ප්‍රතිෂ්ඨ මෙතෙක් අතුරු ප්‍රශ්න කිසිවක් නොනැගුවේ ද ඇගේ ජීවිත කතා පොතේ පිටු ඇය කැමති ආකාරයකට පෙරළන්නට ඉඩ සලසමිනි.
ඇය පවසන ආකාරයට මේ වන විට ඇගේ සැමියා, එනම් අමෝද්‍ය ඇගෙන් වෙන් වී වසර පහකට පමණ ආසන්නය. කෙසේ වුව ද ඇගෙන් විමසන්නට ප්‍රතිෂ්ඨගේ සිතේ අතුරු පැන කිහිපයක් ම තිබිණ. ඒ අතුරින් ප්‍රධාන යැයි ඔහුට හැඟෙන පැනය හෙතෙම ඇය වෙත යොමු කළේ ය.
‘‘ඔයා කියන විදියට අමෝද්‍ය හොඳ මනුස්සයෙක්. එහෙම නං ඇයි එයා ඔයාට මෙහෙම දෙයක් කරේ...?
‘‘එයාගෙ නංගි කියපු විදියට නං ඒකට හේතුවක් තිබුණ. මං ඒ හැම දෙයක් ම ඔයාට කියන්නං.’’
‘‘මොකද්ද ඒ ‘නංගි කියපු විදියට’ කිව්වෙ...?’’
ප්‍රතිෂ්ඨ පෙරළා ප්‍රශ්න කළේ සචේතනී පැවසූ දෙය නිවැරැදිව වටහාගත නොහැකි වූ බැවිනි.
‘‘ඔවු ප්‍රතිෂ්ඨ... අමෝද්‍යගෙ නංගි... ඒ කියන්නෙ චාමලී අක්ක අපේ ගෙදරට ආපු දවසෙ ඉඳල ම ප්‍රතිෂ්ඨගෙ වගේ ම එයාලගෙ පවුලෙ හැම විස්තරයක් ම ටිකෙන් ටික මට කිව්වෙ එයා. ඒ වගේ ම මාත් අමෝද්‍යත් අතර සම්බන්දෙ නතර උනාට පස්සෙත්... නතර උණේ නෙවෙයි... අමෝද්‍ය ඒ හැම දෙයක් ම නතර කරාට පස්සෙ එයාල ගැන... ඒ කියන්නෙ අමෝද්‍යයි එයාගෙ පවුලෙ විස්තරයි හැම දෙයක් ම මට කිව්වෙ චාමලි අක්ක. ඇත්තට ම ප්‍රතිෂ්ඨ මං දන්නෑ එයා මට කිව්වෙ ඇත්ත ද බොරුද කියල. හැබැයි මට එයා කියන දේවල් අහගෙන ඉන්නව වගේ ම ඒ විදියට වැඩ කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. මොකද මං අමෝද්‍ය එක්ක ආවෙ මගේය කියල තිබුණ හැම දෙයක් ම වළ දාල. ඒ වළදාපු කිසිම දෙයක් ආයෙ ගොඩ ගන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ ප්‍රතිෂ්ඨ.’’
ඒ වදන් ගොන්න මුදා හැරි ඇය මිනිත්තුවකට අඩු කාලයක් හිස මේසය මතට නැඹුරු කරගෙන භාවනාවක යෙදෙන භාවනායෝගිනියක සේ නිහඬ ව්‍රතය රැක්කා ය. ප්‍රතිෂ්ඨ කිසිවක් නොවිමසා, නොපවසා ඔහුගේ දෙනෙත් ඇගේ හිස මත අලවාගෙන සිටියේ ඇයට කැමති මොහොතක හිස ඔසවන තෙක් කිසිවක් ම නොවිමසමියි යන අදිටනෙනි.
නිහඬතාව බිඳ දැමුවේ ද ඇය ම ය. ඒ ඇගේ ජීවිත කතාවේ පිටුවක් පෙරළමින් නොවේ.
‘‘ඔයා මොනව හරි බොනවද ප්‍රතිෂ්ඨ...? ප්ලේන්ටි... කෝපි... කිරිකෝපි... එහෙම නැත්නං...’’
‘‘නෑ මොනවත් එපා... පස්සෙ බොමු... ඔයා කතාව කියන්නකො...’’
සචේතනීගේ පැන විමසුමට බාධා කළ ප්‍රතිෂ්ඨ ඇය වෙත ආදරණිය ලෙස ඇමතී ය; එය ආදරණීය ආරාධනාවක් බඳු විය.
‘‘හරි... ඉන්න... මං මේ ටික අස්කරල එන්නං,’’ යැයි පැවසු ඇය අසුනින් නැගී සිට මේසය මත තිබූ මාගරින් බඳුන සහ ජැම් බෝතලය ශීතකරණයේ තබා, මේසය මත තිබූ ඉතිරි පාන් පෙති කිහිපය ඉටි බෑගයට බහා කෑම වසන වට්ටිය මඳක් ඔසවා එය යටට තල්ලු කර ‘‘හරි... අපි යං... මොකද කරන්නෙ... සාලෙට යනව ද... කාමරේට යනව ද...?’’ යැයි විමසුවා ය.
ඇය කුමනාකාරයේ පිළිතුරක් බලාපොරොත්තු වුව ද ප්‍රතිෂ්ඨගේ පිළිතුර හෙතෙම මුදා හැරියේ දෙගිඩියාවකින් තොරව ය.
‘‘අපි සාලෙට යං නේද...?’’
‘‘හා යං...’’
සචේතනී ඊට සැපවූයේ කෙටි ම කෙටි පිළිතුරකි.
පළමුව ආලින්දයට පැමිණි ප්‍රතිෂ්ට පෙර සේ ම දිගු සෝපා අසුනේ එක් කෙළවරක අසුන්ගත් පසු සචේතනී ද පැමිණ ඔහු ආසන්නයේ ම අසුන්ගත්තා ය; ඉක්බිති යළි දෙදෙනා ම දෙදෙනාගේ දෙනෙත් සම්මුඛ කරගත්හ.
‘‘අපි කොතනිංද නැවැත්තුවෙ ප්‍රතිෂ්ඨ...?’’
ඇය ම පෙරළමින් සිටි ඇගේ ජීවිත කතා පොතේ අවසානයට කියවූ පිටුව ඇයට ම අමතක ය. ඒ ඇයි ද යන්න නොඇසූ ප්‍රතිෂ්ඨ ඇය කියවා අවසන් කළ පිටුව කුමක්දැයි සිහිපත් කළා ය.
‘‘අමෝද්‍ය ඇයි එහෙම දෙයක් කරේ කියල එයාගෙ නංගි කියපු කතාව කියන්නනෙ ඔයා ලේස්ති උණේ.’’
‘‘මං ඒ හැම දෙයක් ම කෙටියෙං කියන්නං ප්‍රතිෂ්ඨ...’’
* * * * * *
‘‘එයාගෙ නංගි කියපු විදියට ප්‍රතිෂ්ඨ, අමෝද්‍යලගෙ තාත්ත ගම්පොළ තේ ෆැක්ට්‍රියක ප්‍රධානියා. ඒ කියන්නෙ... ටී මේකර් කියල තමයි එයා කිව්වෙ. හැබැයි මේ මනුස්සය හරියට රේස් දැම්මලු, බිව්වලු. ඒ මදිවට සෑහෙන්න ගෑනුත් හිටියලු. මේ දේවල් නිසා එයාලට කියල තිබුණ ඉඩකඩම් පවා නැති උනාලු. අන්තිම කාලෙ වෙද්දි ඉන්න ගේයි ඉඩමයි පවා උගස් කරලලු තිබුණෙ. එහෙම තියෙද්දි තමයිලු එයාලගෙ තාත්තගෙ වකුගඩු දෙක ම නරක්වෙලා එයා මැරුණෙ.
ඒ වෙද්දි අමෝද්‍ය කැම්පස් එකෙන් අවුට් වෙලා රස්සා හොයන කාලෙලු. ඔන්න ඔය කාලෙ තමයි එයාට මේ ප්‍රොෆෝසල් එක ඇවිත් තියෙන්නෙ. ඒ කියන්නෙ සුනේත්‍ර ගැන. ඒ වෙද්දි අමෝද්‍යට කැම්පස් එකේ තිබුණ එෆයාර් එකත් නතරවෙලාලු තිබුණෙ. ප්‍රොෆෝසල් එක ගෙනල්ල තියෙන්නෙ අමෝද්‍යලගෙ මාම කෙනෙක්. ඒකත් දිග කතාවක් ඒත් මං කෙටියෙං කියන්නං.
සුනේත්‍ර කලිං කසාද බැදපු කෙනෙක්ලු. අමෝද්‍යට වඩා අවුරුදු තුනක් හරි හතරක් වැඩිමල් කියලත් කිව්ව. හබැයි එයාට ළමයි නෑ කියල එයාගෙ මහත්තය එයාව ඩිවෝස් කරල. නිකංම නෙවෙයි... ලොකු වංදියකුත් දීල. අමෝද්‍යලගෙ මාමගෙ යෝජනාව අනුව අමෝද්‍ය සුනේත්‍රව බැන්දොත් එයාට දික්කසාදෙන් ලැබුණ වංදිය... ඒක ඒ කාලෙ හැටියට ලොකු ගාණක්ලු. ඒ මුදලයි තව මොන මොනවද දැවැද්දට දෙනව කිව්වලු. ඒ සල්ලිවලිං ගේයි ඉඩමයි බේරගන්න තමයි මේ යෝජනාව ගෙනල්ල තියෙන්නෙ. කොහොම හරි ඒ වෙද්දි තිබුණ ප්‍රශ්නවලිං බේරෙන්න ක්‍රමයක් නොතිබුණ නිසා අමෝද්‍ය මේ යෝජනාවට කැමති වෙලා. හැබැයි කිව්ව වගේ ම දැවැද්දට ලොකු මුදලකුයි, තේ අක්කර පහකුයි. කුඹුරුයි... ඒ වගේ හුඟක් දේවල් හම්බ වෙලා. ඉතිං දෙන්න බැන්දට පස්සෙ අර කිව්ව වගේ ම ගේයි ඉඩමයි බේරගෙන.
අමෝද්‍ය බැඳල මාස දෙකක් විතර ගියාට පස්සෙ තමයිලු එයාට ගුරුපත්වීම ලැබුණෙ. මුලිං ම පත්වීම ලැබිල තියෙන්නෙ මොනරාගල පැත්තට. පත්වීම අරගෙන ගිහිං ඉස්සෙල්ලම නිවාඩුවට ගෙදර ආවට පස්සෙ සුනේත්‍ර යෝජනා කරාලු ළමයෙක් අරං හදාගන්න. කොහොම උනත් මේ වෙද්දි අමෝද්‍ය ඉඳල තියෙන්නෙ සුනේත්‍ර කියන කරන ඕනම දෙයකට නෑ බෑ කියන්න බැරි තත්තවෙකලු. ඊට පස්සෙ දුප්පත් පවුලක දරුවෙක් අරගෙන දරුකමට හදාගෙන. අමෝද්‍ය අපේ ඉස්කෝලෙට එද්දි ඒ ළමයට අවුරුදු තුනක්ලු. මේ වෙද්දි නං ඒ පුතා කසාද බැඳල එයාටත් දරුවෙක් ඉන්නවලු.’’
* * * * * *
එම සිද්ධිය පැවසීමෙන් ඉක්බිති සචේතනී එතෙක් පෙරළාගෙන ආ ජීවිත කතා පොත මඳ වේලාවකට වැසුවා ය. වසා දමා එක්වර ම ප්‍රතිෂ්ටගේ ආසන්නයට පැන ඔහුගේ ළය මඩලට තුරුලු වූවා ය. ඉනිඳු නොනැවතී යළි ඉකිබිඳින්නට වූවා ය. වදනකුදු මුවෙන් පිට නොකළ ප්‍රතිෂ්ඨ ඇය ඔහුගේ ළය මඬල වෙත තවත් මඳක් තෙරපමින් ඔහුගේ එක් කොපුලක් ඇගේ හිස මත තබාගත්තේ ඇගේ සියලු දුක්ඛ දෝමනස්ස තම හදවතට ඇතුළු කරගන්නට තමා සුදානම් යැයි පවසනායුරිනි.
‘‘ඔයාට බෝරිං වගේ ද ප්‍රතිෂ්ඨ...’’
ඉකි බිඳුම් මධ්‍යයේ ම ඇය ඉතා මෘදු හඬින් විමසුවා ය.
‘‘නෑ පැටියො නෑ... ඔයාට ඇතියි කියල හිතෙනකං ඔයාට කැමති දෙයක් කියන්න. ඔයා මට එන්න කිව්වෙ ඔය කතාව කියන්න නෙ... කියන්න... මං අහගෙන ඉන්නං...’’
ප්‍රතිෂ්ඨ ද වදන් මුදා හළේ ඉතා මෘදු හඬිනි. ඒ හඬ ඔවුන් දෙදෙනාගේ සවන්පත් අතරට පවා ඇතුළු වූයේ ඉතා මන්දගාමීව ය.
‘මේ මනුස්සය මොන තරං දුකක් උහුලගෙන ඉඳල තියෙනව ද... ඇත්තට ම මෙයා කවදාවත් හිතන්නැතුව ඇතිනෙ මෙයාට මෙහෙම දේවල්වලට මූණ දෙන්න වෙයි කියල. මට පුදුම මෙයා මෙච්චර දේවල් මූණ දීලත් ඇයි අමෝද්‍යට වෛර කරන්නැත්තෙ කියල.’
ප්‍රතිෂ්ඨ එක් අතක ඇඟිලි තුඩගින් සචේතනීගේ ගෙල පිටුපස ස්පර්ශ කරන අතර අනෙක් අතින් ඇගේ පිට පෙදෙස මෘදු ලෙස පිරිමැද්දේ ඇයට රිසි පරිදි ඔහුගේ පපුතුරෙහි හිස හොවාගෙන ඉන්නට ඉඩ හරිමිනි. ඇගෙන් විමසන්නට බොහෝ දෑ තිබුණ ද ඔහු ඒ කිසිවක් ම නොවිමසුවේ මඳින් මඳ ඇය ම ඒ සියල්ල පවසාවි යන සිතුවිල්ලෙනි. ඒ නිමේෂයේ ම ඇගේ හඬ ඔහුගේ සවන්පත් අතරට ඇතුළු විය.
‘‘ප්‍රතිෂ්ඨ...’’
‘‘ඔවු... කියන්න පැටියො... මං අහගෙන ඉන්නෙ...’’
ප්‍රතිෂ්ඨ පැවසුවේ ඇගේ හිස මුඳුනත සිපගන්නා අතර ය. පෙර අවස්ථාවේ මෙන් නොව මේ වන විට ප්‍රතිෂ්ඨගේ සිරුරේ රුධිරාගමනය ද කෙමෙන් කෙමෙන් වේගවත් වෙමින් පැවතිණ. එහෙත් ඔහු සිය හැඟීම් හැකිතාක් දුරට මැඩගැනීමට යත්න දැරී ය. ඒ අන් කිසිවක් නිසා නොව සචේතනී ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කරගැනීමට ඇති නොකැමැත්ත හේතුවෙනි.
‘‘මං මෙච්චර දේවල් කියද්දි ඔයා අහගෙන ඉන්නව විතරයි... ඇයි... ඔයාට මගෙං අහන්න මොනවත් ම නැද්ද ප්‍රතිෂ්ඨ...?’’ යැයි විමසූ සචේතනී එතෙක් ප්‍රතිෂ්ඨගේ පපුතුරෙහි හොවාගෙන සිටි හිස මඳක් ඔසවා ඍජුව ම ප්‍රතිෂ්ඨගේ උවන ඇගේ නෙත් ග්‍රහණයට නතු කරගත්තා ය.
සචේතනීගේ මුවෙන් නිකුත් වූයේ ප්‍රතිෂ්ඨ කිසි සේත් ම බලාපොරොත්තු නොවූ පැනයකි. ඒ, ඔහුට ඇගෙන් විමසන්නට කෙතරම් දෑ තිබුණ ද ඒ කිසිවක් නොවිමසා සිටි බැවිනි. ඔහු එසේ නිහඬව සිටියේ ඇගේ සිත රිදේ යැයි හෙතෙම උපකල්පනය කළ බැවිනි. දැන් ඔහුට ඒ අවස්ථාව උදා වී තිබේ.
‘‘මොකද නැත්තෙ...? අහන්න ගොඩක් දේවල් තියෙනව. ඒත් මං හිතුව ඔයා කතාව කියල ඉවර වෙනකං මොනවත් අහන්නෑ කියල. ඒ නිසා ඔයා දිගටම ඔයාගෙ හිතේ තියෙන දේවල් කියන්න. ඊට පස්සෙ මං මට තියෙන ප්‍රශ්න අහන්නං... මං ඔයාගෙ කතාව මැදට පැන්නොත් ඔයාට, ඔයා කියන්න ආපු කතාවෙ සමහර කොටස් අමතක වෙන්න පුළුවං.’’
‘‘දැං මං මගේ කතාවෙ හුඟක් දේවල් කියල ඉවරයි ප්‍රතිෂ්ඨ. ආයෙ කියනවනං ඉතිං කියන්න තියෙන්නෙ වර්තමාන තත්ත්වෙ විතරයි.’’
සචේතනී එසේ පැවසුවේ ප්‍රතිෂ්ඨ වෙතින් පැන විමසුමක් බලාපොරොත්තුවෙන් ම ය. ඒ, සිය ජීවිත කතාවේ ඇයට අතපසු වූ පිටු තිබේ නම් ඒ පිළිබඳ යළි ආවර්ජනය කළ හැකි බැවිනි.
‘‘හරි... එහෙනං මං ඔයාගෙං දෙයක් අහන්න ද...?’’ යැයි ප්‍රතිෂ්ට විමසුවේ සචේතනීගේ සවිධග ඔහුගේ දකුණතේ මහපටැඟිල්ලෙන් සහ දබරැගිල්ලෙන් අල්ලා මඳක් ඉහළට ඔසවන අතර ය. ඒ නිමේෂයේ ඇගේ දෙනෙත් තුළින් ඇදී ආ ආලෝක කදම්බ තුළ ඔහුගේ උවන ඇගේ උවන වෙත ඇදගැනීමට තරම් සමත් චුම්භකත්ව ශක්තියක් පිරී පැවතිය ද ඔහු හැකිතාක් දුරට තම චිත්ත ශක්තිය ඊට එරෙහිව මෙහෙයවී ය. තමා ඉදිරියේ සිටින්නේ වෙනත් කාන්තාවක වූවා නම් මේ වන විටත් ඔහු එම කාන්තාවගේ දෙලවන් රසය ද චූෂණය කර හමාර ය. නමුදු මේ ඇරඹෙමින් පවතින්නේ රසවත් ම නිමේෂය නොව රසවත් ම නිමේෂයට ළගාවීමේ ආරම්භක අවස්ථාව ය. එය තව දුරටත් ආරම්භක අවස්ථාවක් ලෙස ම පවත්වාගන්නට හෙතෙම සිය අභ්‍යන්තර චිත්ත ශක්තිය මෙහෙයවී ය.
‘‘හරි... අහන්න... හැබැයි ඊට කලිං මං පොඩි ඉල්ලීමක් කරන්න ද...?’’
‘ඉල්ලීමක්... ඒ මොකද්ද... ඇයි... මෙයාට මගෙං හංගන්න මොනව හරි තියෙනව ද...? නෑ මං හිතන්නෑ මෙච්චර දේවල් කියපු මට හංගන්න තරං දෙයක් මෙයාට තියෙනව කියල.’
‘‘ඉල්ලීමක්... ඒ මොකද්ද...?’’
ප්‍රතිෂ්ඨ විමසුවේ මඳ වික්ෂිප්ත භාවයකිනි.
‘‘හයියෝ... මොකද මේ බය වෙලා වගේ...! මං... මං... කකුල් දෙක අර පැත්තට දාල ඔයාගෙ ඔඩොක්කුවෙන් ඔළුව තියාගන්න ද...? එතකොට ඔයාට පුළුවං මගෙං අහන දෙයක් කෙළිං ම මගේ මූණ දිහා බලාගෙන අහන්න.’’
ඇගේ මුවෙන් එම වදන් පෙළ ගිලිහුණු සැණින් ප්‍රතිෂ්ඨ දැඩි මානසික අපහසුතාවකට ලක්විය. ඒ අන් කිසිවක් නිසා නොව මේ දැන් නිමේෂයකට පෙර ඔහු ඇය පිළිබඳ දැරූ අදහස පිළිබඳව ය. ඇය තමා අස හැසිරෙන්නේ වයස විසි එකක සහ දහඅටක දරු දෙදෙනෙකුගේ, අවුරුදු හතළිස් තුනක් වයසැති, මවක ලෙස නොව කුඩා දරුවකු ලෙස නොවේදැයි ඔහුට සිතිණ. ඒ හා සමග ම හෙතෙ ම මනසින් සිය දහස් වාරයක් සචේතනීගෙන් සමාව අයැදී ය. ඔහුගේ මානසික ව්‍යාකුලත්වය පහකරගනු වස් හෙතෙම වෙනත් උපායක් යෙදී ය.
‘‘ආ... දැං ඔයා මේ පුටුවෙ කෙළවරේ ඉඳල එකපාට්ට ම පැනල මගේ පපුව බදාගත්තෙත් මගෙං අහල ද...?’’ යැයි විමසුවේ ඇගේ දෙකොපුල් ඔහුගේ දෙඅත්ලෙන් තෙරපාගෙන දෙපසට වනමිනි.
කුඩා දරුවකු මෙන් අගේ දැතින් ඔහුගේ පපුවට පහර කිහිපයක් එල්ල කළ ඇය, දෙපා සෝපා අසුනේ ඇය කලින් සිටි පස ඇන්ද මත තබා හිස ප්‍රතිෂ්ඨගේ දෙකළවය මත තබා දිගැදුණා ය. ප්‍රතිෂ්ඨ සිය වමත ඇගේ ලලාට තලය මත තැබුව ද දකුණත කොතැන තබන්නේ දැයි තීරණය කළ නොහී එය සෝපාව මත ම දිගැර තත්ත්පර පහ හයක් ඉක්ම යන්නට මත්තෙන් සචේතනී ක්ෂණයෙන් ඒ අත ඇගේ දකුණතින් අල්ලා එකිනෙකට ආසන්නයේ පිහිටි කුඩා කුඹු දෙකක් බඳු තුනුපල යුවළ මත තබාගත්තා ය. ඊට බිඳකුදු විරෝධයක් නොපෑ ප්‍රතිෂ්ඨ ද ඇයට රිස්සක් කරන්නට ඉඩැර ඇගේ දෙනෙත් මත ඔහුගේ දෙනෙත් ඇලවී ය.
‘‘හරි... දැං ඔයාට මගෙං අහන්න තියෙන ඕන දෙයක් අහන්න,’’ යැයි පවසමින් ඇගේ වමතැඟිලි අතර ප්‍රතිෂ්ඨගේ දකුණතේ ඇඟිලි සිරකරගන්නා අතර ම දකුණත ඔහුගේ ඉඟ වටා යැව්වා ය.
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/06/30
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්