මේ දැන් උදා වී තිබෙන්නේ ඒ කාලය පසු කර තවත් දෙවසරක් ඉක්ම ගිය මොහොතකි.
තවත් සරලව පවසන්නේ නම් පස්වන වසර ය. ඇය ලංකාවේ විසූ කාලය මෙන් නොව, ලංකාවෙන් සමුගෙන ගිය පසු තවත් බොහෝ වෙනස්කම් සිදුව තිබේ.
‘‘හෙලෝ...’’
ප්‍රතිෂ්ඨ ගත් ඇමතුමට අනෙක් පසින් ගලා ආවේ ළයාන්විත කාන්තා කටහඬකි.
‘‘හෙලෝ... ගුඩ් මෝර්නිං...’’
‘‘ගුඩ් මෝර්නිං... කවුද මේ...?’’
ඒ ළයාන්විත හඬ යළිත් ප්‍රතිෂ්ඨගේ සවන්පත් අතරට ඇතුළු විය.
‘‘මේ... සචේතනී මිස් නේද...?’’
ප්‍රතිෂ්ඨ විමසුවේ ඔහු කවුද යන්න හඳුන්වා නොදෙමිනි.
‘‘ඔවු... සචේතනී තමයි... කවුද මේ...?’’
පස් වසරක් බඳු කෙටි කාලයක් තුළ දී සචේතනීට තමාගේ කටහඩ හඳුනාගැනීමට නොහැකි වීම පිළිබඳ සියුම් දොම්නසක් පැන නැගුණ ද හෙතෙම එය නොහඟවන්නට වගබලාගත්තේ ය.
‘‘ම්ම්ම්... කට හඬින් අඳුරන්න අමාරුම නං... මං කවුද කියල මං කියන්නං. ඒත්... මතක් කරල බලන්නකො පුළුවන් ද කියල...’’
‘‘ම්ම්ම්... ඇත්තට ම කට හඬ නං පුරුදුයි වගේ,’’ යැයි පැවසූ ඇය තත්ත්පර කිහිපයක් නිහඬ වත රැක, එක්වර ම ‘‘ප්‍රතිෂ්ඨ...! ඔයා...!!’’ යැයි විමසුවේ සැබැවින් ම ඇය එවන් නිමේෂයක් කිසිදු ආකාරයකින් බලාපොරොත්තු වී නොසිටි බව හැඟවෙන පරිදි ය.
‘‘ඔවු සචේති...’’
ප්‍රතිෂ්ඨ, පිළිවදන් සපයා අවසන්වත් ම සිහින් සුසුම් රාවයක් ද මුදා හළේ ය. ඒ සුසුම් රාවය දුරකතනය ඔස්සේ ගමන් කර සචේතනීගේ සවන්පත් තුළට ඇතුළු වූ බව ප්‍රතිෂ්ඨය වටහාගත්තේ එසැණින් ම ඇය සැපයූ පිළිවදන හේතුවෙනි.
‘‘අනේ සොරි ප්‍රතිෂ්ඨ... මට සමාවෙන්න... ඉතිං... කියන්නකො... කොහොමද ඔයා මගේ නම්බර් එක හොයාගත්තෙ...? මොකද... මං දන්නව ඔයා ළඟ මගේ මේ නම්බර් එක නෑ කියල.’’
ප්‍රතිෂ්ඨ, ඇගේ දුරකතන අංකය සොයාගැනීම පිළිබඳ විශ්මයාර්ථයෙන් ඇය විමසුවා ය.
‘‘උවමනාවක් තියෙනව නම් ඉතිං ඕක මහ කජ්ජක් නෙවෙයි කියල ඔයා දන්නව නෙ... හරි... මං ඒ ගැන ඔයාට පස්සෙ කියන්නංකො... කමක්නෑ නෙ...’’
ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ ඇය තමන් මුණ ගැසීමට හෝ ඉදිරියේ දී තමන් සමග කතා බහ කිරීමට කැමැත්තක් පවතී ද නැද්ද යන්න පිළිබඳ නිවැරැදිව අවබෝධ කරගැනීම සඳහා ය.
‘‘කමක් නෑ ප්‍රතිෂ්ඨ... මගේ නම්බර් එක නෙවෙයි... ඔයා මං ඉන්න තැන හොයාගත්තත් මට අවුලක් නෑ. මොකද මට තවමත් ඔයා විශ්වාසයි. ඉතිං කියන්නකො... ඔයා මට කතා කරේ විශේෂ හේතුවක් නිසා ද...?’’
ඇය කිසිදු වෙනසක් නොපෙන්වා ම විමසුවා ය. ඇගේ විමසීම අවසන් වන්නට පෙර ම ප්‍රතිෂ්ඨ පිළිවදන් සැපයූවා ය.
‘‘ඇත්තට ම සචේති මට ඔයාට කතා කරන්න වුවමනාවක් තිබුණ. ඒත් ඔයාගෙ නම්බර් එක වැඩ නැති නිසා ඒක මගඇරුණ. මට මේක කියන්නකො....’’
‘‘මොකද්ද...?’’
අනෙක් පසින් ඇය විමසුවේ ද ප්‍රතිෂ්ඨ තම අදහස විමසීමට ද පෙරාතුව ය.
‘‘ඔයාට මතක ද... පී. තේනබදු කියල කෙනෙක්ගෙ සිංහල රචනය හා රසාස්වාදය කියල පොතක් ඔයා මගෙං ඉල්ලගත්ත. දුඹුරු පාට කවරෙ තියන පොතක්....?’’
‘‘ම්ම්ම්... ලියපු කෙනාගෙ නම නං මතක නෑ. හැබැයි ඔය සබ්ජෙක්ට් එක ගැන ඔයාගෙං පොතක් ඉල්ලගත්ත කියල මතකයි... ඇයි ප්‍රතිෂ්ඨ...?’’
ඇය පිළිවදන් සැපවූයේ ඉතා සැහැල්ලුවෙනි.
‘‘ඔයා ළඟ ඒ පොත තියෙනව නං ඒක මට ලැබෙන්න සලස්සන්න පුළුවන් ද... මොකද මගේ ලියවිලිවලට ඒ පොත නිතරම වගේ ඕන වෙනව.’’
ප්‍රතිෂ්ඨ විමසුවේ පොත පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොතබමිනි. සැබැවින් ම ඔහුට වුවමනා වූයේ යළිත් වරක් ඇය දැකගැනීම ය.
‘‘නෑ ප්‍රතිෂ්ඨ... මම ඔයාගෙන් ගත්තු කිසිම පොතක් කාටවත් දුන්නෑ. මං ඒව හුඟක් පරිස්සම් කරා. ඒ හැම පොතක් ම මගේ ළඟ ඇති. ඒත්...’’
ඇය ‘‘ඒත්...’’ යැයි පවසා නතර කළ බැවින් ප්‍රතිෂ්ඨ තරමක් පසුබට විය. ඔහු සිතුවේ එය ලබාගැනීමට කුමක් හෝ බාධාවක් ඇති බවයි.
‘‘ඇයි සචේති... මොකක් හරි ප්‍රශ්නයක් ද... එහෙම අවුලක් නං ඒක ඔළුවෙං අයිං කරන්න. හැබැයි දැං ඒ පොතත් වෙළඳ පොළේ නෑ.’’
ඔහු එලෙස අවධාරණය කළේ පොත ලබාගත හැකි නම් එය වඩාත් වටිනා බවට ඉඟි කරමිනි.
‘‘නෑ නෑ... එහෙම අවුලක් නෑ. හැබැයි මට දවසක් දෙකක් දෙන්න. මං පොත හොයල ඔයාට මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නං. ගන්න විදියක් ගැනත් අපි කතා කරගමු.’’
‘‘හරි සචේති... එහෙනං මං ඔයාගෙං කොල් එකක් බලාපොරොත්තුවෙං ඉන්නවා...’’ යැයි හෙතෙම පැවසුවේ පොත නොතිබුණ ද ඇමතුම බලාපොරොත්තු වෙන බවට ඉඟි සපයමිනි.
‘‘නෑ නෑ... පොත ඇති. ඒක මට ෂුවර්. ඒ කොහොම උනත් පොත ඇතත් නැතත් මං දවස් දෙකකිං ඔයාට කෝල් කරන්නං.’’
‘‘හරි සචේති... එහෙනං මං තියනවා...’’
‘‘ඕ කේ ප්‍රතිෂ්ඨ... බුදු සරණයි...!’’
‘‘බුදු සරණයි...!’’
ප්‍රතිෂ්ඨ ද ඇයට බුදු සරණ පැතූ පසු දෙදෙනා අතර සංවාදය නිමා විය.
* * * * * *
පොරොන්දු වූ පරිදි ම හරියට ම දෙවන දිනයේ උදෑසන දහයට පමණ ඇය ප්‍රතිෂ්ඨ ඇමතුවා ය.
‘‘හෙලෝ සචේති...’’
ප්‍රතිෂ්ඨ ඇමුතුම විවෘත කළේ ඇගේ නමින් ම අමතමිනි.
‘‘ම්ම්ම්... නම්බර් එක සේව් කරලත් තියාගත්ත නේද...?’’
අනෙක් පසින් ඇගේ ළයාන්විත හඬ ප්‍රතිෂ්ඨගේ සවනතට ඇතුළු විය.‘
‘ඔවු... ෆෝන් එකෙයි හදවතෙයි දෙකේ ම.’’
ප්‍රතිෂ්ඨ අනෙක් පසින් ක්ෂණික ප්‍රතිචාරයක් බලා පොරොත්තු වුව ද එය ඉටු නොවිණ. ඒ වෙනුවට පැවති තත්ත්පර කිහිපයක නිහැඬියාව බිඳිමින් ඇය ‘‘පොත තිබුණ ප්‍රතිෂ්ඨ..’’ යැයි ඉතා කෙටියෙන් පිළිවදන් සැපයූවා ය.
‘‘අම්මෝ ලොකු දෙයක්... දැං කොහොමද මං ඕක ගන්නෙ...? ඔයාට මගේ එඩ්‍රස් එක දෙන්න පොස්ට් කරන්න පුළුවං ද...?’’
සැබැවින් ම ඔහුගේ බලාපොරොත්තුව වූයේ එය නොවේ. ඔහුගේ සැබෑ ම බලාපොරොත්තුව වූයේ ඇය සම්මුඛ වීම ය; සම්මුඛ වී ඇය සමග අල්ලාප සල්ලාපයක යෙදීම ය. නමුදු එදා මෙන් ම අද ද ඔහු සිය හැඟීම යටපත් කරගෙන වෙනත් යෝජනාවක් ඉදිරිපත් කළේ ය.
‘‘පෝස්ට් කරන්න...! ඇයි... දැං ඔයා කොළඹ නැද්ද... කොහෙද මේ...?’’
ඇය විශ්මයෙන් මෙන් විමසූ සැණින් ප්‍රතිෂ්ඨ ක්ෂණයෙන් පිළිවදන් සපයමින් ‘‘නෑ නෑ... පදිංචිය නං වෙනස් කරා තමයි. ඒත් දුරක නෙවෙයි... මේ... කොට්ටාවෙ... කොට්ටාවෙ බංගලාවත්ත පාරෙ...’’
‘‘ආ... ඒක මිසක්... මං හිතුවෙ මේ පොස්ට් කරන්න කියද්දි අනුරාධපුරේ හරි, මොනරාගල හරි හම්බන්තොට පැත්තෙ හරි කියල.’’ යන වදන් මුදා හළේ සිහින් කිකිණි රාවයක් ද සමගිනි.
‘‘පිස්සු ද අනේ... ඒවගේ දුෂ්කර පළාතකට යන්න තරං මට මොළේ අමාරුවක් නෑ... හරි... කියන්නකො... කොහොමද මං දැං ඒ පොත් ටික ගන්නෙ...?’’
ඔහුගේ සිත තුළ නොයෙක් අදහස් යෝජනා පිරී පැවතිය ද හෙතෙම උත්සාහ කළේ ඇයට රිසි පරිදි එය ද සිදුවන්නට ඉඩ හැරීම ය. එය ඔහුට වඩාත් වාසිදායක බව හෙතෙම අත් දැකීමෙන් ද දැන සිටියේ ය.
‘‘හරි... එහෙමනං මං කියන්නද වැඩක්...?’’
ඇය කිසියම් යෝජනාවක් සිත්හි දරාගෙන විමසුවා ය.
‘‘කියන්න...’’
‘‘ඔයාට පුළුවන් ද... හෙට උදේ අටයි දහය වෙද්දි පන්නිපිටියෙ බොරැල්ල පාරෙ ගුවන් පාලම ගාවට එන්න. ඒ කියන්නෙ හයිලෙවල් පාරෙන් ඇවිත් බොරැල්ල පාරට වැටෙන තැනට... හයිලෙවල් පාරෙන් පටං අරගෙන බොරැල්ල පාරට සම්බන්ධ වෙන්නෙ. අන්න එතෙන්ට එන්න. මොකද... ඔයා ඉල්ලපු පොත විතරක් නෙවෙයි ප්‍රතිෂ්ඨ... ඔයා මට දීපු තව පොත් තුනක් ම තිබුණ. මං ඒ ටික ඔක්කොම අරගෙන එන්නං.’’
ඇය හමු වී පොත් කිහිපය රැගෙන යෑමෙන් පමණක් ඔහුට සැහීමකට පත්විය නොහැකි ය. එහෙත් සඛී පැවසූ තත්ත්වය අනුව වෙනත් කිසිදු යෝජනාවක් කළ හැකි වාතාවරණයක් ද නොපවතී. එබැවින් හෙතෙම තවත් උපායක් යෙදී ය.
‘‘හරි... මට එන්නනං පුළුවං... ඔයා මොකේ ද එන්නෙ...? මොකද මට දැං තියෙන්නෙ ඉස්සර තිබ්බ බයික් එක නෙවෙයි. ඒ නිසා ඔයාට එකපාට්ටම බයික් එක අඳුරගන්න බැරිවෙයි.’’
‘‘නෑ නෑ ප්‍රතිෂ්ඨ... ඔයා බයික් එකේ එන්න එපා. ඔයාට බැරිද 174 බස්සෙකේ ඇවිත් එතන ඉන්න. ඔයා හරියට ම පාලම ඉවර වුණාට පස්සෙ හම්බෙන කහ ඉර ගාව හයිලෙවල් පාරෙ ඉඳල එද්දි වම් පැත්තෙ ඉන්නකො. මං කාර් එකේ එන්නං. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නත් තියෙනව. අපිට පොඩ්ඩක් නිදහස් තැනකට ගිහිං කතා කරන්න පුළුවං නෙ...’’
සියල්ල සිදුවෙමින් පවතින්නේ ප්‍රතිෂ්ඨගේ බලාපොරොත්තු පරිදි ය. එහෙත් ඔහු තවමත් මන්දගාමි ය.
‘‘ම්ම්ම්... නෑ... එහෙනං මං මෙහෙම කරන්නං. පන්නිපිටියෙ ඔය කියන හරියෙම මගෙ යාළුවෙක් ඉන්නව. මං බයික් එක එහේ දාල ඔයා කියන තැනට එන්නං. හැබැයි...’’
හෙතෙම යමක් පවසන්නට ගොස් එය අතර මග නැවතී ය.
‘‘ඇයි ප්‍රතිෂ්ඨ... මොකද්ද ප්‍රශ්නෙ...?’’
‘‘නෑ... එතකොට මට ආයෙ පන්නිපිටියට එන්න වෙන්නෙ බස්සෙකේ නෙ... මං ආසම...’’
ඔහුට පැවසීමට අවකාශ ලැබුණේ එපමණකි.
‘‘හරි හරි... ඔයා කියන්න හදන දේ මොකද්ද කියල මං දන්නව. තවමත් ඉස්සර වගේමයි නේද...? කමක් නෑ... ඔයා යාළුවගේ ගෙදර බයික් එක දාන්නකො. ආපහු එන්න ක්‍රමයක් මං හදන්නංකො... හරිද... ඒක නෙවෙයි... ඔයා මොකද මේ දවස්වල කරන්නෙ...?’’
ඇය, ඇගේ අදහස් සියල්ල පවසා කතාව වෙනතට හැරවූවා ය.
‘‘ඒ කිව්වෙ...?’’
ඇගේ පැනය නිවැරැදිව වටහා නොගත් ප්‍රතිෂ්ඨ විමසී ය.
‘‘මං අහන්නෙ... දැං මොනව ද කරන්නෙ...? පත්තරේක මොහොකවත් වැඩ නෑ නෙ...?’’
ඇය විමසන්නේ මේ දිනවල ඔහුගේ ජීවන මාර්ගය කුමක් යන්න බව හෙතෙම වටහා ගත්තේ ය. ඇයට මුසාවාද පැවසීමෙන් පළක් නැති බැවින් හෙතෙම වත්මන් යථා තත්ත්වය ම ඇය සමග පැවසී ය.
‘‘ඇත්තට ම සචේති මේ දවස්වල එහෙම වැඩක් නෑ. ඔය පොඩි පොඩි දේවල් කරනව. ඇයි...?’’
‘‘නෑ මං නිකමට ඇහුවෙ... හරි... අපි හෙට මීට් වෙනව නෙ... එතකොට කතා කරමු. එහෙනං... හරියට ම උදේ අටයි දහය වෙද්දි මං කියපු තැන ඉන්න. මං එන්නෙ සිල්වර් මික්ස් තද නිල් පාට වැගන් ආර් එකකිං. කෝකටත් ඔයා නොහිටියොත් මං කෝල් කරන්නංකො. එහෙනං ප්‍රතිෂ්ඨ... අපි හෙට හම්බවෙමු. බුදු සරණයි...!’’
‘‘ඕකේ... බුදු සරණයි...!’’
‘ම්ම්ම්... මොනවද දැං එයාට මාත්තෙක්ක කතා කරන්න තියෙන්නෙ... කමක් නෑ... එයානෙ කියන්නෙ. හෙට හම්බෙලා ම බලමුකො.’
* * * * * *
එදින ද ඇය පොරොන්දු වූ පරිදි ම නියමිත වේලාවට, නියමිත ස්ථානයට පැමිණියා ය. ඇය පැවසූ පරිදි අදාළ කාරය මඳක් ඈතින් එනු දුටු ප්‍රතිෂ්ඨ ඇයට පෙනෙන සේ පදික මාරුව මඳක් පසු කර මාර්ගය අද්දර රැඳී සිටියේ ය. ඇය ද දුර සිට ම ප්‍රතිෂ්ඨ හදුනාගත් බවට ඉඟි සැපවූයේ කාර් රථයේ ප්‍රධාන විදුලි ලාම්පු දල්වමින් යළි නිවමිනි.
ප්‍රතිෂ්ඨ ආසන්නයේ ම කාර් රථය නතර කළ සචේති එහි වම්පස ඉදිරි දොරෙහි වීදුරුව පහත් කර ‘‘නගින්න ප්‍රතිෂ්ඨ,’’ යැයි පැවසුවේ වසර කිහිපයක් ඉක්ම ගොස් තිබුණ ද ඇගේ උවනතෙහි පෙර පැවති පූර්ණ ස්මිතය එලෙස ම විදහා පාමිනි.
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/08/25
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්