‘‘ඇයි... ඔයාට වොෂ් දාන්න බැරි ද...? කම්මැළිය... හරි... ඒකට කමක් නෑ. එහෙනං අපි කාමරේට යං... මං වොෂ් එකක් දාගෙන එනකං ඔයා කාමරේට
වෙලා ඉන්න හරි...’’ යැයි පැවසූ සචේතනී ප්‍රතිෂ්ඨගේ අතකින් අල්ලා නැගිටුවාගෙන සිය යෙහෙළිය ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබු කාමරය වෙත ඇදුණා ය; ඒ කිසිවකට විරුද්ධත්වයක් නොපෑ ප්‍රතිෂ්ඨ ද ඇය පසුපසින් ම ඇදිණ.
‘‘හරි... ඔයා කම්මැළියි නෙ... මං ගිහිං වොෂ් එකක් දාගෙන එන්නං. එතකං ඔයා කැමති තැනකිං ඉන්න. එක්කො වාඩි වෙලා ඉන්න... එහෙම නැත්නං හාන්සි වෙලා ඉන්න... වැඩි ම උනොත් මං ගන්නෙ විනාඩි පහළොවයි...’’
කාමරයට පැමිණි සැණින්: දොර වසා, අගුළු ද ලා, සයනය මත තබා තිබූ බෑගයෙන් සාළුවක් ද ගත් ඇය ප්‍රතිෂ්ඨගේ ලලාටය මත සිනිඳු හාදුවක් මෘදු ලෙස තවරා නාන කාමරයට ඇතුළු වී දොර වසාගත්තා ය.
‘මට නං හිතෙන්නෙ මේ හැම දෙයක් ම මෙයා සැලුම් කරල කරන දේවල්. සඛී අද ස්කුල් වෑන් එකේ නොඑන එකත් ඒ සැලසුමේ ම කොටසක්. මොකද... දෙන්න එක්ක කරපු කතාව මට ඇහුන්නැති උනාට... ඒ අංග ලක්ෂණ කිව්වෙ වෙන කතාවක්. සඛී උවමනාවෙන් ම වෙන මොකක් හරි වැඩක් දාගෙන... එහෙම නැත්තං එයා අපිට ඉඩදීල කොහේ හරි ගියා. මට තවමත් ප්‍රශ්නෙ තියෙන්නෙ සඛී කොහොම ද මේ ගෙදරට සම්බන්ධ උණේ කියල. මොකද මේ ගෙදර අයිතිකාරය වෙලා හිටපු වගා නිලධාරියා මෙයාගෙ තාත්ත වෙන්න විදියක් නෑ. මං දන්න තරමිං එයාට දුවෙක් හිටියෙ නෑ... එහෙමනං...’
විවිධ සිතුවිලි ගොන්නක අතරමං වෙමින් සිටි ප්‍රතිෂ්ඨ කෙටි අලස සුවයක් ලබාගැනීම පිණිස සයනයේ වැතිරිණ.
* * * * * *
ප්‍රතිෂ්ඨ එක්වර ම තිගැස්සී දෙනෙත් විවර කළේ කිසිවකු ඔහුගේ ලලාටය සිපගන්නාක් මෙන් හැඟුණ බැවිනි. එය සැබැවින් සිදුවුවක් ද එසේත් නොවේ නම් සිහිනයක් ද යන්න පවා නිශ්චය කරගැනීමට ඔහු අසමත් විය. එහෙත් ක්ෂණයෙන් නෙත ගැටුණු දසුනෙන් හෙතෙම යම් උපකල්පනයකට එළඹිණ.
‘ම්ම්ම්... එහෙනං ඒක හීනයක් නෙවෙයි... කමක් නෑ මොනවත් නොදන්න ගානට ම ඉන්නෝන...’
ඔහුගේ දකුණු පසට වන්නට, සයනයට ආසන්නව ම සිටගෙන සිටියේ සචේතනී ය. එහෙත් ඒ නිමේෂයේ එතැන සිටියේ ඔහු මෙතෙක් කල් දුටු සචේතනී නොවේ; ඔහුට දෙනෙත් අදහාගත නොහැකි වූයේ ද එබැවිනි.
රතු පැහැති සාළුවකින් ඇගේ දිගු වරලස දවටා හිස මුඳුනට වන්නට තබා ගැට ගසා තිබිණ. එය දුටු ඔහුට එක් වරම සිහි වූයේ කැලණියේ සිත්තරා නමින් ප්‍රචලිත සෝලියස් මෙන්දිස් සිතුවමට නගා තිබූ හේමමාලා කුමරියගේ වරලස ය. එම වරලස කිසිවකින් දවටා නොතිබුණ ද සිත්තරා ඇඳ තිබූ සිතුවම්වල දක්නට ලැබුණු ආකාරයෙන් ම සචේතනීගේ වරලස දවටා තිබු රතු පැහැති සාළුව හිස මත තැබූ කුඩා කොත් කැරැල්ලක් සේ දිස්විය. හේමමාලා කුමරියගේ උවන ද ඔහුට සිහිපත් විය. වෙනසකට පැවතියේ සචේතනී ඇගේ ලාලිත නාරි දේහය වසාගෙන සිටියේ හේම මාලා කුමරිය මෙන් කසි සළුවලින් නොවීම ය; ඇය සිය සුලලිත දේහය වටා දවටාගෙන සිටියේ පීත වර්ණ සාළුවකිනි. එනිසා ආවරණය නොවී පැවති ඇගේ සිරුරේ අනෙක් කොටස් තුළින් දිස්වන රන්වන් පැහැය තව තවත් ඔප් නැංවිණ. ඔහු ද නොදැනුවත් ම ඔහුගේ දෙනෙත් ඇගේ ලලාට තලයෙන් ඇරඹී: දෙනෙත්, නාසය, රත් පැහැති දෙලවන්, ඒ දෙලවන් ඇතුළතින් දිස්වන දන්ත පෙළ, සවිධග, ග්‍රීවය තෙක් පැමිණ ඉක්බිති සාළුවෙන් වැසී තිබූ උස් ළමැඩිය මත මඳක් නතර වී කෙමෙන් කෙමෙන් පහළට ඇදිණ; සාළුවේ සීමාව දෙදණට අඟල් හත අටකට ඉහළින් අවසන්ව තිබිණ. එතැන් සිට සයන මට්ටම දක්වා ආවරණය නොවී පැවති දෙපාවල වර්ණය ද. හැඩය ද නිසියාකරව දක්නට නොලැබිණ. ඒ, ඇගේ වටකුරු දෙපා අතරින් පෙරී ආ ත්‍රිකෝණාකාර ආලෝක ධාරාව ඔහුගේ දෙනෙත් තුළට ප්‍රවේශ වූ බැවිනි.
මේ සියල්ල සිදුවන්නට තත්පර දහයක් හෝ ගත නොවිණ. ප්‍රතිෂ්ඨ පියවි සිහියට එළඹියේ ඒ ආලෝක ධාරාව ඔහුගේ දෙනෙත් තුළට පිවිස දෙනෙත් නිලංකාර කළ පසුව ය. අසුරු සැණින් නැගිට සයනයේ ඉඳගත් ප්‍රතිෂ්ඨ ‘‘සො... සො... සොරි... සචේති... ම්... මට චුට්ටක් නින්ද ගියා... ඔ... ඔ... ඔයා ඇවිත් ගොඩක් වෙලා ද...?’’
ඒ නිමේෂයේ සැබැවින් ම ප්‍රතිෂ්ඨ යම් ව්‍යාකුලත්වයකට පත් විය. ඒ, එවන් දසුනක් ඒ නිමේෂයේ ඔහු කිසිසේත් ම බලාපොරොත්තු නොවූ බැවිනි.
‘ඇත්තට ම මෙයා මගේ නළල ඉම්බ ද...? ඒ වුනාට දැං මෙයා ඉන්න විදියට නං එහෙම දෙයක් කරා කියල හිතන්න බෑ. හැබැයි ඒක හීනයක් වෙන්නත් බෑ.’
ප්‍රතිෂ්ඨගේ කල්පනා ලෝකය බිඳ දැමූ සචේතනී ඔහුගේ පැනයට පිළිවදන් සපයන්නට පළමුව කැකිරි පැළෙන තරමේ ස්මිතයක් පාමින් ම ‘‘කොච්චර වෙලාද කියන්න නං මං දන්නෑ... හැබැයි ටිකක් වෙලයි. ඒත්... අවදි කරන්න ලෝබකමට බලාගෙන හිටිය...’’ යැයි ඉතා සැහැල්ලු ස්වරයෙන් පැවසුවේ තමා පිරිමියකු ඉදිරියේ අර්ධ ලෙස නග්නව සිටිනවා නොවේදැයි යන්න පවා අමතක කරමිනි.
‘අද මගේ ඉවසීම මට ම හිතාගන්න බෑ.’ නොවේදැයි ප්‍රතිෂ්ඨට සිතිණ. ඒ සමග ම එම සිතුවිල්ල තව තවත් වර්ධනය වන්නට ඉඩ හරිනවා මිස පළමුව තමා සීමාව ඉක්මවා යා යුතු නොවේ යැයි හෙතෙම දැඩි ලෙස ඉටාගත්තේ ය. මෙය ඔහුට නවමු අත්දැකීමකි. ඒ අත්දැකීම නවමු ආකාරයෙන් ම විඳීමට හෙතෙම රුචිකත්වයක් දැක්වී ය. මේ වන විට ඔහු සචේති කෙරෙහි දක්වන්නේ හුදෙක් ඇය ලිංගිකත්වයට නතු කරගැනීම පමණක් ම නොවේ. ඇය ඔහුගෙන් බලාපොරොත්තු වන: ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, මිත්‍රත්වය පවා නොඅඩුව ඇයට ලබා දිය යුතු යැයි ඔහුට සිතිණ. ඔහු ඒ සඳහා පියවර තැබීම ඇරඹුවේ ඒ නිමේෂයේ සිට ය.
‘‘හරි... ඔයා එහෙනං ඇදුම් මාරු කරගන්නකො... මාත් වොෂ් එකක් දාගෙන ම එන්නං,’’ යැයි පැවසූ ඔහු සිය බෑගය විවර කර එහි තිබූ සාළුව පිටතට ගත්තේ ය. ඉක්බිති ටී කමිසය ඉවත් කර එය ඇඳුම් එල්ලනයේ රඳවා සාළුව ඉණ වටා දවටා, කොට කලිසම සහ යට ඇඳුම ද ඉවත් කර ඇඳුම් එල්ලනයේ රඳවා නාන කාමරයට ඇතුළු වීමට සුදානම් විය. ක්ෂණයකින් මෙන් ස්වයංක්‍රියව ඔහුගේ දෙනෙත් යළි සයනය දෙස වෙත යොමු විය; එසැණින් ඔහුගේ මනස විමතියෙන් ද, ප්‍රහර්ෂයෙන් ද පිරි’තිරිණ. සචේති, දෙපතුල් පොළොව මත සිටින සේ සයනය දෙසට නැවී එහි උඩුකුරුව වැතිර සිටියා ය. ඒ වන විට ඇය සිරුරෙහි දවටා තිබූ සාළුව දෙදණෙහි සිට තවත් අඟල් කිහිපයක් ඉහළට ගමන් කර තිබිණ. ඒ ඇගේ දඟ යුග්ම තව තවත් නිරාවරණය කරමිනි. ඒ කිසිදු දසුනකින් ප්‍රතිෂ්ඨගේ ඉවසීම පරාජය කළ නොහැකි විය; ඔහු කිසිදු වෙනසක් නොපෙන්වා ම නාන කාමරයට ඇතුළු විය.
* * * * * *
‘ඇත්තට ම මෙයා මේ කරන්නෙ ඇත්තක් ද එහෙම නැත්නං රඟපැමක් ද...? මං මෙහෙම හිටිය කියල නොදකින්න විදයක් නෑ නෙ... ඒත් සද්ද නැතුව ම බාත්රුම් එකට රිංගගත්ත. ඉන්නවකො... එයා එනකං මාත් මෙහේම ම ඉන්නව... බලමු ඇවිත් මොකද කරන්නෙ කියල... ඇයි යකෝ... ඉවසනව කියල මෙච්චර ඉවසන්න පුළුවන් ද...? මං මොනවද ඉල්ලන්නෙ කියල එයාට නොතේරෙන්න විදියක් නෑ නෙ... ඒත්... එයා කවදාවත් මගෙං එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නැතිව ඇති. ඒකයි මිනිහ පස්ස ගහන්නෙ... සමහර විට මිනිහට බය ද දන්නෑ... මොකද මිනිහත් තනිකඩයෙක් නෙවෙයි නෙ... මට මතකයි දවසක් කිව්ව පුතා නෙක්ස්ට් ඉයර් ඒලෙවල් කරනව කියල.’
සචේතනී කල්පනා සයුරෙහි කිමිදුණේ ඇය බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිෂ්ට ඇය කරා නොපැමිණි බැවිනි. ඇය, සයනයේ වැතිර ඒ ඉරියව්වෙන් සිටිමින් සිහින දුටුවේ: අවම වශයෙන් ඇය සිටින ඉරියව් දැක, ප්‍රතිෂ්ඨ එයට වසඟ වී, ඇය කරා පැමිණ, ඇගේ සිරුරෙහි වෙළී, සිප වැලඳ නුරාවෙන් උමතු වූවකු සේ හැසිරෙතැයි බලාපොරොත්තුවෙනි. නමුදු ඒ සියල්ල රත් යවට කඳකට වට දිය බිඳක් සේ වාෂ්ප විය. එසැණින්ම ඇයට සිහිපත් වූයේ මීට මිනිත්තු කිහිපයකට පෙර සිය යෙහෙළියගෙන් ලද දුරකතන ඇමතුම යි.
* * * * * *
‘‘ඔවු... කියපං මචං...’’
‘‘කෝ... ප්‍රේමවන්තය ළඟ ඉන්නව ද...?’’
සඛී විමසුවේ රහස් හඬිනි.
‘‘ආ... ඔවු ඔවු... ඇයි මචං....?’’
සචේතනී පිළිවදන් සැපවූයේ ද ඒ හා සමාන ම රහස් හඬිනි. ඒ, ඔවුන් දෙදෙනා අතර හුවමාරු වන දෙබස් ඛණ්ඩ ප්‍රතිෂ්ඨගේ සවන් තුළට රිංගාය යන සැක, බිය හේතුවෙනි. එතැන් සිට දෙදෙනා ම වදන් හුවමාරු කරගත්තේ ඔවුනොවුන් දෙදෙනාගේ ද එක් සවනතකට පමණක් ඇසෙන තරම් රහස් හඬිනි.
‘‘මොකුත් අවුලක් නෑ නෙ...?’’
‘‘නෑ නෑ මචං... එහෙම අවුලක් නෑ...’’
‘‘දැං කතා කරගන්න ඕන දේවල් කතා කරගත්ත ද...?’’
‘‘ඔවු... ටිකක්...’’
‘‘ඒ කියන්නෙ... කතා කරගන්න ඕන දේවල් ටිකක් කතා කරගත්තට කරගන්න ඕන දේවල් මොනවත් ම කරගත්තෙ නෑ...’’
ඒ පැනයත් සමග ම සචේතනීගේ සිරුර පුරා සියුම් විදුලි දහරාවක් විදාරණය වනවා සේ ඇයට හැඟිණ. එය ලජ්ජාව ද මුසු ආස්වාදයක් බඳු විය.
‘‘අනෙහ් මේහ්... මගෙං මුකුත් අහන්නැතුව ගත්තෙ ඇයි කියහංකො...’’
‘‘ගත්තෙ ද...? ගත්තෙ උඹ බලාපොරොත්තුවෙන් හිටපු දේ කියන්න...’’
‘‘මං බලාපොරොත්තුවෙං හිටපු දේ...! ඒ මොකද්ද...?’’
ඇය විමසුවේ විශ්මයාර්ථ ලකුණු උවන පුරා සිතුවම් කරගනිමිනි. ඇය එසැණින් ම ඒ සියලු ලකුණු මකා දැමුවේ යම් හෙයකින් ඇගේ උවනතෙහි ඇඳී තිබෙන එක විශ්මයාර්ථ ලකුණක් හෝ ප්‍රතිෂ්ඨගේ නෙත ගැටුණ හොත් ඔහු විමසන පැනවලට සැපයිය හැකි පිළිවදන් ඇය සතුව නොපැවති බැවිනි.
‘‘ඇයි යකෝ උඹට ඒකත් අමතකයි ද...? ඇයි උඹ ම නේද කිව්වෙ මට අද ස්කූල් වෑන් එකේ එන්නවෙන්නෑ කියල දවල්වෙලා කෝල් එකක් දෙන්න කියල...’’
දෙදෙනාගේ සැලසුම පිළිබඳ සචේතනිට සිහිපත් වූයේ ඒ නිමේෂයේ ය. ඇය ඒ පිළිබඳව සිය යෙහෙළියගෙන් සමාව අයැද සිටියා ය.
‘‘අනේ සොරි මචං ඇත්තට ම මට අමතක උණා...?’’
ඇගේ අතපසුවීම මායිම් නොකළ සඛී, යළි ඇගේ හඬ දුරකතනයට මුසු කළා ය.
‘‘ඔවු ඔවු... උඹ දැන් ඉන්නෙ මෙලෝ සිහියක් නැතුව කියල මට තේරෙනෝ... හරි හරි... ඒකට කමක් නෑ. එහෙම නොවුණ නං තමයි පුදුමෙ. එහෙනං ප්‍රේමවන්තයට මොකක් හරි බොරුවක් කියපං. එහෙම කිව්ව කියල උඹට පවු සිද්දවෙන් නෑ... උඹල මං එනකං බලං ඉන්නෙපා... මොනව හරි කරගෙන හරි නැතුව හරි... දවල්ට කාපං හරි ද... මං උයල තියෙන්නෙ... මදිපාඩුවක් තියෙනව නං ඕන දෙයක් හදාගනිං හරිද... මස්, මාළු, බිත්තර හැම දෙයක්ම ෆ්‍රිජ් එකේ තියෙනව හරිද... තව ඕනෙනං බියර් කෑන් දෙකද්ද තුනක්දත් ඇති. කොහොමටත් මං එද්දි පහ පහුවෙයි... කරන දෙයක් කරගන්න ඒ කාලෙත් මදිනං කියහං... මං තව ටිකක් ලේට් වෙලා එන්නං... එහෙනං... මං තිබ්බා...’’
සචේතනීට කිසිදු පිළිවදනක් සපයන්නට හෝ ඉඩක් නොතැබූ සඛී දුරකතනය විසන්ධි කළා ය.
* * * * * *
‘‘හනේ හනේ... ඔයා තවම ඇඳුමක් දාගත්තෙ නැද්ද... කොහ්... නින්ද ගිහින්ද...?’’
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/07/28
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්