1200 x 80 DMirror

 
 

පළමු පියවර



‘‘පස්වාන් දහසකට බුදුවෙන්ඩ දේවයන් වහන්ස...’’

රාජ සෙබළා රජ්ජුරුවන් වහන්සේ දෙපා අබියස වැඳ නමස්කාර කර අවසර අයැද සිටියේ ය.

‘‘කියව සෙබළ කියව... කිමෙක් ද මේ උදැහැනැක්කෙ ම... රාජ මාලිගේ කුමක් හෝ ආපත්තියක් ද...?’’

රජ්ජුරුවන් වහන්සේ ද උන් වහන්සේගේ දකුණ පාදයේ දණිස මත වම් පාදය දමන අතර ගරුගාම්භීර ලෙස විමසා සිටියේ ය.

‘‘නැත නැත දේවයන් වහන්ස... එවන් ආපත්තියක් නොවේ දේවයන් වහන්ස...’’

සෙබළාට පැවසිය හැකි වූයේ එපමණකි. වහා සිහසුනෙන් නැගිසිටි රජ්ජුරුවන් වහන්සේ ‘‘එවන් ආපත්තියක් නොවේ...! රාජ මාලිගයේ හෝ රාජකීය පවුල පිළිබඳ ආපත්තිදායක පණිවුඩයක් නොවේ නම් තොප මෙතරම් කලබලයෙන් කිමද සෙබළ...?’’ යැයි විමසා සිටියේ යටි කය වසා සිටි රාජකීය ඇඳුම ද දණිසටත් වඩා මඳක් ඉහළට ඔසවමිනි.

‘‘නැත නැත දේවයන් වහන්ස... ඔබ වහන්සේ බැහැදැකීම පිණිස පංචායුධ ඇමතියි, පිවිතුරු උරුම ඇමතියි පක ඇමතියි  පැමිණ සිටිනවා... එතුමන්ලට මේ මොහොතේ ම ඔබවහන්සේ බැහැදැකිය යුතු බව පවසා සිටිනවා දේවයන් වහන්ස...’’

සෙබළා එකත්පසව සිට පැවසී ය.

‘‘මොකක්... උන් තුන්දෙනා...!! මේ උදැහැනැක්කෙ ම...!!! යකෝ මං තාම පාතරාසය ගත්තෙත් නෑ නෙව... හා හා... පැමිණෙන්නට කියව... පැමිණෙන්නට කියව... මොන කාලකණ්ණි හැත්තක් ද? රාජ සභාව පවත්වන වෙලාවෙදි ඉන්නෙ කෂාය බීපු ගොළුවො වගේ... දැං එනව මට කරදර කරන්න. අම්මප මේ රජකම දරනවට වැඩිය හොඳයි අර ට්‍රැෆික් ලයිට් එකක් ගාවට වෙලා හිඟාකනව...’’

රජ්ජුරුවන් වහන්සේ එසේ පවසන අතර යළි ගොස් සිහසුනේ සිංහාසනාරූඪ වන විටත් පණිවිඩය රැගෙන ආ සෙබළා පිටව ගොස් තිබිණ.

‘මොකා... මේ යකා මෙච්චර ඉක්මනට අන්තරස්දාන උනාද...?’ යැයි සිතන විට ම පංචායුධ ඇමති, පිවිතුරු උරුම ඇමති සහ පක ඇමති රජ්ජුරුවන් වහන්සේ ඉදිරියේ එකත්පස්ව සිට ‘‘පස්වාන් දහසකට බුදුවෙන්නට දේවයන් වහන්ස...’’ යැයි පවසනවාත් සමග ම සිහසුනේ අසුන්ගන්නට සුදානම් වූ රජ්ජුරුවන් වහන්සේ ‘‘කිමද බොලව් තොපි මේ පාන්දර ම කතා කරන මල මගුලක් රාජ සභාවෙදි කතා කරන්න බැරිද...?’’ යැයි ගුගුළේ ය.

 

වහා දණ්ඩ නමස්කාර කළ පංචායුධ ඇමති ‘‘දේවයන් වහන්ස... ඔබවහන්සේට අමතක උණා ද දේවයන් වහන්ස... අපි මේ සැපත් උනේ ඔබ වන්සේ කියපු විදියට හෙට මහා ජන සභාවක් තියල අපි මේ රාජ සභාවට එරෙහිව හිටගන්නව කියල කියන්න කලිං ඔබ වහන්සේ සම්මුඛ වෙලා තව අඩුපාඩු මොනව හරි තියෙනවා නම් ඒව අහගන්නෙයි කියල...’’ යැයි පැවසී ය.

 

‘‘අප්පද බොල... මට ඒ ගැන හාංකවිසියක් නැතුව ගියානෙ පංචො... හා හා... හොඳයි හොඳයි...’’ යැයි පැවසු රජ්ජුරුවන් වහන්සේ තම සාටකයේ දෙපසින් අල්ලා අදින අතර කල්පනාවකට වැටිණ.

‘‘දේවයන් වහන්ස...’’

එවර රජ්ජුරුවන් වහන්සේ ඇමතුවේ පිවිතුරු ඇමති ය.

රජ්ජුරුවන් වහන්සේ එක පැහැර තිගැස්සී ‘‘ඔවු ඔවු පිවිතුරු... පවසව පවසව... මොනවද තොපට උවමනා කරන්නෙ...’’ යැයි විමසී ය.

එවිට ම දණ්ඩ නමසිකාර කළ පක ඇමති ‘‘පස්වාන් දහසකට බුදුවෙන්ඩ දේවයන් වහන්ස කුමන හෝ අඩුපාඩුවක් නැත දේවයන් වහන්ස... ඔබ වහන්සේට තියෙන්නෙ ජන සභාව අහවර වෙච්ච පමාවෙං පංචායුධයයි පිවිතුරුවයි ඇමතිකමෙං අස්කරන්න විතරයි. ඊට පස්සෙන් පහු මමත් ඇමතිකමෙං ඉල්ලා අස්වෙන්නං...’’

මේ වන විට සිංහාසන පීඨයේ ඔබ මොබ සක්මන් කරමින් සිටි රජ්ජුරුවන් වහන්සේ හිටි පිළිමයක් සේ නතරවිණ.

‘‘උන් දෙන්නගෙ පදවි තානාන්තර අයිං කොරන එකට ඕන කරන හසුන් පත් දැනටමත් සූජානං කොරලයි තියෙන්නෙ. තොපගේ හසුන් පතත් මේ මොහොත වෙද්දි ලියමින් පවතිනවා. ඒ හංද තොපි ඒ ගැන කුරහං ඇට අරික්කාලක තරංවත් සැකයක් හිතන්න එපා... ගෙහුං තොපිට පවරපු වැඩේ විතරක් කොරපියව්...’’

‘‘එසේ ය එසේ ය දේවයන් වහන්ස... එසේනම් අපිට ගොහිං එන්නට අවසර...’’

පසඟ පිහිටුවා දණ්ඩ නමස්කාර කළ ඇමතිං තුංකට්ටුව රාජසභාවෙන් පිටව ගියහ.

දෙවන පියවර

‘‘පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස....’’

එවර රජ්ජුරුවන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ කිං ඉස්ලි නමැති ප්‍රචාරක උපදේශකවරයා ය.

‘‘ඔවු... කිං ඉස්ලි... කිමද තොප මේ අවේලාවේ... තොපේ රාජකාරිය තියෙන්නේ පච මෝලෙ නේද...?’’

රජ්ජුරුවන් වහන්සේ විමසුවේ විමතියට පත්වූවෙකු ලෙසිනි.

‘‘එහෙමයි දේවයන් වහන්ස... එහෙමයි...’’

දණ්ඩ නමස්කාර ඉරියව්වෙන් ම සිටි කිං ඉස්ලි ප්‍රචාරක උපදේශක වරයා පැවසී ය.

‘‘එහෙම නං තොප මෙහි පැමිණියේ අහවල් අටමගලයකට ද පැවසුවා නං.’’

‘‘පස්වාන් දහසකට බුදුවන්නඩ දේවයන් වහන්ස... ගැත්තාට අනුකම්පා කරන සේක්වා... මේ... නමඑනිද මේ නමඑනිද...’’

ප්‍රචාරක උපදේශකවරයා තරමක් වෙව්ලන ස්වරයෙන් පැවසී ය...

‘‘නමඑනිද... ඇයි... තමුසෙ නමඑනිද හාන්නැහෙයි ඇච්චො ටිකයි බලන්න යන්න ද... බෑ බෑ බෑ... තමුසෙල මේ තානාන්තරේ බාරගනිද්දි ම මට පොරොන්දු වෙලා තියෙන්නෙ දිවි හිමියෙන් ම මමයි මගේ පරම්පරාවයි වෙනුවෙං ඇප කැප වෙනව කියල. දැං තමුසෙට හාන්නැහේ මතක් වෙලා... ඕකට ගෙදර ම යන්න ඕන ද ඕයි... ඔය ඕන තරං ඇත්තියො ඉන්නෙ... ඒ එකෙක් දෙන්නෙක් බැරිනං තුන්දෙනෙක් එක්ක හරි ඔය එහා පැත්තෙ තියෙන හැංගිලා පැලස් එක පැත්තට යන එකනෙ තියෙන්නෙ...’’

රජ්ජුරුවන් වහන්සේ පැවසුවේ දෙකන්සය තෙක් පළල් වූ මුවෙන් සිනාසෙන අතර ය.

‘‘නෑ නෑ... දේවයනක් වහන්ස... එහෙම උලව්වක් නෙවෙයි දේවයන් වහන්ස... නමඑනිදට රටේ හැම පසල් දනව්වකිං ම අගනුවරට මහ ජනය රැස් කොරන්න යනවලු...’’

‘‘හහ් හහ් හහ් හා... මට හිතුණ... මට හිතුණ...’’

රජ්ජුරුවන් වහන්සේ යළි පෙර පරිදිම සිනාසුණි...

‘‘දේවයන් වහන්ස...!!’’

මෙතරම් විපතක් පෙනි පෙනිම රජ්ජුරුවන් වහන්සේ ප්‍රිතියෙන් සිටිම පිළිබඳ ප්‍රචාරක උපදේශකවරයා අන්ද මන්ද විය.

‘‘ඔවු කිං ඉස්ලි... අපේ චර පුරුෂ සේවය මට මේ ගැන වාර්තා කරයි තිබුණෙ. ඒ හිංද අපි හත්වෙනිද මජ්ජිම රාත්තිරියෙ ප්‍රචාරය කරන්න ගැසට් පණිවිඩයක් සූජානං කරලයි තියෙන්නෙ...’’

‘‘ඒ කිව්වෙ දේවයන් වහන්ස... මට... මට... වැටහණේ නැ දේවයන් වහන්ස...’’

 

යළි වියරු හඬින් සිනාසුණු රජ්ජුරුවන් වහන්සේ ‘‘ඇයි ගොං වාහෙ... තොපට තේරෙන්නෙ නැතෙයි... හත්වෙනිද මජ්මජිම රාත්තිරියෙ හිටං රටේ හැම පසල් දනව්වක ම කරුවල නීතිය ක්‍රියාත්මකයි කියන ගැසට් පණිවිඩේ දැනටමත් සුජානං...’’

 

‘‘අනේ වාසනාවන් දේවයන් වහන්ස... අනේ වාසනාවන්... ඔබවහන්සේට දීරඝායු ම ලැබෙන්න ඕන මේ කරන සටකපට වැඩලට...’’

දෙකන්සය දක්වා මුව පළල් කර සිනාසුණු උපදේශකවරයා යළි පසඟ පිහිටුවා වැද නමස්කාර කර රාජ සභාවෙන් නික්ම ගියේ ය.

තෙවන පියවර

රජ්ජුරුවන් වහන්සේගේ අණප්‍රකාර සැම පසල් දනව්වක් පුරා කරුවල නීතිය පැනවුව ද රටේ මහ ජනයා ඒ කිසිවක් පයිසයකට මායිම් නොකළහ. ඔවුහු එකා දෙන්නා බැගින් සම්බන්ධ වූ ජන ඝෝෂා මහා ජන ඝෝෂාවක් වන්නට ගතවූයේ දින කිහිපයකි. අවසන ඔවුහු වෙළඳ නගරයේ සමුද්‍රාසන්නව පිහිටි භූමියක ලැගුම් ගත්හ; එම ගමට මහා ජනයාගේ ගරුබුහුමනට ලක්වූ කලාකාරයෝ පමණක් නොව රජ්ජුරුවන් වහන්සේට වන්දිභට්ටකම් කළ නළාකරුවෝ ද, ප්‍රශස්ති ගායනා කළ ගායක ගායිකාවෝ ද, රජ්ජුරුවන් වහන්සේගේ ප්‍රතිරුපය ගොඩ නගන්නට දර දිය ඇදි බැළයෝ ද එහි සිට ‘‘රජා ගෙදර පල... රජා ගෙදර පල’’ යැයි පවසමින් ඝෝෂා කරන්නට වුහ. එතෙකින් නොනැවතුණ ඔවුහු එම භූමි භාගය ‘‘රජා ගෙදර ගිය ග්‍රාමය’’ යනුවෙන් නම් කළහ.

 

රටේ සතර දිග්භාගයෙන් ම පැමිණි මහා ජනතාව උදේ, දිවා, රෑ, මැදියම, අලුයම යන සෑම හෝරාවක ම නිදිවරමින් ‘‘රජා ගෙදර පල... රජා ගෙදර පල’’ යැයි ඝෝෂා කළහ. දින කිහිපයකට පසු රට පුරා පිහිටි නෙක නෙක කොදෙව්වල ද ‘‘රජා ගෙදර ගිය ග්‍රාමය’’ යන පුවරු සවිකරන්නට තරම් මහා ජනයා ධෛර්යවන්ත වූහ.



සිව්වන පියවර

සතියක් පමණ ඉක්ම ගිය පසු එළඹි සඳු දින වෙළඳ නගරය ද, රටේ සියලු ගම් දනව්වල ද පිහිටි උපත සහ විපත පිළිබඳ වූ රාජකාරි මධ්‍යස්ථාන අබියස ගව්ගණන් දිගු පෝලිම් දක්නට ලැබිණ. ඒ සෑම කෙනෙක් අත ම ඔවුනොවුන්ගේ උපත පිළිබඳ වූ විස්තර පත්‍රිකාව ද දක්නට ලැබිණ. රට පුරා පෝලිම්වල රැඳි සිටි ඒ මහා ජනතාවගේ විශේෂත්වයක් තිබිණ. එනම් ඔවුන් සැවොම පාහේ රජ්ජුරුවන් වහන්සේගේ පෙළපත් නාමය සහිත වූවෝ වීම ය; ගව් ගණන් දුර රැඳී සිටි ඒ මහා ජන පිරිසගේ එකම ඉල්ලීම වූයේ ඔවුන්ගේ පෙළපත් නාමය රජ්ජුරුවන් වහන්සේගේ පෙළපත් නාමය නොවන වෙනත් ඕනෑම පෙළපත් නාමයක් ලෙස වෙනස් කර දෙන ලෙසයි.



Trans+National New Left MagazineOpiuma Leftසංක්ෂිප්ත ඉතිහාසයක සහෝදර උරුමය- ජයසිරි  අලවත්තජයසිරි අලවත්ත

2022/04/17

 

 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58