චිත්‍රපටිය බලල ඇවිත් වෙනද වගේ ම කඩේ ඉස්සරහ පේමන්ට් එකේ පත්තර කොළ එළාගෙන නිදාගන්න සුදානම් වෙද්දි ම උඩ තට්ටුවෙ ඉඳල
පහළට බැහැපු කවුරු හරි ‘‘යසසිරි... මේ මොකෝ මේ...! ඔහේ හොටලෙන් අස් උනැයි...?’’
එතන පේමන්ට් එක වුනාට බස් ස්ටෑන්ඩ් එකේ ලයිට්වලයි, ඇළ අයිනෙ තියෙන බෝ ගහ ළඟ ලයිට්වලයි, පාරෙ පත්තුවෙන ලයිට්වලයි එළිය හැම පැත්තෙන් ම වැටෙන නිසා පේමන්ට් එකේ විතරක් නෙවෙයි පාරෙ එහා මෙහා යන අය වුනත් අඳුර ගන්න පුළුවන්. ඒ නිසා මමත් පහසුවෙන් ම එයා කවුද කියල අඳුර ගත්තා. ඒ තමයි උඩ කාමර තියෙන තට්ටුවෙ කැෂියර් එකේ ඉන්න කෙනා. උඩ තට්ටුවට යන්නෙ මාසෙකට ම එක වතාවක් හරි දෙවතාවක් හරි වුනත් මට එයාව හොඳට මතකයි. හැබැයි එයාගෙ නම දන්නෙ නෑ.
‘‘ආ... මචං... ඔහේ මේ උඩ තට්ටුවෙ...’’
‘‘ඔවු ඔවු... මං තමයි එතන කැෂියර්...’’
මම ප්‍රශ්නය අහල ඉවර වෙන්නත් කලින් එයා උත්තර දුන්නා.
‘‘ඒකනෙහ්... මාසෙකට දවසක් දෙකක් හම්බ උණාට මං ඔහේගෙ නමවත් දන්නැහැනෙ...’’
අනික් ප්‍රශනවලට උත්තර දෙන්න කලින් මට වුවමනා වෙලා තිබුණෙ මාස හත අටක් දන්න මේ මනුස්සයගෙ නම දැනගන්න.
‘‘ආ... මං කරුණාදාස... ඒක නෙවෙයි... මොකෝ මේ පේමන්ට් එකේ බුදියන්න හදන්නෙ හොටලෙන් අස් උනැයි...?’’
කරුණාදාස ආයෙත් ඒ ප්‍රශ්නෙ ම ඇහුවෙ හරිම කුතුහලයෙන්. පස්සෙ මං කරුණාදාසට ඇත්ත ම විස්තරේ කියල සුසන්තවත් හඳුන්වලා දුන්නා. මම කියපු දේවල් හොඳට අහගෙන හිටපු කරුණාදාස ‘‘ඒකත් එහෙමෙයි... ඇතුළට යන්න ක්‍රමයක් නං තියෙනෝ... හැබැයි කාටවත් කියන්නෙපා... යං...’’ කියල කරුණාදාස ආයෙත් උඩට යන්න හදද්දි ම මම එයාගෙ අතින් අල්ලලා නවත්ත ගත්තා.
‘‘එපා එපා කරුණෙ... අර මරුමුසා ඉන්නව නෙහ්... ඔයැයි අපිට උදවු කරන්න ගිහි ඒකගෙං සෝලි අහන්න වෙයි.’’
මං එහෙම කිව්වෙ පේමන්ට් එකේ නිදාගන්න කැමති නිසා නෙවෙයි. කළු මහත්තය ඉන්න නිසා. එයාට අපි හැමෝ ම කියන්නෙ මරුමුසා කියල. මොකද මිනිහ කිසිම කිසිම මනුස්සකමක් නැති මිනිහෙක් නිසා.
‘‘ආ... ඔයැයි කියන්නෙ කළු මහත්තෙය ද... ඌ එකොළහ වෙද්දි නිදාගන්නෝ. ආයි නැගිටින්නෙ හතර හමාරට. එතකං මේ ලෝකෙ වෙන මෙලෝ දෙයක් ඌ දන්නෑ... හැබැයි ඉතිං නැගිට්ට වෙලේ ඉඳං මළ කරදරේ... දන්නෝ නෙ...’’
කරුණාදාස උත්තර දුන්නෙ පොඩි නක්කල් හිනාවක් මූණට එකතු කරගෙන. ඒකෙන් මට පැහැදිලි වුණේ කළු මහත්තයා එක්ක වැඩ කරන හැම කෙනෙක් ම වගේ එයත් එක්ක හිත හොඳ නැහැ කියන එක.
කරුණාදාස කතා කරන අතර ම උඩට නගින්න පටන් ගත්තා. කිසිම කතාවක් නැතුව ම මමයි සුසන්තයි එයාගෙ පස්සෙන් වැටුණා. පළවෙනි තට්ටුවට ආපු ගමන් ම කරුණා දාස පිටුපස්ස හැරිල එයාගෙ දකුණු අතේ දබරැඟිල්ල එයාගෙ ම තොල් දෙක උඩ තියල ‘‘ෂ්ෂ්ෂ්’’ කිව්වෙ මගෙයි සුසන්තගෙයි කතාව නතර කරන්න කියල. ඊට පස්සෙ එයාගෙ පස්සෙන් ම එන්න කියලත් අත වනන අතර කිව්වා.
දෙවෙනි තට්ටුවට ගොඩ වෙද්දි ම කැෂියර් එකේ හිටපු කෙනා ‘‘ආ කරුණෙ...’’ කියද්දි කරුණාදාස ආයෙත් කලින් කළා වගේ තොල් දෙක උඩ ඇඟිල්ල තියල කැෂියර්ගෙ කතාව නැවැත්තුවා. ඊට පස්සෙ කැෂියර් ගාවට ගිහින් එයාගෙ කනට කරුණාදාසගෙ කට ළං කරල මොනවද කියව්වා. කැෂියර් එකේ හිටපු කෙනා ඔළුව උඩටයි පල්ලෙහාටයි වනල කරුණාදාස කියපු දේ පිළිගත්ත කියන ඉඟිය දුන්නට පස්සෙ ආයෙත් අපිට අතවනපු එයා දෙපැත්තෙ ම කාමර තියෙන කොරිඩෝව දිගේ ම හෝටලේ පිටිපස්සට ගිහින් පිටිපස්සෙ දොර ඇරගෙන බැල්කනියකට ආවා. ඒකත් හරියට පළවෙනි තට්ටුවෙ තියෙන බැල්කනිය වගේමයි. එතන ඉඳං පල්ලෙහා බැලුවම කෙළින් ම පේන්නෙ කුස්සිය ඉස්සරහ තියෙන හිස් මිදුල වගේ කොටස. එතකොට තමයි මට මතක් උණේ ඉස්සර වලව්වල එහෙම කොටසක් තිබුණ කියල අපිට ඉතිහාසෙට උගන්නපු බව. ඒකට කිව්වෙ මැද මිදුල කියල. අපි හිටපු තැනට: වතුර ටැංකියෙන් බාගයක්, පිඟන් හෝදන ටැංකි දෙක, දර ගබඩා කරල තියෙන කාමරේ හොඳට පේනවා. ඒත් එතන තිබුණෙ ටිකක් කළුවර ගතියක්. මොකද පහළ තට්ටු දෙකේ ම ලයිට් නිවපු නිසා.
‘‘යසේ... මක්කයි කල්පනා කරන්නෙ...? පුදුමෙයි...?’’
කරුණදාසගෙ කටහඬට මගේ කල්පනාව එකපාරට ම අතුරුදහන් වුණා.
‘‘හම්ම්... ඇත්තට ම... මෙච්චර කාලයක් මං හරියට උඩ බලල නැහැ නේද කියල හිතුණ. ඉතිං කරුණෙ... අපි කොහොමෙයි මෙතනිං පල්ලෙහාට යන්නෙ...?’’
‘‘යං... දෙන්නත් එක්කල ම වරෙංකො මං පෙන්නන්න... ආ... ඊට කලිං දෙන්නගෙ ම සෙරෙප්පු ගලවල පහළ වතුර ටැංකියට නොවැටෙන්න පල්ලෙහාට දාහල්ල හරිය...’’
කරුණෙ ඒ වෙලාවෙ කතා කරේ සෑහෙන කාලයක් දන්න කියන යාළුවෙකුට කතා කරනව වගේ. අපි දෙන්න සෙරෙප්පු දෙක ගලවලා ගානට පල්ලෙහාට විසි කරා. ඊට පස්සෙ කතා නැතුව කරුණාදාසගෙ පස්සෙන් ම ගියා.
‘‘හරි... දැං දෙන්න ම මං කියන දේ හොඳට අහගනිල්ල හරිය... ඉස්සෙල්ලා ම මේ බැම්මෙන් පහළ මේ පේන ස්ලැබ් එකට පනිනව හරිය.’’
කරුණාදාස ‘ස්ලැබ් එක’කියල කිව්වෙ අඩි දෙකක් දෙකහමාරක් විතර පහළින් තිබුණ, පිටතට පන්නලා තිබුණ කොන්ක්‍රීට් තට්ටුවට. ඒක පේන්නෙ හරියට ඉංග්‍රිසි L අකුරක් පැත්ත පෙරළලා වගේ.
කරුණා දාස එහෙම කියනවත් එක්ක ම වගේ සුසන්ත ස්ලැබ් එකට පනින්න හැදුව. එතකොට ම කරුණාදාස සුසන්තගෙ අතින් අල්ලලා ‘‘යකෝ... ඔහොම පොඩ්ඩක් හිටහං. ඉස්සෙල්ල මං කියන දේ අහගනිං හරිය...’’
‘‘ආ... හරි හරි...’’
සුසන්ත කිව්වෙ හරිම සන්සුන් විදියට; හරියට ගුරුවරයෙක් මොනව හරි කිව්වම අහගෙන ඉන්නව වගේ.
‘‘මෙතනින් ස්ලැබ් එකට පැනල, අන්න අර මුල්ලට ගියහම ඒ මුල්ලෙ තියෙනව යකඩ බටයක්. ඒ බටේ එල්ලිලා පල්ළෙහට්ට බැස්සහම තියෙන්නෙ හොටලෙ තේ පැන්ට්‍රිය උඩ තියෙන ස්ලැබ් එක. ඊට පස්සෙ ඒ ස්ලැබ් එකේ එල්ලිලා ටැකියෙ බැම්මට බහින්න පුළුහං... හැබැයි පුතෝ පරිස්සමින්... ඩිංග එහා මෙහා උනොත් ටැංකිය ඇතුළෙ. තේරුනයි...?’’
‘‘හම්ම්ම්...’’
අපි දෙන්න ම එක පාරට ම කිව්වෙ කලින් කතා කරගෙන හිටිය වගේ.
‘‘හම්ම්ම්... දැං ඉතිං මිං පහු රෑ පිචර් බලල ඇවිත් පේමන්ට් එකේ බුදියන්න ඕන්නෑ හරිය. එහෙම යන දවසට කලිං ඇවිත් මට කියහල්ල හරිය. මං රැ වැඩ කරන එකාට කියල තියන්නං. කිසි දේකට බයවෙන්නෙපා. කළුමහත්තයා ඒ වෙලාවට නෑ. ඒක ෂුවර් හරිය... හැබැයි රජෝ වැහි දවසට පරිස්සමෙං හරිය. ඩිංග එහෙට්ට මෙහෙට්ට උනොත් කෙළවෙනව හරිය... ඒ වගේ ම මේ ගැන කටේ කෙළ බිංදුවක් බිම දාන්නෑ හරිය... හරි... දැං බැහැපල්ල. අදට විතරක් මං බලං ඉන්නං...’’
‘‘හරි කරුණෙ... කොහොමටත් කරුණෙ අපි වැහි දාට නමයයි තිහ බලන්න යන්නෑ. එහෙව් දවසට පේමන්ට් එකේ බුදියන්නත් බෑනෙ... එහෙව් දොහට ඉතිං මොක හරි උප්පරවැට්ටියක් දාල හයයි තිහම තමයි බලන්නෙ...’’
‘‘ඒකත් හැබෑව... වැස්සෙ කොහොමෙයි පේමන්ට් එකේ බුදියන්නෙ...’’
කාරණාව වටහා ගත්ත කරුණාදාස උත්තර දුන්නෙ එහෙමයි.
කරුණාදාසගෙ උපදෙස් පරිදි ම අපි දෙන්න කොහොමහරි අපේ තැනට ආවා.
‘‘ඒක මරුනෙ යසේ... හරියට ඉංග්ලිෂ් ෆිල්ම් එහෙක වගේ නෙ. අඩේ... කරුණෙ කොහොමෙයි දන්නෑ මේ විදියට එන්න ඇහැකිය කියල දන්නෙ නේද...?’’
සුසන්ත වතුර ටැංකි බැම්මෙන් බිමට පැනපු ගමන් අහපු දේ ගැන මට මතක් වුනෙත් ඒ වෙලාවෙ. දැං කොහොමටත් ඒ ගැන හොයල වැඩක් නැහැ නෙ.
‘‘අපිට ඒකෙං වැඩක් නෑනෙ බං... කොහොමින් කොහොම හරි අපිට ෂපාන් එකේ ඇතුළෙම බුදියගන්න ලැබුණනෙ. දැං ඒ කොහොමෙයි කියල ආයි කරුණෙගෙං අහන්න ඕනෙ නෑ මචං...’’
මම සුසන්තට එහෙම යෝජනා කරේ කරුණාදාස අපි ගැන වැරදි විදියට හිතයි කියල. ඒ හිංද ම අපි ආයෙ ඒ ගැන හාරවුස්සන්න ගියේ නෑ. හැබැයි එදා ඉඳල නමයයි තිහ බලපු හැම දවසක ම අපි කඩේ ඇතුළට ආවෙ ඒ විදියට ම යි. ඒක දැනගෙන හිටියෙ මමයි, සුසන්තයි, කරුණාදාසයි කාමර කුලියට දෙන තට්ටුවෙ කැෂියර් එකේ රෑට ඉන්න කෙනයි විතරයි.
* * *
විජේසිංහ අයිය ආයෙත් වැඩට ආවෙ දවස් දහයකට විතර පස්සෙ. ඒ කාලය අතතුර සුසන්ත නිදාගත්තෙත් මම නිදාගන්න තැන ම යි. විජේසිංහ අයිය ආවට පස්සෙත් මම වේටර් වැඩ කරත් නිදාගත්තෙ පළවෙනි තට්ටුවෙ කුස්සියෙ වැඩකරන අය නිදාගන්න කොටසෙ ම යි. සුසන්තත් නිදාගත්තෙ මාත් එක්ක ම යි. මොකද විජේසිංහ අයිය කසාද බැන්දට පස්සෙ කඩේ නතර වුණේ නෑ. එයා ඊට පස්සෙ පදිංචි වුණේ ගාල්ලෙ දංගෙදර. ඒ නිසා එයා බයිසිකලයකින් ආව ගියා. කඩේ අරින වෙලාව වෙද්දි එයා ආවා. එයා එන වෙලාව වෙද්දි ගනේෂ්, ගුණසේකර දෙන්නා ඉතිරි වැඩ ටික ඉවර කරල තිබුණා. විජේසිංහ අයියට තිබුණෙ උදේ කෑමට හදන: මස්, මාළු, හාල්මැස්සො, පරිප්පු, අල... ඒ වගේ ම තම්බපු බිත්තරවලට හදන කිරිහොද්දට තුන පහේ දාල ඒදන එක විතරයි. ලිප් හතරක් ම තිබුණ නිසා උදේ හය වෙද්දි මේ හැම හොද්දක් ම කිසිම ප්‍රමාදයක් නැතුව තැටිවලට පිරවිලා කෑම පැන්ට්‍රියට ගියා. ඊට පස්සෙ තමයි දවල් කැම උයන්න පටන් ගන්නෙ.
සුසන්ත ප්‍රදීප්
එතනින් පස්සෙ යසසිරි නොකියයි කියල හිතෙන කොටසක් මම කියන්නම්. එදා යසසිරියි මායි ‘හරි පුදුමයි’ චිත්‍රපටිය බලන්න ගිය දවසෙන් පස්සෙ මමයි යසසිරියි අඹ යාළුවො වුණා. ඒ යාළුකම කොච්චර ද කියනවා නම් යසසිරි වේටර් වැඩ කරත් කන්න ආවෙ කුස්සියට. කුස්සියෙ බාස්උන්නහැහේ වගේ ම අනික් දෙන්නත් ඒකට විරුද්ධ වුණේ නෑ. දැන් ඒ තුන්දෙනා ම මාත් එක්ක හරිම හිතවත්. මටත් පුළුවන් වෙලාවට මම කුස්සියටත් උදවු කරනවා. ඒ කියන්නෙ පොල් ගාල දෙනවා, පොල් මිරිකලා දෙනවා, හදිසියක් උනොත් ලොකු කල්දේරම් හෝදලා දෙනවා. ඒ නිසා මට කුස්සිය මගේ ම තැනක් වගේ වුණා. බාස්උන්නැහෙත් යසසිරිට මොනවා හරි අරන් තියනවා නම්... ඒ කියන්නෙ බැදපු මාළු, මස් ඉස්ටු වගේ දේවල්... ඒ හැම එකකින් ම කැල්ලක් මටත් අරන් තියල තිබුණා. ඒ නිසා ම තමයි මමත් යසසිරි කන්න එන වෙලාව ම බලල කෑමට යන්නෙ. අපි දෙන්නා තියෙන හැම දෙයක් ම බෙදාගෙන කැවා.
මේ විදියට ටික කාලයක් යද්දි හෝටලේ වැඩ කරන අය මටයි යසසිරිටයි ඇනුම් පද කියන්නත් පටන් ගත්තා. හරියට ගෑනියි මිනිහයි වගේ කියල. ඇත්තට ම අපි දෙන්න ම පිරිමි වුණාට අපි දෙන්නා අපි දෙන්නට ළං වෙලා හිටියෙ ගෑනියෙකුයි පිරිමියෙකුයි වගේ තමයි. හැබැයි ගෑනි කවුද පිරිමියා කවුද කියල වෙනසක් නෑ. අපේ හැම දෙයක් ම... ඔවු හැම දෙයක් ම අපි දෙන්න හුවමාරු කරගත්තා. ඒක කෑම ද, බීම ද, ඇඳුම් පැලදුම් ද, මානසික සතුට ද කායික සතුට ද කියල වෙනසක් තිබුණෙ නෑ.
යසසිරි මේ හෝටලයට ආපු දවස්වල ම වගේ පාලිතත් එක්ක ඇති කරගෙන තිබුණ ප්‍රශ්නෙ නිසා මම නම් කවදාවත් හිතුවෙ නෑ මේ වෙද්දි අපි දෙන්නා ඉන්න තත්ත්වයට එයා කවදාවත් ඒවි කියල. නමුත් මොකක්දෝ හේතුවකට දැන් යසසිරි මගේ; මම යසසිරිගෙ. ඒක බලාගෙන ඉන්න බැරි අය විවිධ කේලාම් කියල අපි දෙන්නව කොටවන්න හැදුවා. ඒ විතරක් නෙවෙයි අපි දෙන්නගෙ ම රස්සාව නැති කරන්න උත්සාහ කරා. ඒත් ඒ කිසිම කෙනෙකුට අපි අතරෙ තිබුණ බැඳීම නතර කරන්න බැරි වුණා.
හැබැයි මේ ලෝකෙ තියෙන හැම දෙයක් ම අනිත්‍යයි කියනවා වගේ අපි දෙන්නා ම නොසිතපු වෙලාවක අපි දෙන්නා අතරට තුන්වෙනියෙක්... තුන්වෙනියෙක් නෙවෙයි ඇත්තට ම තුන්වැන්නියක් කඩා පැන්නයි කිව්වොත් වැරදි නෑ. ඒක කොහොමද වුණේ...? ඒ සිද්ධියට කලින් වගේ ම ඒ සිද්ධියෙන් පස්සෙ මොනවද වුණේ කියල යසසිරි ම කියාවි. මටත් කියන්න යමක් තිබුනොත් මම ඒ දේවල් ටික කියන්නම්.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/03/01
අපලෝකන - පසුගිය කොටස්