‘‘හරි... දැං ඔයාට මගෙං අහන්න තියෙන ඕන දෙයක් අහන්න,’’ යැයි පවසමින් ඇගේ වමතැඟිලි අතර ප්‍රතිෂ්ඨගේ දකුණතේ ඇඟිලි සිරකරගන්නා අතර ම දකුණත ඔහුගේ ඉඟ වටා යැව්වා ය.
‘‘හම්ම්ම්... මං වැඩිය ඈතට නොගිහිං මෙතනිං පටං ගන්නං...’’
‘‘කොතනිං ද...?’’
සචේතනී විමසුවේ ප්‍රශ්න විචාරක තරගයකට මුහුණ දෙන තරගකාරියක ලෙසිනි. එයින් වඩාත් තහවුරු වූයේ ප්‍රතිෂ්ඨ විමසන ඕනෑම පැනයක් සඳහා පිළිතුරු සපයන්නට ඇය සූදානමින් පසුවන බවට වූ ලකුණු ය.
‘‘දැං ඔයා කියපු විදියට අමෝද්‍ය කලිං කසාදයක් බැඳල ඉද්දි ම ඔයත් නීත්‍යානුකුලව කසාද බැන්ද නෙ... ඉතිං ඒක වැරදියි නෙ... ඒක ගැන අමෝද්‍යගෙ කලිං වයිෆ් මොකුත් තීරණයක් අරගෙන නැද්ද...’’
ප්‍රතිෂ්ඨ විමසූ පැනයට එකපැහැර පිළිවදන් නොසැපයූ සචේතනී මඳ වේලාවක් ඇගේ දෙනෙත් ඍජුව ම ප්‍රතිෂ්ඨගේ දෙනෙත් වෙත එල්ල කරගෙන සිටියේ ඒ දෙනෙත්වලින් විහිදෙන ආලෝක කදම්බය තුළ ඇගේ පිළිතුර ලියැවී ඇති සෙයිනි. ප්‍රතිෂ්ඨ ද ඒ ආලෝක කදම්බය තුළ සැඟව පවතින වදන් මොනවාදැයි සොයන්නට දැඩි වෙහෙසක් ගත්ත ද එතුළ සැඟව පැවතියේ හිස් බවක් ම පමණි. එබැවින් ඔහුට යළි ප්‍රශ්න කරන්නට සිදු විය.
‘‘ඇයි සචේති...? ඉතිං ඔයාමනෙ කිව්වෙ ඕන ම දෙයක් අහන්න කියල. ඒකයි මං ඇහුවෙ...’’
ප්‍රතිෂ්ඨ පැවසුවේ සචේතනීගේ ලලාට තලයේ සිට පහළට ඔහුගේ දකුණත්ලෙන් හිස පිරිමදින අතර ය. ඇය, දෑතින් ම ඇගේ තුනුපල යුවළ මත තිබූ ප්‍රතිෂ්ඨගේ අත අල්ලාගත්තා ය; ඉක්බිති ඇය විසින් ම ඔහුගේ අත ඇගේ කොපුලක් මත තබා මඳක් තෙරපන අතර ම ‘‘ඔයාගෙ පළවෙනි ප්‍රශ්නෙ ම කඩඉම් ප්‍රශ්නයක් වගේ ප්‍රතිෂ්ඨ... ඒකයි මං මේ ටිකක් කල්පනා කරේ...?’’ යැයි පැවසුවේ සැහැල්ලුවෙන් වුව ද එම වදන් තුළ බරපතළ අදහසක් ගැබ්ව පැවති බව ඔහු අවබෝධ කරගත්තේ ය.
‘‘හරි හරි... මට සමාවෙන්න... ඔයා... ඔයා අකමැති නං ඒ ගැන නොකිය ඉන්න.’’
ප්‍රතිෂ්ඨ ඇය සනසන අටියෙන් පැවසුවේ තවදුරටත් ඇගේ ලලාට තලයේ සිට හිස පහළට පිරිමදින අතර ම ය.
එසැණින් ම ප්‍රතිෂ්ඨගේ යටි නැබ දෙසට උවන හරවා මඳක් තෙරපූ සචේතනී සිහින් ඉකිබිඳුම් හඬක් සමග ම කඩින් කඩ වදන් වැලක් මුදා හැරියා ය. ඒ වදන් අපැහැදිලි වුව ද සියලු වදන් අසීරුවෙන් එකතු කළ විට ලියැවුණ වාක්‍ය ‘‘එ... එයා... මාව... කසාද... බැඳල... තිබුණෙ... බොරුවට... ප්‍රතිෂ්ඨ...’’ ලෙස කියවාගත හැකි විය.
ඇය අසීරුවෙන් මුදා හළ වදන් පිළිවෙළකට අමුණා කියවාගත් ප්‍රතිෂ්ඨ දැඩි වික්ෂිප්ත භාවයකට පත්විය. ඒ වික්ෂිප්ත භාවය කෙතරම් ද යත් ඔහු ද නොදැනුවත්ව ඔහුගේ මුවෙන් ‘‘මොකක්...! ඌ ඔයාව කසාද බැඳල තියෙන්නෙ බොරුවට...!! ඌ මාර ##යෙක් නෙ...’’ යන වදන් පෙළ පිටතට විසිවිණ. එසැණින් ම හෙතෙම ‘‘මට සමාවෙන්න සචේති... වැරැදි දෙයක් කියවුණා නං මට සමාවෙන්න,’’ යැයි පවසමින් ඇගේ හිස මත අත තබා එය ඔහුගේ යටි නැබ වෙත මඳක් තෙරපී ය.
‘‘ඔවු ප්‍රතිෂ්ඨ... එයා මාවත් අරගෙන අධිකාරිගමට ගියාට දවස් කීපයක් යනකං මාව මගෑරිය නෙ... ඒ කියන්නෙ...’’ යැයි පැවසූ ඇය යමක් පවසා ගැනීමට නොහැකිව පසුබසින්නට වූවා ය.
‘‘හරි හරි... සචේති... ඔයා කියන දේ මට තේරෙනව. ඉතිං... ඊට පස්සෙ මොකද උණේ....?’’
‘‘අමෝද්‍ය ඒ හැම දේකට ම කල් මරල තිබුණෙ... බොරුවට හරි මාව කසාද බැඳල ම මාව එයාගෙ කරගන්න බලාපොරොත්තුවෙන්. එදා එයත් එක්ක ඇවිත් හිටපු හැමෝ ම මේ හැම දෙයක් ම දැනගෙන ඉඳල තියෙනව. ඒත් ඒ හැමෝ ම මං ඉස්සරහ හැසිරුණේ මේ කිසිම දෙයක් නොදන්න විදියට. මං හරිම පවුකාරියක් ප්‍රතිෂ්ඨ... මං හරිම පවුකාරියක්’’
ඇය යළිත් ඉකිගසන්නට වූවා ය. ඇයට කිසිදු බාධාවක් නොකළ ප්‍රතිෂ්ඨ දෙඅත්ලෙන් ම ඇගේ හිස මෘදු ලෙස පිරිමැද්දේ ය. කාලය ඔවුන් මතු නොව සමස්ත පරිසරය ම පසු කර වේගයෙන් ගමන් කරද්දී දෙනො අතර ම දැඩි නිහඬතාවක් පෙරමුණ ගත්තේ ය.
‘මේ මනුස්සය මේ හැම දෙයක් ම දරාගෙන හිටියෙ කොහොම ද...? තව දුරටත් ඉන්නෙ කොහොම ද...? වෙන මනුස්සයෙකුට මේ වගේ දෙයක් උනානං මෙලහකටත් එක්කො අර යකා හිරේ... එහෙම නැත්තං...’
‘‘ප්‍රතිෂ්ඨ...’’
සචේතනීගේ හඬ සවන් පත් අතරට රිංගු සැණින් ප්‍රතිෂ්ඨගේ කල්පනා දැහැන බිඳි ගියේ ය.
‘‘ඔවු සචේති... කියන්න...’’
ඇගේ උවන දෙස නොබලා ම හෙතෙම පැවසී ය.
‘‘ඇයි...? ඔයා ප්‍රශ්න අහල ඉවර ද...?’’
සචේතනී ඉතා සැහැල්ලු ස්වරයෙන් විමසුවේ නිමේෂයකට පෙර ඇය ඉකිබිඳි බව ද අමතක කරමිනි.
‘‘නෑ පැටියො... තව ප්‍රශ්න නං තියෙනව. ඒත්...’’
‘‘ඒත්... ඒව ඇහුවොත් ඔයා ආයෙ ආයෙ අඬාවි... එහෙම නේද...?’’
සචේතනී, ප්‍රතිෂ්ඨගේ මුවෙන් නිකුත් විය යුතු වදන් ඇගේ මුවෙන් මුදා හැරියා ය.
‘‘ඇත්තට ම...’’
ඔහු ද කෙටියෙන් ම පිළිවදන් සැපවූයේ ය.
‘‘කමක් නෑ ප්‍රතිෂ්ඨ... මට මේ හැම දෙයක් ම ඔයත් එක්ක කියල හිත සැහැල්ලු කරගන්න ඕනෙ... ඒ නිසා අහන්න. මං පුළුවං තරං අඬන්නැතුව උත්තර දෙන්න ට්‍රයි කරන්නං... ඔයා අහන්න. මොකද මං ආයෙ කාටවත් මේ කතාව කියන්න බලාපොරොත්තු වෙන්නෑ... මේ කතාව අහන පළවෙනියත් ඔයා... අන්තිමයත් ඔයා... ඉතිං මට මේ හැම දෙයක් ම කියන්න ඕනෙ... ඔවු... හැම දෙයක් ම...’’
ඇය යළි පෙර සේ ම හිස කෙළින් කර ඍජුව ම ප්‍රතිෂ්ඨගේ උවන ඇගේ දෙනෙත්වල ග්‍රහණයට නතු කරගත්තා ය.
‘‘ඔයා අඬන එක හරි... ඔයාට ඇඩෙන එක හරි විශේෂ නෑ සචේති... අඬන්නෙ හරි... ඇඬෙන්නෙ හරි නැත්තං තමයි පුදුම... වෙන කෙනෙක් නං මේ වෙද්දි මොන තත්ත්වයක් උදාවෙලාද කියල මටනං හිතාගන්නවත් බෑ.’’
ප්‍රතිෂ්ඨ, මෙතෙක් සිත තුළ සඟවාගෙන සිටි අදහසක් මුදා හැරියේ පැනයක් ලෙස නොවුණ ද සචේතනී එය පැනයක් ලෙස බාරගෙන ඊට පිළිවදන් ද සපයන බව ඔහු දැන සිටියේ ය. එය නිවැරැදි විය.
‘‘ඔයා හරි ප්‍රතිෂ්ඨ... ඒ උනාට ප්‍රතිෂ්ඨ මං විශ්වාස කරනව මේ හැම දේකට ම මමත් වගකියන්න ඕන කියල. මොකද ඉස්කෝලෙදි අමෝද්‍යට මාව ඕනෙ උනාට වඩා මටයි අමෝද්‍ය ඕන උණේ. විභාගෙං පස්සෙ අම්මයි තාත්තයි මාව රට යවන්න හදද්දි අමෝද්‍ය මට කිව්වෙ යන්න කියල. ඒ, එයා එයාගෙ හෘද සාක්ෂියට එකඟ නිසා. එයා කවදාවත් මට කිව්වෙ නෑ එයා දාල යන්නෙපා කියල. ඇත්තට ම එයාට ඕනෙ උණේ මගෙං ඈත් වෙලා ඉන්න. හැබැයි මට ඕනෙ උණේ එයත් එක්ක ඉන්න. ඒ නිසා තමයි මං අන්තිමේදි දිවසත් අයියගෙ පිහිට පැතුවෙ. පස්සෙදි අයියත් හරියට දුක් උණා අපිට උදවු කරල එයා කරේ වැරැද්දක් කියල. මං ඒත් එයාට පැහැදිලි කරා ඒ මොහොතෙ එයා මට කරේ උදව්වක් කියල.’’
‘‘මං ඔයාගෙං දෙයක් අහන්න මට අවංකව ම ඔයාගෙ අදහස කියනව ද...?’’
සචේතනීට බාධා කළ ප්‍රතිෂ්ඨ විමසී ය.
‘‘අහන්න ප්‍රතිෂ්ඨ අහන්න... ඔයාට ඕන දෙයක් අහන්න මං කලිනුත් කිව්වෙ... මට මේ කතාවෙ ඔයාට හංගන්න දෙයක් නෑ...’’
ඇය පිළිවදන් සැපවූයේ ඉතා සැහැල්ලුවෙනි.
‘‘හදිසියෙවත් ඔයා බොරුවට හරි කසාද බඳින්න කලිං අමෝද්‍ය බැඳපු කෙනෙක් කියල දැනගත්තනං...?’’
‘‘ම්ම්ම්... ඇත්තට ම ප්‍රතිෂ්ඨ මං ඒ දවස්වල අමෝද්‍ය ගැන පිස්සුවැටිලයි හිටියෙ. හැබැයි ඇත්ත ම කියනව නං... අම්මල මාව රට යවන්න ට්‍රයි කරන්න කලිං දැනගත්තනං...’’
වදන් ගිලගත් ඇය මොහොතක් නිහඬ වෘතයක ගිලුණා ය. ඇය රිසි මොහොතක හඬ අවදි කරන තෙක් ප්‍රතිෂ්ඨ ඇගේ හිස පිරිමදිමින් කාලය ගත කළේ කිසිදු පැනයක් නොවිමසමිනි. අවසන ඇය ම ඒ නිහඬතාව බිඳලුවා ය.
‘‘ඇත්තට ම ඒ වෙද්දි දැනගෙන හිටිය නං මගේ හිත හදාගන්නත් එක්ක මං ඕස්ට්‍රේලියා යනව ප්‍රතිෂ්ඨ.. ඒක වැරැදි ද හරිද මංද... මං කියන්නෙ ඒ වෙද්දි දැනගෙන හිටියනං. හැබැයි... මගේ හැම දෙයක් ම නැති කරගෙන, මට යන්න එන්න... ඉන්න හිටින්න තැනක් නැති කරගෙන එයත් එක්ක ආවට පස්සෙ ගෑනියෙක් විදියට, දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් විදියට... මට වෙන කරන්න දෙයක් නෑ ප්‍රතිෂ්ඨ. ඔයා විශ්වාස කරනව ද ප්‍රතිෂ්ඨ...? චාමලී අක්ක අපේ ගෙදරට ඇවිත් මේ විස්තරේ කියපු දවසෙ ඉඳං අමෝද්‍ය මාව අතැරල යනකං මං කවදාවත් එයාගෙං මේ ගැන කිසිම දෙයක් ඇහුවෙ නෑ. දැං මං මේ කියන හැම දෙයක් ම මට එකින් එක කිව්වෙ චාමලි අක්ක. අඩුම ගානෙ අමෝද්‍යගෙ අම්මවත් මේ වෙනකං මට එක වචනයක් කතා කරල නෑ. ඒ තියා සුනේත්‍රවත්...’’
ඇගේ මුවෙන් ගලා එන වදන් මොහොතකට නවතන්නැයි ඉඟි කළ මා ඇගෙන් අතුරු ප්‍රශ්නයක් විමසී ය.
‘‘ඇත්තට ම මං මේ අහන්න කියල හිටියෙ... එයා කවදාවත් ඔයා හම්බ වෙන්න ඇවිත් නැද්ද...? මං අහන්නෙ සුනේත්‍රා...? අඩුම ගානෙ ෆෝන් එකෙං කතා කරලවත් ‘හොද හිතිං කියන්නෙ... මගේ මිනිහ අතඇරපං... නැත්තං මං නරක ගෑනි කියල කියන්නෙපා හරිද...’ කියලවත් කියල නැද්ද...?’’
අපරාදෙ කියන්න බෑ සුනේත්‍රත් මට මේ වෙනකං මොනවත් ම කියලවත්... අඩුම ගානෙ ටෙලිෆෝන් එකෙංවත් මොනවත් කියල නෑ. එයා, අමෝද්‍ය, අමෝද්‍ය ගෙ අම්ම... ඒ හැම කෙනෙක් ම ගන්න හැම තීරණයක් ම මට කිව්වෙ සහ දැනට කියන්නෙත් චාමලී අක්ක. එයා තමයි මේ හැම දේකම දූත මෙහෙවර කරන්නෙ; හැම දෙනාගෙ ම දුක්ගන්නා රාල විදියට වැඩ කරන්නෙ... මං දන්නෑ මං කරන්නෙ වැරැද්දක් ද කියල. එයා ඉස් ඉස්සෙල්ලම අපේ ගෙදරට ආපු දවසෙ ඉඳල මමත් හැම දෙයක් ම කරේ එයා කියන විදියට. මට හැඟෙන දැනෙන හැම දෙයක් ම කිව්වෙත් එයත් එක්ක. මොකද මට වෙන විකල්පයක් තිබුණෙ නෑ. මට මගේ ප්‍රශ්න කියන්න කෙනෙක් හිටියෙ නෑ. දිවසත් අයියට කිව්ව කියල එයාට කරන්න පුළුවං කිසිම දෙයක් නෑ. එයත් දැං දරුවො දෙන්නෙකගෙ තාත්ත කෙනෙක්. අනික එයා පාවල දෙන්න මට කොහොමටවත් බෑ. ඒ නිසා එයා අපිට උදවු කරපු එක අමෝද්‍ය ඇරුන ම තවමත් දන්නෙ ඔයා විතරයි. අනික ප්‍රතිෂ්ඨ සුනේත්‍රත් එක්ක කෙහෙවලු පටලගන්නවට වඩා මෙහෙම ඉන්න එක මට දාහෙන් සම්පතක්.’’
ගලා හැලෙන දිය ඇල්ලක හඬින් සහ රිද්මයෙන් වදන් මුදා හරින සචේතනීට බාධා කළ ප්‍රතිෂ්ඨ යළි පැනයක් විමසී ය.
‘‘සුනේත්‍ර එහෙම ඔයත් එක්ක පැටලෙන්න ආවෙ නැත්තෙ ඇයි කියල ද ඔයා හිතන්නෙ...?’’
‘‘මං හිතන්නෙ... එයා මට වෙච්ච දේ හොඳින් තේරුම් අරගෙන ඇති. එයා වගේ ම මාත් ගෑනියෙක් කියල එයා තේරුම් අරගෙන ඇති; සමහර විට එයාට එයාගෙ ම කියල ළමයි නැති නිසා මගේ දරුවො දෙන්න ගැන හිතන්න ඇති. චාමලි අක්ක නං කිව්වෙ එයා කලිං කසාදෙ දි හුඟක් අපවාද අහල තියෙන නිසා වෙන්නැති කියල. හැබැයි චාමලි අක්ක කියපු විදියට එයා අමෝද්‍යට නම් සෑහෙන්න ත්‍රෙට් කරනවලු. සුනේත්‍ර මේ දේවල් දැනගත්තට පස්සෙ අමෝද්‍ය හැම දෙයක් ම කරේ සුනේත්‍රට ඕනෙ විදියටලු. හැබැයි අපිට වියදං කරන එකට පොඩ්ඩක්කත් විරුද්ධ නැතිලු. සමහර විට ඒ, අමෝද්‍ය අපිට වියදං කරන්නෙ අමෝද්‍යගෙ සල්ලි නිසා වෙන්නැති කියලයි චාමලි අක්කනං කියන්නෙ.’’
‘‘ඔවු... ඒක නිසා වෙන්න පුළුවං... මොකද එයාලටත් ජීවත්වෙන එක ගැන ගැටලු නැහැ නෙ... කොහොම උනත් ඒ ගෑනි තන්හාධික ගෑනියෙක් නෙවෙයි නේද...?’’ යැයි ප්‍රතිෂ්ඨ විමසී ය.
‘‘හම්ම්ම්... හැබැයි එයා සල්ලිවලට තන්හා නැති උනාට අමෝද්‍ය ගැන නම් හරිම තන්හාවයිලු...’’ යැයි පැවසූ සචේතනී සන්තාපය අතරින් ම වුව ද කිකිණි රාවයක් ද නැගුවා ය; එතැනින් නතර නොවූ ඇය ‘‘හරියට මං ඔයාට වගේ,’’ යැයි පවසනාතර ම ප්‍රතිෂ්ඨගේ ගෙල වටා දැත් යවා. ඔහුගේ හිස පහත් කර, ඇගේ හිස ද මඳක් ඔසවමින් කිහිප වතාවක් ම ප්‍රතිෂ්ටගේ දෙකොපුල් සිපගත්තේ ඔහු විමතියට පත් කරමිනි. සිදුවන සියල්ල ස්වප්නයක් යැයි සිතු ඔහු ඇයට රිස්සක් කරන්නට ඉඩ හැර ඇගේ ගෙලට යටින් ඔහුගේ දකුණත ද වම් කිසිල්ලට යටින් වමත ද යවා ඇය ඔහුගේ උකුළ මතින් නොගිලිහෙන ලෙස රඳවාගන්නට යත්න දැරුවා ය.
එක පෙළට හාදු කිහිපයක් ම ප්‍රතිෂ්ඨගේ දෙකොපුලෙහි තැවරූ ඇය එක් වර ම දෙපා පොළොව මත තබා, කඳ ඍජු කර නැගී සිට ‘‘දැනට ඇති... ඉතිරි කොටස තේ විවේකයෙං පස්සෙ,’’ යැයි පවසමින් ප්‍රතිෂ්ඨගේ දෑත් ද දෙපසට ඉවත් කර යළි ඔහුගේ ලලාටය මත හාදුවක් තවරා ඉක්මන් ගමනින් නිවස තුළට ගමන් කළා ය.
ඉවර නැ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/07/07
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්