ගනේෂ් එහෙම කියද්දි මට දැනුණෙ තරගයකට දුවද්දි පිට්ටනියෙ වටේ බලාගෙන ඉන්න අය හුරේ තියනව වගේ හැඟීමක්.
කොහොම හරි ඒක එහෙම ම තමයි. පස්සෙ ඉතිරි වෙලා තිබුණ ගම්මිරිස් ඇට ටික මම කෙටුවෙ තනියෙන්. තවත් සරලව ම කියනවා නම් ගම්මිරිස් කෙටීමේ පාඩමත් එක දවසෙන් ම ඉගෙන ගත්තා. හැබැයි ඉතිං ගනේෂ් නොහිටින්න එහෙම නොවෙන්නත් තිබුණා. මොකද ගුණසේකර නම් මේ වගේ හොඳින් සැහැල්ලුවෙන් කියල දෙන්නෙ නැහැ නෙ...
* * *
ඊයෙ ගම්මිරිස් කෙටීම ඉගෙන ගත්ත වගේ ම අද හවසත් කුස්සියෙ වැඩ ඉවර වෙලා කහ කෙටීමේ පාඩම ඉගෙන ගත්තා. ගම්මිරිස් කොටන එකෙයි කහ කොටන එකෙයි ඒ තරමට ම වෙනසක් නැහැ. වෙනසකට තිබුණ නම් ඉතිං ඇස් දෙකයි මූණයි දන එක අඩුකම තමයි.
* * *
තවත් දවසක් ගෙවිලා ගියා. ඉතිං අද දවල්... දවල් කියන්නෙ දහයට දහයහමාරට විතර... ඒ හැම දේකට ම වඩා වෙනස් දෙයක් සිද්ධ වුණා.
දැනට සතියකට විතර කලින් පිඟන් හෝදන්න අලුත් කොල්ලෙක් ආවා. කොල්ලගෙ නම සුසන්ත. මම හිතන්නෙ මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල්. හොඳ හැඩි දැඩි කොල්ලා. මම තරමට ම කළු නැතත් සුදුත් නෑ. කොණ්ඩෙ කපල තිබුණෙ ‘‘බෲස් ලී කට්’’ එක. ඇඟපත මහත වගේ ම එක්සසයිස් කරන ගතියකුත් තිබුණ. මේ දවස්වල හුඟ දෙනෙක් සෝබනේට ‘‘බෲස් ලී කට්’’ එක කපල තිබුණට මේ කොල්ල ටිකක් හරි කරාටේ වගේ දෙයක් දන්නවා කියලත් මට හිතුණා. නමුත් ඇවිත් දවස් දෙක තුනක් වගේ වෙන නිසා මමත් ඒ තරමට ඇසුරට ගියේ නෑ. මොකද මැනේජර් මහත්මයා වගේ ම විජේසිංහ අයියත් කියල තිබුණෙ කඩේ වැඩට එන හැමෝ ම එක විදියට ආස්සරේ කරන්න එපා; පරිස්සමින් වැඩ කරන්න කියල.
පිඟන් හෝදන ටැංකි දෙක තිබුණෙ කුස්සිය ඉස්සරහ ම යි. මම ඒ වෙලාවෙ හිටියෙ පොල් ගගා. මට ඇහුණ කවුරු හරි ගෑනු කිප දෙනෙක් සුසන්තගෙන් මොන මොනවාද අහනවා. මං හිතුවෙ ටොයිලට් එකට යන්න අහනව ඇති කියල. එතකොට ම සුසන්ත ‘‘ආ... ඔය කියන්නෙ රොහාන් වෙන්නැති... ඔවු... එයා දැන් කුස්සියෙ තමයි වැඩ... ඉන්න මං බලන්න...’’ කියනව මට ඇහුණා.
තත්ත්පර දහයක් පහළොවක් යන්නත් කලින් සුසන්ත කුස්සියට දුවගෙන ආවා.
‘‘රොහාන්... රොහාන්... අන්න ඔහේව හොයාගෙන කවුදෝ ගෑනු කට්ටියක් ඇවිල්ල. අර එළියෙ ඉන්නෝ.’’
‘ගැනු කට්ටියක්...! ඒ කවුද ඒ...?’
මාව හම්බ වෙන්න ඇවිත් ඉන්න ගැනු කට්ටිය කවුද කියල මට හිතාගන්න බැරි වුණා. ගමෙන් කවුරුවත් නම් එන්න විදියක් ම නෑ. කෝකටත් කියල මං එළියට ආවා; ඇවිත් හිටිය අය දැක්කම මට අදහා ගන්න බැරි වුණා.
‘‘අම්මට සිරි... මේ ඉන්නෙ කොල්ල...’’
‘‘යකෝ...! මේකා තව ආරල නෙ...’’
හිතුවෙ නෑ නේද අපි මෙහෙම එයි කියල...’’
‘‘යකෝ... අපි දවස් කියක් නං උඹ හෙව්ව ද... අන්තිමේදි කමල තමයි කිව්වෙ අපි කෝකටත් බතික් අංකල්ගෙන් අහමු කියල’’
මම ඉස්සෙල්ලා ම දැක්කෙ ජෙසිකා... ඉස්සෙල්ලාම කතා කරෙත් එයා. ඊට පස්සෙ කතා කරේ කවුද කියල මට නිනව්වක් නැතුව ගියා. මට ඇහුණෙ ගැනු හතර දෙනාගෙ ම කට හඬ විතරයි. මට අදහාගන්න බැරුව මම හැම කෙනාගෙම මුණ බැලුවෙ මාරුවෙන් මාරුවට. මම එක්කෙනෙකුගෙ මුණ බලද්දි කතා කරේ වෙන කෙනෙක්. එයාගෙ මුණ බලද්දි කතා කරේ තවත් කෙනෙක්. මමත් කවුරු එක්ක කතා කරන්නද කියල මට හිතාගන්න බෑ. අනික මෙයාල ගැන කඩේ හුඟ දෙනෙක් දන්නවා. හැබැයි සුසන්ත නම් දන්නෙ නැතුව ඇති කියල මට හිතුණා. මොකද එහෙම වුණා නම් මට සුසන්ත පණිවිඩය දෙන්නෙ වෙන විදියකට.
‘‘අක්කල මෙහේ...!’’
වෙනදට ‘නැන්දෙ’ කියල කියවෙන මට ‘අක්කල’ කියල කියවුණේ කොහොමද කියල මට ම හිතා ගන්න බැරි වුණා.
‘‘අපෝ... ඇති යාංතං ‘අක්ක’ කිව්ව. නැත්තං මූ කට ඇරියොත් කියන්නෙ ‘නැන්දෙ’ කියල නෙ...’’
එහෙම කිව්වෙ හතර දෙනාගෙ ලොක්කි විදියට වැඩ කරන ජෙසිකා.
‘‘ඉත්තුවෙ නේ නේද අප්පි මේම ඔයැයි ඔයාගෙන්න ඒවි කියල...?’’
ඇදල පදල අමාරුවෙන් සිංහල ගැට ගහගත්තෙ කමලාවතී. කළු වුනත් රැහේ හැඩකාර ම එකී. කරන රස්සාව මොක වුනත් එයා ඇඟ පත ලස්සනට තියගන්න දක්ෂයි කියල මට හිතුණෙ මේ දැන්.
‘‘මෙහ්... අපි මේ මල්ලිත් එක්ක ටිකක් කතා කරාට කමක් නැද්ද...?’’
අපේ දිහා ඇස් දෙකයි කටයි දෙක ම ඇරගෙන පුදුමයෙන් වගේ බලාගෙන ඉන්න ගුණසේකරගෙන් එහෙම ඇහුවෙ විනීතා. එයා තමයි රැහේ ඉන්න කටකාරි. අනික ගුණසේකර වපර නිසා එයා බලාගෙන හිටියෙ ගෑනු ටික දිහා ද මගේ දිහා ද කියල හිතාගන්නත් ටිකක් විතර අමාරු වුණා.
‘කක්... කක්... කමක් නෑ... කමක් නෑ... හැබැයි විජහිං එන්න...’’
ගුණසේකර කිව්වෙ ටිකක් ගොත ගගහ වගේ. මොකද එයා දන්නව මේ ගැනු කට්ටිය කවුද කියල. ඉතිං එහෙම ගැනු කට්ටියක් මාත් එක්ක කතා කරන්න ද කියල ඇහුවම මිනිහට හිතෙන්න ඇත්තෙ මොනවද...? මොනව ද ඉතිං... කුණු රස මොනව හරි තමයි. හැබැයි මම මේ ගැනු කට්ටියයි අතරෙ එහෙම දේවල් කතා වෙලා නෑ කියල දන්නෙ අපි විතරයි.
‘‘මේ... ඇත්තට ම... මේ ටික දොහට උඹ ආරල බං... ඇත්තමයි... ම්ම්ම් මට... උඹව මෙතන ම බදාගන්න හිතෙනව.’’
එහෙම කිව්වෙත් විනීතා. ඒ එක්ක ම මැදට පැන්නෙ රැහේ නායිකාව වුණ ජෙසිකා.
‘‘අනෙහ් මේ... උඹට බදාගන්න ඕනෙ නං වෙන එකෙක් හොයාගනිං... මෙහ්... ඒක නෙවෙයි... උඹ දැන් කවදයි මල්ලියෙ ආයි වේටර් වැඩේට එන්නෙ...?’’
මං ඉතිං හැමෝට ම ඇහෙන්න විස්තර ටික කිව්වා.
‘‘ඉතිං බං හවහට වැඩ ඉවර වෙනවනං වරෙකො කොටුව පැත්තට... උඹට තනියම එන්න බයයි වගේ නං වැඩ ඉවර වෙන්නෙ කීයට විතරද කියහං... මං මේ පැත්තට එන්නං...’’
ජෙසික කිව්වෙ මාව මුණ ගැහෙන්න ලොකු වුවමනාවක් තියෙනව වගේ. මං ඒ අතරතුර වටපිටත් ටිකක් බැලුවා. තේ පැන්ට්‍රියෙ දහනායක විතරක් නෙවෙයි කඩේ ඇතුළෙ ඉඳල: වතුර ගෙනියන්න, ඉඳුල් පිඟන් තියන්න, තේ ගෙනියන්න පිටිපස්සට එන වේටර්ලත් අපි දිහා බලන්නෙ කවදාවත් දැකපු නැති පිරිසක් දිහා බලනව වගේ. ඒ අතරෙ ගනේසුත් ඇවිල්ල ටිකක් නක්කල් හිනාවක් දාගෙන කුස්සිය ඇතුළට ගියා. ඒත් අපිට බාධා කරන්න හිතුවෙ නැති බව මට හොඳට ම තේරුණා. ගුණසේකරත් සද්ද නැතුව ම මිනිහගෙ වැඩ.
‘‘නෑ අක්කෙ... කොහොමටත් මෙතන වැඩ දෙක දෙක හමාර වෙද්දි අහවරයි. ඒත්... මේ සමහර දවසට: මිරිස්, ගම්මිරිස්, කහ එහෙම කොටන්න තියෙනවා. එහෙම දවසට ඉතිං හතර ඉතර වෙනව. අන්නේකයි හරි හමන් වෙලාවක් කියන්න බැරි. නැහ්නං මට තනියෙං එන්න ඇහැකි. මොකද්ද... එහා පැත්තට පාර පැනල ඔය පාර දිගේ එනේක නෙ...’’
ඇත්තට ම මට මේ වෙලාවෙ වුවමනා කරල තිබුණෙ මේ අය ඉක්මනින් ම පිටත් කරන්න. ඒත් ඒක කරන්න ඕනෙ මෙයාලගෙ හිත නොරිදෙන විදියට. මොකද සමාජය මෙයාල දිහා මොන විදියට බැලුවත් ඇත්තට ම මට මෙයාල යාළුවො වගේ. ඒත් පිට එවුන් කවුරුවත් ඒක විශ්වාස කරන්නෙ නෑ.
‘‘හරි හරි... දැං අපි යමුද... කීයක් හරි හොයාගන්නත් එපායැ...’’
එහෙම කිව්වෙ රමණී. එයා කොහාමටත් අනික් තුන්දෙනා තරම් මගෙත් එක්ක කිට්ටු නෑ. ඒ ඇයි කියන්න මට තේරෙන්නෙත් නෑ. හැබැයි කොහොම වුනත් එයා එහෙම කියපු එක මට නම් හරියට ඉබ්බ දියේ දැම්මහම ඇන්නැවෙයි කිව්ව වගේ.
‘‘එහෙනං අද හවහට එනවයි...?’’
ජෙසිකා ඇහුවෙ ලොකු බලාපොරොත්තුවකින්.
‘‘පොඩ්ඩක් ඉන්නකො අක්කෙ...’’
එහෙම කියපු මං කුස්සියට යද්දි ගනේෂ් පොල් ගානවා. මාව දැකපු ගමන් ‘‘අම්මෝ...! එති යාන්තං ගෙලවිලා එවිත්. මං ඉත්තුවෙ අංගගන්නැති කියල,’’ කිව්වෙ සමච්චල් විදියට හිනා වෙන ගමන්.
‘‘අනෙහ් මේ... පිස්සු කෙළින්නැතුව ඉන්නව ද...? මෙහ්... අද හවසට මක්ක හරි කොටන්න තියෙනව ද...?’’
මම එහෙම ඇහුවෙ: මිරිස් හරි, ගම්මිරිස් හරි කහ හරි කොටන්න තියෙනව ද කියන අදහසින්. ඒත් ගනේෂ් උත්තර දුන්නෙ වෙන අදහසකින්.
‘‘එයි... අර ඒසියො එන මක්ක හරි කොට්ටන්න එන්න කිව්ව ද... හා හා... එප්පිට කොයින්ද අප්පා එච්චර පින්නක්... උම්ඹට නං දෙයියොම තමා බලනවා...’’
ගනේෂ් එහෙම කිව්වෙ තරහකින් නෙවෙයි. නමුත් ඌ මේ ගැනුන්ට ‘වේසියො’ කියපු එකට නං මට ටිකක් කේන්ති ආවා.
‘‘කැත කතා කියන්නෙපා ගනේස් අයියෙ. ඒ ගෑනුන්ගෙ රස්සාව වේසකම තමයි. හැබැයි මතක තියාගන්න ගනේස් අයියෙ... එයාල වේසකං කරන්නෙ ඔයැයිල වගේ පිරිමින්ගෙ ඕනකමට... ඔයැයිලත් ඒකෙ හවුල්කාරයො හරිය... හරි... ඒකෙන් වැඩක් නෑ... අද හවස මිරිස් කොටනවයි...?’’
‘‘අම්මෝ... මල්ලිට ගිය ඩෝං... වීළුවක් තමයි කරා... ෂරි ෂරි... මිරිෂ් හෙට්ට කොට්ටාගන්න බෙරිය...’’
* * *
හවස මිරිස් කෙටීම හෙට කරා ම ඇති කියල ගනේෂ් කිව්වට පස්සෙ මට ඇතිවුණේ මාර ම සතුටක්. ඒ, ඇඟ විකුණනව කියල සමාජයෙන් කොන් කරන ගෑනු මුණ ගැහෙන්න පුළුවන් නිසා කියල කවුරු හරි හිතන්න පුළුවන්. නමුත් ඇත්ත ඒක නෙවෙයි. මට වුවමනා වුණේ කොටුව ඇතුළෙ ඇවිදින්න; ඇවිදලා ඒක ඇතුළෙ තියෙන්නෙ මොනවද කියල බලන්න. ඉස්කෝලෙ හයේ පංතියෙදි විතර ට්‍රිප් එකක් ඇවිත් කොටුව ඇතුළට ගියපු බව මතකයි. හැබැයි එදා ඇතුළු වුණේ කොතනින් ද, පිට වුණේ කොතනින්ද කියල මතක නෑ. මතක තියෙන්නෙ ලයිට් හවුස් එක බලපු එක විතරයි. ඒ ඇරුණම වෙන මොනම මතකයක්වත් තිබුණෙ නෑ.
* * *
හරියට ම හවස තුන විතර වෙද්දි මම ගාලු පාර පැනල කොටුව පැත්තට ගියේ ග්‍රවුන්ඩ් එකයි සමනල පිට්ටනියයි අතර තිබුණු පාරෙන්. කොටුවට ඇතුළු වෙන්න තිබුණ විශාල බිංගෙයක් වගේ තැනකික්. ලොකු මිනිහ වගේ ආවට ඒ විශාල බිං ගේ දැක්කට පස්සෙ ටිකක් බයත් හිතුණා. ඒ නිසා එක පාරට ම කොටුවට ඇතුළු වෙන්න ගියේ නෑ. ඈත ඉඳන් යන ගමන් ම ටිකක් බලාගෙන ගියා මිනිස්සු කොහොමද ඇතුළු වෙන්නෙ කියල.
මට එතනින් ඇතුළු වෙන එක මහා ලොකු දෙයක් වගේ දැනුනට මම ටික වෙලාවක් බලාගෙන යද්දි: බර බාගෙ ගොන් කරත්ත, බක්කි කරත්ත, කාර්, වෑන්, ලොරි, ෆුට් සයිකල් එක පෙළට ඒ විශාල උමගෙන් ඇතුළු වුණෙයි පිට වුණෙයි කිසිම ගානක් නැතුව. ඒ විතරක් නෙවෙයි පොඩි දරුවො, කොල්ලො කෙල්ලො, වැඩිහිටි මිනිස්සු එහෙම ඇතුළු වුණෙත් පිට වුණෙත් කිසිම ගානක් නැතුව. ‘එහෙම නම් මම විතරක් මොකට ද බයවෙන්නෙ...?’ කියල හිතපු මමත් පුරුදුකාරයෙක් වගේ එතනින් ඇතුළු වෙන මිනිස්සුත් එක්කක ම ඇතුළු වුණා. හැබැයි මම වට පිට කිසිම දෙයක් ගැන බැලුවෙ නෑ. මම කළේ පුළුවන් තරම් ඉක්මනට ඒ බිං ගේ ඇතුළෙන් කොටුව ඇතුළට යන්න උත්සාහ කරපු එක.
ඒ මහා බිං ගෙයින් ඇතුළු වෙලා විනාඩියක් ගෙවෙන්නත් කලින් ආයෙත් ඉර එළිය ඇඟට වැටෙන්න ගත්තට පස්සෙ තමයි මට හිතට සැහැල්ලුවක් දැනුණෙ. ඒ තත්ත්පර ගාණ ගෙවුණෙ හුස්ම ගන්නත් අපහසුවෙන්. දැන් නම් හිතට බයක් නෑ. දැන් කරන්න තියෙන්නෙ ජෙසිකා කියපු විදියට වැඩ කරන එක.
එයා කිව්වෙ කොටුවට ඇතුළු වුනාට පස්සෙ: වමට හැරෙන්නත් එපා, කෙළින් ම යන්නත් එපා. ටිකක් ඉස්සරහට ඇවිත් දකුණු පැත්තට හැරිල ඔරලෝසු කණුව දිහා බලාගෙන එතනින් තියෙන පොඩි කන්ද නගින්න කියල. ඊට පස්සෙ ඔරලෝසු කණුවෙ මුහුණ මුහුද පැත්තට තියෙන පැත්තට එන්න කියල.
ජසිකා එහෙම කිව්ව තරම් මට ඒක පහසු වුණේ නෑ. හැබැයි මම ටිකක් වට පිට බල බලා කන්ද උඩට නගිද්දි කලින් බිං ගෙයින් මිනිස්සු ආව ගියා වගේ ම මිනිස්සු: ඒ පොඩි කන්ද නගිනවා, බහිනවා, කොටු බැම්ම ඉස්සරහට යනවා, කොටු බැම්ම උඩ ඇවිදිනවා සමහර තැන්වල කොල්ලොයි කෙල්ලොයි වාඩිවෙලා කතා කර කර ඉන්නවා. ඒ මිනිස්සු හැමදාම කොටුවට එන මිනිස්සු වෙන්න ඇති.
මම ඒ හැම දෙයක් ගැනම අවධානය යොමු කරගෙන කන්ද නැගල, ටිකක් වට පිට බලල ජෙසිකා කියපු විදියට ඔරලෝසු කණුවෙ මුහුණ මුහුද පැත්තට තියෙන පැත්තට ගියා. ඒක සම බිමක් නෙවෙයි; හරියට අර ඉංග්‍රිසි චිත්‍රපටිවල තියෙනව වගේ තණකොළ වැවුණු පොඩි පොඩි බෑවුම්, පොඩි පොඩි කඳු ගැටි තියෙන බිමක්. ගමේදි ඕන තරම් කඳු නැගල තිබුණට මෙතන හරි ම වෙනස්. උඩ බැලුවම තනිකර ම නිල් අහස. මුද පැත්තෙන් එන ඉරේ රස්නෙ හරිම සැරයි.
මම දැන් ඇවිත් තියෙන්නෙ මට ජසිකා එන්න කියපු නිසා. ඒත් මම හිටපු තැනට: ගාලු ටවුමයි, සමනල උයනයි, අනික් පැත්තෙන් තියෙන මුහුදයි දකිද්දි ඒ හැම දෙයක් ම මට අමතක වුණා. හැබැයි ඒ අමතක වීම වැඩි වෙලාවක් රැඳුණෙ නෑ.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/02/02
අපලෝකන - පසුගිය කොටස්