සියල්ල අසා සිටි ප්‍රතිෂ්ඨ දිගු සුසුමක් ඉහළට ගෙන මන්දගාමීව එය පහත හෙලන අතර ම මෙතෙක් ඇගේ හිස පිරිමදිමින් සිටි අත ඇගේ බඳවටා යවා,
ඇය ඔහුගේ සිරුරට තෙරපාගත්තේ ය. ඒ නිමේෂයේ දෙදෙනාගේ සිරුරු එකිනෙකට ඇලී තිබිණ; එකිනෙකාගේ උරිස් මත එකිනෙකාගේ හිස් සැඟව තිබිණ. මිනිත්තුවක් පමණ එකම ඉරියව්වෙන් සිටිද්දී එක්වර ම සචේතනී ඇඟලා සිටි ටී කමිසය ද විනිවිද පැමිණි උණුසුම් දිය බිඳු කිහිපයක් ඇගේ උරිස තෙත් කළේ ඇය විශ්මයට පත් කරමිනි.
‘‘ප්‍රතිෂ්ඨ... අනේ ඇයි පැටියො මේ...?’’
ඇය ද නොදැනුවත්ව ඒ වදන් කිහිපය ඇගේ මුවෙන් විදාරණය විය. එහෙත් ඒ නිමේෂයේ ඊට පිළිවදන් සපයන්නට තරම් ශක්තියක් ප්‍රතිෂ්ඨ සතුව නොපැවතිණ. එහෙයින් ඔහු ද නොදැනුවත්ව ඔහුගේ හිස මන්දගාමී ගැස්මකට ලක්ව තිබිණ.
‘දෙයියනේ... මොකද්ද මං මේ කරේ...? ඇයි මං ප්‍රතිෂ්ඨ ඇඬෙව්වෙ... නෑ නෑ මේ... ඇයි ප්‍රතිෂ්ඨ අඬන්නෙ...? මගේ අතින් මොකක් හරි වරක් උණාද...’
මඳක් කල්පනා කළ ඇය ප්‍රතිෂ්ඨගේ සිරුර තව තවත් තදින් වැලඳගන්නා අතර ම යළිත් ඔහු ඇමතුවා ය.
‘‘ඇයි මේ... මං කවදාවත් හිතුවෙ නෑ ඔයා... ඔයා...’’
ඇයට පැවසීමට අවකාශ ලැබුණේ එපමණකි. එතෙක් ඇගේ උරිස මත සැඟවි තිබූ ප්‍රතිෂ්ඨගේ හිස ඉවතට ඇදිණ. ඊට සමගාමිව ම ඇගේ හිස ද ප්‍රතිෂ්ඨගේ උරිස මතින් මඳක් ඈත් විය.
‘‘ඔයා හිතුවෙ නෑ මං කවදාවත් ඔයා ඉස්සරහ මේ වගේ හැසිරෙයි කියල... එහෙම නේද සචේති... එහෙම නේද...?’’
ප්‍රතිෂ්ඨ ඉතා මෘදු හඬින් විමසුවේ ක්ෂණිකව ම ඇගේ දෙකිසිලි යටින් යැවූ ඔහුගේ දෑත් ඇගේ බඳවටා වෙළමින් ඇය ඔහුගේ සිරුරට තෙරපාගන්නා අතර ය. දෙදෙනාගේ සිරුරු දෙදෙනාගේ ම ළය මඬල තෙක් එකිනෙක තෙරපෙමින් පැවති අතර දෙදෙනාගේ ම ගෙලින් ඉහළ කොටස් පමණක් අඟල් හයක පමණ පරතරයක රැඳී පැවතිණ. එහෙත් එකිනෙකාගේ දෙනෙත් සමග එකිනෙකා අනිමිස ලෝචනයක යෙදෙනවා මිස කිසිදු වදනක් දෙදෙනා අතර හුවමාරු නොවිණ; තවමත් ප්‍රතිෂ්ඨගේ දෙනෙතින් මන්දගාමීව ගලායන අක් දහර සචේතනීගේ දෙනෙත්හි සනිටුහන් විය. ඇය, ඒ සැබැවින් ම සිදුවන්නක් ද යන්න අදහා ගත නොහී තව තවත් ඒ දසුන තම දෙනෙත් තුළට ග්‍රහණය කරගත්තා ය. තව දුරටත් එය දරා සිටිය නොහැකි වූ සැණින් ඇය යළිත් ප්‍රතිෂ්ඨගේ උරිස මත ඇගේ හිස සැඟවූවා ය; දෙදෙනා අතර යළි නිහඬතාව පැතිරිණ; ඒ, තත්ත්පර කිහිපයකට පමණි; එසැණින් ම සචේතනී වෙතින් ද ඉකිබිඳුමක් ඇසිණ; වදන් මුසු ඉකිබිඳුමක් ඇසිණ.
‘‘අනෙහ් මට සමාවෙන්න ප්‍රතිෂ්ඨ... මට සමාවෙන්න... මං... මං... මං කවදාවත් ඔයා මං ඉස්සරහ මේ තත්ත්වෙට පත් කරන්න හිතුවෙ නෑ ප්‍රතිෂ්ඨ... මට සමාවෙන්න... මං ඔයාට කොච්චර බැඳුණත්... ඔයා ගැන කොච්චර විශ්වාස කරත්... ඔයාට... ඔයාට මේ තරමට ම උණුවෙන හදවතක් ඇති කියල මං හිතුවෙ නෑ ප්‍රතිෂ්ඨ... මට සමාවෙන්න ප්‍රතිෂ්ඨ... මට සමාවෙන්න...’’
මන්දගාමීව ඇරඹි ඉකි බිඳුම කෙමෙන් කෙමෙන් වේගවත් වන අතර ම ඇගේ වදන් උච්ඡාරණය ද වේගවත් විය; හඬ ද ඉහළ නැගිණ. ඇගේ ඒ හැසිරීම් විලාසය දරාගත නොහුණු ප්‍රතිෂ්ඨ, ඉතා මෘදු ලෙස ඇගේ ගෙල පිටුපස සිට කශේරුකා නාරටිය මතින් ඔහුගේ දකුණත්ල ඉහළ පහළ ගෙන ගියේ ය. ඒ අතර ම ඇය වෙත සැනසුම් වදන් තෙපළී ය.
‘‘සචේති... සචේති... සචේති... ඇයි මේ... ඔයා මගෙං සමාව ඉල්ලන්න ඔයා මට වරදක් කරල නෑ... මට... මට... ඔයා ගැන දුකක්... දුකක් වගේ ම මහා අනුකම්පාවක් ඇති උණා. අනික... අනික මේ... මේ කිසි දේකට ඔයා වගකියන්න ඕනෙත් නෑ. මේක මේ සමාජ ආකල්පවල වරද... ඒ වැරදි නිසා ඔයාල වගේ හිතේ දුක වගේ ම ගතේ වේදනා තද කරගෙන ඉන්න ගෑනු කොච්චර නම් මේ රටේ... රටේ විතරක් නෙවෙයි ලෝකෙ ම කොච්චර ඇද්ද... ඔයා... ඔයාට හොඳයි කියල හිතෙන වෙලාවක හොඳයි කියල හිතෙන තීරණයක් අරගෙන තියෙනව. මට වේදනාවක් දැනුණෙ ඔයා... ඔයා අවුරුදු ගණනාවක් තිස්සෙ මොන තරං වේදනාවක් දරාගෙන හිටිය ද කියල. අනෙක සචේති... ඔයාට එහෙම වේදනාවක් විඳින්න උනෙත් ඔයා ගෑනියෙක් නිසා නේද කියන එක දැනුණ නිසා... ඔයා පිරිමියෙක් උනා නම් ඔයාට ඔය වේදනාව යම් තරමකට හරි මගහරවගන්න තිබුණ... හම්ම්ම්... හරි හරි... දැං අඬංනැතුව ඉන්නකො... කොහ්... මගේ මූණ බලන්න...’’
ප්‍රතිෂ්ඨ එලෙස පවසා අවසන්වන්නටත් පෙර ම සචේතනී ඔහුගේ උරිසෙන් හිස ඉවත් කර මීට මොහොතකට පෙර මෙන් යළි ඔහුගේ දෙනෙත් සමග ඇගේ දෙනෙත් පටලවා ‘‘ඇයි... ඇයි මං ගෑනියෙක් නිසා ම මට මේ වේදනාව දරාගෙන ඉන්න උණා කිව්වෙ...?’’ යැයි විමසුවා ය.
‘‘හම්ම්ම්... එහෙම කිව්වෙ ද...?’’ යැයි විමසූ ප්‍රතිෂ්ඨ ඇගේ සවිධගින් අල්ලා හිස මඳක් ඔසවා දෙකොපුල් මත මෘදු හාදු යුවළක් තවරා ‘‘දැන් ඔය විදියට ම ඉඳල අමාරුත් ඇතිනෙ... කොහ්... ඉස්සෙල්ල වගේ මගේ උකුලෙං හාන්සි වෙන්නකො...’’ යැයි පවසනවාත් සමග ම කිහිප වතාවක් ම ප්‍රතිෂ්ඨගේ දෙකොපුල් සිපගත් සචේතනී ඉබ්බා දියට දැමූවිට ඇන්නැවෙයි කියන්නා සේ කඩිනමින් ම සෝෆා අසුනේ අනෙක් පස ඇන්ද මත දෙපා තබා පෙර සේ ම ප්‍රතිෂ්ඨගේ උකුළ මත හිස හොවාගත්තා ය; එතැනින් නතර නොවු ඇය ‘‘කොහ්... දැං ඔයා කියන්න හදපු එක කියන්නකො යැයි පෙරැත්ත කළා ය.’’
‘‘මෙහෙමයි... මං මේ කියන දේ ඔයාගෙ පැත්තෙන් මොන තරං සාපේක්ෂ ද කියල මං දන්නෑ. හැබැයි මං හිතනවා ඔයාට ගෑනියෙක් නිසා අහිමි වෙච්ච ඒ කායික සතුට පිරිමියෙක් විදියට අමෝද්‍යට නම් නැතිවෙන්න නැතුව ඇති කියල. මං මෙහෙම කිව්වට මං එක්ක අවුල් ගන්නෙපා. එක පැත්තකිං එයාට වෙන... වෙන නෙවෙයි... එයාගෙ කසාද ගැනි ඉන්නව. අනික් පැත්තෙං ගත්තම පැටියො පිරිමින්ට ඔය උවමනාව සපුර ගන්න ඕනෙ තරම් අවස්ථා තියෙනව. සරලව ම කියනව නං ගණිකාවක් එක්ක හරි ඉන්න පුළුවං. හැබැයි ගෑනියෙකුට පුළුවං ද එහෙම කරන්න... බැහැ නෙ... ඇත්තට ම බැහැත් නෙවෙයි... පිරිමියෙකුට ගෑනියෙක් හොයනවට වැඩිය හරි ලේසියෙන් ම ගෑනියෙකුට පිරිමියෙක් හොයාගන්න පුළුවං. හැබැයි ගෑනු ඒ තත්ත්වෙට පෙලඹෙනව අඩුයි. ඉතිං ගෑනුකම නිසා ම ගෑනුන්ට මේ හැම වේදනාවක් ම දරාගෙන ඉන්න වෙනව. ඔයා කිව්ව වගේ ම ගෑනියෙකුට එයාගෙ මේ ශාරීරික අවශ්‍යතා සපුර ගන්න පිරිමියෙක් ළං කරගන්න එක දැළි පිහියෙං කිරි කනව වගේ වැඩක්. පොඩ්ඩ එහා මෙහා උනොත් ඒ ගෑනිගෙ මුළු ජීවිතේ ම ඉවරයි. හැබැයි පිරිමින්ට එහෙම නෑ. පිරිමින්ට ගෑනු හුඟ දෙනෙක් එක්ක නිදාගන්නෙකත් ලොකු වීරකමක් නෙ... හැබැයි ගැනියෙකුට නීතියෙන් දික්කසාද උනාට පස්සෙත් පිරිමියෙක් ආස්සරේ කරන්න වෙන්නෙ හැමෝට ම හොරෙං... මොකද... ඒ ගැන තව පිරිමියෙක් දැනගත්තොත් ඌත් ට්‍රයි කරන්නෙ ඒ ගෑනිත් එක්ක නිදාගන්න. එහෙම නොවුනොත් අන්න අරකි අහවලත් එක්ක නිදාගත්ත කියල එෆ් බී එකෙත් දායි. ඒකයි මං කිව්වෙ ගෑනියෙකුට ගෑනියෙක් නිසා ම මේ මානසික වගේ ම කායික වුමනාකම් දරාගෙන ඉන්න සිද්ද වෙලා තියෙනව කියල. ඉතිං ඔයත් ඒ වුවමනාව කොච්චර අමාරුවෙං දරාගෙන ඉන්න ඇද්ද කියල මට හිතුණ. ඒ එක්ක ම ඔයා මං ගැන තියපු විශ්වාසෙ ගැන මට අදහගන්නත් බැරි උණා. ඒ සතුටයි... අර මං කියපු දුකයි දෙක ම එකතු වෙලා තමයි මගේ මේ කඳුළු පිට උනේ. එහෙම නැතුව ඔයා මට කිසිම වැරැද්දක් කරපු නිසා නෙවෙයි... තේරුණා ද... මට ඒ හැඟීම් දරාගන්න බැරි උණා... සමහර විට ඔයා හිතනව ඇති මං පිරිමියෙක් නිසා...’’
ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ සචේතනී ඇගේ දකුණත ප්‍රතිෂ්ඨගේ ගෙල වටා යවා ඔහුගේ හිස ඇය දෙසට පහත් කරන අතර ම වමතින් ඔහුගේ මුව වැසුවා ය.
‘‘නෑ නෑ ප්‍රතිෂ්ඨ... මං... මං කවදාවත් එහෙම හිතුවෙ නෑ... ඒත්... මං ඉස්සරහ ඔයා එහෙම හැගීම්බර වෙන එක මට දරාගන්න බැරි උණා. මං... මං කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු උණේ නෑ... ඒ හිංද ඒක මගේ හිතට මහ බරක් වගේ දැනුණ ප්‍රතිෂ්ඨ...’’
සචේතනී එම වදන් වැල මුදා හැර අවසන් වනවාත් සමග ම මෙතෙක් ප්‍රතිෂ්ඨගේ මුව වැසී තිබූ ඇගේ අත්ල සෙමෙන් ඉවත් කළ හෙතෙම ‘‘හම්ම්ම්... මට තේරෙනව... මං නිසා ඔයාගෙ හිතට වේදනාවක් දැනුණ නම් ඒ ගැන මටත් සමාවෙන්න...,’’ යැයි පවසන අතර ඇගේ උවන වෙත ඔහුගේ නැහැ තුඩ ආසන්න කරත් ම මේසය මත තබා තිබූ ඇගේ දුරකතනය නාද විය.
‘‘සොරි ප්‍රතිෂ්ඨ... මම ෆෝන් එක ඕෆ් කරන්න හිටියෙ අමතක උණා... පොඩ්ක් ඉන්න..,’’ යැයි සමාව අයැදි ස්වරයෙන් පැවසූ ඇය ඉක්මනින් ම මේසය වෙත ගොස් දුරකතනය අතට ගත් විට එහි ඇමතුම ගන්නා පුද්ගලයාගේ නම Sakhee ලෙස සටහන්ව තිබිණ. ඇමතුම විවෘත කිරීමට පෙර තමා දෙස නෙතු අයා සිටින ප්‍රතිෂ්ඨ දෙස බැලූ ඇය ‘‘සඛී... ඇයි දන්නෑ...?’’ යැයි විමසුවේ මඳ වික්ෂිප්ත භාවයකින් යුතුව ය.
මන්දස්මිතයකින් උවන සරසාගත් ප්‍රතිෂ්ඨ ‘‘ඇයි කියල මගෙං අහන්නෙ...! ආන්සර් කරල බලන්න... හදිසියද්ද දන්නෑනෙ...’’ යැයි පැවසුවේ ඉතා සැහැල්ලු ස්වරයෙනි.
සචේතනී දුරකතනය සවනසල රඳවාගෙන‘‘හෙලෝ...’’ යැයි විමසූ බව ප්‍රතිෂ්ඨට ඇසිණ. ඇය අනතුරුව සැපයූ පිළිවදන සවන් පත් අතර රැඳුණේ යාන්තමට මෙනි. ඒ, ඇය එතැන් සිට යමක් විමසුවේ ද, අනෙක් පසින් විමසන පැනයකට පිළිවදන් සැපවූයේ ද ඇයට ම පමණක් ඇසෙන තරම් සිහින් හඬකින් වූ බැවිනි. දෙදෙනා අතර හුවමාරුවන දෙබස් නොඇසුණ ද සචේතනී කෝල ලෙස පිළිවදන් සපයන ආකාරයත්, ඇතැම් අවස්ථාවල දී ඇය විලියෙන් මෙන් පිළිවදන් සැපයු ආකාරයත් ප්‍රතිෂ්ඨ නිරික්ෂණය කළේ ඇයට ද නොහැඟෙන සේ ය. ඒ, ඇය සහ යෙහෙළිය අතර හුවමාරු වන්නේ කුමන අදහසක් ද යන්න දැනගැනීම පිළිබඳ වුමනාවක් නොතිබුණ නිසා නොව දෙදෙනා අතර පවතින ඇමතුම සම්බන්ධයෙන් හෙතෙම උනන්දු වන බව සචේතනීට හැඟුනහොත් එය, ඇය ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වෙන්නට මග පෑදෙනු ඇතැයි සිතුණ බැවිනි.
දෙදෙනා අතර පැවති ඇමතුම මිනිත්තුවක පමණ කාල සීමාවකට යටත් විය. දුරකතනය මේසය මත තැබූ සචේතනී ඒ ඉරියව්වෙන් ම සිටගෙන තත්ත්පර කිහිපයක් ප්‍රතිෂ්ඨ වෙතට දෙනෙත් එල්ල කරගෙන සිටි බව ඔහු දිටී ය. එහෙත් ඒ බව නොහැඟවූ ඔහු ඒ වන විට අතට ගෙන තිබු ඔහුගේ දුරකතනයේ දෑස් අලවාගෙන සිටියේ ඇය කුමක් කරන්නේදැයි යැටැසින් බැලුම් හෙළමිනි.
පූර්ණ ස්මිතයකින් උවන සිතුවම් කරගෙන තමා වෙතට ඇදෙන ඇය දුටු ප්‍රතිෂ්ඨ මෙතෙක් සිය දුරකතනයේ අලවාගෙන සිටි දෙනෙත් එක පැහැර ම ඇය වෙත එල්ල කර ‘‘මොකෝ යාළුව කියන්නෙ...?’’ යැයි විමසී ය...
‘‘මාර වැඩේනෙ ප්‍රතිෂ්ඨ...’’ යැයි ඇය පැවසුවේ දෙනෙත් ද යම් තරමකට විසල් කරමිනි. එහෙත් ඇය මීට මොහොතකට පෙර පෑ ස්මිතය ප්‍රතිෂ්ඨට අමතකව නොතිබිණ. එය නොහැඟ වූ හෙතෙම ද තරමක් විමතියෙන් මෙන් ‘‘ඇයි...! සඛීට මොකක් හරි අවුලක් ද... එහෙම නැත්තං...?’’
ඔහු විමසන්නට අදහස් කළේ නිවසට කිසිවකු එන බව හැඟවූවා ද යන්න යැයි වටහාගත් බවක් විදා පෑ ඇය ‘‘නෑ අනේ... සඛීට අද ස්කුල් වෑන් එකේ එන්න වෙන්නෙ නෑල්ලු... ඉස්කෝලෙ වැඩක් වැටිලලු. ඒ නිසා එයා එනකං බලා ඉන්නැතුව අපිට ලන්ච් ගන්න කිව්ව...’’
‘‘ආ... ඒකද මෙච්චර වෙලා කිව්වෙ...?’’ යැයි විමසමින් සරදම් ස්මිතයක් පෑ ප්‍රතිෂ්ඨ දෑත දිගැර ඇඟ පතේ හිරි විහිදා ලූයේ සචේති සහ සඛී අතර පැවති අදහස් හුවමාරුව තුළ ඇය පවසනවාට වඩා වැඩි යමක් පැවති බවට වූ සැකය මනසෙහි තැන්පත් කරගෙන ම ය. ඔහුගේ වෙනස හඳුනාගන්නට ඇය ද සමත් වූවා ය.
‘‘ඇයි...? ඔයා හිතන්නෙ එයා වෙන මොනව හරි කිව්ව කියල ද?’’ යැයි විමසන අතර ම සචේති ක්ෂණිකව ම ප්‍රතිෂ්ඨගේ උකුළ මත අසුන් ගත්තේ කුඩා දරුවකු මෙනි.
සරදම් ස්මිතයකින් උවන සරසා ගත් ප්‍රතිෂ්ඨ ‘‘නෑ නෑ... මං එහෙම දෙයක් කිව්වෙ නැහැ නෙ... අනික ඉතිං මට බොරු කියන්නත් ඔයාට ඕනෙකමක් නෑ නෙ... ඉස්කෝලවල වැඩ ඔහොම තමයි. ඒකත් අද ම සෙට් වෙච්ච එක තමයි වැඩේ. කමක් නෑ... අපි කොහොමත් අද මෙහේ ඉන්නව නෙ... තුන් දෙනාට ම එකතු වෙලා ඩිනර් එකවත් ගන්න බැරියැ නේද...?’’ යැයි විමසුවේ සචේතනීගේ සිත නොරිදෙන පරිදි ය.
‘‘හම්ම්ම්... ඔවු... එහෙමවත් කරමු... මෙහ්... ඒක නෙවෙයි... දැන් එකත් පහු වෙලා... අපි වොෂ් එකක් දාගෙන කෑම කමු ද...?’’
ප්‍රතිෂ්ඨගේ සිත තුළ කිසියම් කුකුසක් පවතින බව ඉවෙන් මෙන් අවබෝධ කරගත් සචේතනී සාකච්ඡා කරමින් සිටි මාතෘකාව වෙනතක හැරවීමට යත්න දරමින් විමසුවා ය.
‘‘ම්ම්ම්... මටනං තවම ඒ තරං බඩගින්නකුත් නෑ... ඒත් ආයෙ වොෂ් දාන්න...!’’
ප්‍රතිෂ්ඨ මඳක් විමතියෙන් මෙන් විමසී ය.
‘‘ඇයි... ඔයාට වොෂ් දාන්න බැරි ද...? කම්මැළිය... හරි... ඒකට කමක් නෑ. එහෙනං අපි කාමරේට යං... මං වොෂ් එකක් දාගෙන එනකං ඔයා කාමරේට වෙලා ඉන්න හරි...'' යැයි පැවසූ සචේතනී ප්‍රතිෂ්ඨගේ අතකින් අල්ලා නැගිටුවාගෙන සිය යෙහෙළිය ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබු කාමරය වෙත ඇදුණා ය; ඒ කිසිවකට විරුද්ධත්වයක් නොපෑ ප්‍රතිෂ්ඨ ද ඇය පසුපසින් ම ඇදිණ.
ඉවර නෑ..
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/07/21
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්