‘‘ඇත්තට ම දුලී මට මොකද්ද උණේ...’’
කිසිවක් කර කියාගැනීමට නොහැකි තරම් අසරණව සිටි මම දුලීකාගෙන් විමසුවෙමි.
‘‘උණේ...! තවම මොකවත් උනේ නැහැ හැබැයි ඉස්සරහට නං ලොකු දෙයක් වේවි හොඳේ...’’
දුලීකා මා දෙස බලා සිටියේ බරපතළ වරදක් කර ඇති වරදකාරියක දෙස බලා සිටින ලෙසිනි.
‘‘අනේ ඇයි දුලී... මට මොනවද උණේ... මං මොකද්ද කරපු වරද... කෝ දැන් ටිකකට කලිං මෙතන හිටපු කට්ටිය...?
මා එක දිගට ප්‍රශ්න වැලක් ම විමසීම හේතුවෙන් දුලීකා ද සිටියේ විමතියට පත්වූ ලෙසිනි. මගේ දෑස් තුළ ලියැවී ඇත්තේ මොනවා දැයි පිරික්සන ඇය ඇගේ දැස් තුළ ලියවී ඇති කිසිවක් සඟවන බව මට අවබෝධ විය; ඇය තවමත් නිහඬ ය; ඒ නිහඩ බව තුළ බරපතළ යමක් සැඟවී ඇති බව මම ඉවෙන් මෙන් වටහාගතිමි.
‘‘අනේ... කියපංකො දුලී... මොනවද සිද්ද උණේ...’’
කඩිනමින් ම මගේ දෙවුර මත දෑත් තැබූ දුලීකා එක් වතාවක් හෝ ඇසි පිය නොගසා තත්පර හත අටක් මගේ දෑස් දෙස එක එල්ලේ ම බලා සිටියා ය.
‘‘සිද්ද උණේ මොකද්ද කියල කියන්නං... හැබැයි උඹ මට ඇත්ත කියන්න ඕන... මොකද මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න නං මං ඇත්ත දැනගෙන ඉන්න ඕන. කියපං... උඹ මට ඇත්ත කියනව නේ ද... ම්ම්... උඹ මට ඇත්ත කියනව නේ ද...?’’
දුලීකා විමසුවේ මගේ දැස් තුළ ලියැවී ඇති සත්‍ය කියවා අවසන් බව පසක් කරගත්තා මෙනි. ඉදින් තව දුරටත් මගේ දෑස් ඇගේ දෑස් මානයෙන් ඉවතට ගත්ත ද එයින් ඵලක් නොවන බව මට වැටහිණ. මම දුලිකාගේ උරහිසට මගේ හිසේ බර දරන්නට ඉඩ හැර දැස් පියා ගතිමි. ඒ දැස් තුළින් ගලා හැලෙන උණුසුම් සිහින් දිය දහර ඇගේ උරහිස තෙත් කළ විට ඇගේ හිසේ බර ද මගේ උරහිස මත තැබුවා ය; ඇගේ දැසින් ද මගේ දෑසින් මෙන් ම උණුසුම් දිය දහරක් ගලා විත් මගේ උරහිස තෙත් කළේ ය; දෙදෙනාගේ ම ඉකිගැසීම දෙදෙනාට ම ඉතා මැනවින් දැනිණ. ඒ ඉරියව්වෙන් ම සිටි අපි පසු කරමින් තත්ත්පර දහයක් පහළොවක් පමණ වේගයෙන් දිව ගියේ ය. එසේ දිව යන කාලය මඳකට හෝ නවතාගන්නට පළමු පියවර තැබුවේ දුලීකා ය.
‘‘දැං උඹ හිතන්නෙ මං දන්න දෙයක් ගැන මං උඹෙන් හාර හාර අහනව කියල නේ ද... ඔවු... මං එහෙම අහනව. මොකද... ම්ම්ම් මට... මට... ඒක උඹේ කටිං ම දැනගන්න ඕන. ඒ හිංද දෙයියනේ කියල මට හැම දේම කියපං... මේ දැන්... ඔවු මේ දැන්... ආයෙ මෙතනට එක එකා ඇවිත් මොනව හරි අහන්න කලිං, කියන්න කලිං උඹ ම කියපං. එතකොට උඹේ හිතත් නිදහස්. මගේ හිතත් නිදහස්.’’
තවමත් අප දෙදෙනා ම පෙර ඉරියව්වේ ම ය. දුලීකාගේ උවන එක එල්ලේ බලාගෙන මට සත්‍ය පැවසිය නොහැකි සේ ම මගේ උවන එක එල්ලේ බලාගෙන සත්‍යයට සවන් දිය නොහැකි බව දෙදෙනා ම පමසක් කරගෙන හමාර ය. එසේ නම් මේ ඇසිල්ලේ ම වාන් දොරටුව විවර කළ යුතු ය; එවිට සිත තුළ දරා සිටින බර සැහැල්ලු වෙනු ඇත. ඔවු... දැන් වාන් දොර විවර කළ යුතු ය.
‘‘දුලී... උඹ හිතන දේ හරි දුලී... උඹ හිතන දේ හරි...’’
එතෙක් මගේ උරහිස මත පටවා තිබූ දුලීගේ හිසෙහි බර එක් වර ම ඉවත් වූ බැවින් මම ද තිගැස්සුණෙමි.
‘‘මං හිතන දේ...! මොකද්ද මං හිතන දේ...? අනික උඹ දන්නෙ කොහොම ද මං හිතන්නෙ මොනව ද කියල. ඒ හිංද මං හිතන දේ නෙවෙයි... උඹට කියන්න තියෙන ඇත්ත කියපං...’’
දුලී, මගේ නිකටෙන් අල්ලා මගේ උකුළ දෙසට බර වී තිබූ හිස ඔසවන අතර පැවසුවා ය.
‘‘ඔවු දුලී... ම්මං... මං... අමෝද්‍ය සර්ට ආදරෙයි...’’ යැයි පැවසු මම යළි මගේ උකුළ පෙදෙසට හිස නැඹුරු කර ගත්තෙමි.
‘‘හම්ම්ම්’’ යැයි රහසෙන් මෙන් තෙපලූ දුලීකා යළි මගේ නිකටෙන් අල්ලා ඔසවා මගේ දෑස් දෙස මොහොතක් බලා සිටියා ය.
‘‘හරි... ඒක එහෙමයි කියමුකො... එතකොට සර්...! එයත් එහෙම ද...?
‘ඔවු’යැයි පැවසුවහොත් මගේ අමෝද්‍ය පාවා දුන්නා බඳු ය; ‘නෑ’ යැයි පැවසුවහොත්...? මම සිතුවිලි අතර අතරමං වුණෙමි.
‘‘කියපං බං කියපං... මේක සෙල්ලං කරන වෙලාවක් නෙවෙයි...’’
මගේ දෙඋරෙන් අල්ලා සෙලවූ දුලීකා රහසෙන් වුව ද ආවේගශීලිව විමසුවා ය.
‘අනේ මගේ අමෝද්‍ය... මං දැං මොකද කරන්නෙ...? මට දුලී විශ්වාසයි... ඒත්... කමක් නෑ... මං දුලීට ඔක්කොම කියනව’
මගෙන් ම විමසා මට ම පිළිතුරු සපයාගත් පසු හිත නිදහස් කරගත් මම දුලීකාගේ දෑස් මගහරිමින් හිස ඉහළ පහළ සෙලවූවා ය. එසැණින් ම මම යළි දුලිකාගේ උවන දෙසට මගේ දෑස් යොමු කර ඇගේ උවනේ ඉරියව් පිරික්සුවෙමි. මගේ සංඥාව තුළ බොහෝ දේ සැඟව ඇතැයි දුලිකා පසක් කරගත් බව ඇගේ ධවල පැහැ උඩු දත් පෙළෙන් යටි තොල සපාගත් අකාරයෙන් ම මට අවබෝධ විය.
‘‘උඹ ඔහොම්ම ම හිටපං... කොහෙවත් යන්නෙපා. මං ටක් ගාල එන්නං,’’ යැයි පැවසූ දුලීකා ක්ෂණයකින් නැගිට කාමරයෙන් පිටතට දිව ගියා ය.
සැබෑ ම තත්ත්වය නම් මා නියමාකාරයෙන් ම පියවි සිහියට පැමිණියේ ඉන් අනතුරුව ය. මා ඉන්නේ කොතනද යන්න පිළිබඳ සොයාබැලිමට සිත් වූයේ ද ඒ මොහොතේ ය. කාමරය වටා පිරික්සන විට ඒ ගුරු විවේකාගාරය බව ප්‍රත්‍යක්ෂ විය. එහෙත් මා හැර වෙනත් කිසිවකු එහි නොසිටීම පිළිබඳවත් මීට මොහොතකට පෙර මා වටා රැස්ව සිටි පිරිස පිටව ගොස් ඇත්තේ ඇයිද යන්නත් පිළිබඳ මම කල්පනා කළෙමි. එක් වරම, කාමරයේ දොරකඩින් ඇතුළට ගලා ආ අලෝකය අතුරුදන්ව මඳ අඳුරකින් කාමරය වසාගන්නා විට ම ‘‘ආ... කොහොමද අහිංසනා... මොකද උණේ...?’’ යැයි විමසද්දී මම මෙතෙක් සිටි ලෝකයෙන් මිදී කටහඬ පැමිණ දෙසට අවධානය යොමු කළෙමි. යළි කාමරයට ගලා එන හිරු එළිය සමග මා අබියසට පැමිණියේ දුලිකා සහ පංති බාර ගුරුතුමිය වන කාංචනා මිස් ය.
කිසිවක් ම පැවසීමට තරම් පැහැදිලිතාවක් නොතිබූ බැවින් ‘‘දන්නෑ මිස්... මට නිකං ඔළුව කැරකෙනව වගේ දැනුණ. ඊට පස්සෙ බලද්දි මං හිටියෙ මේ කාමරේ.’’
ගුරු විවේක කාමරයේ දිග මේසය වටා තිබූ අසුනක් ඇද මගේ ඉදිරියෙන් තැබූ කාංචනා මිස් මගේ උවනට ඇගේ වුවන සම්මුඛ වන සේ ඉඳගත්තා ය.
‘‘ඔවු... දැං අපි හැමෝම ඒක දන්නවනෙ... ඒ වෙලාවෙ ඔයා මොනවද කිව්වෙ කියල ඔයාට මතක ද...?’’ යැයි විමසන අතර මිස් මගේ දෑත ම මිස්ගේ දෑතින් අල්ලා ගත්තා ය.
‘‘අනේ නෑ මිස්... ඇයි මං... මං මොනවද කියල තියෙන්නෙ...!’’ යැයි මා විමසුවේ මිස්ගේ උවනේ සහ දුලිකාගේ උවනේ ඇඳී ඇති සිතුවම නිසියාකාරව කියවා ගැනීමට නොහැකි බැවිනි. දුලීකා නිහඬ ය; ඇගේ දෑඟිලි එක මත එක වෙළෙයි; හිස පොළොවට ම නැඹුරු වී තිබේ. ඒ සියලු හැඩ තල කියා පෑවේ ඇය බරපතළ වරදක් කර ඇති සෙයකි.
‘‘අ... අනේ දුලී... මං... මං මොනවද කිව්වෙ දුලී... මං මොනව හරි කියනව ඔයාට ඇහුණ ද දුලී...?’’ යැයි විමසන අතර ම මම නැගිට ගොස් දුලීකාගේ දැතින් අල්ලා ගතිමි.
‘‘න්... නෑ අහිංසනා... මට ඇහුන් නෑ... මං දැක්කෙ ඔයා එකපාරට ම වැටෙනව විතරයි. ඊට පස්සෙ තමයි අපි ඔයාව අරගෙන ඉක්මනට ම මේ කාමරේට ආවෙ. ඔයා ඒ වෙලාවෙ කිව්වෙ මොනව ද කියල හුඟක් දෙනෙකුට ඇහිල තියෙනව. හැබැයි මට තවම කවුරුවත් මොකුත් ම කිව්වෙ නෑ.’’
ඇය එසේ පැවසුවේ වරදකාරී ස්වරයකිනි. එවිට ම අසුනෙන් නැගී සිටි කාංචනා මිස් ‘‘හරි හරි... අපි ඒව පස්සෙ කතාකරමුකො. ඔයා දැං දුලීකයි සමන්තියි එක්ක ගෙදර යන්න. හෙට එද්දි අම්ම හරි තාත්ත හරි එක්ක එන්න. දුලීක... අර වොචර්ට කියන්න පාරට ගිහින් ත්‍රීවිලර් එකක් අරගෙන එන්න කියල. යන්න... ඉක්මන් කරන්න,’’ යැයි පැවසුවේ ත්‍රීවිලරය ගෙන්වා ගැනීමේ අදහසින් ම පමණක් නොවන බව මට මෙන් ම දුලීට ද අවබෝධ විය. එහෙත් අපි දෙදෙනා ම ඒ පිළිබඳ නොවිමසා සිටින්නට සිතුවිලිවලින් ගිවිස ගතිමු.
දුලිකා පිටව ගිය සැණින් මගේ අතින් අල්ලා මා බංකුවේ ඉන්දවූ කාංචනා මිස් යළි මා ඉදිරිපිට තිබූ බංකුවේ ඉඳගත්තා ය.
‘‘දුව... මේ අහන්න... මං මේ කියන්නෙ ළමයි කියන දේවල් කවුරු විශ්වාස කරත් මමත් ඒව එහෙම්ම ම විශ්වාස කරනව කියන එක නෙවෙයි. ඒ උනාට එයාල කියන කතාව බරපතළයි. මං දන්නව... දුලීක වගේ ම ‘මට ඔයා කියපුව ඇහුණෙ නෑ’ කියල කියන්නෙ ඔයාට හිතවත්, ඔයාට ආදරේ කරණ ඔයාගෙ යාළුවො. ඒඋනාට කතාව ඇහුණ අය කියන දේ එක්ක බලද්දි මොනවත් ඇහුණෙ නෑ කියන කට්ටියගෙ කතාවට තියන වටිනාකම අඩුයි. කෝක වෙතත් ඔයා හෙට එද්දි තාත්ත නෙවෙයි... අම්ම එක්ක එන්න. මං ප්‍රන්සිපල් එක්කත් කතා කරන්නං.’’
මගේ හිස අතගාමින් කාංචනා මිස් එසේ පැවසුවේ ඇගේ ම දියණියක සමග අදහස් හුවමාරු කරගන්නා ලෙසිනි.
‘ඇත්තට ම මං මොනවද කියන්න ඇත්තෙ. නෑ... නෑ... මගේ කටිං මොනවද කියවෙන්න ඇත්තෙ... ඇයි මේ කවුරුවත් මං කියපු දේ හරි... මට කියවුණ දේ හරි මාත් එක්ක කියන්නැත්තෙ. අඩුම ගානෙ දුලීවත් මට ඇත්ත කියන් නැත්තෙ ඇයි... ඒ කියපු දේ හරි කියවුණ දේ හරි... අනේ මංද... දැං මං අම්මට මොනවද කියන්නෙ...?’
‘‘ටීචර්... ත්‍රිවිල් එක ආව. සමන්ති ත්‍රීවිල් එක ගාවට ඒවි. අපි යං අහිංසනා.’’
සිතුවිලි අතර සැඟවි සිටි මා යළි මතුපිටට පැමිණියේ දුලිකාගේ කටහඬ දෙසවනට රිංගූ බැවිනි. එතෙක් මා අසල සිටි කාංචනා මිස් ද මා සමග මනසෙන් කළ ගනුදෙනුව අවසන් කළ බව හැඟුණේ ඇය ද ඉඳ සිටි අසුනෙන් නැගි සිටි බැවිනි.
ඉවර නෑ...
2022/03/01
ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් - වජ්ජා’වජ්ජ 07
වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..
වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි
මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...