ප්‍රතිෂ්ඨ ද පිළිවදන් සැපවූයේ උදව්ව කුමක් ද යන්න ඇගේ මුවෙන් ම පවසන්නට ඉඩ හසර විවර කරමිනි.
එහෙත් ඇය ද එය තව දුරටත් කල් තැබුවේ ‘‘හරි... අපි ඊට කලිං කාල ඉමුකො... ඔයා වොෂ් එකක් දානව ද...?’’ යැයි විමසන අතර ම ප්‍රතිෂ්ඨගේ ගෙල මත රඳවා තිබූ ඇගේ දෑත් ඉන් මුදවාගෙන, අසුනෙන් ද නැගී සිටින අතර ය. ඒ අතර එතෙක් ඇගේ දෙවුර මත තබා තිබු ප්‍රතිෂ්ඨගේ දෑත් ද ස්වයංක්‍රියව ම පහත වැටිණ.
‘‘මොකද කියන්නෙ... වොෂ් එකක් දාගන්නව ද... එහෙම නැත්නං කනව ද...’’
අසුනෙන් නැගී සිටි ඇය යළිත් විමසුවා ය.
‘‘ඔයාට ඕනෙ ම නං වොෂ් එකක් දාගෙන එන්න... මට එහෙමට ලොකු බඩගින්නකුත් නෑ...’’
ප්‍රතිෂ්ඨ පැවසුවේ සචේතනීගේ කැමැත්තට ඉඩ හසර ලබා දෙන අටියෙනි.
‘‘ඔවු ඔවු... ලොකු බඩගින්නක් නැති බව නං තේරෙනව... හැබැයි ඉතිං... කන්න දුන්නොත් එපා කියන්නෑ කියලත් තේරෙනව... එහෙම නේද...’’ යැයි පවසමින් කිකිණි රාවයක් මුදා හළ ඇය ‘‘හරි හරි... මං වොෂ් එකක් දාගෙන ඇවිල්ල ම කන්න දෙන්නංකො...’’ යැයි පවසමින් ඇසක් ද ඉඟි මරා, හිස් පීරිසි කෝප්ප දෙක සහ විස්කෝතු දමා තිබූ බඳුන සහිත තේ බන්දේසිය රැගෙන පිටුපා ගියේ ද එය රැගෙන ආ ආකාරයට ම බිළාල ගමනෙනි.
ඉඟ සුඟ නළවමින් යන සචේතනී දෙස නෙත් අලවාගෙන සිටි ප්‍රතිෂ්ඨගේ හදවත නැවුම් සිසිලක් සහිත මඳ උණුසුමකින් ද වෙළාගත්තේ ඇය නිමේෂයකට පෙර පැවසූ වදන් යළිත් ඔහුගේ සවනට ඇතුළු වූ බැවිනි.
‘‘ඔවු ඔවු... ලොකු බඩගින්නක් නැති බව නං තේරෙනව... හැබැයි ඉතිං... කන්න දුන්නොත් එපා කියන්නෑ කියලත් තේරෙනව... එහෙම නේද...’’
කිකිණි රාවයක් ද නගමින් ඇය පැවසූ එම වදන් තුළ සැඟවුණ අරුතක් ඇතැයි යන උපකල්පනය ප්‍රතිෂ්ඨගේ මනසට ඇතුළු වූයේ ඒ මොහොතේ ය.
‘සමහර විට මම හිතන විදිය වැරැදිත් ඇති. එයා එහෙම අදහසකින් කියන්න නැතුව ඇති. මටත් පිස්සු ද මංදා...’
තම උපකල්පනය කෙතරම් දුරට වැරැදි හෝ නිවැරැදි ද යන්න නිශ්චය කරගත නොහී කල්පනා දැහැනක පැටලුණු ප්‍රතිෂ්ඨ තම ජංගම දුරකතනය අතට ගෙන ඒ නිමේෂයේ සිතට ඇතුළු වූ අදහසක් වචනවලට පෙරළුවා ය. ඒ, ඔහුගේ හැඟීමක් ලෙස නොව සචේතනිගේ හැඟීමක් ලෙසිනි.
සඳ නුඹ ම මිස වෙන සඳක් වෙද
සඳක් විලසින ම’සිත අලඹන
පතනෙමිය පිළිසරණ එ’සඳින
ලොවම සඟවා ගන අඳුර තුළ
වාලුකා කතරක සරණ’තර
මුණ ගැසුණ එක’මෙක නැණිල නුඹ
මගේ සරතැස නිවාලන්නැයි
කළේ ඇරයුම් එ’නිසා ය සඳ
කතර මතැ’විද සැරුවෙ නුඹ නම්
මම ය නැණිලය නුඹේ අභිමුව
සරතැසට නුඹ දිය යදී නම්
පාමි නුඹ වෙත නැණිල විවරය
ඉදින් සඳ මේ නුඹේ වාරය
මගේ සරතැස නිවාලනු මැන
මගේ සරතැස නිවාලනු මැන
අදහස වදන්වලට ගොනු කළ හෙතෙම එය යළි යළිත් කිහිප වතාවක් ම කියවා, අවසන ජංගම දුරකතනය තුළ ගබඩා කර ‘මේක පස්සෙ සචේතිට වට්ස්ඇප් කරන්නෝන... දැනට මෙහෙම තිබුණාවෙ.’ යැයි අදහස් කර තමාගේ ම විද්‍යුත් ලිපිනය වෙත මුදාහැරී ය.
කාලය ඉතා වේගයෙන් ඔහු පසු කර ගොස් ඇති බව හෙතෙම පසක් කරගත්තේ නිවසේ කොතැනක හෝ සිට යළි ආලින්දයට පිවිසි සචේතනීගේ මිහිරි කටහඬ ඔහුගේ සවන් පත් අතරට ඇතුළු වූ විට ය. ඒ වන විට ඇය ඔහු අබියසට ළඟාවෙමින් සිටියේ මීට පෙර ඇඳ සිටි සිහිවටනාත්මක ඇඳුම ඉවත් කර: දෙදණ තෙක් දිග, දෙපාවලටත් වඩා තරමක් ඉඩ-කඩ සහිත, සැහැල්ලු කොට කලිසමකින් සහ සැහැල්ලු ටී කමිසයකින් සැරසීගෙන ය.
‘‘හරි... දැන් ඔතනට වෙලා භාවනා කරා ඇති. යන්න ඔයත් ගිහින් වොෂ් එකක් දාගන්න.’’ යැයි පවසන අතර ම ප්‍රතිෂ්ඨගේ අතින් අල්ලාගත් ඇය ඔහුව අසුනෙන් නැගිටුවා ආලින්දය පසු කර මඳ දුරක් නිවස තුළට ගමන් කර වම් පස පිහිටි කාමරයක් අසල නතර විය. ප්‍රතිෂ්ඨ කිසිදු විරුද්ධත්වයක් නොපෑ අතර කිසිදු වදනක් ද මුදා නොහරිමින් ඇය පසු පසම පැමිණියේ තම මවට අවනතව ඇය පසු පස ගමන් කරන කුඩා දරුවකු ලෙසිනි.
‘‘හම්ම්ම්... මේක තමයි සඛී අපිට වෙන් කරපු කාමරේ... යන්න... බාත්රුම් එකත් ඕකෙ ම තියෙනව. මං ටවල් එකක් තියල ඇති. ඔයත් ඇඳුමක් අරං එන්නැතිනෙ... ගිහිං වොෂ් එකක් දාගෙන එන්න. මං කෑම ලේස්ති කරන්නං’’ යැයි පැවසූ සචේති අවසන් වදන් කිහිපය පවසන අතර ම ප්‍රතිෂ්ඨගේ වම් උරිසට අත තබා කාමරය තුළට තල්ලු කර දොර ද වසා දැමුවා ය.
සියල්ල සිදුවෙමින් පවතින්නේ නුහුරු නුපුරුදු ආකාරයෙනි. සරලව ම පවසන්නේ නම් ප්‍රතිෂ්ඨ ද නොදැනුවත්ව ඔහු සචේතනීගේ යටත් වැසියකු බවට පත්ව තිබේ. ඔහු, ඇය පවසන කිසිවකට විරුද්ධ වන්නට හෝ ඒ කිසිවක් ඉතා සැහැල්ලුවෙන් බාරගන්නට හෝ නොපෙලඹුණ ද මේ නිමේෂයේ සියල්ල සිදුවෙමින් පවතින්නේ ඇගේ අවශ්‍යතාව පරිදි ය. ප්‍රතිෂ්ඨ වෙත ඉතිරිව පවතින්නේ ඇගේ රුචිකත්වය අනුව කටයුතු කිරීම පමණි. ඔහුට මෙය නැවුම් ම නැවුම් අත්දැකීමකි.
‘එක අතකට මේ ගෑනි පවු... මෙයාගෙ මනුස්සය මෙයා දාල ගියාට පස්සෙ දරුවො දෙන්නත් හදාගෙන ඉන්නැති. ඇත්ත... එයා කියන එක සම්පුර්ණ ඇත්ත. මනුස්සය එයා දාල ගිහින් කියල දැනගත්තම පිරිමි මෙයාට ට්‍රයි කරන්න ඇති. එක පාරක් දැක්කම හැරි හැරි බලන්න තරං තවමත් මෙයා ලස්සනයි නෙ... ඒත් පවතින වාතාවරණයත් එක්ක බලද්දි එයාගෙ හිත ගත්තු කෙනෙක් හිටියත් සමහර විට බය වෙන්නැති. මොකක් හරි හේතුවක් නිසා මං ගැන විශ්වාසයක් ඇති වෙන්නැති. මට කරන්න පුළුවන් හොඳම දේ ඒ විශ්වාසෙ නොබිඳින එක; ඒ විශ්වාසෙ තව දුරටත් පවත්වගන්නෙක.’
ඇඟ පත දෝවනය කිරීමේ විශේෂ වුවමනාවක් නොතිබුණ ද සචේතනීගේ ඉල්ලීම පරිදි එම කටයුත්තේ නිරතවන අතර විවිධාකාර සිතුවිලි අතර අතරමංව සිටි ප්‍රතිෂ්ඨ ද, සැහැල්ලු කොට කලිසමකින් සහ ටී කමිසයකින් සැරසී කාමරය අවට දෙනෙත් පා කර හැරියේ එහි ඇති දෑ මොනවාදැයි මනසට ග්‍රහණය කරගැනීමේ අටියෙනි.
දෙදෙනෙකුට අවැසි සියලු පහසුකම් සහිත කාමරයේ කණාඩි මේසයේ පසෙක සචේතනීගේ අත්බෑගය සහ සයනය මත ඇය රැගෙන ආ තවත් බෑගයක් තිබිණ. ඇය මෙතෙක් ඇඳ සිටි ඩෙනිම් කලිසම සහ ටී කමිසය ඇදුම් එල්ලනයේ රදවා තිබිණ. ප්‍රතිෂ්ඨ ද ඔහු ඳදගෙන ආ කමිසය සහ දිගු කලිසම එම රඳවනයේ එල්ලන විට පිටතින් කිසිවකු දොරට තට්ටු කරන හඬ නැගිණ. ඒ සමග ම සචේතනිගේ හඬ ද දොර විනිවිද කාමරය තුළට රිංගී ය.
‘‘ඔයා චේන්ජ් එකක් දාගත්ත ද... එහෙමනං එන්න... මා කෑම ලේස්ති කරා...’’
ක්ෂණිකව ක්‍රියාත්මක වු ප්‍රතිෂ්ඨ සචේතනී කාමරයට ඇතුළු වීමට පෙර දොර අබියසට ගොස් එය විවර කළේ කාන්තාවක පමණක් සිටින කාමරයක් අබියස සිට හඬනගන පිරිමියෙකු එම කාමරයට ඇතුළු වීමට පෙර ඉදිරියට ගොස් දොර විවර කරන කාන්තාවක ලෙසින.
‘‘ම්ම්ම් මෙයා චේන්ජ් එකක් දාගෙන ඉවර වෙලත් මොනවද අනේ කාමරේට වෙලා කරේ... යං යං... අපි කමු,’’ යැයි පවසන අතර ම සචේතනී ප්‍රතිෂ්ඨගේ වම් බාහුවේ එල්ලී ගත්තේ නව යොවුන් මනාලියක ලෙසින. ඇගේ උවන පුරා සිතුවම් වී තිබූ ස්මිතය කියා පැවේ ඇය ඉතා ප්‍රහර්ෂයට පත්ව සිටින බවයි. හිස මඳක් එසවු ඇය සිය දෙනෙත් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් සමග සම්මුඛ කරවූයේ ඉදී රත්පැහැ ගැනුණු වෙරළු පතක් බඳු දෙලවන් මදක් විවර කර මන්දස්මිතයක් විහිදාලමිනි. ප්‍රතිෂ්ඨ ද ඇගේ ස්මිතයට ස්මිතයකින් ම පිළිවදන් සැපවූයේ කිසිදු වදනක් මුවට ගලා නොආ බැවිනි. ඔහු තවමත් පසුවන්නේ සිදුවන කිසිවක් පිළිබඳ අනවබෝධයෙන් මෙනි. එක් නිමේෂයක ඔහු තමාගෙන් ම මේ සැබෑවකත් ද සිහිනයක් ද යැයි විමසා ගත්තේ ද එබැවිනි. එය සිහිනයක් නොව සැබැවක් බව වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ වූයේ සචේතනිගේ හඬ ඔහුගේ සවන්පත් අතරරැව් දෙන බැවින් සහ ඇගේ දෑතේ උණුසුම ඔහුගේ වම්බාහුවෙන් ඇතුළුව සමස්ත සිරුර පුරාම විදාරණය වූ බැවිනි.
ඉක්බිති ඇය ප්‍රතිෂ්ඨ ද කැටුව ගොස් කෑම මේසය වටා පනවා තිබූ අසුන් අතුරෙන් එක් අසුනක ඔහු හිඳුවා ඒ සමගම තිබූ අනෙක් අසුනේ ඇය ද අසුන් ගත්තා ය.
* * * * * *
‘‘කොහොම හරි ප්‍රතිෂ්ඨ... පුතා ඕ ලෙවල් කරන කාලෙ වෙද්දි අමෝද්‍ය මාසෙකට වතාවක් හරි ගෙදර නාපු දවස් තිබුණ. මං පුතාටයි දුවටයි කියල තිබුණෙ එයාගෙ අම්මයි තාත්තයි දෙන්න ම අසනීප නිසා එයා වැඩිපුර ඒ අයත් එක්ක ඉන්නව කියල. ඒත් දුවයි පුතයි දෙන්නම අහනව ඇයි එයාල, එයාලගෙ ආච්චිල දෙන්නයි සියල දෙන්නයි බලන්න එක්කරගෙන යන්නැත්තෙ කියල. ඒ කියන්නෙ මගෙ අම්මයි තාත්තයි අමෝද්‍යගෙ අම්මයි තාත්තයි... ඒ හැම වෙලාවක ම මං මොකක් හරි බොරුවක් කියල එයාලව රැවැට්ටුව ප්‍රතිෂ්ඨ... මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.
අන්තිමට පුතා ඕ ලෙවල් ලිව්වට පස්සෙ ප්‍රතිෂ්ඨ ගෙදර නෑවිත් ම ඇරිය. එයා ගෙදර ආපු හැම දවසක ම වගේ මටත් නොදැනෙන්න එයාගෙ දේවල් ටික ටික අරගෙන ගිහිං තිබුණ. හැබැයි එයා අපිට වියදමට උවමනාවටත් වඩා සල්ලි දුන්න. හැම මාසෙක ම අඩුම ගානෙ ලක්ෂයක්, ලක්ෂ එකහමාරක් විතර දැම්ම. මත්තෙගොඩ ගෙදරින් එන කුලිය දුවගෙ පොතට දාන්න කියල එයා කියල තිබුණ නිසා ඒ සල්ලි සතයක්කත් අපි වියදමට ගත්තෙ නෑ. ඔය අතර එයා පුතාගෙ නමිනුත් එකවුන්ට් එකක් ඕපන් කරල ඒකටත් යම් මුදලක් දැම්ම. ඒවත් සතයක්කත් ගෙදර වියදමට ගත්තෙ නෑ.
කාන්තිත් ඒ වෙද්දිත් අපිත් එක්ක හිටිය; දැනටත් ඉන්නව. එයාට මේ කිසිම දෙයක් හංගන්න බැරි නිසා පුතාගෙ ඕ ලෙවල් විභාගෙං පස්සෙ මං එයාට ඔක්කොම විස්තර ටික කිව්ව. අමෝද්‍ය එයාගෙ පඩියත් හැම මාසෙක ම එයාගෙ එකවුන්ට් එකට දැම්ම; දැනුත් දානව. මේ හැම දේකට ම අමතරව දුවටයි පුතාටයි මොනව හරි ඕන නං ඒ හැම දෙයක් ම ගන්න සල්ලි දුන්න. දුවට හරි පුතාට හරි කරන්න තිබුණෙ උවමනාව කියල කොල් එකක් දෙන එක විතරයි. හදිසියෙවත් ෆෝන් එක ඕෆ් කරල තිබුනොත් මැසේජ් එකක් තියනව. ඊට පහුවදාට එයා සල්ලි දානව. ඔය කාලෙ වෙද්දි... ඒ කියන්නෙ පුතාගෙ විභාගෙං පස්සෙ එයා මාත් එක්ක කතා කරන එක පවා නැවැත්තුව. මං දන්නෑ ඇයි කියල. මං ඒ ගැන අහන්න ගියෙත් නෑ. මට තිබුණ එක ම බලාපොරොත්තුව දරුවො දෙන්නට දුකක් නොදී හදාගන්න එක විතරයි.
* * * * * *
උදෑසන ආහාරය ගෙන අවසන් වන විට ඇය සිය ජීවිත මතක පොතෙන් සෑහෙන පිටු ප්‍රමාණයක් පෙරළා අවසන් කර තිබුණා ය. පුදුමය නම් මේ කිසිදු අවස්ථාවක ඇගේ දෙනෙතෙහි එක් අක් බිඳුවක් හෝ දක්නට නොතිබීම ය. ඇය මෙතෙක් අත්විදි සියලු දුක්ඛ දෝමනස්ස උපේක්ෂාවෙන් විඳ දරා සිටියා මෙන් ම මේ මොහොතේ ද එය දරාගනිමින් සිටියා ය. එහෙත් ඇගේ කතාව පැවසීමේ දැඩි උවමනාවකින් ඇය පසුවූවා ය.
ප්‍රතිෂ්ඨ මෙතෙක් අතුරු ප්‍රශ්න කිසිවක් නොනැගුවේ ද ඇගේ ජීවිත කතා පොතේ පිටු ඇය කැමති ආකාරයකට පෙරළන්නට ඉඩ සලසමිනි. ඇය පවසන ආකාරයට මේ වන විට ඇගේ සැමියා, එනම් අමෝද්‍ය ඇගෙන් වෙන් වී වසර පහකට පමණ ආසන්නය. කෙසේ වුව ද ඇගෙන් විමසන්නට ප්‍රතිෂ්ඨගේ සිතේ අතුරු පැන කිහිපයක් ම තිබිණ. ඒ අතුරින් ප්‍රධාන යැයි ඔහුට හැඟෙන පැනය හෙතෙම ඇය වෙත යොමු කළේ ය.
‘‘ඔයා කියන විදියට අමෝද්‍ය හොඳ මනුස්සයෙක්. එහෙම නං ඇයි එයා ඔයාට මෙහෙම දෙයක් කරේ...?
‘‘එයාගෙ නංගි කියපු විදියට නං ඒකට හේතුවක් තිබුණ. මං ඒ හැම දෙයක් ම ඔයාට කියන්නං.’’
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/06/23
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්