ඇගේ සමස්ත උවන ම කළු වලාවකින් වැසිණ.
එහෙත් ඒ වලාව අතුරෙන් නැගි රීදි වලාවක් සේ මතු වූ ඇගේ දසන්වලින් විහිදෙන ආලෝක කදම්බයෙන් ප්‍රතිෂ්ඨගේ උවන ආලෝකමත් කළ ඇය ‘‘ඇත්තට ම ප්‍රතිෂ්ඨ මං ඉන්න තැන දන්නෙ බොහොම ටික දෙනයි. ඒ අතරට ඔයා එකතු උනාට කිසිම අවුලක් නෑ. මට එදා වගේ ම අදත්, අද වගේ ම හෙටත් ඔයා විශ්වාසයි.
මං ඉන්නෙ ඔය පන්නිපිටියෙ මෙත්සිරි පෙදෙස. අපි දෙන්න බැන්දට පස්සෙ එඩ්වඩ් ඒ පාරෙ ගෙයක් ගත්ත. ඇත්තට ම ඒක අපිට විශාල වැඩියි. ඒත් එයා කිව්වෙ හදිස්සියෙ මගේ හරි... එයාගෙ හරි දරුවො නිවාඩුවකට හරි ආවොත් ඉන්න තැනක් තියෙන්නත් ඕන නිසා ලොකු ගෙයක් ගත්තෙ කියල. මොකද මත්තෙගොඩ ගෙවල් දෙක ම කුලියට දීල නෙ... අනික ඒ දෙක දුවගෙයි පුතාගෙයි නමට ලියල තියෙන්නෙ. එයා මාසෙං බාගයක් විතර ම ඉන්නෙ පිටරට. මායි ගෙදර වැඩට ඉන්න සුදර්ශනියි විතරයි ගෙදර ඉන්නෙ.’’ යැයි ඇය පැවසුවේ සමාව අයදින ස්වරයෙනි.
‘‘හම්ම්ම්... එතකොට මේ කාර් එක හස්බන්ඩ්ගෙ ද...?’’
ප්‍රතිෂ්ඨ එක පැහැර එසේ විමසුව ද එය නොඇසිය යුතුව තිබූ පැනයක් නොවේදැයි ක්ෂණයෙන් සිතට නැගිණ. නමුදු එම සිතුවිල්ල එසැණින් ම අතුරුදන් කරන්නට සචේතනීගේ පිළිතුර සමත් විය.
‘‘අරං දුන්නෙ නං හස්බන්ඩ් තමයි. හැබැයි එයා මේක අරං දුන්නෙ මට. එයාට වෙන වෙහිකල් එකක් තියෙනව. මේක මගේ පාවිච්චියට.’’
‘‘සර්... සර් පන්නිපිටියෙ කොහෙන්ද බහින්නෙ...?’’
කල්පනා ලොවක අතරමංව සිටි ප්‍රතිෂ්ඨ පියවි සිහියට එළැඹියේ රියදුරාගේ කටහඬ හේතුවෙනි. ඒ වන විට කාරය පන්නිපිටිය ගුවන් පාලමට ආසන්නව තිබිණ.
‘‘ආ... ඔයා පාලම ගාවින් හරවල මාව දාන්නකො. එතනින් ඔය පොඩ්ඩ මං යන්නං.’’
ප්‍රතිෂ්ඨ එසේ පිළිවදන් සැපයූ සැණින් රියදුරා සිය දුරකතනයේ තිරය මත ඔහුගේ ඇඟිලි තුඩු ඒ මේ අත යැව්ව ද ප්‍රතිෂ්ඨ එය මායිම් නොකළේ ය.
එතැන් සිට මිනිත්තු විස්සක් ඉක්ම යන මොහොතේ දී ප්‍රවිෂ්ඨ නැවත නිවසට පැමිණ, තවත් මිනිත්තු පහක් ගතවන මොහොතේ ඔහුගේ දුරකතනය නාද විය. ඇමතුම ලබාගන්නා පුද්ගලයාගේ නම සඳහන්ව තිබුණේ sachethi ලෙසිනි.
‘‘හෙලෝ සචේති...’’
‘‘ඔයා ගෙදර ආව ද ප්‍රතිෂ්ඨ...?’’
අනෙක් පසින් ඇගේ ළයාන්විත හඬ ගලා ආවේ ය.
‘‘ඔවු සචේති... මං මේ ඇවිත් ඇදුම් මාරු කරන්න හැදුව විතරයි.’’
‘‘ගෙදර කවුරු හරි ඉන්නව ද ප්‍රතිෂ්ඨ...?’’
ඇය විමසුවේ සිහින් ස්වරයෙනි.
‘‘නෑ සචේති... ඇයි...?’’
ප්‍රතිෂ්ඨ විමසුවේ මඳ තැතිගැන්මකිනි.
‘‘නෑ... ස්පෙෂලි දෙයක් නෙවෙයි... නිකමට... හරි... එහෙනං... ඉඩක් ලැබුණ ම මට කෝල් කරන්න.... බුදු සරණයි...!’’
ප්‍රතිෂ්ඨ නිවසට පැමිණ ඇති බව තහවුරු කරගත් සචේතනී සෑහීමකට පත්වූවා ය.
අදහස් හුවමාරුවෙන් ඉක්බිති ප්‍රතිෂ්ඨ දුරකතනය මේසය මත තබන විට ම කෙටි පණිවිඩයක් ලැබුණු බවට වූ නාදය නිකුත් විය. වහා දුරකතනය අතට ගත් විට දක්නට ලැබුණේ එම කෙටි පණිවිඩය සචේතනීගෙන් බවයි. හෙතෙම කඩිනමින් ම කෙටි පණිවිඩය විවෘත කළේ ය.
‘‘Prathishta... Kindly check the book parcel soon’’ යනුවෙන් එහි සදහන්ව තිබිණ. එම පණිවිඩයේ විශේෂත්වයක් ඇති බව වටහා ගත් ප්‍රතිෂ්ඨ කඩිනමින් ම එම හුරුබුහුටි Hand-craft බෑගය තුළ තිබූ පොත් පාර්සලය පිටතට ගත්තේ ය. පාර්සය ඉතා කලාත්මක ආකාරයෙන් සරසා තිබිණ. එය හුදෙක් ඔහුගේ පොත් කිහිපය පමණක් ම අඩංගු පාර්සලයක් නොවන බව හෙතෙම වටහාගත්තේ ය; ඔහු වහාම එහි ගැටගසා තිබූ රිබන් පටිය කපා පාර්සලය විවෘත කළේ ය. එහි ඔහුගේ පොත් කිහිපය උඩින් ම දිගු ලියුම් කවරයක් තිබිණ. අලවා නොතිබූ ලියුම් කවරයේ පියන විවර කළ හෙතෙම විස්මයට පත් විය. ඒ, එහි තිබූ ලිපිය ඇස ගැටීමෙන් නොව ලිපිය සමග ම තිබූ චෙක්පත ඇස ගැටීමෙනි. හෙතෙම කඩිනමින් ම චෙක්පත අතට ගෙන එය පිරික්සි ය; ඕනෑ ම මොහොතක මාරු කළ හැකි (cash check) චෙක්පත දුටු ඔහු තව තවත් විස්මයට පත්විය; එමතු නොව එහි සටහන් වටිනාකම දුටු ඔහුට ඔහුගේ ම දෙනෙත් අදහාගත නොහැකි විය.
‘මොකද්ද මෙයා මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ...! ඇයි මෙයා මෙහෙම දෙයක් කරේ...!!’
එසේ සිතන අතර ම ප්‍රතිෂ්ඨ, සචේතනි වෙතින් ලද ලිපිය දිගහැරී ය.
//ප්‍රතිෂ්ඨ,
මට සමාවෙන්න. මං මෙහෙම කරා කියල ඔයා අහිතක් හිතන්න එපා. මේක මං කැමැත්තෙන් කරන උදව්වක්. ඒ වුනාට ඔයා හිතන්න එපා මං ඔයාගෙ මිත්‍රත්වය, ආදරණීය බව මුදලට ලඝු කරා කියල. ඔයා මට කරපු කිසිම උදවුවක් කවදාවත් ම මට අමතක වෙන්නෙ නැහැ. ඒ වගේ ම ආයෙ කවදක හරි මට මොන ම විදියෙ උදවුවක් වුවමනා වුනත් ඒ උදවුව ඔයාගෙන් ඉල්ලන්නත් මම ලැජ්ජා වෙනේනෙ හරි බය වෙන්නෙ හරි නෑ. ඇත්ත ම කියනවා නං මාව හරියට ම තේරුම් ගත්ත මේ ලෝකෙ හිටපු වගේ ම ඉන්න එකම පිරිමියා ඔයා. මං මේ කියන්නෙ මගේ දැන් හස්බන්ඩ්ටත් එක්ක. ඇත්තට ම එයාටත් වඩා ඔයා මාව තේරුම් ගත්තා. ඒ වගේ ම දැනුත් මාව තේරුම් ගන්නව ඇති කියල මං විශ්වාස කරනවා. ඒ නිසා අපි අතරෙ තියෙන මිත්‍රත්වයට වගේ ම ආදරණිය බවට මේ කිසිම දෙයක් බාධාවක් කරගන්න එපා.
මං දන්නව ඔයා සල්ලිවලට ඕන ම දෙයක් කරන කෙනෙක් නෙවෙයි කියල. ඒ නිසා ඔයාගෙ ජීවන පැවැත්මත් අසීරුයි කියල මං හොඳට ම දන්නව. ඒ නිසා මං මේ කරන උදවුව ගැන අහිතක් හිතන්නෙපා. මේ හස්බන්ඩ්ගෙ සල්ලි නෙවෙයි. මගේ සල්ලි. ඔයා වෙනුවෙන් තව වියදං කරන්න වුනත් මට මගේ සල්ලි තියෙනවා. දැං ඔයා හිතනව ඇති මට එච්චර සල්ලි කොහෙන්ද කියල. ඒ සැකය දුරු කරගන්න මං ඔයාට ඒ විස්තර ටිකක් විතර කියන්නම්.
ඔයා දන්නවනෙ මට අයිති හැම දෙයක් ම තාත්ත දිවසත් අයියට ලිව්ව කියල. එයාට ඒවගෙ අයිතිය තියෙද්දිත් හම්බවෙන ආදායමෙන් බාගයක් ම මට එව්ව. අනික් බාගෙ එයා තියාගත්තෙත් හදිසියෙවත් අපේ අම්මයි තාත්තයි ප්‍රශ්න කරොත් කියලයි මට දිවසත් අයිය කිව්වෙ. දැන් මගේ අම්මයි තාත්තයි දෙන්න ම ජීවතුන් අතර නෑ ප්‍රතිෂ්ඨ. එයාල මැරුණට පස්සෙ... ඔයා විශ්වාස කරනව ද ප්‍රතිෂ්ඨ... අපේ අම්මයි තාත්තයි දිවසත් අයියට පවරපු හැම දේපළක් ම එයා ආයෙ මට පැවරුවා. ඒ විතරක් නෙවෙයි ප්‍රතිෂ්ඨ එයා ඉතුරු කරපු ආදායම ඔක්කොම මගේ එකවුන්ට් එකට දැම්මා. ඉතිං මමත් දැන් ඉඩම් හිමි වැවිලිකාරියක්. මං ඔයාට එහෙම කියන්නෙ විහිළුට හොඳේ. ඒ නිසා මං ආයෙ ආයෙ කියන්නෙ ඔයා මේ උපකාරය ගැන අහිතක් හිතන්න එපා. අනාගතේදිත් ඔයා වෙනුවෙන් මට කරන්න පුළුවන් ඕනම උදවුවක් කරන්න මං සුදානම්. හැබැයි මං දැං ආයෙත් කසාද බැඳපු ගෑනියෙක් නිසා අර එදා ඉල්ලපු උදවුව නම් ඉල්ලන්න වුවමනා වෙන එකක් නෑ. ඒත්... කවදක හරි වුවමනා වුනොත් මං ඒකත් ඉල්ලනව. එදාටත් අතතීතයෙදි වගේ ම මට ඔයා උදවු කරයි කියල මං විශ්වාස කරනවා. එදා වගේ ම අනාගතේ දි වුනත් එහෙම අවස්ථාවලදි අපි දෙන්න ම වැරැදි නෑ කියල මං විශ්වාස කරනවා.
එහෙනම් ප්‍රතිෂ්ඨ ඔයාට බුදු සරණයි...!//
ලිපිය කියවා අවසන් කළ ප්‍රතිෂ්ඨ, සචේතනී ඔහු වෙත ලබා දුන් චෙක්පත දෙස මඳ වේලාවක් බලා සිටියේ ය. එබඳු මූල්‍යමය වටිනාකමක් සහිත උපකාරයක් ඔහු කිසිසේත් ම බලාපොරොත්තු නොවිණ; එබඳු නොව කිසිදු ආකාරයකින් කිසිදු මූල්‍යමය උපකාරයක් හෙතෙම බලාපොරොත්තු නොවිණ. එහෙත් දැන් සියල්ල සිදු වී හමාර ය. සචේතනී එම චෙක්පත තමා වෙත පිරිනමන්නට ඇත්තේ ආදරණීය හැඟීමකින් පමණක් ම යැයි විශ්වාස කළ ප්‍රතිෂ්ඨ කඩිනමින් ම සිය දුරකතනයේ තිරය මත ඔහුගේ දෑඟිලි වේගයෙන් ඔබ-මොබ සක්මන් කරවී ය. ඒ සක්මන් කිරීම අවසන එහි මෙලෙස සටහන් වී තිබිණ.
සරන කල නුඹ නිරුද කතරක
සා පිපාසෙට උදක සොයමින
දුටුව ඊ තණ පඳුර වෙද මම
උදක ඇති බව ලකුණු පළ කළ
පඳුර නොරිදා සෙමින් ගලවා
පොළොව කණිමින් නැණිල පාදා
උදක මතු කර රැගෙන දෝතට
සා පවස නුඹෙ නිවා ගත්ත ද
වත්මනෙහි නුඹ ක්ෂේම බිමක ය
ඉදින් නොදැනේ සා පිපාසය
යළිදු කතරක් අතර මැදක දි
මතු වුනොත් නුඹෙ සා පිපාසය
එදිනට ද මා නුඹ අසල ම ය
සා පිපාසය නිවනු නිසැක ය
එසැණින් ම ප්‍රතිෂ්ඨ එම වදන් වැල සචේතනීගේ දුරකතනය වෙත මුදාහැරී ය.
සති 87ක් පුරා ඔබ රස විඳි ‘‘වජ්ජා’වජ්ජ’’ ප්‍රබන්ධය හෙවත්: අමෝද්‍ය කුමාරසිංහ, අහිංසනා සචේතනී, ප්‍රතිෂ්ඨ ජයසුන්දර ප්‍රමුඛ සෙසු පිරිසගේ කතාන්දරය මෙතෙකින් නිමා කරමි.
අමෝද්‍ය කුමාරසිංහ කෙස් වුව ද පවතින: සම්ප්‍රදා, සදාචාර, සංස්කෘතික යනාදි රාමු තුළ කොටු වි සිටින සමාජයක: එකිනෙකා සමග මිතුරු වී, එකිනෙකාට ආදරය කර, එකිනෙකාගේ මිනිස් අවශ්‍යතා සන්තර්පණය කරගත් අහිංසනා සචේතනි සහ ප්‍රතිෂ්ඨ ජයසුන්දර කෙරම් දුරට වැරදි ද නිවැරැදි (වජ්ජා’වජ්ජ) ද යන්න තීරණය කිරීම පාඨක ඔබ සතු ය. ඒ පිළිබඳ එකිනෙකාගේ අදහස් විවිධ විය හැකි ය. ඒ කුමන අදහසකින් වුව ද මානුෂිකත්වය ප්‍රමුඛත්වයෙහි ලා සලකන්නේ නම් මිනිසුන් වශයෙන් අප සිටගත යුත්තේ එම අදහස් සමග ය.
ඉදිරි සතියේ සිට වෙනත්; වෙනස් නිර්මාණයකින් හමුවෙමු. මෙතෙක් කාලයක් මගේ ප්‍රබන්ධය රස විඳි, රස විඳ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සියලු පාඨක ප්‍රජාව වෙත මම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/09/08
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්