අසුනෙන් නැගී සිටි ප්‍රතිෂ්ඨ නිහඬව ම ශාලාවෙන් පිටතට පැමිණෙද්දී ඇය ද වදනකදු හෝ නොදොඩා ඔහු පසුපස ඇදුණේ කිරි පිරූ එළදෙනක පසුපස

ඇදෙන කුඩා වසු පැටවකු සේ ය. ප්‍රතිෂ්ඨ, තම සිත කැලඹූ සුරූපිනිය තමා පසුපස එන බව මායිම් නොකර ම පියගැට පෙළ බසින විට ද ඇය නිසොල්මනේ ම ඔහු පසුපස ම ඇදුණා ය. අවසන ප්‍රතිෂ්ඨ ගමන නිමා කළේ ලේඛනාගාරයේ ආලින්දයේ තිබූ සෝපා අසුන් කට්ටලය අබියසට ද පැමිණ පසුව ය. ඔහු ආපසු හැරී බැලී ය; පුදුමයකි...! ඇය ද ඔහු පසු පස ම සිටගෙන සිටින්නී ය.

 

උවන පුරා ආකර්ෂණීය සිනහවක් සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘වාඩිවෙන්න,’’ යැයි ඉතා මඳ ස්වරයෙන් පැවසුවේ සෝපා අසුන් කට්ටලයේ තිදෙනෙකු හට අසුන් ගතහැකි අසුන දෙසට අත දිගු කරමිනි.

 

තත්ත්පර  පහක් හයක් පමණ ප්‍රතිෂ්ඨගේ දෙනෙත් මත සිය දෙනෙත් ඇලවූ ඇය ‘‘තැන්ක්ස්,’’ යැයි පවසන අතර ම අසුන මධ්‍යයේ අසුන් ගත්තේ අසුනේ දෙපස ඇති ඉඩ අතුරෙන් කැමති ඉඩක ප්‍රතිෂ්ඨට ද අසුන් ගන්නා ලෙස නිහඬ ආරාධනයක යෙදෙමිනි.

‘ම්ම්ම්... අවසර නොගෙන ම දෙපැත්තෙන් කොයි පැත්තක හරි ඉඳගන්නව ද...? නෑ... එහෙම ඕනෙ නෑ... වචනයක් දාල බලමු,’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ ‘‘මමත් මෙතන ම ඉඳගන්න ද මිස්...?’’ යැයි විමසුවේ තමා ලජ්ජා බිය සහිත, ඉතා සංවර පුද්ගලයෙකු බව ප්‍රදර්ශනය කරමිනි.

‘‘අයියෝ...! ඕක ඉතිං අහන්නත් දෙයක් ද මහත්තයො...? මං ආවෙ මහත්තයගෙං උදවුවක් බලාපොරොත්තුවෙන් මිසක මහත්තය මගෙං උදවුවක් ඉල්ලන්න ආව නෙවෙයි නෙ... අනික මට පාලිත කිව්ව මහත්තයට මෙහේ ගෙදර වගේ කියල.’’

 

modern art portrait man and woman painting oil on canvas image 1

 

ඇගේ මියුරු කට හඬ ද ඇසෙන නෑසෙන තරම් ය. එහෙත් ප්‍රතිෂ්ඨ තරමක් තැති ගත්තේ පාලිත තමා ගැන මේ සුරූපිනියට මොනවා පවසා ඇති ද යන කුහුලෙනි.

‘මළා... මේ යකා මං ගැන මොනවා කියල ද මංද... ඌ මොනව හරි කිව්වත් ඉතිං කියන්නෙ මට තියෙන හිතවත්කමට ම මිස වෙන අදහසකින් නෙවෙයි. බලමුකො...’

එසේ සිතන අතර ම ප්‍රතිෂ්ඨ තමා ඉදිරියේ අසුන්ගෙන සිටින සුරූපිනියගේ දකුණු පස පිහිටි හිස් බව සම්පූර්ණ කළේ ය.

‘‘ආ... මං මෙතන රිසර්ච් එකට ආපු දවස්වල ඉඳල ම පාලිත මට හුඟක් හිතවත්. ඉතිං... මොනවද පාලිත මං ගැන කිව්වෙ...?’’

ඇගේ පිළිතුර සත්‍ය වුව ද අසත්‍ය වුව ද එය දැනගැනීමේ රිසියෙන් ඔහු විමසී ය.

‘‘නෑ මේ... පාලිත කිව්වෙ මහත්තයට පොත්පත් පිළිබද හොඳ දැනුමක් තියෙනවය... කැම්පස්වල ළමයින්ට විතරක් නෙවෙයි ප්‍රොෆෙසර්ලට එහෙමත් උදවු කරනවයි කියල. ඉතිං මගේ වැඩේටත් උදවු කරාවි කියලත් කිව්ව.’’

‘හම්මේ... ඇති යංතං... මං හිතුවෙ...’’

සිතුවිලි වසා දැමූ ප්‍රතිෂ්ඨ සෝපා අසුනේ දකුණු ඇන්දට ඔහුගේ දකුණතේ බර දරන්නට ඉඩ හැර ‘‘ඉතිං... මොනවද මිස්ට මගෙං කෙරෙන්න ඕන... රිසර්ච් රූම් එකේ කතා කරන්න බැහැ නෙ... ඒකයි මෙතනට ආවෙ. මෙතන නිදහස්... තම තමන්ට විතරක් ඇහෙන්න කතා කරා කියල කාගෙන්වත් බාධාවක් නෑ...’’

 

ප්‍රතිෂ්ඨ ඔහුගේ නිදහස් සිතුවිලි නිදහසේ ම පා කර හැරී ය.

 

‘‘අනේ මහත්තයො මං ලොකු අමාරුවක වැටිල ඉන්නෙ...’’

දැඩි ආයාචනාත්මක බවකින් පිරිපුන් ඇගේ දෙනෙත් ප්‍රතිෂ්ඨගේ උවන පුරා සැරිසරවමින් පැවසුවා ය.

‘‘ඒ කිව්වෙ...? මට පැහැදිලි නෑ... ආ... මේ... ඊට ඉස්සෙල්ල කියන්නකො මිස්ගෙ නම මොකද්ද කියල.’’

ප්‍රතිෂ්ඨ කිසිදු අපහසුවකින් තොරව පළමු කඩුල්ල පසු කළේ කඩුල්ලට ද නොදැනෙන ලෙසිනි.

‘‘ආ... මම සචේතනී... මහත්තය...?’’

ඇගේ පිළිතුරටත් වඩා ප්‍රතිෂ්ඨ ප්‍රහර්ෂයට පත් කළේ ඇය යොමු කළ පැනයට ය. එය ඔහු බලාපොරොත්තුවෙන් ම සිටි පැනයකි. එහෙත් ඍජුව ම ඊට පිළිවදන් නොසැපයූ ප්‍රතිෂ්ඨ ‘‘ඇයි... පාලිත මගේ නම කිව්වෙ නැද්ද...?’’ යැයි විමසුවේ උවන පුරා ප්‍රහර්ෂණාත්මක සිනහවක් සිතුවම් කරගනිමිනි.’’

‘‘අනේ නෑ මහත්තයො... එහෙම කිව්ව නං ඉතිං මං මෙහෙම අහන්නෙ නැහැ නෙ...’’

‘‘නෑ ඉතිං සමහර විට මම කියන්නෙ ඇත්ත ද බොරු ද කියල බලන්න ඇහුව ද දන්නෑ නෙ... හරි... ඒකෙං කමක් නෑ... මං ප්‍රතිෂ්ඨ...’’

ඔහු නම පවසා අවසන් වනවාත් සමග ම ඇය ද ‘‘ප්‍රතිෂ්ඨ...?’’ යැයි විමසුවා ය.

‘‘ඔවු... ඇයි... බොරු කියල හිතුව ද...?’’

ඔහුට පැවසීමට හැකි වූයේ එපමණකි.

‘‘නෑ නෑ... ඒ නම හරි වෙනස් ඒකයි...’’

‘‘හුඟක් දෙනෙක් එහෙම කියනව... හරි... දැන් දෙන්නම දෙන්නගෙ නම් දැනගත්තනෙ... දැං කියන්නකො මිස් වැටිච්ච අමාරුව මොකද්ද කියල.’’

දිර්ඝ කතාවකට සවන් දෙන්නට සුදානම් වූ විලාසයක් මවා පෑ ප්‍රතිෂ්ඨ එතෙක් අපිළිවෙළට අසුන්ගෙන සිටි ඉරියව්ව ද වෙනස් කර අසුනට දැනෙන සේ සිය සිරුර සකසා ගත්තේ ය.

 
 
complexity
 
 

‘‘ඉස්සෙල්ල ම කියන්න ඕන මේ... දැං මට මිස් කියන්න එපා. නම කියන්න. මොකද ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ...’’

 

සියල්ල සිදුවන්නේ අදිසි හස්තයක් විසින් මෙහෙවනු ලබන ආකාරයට ය. ප්‍රතිෂ්ඨ ද වුවමනා වී තිබෙන්නේ ඇයට ඇගේ නමෙන් ම ඇමතීම සඳහා අවකාශ සලසාගැනීමට ය. දැන් ඒ අවස්ථාව ස්වයංක්‍රියව ම උදා වී තිබේ.

 

‘‘හරි හරි... මං මේ වෙලාවෙ ඉඳං නම කියන්නංකො... දැං විස්තරේ කියන්නකො.’’

ඔහු ඇය උනන්දු කරවී ය.

‘‘මේකයි මහත්තයො...’’ යැයි ඇය කතාව අරඹත් ම ප්‍රතිෂ්ඨ ඇයට බාධා කළේ ය.

‘‘අන්න අන්න... දැන් ඔයත් ඔය ‘මහත්තය’ කෑල්ල අයින් කරගෙන මට නම කියල කතා කරන්න. හරි... දැං කතාව කියන්න,’’ යැයි පැවසුවේ උවන පුරා සිනාසෙමිනි.

‘‘මේක ටිකක් දිග කතාවක්. ඒ හිංද අතුරු ප්‍රශ්න අහන්නැතුව ඉස්සෙල්ල මං කියන ටික අහගන්නකො හරි ද...’’

එවර ඇගේ කතා විලාසය ප්‍රතිෂ්ඨට දැනුණේ ඔහුට සමීප ම කාන්තාවකගේ ආමන්ත්‍රණයක් ලෙසිනි.

‘‘හරි හරී... මං මැදට පනින් නෑ... ඔයා කතාව කියන්නකො.’’

ප්‍රතිෂ්ඨ තව තවත් සුවපහසු ලෙස තම සිරුර සකසා ගත්තේ ය.

‘‘මං කාලෙක ඉඳං ඉන්ටනැෂනල් ස්කුල්වල ඕ ලෙවල් ඒ ලෙවල් ළමයින්ට සිංහල උගන්නනව. ඉති.. දැං අවුරුද්දකට විතර කලිං මගේ යාළුවෙක්ගෙං ව්‍යාකරණ පොතක් ඉල්ල ගත්ත. කොහොමහරි ඒක මගේ අතිං නැති වෙලා.’’

‘‘හම්ම්ම්... මට දැං තේරෙනව...’’

පොරොන්දුව අමතක වූ ප්‍රතිෂ්ඨ කතාවට මැදිහත් විය.

‘‘ඔය ඉතිං... මං තවම කතාව කියල ඉවර නැහැනෙ... ඉස්සෙල්ල කතාව හොඳට අහගන්නකො...’’

 

ඇගේ ආමන්ත්‍රණය සුහදශීලි ය; මන බඳනාසුළු ය. මෙතෙක් ඇගේ රුව කෙරෙහි ආසක්ත වී සිටි ප්‍රතිෂ්ට මේ මොහොත වන විට ඇගේ කට හඬට ද ආකර්ෂණය වී ඇත. එහෙත් ඔහුට සිය හැඟීම් වචන බවට පෙරළන්නට අවසර නොමැති බැවින් ඇගේ හඬින් දෙසවන් පිරෙන්නට ඉඩ හැර නිහඬව ම සිටින්නට තීරණය කළේ ය.

 

‘‘හරි හරි... ඔයා කතාව කියන්න. මං කතා කරන්න ඕන කොයි වෙලාවට ද කියලත් කියන්න,’’ යැයි පැවසුවේ අත්තම්මා කෙනෙකු කියන කතන්දරයක් අසා සිටින්නට සූදානම් වන කුඩා දරුවකු ලෙසිනි.

‘‘ඒ පොත යාළුවගෙත් නෙවෙයි. එයා ඒක අරගෙන තියෙන්නෙ හෝමගම ලයිබ්‍රියෙං. දැං පොත නැති නිසා එයාට රුපියල් දෙදහක දඩයක් ගෙවන්න වෙනව. ඒ මදිවට අවුරුදු දෙකකට මැම්බර්ෂිප් එකත් කැන්සල් කරන්න යනව. උපරිම කල් දීල තියෙන්නෙ තව මාසය යි. ඊට පස්සෙ අනිවාර්යයෙං දෙදහක් ගෙවන්න ඕන. ඒ ගෙවලත් මාස තුනක් ඇතුළත පොත බාර නොදුන්නොත් මැම්බර්ෂිප් එක තහනං. පවු අනේ යාළුව... එයත් ටීචර් කෙනෙක්. රුපියල් දෙදහ නං මට දෙන්න පුළුවං... ඒ වුනාට මැම්බර්ෂිප් එක කැන්සල් කරොත්... අනේ මංද ප්‍රතිෂ්ඨ...’’

 

ඇය දිගු සුසුමක් ඉහළට ඇද නැවත එය පහත හෙළුවා ය. නැවත ඇය ප්‍රතිෂ්ඨගේ උවන දෙස ආයාචනාත්මක බැල්මක් හෙළුවා ය. ප්‍රතිෂ්ඨ නිහඬ ය. දෙදෙනා ම දෙනොගේ දෙනෙත් තුළ සක්මන් කරන්නට වූහ; එකිනෙකාගේ දෙනෙත් තුළ ලියැවී ඇත්තේ මොනවාදැයි කියවාගන්නට උත්සුක වූහ. මිනිත්තුවකටත් අඩු කාලයක දී සචේතනීගේ හඩ යළි ප්‍රතිෂ්ඨගේ සවන් තුළට රිංගී ය.

 

‘‘මොකද අනේ ගොළුවෙක් වගේ බලාගෙන ඉන්නෙ... ඔයාට පුළුවං නේද මට උදවු කරන්න...?’’

ඇය එසේ විමසුවේ ඇගේ වදනින් පමණක් නොවේ. ඇගේ දෙනෙත් තුළ ද ඒ පැනය ම ලියැවි තිබිණ. ඒ, ඇගේ වදන්වලටත් වඩා ප්‍රබල ලෙසිනි. එය ප්‍රතිෂ්ඨ දුටුවේ ‘කියන්නකො පැටියො... ඔයාට පුළුවං නේද මට ඒ පොත හොයල දෙන්න,’ ලෙසිනි.

හදිසියේ නින්දෙන් අවදි වු පුද්ගලයෙකු සේ තිගැස්සුණ ප්‍රතිෂ්ඨ ‘‘ආ... හරි හරි... ඉතිං මේ... ඔයා ම නෙ කිව්වෙ සද්ද නැතුව ඉන්න කියල. ඒකයි මේ මං සද්ද නැතුව හිටියෙ...’’ යැයි පැවසුවේ මනසේ ද හදවතේ ද පිරී පවත්නා ප්‍රහර්ෂය උවනේ සිතුවම් කරමිනි.

 

ප්‍රතිෂ්ඨ ඇයට පිළිතුරු සපයා අවසන්වන්නටත් පෙර ම ඔහුගේ සිරුර පුරා සිහින් විදුලි දහරාවක් ගලා යන්නා සේ දැනිණ. ඒ මන්දැයි වටහා ගන්නට ඔහුට තත්ත්පර කිහිපයක් ගතවිය. ඒ මිහිරියාව ඔහු කිසි සේත් ම බලාපොරොත්තු නොවූවකි.

 ඉවර නෑ...

 

jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත

2022/02/08

 වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්

 
වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්