ජෙසිකා අක්කලා ගියාට පස්සෙ මම හැම වෙලාවෙ ම කල්පනා කරේ මේ ගැන සුසන්තට කියන්නෙ මොනව ද කියල.
කොහොම වුනත් එයාට නොකියා යන්නත් බෑ; කියන්නත් බෑ.
‘කමක් නෑ... රෑට හිමීට සුසන්තට කියනවා. එයා දන්නවනෙ මං කොහොමටත් ඒ ගෑනු එක්ක බුදියන්නෙ නෑ කියල...’
මම එහෙම හිතල හිත හදාගත්තා.
* * *
සුසන්තත් එක්ක ගනුදෙනුව බේරගන්න මම හිතපු තරම් අපහසු වුණේ නෑ. ඒකට ප්‍රධාන ම හේතුව සුසුන්තට මාව විශ්වාසවන්ත වීම. එයා දන්නවා මම කොහොමටත් ඒ ගෑනුත් එක්ක බුදියගන්න යන්නෙ නෑ කියල. ඒ වගේ ම මටත් මම ගැන විශ්වාසයක් තිබුණා. ඒ, ඒ ගෑනු හතරදෙනා විතරක් නෙවෙයි... කවදාවත්, මොනම හේතුවක් නිසා හෝ එහෙම ගෑනු එක්ක නිදාගන්නෙ නෑ කියල. හැබැයි එයාල මගේ හොඳ මිතුරියෝ. ඒ මිතුරුකම මිතුරුකමක් විදියට ම රැක ගන්න ඕන කියන අදහස මගේ හිතේ තිබුණා. මොකද ඒ මිත්‍රත්වය හරිම සුන්දරයි. හැබැයි ඒ මිත්‍රත්වය තේරුම් ගන්න හුඟ දෙනෙක් අපොහොසත් වුණා. මාත් ඒ ගෑනු හතර දෙනත් අතර තිබුණු මිත්‍රත්වය හරියට ම තේරුම් ගත්තෙ බතික් අංකල් විතරයි. සුසන්ත වුනත් කලින් හිතාගෙන හිටියෙ වෙනත් විදියකට. නමුත් අපි දෙන්න අතර ගොඩනැගුණ සම්බන්ධයත් එක්ක ම සුසන්ත ඇත්ත වටහා ගත්තා. අනික් අය මූණට මොනවත් නොකිව්වට මම නැති තැන්වල විවිධ කතා කියන බව මට ඒ වෙද්දිත් ආරංචි වෙලා තිබුණා. ඒත් මම ඒ කිසිම දෙයක් මායිම් කරේ නෑ. මොකද මම නිවැරැදියි කියල මම දන්නවා.
* * *
ඊයෙ ඒ හතර දෙනා ආවෙ නෑ. හැබැයි අද සුපුරුදු විදියට ම ඒ හතරදෙනා තේ බොන්න කඩේට ආවා. එතනදි කතා කරගත්තු විදියට අද රැ අට වෙද්දි මම කොටුවට ඇතුළු වෙන තැනට යන්න ඕනෙ. ඒ වෙද්දි හතරදෙනාගෙන් කවුරු ම හරි එනවා මම එක්කරගෙන යන්න. හතර දෙනා කිව්වට මට හොඳට ම විශ්වාසයි මාව එක්කරගෙන යන්න විනීතා නම් එන්නෙ නෑ කියල. මොකද එයා තවමත් හිතන්නෙ ජෙසිකා අක්කා මාත් එක්ක පවත්වන්නෙ වෙනත් සම්බන්ධයක් කියල. සමහර විට අපිට පෙන්නන්නෙ නැති වුනාට එයා මාත් එක්ක තරහෙන් ඉන්නවත් වෙන්න පුළුවන්. ඒකට නිශ්චිත හේතුව මොකක්ද කියල නම් මට කියන්න බෑ.
උදේ කතා වුණ විදියට මම හරියට ම රෑ අට වෙද්දි කොටුවට ඇතුළු වෙන තැනට ගියා. මම එතනට යද්දි ම මගේ ඉස්සරහට ආවෙ කමලනී.
ලයිට් එළියෙන් වුනත් එයා දැකපු මට පුදුමත් හිතුණා. මොකද එයා ඇදගෙන හිටියෙ වෙනදා වගේ ගවුමක් හරි ස්කර්ට් එකකුයි බ්ලව්ස් එකකුයි හරි නෙවෙයි. එයා ඇදගෙන හිටියෙ ක්‍රිම් පාටට හුරු දිග බෙල්බොටම් කලිසමක්. ඒ කලිසමට ම ගැළපෙන ළා නිල් පාට ටී ෂර්ට් එකක්. ඒ ඇඳුමට කමලනී වෙනදටත් වඩා ලස්සනයි; ලස්සනයි කියනවට වඩා හැඩයි කිව්වොත් හරි. මොකද ඒ ටි ෂර්ට් එකයි කලිසමයි එයාගෙ ඇඟපතේ හැඩය හොඳට මතු කරල තිබුණා. ගෑනු දිග කලිසම්, ටී ෂර්ට් ඇඳල පාරෙ තොටේ යනව මම ඕනවටත් වැඩිය දැකල තියෙනවා; විශේෂයෙන් ම ගාල්ලට ආවට පස්සෙ. හැබැයි මේ හතර දෙනාගෙන් කවුරුවත් මෙච්චර කාලෙකට දිග කලිසම ඇඳල ඉන්නවා මම දැකල තිබුණෙ නෑ.
ඒ නිසා මම එහෙම දෙයක් දකින්න කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ.
‘‘කමලක්කෙ...!’’
මම එහෙම අහද්දි ඒ තනි වචනයේ තිබුණු වෙනස් ස්වරුපය මට දැනුණෙ නැති වුනාට කමලනී ඒක අඳුරා ගත්තා.
‘‘ඇයි... පුදුමෙයි... ඉතුවෙ නේ නේද මං මේම හම්බුවෙයි කියල...?’’
ඒ මොහොතෙ මට ලජ්ජාවක් ඇති වුණා කියල කියන්න මම ලජ්ජා වෙන්නෙ නෑ. මොකද එහෙම කිව්වට වැඩක් නෑ. ඒ, මම ලජ්ජා වුණා කියල කමලනී ඒ මොහොතෙ ම දැනගත්තු නිසා.
‘‘හැබෑට ම ඔවු අක්කෙ... අක්ක... මං මේ අක්ක කන්ගස්සන්න (රවට්ටන්න) කියනව නෙවෙයි... අක්ක වෙනදට වඩා යහමින් (හුඟක්) හැඩයි... අම්මපා...’’
මම එහෙම කියපු ගමන් ම මූණෙ හිනාවක් පුරවා ගත්තු කමලනී කොටුව පැත්තට හැරෙන ගමන් ම ‘‘ආ... එත්තෙයි... ඒ කීන්නෙ මෙයිට කලිං මං ලස්සන නේ... එහෙමෙයි,’’
අක්කා එහෙම ඇහුවෙ අමනාපයකින් නෙවෙයි කියල මං දන්න නිසා ම ‘‘නෑ නෑ... මං කියන්නෙ එහෙම නෙවෙයි... වෙනද වඩා හැඩයි කියල... ඒ කියන්නේ...’’
මට කියන්න ලැබුණෙ ඒ වචන ටික විතරයි. කමලනී මගේ පිටට තට්ටුවක් දාල ‘‘ෂරි ෂරි... මං දන්නවා... යෙසේ කීන්න හදන්නෙ මං වෙනදට වඩා ඇඩයි කීලනේ... ෂරි ෂරි... යේක එත්ත වෙන් පුළුහං... කෝමටත් යෙසේ මල්ලි එම්ම දාම දක්කින්න විද්දියට්ට වඩා වෙන්නස් විද්දියකට දකිද්දි ඒම තමා... ඔයැයිගෙ වචන ටිකට රොම්බ තැන්ක්ස් යෙසේ...’’
කැඩිච්ච සිංහලෙන් කමලනී මට ස්තුති කළේ මූනිච්චාවට නෙවෙයි. ඒ ස්තුතිය කළේ ඇත්තට ම. ඒ වගේ ම මම කමලනීට එහෙම කිව්වෙත් ඇත්තට ම යි.
මම හිතුවෙ කොටුවට ඇතුළු වෙලා පොඩ්ඩක් ඉස්සරහට ගියපු ගමන් ම ඔරලෝසු කණුව පැත්තට නගිවි කියල. නමුත් එහෙම වුණේ නෑ. පාර දෙකට බෙදෙන තැනින් කමලනී හැරුණෙ වමට. මෙහාට ආවට පස්සෙ ම මම තවම ඒ පැත්තට ගිහින් නෑ.
‘‘කමලක්කෙ... කොයි මේ පැත්තෙ යන්නෙ...?’’
‘‘එයි පයයි ද... පය වෙන්නෙපා... අද ඔයැයි එක්කරගෙන යන්නෙ ලයිට් අවුස් එක ගාවට. අරයලත් එතන ඉන්නවා. යං...’’
කමලනී එහෙම කිව්වට පස්සෙ මට ඉබේට ම වගේ උඩ බැලුණා. ඒ, ලයිට් හවුස් එකේ එළිය එක පාරට ම ඇවිත් නැති වෙලා යන එක බලන්න.
‘‘එයි යෙසේ උඩ බලනවා...?’’
‘‘නෑ අක්කෙ... මං බැලුවෙ ලයිට් හවුස් එකේ එළිය පේනව ද කියල...’’
‘‘ආ... යේක මෙතනට පේනවා අඩුයි යෙසේ... මොකද අපි ඉන්නෙ ඒක ළඟම නේ... අනිත්තෙක තවම එම තෙන ම ලයිට් දාලනේ... ලයිට් එළිය අඩු උනාම තමා හොද්දට පේනවා...’’
කතා කරන අතරතුර ම කමලනී පාරවල් කීපයකින් ම හැරි හැරී යද්දි මම ගියේ ම ලයිට්හවුස් එක තියන පැත්ත බලාගෙන. මෙන්න දන්නෙ ම නැතුව ලයිට් හවුස් එක ඉස්සරහට ම ඇවිල්ල.
‘‘දෙක්ක නේද... ඔන්න ඔය ලයිට් අවුස් එක. තව ටිකාක් එහාට වෙන්න තමයි එපේ කට්ටිය ඉන්නෙ. යං,’’ කියපු කමලනි මගේ අතින් අල්ලගෙන පොඩි පඩි පෙළක් දිගේ උඩට නැග්ගා.
‘‘කෝම ද ලෂ්ෂණයි ද...’’ කමලනී එහෙම අහද්දිත් මම හිටියෙ විශ්මයට පත්වෙලා. අපි හිටියෙ ලයිට් හවුස් එක පාමුල. පාමුල කිව්වට ටිකක් දුරින්. ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් ආපු දවසෙ මෙතන මෙච්චර ලස්සනට පෙනණෙ නෑ. සමහර විට ඒ දවල් නිසා වෙන්න ඇති. කොහොම වුනත් මෙතනට ඈත මුහුදු ලස්සනට පේනවා. මූදෙ තැන් තැන්වල පොඩි පොඩි එළිත් පේනවා. ඒවා නම් නැව්වල සහ මූදු ගිය ඔරු බෝට්ටුවල කියල දන්නවා. ඒ ලස්සනට වශී වෙච්ච මම ඉස්සරහට ම ඇවිදගෙන ගියා. එතකොට එක පාරට ම ‘‘යෙසේ යෙන්නෙපා යෙන්නෙපා...’’ කියල කමලනී කෑ ගහද්දි මම එක පාරට ම නතර වුණා. දෙයියනේ...!! මම කොටු බැම්ම අයිනට ම ඇවිල්ල. තව අඩි හතරක් පහක් ඉස්සරහට ගියා නම් මම පහළට වැටෙනවා; පහළ කියන්නෙ මට හිතෙන විදියට අඩි තිහ හතළිහක් විතර ඇති. එහෙම වුණානම් ඔයාලට මේ කතාව කියන්න මම ඉතුරු වෙන එකක් නෑ.
‘‘ඔයැයිට පිස්සුද යෙසේ... තව ඩිංගෙන් ඉවරයිනේ... ආන්ඩවනේ මුරුගා...! මේ පලාන්න යෙසේ මගේ පපුව තාමත් ගෙහෙනවා,’’ කියන ගමන්න කමලනී මගේ අත අරගෙන එයාගෙ පපුවෙන් තියාගත්තා. ඒ මොහොතෙ මට වුනත් කිසිම නරක හැඟීමක් පහළ වුණේ නෑ. ඇත්තට ම මට දැනුණෙ ‘ඩිග්... ඩිග්... ගගා කමලනීගෙ පපුව වේගයෙන් ගැහෙන රිද්මය විතරයි.
‘‘යං යං... කට්ටිය අර පෙත්තෙ තමා ඉන්නවා... මේ... මේම දෙයක් උණා කියල ඒම කියන්නෙපා ඔඳේ... මට බැණුම් තමා අහන්න වෙනවා... ඕනෙම නං පස්සෙ දවසක කීන්න. අද නම් කීන්න යෙපා ඔඳද...’’
කමලනී ඒ ඉල්ලීම කළේ හුඟාක් බැගෑපත් විදියට. මම හිතන්නෙ එයාට ජෙසිකාගෙන් වගේ ම අනිත් අයගෙන් බැණුම් අහන්න වෙයි කියල වෙන්න ඇති. ජීවිතේ ලබපු බියකරු අත්දැකීමක් කවුරු හරි එක්ක කියන්න මිනිස්සු හරි කැමතියි නෙ. ඒ වුනාට කමලනීගෙ ඉල්ලීමට එකඟ වෙලා මං ඒ ආසාව අත්හැරගත්තා. ඊට පස්සෙ කමලනී ‘‘යෙසේ ඔයැයි මේ පෙත්තට එන්න,’’ කියල මගේ අතින් ඇදල එයාගෙ දකුණු අත පැත්තට මාව අරගෙන එයා මුහුද තියෙන පැත්තෙන් ඉස්සරහට ගියා. ඒ අතර එයා මගේ අතින් අල්ලගෙන හිටියෙ දගකාර මල්ලි කෙනෙකුගෙ අතින් අල්ලගෙන එක්කරගෙන යනව වගේ. මමත් එයා එක්ක ම ඉස්සරහට ගියේ එයා යන පැත්ත නොබලා ඉස්සරහම බලාගෙන. එහෙම ගියත් ඈතින් පේන්නෙ මුහුද. ඒත් දැන් මගේ දෙපා මට අකීකරු වෙන එකක් නෑ කියල මට විශ්වාසයක් තිබුණ. මොකද කමලනී මගේ අතින් අල්ලගෙන හිටපු නිසා.
මුළු කොටු බැම්ම පුරාම පැතිරිලා තිබුණෙ අඩ අඳුරක්. ඒ අඩ අදුරට ඈතින් යන එන පුද්ගලයො හරියට ම අඳුරගන්න බෑ. පහළින් තියෙන පාරවල්වලට ලයිට් එළිය වැටිල තිබුණත් ඒවයෙ එහාට මෙහාට යන මිනිස්සු වුනත් හරියට ම අඳුර ගන්න බෑ. හරිම අපැහැදිලියි. වාහන එහා මෙහා ගියෙත් හරිම අඩුවෙන්. ඔය අතර කමලනී එක පාරට ම මගේ අත අතඇරියා. එයා මගේ අතින් අල්ලගෙන ඉන්නව කියල මට මතක් වුනෙත් ඒ වෙලාවෙ.
‘‘යං... අතන තමා කට්ටිය ඉන්නවා. අනේ යෙසේ... අර ගෙන මොකවත් ම කීන්න එපා ඔඳේ... පරක්කු මොකෝ කීල ඇහැව්වොත් ඔයැයි එන්න පරක්කු උනා කීන්න. ෂරී...’’
‘‘හරි හරි අක්කෙ... ඔහේ ඒ ගැන ඇබින්දක්කත් බය වෙන්නෙපා,’’ කියල කියපු මම කමලනීගෙ පස්සෙන් ඉස්සරහට ගියා.
‘‘ආ... ඔය එන්නෙ ජෝඩුව... මොකෝ බං මෙච්චර සුනංගු... එන ගමං බිං ගේකටවත් රිංගුව ද...?’’
රූපෙ කාගෙද කියල හරියට ම අඳුර ගන්න බැරි වුනාට ඒ කට හඬ විනීතාගෙ කියල මට හොඳට ම විශ්වාසයි. අනික ඔය වගේ නොසණ්ඩාල කතාවක් කියන්න ඉන්නෙත් ඒකි විතරයි කියලත් මම දන්නවා.
‘‘ආන්ඩවනේ මුරුගා...! මොකද අප්පා කෙත කතා කීනවා... යෙසේ තමා පරක්කු උණා...’’ කියල කියන ගමන් ම කමලනී, බිම එළලා තිබුණු රෙද්දක් හරි පැදුරක් හරි අයිනකින් වාඩි වුණා. ඒ වෙද්දි ජෙසිකා, විනීතා එක්කම රමණිත් ඒ රෙද්ද වටේට වාඩිවෙලා හිටියා. මම මෙහෙම කියන්නෙ ඒ අය හරියට ම අඳුරගෙන එහෙම නෙවෙයි; අනුමානෙට. මොකද අවට පැතිරිලා තියෙන්නෙ එළියත් නැති, කළුවරත් නැති බාගෙට කළුවර, බාගෙට එළිය තියෙන පරිසරයක්. කමලනී වගේ ම ඒ තුන්දෙනාත් ඇඳල ඉන්නෙ බෙල්බොටම් වර්ගයේ දිගකලිසම් සහ ටී ෂර්ට් බව අඩ අඳුරෙ වුනත් මට පෙනුණා. ඒත් එයාල දැකපු ගමන් ම මට හිතුණෙ ඒක මායාවක් කියල. නෑ... ඒක මායාවක් නෙවෙයි. එයාල හැමෝ ම බෙල්බොටම් කලිසමයි ටි ෂර්ට් එකයි ඇඳල හිටියෙ කතා කරගෙන වගේ. මම කමලනී ඉස්සරහ පුදුම වුණාට දැන් නම් පුදුම උණ බවක් එයාලට ඇඟෙව්වෙ නෑ.
‘‘උඹ මේකි කියන එව්ව මායිං කොරන්නෙපා... දන්නවනෙ මේකිගෙ හැටි... සමහර විට මේකිට ඉරිසියා ඇති උඹ යසෙත් එක්ක ආපු එකට...’’
ඒ කට හඩ ජෙසිකා අක්කගෙ කියල සැක හිතන්න දෙයක් තිබුණෙ නෑ. ඒ එක්ක ම ආයෙත් අඩ අඳුර අතරින් විනීතාගෙ කටහඬ මතු වුණා.
‘‘අනෙහ්... වැඩේමයි...’’
‘‘හරි හරි... දැං එව්වයිං වැඩක් නෑ... කෝහ්... බඩු ටික ගනිං... අරගෙන මෙන්න මෙහෙං තියහල්ලා.’’
ඒ අණ ලැබුණෙ ජෙසිකා අක්කගෙන්. අණ නියම කරල ඉවර වෙන්නත් කලිං විනීතාගෙ කට හඬ ආපු පැත්තෙ ඉඳල බිම එළල තිබුණ රෙද්ද උඩට කැට කූඩයක් (වේවැල්වලින් නිම කළ, පියනක් සහිත කූඩයක්) ආවෙ නිකං උඩින් පාත් වුණා වගේ. ඒ කැට කුඩය ඇතුළෙන් බෝතල්, වීදුරු ගැටෙනවා වගේ ශබ්දයකුත් මතු වුණා.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/03/15
අපලෝකන - පසුගිය කොටස්