‘‘එව්වා හරි දිග කතා බං... එව්ව කිව්ව කියල උඹට තේරෙන්නෑ... ඕනෙ ම නං මං පස්සෙ දවසක කියන්නංකො... මෙහ්... ඒක නෙවෙයි... අපි දැං යමුද...? අපේ අනික් එවුං බාගෙදා දැං උඩට ඇවිල්ලත් ඇති.’’
ජෙසිකා අක්ක එහෙම කිව්වට පස්සෙ තමයි හිතුණෙ ‘තව ටිකක් වෙලා ඉන්න තියෙනවා නම්...’ කියල. ඒත් මම ඒ බවක් ජෙසිකා අක්කට ඇඟෙව්වෙ නැතුව ‘‘හා අක්කෙ යං,’’ කිව්වෙ ‘‘කමක් නෑ බං ඔන්නොහෙ තව ටිකක් ඉමු,’’ කියල ජෙසිකා අක්ක කියාවි කියල හිතාගෙන. ඒත් ඒක සිතිවිල්ලකට විතරක් ම සීමා වුණා.
* * *
අපි දෙන්න ආයෙ කොටුව උඩට ඇවිත් ටිකක් විපරම් කරල බලද්දි දකින්න හිටියෙ විනීතා අක්කා විතරයි. කණ්ඩියක් උඩ වාඩිවෙලා හිටපු එයා අපි දෙන්නව දැකපු ගමන් ‘‘ආ... කළු මල්ලී... කොහොමෙයි... ට්‍රේනිං එක හොඳෙයි...?’’ කියල ඇහුවෙ කට කොනකින් හිනා වෙන ගමන්. ඇත්තට ම එයා එහෙම ඇහුවෙ ඇයි කියල මට තේරුණේ නෑ. ඒත් ඒ වචන ටික ඇහුණ ගමන් ජෙසිකා අක්ක විනීතට කියපු දේ එක්ක තමයි මට ඒ කතාව මොකක්ද කියල තේරුණේ.
‘‘මක්කයි බැල්ලියෙ ඒ කියපු කැත කතාව... උඹ හිතුවයි මං මේ පොඩි එකත් එක්ක හැමිනෙන්න ගියා කියල...?’’
ඒ වෙලාවෙ නම් ජෙසිකා අක්කගෙ මූණෙ තිබුණ සිරියාව ඔක්කොම හේදිලා ගිහින් තිබුණා. ඒ වෙනුවට තිබුණෙ ඇස් උඩ ගියපු, කම්මුල් දෙක ම රතු වෙච්ච විකාර සහගත මූණක්. මේ සිද්ධ වෙන්නෙ මොකක්ද, මම කරන්න ඕන මොකක්ද කියන කිසිම දෙයක් මගේ හිතට ආවෙ නෑ. ඒ එක්ක ම මට විනීතක්කගෙ කටහඬත් ඇහුණා.
‘‘නැහ්නං අහවල් එහෙකටය උඹ මේකත් එක්ක බිංගෙවල් අස්සෙ රිංගුවෙ. මොකෝ ඕවයි අස්සෙ රිංගන්නෙ සිල්ගන්නෙයි... අනෙහ් මේ... පලයං ජෙසිකක්කෙ යන්න... මට සුදු ලූනු පොඩි කරන්නැතුව...’’
ඇත්තට ම විනීතා අක්කා අපි ගැන වැරැදියට හිතයි කියල මම නම් හිතුවෙ නෑ. ඒත් මට මේ දෙන්නගෙම පැත්ත ගන්න බෑ.
‘‘යකෝ... මේකා තවම පොඩි එකෙක්. මට එහෙම අමාරුවක් තියේ නං ඉතිං ඔය සල්ලිත් එක්කම මිනිස්සු ඉන්නෙ... මං මේ මේකට කොටුව ටිකක් පෙන්නනයි එක්කරගෙන ගියේ. උඹ මේ රෙද්දක් කතා කරනෝ...’’
‘‘අනේ...! හොඳ පොඩි එකා... ඇයි මූ පොඩියි කියල නැට්ටට කිරි උරන්නැතෙයි...’’
විනීතා අක්ක එහෙම කියනවත් එක්කම මට ඇහුණෙ ‘‘විනීතා...’’ කියල හයියෙන් කෑ ගහන සද්දෙයි ‘චටාස්’ ගාන සද්දෙකුයි විතරයි. මං ඔළුව උස්සල බලද්දි විනීතා අක්ක කම්මුලට අත තියාගෙන ජෙසිකා අක්ක දිහා බලාගෙන ඉන්නවා.
‘‘අනේ අක්කේ... මං හිංද ඔයි දෙන්න සණ්ඩු වෙන්නෙපා...’’ කියාගෙන මං ඒ දෙන්න අතරට එන්න හදද්දි ම ඉස්සරහට පැනපු ජෙසිකා අක්කා... ‘‘හරි... කියපං... උඹ මේ පොඩි එකත් එක්ක හැමිනෙන්න යනව ද... කියපං... උඹ මේ කොල්ලත් එක්ක හැමිනෙන්න යනව ද...?’’
ජෙසිකා අක්ක මහා හයියෙන් ඇහුවෙ විනීතා අක්කගෙ උරිස් දෙකෙන් අල්ලලා හොල්ලන ගමන්.
‘‘මට මගේ ගාණ හම්බෙනව නං පොඩි එකෙක් උනහම මොකෝ...’’ කියල හෙමින් උනත් ටිකක් වේගෙන් විනීතා අක්ක කිව්වෙ ජෙසිකා අක්කගෙ අත් දෙක දෙපැත්තට තල්ලු කරන ගමන්. එහෙම කියාගෙන ම විනීතා අක්කා අපි ඉන්න තැනින් ටිකක් මූද පැත්තට වෙන්න තියෙන කොටු බැම්ම පැත්තට ගියා.
‘‘අන්නේකනෙ බං කියන්නෙ... එකට කෑවත් බොක්ක වෙනස් කියල. උඹට ඕනෙ සල්ලි... යකෝ... හැම හු**ක්ම සල්ලිවලින් මනින්නෙපා. මූ මට මගේ ම මල්ලි කෙනෙක් වගේ. මිනිහෙක් එක්ක හැමිනෙන්න ඕනනං බං ඕනෙ තරං මිනිස්සු ඉන්නෙ. ඒ හිංද ඔයි වගේ කැත විදියට හිතන්නෙපා... හිතහං මේ උඹේ මල්ලි කියල. එහෙම හිතල වැඩ කරහං... මටත් තිබුණනෙ එහෙමනං දවල් අර මාත් එක්ක යන්න හදපු එකාව උඹට පංගරාත්තු කරන්නැතුව මට ම යන්න. එහෙම නොගියෙ මේ පොඩි එකාට එන්න කියල තිබුණු හිංද...’’
ඊට පස්සෙ විනීතා අක්ක කිසිම කතාවක් නැතුව කොටු බැම්ම උඩ වාඩිවෙලා මූද දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. මට හිතාගන්න බෑ ඇයි විනීතා අක්කා එහෙම හැසිරුණේ කියල. එයා එහෙම කරේ මම ජෙසිකා අක්කට සල්ලි දීල එයත් එක්ක ගියා කියල හිතාගෙන ද... එහෙමත් නැත්නම් වෙන හේතුවක් ද...
‘‘යසේ... යමං බං යන්න... මේ පිස්සු හු** ටිකක් වෙලා මෙහෙම්ම හිටපුවාවෙ. එතකොට ඔය හොන්දු මාන්දු ගතිය මග ඇරිල යයි. මං හිතන්නෙ මේකිත් එක්ක ගියපු කස්ටත් එක්ක මොක හරි ආරෝවක් වෙන්නැති. ඒ වාඩුව තමයි මගෙං ගත්තෙ. මොකද ඒ යකාව පංගරාත්තු කරේ මං නෙ... උඹ ඔව්ව මායිං කරන්නෙපා. අපි එහෙම තමයි... රංඩු වෙනවා... යාළු වෙනවා...’’
‘‘ඒ උනාට අක්කෙ විනීතක්ක මයෙත් එක්කත් තරහ වෙලාද දන්නෑ...’’
කොටුවෙන් පල්ලෙහාට බහින ගමන් මං ජෙසිකා අක්කගෙන් එහෙම ඇහුවෙ ඇත්තට ම මට විනීතා අක්කව තේරුම් ගන්න බැරි වුණ නිසා. ඒත් මගේ ප්‍රශ්නෙ උත්තර දෙනව වෙනුවට ජෙසිකා අක්ක කළේ වෙන දෙයක්.
‘‘මං කිව්වනෙ බං... උඹ ඔව්ව මායිං කරන්නෙපා. ආයි හම්බෙච්ච දවසක මතක් කරන්නත්තෙපා. දැං ඒක අහවරයි. එහෙව් ඉලව්වක් උනේ නැහැයි කියල හිතාගනිං... අපි ආයි දවසක් දාගෙන තව දිහාක යං. එදාට මං විනීතටත් එන්න කියන්නං. ආහ්... දන්නෙම නැතුව පාරටම ආව.’’
ජෙසිකා අක්ක එහෙම කියද්දි අපි කොටුවට ඇතුළු වෙන මහා බිං ගේ වගේ තැනත් පහු කරල ඉවරයි. පාරෙ එහාට මෙහාට යන වාහන ගැනයි මිනිස්සු ගැනයි මට දැනුණෙ ඒ වෙලාවෙ. ඇත්තට ම මෙතෙනට එනකම් ම දැනුණෙ නෑ. ඒක හරියට ඉස්කෝලෙ යන කාලෙ යාළු වෙච්ච කෙල්ලෙක් එක්ක කතා කර කර යද්දි කාලය ගෙවෙනව දැනුණෙ නෑ වගේ. ඒත් ජෙසිකා අක්ක එහෙම කෙනෙක් නෙවෙයි නෙ... එහෙම නම් ඇයි මෙහෙම අමුතු හැඟීමක් දැනෙන්නෙ...
‘‘මොකෝ බං මගේ මූණ දිහා බලාන ඉන්නෙ... හොටෙලෙට යන්න අදහසක් නැතෙයි...?’’
මම කල්පනාවෙන් මිදුණෙ ජෙසිකා අක්ක එහෙම ඇහුවට පස්සෙ. එච්චර වෙලා මම ජසිකා අක්කගෙ මූණ බලාගෙන හිටියද කියලවත් මට මතක නෑ.
‘‘නැ අක්කෙ... මං මේ කල්පනා කරේ...’’
‘‘විනීත ගැන නෙහ්... ඒකි ගැන කල්පනා කරන්න දෙයක් නෑ. මේ වෙද්දිත් ඒකිට ඔය මොකවත් මතක නැතුවැති. උඹ පලයංකො. අපි හෙට අනිද්ද දොහක ඇවිත් උඹට දොඩන්නං. උඹත් අද දවස ගැන මතක් කරනව නං විනීත හම්බෙන්න කලිං ටික ගැන විතරක් හිතපං... හම්ම්ම්... දැං දෙයියන්නෙ පිහිටෙං පලයංකො...’’
එහෙම කියපු ජෙසිකා අක්ක මගේ ඔළුව දෙපාරක් විතර අතගාල නළලත් ඉම්බා. ඇත්තට ම මටත් ඒ වෙලාවෙ හිතුණෙ ම මේ මගේ අක්ක නේද කියල.
* * *
දවස් තුනක් ගෙවෙද්දි මට කුස්සියෙන් ආයෙ වේටර් වැඩේට එන්න වුණා. ඒ, කුස්සියෙ වැඩ කරන තුන් දෙනා ම ආයෙත් එකට එකතු වුණ නිසා. ඇත්තට ම මම කුස්සියෙ වැඩ කරේ ආසාවෙන්. ඒකට හේතු කිපයක් ම තිබුණා. පළවෙනි හේතුව තමයි වේලාසනින් ම වැඩ ඉවර වෙන එක. අනිත් කාරණේ තමයි කන බොන දේවල්වලට කාගෙන්වත් බාධාවක් නැති එක. මම හිතන්නෙ කඩේ අයිති මහත්තයා ඇරුනහම වෙන කිසිම කෙනෙකුට කන්න නොලැබෙන දේවල් කුස්සියෙ වැඩ කරද්දි කන්න පුළුවන්. ඇත්තට ම කුස්සියෙ වැඩට ගිය මුල් දවස්වල මම සමහර දවසට බිත්තර දෙක තුනක් කනවා. ඒ විතරක් නෙවෙයි... මස්, මාළුත් එහෙමයි. මසුයි මාළුයි එක එක විදියට හදනවනෙ. මාළුවලින් නම් මම වැඩියෙන් ම කැමති බැදපු මාළුවලට. මස්වලින් නම් හරක් මස් ස්ටුවලට.
මස් ස්ටුවට මස් කපන එක ලේසි නෑ. ඒක හරියට ම කරන්න පුළුවන් විජේසිංහ අයියට විතරයි. මස් ගෙනාවම ස්ටුවලට ගන්න මස් කපන්න පුළුවන් කොටසක් වෙන් කරගන්නෙත් විජේසිංහ අයියා. ගුණසේකරටත් ඒ ගැන හරියට දැනුම් තේරුමක් නෑ. හැබැයි ටික දවසක් යද්දි මට වැඩේ අහු වුණා. ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. කටු පොඩ්ඩක්වත් නැති කොටසක් තමයි තෝරා ගන්න ඕනෙ. ඊළඟට කපන වැඩේ. ස්ටුවලට මස් කපද්දි උයන ඒවට වගේ කැලි කපල හරියන්නෙ නෑ. ඒකට මස් කපන්න ඕනෙ පෙත්ත වගේ.
මම දවසක් දෙකක් විජේසිංහ අයිය ස්ටුවලට මස් කපන විදිය බලාගෙන හිටියා. එයා කරන්නෙ හොඳ ම මස් කුට්ටියක් වෙන් කරගෙන, මස් කුට්ටියෙ උඩින් අත තියාගෙන, අතට යටින් කපාගෙන යන එක. එහෙම කරද්දි මස් කුට්ටියෙ ප්‍රමාණය අනුව පෙත්තක් කැපෙනවා. ඊට පස්සෙ ආයෙත් අර විදියට ම පෙත්තක් කපනවා. එහෙම කපල ඉවර වෙලා ඒ ලොකු පෙත්ත කොටස් කීපයකට කපා ගන්නවා. හැබැයි ස්ටුවලට මස් ගොඩක් කපන්නෙ නෑ. උපරිම දවස් දෙකක ප්‍රමාණය විතරයි කපන්නෙ. ඒකත් එක පාරට ම ස්ටු දාන්නෙ නෑ. එදා දවසට ඇතියි කියල හිතෙන ප්‍රමාණය විතරයි හදන්නෙ. ඉතිරි ටික අයිස් පෙට්ටියෙ දාල තියල පහුවදා එළියට අරගෙන උයන්න කලින් වතුරෙ දාල තියනවා. ඊට පස්සෙ කෑලිවලට කපාගන්නවා.
මම මස් ස්ටු කන්න ආසයි කියල විජේසිංහ අයියා දන්නවා. ඒ නිසා ස්ටු එක උයල ඉවර වුණා ම ‘‘යසේ... කෑමට කෑලි දෙක තුනක් තියාගෙන ස්ටු එක ඉස්සරහට දෙන්න...’’ කියල කියන්නෙ මටයි, අනික් කෙනාටයි කන්න කෑලි කීපයක් තියාගෙන ස්ටු එක තැටියට දාල ඉස්සරහ කෑම පැන්ට්‍රියට ගෙනිහින් දෙන්න කියන එක. විජේසිංහ අයිය මාළු කැවට මස් කන්නෙ නෑ; විශේෂයෙන් ම හරක් මස්. එළු මස් කුකුළු මස් නම් කනවා.
මාළු වර්ග බැද්දට පස්සෙත් එහෙමයි. කොච්චර වටින මාළු වර්ගයක් වුනත් අපිට කන්න වෙන් කරල තියල තමයි ඉස්සරහට ගෙනියන්නෙ. ඉතිං කුස්සියෙ වැඩ කරන අයටයි අයිති මහත්තයටයි ඇරුණ ම වෙන කාටවත්: බැදපු මාළු, මාළු ඉස්ටු, මස් ඉස්ටු, තම්බපු බිත්තර, බිත්තර බුල්ෂයි, බිත්තර ඔම්ලට් එහෙම කන්න ලැබෙන්නෙ නෑ. කනව නම් ඉතිං පඩියෙන් කැපෙනවා. ඒ නිසා කවුරුවත් ඒ වගේ කෑම හොරෙන්වත් කන්න උත්සාහ කරන්නෙ නෑ. අනික වැඩ කරන එවුනුත් එකෙකුට එකෙකුත් නැහැ නෙ... එකෙක් කනව දැක්කොත් කවුරු හරි කේලම බිල් මහතයගෙ කනේ හරි මැනේජර් මහත්තයගෙ කනේ හරි තියනවා. ඒත් දෙන්නම මොනවත් අහන්නෙවත් කියන්නෙවත් නෑ. පඩි ගන්න ගියාම තමයි දන්නෙ. කළු මහත්තයා පඩිය දෙන්න කලින් ‘‘ම්ම්ම්... පහුණු මාසෙ බීෆ් ඉස්ටු එහෙමත් කාල තියෙන්නෙ... හොඳයි හොඳයි... එහෙම තමයි ඉන්නෝන... මොක නැතත් කන්න බොන්න ඕන...’’ කියල කියන්නෙ කට කොනකින් හිනාවෙන ගමන්ම යි. ඒක මට හිතෙන්නෙ මේ හෝටලේ විතරක් නෙවෙයි... හැම හෝටලයක ම කෙරෙන විදියක් වෙන්නැති.
සුසන්ත හෙවත් පිඟන් සෝදන්නා
මගේ සම්පූර්ණ නම සුසන්ත ප්‍රදීප් පොරණගේ. හැබැයි මම වැඩ කරපු කොතනකදිවත්, කවුරුවත් මට ප්‍රදීප් කියල කතා කරල නෑ. පොරණගේ කියල කතා කරලත් නෑ. සමහර අයට ගමේ නමෙන් කතා කරනව නෙ... මට එහෙමත් නෑ. එහෙම කිව්වා නම් මට කතා කරන්නෙ කඹුරුපිටිය කියල. ඒ කියන්නෙ මගේ ගම කඹුරුපිටිය. මං මෙහාට එන්න කලින් වැඩ කරේ පිටකොටුවෙ මල්වත්ත පාරෙ රන්ජන් හොටලේ. ඒ හෝටලේ වැඩ කරන්න කලින් මැනිං මාර්කට් එකේ මුට්ට කරගැහුවා. ඒ ජොබ් එක මහන්සි වුනත් මීට වැඩිය නම්බුකාරයි. මොකද හෝටලයක පිඟන් හෝදන කෙනා එක්ක වේටර්ලවත් වැඩිය කතා බහ කරන්නෙ නෑ. පිඟන් හෝදන කෙනා තමයි හෝටල් රස්සාවෙ පහත්ම රස්සාව කරන කෙනා කියල තමයි එයාල හිතාගෙන ඉන්නෙ.
මේ හෝටලේ කියලත් ඒකෙ වෙනසක් නෑ. හැබැයි යසේ ඊට වඩා ටිකක් වෙනස්. මිනිහ මාව දැකපු දවසෙ ඉඳල ම මාත් එක්ක හිනා වුණා, කතා කරා, මිනිහ කන බොන දේවල්වලින් පොඩ්ඩක් හරි මට දුන්නා. හවසට මිරිස්, කහ, ගම්මිරිස් එහෙම කොටන දවසට මට බොන්න කියල සුප් එකක් දාල දුන්නා. නිකම් ම නිකම් සුප් නෙවෙයි. හොඳ මැරබෝන් කටුවක් එක්ක සුප් එකක්. සමහර විට ඒ අපි දෙන්න දවස පුරාම එක ළඟම ඉන්න නිසා වෙන්නත් ඇති. කුස්සියෙ බාස්උන්නැහේ වුනත් මාත් එක්ක එහෙම ලොකු ආස්සරයක් තිබුණෙ නෑ. මාත් එක්ක ඕනවට වඩා ඇඟෑලුම්කම් පාන්න එපා කියල සමහර වෙලාවට එයා යසේට කියනවත් මට ඇහිල තියෙනවා. හැබැයි එහෙම කිව්ව කියල යසේ මට දක්වපු කරුණාව පොඩ්ඩක්වත් අඩු කරේ නෑ.
මට යසේ ගැන විශේෂ කැමැත්තක් ඇති වුණේ එදා අර ගෑනු හතර දෙනා යසේ හොයාගෙන ආපු දවසෙ.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/02/16