ප්‍රතිෂ්ඨ ආසන්නයේ ම කාරය නතර කළ සචේති එහි වම්පස ඉදිරි දොරෙහි වීදුරුව පහත් කර ‘‘නගින්න ප්‍රතිෂ්ඨ,’’ යැයි පැවසුවේ වසර කිහිපයක් ඉක්ම ගොස් තිබුණ ද ඇගේ උවනතෙහි පෙර පැවති පූර්ණ ස්මිතය එලෙස ම විදහා පාමිනි.
ප්‍රතිෂ්ඨ ඇගේ රුව දුටුවේ තෙවසරකට පසුව ය. තවත් දෙවසරක් ඉක්ම ගිය විට ඇය ජීවන ගමන් මගේ අර්ධ ශතකයට ළඟා වන්නී ය; ප්‍රතිෂ්ඨ සිය ජීවන ගමන් මගේ අර්ධ ශතකය පසු කර දෙවරසක් ඉක්ම ගොසිනි. කාලය එතරම් ඉගිළ ගිය ද ඇගේ රුව ඇගෙන් ඉගිළ ගොස් නොමැත. වෙනසකට පවතින්නේ ඇය මේ වන විට ප්‍රතිෂ්ඨ සම්මුඛ වූ අවධියට වඩා තරමක් ස්ථුල වී තිබීම ය. නමුදු එම ස්ථුල භාවය වුව ද ඇගේ ලාලිත්‍ය මකාලන්නට නොව එය තව තවත් ඔප් නංවන්නට සමත් වී තිබිණ.
‘‘ප්‍රතිෂ්ඨ...! මොකද මේ...? නගින්න කා එකට.’’
තමා තවමත් සිටින්නේ මහා මාර්ගය අද්දර බව ප්‍රතිෂ්ඨට සිහිපත් වූයේ සචේතනීගේ මිහිරි කටහඬ ඔහුගේ සවන් පත් අතරට ඇතුළු වීමෙන් ඉක්බිතිව ය. එතෙක් ඔහු වෙනත් ලොවක අතරමංව සිටි බව හෙතෙම වටහාගත් සැණින් ඇති වූ ලජ්ජාව වසා ගැනීමට ඔහු යත්න දැරී ය.
‘‘නෑ මං මේ බැලුවෙ...’’
‘‘හම්ම්ම්... මං දන්නව... මං ඉස්සර වගේම ද කියල නේද කල්පනා කරේ...? ඇඟපතින් නම් වෙනස් වෙලා ඇති... ඒත්...’’
ප්‍රතිෂ්ඨ පවසන්නට සූදානම් වූ යම් අදහසක් වැළකූ සචේතනී කිසිවක් පවසන්නට සූදානම් වුව ද ඇය නොසිතූ ලෙස ප්‍රතිෂ්ඨ එය වළකමින් ‘‘ඒත් මගේ හිත වෙනස් වෙලා නෑ කියලද කියන්න ගියේ...?’’ යැයි විමසමින් ම කාරයට ගොඩ වී දොර වසාගත්තේ ය.
‘‘ඇත්තට ම හිත වෙනස් වෙලා නෑ. ඒත්... අකමැත්තෙන් උනත් සමහර දේවල් අපිට වෙනස් කරන්න වෙනව නෙ ප්‍රතිෂ්ඨ. ඒ දේවල් වෙනස් නොකර බෑ. මෙහ්... ඒක නෙවෙයි... ඔයා උදේට කාල ද...? මං නං කෑවෙ නෑ. මට හිතුණ අද ඔයත් එක්ක බ්‍රේක්ෆස්ට් ගන්න ඕන කියල. අපි යන ගමං මොනව හරි කාල යමු ද...?’’
ඇය, ඇය විසින් ම පවසන ලද කිසියම් කරුණක් මගහරිනු වස් කතාව වෙනතක හැරවූවා ය.
‘‘මං කාල හිටියත් නැතත් ඔයා කාල නෑ නෙ... ඒ නිසා ඔයා කැමති විදියක් කරමු. ඒක නෙවෙයි... මාත් මේ අහන්නමයි හිටියෙ. කොහෙද මේ යන්නෙ...?’’
මීට වසර කිහිපයකට පෙර මෙන් ම ප්‍රතිෂ්ඨ ඇගෙන් විමසුවේ ඇගේ මේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඔහු සතුව පැවති බැවිනි. එහෙත් ඇය මේ වන විට පසුවන තත්ත්වය අනුව පෙර සේ ම කටයුතු කරතැයි විශ්වාස කළ නොහැකි ය.
කිසිවක් නොපැවසූ ඇය පෙර සේ ම පූර්ණ ස්මිතයකින් උවන සිතුවම් කරගන්නා අතර ම කාරය තලවතුගොඩ මංසන්ධියෙන් වමට හැරවූවා ය. ඇය වාහනය පදවන්නේ මේ වන විට ගමන් කරන මාර්ගය ඉතා හුරු පුරුදු ආකාරයෙනි. එබැවින් යළි යළිත් පැන විමසා ඵලක් නැතැයි අවබෝධ කරගත් ප්‍රතිෂ්ඨ නිහඬ ව්‍රතය රකිමින් ඔවුන් පසු කර වේගයෙන් පසු පසට ඇදෙන: නිවාස, කඩ සාප්පු, වාහන යනාදිය දෙස නෙත් අලවාගෙන සිටියේ ය. ඔහුගේ නිහඬතාව තව දුරටත් ඉවසිය නොහැකි බැවින් දෝ සචේතනී ඇගේ ළයාන්විත හඬ මුදා හැරියා ය.
‘‘ප්‍රතිෂ්ඨ... මොකද කතා නැත්තෙ...?’’
කිසිවක් ම නොපැවසූ ප්‍රතිෂ්ඨ පූර්ණ ස්මිතයකින් පිළිවදන් සපයා තත්ත්පර කිහිපයක් සිය දෙනෙත් ඇගේ පැතිකඩ රුව පුරා සක්මන් කරවී ය. ඉක්බිති මුව විවර කළේ ය.
‘‘කතා නැත්තෙ ද...? කතා නැත්තේ... ඩ්‍රයිවින් කරන කෙනත් එක්ක වුවමනාවට වඩා කතාවට ගියාම එයාගෙ අවධානය වෙනස් වෙන නිසා. ඒක නුවණට හුරු වැඩක් නෙවෙයි.’’
‘‘ම්ම්ම්... ඒකත් එහෙම ද...? එහෙනං අපි වාහනේ නවත්තලා... අන්න අර පේන බේක් හවුස් එකට ගිහින් ටිකක් කතා කරමුකො... ම්ම්ම්...’’
සචේති එසේ පවසන විට කාරය කිඹුලාවල මංසන්ධියට පැමිණ තිබිණ. ඇය වාහනය මාර්ගයේ වම් පස පිහිටි නතර කිරීම් තීරුවේ නවතාලූයේ දිය අගල මධ්‍යයේ පිහිටි ආපණ ශාලාව වෙත යෑමේ බලාපොරොත්තුවෙන් බව ප්‍රතිෂ්ඨ හට ක්ෂණයෙන් අවබෝධ විය.
* * * * * *
හෝරාවකුත් අඩ හෝරාවකට ආසන්න කාලයක් ආපණ ශාලාවෙහි සිට, පසුගිය වකවානුව ගෙවා දැමූ සහ ගෙවී ගිය ආකාරය පිළිබඳ තොරතුරු හුවමාරු කරගත් සචේතනි සහ ප්‍රතිෂ්ඨ යුවළ එයින් නික්ම ආවේ දෙදෙනාගේ ම සිත් කිසියම් සැහැල්ලුතාවකට ලක්වීමෙන් ඉක්බිතිව ය.
යළි සචේතනීගේ කාරය ආසන්නයට දෙදෙනා පැමිණෙන විට ඇය ප්‍රතිෂ්ඨ හට නොදන්වා ම එම ස්ථානයට කැබ් රථයක් ගෙන්වාගෙන තිබුණේ ප්‍රතිෂ්ඨ නැවත පන්නිපිටියට පිටත් කිරීමේ අරමුණෙනි.
‘‘ප්‍රතිෂ්ඨ... ඔයා ඊයෙ මගෙං ඇහුව නේද ‘එතකොට මං ආපහු එන්නෙ...?’ කියල. ඔන්න ඒකට උත්තරේ මගේ කා එක ළඟ ම තියෙනව. ඔයා දැං මේ කැබ් එකෙං ඔයාගෙ යාළුවගෙ තැනට යන්න. එතන ඉඳල යන්න ඔයාට බයික් එක තියෙනව නෙ... නේද...?’’
තරමක් නොව බොහෝ සෙයින් විමතියට පත් ප්‍රතිෂ්ඨ ‘හම්ම්ම්... එහෙනං මෙයා මේ හැම දෙයක් ම කලින් ප්ලෑන් කරල. මාර ගෑනියෙක් තමයි; ඉස්සර වගේම යි,’ යැයි සිතමින් ම ‘‘ඔ... ඔවු සචේති. මං බයික් එක පන්නිපිටියෙ දාල ආවෙ. ඔයානං මාරයි අප්ප. අපි කතා කර කර ඉන්න අතරෙ කැබ් එකකුත් දැම්ම ද...?’’
‘‘හම්ම්ම්... නැතුව නැතුව... මං වෙනුවෙං කාලය යි ශ්‍රමය යි මුදලුයි වියදං කරපු ඔයා වෙනුවෙං ප්‍රති උපකාර කරන එක මගේ යුතුකමක් නෙවයි වගකීමක් නෙ... තේරුණා ද...?’’
ඇය පිළිවදන් සැපවූයේ මීට වසර කිහිපයකට ඉහත දෙදෙනා මුණ ගැසුණු නිමේෂයක අදහස් හුවමාරු කරගත් ආකාරයෙන් ම ය. ඇගේ ස්වරයෙහි ද, ස්වරූපයෙහි ද කිසිදු වෙනසක් ගැබ්ව නොතිබිණ. එහෙත් ඇය දැන් පෙර තරමට ම නිදහස් ගැහැනියක නොවේ ය යන්න ඒ සෑම නිමේෂයක ම ප්‍රතිෂ්ඨගේ මනසෙහි ලියැවිණ.
‘‘මං එදා ඔයාට උපකාර කරෙත්, අද උපකාර කරන්නෙත්, හෙට ඔයාට උපකාරයක් ඕනෙ නං ඒ කරන්නෙත් කිසිම ප්‍රති උපකාරයක් බලාපොරොත්තුවෙං නෙවෙයි. අනික මං හිතන්නෙ දැං ඔයාට...’’
‘‘ඇති ඇති... ඔය හොදටෝ ම ඇති. මං දන්නව ඔයා මොනවද කියන්න හදන්නෙ කියල,’’ යැයි පවසමින් ප්‍රතිෂ්ඨගේ කතාවට බාධා කළ ඇය, කාරයේ පිටුපස දොර විවර කර එහි තිබූ, කඩදාසිවලින් නිමකළ (Hand-craft) බෑගයක් ගෙන ‘‘ආ... මෙතන ඔයාගෙ පොත් ටික ඔක්කොම තියෙනව. ගෙදර ගිහින් බලන්න. ගියපු ගමං මට කෝල් බැක් කරන්න. තැන්ක්ස් ප්‍රතිෂ්ඨ මාව බලන්න ආවට,’’ යැයි පවසන අතර ඈ අතට ගත් බෑගය ප්‍රතිෂ්ට වෙත පෑවා ය.
‘‘අනිවාර්යයෙන්... මං ගියපු ගමං ඔයාට කෝල් කරන්නං. ඔයාටත් ගොඩාක් තෑන්ක්ස් මගේ පොත් ටික මෙච්චර කාලයක් පරිස්සම් කරාට.’’
‘‘පොත් ටික විතරක් නෙවෙයි... ඔයාගෙං ඉල්ලගත්තු හැම දෙයක් ම, හැමදාම මගේ ළඟ පරිස්සමින් තියේවි. ඒ ගැන සැකයක් තියාගන්නෙපා.’’
ඇය පැවසුවේ උවන පුරා ප්‍රහර්ෂණාත්මක සිතුවමක් සිත්තම් කරමිනි. ප්‍රතිෂ්ඨගේ මනසට නෙක නෙක සිතුවිලි පහළ වුව ද ඒ කිසිවක් වදන් බවට පෙරළන්ට තරම් ආත්ම ශක්තියක් ඔහු සතුව නොතිබිණ. ඒ ඇයි ද යන්න ඔහුට ම ගැටලුවක් විය. ඇගේ ප්‍රහර්ෂණාත්මක ස්මිතයට එබඳු ම ස්මිතයකින් පිළිවදන් සැපයූ ප්‍රතිෂ්ඨ කඩිනමින් ම කැබ් රථයට ගොඩ වූයේ හෙතෙම හැඟීම් බර වන්නට ආසන්නව සිටි බැවිනි.
* * * * * *
කැබ් රථයට ගොඩ වූ මොහොතේ සිට එයින් බැසගන්නා මොහොත දක්වා ප්‍රතිෂ්ඨ අසුන් ගෙන සිටියේ කැබ් රථයේ නොව කිඹුලාවළ මධ්‍යයේ පිහිටි ආපණ ශාලාවෙහි ය.
‘‘දුව බැන්දට පස්සෙ මං හිතාගෙන හිටියෙ එයාගෙ දරුව ටිකක් ලොකු වෙනකං ඉඳල ආයෙ ලංකාවට ඇවිත් පුතා ගාවට යන්න. ඒ උනාට ප්‍රතිෂ්ඨ අපි කවුරුවත් නොහිතන දේවල් ම නෙ සිද්ධ වෙන්නෙ. ඇත්තට ම මේ ප්‍රොපෝසල් එක ගෙනාවෙ දුව බැඳපු පුතා. මං හීනෙකිංවත් හිතුවෙ නෑ ප්‍රතිෂ්ඨ ඒ පුතා මට එහෙම ප්‍රොපෝසල් එකක් ගෙනේවි කියල. නමුත් මට පස්සෙයි තේරුණේ... ඒ පුතා හරිම විවෘත කෙනෙක් කියල. ඒ වගේ ම ඒ පුතාට මගේ ජීවිතේ ගැන හොඳ අවබෝධයක් තිබුණ. හැබැයි මං හිතන්නෙ නෑ එයා අපි ගැන දැනගෙන ඉන්නැති කියල. මොකද දුව දැනගෙන හිටියත් මට ෂුවර් එයා ඒ කිසිම දෙයක් කිසිම කෙනෙකුට කියන්නෑ කියල. අවසානෙ පුතාගෙනුත් අහල, එයාගෙ කැමැත්තත් ඇතුව මං තීරණේ කරා එඩ්වඩ්ව කසාද බඳින්න.’’
සචේතනී, ඉතා දීර්ඝ විස්තරයක් ඉතා කෙටියෙන් ම ප්‍රතිෂ්ඨ වෙත කියා පෑවා ය. ඔහුට ඇගෙන් අසන්නට බොහෝ දෑ තිබුණ ද ඒ කිසිවක් ම නොවිමසා නිහඬ ව්‍රතයෙන් ම ආහාර ගන්නා විට යළිත් සචේතනී ඔහු ඇමතුවා ය.
‘‘ඇයි ඔයා සද්ද නැතුව ඉන්නෙ...? ඔයාට අහන්න දේවල් ඇත්තෙ ම නැද්ද...?’’
‘‘මොකද නැත්තෙ සචේති... අහන්න දේවල් නං ගොඩක් තියෙනව. නමුත් දැං ඒ කිසිම දෙයක් ඇහුව කියල මුකුත් වෙනසක් වෙන්නෑ නෙ... කොහොම උනත් මං කැමතියි ඔයා එහෙම තීරණයක් ගත්තෙකට. ඒත් මං කැමතියි ඔයාගෙ අලුත් හස්බන්ඩ්ගෙ තොරතුරු ටිකක් දැනගන්න... හැබැයි ඔයා කැමති නං විතරයි.’’
මෙතෙක් හදවතේ තෙරපාගෙන සිටි සිතුවිලි වදන්වලට පෙරළූ ප්‍රතිෂ්ඨ සචෙතනීගෙන් පිළිවදනක් බලාපොරොත්තුවෙන් ඇගේ දෙනෙත් සමග අනිමිස ලෝචනයක යෙදිණ.
‘‘හරි... මං කෙටියෙං ම කියන්නංකො... ඇත්තට ම මේ වෙද්දි එයාගෙ දරුවන්ටත් දරුවො ඉන්නව. හැබැයි ඒ කවුරුවත් ලංකාවෙ නෑ. ඒ හැම කෙනෙක් ම ඉන්නෙ පිට රට. පුතා එන්ග්ලන්ඩ්වල... දුව ඇමරිකාවෙ. එයාගෙ වයිෆ් නැහැ; මැරිල. ඒ, දැනට අවුරුදු පහළොවකට විතර ඉස්සර. එයා තමයි ප්‍රතිෂ්ඨ ROAD HERO කියන ටයර් කම්පෙනි එකේ ලෝකල් ඒජන්ට්. ඔයා දැකල ඇති නෙ... ඔය හැම ටවුන් එකක ම ෂොප්ස් තියෙන්නෙ.’’
‘‘හම්ම්ම්... එතකොට ඔයා දැං ඉන්නෙ...?’’
‘‘ඇත්තට ම ප්‍රතිෂ්ඨ...’’
ඇය යමක් පවසන්නට ගොස් එය නවතාලූවා ය.
‘‘නෑ නෑ... ඔයා අකමැති නං කියන්නෙපා. ඒකෙ කිසිම අවුලක් නෑ.’’
ඇගේ අපහසුතාව වටහාගත් ප්‍රතිෂ්ඨ පැවසී ය.
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/09/01
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්