‘‘හරි හරි... දැං එව්වයිං වැඩක් නෑ... කෝහ්... බඩු ටික ගනිං... අරගෙන මෙන්න මෙහෙං තියහල්ලා.’’
ඒ අණ ලැබුණෙ ජෙසිකා අක්කගෙන්. අණ නියම කරල ඉවර වෙන්නත් කලිං විනීතාගෙ කට හඬ ආපු පැත්තෙ ඉඳල බිම එළල තිබුණ රෙද්ද උඩට කැට කූඩයක් (වේවැල්වලින් නිම කළ, පියනක් සහිත කූඩයක්) ආවෙ නිකං උඩින් පාත් වුණා වගේ. ඒ කැට කුඩය ඇතුළෙන් බෝතල්, වීදුරු ගැටෙනවා වගේ ශබ්දයකුත් මතු වුණා.
දැන් එක එක්කෙනා කැටකූඩයේ තියෙන දේවල් එකින් එක අරගෙන බිම එළල තියෙන රෙද්ද උඩින් තියනවා. මම හිතුවට වඩා හුඟක් දේවල් ඒ කැටකූඩය ඇතුළෙ තිබුණා. ඉස්සරවෙලා ම කමලනී එළියට ගත්තෙ පුංචි වීදුරු භාජනයක්. ඒ වගේ විදුරු භාජන ඔක්කොම තුනක් එළියට ගත්තා. ඒවා ඇතුළෙ තියෙන්නෙ මොනවද කියල පැහැදිලි නෑ.
ඊළඟට එළියට ගත්තෙ අසෝක වීදුරු පහක්. අසෝක වීදුරු එළියට ගද්දි ම මට කාරණය පැහැදිලි වුණා. ඒත් එතන වීදුරු පහක් තියෙන්නෙ ඇයි කියල මම මගෙන් ම ඇහුවා. එතකොට මගේ හිත කිව්වෙ ‘උන් හිතාගෙන ඇත්තෙ උඹත් බොනව කියල. ඒකයි විදුරු පහක් තියෙන්නෙ.’ කියල. ‘ආපෝ... මං බොන්නෑ...’ මම, මට ම කියාගත්තා.
ඔන්න ඊගාවට එළියට ගත්තෙ අලියා සෝඩ බෝතල් තුනක්. මම සොඩා බොන්න නම් කැමතියි. ඒත් මම තවම සද්ද නැතුව මේ දිහා බලාගෙන ඉන්නවා මිසක ‘හම්ම්ම්’ නෑ. අන්තිමට තමයි තේ කහට පාටට වඩා ටිකක් විතර ළා පාට මොනවද බීම වර්ගයක් තියෙන බෝතලයකුත් එළියට ගත්තෙ. මම අරක්කු බීල නැති වුනාට තාත්ත ඒ කාලෙ අරක්කු විකුණපු නිසා මට ඒ බෝතල් වර්ගය හොඳට හුරුයි. ඒත් මම සද්ද නැතුව ඒ දිහා බලාගෙන ම හිටියා. මට පුදුමත් හිතුණා. මොකද ගෑනු අරක්කු බොනව කියල අහල තිබුණා; පිචර්වලත් දැකල තිබුණා. ඒ වුනාට එහෙම සිද්දියක් හැබැහින් ම දකින්නෙ මේ දැන් නිසා. මගේ කල්පනාව අතරෙ ඉස්සරවෙලා ම කතා කළේ කමලනී.
‘‘මොක්කද යෙසේ කතා නෙත්තෙ... ෂරි පුදුමයි වගේ ද...?’’
ඒ ප්‍රශ්නයට උත්තර දුන්නෙ කටකාරි; විනීතා.
‘‘මොනවට පුදුම වෙන්න ද බං.... ඇයි... උඹ මීට කලිං ගෑනු අරක්කු බොනව දැකල නැද්ද බං...?’’
විනීතා එහෙම ඇහුවෙ මගෙන් කියල මට නිනව්වක් තිබුණෙ නෑ. මම බලාගෙන හිටියෙ ඒ අතර රමණී කරන වැඩේ. ඒ වෙද්දි අසෝක වීදුරු පහ රෙද්ද උඩ හිටගෙන හිටියෙ ‘අපිට දැං මොකද වෙන්නෙ...?’ කියල හිත හිතා වෙන්න ඇති. ඔන්න රමණී අරක්කු බෝතලේ මුඩිය ගලවලා ඒකෙ තියෙන අරක්කු පොඩ්ඩ පොඩ්ඩ අසෝක වීදුරුවලට වත්කරන්න පටන් ගත්තා. විදුරු හතරකට වත්කරල ඉවර වෙනවත් එක්ක ම එච්චර වෙලා සද්ද නැතුව බලාගෙන හිටපු මගේ කටින් වචන පිට වෙන්න පටන් ගත්තා.
‘‘රමණි අක්කෙ... ඔය විදුරුවට දාන්නෙපා...’’
මම එහෙම කියනවත් එක්ක ම හතර දෙනා ම මගේ දිහා බැලුවෙ හරියට කවුරු හරි පනවපු අණක් පිළිපදිනව වගේ. ඒ අතරින් පාවෙලා ආවෙ ජෙසිකා අක්කගෙ කට හඬ.
‘‘ඇයි මල්ලියෙ... උඹ බොන්නැද්ද...?’’
කතා කරනවා වෙනුවට මම කරේ ඔළුව දෙපැත්තට වනපු එක.
‘‘උඹ කවදාවත් බීල නැද්ද...?’’
එහෙම ඇහුවෙ කටකාර විනීතා. ඒ අතර තුර රමණී අර භාජන තුනත් ඇරියා. ඒ භාජනවලින් ආපු සුවඳ ඒවායේ තියෙන්නෙ මොනවද කියල ඉඟි කරා. නමුත් ඒ සුවඳ විඳින්න තරම් සන්සුන් මනසක් මට ඒ වෙලාවෙ තිබුණෙ නෑ. ඇයි... දැන් මේ හතර දෙනා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන නෙ...
‘‘නෑ අක්කෙ...’’
මම එහෙම කිව්වෙ බිම බලාගෙන; ලජ්ජාවෙන් වගේ.
‘‘ඈ යකෝ... එහෙනං උඹ ගමේ ඉද්දි අඩුම ගානෙ රා ඩිංගිත්තක්වත් බිල නැද්ද...’’
‘‘රා නං බිල තියෙනව...’’
මම එහෙම කියද්දි මගේ හිතේ තිබුණ ලජ්ජාව ඇබින්දක් විතර නැතිවෙලා කියල මට දැනුණා. හැබැයි ඒ සතුට රැඳුණෙත් ඇබින්දක් වෙලා විතරයි
‘‘ඒ කියන්නෙ උඹ කොල්ලොත් එක්ක රා ගුබ්බැයංවලට රිංගලා තියෙනව... එහෙනං අද ඉතිං ඩබල් අරක්කු ටිකක් බිපං...’’
අණ කරනව වගේ ඒ වචන පිට කරේ විනීතා අක්කගෙ කටින්. හැබැයි එයා හිතපු දේ වැරැදි නිසා මට ආයෙත් කට අරින්න වුණා.
‘‘නෑ නෑ අක්කෙ... මං එහෙම රා බොන්න ගිහිං නෑ...’’
මං ඒ වචන පිට කරේ වරදක් නොකරපු කෙනෙකුට චෝදනාවක් එල්ල වුනාම ‘නැ මම ඒක කරේ නෑ.’ කියල කියනව වගේ හැඟීමකින්.
‘‘එහෙනං මල්ලියෙ උඹ කොහොමෙයි රා බිව්වෙ...?’’
වෙනද වගේ ම ආදරෙන් කතා කරේ ජෙසිකා අක්කා.
‘‘ගෙදරදි අක්කෙ...’’
‘‘ගෙදර දි...!’’
ජෙසිකා අක්කා එහෙම ඇහුවෙ පුදුමයෙන් වගේ.
‘‘ඔවු අක්කෙ... තාත්ත එයැයිගෙ යාළුවොත්තෙක්ක සමහරක් දවසට ගෙදරදි රා බොනෝ. එහෙම දවසට මටත් ඩිංගිත්තක් දෙනව. දීල කියනව ‘ආහ්... මේ ඩිංග බීපං... බඩේ රුජාවට කියාපු බේත...’’ කියල. එතකොට තාත්තගෙ යාළුවොත් එහෙම්මම කියනව. ඉතිං මං ගුඩුස් ගාල බීල ඉක්මනට ම එතනින් දුවනවා.’’
මං එහෙම කිව්වම ජෙසිකා අක්ක නැතුව අනික් තුන් දෙනාම හිනා වුණේ මට සමච්චලයට වගේ. එයාලගෙ හිනාව දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජෙසිකා අක්ක එක පාරට ම ‘‘යකෝ... නවත්තතහල්ල ඔය සිරික්කිය... මොකෑ දැං තොපි හිනාවෙන්නෙ...?’’
තත්පර ගණනාවක් ගෙවෙන තුරු ම කවුරුවත් ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ. ඒ වෙද්දි ජෙසිකා අක්කගෙ අතේ හැර අනිත් තුන්දනාගෙම අතේ සිගරට් තිබුණා. ඒවත් ඔහේ පත්තුවෙවි තිබුණා මිසක තුන්දෙනා ම ඒවා කට ළගටවත් කිට්ටු කරේ නෑ. ආයෙත් කතා කරේ ජෙසිකා අක්කා.
‘‘මෙතන උඹලට හිනාවෙන්න තරං දෙයක් වෙලා නෑ. යසේගෙ තාත්ත නරකක් කරලත් නෑ. මට මතකයි අපේ තාත්තත් මං පුංචි සංදියෙ මට රා පොවල තියෙනවා. හැබැයි තාත්ත මට කියල නෑ උඹ හැමදාම රා බීපං කියල. ඇයි... උඹල කාගෙවත් තාත්තල උඹලට පුංචි සන්දියෙ රා බොන්න දීල නැද්ද...?’’
‘‘දීල තියෙනවා...’’
ඉස්සර වෙලා ම උත්තර දුන්නෙ රමණී. විනීතා මොනවද කියන්නෙ කියල බලන්න වගේ ජෙසිකා අක්ක එයාගෙ මූණ දිහා බලාගෙන හිටියා.
‘‘ඇයි මයි දිහා කන්න වගේ බලන්නෙ...? මට තාත්ත ඉතරක් නෙවෙයි අයියත් රා බොන්න දීල තියෙයි. මං හොරෙං බීලත් තියෙයි.’’
විනිතා එහෙම කියල ඉවර වෙන්නත් කලිං ජෙසිකා අක්ක ‘එහෙනං මොන කි***ට ද උඹල දැං හිනා වුණේ....? ඇයි කමල පුංචි සන්දියෙ රා බිල නැතෙයි...’’
මුල් වචන ටික ටිකක් සද්දෙන් අහපු ජෙසිකා අක්කා අන්තිම වචන ටික කමලනිගෙන් ඇහුවෙ ටිකක් හෙමිහිට.
‘‘අපෝ නේ අක්කෙ... බොන්න තියා අප්පල බොන කිට්ටුවක්වත් අප්පිට ඉන්ඩ දුන්නෑ අක්කෙ...’’
කමලනීගෙ උත්තරෙන් පස්සෙ නං ජෙසිකා අක්කට ටිකක් විතර කේන්ති ආවා.
‘‘එහෙනං උඹත් මෙවුං එක්ක ම එක පල්ලෙට හිනා වුණේ අහවල් කි***කටෙයි...?’’
මේ වෙද්දි ජෙසිකා අක්කත් සිගරට් එකක් පත්තු කරගෙන දුම් වළලු අහසට පා කරමිනුයි හිටියෙ. ඔය කතා බහ අතර තුර අරක්කුත් එක්ක සෝඩා කවලම් වෙනවත් වගේ ම ඒ වීදුරු හතර දෙනාගෙම කටවල් ගාවට යනවත් මම දැක්කා. හැබැයි මේ වෙද්දි කවුරුවත් ම සද්ද නෑ. ඒ විදියට විනාඩියක් විතර ගෙවිල ගියා. අපට ඇහුණෙ මූදෙ රළ බිඳෙන සද්දෙ විතරයි.
‘‘හරි හරි... උඹට අරක්කු නෙ බොන්න බැරි... උඹ සෝඩ බොනව නේද යසේ...’’
අවට පරිසරයේ තියෙන නිහඬතාව බිඳගෙන මතු වුණේ ජෙසිකා අක්කගෙ කට හඬ. මම වචන පිට නොකර ඔළුව ඉහළ පහළ වැනුවා. ඒ අතරෙ මම දැක්කා කමලනී වීදුරුවට සෝඩා වක්කරනවා. වීදුරුවෙන් තුන්කාලක් විතර සෝඩා පිරෙද්දි විනීතා කමලනීගෙ අතින් අල්ලනවත් මම දැක්කා. ඒ එක්ක ම අරක්කු බෝතලේ අතට ගත්තු විනීතා, කමලනී සෝඩා වක්කරපු විදුරුවට අරක්කු වක්කරන්න හැදුවා. ඒ එක්ක ම ඒ වීදුරව උඩ යනව වගේ මම දැක්කෙ. ඒකෙ තිබුණ සෝඩත් වැස්සක් වගේ බිම වැටුණා.
‘‘මොකද්ද හු**යෙ ඒ කරන්න හදපු අසමජ්ජාති වැඩේ...? තොට අන්දකයිප්පු කැවිලද...? මේ කොල්ලගෙ විදුරුවට අරක්කු දාන්න හදන්නෙ...?’’
ජෙසිකා අක්කා කෑ ගැහුවෙ යක්ෂණියක් වගේ. අපි හැමෝ ම එක පාරටම ගල් ගැහුණ වගේ වුණා.
‘‘නෑ අක්කෙ... මං මේ හැදුවෙ...’’
විනීතා බයාදු විදියට කියද්දි ජෙසිකා අක්කා ‘‘අනෙහ් මේ... මගෙන් ලුණු ඇඹුල් එක්ක අහගන්නැතුව සද්ද නොකර හිටහං. යකෝ... ඌ අරක්කු බොන්නැහ්නං නෑ... ඌට අරක්කු එපා නං එපා... අපි කාටවක්කත් බෑ උට බලෙං අරක්කු පොවන්න. තේරුනයි...?’’
‘‘ඉතිං... උඹට ඒකට ඔච්චර ඩෝං යන්නෝනද බං... මං හැදුවෙ...’’
විනීතාට කියන්න ලැබුනෙ ඒ වචන ටික විතරයි.
‘‘මං හැදුවෙ... මං හැදුවෙ මූට බොන්න පුරුදු කරන්න නෙහ්... යකෝ... අපි කාලකණ්ණි උණා කියල මේ පොඩි එවුන්වත් කාලකණ්ණි කරන්නෙපා. අනික මූ එහෙව් එකෙක් නෙවෙයි කියල තෝ හොඳාකාරව ම දන්නෝ නෙ... එහෙව් එකෙකුට නං අද මං එන්න කියනව ද... අපි මෙච්චර කාලෙකට මේ වගේ දවසකට පිරිමි පුලුටක් මෙතනට එක්කරගෙන ඇවිත් තියෙනව ද... කියහං... අපි හතර දෙනා දැං අවුරුදු ගාණක ඉඳං අවුරුද්දකට හතර සැරයක් මෙහෙම ජොලියක් ගන්නව නෙ... එහෙව් එක දවසක හරි අපි කවුරුවත් මෙතෙන්ට පිරිමියෙක් එක්කරගෙන ඇවිත් තියේද... කියහල්ලා... අපි කවුරුවත් ම එහෙව් දවසට පිරිමියෙක් එක්කරගෙන අවිත් තියේ ද...?’’
ආයෙත් කිසිම කෙනෙක් කිසිම වචනයක් කතා නොකර විනාඩියක් විතර ගෙවිල ගියා. ඒ නිහඬතාව බිඳල දැම්මෙ මෙච්චර වෙලා වැඩි කතා බහක් නැතුව සිද්දවෙච්ච දේවල් බලාගෙන හිටපු රමණි.
‘‘හරි හරි අක්කකෙ... දැං ඒ අලකලංචිය අහවරයි නෙ... අපි ආවෙ පොඩි ජොලියක් ගන්නනෙ.. යසේ මල්ලි බොන්නෙ නැහ්නං අපි එයැයිට බලෙං පොවන්න ඕනෙ නැහැ නෙ විනී... අක්ක කියනෙකෙත් ඇත්තක් තියෙනවනෙ... අපි මෙච්චර කාලෙකට අපේ බර්ත්දේ එක දවසට පිරිමි එක්කරගෙන ඇවිත් නෑ නෙ. අද යසේ මල්ලිට එන්න කියල අක්ක කියන්නැත්තෙ එයා ගැන මොකක් ම හරි පැහැදීමක් තියෙන හින්ද නෙ... අනේ මල්ලියෙ... අපිට සමා වෙයං. උඹ මේ දහ ජරාව බොන්නෙ නැහ්නං ඒකට මං මාර ම කැමතියි... හැබැයි උඹ හිතන්නෙපා අපිත් හැමදාම බොනව කියල. අපි බොන්නෙත් ඉඳල හිටල මෙහෙව් දොහකට විතරයි හරිය...’’
එකට කාගෙන බීගෙන ඉන්න මේ හතර දෙනා අතර මම නිසා ප්‍රශ්නයක් ඇතිවෙනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා මටත් හිතුණා මගේ අදහස කියන්න.
‘‘ඔය අක්කලා හතර දෙනාම මට සමාවෙන්න. මං මේ ඔයැයිල මැද්දැවට ඇවිත් ඔයැයලගෙ සතුට නැති කරා නේද...?’’
‘‘පිස්ෂුද යෙසේ... යෙප්පි ඒම හිතන්නේ... දෙං ඒක අමතක කරමු ෂරි...’’
කමලනී කැඩිච්ච සිංහලෙන් එහෙම කිව්වට පස්සෙ මෙච්චර වෙලා මුහුද දිහාවෙන් හමාගෙන ආපු හුළඟත් නතර වුණා. වැඩි කතා බහකින් තොරව වුනත් තව පැය දෙකක් විතර පහු වෙද්දි අරක්කු බෝතලේ ඉවර වුණා. සෝඩා බෝතල් තුන, භාජනවල තිබුණ: මස් කරිය, බැදපු මාළු වගේ ම තෙල් දාපු අලත් ඉවරෙට ම ඉවර වුණා. ඒ අතර රමණී, කමලනි වගේ ම ජෙසිකා අක්කත් පොඩි පොඩි සිංදු කෑලි කිව්වා. විනීතා මොකක් හරි හේතුවක් නිසා සිංදු කිව්වෙ නෑ. හැබැයි හැමෝමත් එක්ක අත්පුඩි ගැහුවා. සමහර විට එයා පසු තැවෙනවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් අපි හැමෝ ම එක්ක තරහෙන් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් දැන් එයාල හැමෝට ම වෙරි. ඒ වෙරිමරගාතෙ වුනත් ජෙසිකා අක්කා මාව අමතක කරේ නෑ.
‘‘යසේ... දැං උම්ඹ කොහොම්මෙයි කඩේට යන්නෙ... යන්න විද්දිහක් නෑ නේද... උම්බ යමං අප්පේ ගෙදර...?’’
එදා කඩේදි වගේ විනීතා කට කැඩිච්ච කතාවක් කියාවි කියල හිතුණත් එහෙම දෙයක් වුණේ නෑ. එයා ඒ වෙලාවෙ නම් හිටියෙ මොනවත් ම ඇහුණෙ නෑ වගේ. මේ වෙලාවෙ හැටියට කොහොමටත් මට ජෙසිකා අක්කලගෙ ගෙදර යන්න බෑ. ඒ වගේ ම පයිප්ප දිගේ බඩගාල තට්ටු උඩින් පැනල කඩේ ඇතුළට යන්න පුළුවන් කියල මෙයාලට කියන්නත් බෑ. ඒ නිසා මම බොරුවක් කිව්වා.
‘‘නෑ අක්කෙ... අක්කල කරදර වෙන්නෝන් නෑ... මට කඩේ අරිනකං කාමර දෙන කැල්ලෙ බුදියගන්න පුළුහං. ඒකෙ දවල්ට කැෂියර් එකේ ඉන්න කරුණෙ මට කියල තියෙන්නෙ පිචර් බලල ආපු දාට ඒ තට්ටුවෙ පිටිපස්සෙම තියෙන කාමරේ නිදාගන්න කියල. ඒ කාමරේ කාටවත් දෙන්නැහැල්ලු. ඒ නිසා මට එතන නිදාගත්තැහැකි.’’
මම කියපු බොරුව හැමෝ ම පිළිගත්තා. කොහොමත් රැ දොළහට කිට්ටු වෙද්දි අපි අපේ සාජ්ජෙ ඉවර කරා. අන්තිමට කොටුවෙ උමං දොරකඩ ගාවට එනකම් ම ඒ හතර දෙනා ම මාත් එක්ක ම ආවා. ඇවිත් අපි එකිනෙකාගෙන් වෙන් වෙන් කලිං ඒ හතර දෙනාම මගේ මුණ ඉම්ඹෙ තරඟෙට වගේ. මටත් දැනුණෙ සහෝදරාත්මක හැඟිමක් විතරයි. මං එතනින් පිටත් වෙන්න කලිං විනීතා කතා කරේ මම කිසිම විදියකින් නොහිතපු විදියට
‘‘යසේ... අරෝවක් හිතේ තියාගන්නෙපා හොඳේ...’’
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/03/22
අපලෝකන - පසුගිය කොටස්