අභියෝග භාර නොගත් නායකයෙක්ට රට කිසිවිටකත් ගොඩනැගිය නොහැකි බවත්, පොහොට්ටුවට ඕනෑ තරම් අපේක්ෂකයෝ සිටියත් අභියෝග

ජයග්‍රහණය කළ කළ නායකයෙකුට පොහොට්ටුවෙන් අවස්ථාව ලබා දීමේ වැරැද්දක් නොමැති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

කාට මොන රැල්ලක් තිබෙන බව කීවත් පොහොට්ටුවේ සහාය ලබන අපේක්ෂකයා ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන් ජය ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පොහොට්ටුව නිසි වේලාවේදී ජනාධිපතිවරණ මෙහෙයුම ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පහ, නයිවල ප්‍රදේශයේ ඊයේ (20) දින පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඇමති ප්‍රසන්න රණතුංග ලබා දුන් පිළිතුරු මෙසේය.

''පොහොට්ටුව නිසි වෙලාවේදී මැතිවරණ මෙහෙයුම ආරම්භ කරනවා''

ප්‍රශ්නය - 
බැසිල් මහත්තයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් තිබ්බා නේද? මොකක්ද ගත්ත වැදගත්ම තීරණය


පිළිතුර - 
සාකච්ඡා කළේ මැයි දිනය සම්බන්ධව. පොහොට්ටුව පක්ෂයක් ලෙස මැයි දිනය සංවිධානාත්මකව හැමදාම කළා. ගෝල්ෆේස් පිට්ටනිය පුරවගෙනයි අපි මැයි දිනය සිදු කළේ. මේ වෙලාවේ ගෝල්ෆේස් පිටිය මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයක් සතුවයි තිබෙන්නේ. අපි ගැසට් කරලා තියෙනවා ගෝල්ෆේස් පිටිය දේශපාලන වැඩවලට ගන්නේ නෑ කියලා. ඊළගට විශාලම පිට්ටනිය අපි තෝරගෙන තිබෙනවා. අපි සැලසුම් කරනවා ඉතාම ඉහල මට්ටමේ මැයි රැලියක් පවත්වන්න. 

ප්‍රශ්නය - 
ඉදිරි ජනාධිපතිවරණය සඳහා කවුද ඉදිරිපත් වෙන්නේ කියලා තීරණයක් ගත්තේ නැද්ද?


පිළිතුර - 
ඒ පිළිබඳව අපි සාකච්ඡා කලේ නෑ. ජනාධිපතිවරණයක් නිවේදනයට ලක්කලා පස්සේ ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. හරි දේ හරි වෙලාවට වෙයි කියලා අපි විශ්වාස කරනවා. 

ප්‍රශ්නය - 
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයට සහයෝගය දක්වනවාද? නැත්තම් වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද?


පිළිතුර - 

 

මගේ පෞද්ගලික මතය මීට පෙර ප්‍රකාශයට පත් කළා. ඒ වෙලාවෙත් මම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවා නම් ඔහු තමයි දැනට කතා වෙන අපේක්ෂකයෝ අතරින් වඩාත් සුදුසුම කෙනා කියලා. එතුමා අභියෝගය භාරගෙන අභියෝගය ජයගත් නායකයෙක්. රටේ සිස්ටම් එක වෙනස් කරන්න හදන නායකයෙක්  විදිහට මේ වෙලාවේ සුදුසුම කෙනා ඔහුයි. රටේ ජනතාව ඉල්ලන්නෙත් ඒකයි. එතුමට සහයෝගය දැක්වීම අපි යුතුකමක් ලෙසයි මා දකින්නේ.

 

''පොහොට්ටුවට ඕනි තරම් අපේක්ෂකයෝ ඉන්නවා...''

ප්‍රශ්නය - 
එතුමාට සහයෝගය දක්වන්නේ පොහොට්ටුවට වෙනම අපේකෂකයෙක් නැති හින්දද?


පිළිතුර - 
අපිට ඕනි තරම් අපේක්ෂකයෝ ඉන්නවා. ලක්ෂ 69ක් ජනාධිපතිවරණයේදී අරගෙන ලක්ෂ 68 ක් පාර්ලිමේන්තු මැතිවරණයේදී අරගෙන අපිට ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වුණාම ඒ වගකීම අපි භාර ගන්න ඕනි. අපි තව කෙනෙකුට අවස්ථාව දෙන්න අවශ්‍යයයි. අභියෝග ජයග්‍රහණය කරපු නායකයෙක්ට අවස්ථාවක් ලබා දීම වැරැද්දක් නෑ කියලයි මම විශ්වාස කරන්නේ.  

ප්‍රශ්නය - 
ඔබතුමන්ලා මැතිවරණ වේදිකාවට නැගලා ජනතාවට මොකක්ද කියන්නේ. මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මොකක් කියලද?


පිළිතුර - 
ජාතික ප්‍රශ්නයක් මුල් කරගෙනයි අපේක්ෂකයෙක් පත් වුණේ. හැම මැතිවරණයකදීම කියනවා හොරු අල්ලන එකයි, සහන දෙන එකයි කියනවා. ආසන්න මැතිවණයේදී ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන කොට එතුමාට යෝජනා කළේ ජාතික ආරක්ෂාවයි. අද රටේ හැමෝම කතා වෙන්නේ රටේ ආර්ථික අරබුදය ගැනයි. ආර්ථික අර්බුදය විසදන්න ක්‍රියාවෙන්ම කටයුතු කරපු නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. කයිවාරු ගහන නායකයෝ ඕනි තරම් ඉන්නවා. නමුත් අභියෝග භාර ගන්න බැරි නායකයෝ රටක් භාර ගන්න බෑ කියලයි මම විශ්වාස කරන්නේ.

ප්‍රශ්නය - 
මැතිවරණය ඉලක්ක කරගෙන බාර් පර්මිට් 200ක් දෙන්න හදනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. ඇත්තද ඒක?


පිළිතුර - 
සජිත් ප්‍රේමදාස හැමදාම කරන්නේ පාර්ලිමේන්තුවේ උදේවරුව හැමදාම කියවන එකයි කරන්නේ. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව අරන් බලන්න හැමදාම කියන දේ කියවනවා. අපි කැබිනට් එකේ අරගෙන ක්‍රියාත්මක කරන්න හදන යෝජනා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා එයාගේ යෝජනා වගේ. අභියෝග භාරගන්න බැරි වැඩ කරන්න බැරි නායකයින්ට මේ රටේ ජනතාව රටක් භාර දෙන්න සුදානම් නෑ. 

ප්‍රශ්නය - 
අනිත් පක්ෂ මේ වෙනකොට මැතිවරණ  සඳහා සුදානම් වෙනවා ජනරැලි පවත්වනවා. ඔතුමන්ලාගේ පක්ෂයේ ඒ සඳහා සුදානමක් නෑනේ.


පිළිතුර - 
ජනරැලි පවත්වන්න ඕනි වෙලාවට අපි පවත්වනවා. ජනරැලි ආරම්භ කළේ පළාත් පාලන මැතිවරණ පවත්වනවා කියන එක මතයි. ආර්ථික අර්බුදයක් වෙලාවේ පළාත් පාලන මැතිවණයක් තියෙන එකද රටේ ප්‍රමුඛතාවය වන්නේ. පළාත් පාලන මැතිවණයක් තියෙනවා කියලා අඩ බෙර ගහපු අයට දැන් මොකද වෙලා තියෙන්නේ. දේශපාලන කාලසීමාවත් එක්ක අපි වැඩ කරනවා. 

''බැසිල් තිරය පිටිපස්සේ ඉදන් වැඩ ටික කරනවා''

ප්‍රශ්නය - 
බැසිල් මහත්තයා ආවම මාරම වැඩක් කරනවා කිව්වා. මේ වෙද්දි මොකක්ද කරලා තියෙන්නේ.


පිළිතුර - 
එතුමා කවදාවත් එළියට ඇවිල්ලා වැඩ කරපු කෙනෙක් නෙමෙයි. එතුමා වැඩ කරනවා දැකලා තියෙනවද? එතුමා තිරය පිටිපස්සේ ඉදන් අවශ්‍ය වැඩ ටික කරනවා.  

ප්‍රශ්නය - 
පාර්ලිමේන්තු කෙටුම්පතක් හදන්න යනවා මහ මැතිවරණය ගැන. ඇයි එහෙම කෙටුම්පතක් හදන්න යන්නේ.

පිළිතුර - 
මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා අවුරුදු ගාණනාවක් තිස්සේ මේ රටේ මිනිස්සු ඉල්ලනවා. ගෝඨාභය මහත්තයගේ කාලේ නීතිඥවරු ටිකක් පත් කරලා කෙටුම්පතක් හදලා තියෙනවා. ඒ කෙටුම්පත් පාර්ලිමේන්තුවට සාකඡ්ඡා කරනවා නම් හොදයි. රටට හොද දෙයක් වෙනවා නම් ඒ දේ හොදයි කියලා මම විශ්වාස කරන්නේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image