ඇය නිවසට ඇතුළු වූ සැණින් ම ‘‘ආ... කොහොමද මනාල යුවළ... කතා කරගන්න තියෙන දේවල් කතා කරගත්ත ද...?
තව මේ...’’ යැයි විමසන්නට සැරසෙත් ම ඇයට බාධා කළ සචේතනී ‘‘ආ... හරි හරි... ඒ ඔක්කොම හරි... දැං ඉති උඹ ගිහින් වොෂ් එකක් දාගෙන වරෙංකො. මං තේ ලේස්ති කරන්නං,’’ යැයි පැවසුවේ ඇගේ මුවෙන් විසිවන්නට යන වදන් පෙළ පිළිබඳ ඇය අනුමාන කළ බැවිනි. ඒ නිමේෂයේ ප්‍රතිෂ්ඨ ද කිසියම් ලජ්ජාශීලී බවකින් පෙළිණ.
ඔවුන් තිදෙනා පසු කර තවත් හොරාවක් පමණ ඉක්ම ගිය මොහොතේ තිදෙනාගේ ම ලජ්ජාශීලී භාවය කෙමෙන් කෙමෙන් පහව ගියේ උදෑසන මෝදු වන ප්‍රභාකරට බියෙන් පලා යන මිදුම් වලා රොදක් සේ ය.
* * * * * *
තිදෙනා ම රාත්‍රී ආහාරය ද ගෙන අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අතර තම ජංගම දුරකතනයේ දෑස් ඔබාගෙන සිටි සචේතනී එක්වර ම ‘‘ප්‍රතිෂ්ඨ... ඔයා මාරයිනේ...!’’ යැයි පවසමින් ම අසුනින් නැගී සිටියේ විශ්මයාර්ථ ලකුණු ද, ප්‍රහර්ෂණාත්මක සිතුවම් ද පිරි උවනින් යුතුව ය.
ඇගේ වෙනස එතරම් මායිම් නොකළ සඛී, උපහාසාත්මක ස්මිතයකින් උවන සිතුවම් කරගනිමින් ‘‘ඕක ඉතිං ආයෙ ආයෙ කියන්න දෙයක් ය... ප්‍රතිෂ්ඨ මාරයි තමයි... නැත්තං ඉතිං අවුරුදු පහක් පිරිමියෙක් ගැන හිතක් පහළ නොවුණ උඹ දැලේ දාගනී ද බං...’’ යන වදන් මුදා හලේ ප්‍රතිෂ්ඨ වෙත ද යැටැසින් බැලුම් හෙළන අතර ය.
ඇගේ වදන් මායිම් නොකළ සචේති, ‘‘උඹ මේ රෙද්දක් කියනෝ... මං කිව්වෙ ඒක නෙවෙයි බං... මේ බලපං’’ යැයි පවසන අතර ම සඛී අසලට ළඟා වී ‘‘මේ බලපං... මං මේක දැක්කෙ දැං... මේ බලපංකො... මෙයා කවියද්ද සිංදුවද්ද ලියල මට දාල. මේ බලපං...’’ යැයි පවසමින් ඇගේ ජංගම දුරකතනය සඛී වෙත පෑවා ය. ඒ අතර ප්‍රතිෂ්ඨ, කිසිවක් නොදත් පුද්ගලයෙකු සේ දෙදෙනා දෙස ම නෙත් යොමු කර සිටියේ එළඹෙන නිමේෂයේ කුමකින් කුමක් සිදුවේ ද යන බලාපොරොත්තුවෙනි.
සචේතනී තමා වෙත පෑ ජංගම දුරකතනය අතට ගත් සඛී මඳ වේලාවක් එහි දෑස් අලවාගෙන සිට ‘‘මාරයි නෙ... ඇත්තට ම මරු ප්‍රතිෂ්ඨ... මේකිගෙ හිතේ තිබුණ හැඟීම ඒ විදියට ම ලියල තියෙනව ප්‍රතිෂ්ඨ... ඇත්තට ම ඔයා නං මාරයි...’’ යැයි පවසා යළි තත්ත්පර කිහිපයක් දුරකතනයේ දෙනෙත් අලවාගෙන සිට ‘‘මං කියන්න ද වැඩක්...?’’ යැයි විමසුවා ය. නමුදු ඒ පැනය යොමු කළේ කවුරුන් වෙත ද යන්න අපැහැදිලි බැවින් ප්‍රතිෂ්ඨ මෙන් ම සචේතනි ද එක් වර ම ‘‘මොකද්ද...?’’ යැයි විමසුවේ පෙර කතිකා කරගෙන තිබූ පරිදි ය.
‘‘අපි මේකට මෙලඩි එකක් දාල බලමු ද...?’’
සඛී විමසුවේ ප්‍රතිෂ්ඨ හෝ සචේතනී සිහිනෙනිඳු බලාපොරොත්තු නොවූ පැනයකි.
‘‘මෙලඩි එකක් දාන්න...! ඔයා....?’’
ප්‍රතිෂ්ඨ විමසුවේ විශ්මයාර්ථ ලකුණු පිරි දෙනෙත් විසල් කරමිනි.
එසැණින් ම ප්‍රතිෂ්ඨ අසලට පැනගත් සචේතනී ‘‘හරි නෙ... මට ඔයාට කියන්න බැරි උණා නෙ... මේකි මියුසිකුත් කරල තියෙනව නෙ... ඒකිට පුළුවන් මෙලඩි එකක් දාන්න,’’ යැයි පැවසුවේ ප්‍රතිෂ්ඨ තව තවත් මවිතයට පත් කරමිනි.
‘‘මං කවි ලියල තිබුණට ගීත රචකයෙක් නං නෙවෙයි... මං ඔය නිකමට සචේතිගෙ ඈංගල් එකෙන් හිතල කුරුටු ගාපු එකක්... ඔවු... ඔයාට පුළුවන් නම් මෙලඩි එකක් දාන්න...’’ යැයි පවසත් ම නැගී සිටි සඛී ‘‘ඉන්න... මං බොක්ස් එක අරං එන්නං,’’ යැයි පවසා ඇගේ කාමරය වෙත ඇදුණා ය.
‘‘ඒ කිව්වෙ... සඛී ගාව බොක්ස් ගිටාර් එකක් තියෙනව ද...?’’
ප්‍රතිෂ්ඨ විමසුවේ සචේතනීගෙනි.
‘‘නැතුව නැතුව... ඕකි ඔහොම හිටියට හොඳ ගායිකාව... ඒක නෙවෙයි අනේ... කොහොමද ඔයාට එහෙම අදහසක් ආවෙ පැටියො...’’ යැයි විමසූ සචේතනී සැණෙකින් ප්‍රතිෂ්ඨගේ දෙකොපුල් මත හාදු යුවළක් තවරා ක්ෂණයෙන් පසෙකට වූයේ සඛී එනු දුටු බැවිනි.
බොක්ස් ගිටාරය ද රැගෙන ඔවුන් දෙදෙනා අසලට පැමිණි සඛී, ජංගම දුරකතනය සචේතනි අත තබා ‘‘ඔහොම අල්ලං හිටපංකො පොඩ්ඩක්... මං පොඩි ට්‍රයි එකක් දෙන්නං,’’ යැයි පවසා අසුන් ගත්තා ය; සචේතනි ද ඇය අසලට ගොස් ජංගම දුරකතනයේ තිරය ඇය වෙත පාමින් අසුන් ගත්තා ය.
කිහිප වතාවක් ගිටාරය මත ඇඟිලි තුඩු මෙහෙය වූ සඛී, ‘‘හම්... හම්...’’ යැයි මුමුණමින් සිට ‘‘රායිට්...’’ යැයි පවසමින් එම පද පෙළ ඉතා ළයාන්විත හඬින් මිමිණුවා ය. ඒ නිමේෂය ප්‍රතිෂ්ඨට ද සුවිශේෂි නිමේෂයක් විය. ඒ ඔහුගේ පද පෙළක් ගීතයක් ලෙස වැයෙන, ගැයෙන පළමු අවස්ථාව එය වූ බැවිනි. සඛී ද ඔහුගේ පද රචනයට පූර්ණ සාධාරණත්වයක් ඉටු කරමින් ඉතා භාවාත්මක අයුරින් එයට ඇගේ හඬ මුසු කළා ය. ප්‍රතිෂ්ඨ වඩාත් තුටු වූයේ සචේතනීගේ හදවතෙහි සිරවී තිබූ අදහස පිළිබිඹු වන පරිදි ම ඊට සුදුසු තනුවක් ඉතා ඉක්මනින් ම සඛී වෙතින් නිර්මාණය වූ බැවිනි; ඒ හා සමග ම ඇගේ මියුරු හඬින් ඒ හැඟීම් ධාරාව මුදා හැරී බැවිනි.
‘‘වෙල් ඩන් සඛී වෙල් ඩන්... මං නං කවදාවත් හිතුවෙ නෑ මම නිකමට කුරුටු ගාපු මේ වචන ටිකට මෙච්චර හරියක් කරන්න පුළුවං වෙයි කියල. තැන්ක්ස් සඛී තැන්ක්ස්...!’’
ප්‍රතිෂ්ඨ සිය හැඟීම් වදන්වලට හරවා මුදාහලේ අවංකව ම ය. ඒ වන විට සචේතනී ද සඛී වෙත ගොස් ‘‘නියමයි මචං නියමයි... උඹට පුළුවං නං කවද හරි මේක උඹ ම කියපං. ඒ වෙනුවෙන් මගෙං මොනව හරි වෙන්න තියෙනව නං කියපං. මං උඹට පුල් සපෝට් එක දෙනව හරිද...’’ යැයි පවසමින් ඇය බදා වැලඳ ගත්තා ය.
‘‘මේහ්... මෙන්න ආයි අහල බලන්න... මං ඒක රෙකෝඩ් කරා,’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ, පටිගත කළ ඇගේ හඬ යළිත් ඇයට අසන්නට සැලසී ය. තිදෙනා ම එයට සවන් දුන්නේ සමාධියකට සම වැදුණ සේ ය.
‘‘ම්ම්ම්... අමුවට උනත් හොඳට තියෙනව... ඇත්තට ම ප්‍රතිෂ්ඨ ඒ වචනවල පුදුම භාවමය ගතියක් තියෙනව.’’
සඛී පැවසුවේ ඇය ම ගැයූ ගීතයට යළි සවන් දීමෙන් ඉක්බිතිව ය.
‘‘ඇයි... උඹේ හඬයි මෙලඩි එකයිත් ඒකට නියමෙට ම ගැළපෙනව... හරියට උඹයි ප්‍රතිෂ්ඨයි කතා කරගෙන කරා වගේ....’’
සචේතනී ද පැවසුවේ උවන පුරා ප්‍රහර්ෂණාත්මක සිතුවමක් සිත්තම් කරගෙන ය.
ඉක්බිති තිදෙනා ම එක්ව තවත් ගීත කිහිපයක් ගයමින් විනෝදාස්වාදයක් ලැබූහ.
‘‘මේහ්... දැං උඹල හෙට උදෙං ම යනව ද...?’’
සඛී තවත් යමක් විමසන්නට පළමුව ම සචේතනී මැදිහත් වූවා ය.
‘‘ඔවු මචං... අද පාන්දර කුකුළ අතින් අරගෙ ආව වගේ ම හෙටත් කුකුළ අරගෙන ම ගියානං හොඳයි. අනික අපි දවල් වෙලා යනව කවුරු හරි දැක්කොත් ඒක උඹටත් හරි නැහැනෙ නේද... එහෙම හොඳයි නේද ප්‍රතිෂ්ඨ...?’’
සචේතනී අවසන් වදන් කිහිපය මුදා හලේ ප්‍රතිෂ්ඨගේ අනුමැතිය ද ඊට අවැසි බව හඟවමිනි.
‘‘ඔවු ඉතිං... අපි අද යයි. සඛී මෙහේ ඉන්නෙපායැ. ඒක නෙවෙයි... මං මේ අහන්නමයි හිටියෙ... මේ... සඛීලගෙ මහ ගෙදර ද... එහෙම නැත්නං...?’’
‘‘නෑ නෑ... අපෝ නෑ... මේ මගේ මහත්තයගෙ මහ ගෙවල්... ඇයි මේකි විස්තර කියල නැද්ද...?’’ යැයි විමසුවේ වැඩි විස්තර සචේතනීගෙන් දැනගන්නැයි ව්‍යංගයෙන් පවසමිනි.
‘‘මෙයා ඔයා ගැන කියල තියෙනව... ඇත්තට ම ඔයා ගැන කිව්වෙ අපි හම්බ වෙච්ච ඉස්සෙල්ල ම දවසෙමයි. ඒ ඇරුණහම වැඩි විස්තර කියලත් නෑ... මං අහලත් නෑ.’’
‘‘හරි... එහෙනං පස්සෙ අහගන්නකො... අපි දැං නිදාගමු. උදෙම්ම ම යන්න ඕනෙත් නෑ... මං ස්කුල් වැන් එකට යද්දි ම යං. ඒකෙ අවුලක් නෑ...’’
* * * * * *
ප්‍රතිෂ්ඨ සහ සචේති රාත්‍රිය ගෙවා දැමුවේ ද සචේතිගේ රුචිකත්වයට ප්‍රමුඛත්වය සැපයෙන අයුරිනි. ඇය රාත්‍රිය පුරා ම කිහිප වතාවකත් ම ප්‍රතිෂ්ඨ වෙතින් ඇගේ පවස නිවාගත්තී ය; ප්‍රතිෂ්ඨ ද ඇයට ඇති තාක් ඒ පහසේ ගිලෙන්නට ඉඩ හැරියේ ඇය කෙරෙහි උපන් ආදරය මුසු අනුකම්පාව ද සමග ය. ඇයට මෙන් ම ඔහුට ද ඒ රාත්‍රිය නව යොවුන් යුවළකගේ මධු සමය ගෙවෙන රාත්‍රියකටත් වඩා සුන්දර විය.
* * * * * *
නිවසට පැමිණි ප්‍රතිෂ්ඨගේ මනසට කිහිප වතාවක් ම එබී බැලුවේ මාකුඹරේ දී සමුගන්නා මොහොතේ සචේති ඔහුගේ සවනට ඇගේ මුව තබා පැවසූ අවසන් වදන් කිහිපය යි.
‘‘ඔයාට ගොඩක් පිං ප්‍රතිෂ්ඨ... සියක් නමකට දානයක් දුන්නටත් වඩා පිං... ඇත්තමයි... මං ඔයාට ගොඩාක් ආදරෙයි. අපි, අපිට පුළුවං තරං කාලයක් මේ විදියට හම්බවෙමු. ඔයාට පුළුවං කාලයක් මට උදව් කරන්න. ඒ උදව්වලට මං ඔයාට සදා ණයගැතියි ප්‍රතිෂ්ඨ. එහෙනං... පරිස්සමින් යන්න. ගිහින් මට මැසේජ් කරන්න.’’
ඇය ඒ ආකාරයට ප්‍රතිෂ්ඨගේ මනසට එබෙන තුරු ම ඇය වෙත පණිවිඩයක් යැවීම ඔහුට අමතකව තිබිණ. හෙතෙම වහාම දුරකතනය අතට ගත්තේ ඇය වෙත පණිවිඩයක් තැබීමේ බලාපොරොත්තුවෙනි. පුදුමයකි...! ඔහුට තම යුතුකම් ඉටු කිරීමට අමතකව තිබුණ ද මාකුඹුරෙන් වෙන්වී මිනිත්තු පහළොවක් ඉක්ම යන්නට මත්තෙන් ඇය පණිවිඩයක් එවා තිබුණා ය.
‘‘මං ගෙදර ආව පැටියො. මං හිතනව ඔයත් යන්නැති කියල.’’
‘පවු... ඇයි මට අමතක උණේ එයාට පණිවිඩයක් තියන්න.’
ප්‍රතිෂ්ඨ ද ක්ෂණයෙන් ජංගම දුරකතනය මත දෑඟිලි සක්මන් කරවූයේ ‘‘ඔවු පැටියො... එන ගමන් මාර්කට් එකට ගියා. ඒකයි ලේට් උණේ. මම දැන් ආකවිස් යනව. දවල්වෙලා ගන්නම්.’’ යන වදන් පෙළ එහි සටහන් කරමිනි.
- * * * * *
එතැන් සිට තෙවසරක් පමණ යන තුරු ඇතැම් අවස්ථාවල දී සඛිගේ නිවසේදී ද, ඒසේත් නොමැති නම් නිවාඩු නිකේතනවල දී ද සචේතනීගේ ආරාධනය පරිදි ඔවුන් දෙදෙනා එකිනෙකාගේ සා පිපාසය නිවාගත්හ. දෙවන වසර වන විට ඇගේ පුතු පරිගණක ඉංජිනේරුවකු ලෙස පත්වීමක් ලබා ඇමරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වී සිටි අතර තෙවන වසර වන විට ඇගේ දියණිය විවාපත්ව, සචේතනී මීට වසර ගණනාවකට ඉහත පියෑඹීමට සුදානම් වූ රට වෙත පියෑඹුවා ය. දියණියගේ විවාහයෙන් ඉක්බිති සචේතනී ද එහි යන බව ඇය ඔහුට දන්වා තිබුණා ය. ඇයට රිස්සක් කරන්නට ඉඩ සැලසූ හෙතෙම සුපුරුදු පරිදි ඔහුගේ ජීවන මාර්ගයේ ඇවිද ගියේ ය.
* * * * * *
මේ දැන් උදා වී තිබෙන්නේ ඒ කාලය පසු කර තවත් දෙවසරක් ඉක්ම ගිය මොහොතකි. තවත් සරලව පවසන්නේ නම් පස්වන වසර ය. ඇය ලංකාවේ විසූ කාලය මෙන් නොව ලංකාවෙන් සමුගෙන ගිය පසු තවත් බොහෝ වෙනස්කම් සිදුව තිබේ.
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/08/18
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්