නීතීඥ වෘත්තිය යනු සමාජයේ ගෞරව‍ය ආදරයට ලක්වන වෘත්තියකි.

බොහෝ අයට නීතීඥවරුන් දෙවියන් හා සමානය. එහෙත් ප්‍රශ්නයේ හැටියට නීතීඥවරුන් වෙත ලැබෙන ගෞරවය උස් පහත්වනු ඇත. කෙසේ වෙතත් නීතීඥවරුන් ඔබටත් මටත් ජීවිතයේ කොයියම් හෝ මොහොතක අවශ්‍ය වනු ඇත. ජීවිතයේ කිනම් හෝ අවස්ථාවක ගැටෙනු ඇත. ඒ සියල්ල නීතිමය කරුණු නිසාය.

එහෙත් අද ඔබට කියන්නට යන්නේ නීතීඥවරුන් ඔබටත් මටත් ඉදිරි දිනක හමුවන්නට යන වෙනස්ම අවස්ථාවක් ගැනය. මෙය ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ පවා නීතීඥ වෘත්තියේ වෙනස්ම අත්දැකීමක් වනු නොඅනුමානය.

කළු ලෝගුවක් ඇඳ හැමදාම උසාවි යන එන නීතීඥවරුන් එළඹෙන ඔක්තෝබර් 7දා ගෝල්ෆේස් හෝටලයට ඇතුළු වන්නේ නිරූපණ ශිල්පීන් ලෙසට ය. ඒ ''Fashion for Freedom'' යන විලාසිතා දැක්මට එක්වීමේ අදිටනෙනි. එනම් එදින ඔබටත් මටත් දැක ගැනීමට හැකිවන්නේ කළු ලෝගුව ඇඟලාගත් නීතීඥවරුන් සහ නීතීඥවරියන් නොව නිරූපණ ශිල්පීන්ය.

''Amour'' සංවිධානය විසින් සූදානම් කරන මෙම විශේෂ විලාසිතා දැක්ම සම්බන්ධයෙන් අපි එහි කැඳවුම්කරු නීතීඥ නිරූපමා සේරසිංහ ගෙන් විමසුවෙමු.

''ඇත්තටම ජනතාව අපිව දකින්නේ සමාජයේ අමුතු මිනිස්සු හැටියට. අපිට ඕන මේ දෙයින් අපිත් අනෙක් මිනිස්සු වගේම අය කියලා පෙන්නන්න. නීතීඥ වෘත්තීය විතරක් නෙමෙයි අපිත් වෙන අය වගේම තවත් දේවල් දන්නවා. පුළුවන් කියලා පෙන්නන්න තමයි අපි මේක සූදානම් කළේ.''

මෙවැනි විලාසිතා දැක්මක් සිදුකිරීමට මූලික හේතුව නීතීඥවරුන්ගේ මානසික සුවය සඳහාද, එසේත් නැතිනම් වෙනත් අරමුණක් තිබේද යන්න අපි විමසුවෙමු.

''ඇත්තටම අපේ මූලික අරමුණ අපි සතුටු වෙන එක නෙමේ. අපි මේ වැඩේ කරන්නේ මූලික අරමුණක් ඇතිව තවත් පිරිසක් සතුටු කරන්න. ඒ අයට හිනාවක් ගේන්න. ඒ තමයි සුළු වරදවල්වලට දඬුවම් ලබා දඩ මුදල් ගෙවා ගන්න බැරිව ඉන්න කාන්තාවන්ට ඒ දඩ මුදල් ගෙවලා නිදහස් කරගන්න. ඒ වගේම ඒ කාන්තාවන් සිරගත වුණාම ඒ අයගේ දරුවෝ සහ ඒ අයට බන්ධනාගාරය තුළ හම්බවෙන දරුවෝ වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙළක් සකසන්න. ඇත්තටම ඒ අයට හොඳ ජීවිතයක් දෙන්නයි අපිට උවමනාව. මම හිතන්නේ අපි නීතීඥවරු හැටියට දන්නවා බොහෝ සිරගත වෙන අයගේ ජීවිත කතා. ඒ අය වින්ද වේදනාවන්. ඒ වගේම ඒ වැරදිවලට පෙළඹෙන්න හේතුව. ඉතිං ඒ නිසා අපි මේ පුංචි වැඩකින් ආරම්භ කරන්නේ ඒ අහිංසක මිනිස්සුන්ට සහනයක් දෙන්න.''

කාන්තාවන් සහ ළමුන් පමණක් යොදාගැනීම සම්බන්ධයෙන් අප මෙහිදී විමසා සිටියෙමු.

PHOTO 2023 06 30 10 19 10 1

''ඇත්තටම පිරිමි අය දඬුවම් ලැබුණම හරි, රිමාන්ඩ් වුණාම හරි ඒ අය වෙනුවෙන් කාන්තාවෝ තමයි වැඩියෙන්ම වෙහෙස වෙන්නේ. ඒත් කියන්න කනගාටුයි කාන්තාවක් සිරගත වුණාම ඇය තනිවෙනවා. ස්වාමියා අමතක කරනවා. සමහර අයට කවුරුත්ම නෑ. ඒ නිසයි අපි විශේෂයෙන් කාන්තාවන් සලකලා බලන්නේ. හැබැයි අපි පිරිමි අයටත් සහාය දෙන්න බලාපොරොත්තු වෙනවා.

සැබවින්ම මෙය සත් ක්‍රියාවකි. අහිංසක ජනතාව වෙනුවෙන් මෙවැනි දේ කිරීම අගය කළයුතු වැඩකි. එය නීතීඥවරුන් විසින්ම සිදුකිරීමත් විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම විලාසිතා දැක්මේදී යම් ජයග්‍රහණයන් තිබේ ද? එසේ ජයගන්නා අයට ලබාදෙන තෑගි මොනවා ද? යන්න අපි මෙහිදී එම කණ්ඩායමෙන් විමසුවෙමු.

ඇත්තටම අපි මේකෙදී ජයග්‍රහකයෝ බලන්නේ නෑ. මෙතන තියෙන්නේ සභාගිත්වයක්. වයසක් නෑ. විවාහක ද අවිවාහක ද නෑ. මේක අපේ වෘත්තියේ හැමෝටම නිදහස් වෙලාවක්. ඉතින් එතැනදී අපි තෝරා බැලීමක් නෑ. මෙතනින් හම්බවෙන සියලුම මුදල් අපි වැයකරන්නේ අර අපේ මූලික අරමුණ වෙනුවෙන්. ඉතිං මේකට අපිට සහාය දක්වන්න පුළුවන් හැමෝටම. මොකද මේක හොඳ දෙයක් නිසා'' යැයි නීතීඥ නිරූපමා සේරසිංහ සඳහන් කළාය.

PHOTO 2023 06 30 10 19 10
අප ඇයගෙන් අවසාන වශයෙන් අසා සිටියේ මෙවර මෙම වැඩසටහනින් පසුව ඊළඟ වසරේදී සිරගතව දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින අයට කුමක් කරන්නේ ද? යන්න ගැනය.

''ඇත්තටම අපි මේක මෙතනින් නවත්තන්නේ නෑ. ඉදිරියටත් අරගෙන යනවා. ඒ වගේම කියන්න ඕන තව තවත් සුවිශේෂි වැඩ අපි ඉදිරියේදී සිදුකරනවා. ඒ හැමදේම අහිංසක ජනතාව වෙනුවෙන්. මේ සඳහා අපට පූර්ණ සහාය නීතීඥ සංගමයේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායම ලබාදෙන බවත් කියන්න ඕන.''

ඒ අනුව මෙම විලාසිතා දැක්ම ඔක්තෝබර් 7 වැනිදා ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වීමට නියමිත ඇති අතර ඒ සඳහා නීතීඥවරු රැසක් තම විලාසිතා දැක්වීමට සුදානම්ව සිටී. මෙය ඉතිහාසයේ දැවැන්තම වෙනස්ම අත්දැකීමක් වනු ඇත.

(ගයාන් ගාල්ලගේ)
(deshaya.lk)

.

සබැඳි පුවත් :
සුළු වැරදි කරන කතුන්ගේ පිහිටට ‘AMOUR' එයි


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්