි... පුදුම වෙන්න දෙයක් නෑ. සීනි සම්බෝල කියන්නෙ දවස් තුන හතරක් උනත් නරක් නොවී තියාගන්න ඇහැක් කෑමක්. අනිත් එක තමයි රොහාන් බොම්බයි ලූනුවලින් හදන සීනි සම්බෝලෙට වඩා රතු ලූනුවලින් හදන සම්බෝලෙ දවස් කීපයක් තියාගන්න පුළුවං. ඒ වගේ ම රසයි, ගුණයි. හැබැයි ඉතිං ලූනු සුද්ද කරන්න ගියාම එපා වෙනව තමයි. ඒකට කරන්න දෙයන් නෑ. ඔහේ දන්නව ද රොහාන්... මේ කඩ පේළියට ම රතු ලූනුවලින් සීනි සම්බෝලෙ හදන්නෙ මෙහේ විතරයි. ඔය අනික් හැම කඩේක ම හදන්නෙ බොම්බයි ලූනුවලින්. ඒ හිංද තමයි සීනි සම්බල් කන්න මෙහෙට්ට හුඟ දෙනෙක් එන්නෙ.’’
බාස්උන්නැහේ ඒ ටික කිව්වෙ හරිම ආඩම්බරෙන්. හැබැයි ඒක බොරු වෙන්න බෑ. මොකද හවසට සීනි සම්බෝල එක්ක රෝස්පාන් කන්නයි ආප්ප කන්නයි යහමින් පිරිසක් පුරුදු වෙලා ඉන්නව. මට ඒක දැනුණෙ දැන් බාස් උන්නැහේ මේ කතාව කිව්වට පස්සෙ.
* * *
කුස්සියෙ වැඩේ වේටර් වැඩේ වගේ නෙවෙයි. එක දිගට ම මහන්සි වෙලා වැඩ කරත් සාමාන්‍ය යෙන් හවස දෙක තුන වෙද්දි වැඩ ඔක්කොම ඉවරයි. හැබැයි ඉතිං සමහර දවස්වලට මට ඒ වෙලාවට වැඩ ඉවර කරන්න බැරි වෙනවා. ඒ, මට වෙන වැඩ කීපයකුත් පැවරෙන නිසා. ඒව ඉතිං ගනේෂ් කරපු වැඩ. ඒ වැඩ අතරෙන් ප්‍රධාන ම වැඩේ තමයි: මිරිස්, ගම්මිරිස් වගේ ම වේළපු කහ කොටන එක. තුන පහ වර්ග නම් ඇඹරුවෙ ගුණසේකර.
* * *
මේ හෝටලේ අයිති මහත්තයගෙ ම තව හෝටලයක් සහ බේකරියක් මේ පාරෙ ම තියෙනව. ඒ හොටලේ නම 'Bonn cafe'. ඒ බේකරියෙන් තමයි මිරිස් වේළගෙන එන්නෙ. අද මම කුස්සියෙ වැඩට ඇවිත් තුන්වෙනි දවස. වෙලාව දවල් දොළහමාරට විතර ඇති.
‘‘රොහාන්... උඩට ගිහිල්ල මිරිස් ගෝණියෙං මිරිස් රාත්තල් තුනක් විතර කිරාගෙන අර පොඩි පෝර උර වගේ තියෙන්නෙ... ඒ එහෙකට දාගෙන එන්න.’’
එහෙම කිව්වෙ විජේසිංහ අයිය. ඇත්තට ම පෝර උර කිව්වට ඒව පෝර උර නෙවෙයි. ඒවයෙ තමයි: කඩල, මුං ඇට, පරිප්පු ගේන්නෙ.
‘‘ඒ මක්කටෙයි අයියෙ...’’
කියපු වැඩේ කරන්නෙ නැතුව මමත් පංඩිතය වගේ විජේසිංහ අයියගෙන් එහෙම ඇහුවා. ඇත්තට ම නම් ඇහුවා නෙවෙයි. ඇහුණා.
‘‘ඔහේට ඒ පංඩිතකංවලින් වැඩක් නැහැ නෙ. ගිහිං මිරිස් රාත්තල් තුනක් කිරාගෙන එනවකො.’’
විජේසිංහ අයිය කිව්වෙ ටිකක් අමනාපෙන් වගේ. මම ඒ අමනාපය මායිම් නොකර ගිහින් මිරිස් රාත්තල් තුනක් කිරාගෙන ආවා.
‘‘අයියෙ... මිරිස් ගෙනාවා.’’
ටිකකට කලින් මගේ අතින් වැරැද්දක් වුණ නිසා තරමක් බයාදු විදියට මං විජ්සිංහ අයියට කතා කළා.
‘‘ආ... ඔහේ මේ ටිකත් අරගෙන බොන් එකට යනව හරිය.’’
විජේසිංහ අයිය කිසිම අමනාපයක් පෙන්වන්නෙ නැතුව මාත් එක්ක කතා කළා.
‘‘ගිහිං...?’’
මං ඒහෙම ඇහුවෙ නම් පණ්ඩිතකමට නෙවෙයි. වැඩේ මොකක්ද කියල හරියට ම දැනගන්න. විජේසිංහ අයියත් ඒක තේරුම් ගත්තා.
‘‘ගිහිං ද...? ඔහේ කෙළිං ම කඩේ පිටිපස්සට ම යන්න; කුස්සියත් පහු කරගෙන ම යන්න හරිය. ගිහිං බේකරියෙ බාස්උන්නැහේ මිල්ටන් අයිය කවුද කියල අහන්න. එයත් ඔහේ තරම්ම කළු, මටත් වැඩිය උස මහත, කම්මුල් දෙපැත්තෙ සපත්තු කට් එකයි මහත උඩුරැවුලකුයි තියෙන, දැක්කහම ටිකක් බය හිතෙන එක්කෙනක්. එයැයිට කියන්න මං මේ මිරිස් ටික දෙන්න කිව්ව කියල හරිය.’’
විජේසිංහ අයිය එහෙම කියද්දි මම එයාගෙ මූණ දිහා ම බලාගෙන හිටිය. මොකද... මෙහෙම මිරිස් රාත්තල් තුනක් බේකරියෙ බාස්ට දෙන්නෙ මොකට ද කියන ප්‍රශ්නය මට වද දෙන නිසා.
‘‘ඔය ඉතිං... මගේ මූණ දිහා බලාන ඉන්නැතුව ඕක මිල්ටන් අයියට දීල එනව... ආ මේහ්... ඔහොම යන්නෙපා හරිය... ෂර්ට් එකක් දාගෙන යනව හරිය’’
මම තවමත් විජේසිංහ අයියගෙ මූණ දිහා බලාගත්තු ගමන් ම යි.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/01/05