එදා රෑ යසෙයි මමයි සුසන්තයි මුණ ගැහුණට පස්සෙ මම දවල්ට ටවුමට ආපු වෙලාවට හැව්ලොක් හෝටලේට ගිහින් යසේ හම්බ වෙලා ඔය ආ ගිය තොරතුරු ටිකක් කතා කරන එක පුරුද්දක් වුණා.
ඔය අතරෙ තමයි මම දවසක් යසේට යෝජනා කරේ මගේ කාමරේට යමු කියල. යසෙත් කැමති වුණා.
එදා බාර් එක වහපු දවසක්. යසෙයි මායි කලින් දවසෙ කතා කරගත්ත විදියට එයා හතරට ඕෆ් වෙලා මාත් එක්ක ම, මං නැවතිලා ඉන්න කාමරයට ආවා. කාමරයක් කිව්වට කාමරයක් ම නෙවෙයි. ඒකෙ කෑලි තුනක් තිබුණා. එක කෑල්ලක් කුස්සිය; ඒකෙ තමයි මම කන්න උයාගන්නෙයි කඩල තම්බන්නෙයි දෙක ම කරන්නෙ. නිදාගන්න තව කෑල්ලක් වෙන් කරගෙන තිබුණා. අනිත් කෑල්ලෙ තමයි... දැන් ඔන්න ඔහේල හිතයි ඒක තමයි සාලෙ කියල. නෑ අනේ... ඒ කෑල්ලෙ තමයි මගේ අඩුම තුඩුම ඔක්කොම දාල තිබුණෙ. හරියට ම කියනව නම් ස්ටෝරු කාමරයක් වගේ.
* * *
‘‘යෙසේ මල්ලි... ඕම්ම ඉන්න. මං ටක් ගාල වතුර ඩිංගක් ලිප තියන්නං...’’
‘පෙරුමාල්ගෙ සූදානම මට තේ හදන්න. මට මොන තේ ද...? මට ඕනෙ තරම් තේ බොන්න පුළුවන් නෙ.’
එහෙම හිතපු මම ඒ වචන ටිකක් වෙනස් කරල කටින් පිට කරා.
‘‘එපා පෙරුමාල් අයියෙ... මට තියෙන්නෙ තව පැය එකහමාරක් විතර නෙ. අනික අයියෙ මට ඕනෙ පදං තේ බොත හැකි නෙ. ඒ හිංද අයිය මහන්සි වෙන්නෙපා.’’
මම එහෙම කිව්වෙ අවංකවම යි. කඩේ ඉඳිද්දි මට, මම කැමති වෙලාවක කැමති තේ වර්ගයක් බොන්න පුළුවන් නෙ. ඒ කියන්නෙ කිරි තේ ඕනෙ නම් කිරි තේ, කහට තේ ඕනෙ නම් කහට තේ. කිරි කෝපි ඕනෙ නම් එහෙම. ඉතිං මොකටද මේ මනුස්සයට කරදර කරන්නෙ.
‘‘මොන මාන්සියද්ද යෙසේ මල්ලි... මං ටක්ගාල හදන්නං...’’
මම කියපු දේවල් තුට්ටුවකටවත් මායිම් නොකරපු පෙරුමාල් කුස්සියට රිංග ගත්තා. ඒ කුස්සිය කියල මට හිතුනෙ එල්ලල තිබුණ රෙද්දෙ පාටින්. ඒ රෙද්දෙ නියම පාට මොකක්ද කියල කියන්න කාටවත්ම බැරුව ඇති. මොකද රෙද්ද පුරාම පේන්න තිබුණෙ දුඹුරු පාටක්. ඒත් ඒ දුඹුරු පාට ඇතුළෙන් පොඩි නිල්පාට ගතියකුත් පේන්න තිබුණා. මට හිතෙන්නෙ ඒ රෙද්ද කාලෙකින් වතුර ටිකක් දැකලවත් නැතුව ඇති. කුස්සියට ඇතුළු වෙන්නෙ වම් පැත්තෙන් නිසා වෙන්න ඇති රෙද්දි ඒ පැත්තෙ දුඹුරු පාට ගතිය ටිකක් වැඩියෙන් පේන්න තිබුණා.
වාඩිවෙලා ම ඉන්න කම්මැළිකමට නැගිටලා ටිකක් වට පිට විපරම් කෙරුවා. සාමාන්‍ය යෙන් අපේ ගම්වල නම් ගෙයි ඉස්සරහ කෑල්ලට කියන්නෙ සාලෙ කියල නෙ. ඒකෙ තමයි ඉතිං ප්‍රදර්ශන භාණ්ඩ ඔක්කොම තියල තියෙන්නෙ. සමහර ගෙවල්වල වටිනා කුෂන් පුටු එහෙම තියනවා. හැබැයි එයාල ඒව තියල තියෙන්නෙ ප්‍රදර්ශනයට ම විතරයි. ඇයි දන්නව ද මං එහෙම කියන්නෙ. ඒ පුටු සෙට් ඔක්කොම ඉටි රෙදිවලින් වහල තියෙන්නෙ. වාඩි වෙන්න පාවිච්චි කරන්නෙ වේවැල් පුටු. පෙරුමාල්ගෙ සාලෙ හරියට අපේ ගමේ සල්ලිකාරයන්ගෙ ස්ටෝරු කාමරේ වගේ. මම වාඩි වෙලා හිටපු පුටුවට අමතරව තව පුටු දෙකක් තිබුණ. ඊට අමතරව: පොල් ද, හිස් පොල් කටු ද, හිස් ගෝණි ද, හොණ්ඩර දර ද මෙකී නොකී හැම දේකින් ම ඒ කෑල්ල පිරිල. බිමට සිමෙන්ති දාල තිබුණට තැන් තැන්වල පොඩි පොඩි වළවල් හෑරිලත් තිබුණා.
මං ටිකක් වට පිට බලද්දි තමයි කාමරේ කියපු දිහාට ඇහැ ගියේ. කාමරේ කිව්වට දොරක් තිබුණෙ නෑ. මල් මෝස්තරයක් තියෙන රෙද්දකින් තිරයක් දාල තිබුණ. ඒ තිරය නම් කුස්සියට ඇතුළු වෙන තැන එල්ල තියෙන තිරේට වැඩිය පිරිසිදු යි; එළිය යි. අපේ ගෙවල්වල නම් ඒකට කිව්වෙ දොර රෙද්ද කියල. මං නිකමට වගේ කාමරය ගාවට යද්දි ම ‘‘යෙසේ මල්ලි මක්කයි බොන්නෙ... ටී ද, ප්ලේන්ටි ද...?’’ කියල අහගෙන පෙරුමාල් ඉස්සරහ කෑල්ලට ආවා. මට නිකං ලජ්ජාවකුත් ආවා. මොකද මම හොරෙන් වගේ කාමරේට යන්න හැදුව නේද කියල මට දැනුණ නිසා. ඒත් මං ඒක මායිම් නොකර ම ‘‘ප්ලේන්ටියක් හොඳයි පෙරුමාල් අයියෙ...’’ කිව්වෙ පොඩි චකිතයකුත් හිතේ තියාගෙන. මම හිතුවෙ මම කාමරේට යන්න හැදුව කියල පෙරුමාල්ට දැනෙන්න නැතුව ඇති කියල. හැබැයි මට වැරදිලා කියල දැනුණෙ පෙරුමාල් ඊළඟට කියපු දේත් එක්ක.
‘‘යෙසේ මල්ලි මගේ කාමරේ බලන්න තමයි හැදුවා නේද... ෂරි ෂරි... දොරක් නං නේ... එතුළ කරුවලත් එති. කාමරේ එතුළෙ ඔය දකුණ පෙත්තෙ බිත්තියෙ තමයි ස්විච් එක තියෙනවා. දාගෙන එතුළට යෙන්න. මං ටක් ගාල තේක හදාගෙන එන්නං.’’
ඒ වචන ටික කියල ඉවර වෙන්නත් ඉස්සෙල්ල පෙරුමාල් ගිහින් ඉවරයි. අන්තිම වචන ටික මට ඇහුණෙ ටිකක් ඈත ඉඳන් කියනවා වගේ.
‘ෂිහ්... පෙරුමාල් මක්ක හිතුවද දන්නෑ. බෑ බෑ... එයැයි තේ හදාන එනකං ඔන්නොහෙ මෙහෙං වාඩි වෙලා ඉන්නව.’
ඉස්සර වෙලා කාමරයට යන්න හිත තිබුණත් දැන් මම ඒ අදහස ටිකක් පස්සට ගත්තා.
‘‘ආ... යෙසේ තාම මෙතන... කාමරේට ගියේ නෙතෙයි...’’
එහෙම අහගෙන මං ළඟට එන පෙරුමාල් අතේ තිබුණෙ ප්ලේන්ටි පිරුණ අසෝක විදුරුවක්. ප්ලේන්ටියට කහට ටිකක් අඩුවෙන් තිබුණනං හරියට අරක්කු වගේ. මොකද අරක්කු බොන්න පාවිච්චි කරන්නෙත් මේ වීදුරු වර්ගය ම නෙ.
‘‘මොකට මහන්සි උණා ද පෙරුමාල් අයියෙ... මට කොයි වෙලාවෙ තේ බොන්න බැයිද...?’’
එහෙම අහන අතර ම මම පෙරුමාල් ගෙනාපු තේ එක අතට ගත්තා.
‘‘යෙසේ මල්ලී... මේක ඔද්දට මතක තියාගන්න... ඔයැයි හැව්ලොක් එකේ නෙමෙයි... අර කොටුව එතුළෙ තීන ලොක්කු ඔටලේක වෙඩ කරත් මගේ ගෙදෙට්ට ආවට පස්සෙ මං මගේ තේකක් හදල දෙනවා. යේක අපේ යුතුකම නෙ යෙසේ මල්ලී.’’
ඒ වෙද්දි මම පෙරුමාල් දුන්න තේ එකෙන් උගුරු දෙකක් බිලත් ඉවරයි. ඇත්ත ම කියනව නම් හෝටලේදි බොන ප්ලේන්ටියට වඩා මාර ම රහයි. ඉඟුරුත් දාල. මට මතකයි මං ගාලු ආපු මුල්ම දවස්වල රෑ පිචර් එකක් බලල එන ගමන් නිකමට වගේ මාතර පාර දිගේ ඇවිදගෙන යද්දි පාර අයිනෙ තිබුණු කඩේකින් ප්ලේන්ටියක් බිව්ව. ඊට පස්සෙත් දවස් කිපයක් ම මම ඒ කඩේට ගියා. ඒක රෑට විතරක් ඇරල තියෙන කඩයක්. මිනිස්සු කිව්වෙ වැල්ලෙ කඩේ කියල. හැබැයි වැල්ලක් නං තිබුණෙ නෑ; කඩේ ඉස්සරහ මාතර පාර; පාරෙන් එහා පැත්තෙ හැම තිස්සෙම හෝ හෝ ගාල රළ ගහන මූද. රළ පාර ඇවිත් පාර අයින දිගට දාල තියෙන ගල් පරවල වැදුණම මූදු වතුර පාරටත් එනවා. ඒ එක්ක ම ඒ වතුර හිරිපොද වගේ ඇවිත් මුණෙත් වදිනවා; තොල්වලත් වදිනවා. සමහර අය තේ එකත් අරගෙන ඒ ගල් බැම්ම උඩට යනව. ඒ වෙලාවට අර හිරි පොද වගේ එන මූදු වතුර තොල්වල ගැවෙද්දි දැනෙන්නෙ අමුතු ම ලුණු රහක්. මම නම් ඒ රහට හරිම කැමතියි. කවුරුවත් අහල පහල පේන්න නැත්නම් මම හොරෙන් ම මගේ තොල් ලෙවකන්නෙ ඒ ලුණු රහට තිබුණු ආසාව නිසාමයි. ප්ලේන්ටියෙ රහයි අර ලුණු රහයි එකතු වුනාම දැනෙන්නෙ අමුතු ම රහක්.
‘‘යෙසේ මල්ලි... මක්කයි මේ කල්පනා කරනවා...? තේක බිලත් නේ නෙ...’’
මගේ කල්පනාව බිඳුණෙ පෙරුමාල් එහෙම ඇහුවට පස්සෙ.
‘‘නෑ නෑ පෙරුමාල් අයියෙ... ඔයාගෙ ප්ලේන්ටිය බොද්දි මට අර වැල්ලෙ කඩේ ප්ලේන්ටිය මතක් උණා. ඒ ප්ලේන්ටියත් මේ වගේමයි.’’
‘ආ.. ඒ කියන්නෙ ඔයැයි රේ තිස්සෙ එහෙත් රස්තියාදු ගානවා...?’’
පෙරුමාල් ඒ වචන ටික පිට කරේ තරමක් සමච්චල් විදියට. අනිවාර්යයෙන් එයාට මම ගැන වැරැදි වැටහීමක් එන්න ඇති කියල මට හිතුණා. ඒ නිසා ඒක මේ දැන්ම හදාගන්න ඕන කියල මට හිතුණා.
‘‘ඔවු පෙරුමාල් අයියෙ... ඉස්සර මං නමයයි තිහ බලන්න ගිහින් ඇවිත් නිදාගන්නෙ පේමන්ට් එකේ නෙ. ඉතිං නිදිමත එනකං ටිකක් එහෙට මෙහෙට ඇවිදිනවා. එහෙම ගිය දවසක තමයි ඉස්සෙල්ලා ම ඒ කඩෙං ප්ලේන්ටියක් බිව්වෙ...’’
ඊට පස්සෙ පෙරුමාල් අහපු ප්‍රශ්න වැලට උත්තර දෙද්දි නම් බොරුත් කියන්න සිද්ධ වුණා. එහෙම බොරු නොකිව්වොත් අපි: පයිප්ප දිගේ බඩගාගෙන, වහලට පැනල, කඩේ ඇතුළට යනව කියල කියන්න වෙනවනෙ. ඒ නිසා මම එදා ජෙසිකා අක්කලට කියපු බොරුව ම පෙරුමාල්ටත් කිව්වා.
‘‘ආ... ඒක තමයි එහෙනං දෙන්නත් එක්ක ම එදා ඕටලෙ උඩ කේල්ලට ගියේ...?’’ කියල පෙරුමාල් ඔළුව වනපු විදියට මට තේරුණා එයා මම කියපු බොරුව පිළිගත්ත කියල.
‘‘ආ... යෙසේ මල්ලි කාමරේට යෙන්න එදුවනෙ... අපි යෙං...’’ කියල කියන අතර ම පෙරුමාල් එළියෙ ඉඳගෙන ම කාමරේ ඇතුළට අත දාල ලයිට් එක දැම්මා.
‘‘යෙන්න යෙන්න... එබැයි මේ කාමරේ දෙකල මං ගෙන වෙරදි විදියට ඉතන්න නං යෙපා ෂරී...’’
පෙරුමාල් එහෙම කිව්වෙ ඇයි කියල මම ඇහුවෙ නෑ. හැබැයි කාමරේ ඇතුළට ගිහින් වට පිට බලද්දි ඒ ඇයි කියල හිතාගන්න පුළුවන් වුණා.
‘‘අඩේ පෙරුමාල් අයියේ...! මාරයි නේ...!!’’
බිත්ති පුරා ම අලවල තිබුණ පිංතුර දැක්ක ම මට පුදුම හිතුණා. සිංහල නිළියො, හින්දි නිළියො, දෙමළ නිළියො වගේ ම ඉංග්‍රීසි නිළියන්ගෙ පිංතුරවලින් කාමරේ බිත්තිය එහෙම පිටින් ම වැහිලා. පුදුමෙ කියන්නෙ සමහර ඉංග්‍රිසි නිළියො බාගෙට හෙලුවෙන් ඉන්න පිංතුර වගේ ම අමු හෙලුවෙන් ඉන්න පිංතුරත් ඒ බිත්තියෙ අලවලා තිබුණා.
‘‘පෙරුමාල් අයියෙ... ඔයැයිට කොහෙන්ද මේ හෙලුවැලි පිංතූර...? මෙව්වා සල්ලිවලට ගන්න තියනවයි...’’
ඇත්තට ම මම එහෙම ඇහුවෙ හිතල නෙවෙයි. මට ඉබේට ම වගේ ඇහණා. දැන් ඉතිං එළියට විසිවෙච්ච වචන ආයෙ ඇදල ගන්න බෑ නෙ...
‘‘එයි... යෙසේ මල්ලිටත් ආෂ ඉතුණ ද... ඕනි නං මෙව්වයින් දෙක තුනක් අරගෙන යෙන්න. මට පෂ්ෂෙ ඔයා ගන්න පුළුවං...’’
‘‘ආස නැත්තෙ නං නෑ පෙරුමාල් අයියෙ. හැබැයි ඉතිං මම ගෙනිච්චට වැඩක් නෑ. මොකද මෙව්ව ගහගන්න තැනක් නෑ. අනික මං මෙව්ව ගෙනිහං තියාගෙන ඉඳල හදිසියෙවත් මොකා හරි දැක්කොත් මළ ජංජාලය යි...’’
ඇත්තට ම වෙන්නෙත් ඒක ම තමයි. අපේ හෝටලෙත් කෑම පැන්‍ට්‍රියෙ අපේ නිළියන්ගෙ පිංතුර අලවපු දවස්වල අනික් එවුන් මගේ දිහා බලපු විදිය යි කියපු කතා යි මට මතක නෙ... මේ හෙලුවැලි පිංතූර ගෙනිහින් තියාගෙන ඉද්දි අහු උනොත් නං ඉඳල හමාරයි.
‘‘ආ... ඒකත් ඒමෙයි... ඒනං ඉතිං කරන්න දෙයක් නේ... නෙහ්නං ඔයැයි ආෂ නං මට පුළුහං මේ වගේ පිංතුර ටිකක් හොයල දෙන්න...’’
පෙරුමාල් කියපු දේට කිසිම උත්තරයක් නොදීපු මම බිත්තිය වටේට ම ඇස් යවමින් ඒ පිංතුර රසවින්දා. ඊට පස්සෙ තමයි හරියට ම කාමරේ මොන වගේද කියල ඇස් දෙකට දැක්කෙ. කාමරයක් කිව්වට පුංචි කාමරයක්. නිදාගන්න තිබුණෙ බූරු ඇදක්. තව පුංචි මේස කැල්කුයි පුටුවකුයි තිබුණා. බිත්තියෙ බෝල කුඩුවක් එල්ලලා තිබුණා. ඒකෙ පෙරුමාල්ගෙ සරම් දෙකක්. කමිස දෙකක් කොට කලිසමක්, සස්පෙන්ඩර් දෙකක් එල්ලලා තිබුණා. මේසෙ උඩ ගුරුලේතුවක්, ටිකක් ලොකු බෙලෙක් ජොග්ගුවක්, මූණ බලන කණ්ණාඩියක්, පනාවක්, පොඩි පොල්තෙල් බෝතලයක් සහ පත්තර කිහිපයක් ම තිබුණා. පෙරුමාල්ට සිංහල කතා කරන්න වගේ ම කියවන්නත් පුළුවන් කියල මම දැනගත්තෙ ඒ පත්තර නිසා.
‘‘පෙරුමාල් අයියේ... පෙරුමාල් අයියේ... පෙරුමාල් අයියේ... අම්ම ඇහුවා අද ඔයැයි බිස්නස් යන්නැති හිංද රෑට ඔයැයිටත් එක්ක ම උයන්නද කියල...?’’
ඒ මිහිරි ගෑනු කටහඬ ඇදිල ආවෙ ගෙදර ඉස්සරහ පැත්තෙන්.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/04/05
අපලෝකන - පසුගිය කොටස්